අරුණි ශපීරෝ‍ වෙතින්

නීතියට කළින් තිබි දේපල අයිතිය

Posted in Uncategorized by arunishapiro on නොවැම්බර් 29, 2012

ජෝන් ජාක් රූසෝ අනුව යමින් බොහෝ දෙනෙක් සිතන්නේ නීතිය විසින් පුද්ගලයාව හොඳ මිනිසෙක් කරන්නේය කියාය. රූසෝට අනුව සමාජයක් යනු යම් අරමුණක් සාක්ෂාත් කරගන්නට සැකසුන බුද්ධිමය උත්සාහයකි. ඒ නිසා නීතිය හා නීති සම්පාදනය කරනා අයට සමාජයක ඉතා ඉහළ ස්ථානයක් දිය යුතුය. ඒ නිසා නීති සම්පාදනය කරන්නා හා නීති අනුගමනය කරන්නන් අතර ඇත්තේ ඉතා දැඩි පරතරයකි. ඔහුගේ මතයට අනුව මිනිසාව වෙනස් කරන්නට නීතියට හැකියාව ඇති නිසා, එයින් දේපල නිර්මාණය වීම හෝ නොවීම සිද්ධ වෙයි.

දේපල සහ නීතිය ගැන ලියූ ෆෙඩ්රික් බැස්ටියාට් පෙන්වා දුන්නේ දේපල පවතින්නේ නීතිය නිසා නොවන බවයි. ඔහුට අනුව දේපල ඇති නිසා නීතිය පවතී.

මේ විරුද්ධ මත දෙකෙහි වෙනස තවමත් වටහා ගන්නට බැරි වූවන් ලොව බොහොමයකි. බහුතරය දන්නේ රූසෝ කියූ පැත්ත ගැන පමණයි.

දේපල නම් ඉඩම් හිමිකම පමණක් නොවේ. තම (ශරීර ශක්තියෙන් සහ/හෝ මොළයෙන්) ශ්‍රමයෙන් නිපදවන ඕනෑම නිර්මාණයක් දේපලකි. එහි අගයට අයිතියක් නිර්මාණය කරන ලද්දාට ඇත්තේය. එය දේපල හිමිකමයි.

තිර පිටපතක්, කවියක් හෝ නවකතාවක් ලියන්නාට එහි හිමිකම ඇත්තා සේ ම ගණිකාවකට ද තම ශ්‍රමයෙන් සිද්ධ වෙන නිර්මාණයේ අගයට හිමිකමක් ඇත. එය නීතියක් මඟින් දෙන ලද්දක් නොවේ!!!!

නීතියක් කළ යුත්තේ නිර්මාණකරුවාට හිමිකම ආරක්ෂා කර දීමයි.

නිර්මාණකරුවාගේ දේපල නම් නීතියට කළින් තිබෙන්නා වූ පරිසිද්ධියකි. නිර්මාණයක් ඇති නිසා දේපලක් ඇත. දේපලක් ඇති නිසා අයිතියක් ගැන කතා කළ හැකිය. අයිතියක් ගැන කතා කළ හැකි නිසා අයිතිය රැකගන්නට නීතියක් අවශ්‍යයය.

අයිතිය ආරක්ෂා කර නොදීමෙන් නිර්මාණ කරන්නට මිනිස්සු මැළිවේ. එය ස්වභාවික මිනිස් ගතියකි. එවිට රටක දේපල අඩු වී රට දුප්පත් වෙයි.

රූසෝට අනුව යන්නෝ සිතන්නේ නීති රෙගුලාසි ගෙනෙනා අයගේ කාර්ය භාරය නම් නීති සංවිධානය කර, නීතියේ අඩුපාඩු සකස් කර, සමහර විට සමාජයේ සුවසෙත වෙනුවෙන් ඔවුන් විසින් නිර්මාණකරුවන් බිහිකරන අහිතකර දේපල සමාජයෙන් ඉවත් කර දැමිය යුතු බවයි.

ලෝකයේ දුප්පත්ම රටවල් දිහා බැලුවාම ඒ සමාජයේ නිර්මාණකරුවන්ට තම ශ්‍රමයෙන් නිපදවත හැකි දේපල හිමිකම කොතරම් සීමාසහිත දැයි දැකිය හැකියි.

ලෝකයේ පෝසත්ම රටවල් දිහා බැලුවාම ඔවුන් පෝසත් වෙලා තියෙන්නේ ඒ රටවල නිර්මාණකරුවන්ට තමනට රිසි ඕනෑ දේපලක් නිර්මාණය කරන්නටත් එයට හිමිකමක් කියන්නටත් වඩා ඉඩක් ලැබී ඇති නිසා බව දැකිය හැකියි.

රූසෝ හා එකඟ නොවෙන අය කියන්නේ, නීති සම්පාදනය කරන්නාගේ කාර්ය භාරය නම් සීමාසහිත වූවක් කියාය. අයෙකුගේ ශ්‍රමයෙන් කෙරෙන නිර්මාණයක් දේපල අයිතියක් වෙද්දී එය හිමිකමක් යැයි තහවුරු කරන්නට සහ දේපල අයිතියක් ලෙසින් ආරක්ෂා කර දෙන්නට ඉදිරිපත් වීම පමණක් නීති සම්පාදකයන්ගේ කාර්ය භාරය වෙයි.

මේ ශ්‍රමයට හිමිකමක් කියන්නා විසින් නිර්මාණය කරන දේපලෙහි අයිතිය හා එය තහවුරු කරමින් ආරක්ෂා කරදෙන වගකීම ස්වභාවික නීතිය අනුව යන්නකි. එයින් පමණක් සමානාත්මතාවය, නිදහස සහ සහෝදරත්වය පැතිරේ.

මිනිසා යනු ඔහුගේ ශ්‍රමයට දේපල අයිතියක් ඇතිව උපන්නෙකි. ඔහු උවමනාවන් ඇතිව ඉපිද ඇත. ඒ උවමනාවන් සපුරා ගැනීම ඔහුගේ ජීවිතයේ අත්‍යාවශ්‍ය වූ අංගයකි. ඒ සඳහා පාවිච්චි කරන්නට එයාටම සුවිශේෂී වූ අංගෝපාංගයන් හා මනසක් උපතින් ලබා ඇත්තෙකි.

තම සතුට සඳහා තම හැකියාවන් පාවිච්චියට නොහැකි වූ කල මිනිසා තෘප්තිමත් නොවෙන බව ඉතිහාසමය සාධක ඕනෑ තරම් දැකිය හැකිය. නීතීන් ගෙනැවිත් සතුට ස්ථාපිතය කළ නොහැකිය. සතුට ඇතිවන්නේ මිනිසාට තමන් වඩාත් කැමති යැයි සිතනා නිෂ්පාදනයක යෙදෙන්නට නිදහසක් ලැබෙනා විට ය. එහෙම කළොත් ගැහැණුන් සියල්ලන් ගණිකාවන් වනු හෝ පිරිමින් සියල්ලන් රේස් කාර් ඩ්‍රැයිවර්ලා වෙන්නේ නැත. ස්වභාවයෙන් ඇත්තේ හැම මිනිසෙක් තුලම එයාට පමණක් උත්කෘෂ්ට වූ පරමාර්ථයක් සපුරා ගන්නට වූ උවමනාවකි.

කැමති දැයකට ශ්‍රමය වැය කරන්නට ඉඩ දුන්නාම මත්පැන් පෙරන්නට වැඩියෙන් නැඹුරු වේ යැයි සිතන චින්තනයේ එල්බ ගත් අය නිසා තමයි අස්වාභාවික නීති ගෙනැවිත් මේ තරම් පිරිසක් මේ මේ වැඩ සඳහා යා යුතු යැයි නීති ස්ථාපිතයට සමහර රටවල් ගියේ. අදත් මේ මේ රැකියා අංශ සඳහා මිනිසා පෙළඹවිය යුතු යැයි කියන්නේ. ඔවුනට අවශ්‍ය මිනිසාට තම ශ්‍රමය වැය කරන්නට නිදහසක් ලබා දී, ඒ නිදහස තුලින් නිපැදවෙන නිර්මාණයට අයිතියක් කියන්නට ඉඩක් ලබා දීම නොවේ. මිනිසාගේ නිර්මාණශීලී ශ්‍රමය උදුරා ගෙන මිනිසාව වහල් බවින් තියා ගන්නටය.

බැස්ටියාට් පෙන්වා දෙන්නේ ම්ලේච්ඡයා සිය ශ්‍රමය වැය කර පැල්පතක් ඉදි කරගත්තාම කිසිවෙක් ඔහුට එයට අයිතියක් නැතැයි කියන්නට ගියේ නැති බවයි. ඔහුගේ අයිතිය උදුරා ගන්නට මංකොල්ලා කන්නට ගියවුන් ද අයිතිය ඔහුගේය යන්න පිළිගෙන උදුරාගත් හෝ හොරාගත් අයයි. එනම්, ලිඛිත නීති රීති නොතිබූ යුගයක දේපල අයිතිය ස්වභාවික සංසිද්ධියකි.

හැඩිදැඩි තවත් ම්ලේච්ඡයෙක් පැල්පතක් අටවා ගත් දුර්වල ම්ලේච්ඡයා පළවා හැර දේපල උදුරා ගන්නට ඇති.

ම්ලේච්ඡයන් නොවන අපි අද කළ යුත්තේ කුමක් ද?

බලහත්කාරයෙන් තවකෙකුගේ ශ්‍රමයට තවත් අයෙකුට අයිතියක් කියන්නට හැකි නීති ගෙන ඒම ද?

නැත්නම් තමන්ගේ ශ්‍රමයෙන් නිපැදවෙන දේ තමන්ට අයිතියි කියා තහවුරු කර ආරක්ෂා කර දීම ද?

****

කාටූනය Jerry Holbert විසින් www.townhall.com අඩවියේ පළ කරන ලද්දකි.

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. Anti-Tax Man said, on නොවැම්බර් 29, 2012 at 11:39 පෙ.ව.

    The Tax Poem by Mr. O. M. Weerasooriya
    Thursday, 9th September 2010

    At first I thought this was funny…then I realized the awful truth of it.
    Be sure to read all the way to the end as that`s the punch line!

    Tax his land, tax his bed,
    Tax the table at which he`s fed.
    Tax his tractor, tax his mule,
    Tax his cow, tax his goat,
    Teach him taxes are the rule.

    Tax his work, Tax his pay,
    He works for peanuts Anyway!
    Tax his pants, Tax his coat.
    Tax his ties, tax his shirt,
    Tax his work, tax his dirt.

    Tax his tobacco, tax his drink,
    Tax him if he tries to think.
    Tax his cigars, Tax his beers,
    If he cries tax his tears.
    Tax his car, Tax his gas,
    Find other ways to tax his ass.

    Tax all he has, then let him know
    That you won`t be done, till he has no dough.
    When he screams and hollers
    Then tax him some more,
    Tax him till he`s good and sore.

    Then tax his coffin, Tax his grave,
    Tax the sod in which he`s laid.
    Put these words upon his tomb,
    `Taxes drove me to my doom…`

    When he`s gone, do not relax,
    Its time to apply the inheritance tax.

    Accounts Receivable Tax, Airline surcharge tax
    Airline Fuel Tax, Airport Maintenance Tax
    Building Permit Tax, Cigarette Tax
    Corporate Income Tax, Death Tax
    Dog License Tax, Driving Permit Tax
    Excise Taxes, Federal Income Tax
    Federal Unemployment (UI), Fishing License Tax
    Food License Tax, Petrol Tax ( too much per litre)
    Gross Receipts Tax, Health Tax
    Hunting License Tax, Hydro Tax, Inheritance Tax
    Interest Tax, Liquor Tax
    Luxury Taxes, Marriage LicenseTax
    Medicare Tax, Mortgage Tax
    Personal Income Tax, Property Tax
    Poverty Tax, Prescription Drug Tax
    Provincial Income Tax, Real Estate Tax
    Recreational Vehicle Tax, Retail Sales Tax
    Service Charge Tax, School Tax
    Telephone Tax, Telephone, Provincial and Local Surcharge Taxes
    Telephone Minimum Usage Surcharge Tax, Vehicle License Registration Tax
    Vehicle Sales Tax, Water Tax, Watercraft Registration Tax
    Well Permit Tax, Workers Compensation Tax
    Entertainment Tax,Tourism Promotion Tax
    Value Added Tax ……..

    STILL THINK THIS IS FUNNY?
    Not one of these taxes existed 100 years ago, and our Nation was one of the most prosperous in the world.
    We had absolutely no national debt, had a large middle-class, and Mom stayed home to raise the kids. What in the hell happened?
    Can you spell `Politicians`?

    I hope this goes around SRI LANKA at least 100 times!!!!!

    YOU can help it get there!!!!

    GO AHEAD – – – be a SRI LANKAN !!!!!!!!!!

    SEND IT AROUND EVERYWHERE for a change

    Help make a difference.

    Ayubowan

  2. maathalan said, on නොවැම්බර් 29, 2012 at 11:40 පෙ.ව.

    // නැත්නම් තමන්ගේ ශ්‍රමයෙන් නිපැදවෙන දේ තමන්ට අයිතියි කියා තහවුරු කර ආරක්ෂා කර දීම ද? //

    මානුෂික අයිතිවාසිකම්, මිනිස් අයිතිවාසිකම් ලෙසත්, ප්‍රඥප්තීන් ලෙසත් එන්නේ නීතී “රීතීම” නේද? අරුණි කියන්නේ රීතිය ගැන. නමුත් විනයක් නොමැති ගෝත්‍රික සමාජයක් එදා පැවතුනේත්, අද පැවතෙන්නේත් නීතීන් මගින්ම පමණයි. ඕනම රටක නීතී පද්ධතියක් තියෙනවා නේ. එතකොට කම්කරුවන්ට කම්කරු දිනයක් ලැබෙන්නෙත් ඇමරිකාවේ නේ. එතකොට කම්කරුවන් වෙනුවෙන් නීතී ප්‍රඥප්ති ගේන්නෙත් එයාලම නේ. ඔය කවුරුත් අමතක කරපු කාරණය තමයි ශ්‍රි ලංකාවේ වීදී ගණිකාවන් ලක්වන අසාධාරණ සූරාකෑම සහ අපචාර. ඒ පිළිබඳ වැටහීමක් නොමැතිව ළෝකයේ සුපිරිම රටක එම වෘත්තියේ යෙදෙන්නන් හා ඔවුන් සංසන්ධනය අහසට පොලොව මෙනි.

    අරුණිම පිලිගත්තා මිනිසුන් දුප්පත් වූ කළ මෙන්ම සම්පත් නොලැබීම නිසා ඔවුන් ඉතා ප්‍රචන්ඩ වන බව. ඒම ප්‍රචන්ඩත්වය මැඩ පවත්වන්නේ දරුණු නීතී මගින්. ඔබ ඔය කියනා නිදහස අරාබී ළෝකයේ රටවල තිබුනානම් සිඳුවන දේ මට හිතා ගන්නවත් බෑ.

    • arunishapiro said, on නොවැම්බර් 29, 2012 at 12:11 ප.ව.

      maathalan,

      මිනිස් ස්වභාවයට පටහැනි සේ පනවන නීති, අයිතිය තහවුරු කර ආරක්ෂා කර දෙන්නේ නැහැ.

      මානුෂික අයිතිවාසිකම් …. නීති වලින් කොටසකගේ අයිතීන් පමණයි තහවුරු කරන්නේ සහ ආරක්ෂා කරන්නේ. සැවොමගේ අයිතීන් තහවුරු කළේ සහ ආරක්ෂා වෙන්නේ නැත්නම් ඒවායෙන් ඵලක් නැහැ. එවිට ඒවා හුදු නීති පමණයි. කැමති තරම් හයියෙන් යන්න පුළුවන් ජර්මන් ඔටෝබාන් එකේ කිලෝමීටර් විස්සට පමණයි යන්න පුළුවන් කියල ගහලා තියෙන නීතියක් ගැන හිතන්න. ඒ වගේ නීතියක් අයිතියක් හෝ ආරක්ෂාවක් තහවුරු කරන නීතියක් නෙමෙයි.

      විනයක් පවතින්නේ අයිතිය හා ආරක්ෂාව තහවුරු කරනා වූ නීති වලින් පමණයි. අනිත් ඒවා නිසා වෙන්නේ ජන කොට්ඨාශය කැඩී බෙදී යාමයි.

      නීතිය නෙමෙයි විනය ආරක්ෂා කරන්නේ. පනවා ඇති නීතියෙන් තමනට සාධාරණත්වයක් සැලෙසනවා යැයි නීතිය පිළිපදින මිනිසා පිළිගන්නවා නම් පමණයි විනය පැවැතෙන්නේ.

      විනය නම් වූව තම ගෝත්‍රයේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වූවක් යැයි දැකි නිසා ගෝත්‍රිකයන් විනය තහවුරු කරන, සියල්ලන්ටම එකඟ විය හැකි නීති පද්ධතියක් හදාගත්ත. මුලින් ආවේ විනය. එය රැකගන්නටයි නීතිය අවශ්‍ය වූයේ. එනම් රැකගත යුතු විනය කුමක් දැයි (මිනිස් ස්වභාවය සැලකිල්ලට ගෙන) ඔවුන් අනුමාන කළා. එය රැක ගැනීම සඳහා නීති හදාගත්තා. නැතිව නීතියක් හදාගෙන එයින් විනය රැකේ යැයි හිතුවා නෙමේ.

      කම්කරු දිනයක් අවශ්‍ය ඇයි?!!!!!!! වැඩකරනවා කියල අමතක වෙන නිසා ද?!!!!!!

      //කම්කරුවන් වෙනුවෙන් නීතී ප්‍රඥප්ති ගේන්නෙත් එයාලම නේ.// ??? මේක නම් මාතලන් වහාම ඔයා හොයලා බලන්න අවශ්‍ය දෙයක්.

      //ඒ පිළිබඳ වැටහීමක් නොමැතිව ළෝකයේ සුපිරිම රටක එම වෘත්තියේ යෙදෙන්නන් හා ඔවුන් සංසන්ධනය අහසට පොලොව මෙනි.// මෙහෙම කිව්වම ඔයා ass u me කරනවා මම ඒක ගැන වැටහීමක් නැති අයෙක් කියල. එවිට සිද්ධ වෙන්නෙ ඔයා අපි දෙන්නවාත් අර සටහනේ පින්තූරේ ඉන්න බූරුවෝ කරන එකයි!!! ලංකාවේ වීදි ගණිකාවන්ට අද සලකන විදියට එදා ලෝකයේ සුපිරි රටවලත් සිද්ධ වුනා. ඒ මිනිසුන් එල්බ සිටි වැරදි ආකල්ප නිසා. ඔවුන් ඒ ආකල්ප වලින් යාන්තමින් ගැලවෙද්දී -තවම සම්පූර්ණ නැහැ 🙂 තත්වය වෙනස් වුනා. ඔවුන් ලක්වන අසාධාරණ හා සූරාකෑම හා අපචාර සියල්ලම ඔවුන්ගේ ශ්‍රමයට ඔවුන්ට අයිතියක් නැතැයි කියන පදනමෙන් බිහිවෙන්නක්. ඔවුන්ට තම ශ්‍රමය අයිති නම් අපි එය ඔවුන් වෙනුවෙන් ආරක්ෂා කර තහවුරු කර දිය යුතුයි.

      මිනිසුන් දුප්පත් වෙන්නේ ඔවුන්ට තමන් කැමති උත්සාහයන් හඹා යන්නට ඉඩක් නොලැබෙන විට. තමන් කැමති වෑයමේ ඵල භුක්ති විඳින්න ලැබෙන්නෙ නැතිවිට. එතැනින් පටන් ගන්න. දුප්පත් වුනාම ඔවුන් ප්‍රචණ්ඩ වෙනවා. ප්‍රචණ්ඩත්වය නීති දැම්මාට නැතිවෙන්නේ නැහැ. අරාබි ලෝකයේ ජනතාවට තමන්ගේ ශ්‍රමයෙන් තමන් කැමති සේ කටයුතු කරන්නට ලැබි ඉතිහාසයේ දී ඔවුන් යුරෝපීයයන්ටත් වඩා සශ්‍රීක වූවා. කියවන්න 1500 දී ඔටෝමාන් අධිරාජ්‍යය.

      • maathalan said, on නොවැම්බර් 29, 2012 at 10:32 ප.ව.

        මුලින් විනය ඇතිවී පසුව නීතිය ඇතිවූවා යන්න මට පිලිගන්න අමාරුයි නෝනේ. බරක් ඔබා මාමා අද ඇමරිකාවේ ජනධිපති, ඒත් වහල් සේවය නැවත්වූයේ ඒබ්‍රහම් ලින්කන් මහත්තයා නීතී ගෙනත් නේද..

        අනික් කාරණය. එතකොට අරාබිවරුන් අද මෙතරම් දරුණු මනුෂ්‍ය කොඨ්ඨාශයක් බවට පත්වන්නේ ඇයි…? පහදා දේ යයි සිතමි…

        • arunishapiro said, on නොවැම්බර් 29, 2012 at 10:57 ප.ව.

          maathalan,

          විනය කියන එක යම් පිරිසකගේ ආරක්ෂාව හා පැවැත්ම සඳහා අවශ්‍ය වූවක්. ගෝත්‍රික ජනතාව තමන්ගේ ගෝත්‍රයේ ආරක්ෂාව හා පැවැත්ම රැකෙන්නේ විනයානුකූලව සිටියාම නිසා කියා ඒ සඳහා නීති පද්ධතියක් හදාගත්තේ. ඇමෙරිකාවේ තිබිච්ච වහල් සේවය එදා ලෝකයේ බොහෝ රටවල දකින්නට තිබියක්. 1776 දී නිදහස් ප්‍රඥප්තියෙන් “සෑම මිනිසෙක්ම එක හා සමාන අයිතීන් වලින් යුතු වේ” යැයි ලියැවුනේ. එහෙම දැයක් ලෝකයේ වෙන කිසිම රටක නොලියැවෙච්ච කාලයක්. ඇමෙරිකාව යනු එක ‘ගෝත්‍රයක්’ යටතට ගෙනෙන උත්සාහය එහි නිදහස් ප්‍රඥප්තියෙන් ආරම්භ වෙන්නෙ. ප්‍රථම ජනාධිපති ජෝර්ජ් වොෂිංටන් ඉන්න ඉන්න කියැද්දී තනතුර දාලා ගෙදර යද්දී කිව්වේ මේ වහල් ක්‍රමය අහෝසි කරන එක නොකළොත් අනාගතයේ දැඩි ප්‍රශ්න මතු වෙනවා කියලයි. ඔව්, ඒබ්‍රහම් ලින්කන් තමයි එයට අහෝසි කරන නීති වලට මූලිකත්වය ගන්නෙ. නමුත්, බලන්න ඇමෙරිකාවේ ආරම්භයේ දී සිටම ඒ ගැන අප්‍රසාදයක් හා වහල් ක්‍රමය අහෝසියට කැප වූ වහල් නොවූ අය සිටි බව. එනම්, වහල් ක්‍රමයේ අහෝසිය වහලුන් තුලින් හටගත් විප්ලවයකින් සිද්ධ වෙච්ච දෙයක් නෙමෙයි. එයට ප්‍රමුඛත්වය ගත්තේ රටේ ආදී පීතෘවරුන් විසින්මයි.

          අනිත් කාරණයට පිළිතුර සරලයි. ඔවුන්ට තම උවමනාවන් මොනවා දැයි සොයා ගන්නට, ඒවා හඹා යන්නට, තමන් විසින් වෙහෙසන උත්සාහයේ ඵල තමන් කැමති ආකාරයෙන් භාවිතයට ඉඩක් ඇති වාතාවරණයක් නැතිකම. ඔටෝමාන් අධිරාජ්‍යයේ සශ්‍රීක සමය එවැනි අවස්ථා ඔවුනට තිබි කාලය වූවා. මිනිස්සු සශ්‍රීක වෙද්දී බලතණ්හාධිකයන් කරන්නෙ මොකක් ද? සශ්‍රීක මිනිසාගේ වෑයමෙන් තම අභිප්‍රායන් සපුරා ගන්නට ඔවුන්ව රවටා වහලුන් කරගැනීමයි. එය ඉතිහාසය පුරා, නොයෙක් වේෂ වලින්, නොයෙක් වාද වලින්, නොයෙක් රට වලින් දකින්නට හැකියි. පරපෝෂිතයන් සාරය උරා ගන්නා විට වෙහෙසෙන මිනිසා කෙමෙන් කෙමෙන් උත්සාහය අත් හැරලා දානවා. සිද්ධ වෙන්නේ කුමක් දැයි වටහා ගන්න බැරිව බහුතරය පරපෝෂිතයන් වෙනවා. ප්‍රචණ්ඩත්වය රජ කරනවා. රාජ්‍යය කඩා වැටෙනවා.

  3. wicharaka විචාරක said, on නොවැම්බර් 29, 2012 at 11:59 පෙ.ව.

    වීරසූරිය මහත්තයාගේ කවි වලින් ඔක්කොම කියලා තියනවා. අපිට කියන්න තියෙන්නේ නිවන් දකිත්වා අපගේ ජනනායක කැළ (රැළ?) කියලා තමයි.

  4. R.p. Susantha said, on නොවැම්බර් 29, 2012 at 11:07 ප.ව.

    මම 100% එකඟයි. හැබැයි අර නාත දෙවියන්ගේ සොයා ගැනීම් සහ නවතම නාටකය ඩෙංගු උණ ට (රක්තපාතයට නෙමේ.) ප්‍රතිකාර වගේ සොයා ගැනීම් ගැන නම් අනේ මන්ද? සමාජයේ ප්‍රගමනයට හේතු වන සොයා ගැනීම් වල ප්‍රතිලාභ කාටත් ( නිර්මාණකරු සහ භුක්ති විඳින්නන් ) ලැබිය යුතුයි. සමාජය සහ වගකිව යුත්තන් (රජයම පමණක් නොවෙයි පුද්ගලික අංශ පවා.) ඒ දිරිමත් කළ යුතුයි.

    • arunishapiro said, on නොවැම්බර් 30, 2012 at 8:25 පෙ.ව.

      R.p. Susantha,

      //හැබැයි අර නාත දෙවියන්ගේ සොයා ගැනීම් සහ නවතම නාටකය ඩෙංගු උණ ට (රක්තපාතයට නෙමේ.) ප්‍රතිකාර වගේ සොයා ගැනීම් ගැන නම් අනේ මන්ද?// අන්න එතැන දී අපි මෙයට අකමැතියි ඒ නිසා එය වළක්වන්නට නීති ගෙන ආ යුතුයි කියද්දී තමයි නොයෙක් බෙදුම්වාදීන්ට සමාජයක් බෙදන්නට හා එකිනෙකා හා උරණ කරන්නට අපි ඉඩදෙන්නේ. මෙහි දී ඕනෑම මගෝඩියක් කරන්න ඉඩ දෙනවා කියල වැරදියට හිතන්න එපා. දැනට තියන ස්වභාවික පදනමෙන් බිහි වූ නීති බොහොමයක් මගෝඩි වළක්වන්න හදා තියෙන ඒවා. ඒවා ක්‍රියාත්මක නොවෙන්නේ නීති කඩන සමහර අයට පමණක් ආණ්ඩුවේ ආරක්ෂාව ලැබෙන නිසා නැත්නම් අලුත් නීති ගෙනැවිත් නීතිය විකෘති කරන ලද නිසා. ස්වභාවික පදනම නොසලකන නීති අහෝසි කළාම ඇති.

      සමාජයේ ප්‍රගමනයට කුමක් දායක වෙනවා ද කියල තීරණය කරන්නෙ හැම ගණුදෙනුවක්ම කරන ඒකීය පුද්ගලයෙක් විසින්. කිසිවෙක් දැනුවත්ව තමන්ට අහිතකර වූ තීරණයක් ගන්නේ නැහැ. සිරිසඟබෝ හිටියෙත් එක්කෙනයිනේ!!! විකෘති නොකර සමාජයක සැමට එක හා සමාන නිදහසක් තියෙද්දී ඒකීය පුද්ගලයන් රාශියක් තම යහපත අරමුණු කරගෙන ගන්නා ක්‍රියාකාරකම් රට ප්‍රගමනයට හේතු වෙනවා. කවුද හරි කවුද වැරදි කියන එක අවසානයේ තීරණය කරන්නේ පාරිභෝගිකයා නොහොත් යම් භාණ්ඩයක් හෝ සේවාවක් මිල දී ගන්නා අය විසින්. කොච්චර නීති ගෙනාවත් පාරිභෝගිකයා යම් ගුණ්ඩුවකට රැවටෙන එකෙන් වළක්වා ගන්න බැහැ. වෙළෙන්ඳා රවටන්නෙ නැත්නම් ආණ්ඩුව පාරිභෝගිකයාව රවටනවා!!!! ඉතින් මිනිස් ස්වභාවය සහ ලෝක ස්වභාවය සැලකිල්ලට ගනිද්දී, සමාජයේ ප්‍රගමනයට වඩාත්ම කාර්යක්ෂම වූ පිළිවෙත තමයි නිර්මාණකරුට සහ භුක්ති විඳින්නාට ගණුදෙනුවක් කරන්නට ඉඩ දීම.

      කිසිම ක්ෂේත්‍රයක් දිරිමත් කරන්නට ද අවශ්‍ය නැහැ. එහෙම උත්සාහ ගනිද්දී හැම විටෙක ම සිද්ධ වෙන්නේ වෙනත් ක්ෂේත්‍ර පරිහානියට යෑම. මිනිස්සුන්ගේ ඕනෑ එපාකම් විවිධ විෂම වූ නිසා හැම ක්ෂේත්‍රයකට ම සමාජයේ ඉඩක් ස්වභාවයෙන් ම තියෙනවා. ඒකීය මිනිසුන් කරන ගණුදෙනු මත තම තම සුභ සිද්ධිය සලසා ගන්නට සෑම මිනිසෙක් ම දරන උත්සාහයේ දී හැමෝම දියුණුවට පා තබනවා.

  5. magenama said, on නොවැම්බර් 30, 2012 at 12:57 පෙ.ව.

    මම taxation ඉගෙන ගනිද්දි තිබුනේ යුරෝපයේ පැන නැගුනු යුද්ධ වලට වියදම් හොයා ගන්න මේ බදු කියන විෂය සහ සංකල්පය ලෝකයට ආවා කියලා. ඇත්තටම ඒකේ ‍තෝම්බුව හොයනවට වඩා දේවල් පාඩම් කරන්න තිබුනු නිසා මම ඒක පස්සෙ එච්චර ගියේ නැහැ,හැබැයි ලංකාව ඔය කියන මහා ඉසුරුමත් යුගවලදි පවා බදු අය කරලා තියෙනවා, රජ කාලෙදි මතෙර,මජිදක ආදී බදු වර්ග අයකරලා තියෙන බවක් තමයි මම අහලා තියෙන්නෙ. නමුත් ලංකාවෙ අද වන විට ඉන්ධන වලට සුරා බදුත්(?) ගහනවා.දන්න තරමින් මොනැකෝව කියන රටේ ආදායම් බදු අය කරන්නෙ නැතිලු.

    • arunishapiro said, on නොවැම්බර් 30, 2012 at 8:46 පෙ.ව.

      magenama,

      මිනිසා නිර්මාණයක් බිහි කරන්න පටන් ගත් දා සිට කවුරුන් හෝ පීඩකයෙක් පැත්තක ඉඳන් නිර්මාණකරුවාගේ නිපැයුමෙන් කොටසක් කඩාගන්න බලාගෙන සිටියා. ජර්මනියේ වීස්බාඩන් නරගය පැත්තෙ ගඟක් මැද්දෙ හදපු බලකොටුවක්/මාලිගාවක් තියෙනවා. එහි ඉතිහාසය තමයි ගඟේ යන වෙළඳබඩු පාරැ වලින් බදු අය කිරීම සඳහා ඉදි කර තිබීම. බද්ද නොගෙව්වොත් පොල්ලෙන් ගහලා ගඟට දැම්මලු!!! බදු කියන්නේ ම්ලේච්ඡ වූ හැසිරීමක්!!!!!

      ලංකාවේ පරාක්‍රමබාහු රජ සමයේ තිබි ආර්ථක ප්‍රතිපත්ති ගැන අගනා ලිපියක් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා Economic Policies of Parakramabahu the Great: What lessons are there for today? යන සිරස්තලයෙන් My View: Economics Matters තීරුවට ලියා තියෙනවා. එය සිංහලෙන් කොතැනක හෝ පළ වී නැත්නම් මම ඔහුගෙන් අවසර ගත හැකිනම් එහි පරිවර්තනයක් ඉදිරි දවසක මේ අඩවියේ දාන්නම්. අපේ වාමාංශික සහෝදරයන් මට මේ අඩවියේ සුද්දෝ මධ්‍යසාරය ගෙනැවිත් සිංහලයාව ඇබ්බැහි කළා කියලා අවලාද කියා තිබුණ. බලාගෙන ගියාම පරාක්‍රමබාහු රජ්ජුරුවෝනේ 1154 දී මධ්‍යසාර වෙළඳාමේ යෙදිලා තියෙන්නේ පර සුද්දන් ලංකාවට එන්නත් කළින්ම!!!

      ඔව්, මොනාකෝ වල ආදායම් බදු නැහැ. ඒ වගේම රැකියා හිඟයක් ද නැහැ. Total area: 1.98 km2. Though official economic statistics are not published, year 2011 estimates place the national product at $6.888 billion and the world’s highest per capita income is $186,175. The unemployment rate is 0%, as of 2011. –wikipedia


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: