අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් පෙර සිරිතක් උත්සවාකාරයෙන් මෙසේ සමරන ලදි

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 26, 2012

ඇමෙරිකන් ජනතාව පසුගිය සතියේ දී පෙර සිරිතක් සැමරූහ. ඒ දෙවියන්ට ස්තූති පුද කිරීමේ දිනයයි.

1620 දී Mayflower නැමති නෞකාවෙන් ඇමෙරිකාවට ගොඩ බැසි pilgrims නැමති යුරෝපීයයන් කොට්ඨාශයක් මැසචූසෙට්ස් ප්‍රාන්තයේ ප්ලිමත් නම් උපනිවේෂයක් පිහිටුවා ගත්හ. හේමන්තයට මුහුණ දුන් උපනිවේෂයේ වාසීන් අතරින් බාගයක් මිය ගියහ.

කොලනියේ හෙවත් උපනිවේෂයේ ආණ්ඩුකාරයා වූ විලියම් බ්‍රැඩ්ෆෝර්ඩ් ලියන History of the Plymouth Plantation නොහොත් ‘ප්ලිමත් වතුයායේ ඉතිහාසය’ යන්නේ සඳහන් වන්නේ ප්‍රිල්ග්‍රිම් වැසියන් සාගතයෙන් පෙළුණු බවයි. දූෂණ, සංකූලය (confusion) හා අසතුට ඔවුන් අතර පැතිර තිබිණ.

වසන්තයේ හා ගිම්හානයේ දී අනුභවයට සරිලන තරම් ඵලදාව වැවෙන්නට ඉඩක් නොදී රැයේ දී මෙන් මහ දවාලේ දී ද බෝග වගාවන් වලින් වැඩි කොටසක් සොරා ගත්තවුන් වැඩියෙන් සිටියහ. සාගතය හා මරණය ඔවුන් ලුහුබැඳ ආහ. 1621 සහ 1622 දී පවත්වන ලද අස්වනු උත්සව වලින් ඔවුන් සියල්ලන්ගේ ම බඩගින්න නිවුනේ කෙටි කාලයකට පමණි. එම අස්වනු උත්සව මරණයට නියමිත වූ අයෙකුගේ අන්තිම භෝජනයක් වැනි යැයි බ්‍රැඩ්ෆෝර්ඩ් සටහන් තබයි.

නුහුරු දේශගුණයක, නුහුරු පසක, නිසි ඵලදාවක් ලබාගන්නේ මොනවායෙන් දැයි ඔවුන් දැන සිටියේ නැත. සාගතයෙන් ගැලවෙන්නට ඔවුන් ස්වදේශී ඉන්දියානුවන් වවන තිරිඟු වගාව පටන් ගත්හ. ඇමෙරිකාවට ආවේනික වල් කළුකුම් දඩයම් කළහ. තිරිඟු වවන හැටි කියා දුන් ස්වදේශිකයන් මෙන්ම නිතර පිහියෙන් අනින්නට බලා සිටි ස්වදේශිකයන් ද සිටියේ යැයි බ්‍රැඩ්ෆෝර්ඩ් සටහන් කරයි.

සියල්ලටම වඩා ඔවුන් කරන ලද සුවිශේෂී වෙනස නම් මොළය පාවිච්චියට ගත් ආර්ථික සංවිධානයකි.

1623 දක්වා කොලනියේ පදිංචිකරුවන්ට “වෙළඳාමෙන්, ඇඟ වෙහෙසන ශ්‍රමයෙන්, මාළු බෑමෙන් හෝ වෙන යම් ක්‍රමයකින් ලබා ගත් සියළු ලාබ හා වාසි” කොලනියේ පොදු ගබඩාවකට එකතු කරන්නට නියම වී තිබිණ. කොලනියේ විසූ සියල්ලන්ටම පොදු ගබඩාවෙන් ඔවුන්ගේ ආහාර පාන හා වස්ත්‍ර සපයන ලදි. පොදු ගබඩාවට තමන්ට හැකි සියල්ලම දැමීමටත් එයින් තමන්ට අවශ්‍ය දේ පමණක් ගන්නටත් නියම විණ!!!!!

“තම තම හැකි පමණින්, තම තම අවශ්‍යතාවය අනුව” යන සමාජවාදී හැදියාවෙන් කොලනිය පාලනය වෙද්දී බ්‍රැඩ්ෆෝර්ඩ් ලියන්නේ “ඇඟ වෙහෙසන ශ්‍රමය සැපයිය හැකි ශරීර ශක්තියෙන් යුතු වඩාත්ම ජව සම්පන්න තරුණ පිරිමි අනුන්ගේ භාර්යාවන් හා අනුන්ගේ දරුවන් වෙනුවෙන් තම කාලය හා ශක්තිය වැය කරන්නට වෙනවා,” යැයි පැමිණිලි කළ බවයි. ශක්තිමත් මිනිසාට මෙන්ම අබල දුබලයාටත් තිබුනේ එකම ප්‍රමාණයක ආහාර හා වස්ත්‍ර විය. ඉතින් තරුණ හා ශක්තිමත් අය වැඩියෙන් වැඩ නොකළහ. ඒ නිසා සම්පූර්ණ ආහාර නිෂ්පාදනය කිසිම විටෙක ප්‍රමාණවත් නොවීය.

බ්‍රැඩ්ෆෝර්ඩ් ආණ්ඩුකාරයා විසින් මේ සමාජවාදී ක්‍රමය 1623 දී අහෝසි කරන ලදි. ලෝකයේ ප්‍රථම වතාවට පුද්ගලික දේපල අයිතියක් ස්ථාපිත කරන ලදි. සෑම ගෘහමූලිකයෙකුටම යම් ඉඩම් ප්‍රමාණයක් අයිති කරගන්නට ඉඩ සලසන ආණ්ඩුකාරයා කැමති දෙයක් වගා කරන්නට, එයින් කැමති ප්‍රමාණයක් ඔවුන්ගේ ප්‍රයෝජනය පිණිස තබාගන්නට සහ ඉතිරිය කැමති ලෙසකින් වෙළඳාම් කරන්නට අවසරය දෙන ලදි. සමාජවාදී ප්‍රතිපත්තිය අහෝසි කර නිදහස් වෙළඳපොලට ඉඩ ලබා දීමත් සමඟ සාගතයන් අවසන් විය.

1623 වසර දී “සාගතය වෙනුවට දෙවියන් වහන්සේ ඔවුන්ට ඇතිවෙන්නට ඵලදාව දුන්නා,” යැයි බ්‍රැඩ්ෆෝර්ඩ් ලියයි. ඉඩම් හිමි වැසියන් සතුටින් පිනා ගොස් දෙවියන්ට ස්තූති පුද කළහ.

1624 වෙද්දී කොතරම් ආහාර නිෂ්පාදනය කරන්නට ඔවුනට හැකි වූවාද යත් ඔවුන් තිරිඟු අපනයනය කරන්නට ද සමත් වූහ.

එකල කොලනි පිහිටුවා ගත් බොහෝ යුරෝපීයයන් සංවිධානාත්මක ව සිටියේ සමාජවාදී ආර්ථික ක්‍රමයට අනුවය. 1607 දී ජේම්ස්ටවුන් පිහිටුවා ගැනීමත් සමඟ පදිංචියට ආ හැම නැවකින්ම බාගයක් පමණ පළමු වසරේ දී මිය ගියහ. වැඩියෙන්ම වැඩ කොටසක් කරන ලද්දේ පහෙන් එකක පිරිමි විසිනි. පහෙන් හතරක් පරපෝෂිතයෝ ලෙසින් ජීවත් වෙන ලදි. 1609-10 හේමන්ත කාලය හැඳින්වූයේ “සාගතයෙන් පෙළෙනා කාලය” කියාය. 1610 ජූනි වෙද්දී 490 ක ජනගහණයෙන් ඉතිරි වූයේ 60 කි.

ජේම්ස්ටවුන් කොලනිය නිදහස් වෙළඳපොලක් හැටියට වෙනස් වූ විගස එහි ප්‍රතිඵලය ද වෙනස් වුණි.

ආර්ථික සංවිධානයේ වෙනස නිසා “සෑම මිනිසෙක්ම තමන්ගේ කර්මාන්තයෙන් ඇති පමණට ආහාර ලෙහෙසියන් හා සත්‍යයෙන්ම සොයා ගන්නේය,” යැයි 1614 දී රැල්ෆ් හැමර් නම් කොලනියේ ලේකම්වරයා ලියා ඇත. “අද තුන් දෙනෙක් ලබාගන්නා තිරිඟු අස්වැන්න එදා (සමාජවාදී ක්‍රමය පැවතෙද්දී) අපි තිස්දෙනෙකුගේ මහන්සියෙන් සොයාගත්තේ නැතැයි,” ඔහු ලියයි.

නිදහස් වෙළඳපොලක් පිහිටුවා ගන්නට පෙර ඇමෙරිකන් කොලනි වල වැසියන්ට ස්තූතිවන්නට දෙයක් තිබ්බේ නැත. තමන්ගේ ඉඩමක, තමන් කැමති බෝගයක් වවාගෙන, ලබාගන්නා ඵලදාවට තමන් කැමති වූවක් කරන්නට ඉඩදීම නිසා ලැබුණු සශ්‍රීකත්වය කොතරම් දැයි කිවහොත් වාර්ෂිකව ස්තූති පුද කිරීමේ දිනයක් පැවැත්වීම සිරිතක් බවට පත්විය. 1863 දී Thanksgiving නමින් මෙය ජාතික නිවාඩු දිනයක් බවට නම් කෙරිණ.

ඉහත විස්තරය Richard J. Maybury ලියූ The Great Thanksgiving Hoax (1999) ඇසුරිනි.

මිනිසාට පමණක් දායාද වී ඇති හිතන්නට හැකි මොළයට මම දිනපතා ස්තූතිවන්ත වෙමි. ඒ මොළය පාවිච්චියට ගෙන නිදහස් වෙළඳපොල ක්‍රමය ලොවට දායාද කළ ඇමෙරිකාවට අතිශයෙන්ම ස්තූතිවන්ත වෙමි. පුද්ගලික දේපල වලට ගරු කරන සමාජය ලොව බහුල වෙද්දී කුසගින්නේ ඉන්නා අය, දූෂණයේ යෙදෙනා අය සහ පරපෝෂිතයන් අඩු වී, සංකූලය හා අසතුට පහ වී ගිය බව ඔප්පු කරන්නේ එදා පටන් අද දක්වා ඉතිහාසයයි. උදාර මිනිසෙක් වනු පිණිස දැනුම සොයන අයට මේ ගැන කියා දෙන්නට මගේ හැකියාව වැඩිවේවා සහ තවත් කාලය ලැබේවා යැයි මගේ පැතුමයි!

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

    • arunishapiro said, on නොවැම්බර් 27, 2012 at 9:25 පෙ.ව.

      Uditha,

      ස්තූතියි එකතු කළාට. පත්තර කිහිපයක ගිහින් තිබුණා මේ කතාව. මම අර වෝල්මාට් ඉස්සහර ස්ට්‍රයික් කරන්නේ වෝල්මාට් වල වැඩ කරන කී දෙනෙක් දැයි හොයමින් සිටිය දී දැක්කා!!!!!!

      ඇයි විස්කොන්සින් වල 1919 සිට පැවතෙන Green Bay Packers ෆුට්බෝල් ටීම් එක? ඒකෙ අයිතිය තියෙන්නෙත් සූරා කන ධනපතියෙකුට නෙමෙයි. ඒක ලාබ සොයන්නෙ නැති, ඒ පළාතෙ මිනිස්සුන්ගේ ආයෝජන වලින් පැවතෙන්නා වූ, NFL අනිත් පුද්ගලික අයිතිය ඇති ටීම් හා තරඟ කරන කණ්ඩායමක්.

      ඒත් ‘අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි’ කියල උදේ හවා වඳින බහුතරය හිතන්නේ නුදුන් දේ ගැනීම කරන සමාජවාදය තමයි උතුම් කියලා!!!!!

      උදිත අමුණා ඇති කතාව කෙටියෙන්, සිංහලෙන් මෙහෙමයි:
      මිනෙසෝටා ප්‍රාන්තයේ බෙමිඩ්ජී නම් නගරයේ වාසය කරන ජෝ ලියුකන් වසර 46 ක් පුරා වෙහෙසුනේ සාර්ථක ග්‍රොසරියක් පවත්වා ගෙන යන්නට. වයස 70 දී ඔහු සූදානම් වෙන්නේ ව්‍යාපාරය විකුණා ලෝකේ වටා තම භාර්යාවත් සමඟ සැරිසරන්නටයි. ජනවාරි 1 දා සිට ලියුකන් ගමේ ආහාර නම් ව්‍යාපාරයට අයිති බෙමිඩ්ජි සුපර්මාකට් දෙකත්, නෝර්ත් දකෝටා ප්‍රාන්තයේ වෝප්ටන් හි ඇති තවත් සුපර්මාකට් එකක් ද ව්‍යාපාරයේ සේවය කරනවුන් සතු වූ කොටස් අයිතිය පිළිවෙත (Employee Stock Ownership Program) යටතේ බාරකාරත්වය පවරන්නට සූදානම් වෙයි.

      ඔහුට ව්‍යාපාරය වෙනත් ලොකු සුපර්මාකට් දාමයකට විකුණා වැඩි මුදලක් එකවර ලබාගත හැකියි. එහෙත් මිනෙසෝටා හි 13,000 කට රැකියා සපයන ව්‍යාපාරය එහි සේවය කරන අයගේ ම අයිතියෙන් ගෙනයන ව්‍යාපාරයක් වනවාට ඔහුගේ වැඩි කැමැත්තයි.

      “මගේ සේවකයන් තමයි මගේ සාර්ථකත්වයට වැඩියෙන් දායක වුනේ, ඒ නිසා ඒකට ඔවුන්ට යම් වාසියක් ලැබෙන්නට ඕනෑ,” යයි ලියුකන් කියයි. ව්‍යාපාරයේ අයිතිය සඳහා සේවකයන්ට අලුතින් මුදල් ගෙවීමට සිද්ධ වෙන්නේ නැත. මන්ද, ඔවුන් සේවය කරද්දී ඔවුනට පඩියට අමතරව ලැබුණ වාසියක් වූයේ ව්‍යාපාරයේ මේ කොටස් ලැබීම නිසාය.

      “අයිතිකරුවන් වූවාම අපි අපේ වැඩ කොටස වඩාත් හොඳින් ඉටු කරනවා. තමන්ගේ කියල අයිතියක් කියන්න දෙයක් තියෙන කොට අනාගතේ පහසුවෙන් විශ්‍රාම යන එක ගැනත් බලාපොරොත්තු තියාගෙන වැඩ කරන්න පුළුවන්,” යැයි 41 ක් හැවිරිදි ස්වාරේ නම් කළමනාකාරියක් පවසයි.

      ලියුකන් සවුත් ඩකෝටා ප්‍රාන්තයේ ඇතිදැඩි වූවෙකි. කුඩා ගමක බේකරියක් අයිතිකරුවෙකුගේ පුතෙකි. 1966 දී බෙමිඩ්ජි වෙත එන ඔහු තම සහෝදරයාගේ ග්‍රොසරියේ කළමනාකරණය කර අනතුරුව එය ඔහුගෙන් මිල දී ගති. “මගේ තාත්තා 1978 දී කඩේ ඇරියාම පැය දෙකක් විතරයි එක සැරේට නිදා ගත්තෙ,” යැයි ජෝ ගේ පුතුන් හතර දෙනාගෙන් එක් පුතෙක් කියයි.

      ඔහුගේ දර්ශනය සරල ය. “නිවැරදි දේ කරන්න.” (Do the right thing.)

  1. kavikaari said, on නොවැම්බර් 27, 2012 at 3:53 පෙ.ව.

    හරි ආස හිතෙන ස්වාභාවයෙ උත්සවයක්. හරියට අපේ අවුරුදු වගේ ඔක්කොම ගමේයනවා. හරියට බැඳීම් අලුත් කරන උත්සවයක්. මම ගොඩක් චිත්‍රපටිවල ඔය අවස්තාව පාදක කරගෙන කියැවුන කතා බලල තියෙනවා.

    • arunishapiro said, on නොවැම්බර් 27, 2012 at 9:28 පෙ.ව.

      kavikaari,

      ඔව් අවුරුදු වලට ඔක්කොම ගමේ යනවා වගේ තමයි. වොෂිංටන් ඩීසී වල සෙනඟ හිටියෙ අවුරුදු කාලෙට කොළඹ දකින්නටත් ලැබෙනවාට වඩා අඩුවෙන්!!!!!!

  2. arunishapiro said, on නොවැම්බර් 24, 2016 at 9:05 පෙ.ව.

    Reblogged this on අරුණි ශපීරෝ‍ වෙතින් and commented:

    අද ඇමෙරිකාවේ Thanksgiving Day හෙවත් ස්තූති පුද කිරීමේ දිනයයි. අනෙක් බොහෝ ඇමෙරිකන් තොරතුරු මෙන්ම මෙම උත්සවය ගැන විස්තර ද, විසල් රාජ්‍ය රිසි වූවන් අතින් පාසැල් හා ප්‍රධාන ජනමාධ්‍ය තුලින් බෙදන ලද්දේ වෙනස් කතාවකි. අන්තර්ජාලය තුලින් විකල්ප මාධ්‍ය බිහිවෙද්දී මෙහි ඇත්ත කතාව බෙදා ගන්නට අපිට හැකියාව ලැබිණ.

    නිදහස් මිනිසුන් අතර නිදහස් ගණුදෙනු තුලින් ඉතා සුළු කාලයක දී ලෝකයේ මිනිසුන් භුක්ති විඳින්නට සමත් වී සිටින සමෘද්ධිය වෙනුවෙන් ස්තූතිවන්ත වෙන්නට ඇමෙරිකන් විය යුතු නැත. සතුටු ස්තූතිවන්ත දිනයක් ඔබ සැමට!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: