හිතාමතා කරන ක්‍රියාවන් සහ නොසිතා කරන හැසිරීම
හිතාමතා කරන ක්‍රියාවක් යනු අයෙක් කුමන හෝ හේතුවක් නිසා තෝරා ගත් යම් ඉලක්කයක් කරා යන උත්සාහයයි. නොසිතා කරන හැසිරීම නම් ගිනි දැල්ලක් යැයි දැනුනු විගස හනිකට එතැනින් අත ඉවතට ගැනීම වැන්නකි. දොස්තරවරයෙක් දණහිසට තට්ටු කරද්දී කකුල ඉබේම ගැස්සීම ද එවැන්නකි. පාකින්සන්ස් රෝගය නිසා චලනය සහ වලිප්පුව ද නොසිතා කරන හැසිරීම් වලට තවත් උදාහරණ වෙති.
ගැඹුරින් හෝ තාර්කික විචාරයකින් නොයුතු වුවත් මිනිසා වැඩියෙන් කරන්නේ හිතාමතා කරන ක්රියාවන්ය. සමහර ක්‍රියාවන් දකිද්දී හිතා බැලුවා දැයි සැක හිතුණත් කරන ලද්දා වූ ඒ අවස්ථාවේ දී එය හිතාමතා කරන ලද්දකි. සමහර අයට වැඩේ කරන අතරමැද දී වැඩේ වැරදෙන බව වැටහේ. තවත් අය වැඩේ වැරදුනත් වැරදුනේ කෙසේදැයි නොදන්නෝය.
අර්ථ ශාස්ත්රයේ දී අදාල වෙන්නේ මිනිසුන් විසින් හිතාමතා කරන ක්‍රියාවන් පමණි. එය පරම මිනිසෙක් ගැන හෝ සර්ව සම්පූර්ණ මිනිසෙක් ගැන විමසුමක් නොවේ. එසේම එය අද්වීතිය අර්ථ ශාස්ත්‍රීමය මිනිසෙක් ගැන වූවක් ද නොවන්නේය. මිනිසා තමාට උරුම වූ හෝ හුරු වූ දුර්වලකම් තුලින්, අඩුපාඩු සමඟින් ජීවත්වෙන හා කටයුතු කරන ආකාරය අර්ථ ශාස්ත්රයේ විෂය වෙයි. එහෙම කියන්නේ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍ර සම්ප්රදායයේ ලුඩ්විග් වොන් මීසස් ලියූ ‘මිනිස් ක්‍රියාකාරකම්’ නොහොත් Human Action (1998) පොතෙහිය.
අර්ථ ශාස්ත්‍ර න්‍යාය සකස් කරනා අය මුහුණ පාන දැවැන්ත ගැටළු දෙකකි. ස්වභාවික විද්‍යාවන් වල දී මෙන් නොව අර්ථ ශාස්ත්රයේ දී ඔවුන් කතාබහ කරන විෂයට ප්‍රධානියා වෙන්නාට ඒකීය වූ මනසක් ඇත. ලෝකය දිහා බලන ස්වභාවික විද්‍යාඥයෙක් වෙනස් නොවන එකම ස්වභාවයෙන් යුතු වූ භෞතික වස්තූන් අධ්‍යයනය කරයි. අර්ථ ශාස්ත්‍රඥයෙක් සවිඥානික ඉලක්ක ඇති, හිතන්නට පුළුවන් මොළයක් ඇති අයෙකුගේ චර්යාව අධ්‍යයනය කරයි. ඒ නිසා පාලනයකින් යුතුව කරන පර්යේෂණ ඉතා අසීරුය. එහෙත්, මෙහි දී සුවිශේෂීත්වය නම් අර්ථ ශාස්ත්‍රඥයාට ද හිතන්නට පුළුවන් මොළයක් තිබීමයි. එය භාවිතයට ගැනීම නොගැනීම වෙන කතාවකි!!!!!
යම් ධර්මයක පරස්පර සම්බන්ධයක් ඇත්තේ නම් එකක් ගැන කියද්දී අනෙක ගැන ද අනුමාන වෙයි. අම්මා යැයි කියද්දී දරුවෙක් ගැන ද අනුමාන වෙයි. ප්‍රඥාව ගැන කියද්දී අඥාන අය ඇතැයි ද අනුමාන වෙයි. පෝසත් අය ගැන කියද්දී දුප්පත් අය ද සිටිනවා ඇතැයි අනුමාන වෙයි. එකක් ඇතිව අනෙකේ පැවැත්මක් නැත. එහෙත් ලෝකයා හිතන්නට හුරු වී ඇත්තේ දුප්පත්කම, අඥාන බව හා දරුවන් ඒවායේ පරස්පර සම්බන්ධය නොමැතිව ඇතැයි කියාය. දුප්පතුන් නැති ලෝකයක්, අඥානකම දුරු කරන ලද සමාජයක් හා අම්මලා නැති දරුවන් බිහි කිරීම ගැන සිහින මවනා අය අදත් සිටිති.
යම් කොටසක් ගැන සලකා එහි සම්පූර්ණත්වයට කිසිම සැලකිල්ලක් නොදක්වා කරන්නා වූ විමසිල්ලේ දී කොටස පමණක් තනියෙන් පවතින්නක් ලෙසින් සලකන්නට මිනිසා හුරු වී ඇත. එවිට එහි සබඳතාවයන් හි පැවැත්ම ගැන ද ඇත්තේ සාවද්‍ය වූ වැටහීමකි. අම්මා කෙනෙකු ගැන කිසිත් සැලකිල්ලක් නොදක්වා දරුවෙකු ගැන පමණක් සැලකීම සම්පූර්ණත්වයට කිසිම සැලකිල්ලක් නොදී කොටස ගැන කතා කිරීමකි. කොටසක් ගැන කතා කිරීමට පෙර සම්පූර්ණ වූව කුමක් දැයි කියා වැටහීමක් ලබාගත යුතුය.
මෝටර් රථයක් කිසිදා නොදැකි ම්ලේච්ඡයෙකුට රෝදයක් පෙන්වීමෙන් ඒ ගැන පමණක් වාහනයේ ක්‍රියාකාරීත්වය ගැන අදහසක් නොලැබේ.
සියල්ල කියවන්නේ නැතිව එහෙන් මෙහෙන් කියවා පොතේ කිව්වේ කුමක් දැයි අදහසක් ලබාගත හැකි යැයි සමහර ‘විද්වත්’ අයගේ මතයයි. අයෙක් කරනා කියනා කටයුතු සම්පූර්ණයෙන් සැලකිල්ලට නොගෙන එක් ක්‍රියාවක් දිහා බලමින් යම් තක්සේරුවක් කිරීමේ දී දැනුමක් ලැබෙන්නේ ඒ කොටස ගැන පමණි. සම්පූර්ණත්වය නොවේ.
අයෙක් කියන වාක්‍යයක කොටසක් පමණක් ඇසී කිව්වේ කුමක්දැයි වැරදියට වටහා ගත් අවස්ථා කොතරම් ලොව ඇත් ද?!!!!
පැමිණිල්ල පමණක් අසා විනිශ්චයක් දුන්නොත් නඩුකාරයන් උසාවියට එන හැමෝවම දඟ ගෙයට යවනු ඇත් ද? විත්තිකරුට ඉඩක් නැත්නම් අනික් පැත්ත අහන්නට කිසිවෙකුට ලැබෙන්නේ නැත. හැම පැමිණිල්ලක් සඳහා ම විත්තිකරුට අවස්ථාවක් ලබා දෙන්නේ සම්පූර්ණ සිද්ධිය කුමක් දැයි සොයා වරදකරුවෙක් වේදැයි නැද්දැයි සොයා දැන ගැනීමට. තවත් විදියකින් කිව්වොත් දෙපැත්ත අහන්නේ සත්‍යයෙන් සිද්ධ වූයේ කුමක් දැයි යම් තරමකට හෝ සොයා ගැනීමටයි. ප්‍රඥාව අවශ්‍ය වන්නේ සත්‍යය සොයා ගැනීමටය.
අද බහුතරයක් හුරු වී සිටින්නේ කොටසක් දිහා බලා එහි අඩුපාඩු පමණක් සලකා, ප්‍රඥාව භාවිතයට නොගෙන හිතාමතා කරන කටයුතු වල නිරත වීමයි.
එහෙත් සත්‍යය කුමක් දැයි සෙවිල්ලක් බැලීමක් නොමැතිව වුවත් හිතාමතා කරන ක්‍රියාවන් ආර්ථිකයට බලපායි. එහි දී අපි ප්‍රඥාව ඇති අය කරන කටයුතු නිසා ඉදිරියට යමු. අඥාන අය කරන කටයුතු නිසා ආපස්සට යමු. ඒකීය මිනිසා සමාජයේ කොටස්කාරයෙක් වෙයි. ඒකීය මිනිසා නිසා සමාජයක් බිහිවේ. සමාජය මිනිසාට ද මිනිසා සමාජයට ද අනෝන්‍ය ලෙසින් බලපායි. එනම් මිනිසා හා සමාජය පරස්පර සම්බන්ධතාවයකින් යුතුව ජීවත් වන්නෝය.
ත්‍රස්තවාදියෙක් බෝම්බයක් පුපුරැවා හරින කළ කොතරම් ප්‍රඥාවන්ත වූ අයෙක් එතැන සිටියේ ද එයා බෝම්බයට හසු වී මිය යයි හෝ තුවාල ලබයි. වෛද්‍යවරයෙක් සිය ජීවිත කාලයෙන් වැඩි හරියක් ගෙවා රෝගයක් සුව කරන විධියක් සොයා ගන්නට කැප වූ නිසා ඔහු ජීවතුන් අතර නැති කාලයේ දී පවා මිනිස්සු එම ප්‍රඥාව භාවිතයට ගෙන නිරෝගී වෙති. මෙහි දී බෝම්බයට හසු වී මිය ගියා වූ අය සම්පූර්ණත්වය ගැන දැනුමක් නැත්තෙකු විය හැකියි. එසේම නිරෝගී බව ලබන්නා ද සම්පූර්ණත්වය ගැන දැනුමක් නැත්තෙකු විය හැකියි. එහි දී කොටසෙන් ඵල විපාක ලබද්දී සම්පූර්ණත්වයක් ඇති බව දැකීම සාමාන්‍ය මිනිසා විසින් අමතක කරන ලද්දයි.
ප්‍රඥාව කුමක් දැයි, අඥාන බව කුමක් දැයි විමසීම ඒ නිසා ඒකීය මිනිසාට වැදගත්ය. හිතාමතා කරන කියන කටයුතු වල දී (අපි කරන බහුතරය හිතා මතා කරන කටයුතු වෙති) ඒවා තමන් සම්පූර්ණත්වය නොදත්ත ද තමන්ගේ පොකැට්ටුවට බලපාන බව සිතන්නට හුරු වීම පැවැත්ම සඳහා වැදගත් ය.
බහුතරයක් අද සිතාමතා කරන ක්‍රියාවන් දකින්නේ නොසිතා කරන දණහිසට පහර වැදුනාම කකුල උස්සන ක්‍රියාවන් සේ කියාය. තමනට ඒ ගැන කිසිත් පාලනයක් නැතැයි සිතති. ඒ නිසා වගකීමක් ද නැතැයි සිතති.
දේශපාලනඥයන් හා සැලසුම් සම්පාදකයන් ද අද සම්පූර්ණත්වය නොසලකා, එහෙත් හිතා මතා ප්‍රතිපත්ති ගෙනෙන්නට ද හුරු වී සිටිති.
****
ඉහත පින්තූරය ගූගල් ඉමේජස් වලින්.
ඉච්ඡානුක හා අනිච්ඡානුක ක්‍රියා 🙂
අපේ දේසපාලුවෝ ඔක්කොම අනිච්ඡානුක ක්‍රියා කරන්නේ :))
sAm,
දේසපාලුවෝ විතරක් නෙමෙයි SAm හොයලා බලද්දී බහුතරයක් මිනිස්සු ඉච්ඡානුකව කරන්නෙ අනිච්ඡානුක වැනි ක්‍රියාවන්. ස්තූතියි වචන දෙකට ම.
දේශපාලකයන් නම් සියල්ලන්ම අද සිත නැති, කය පමණක් ඇති හිස් මිනිසුන් බව ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් සිටින බව මම ද කියමි. ඒත් ප්‍රශ්නෙ අක්කා කියනව වගේම මේ සියලු ක්‍රියා දහස් ගණනකගේ කොටින්ම ජාතියක සියලුම ක්‍රියාකාරීත්වයත් සමග තදින් බද්ධ වී තිබීමත්, ඒ ක්‍රියා නිසා සිදුවන සියළු ව්‍යසනයන්ට පොදුවේ සියල්ලන්ටම සාමූහිකව වග වීමට සිදුවීමත්ය.
R.p. Susantha,
ඔවුන් එහෙම කරලා තියෙන්නෙ වෙන කවුරුත් නෙමෙයි මේ අපිම තමයි මල්ලි. ඉතින් ඔවුන් වෙනස් කර ගැනීමත් අපි ම කළ යුත්තක්.
// බහුතරයක් අද සිතාමතා කරන ක්‍රියාවන් දකින්නේ නොසිතා කරන දණහිසට පහර වැදුනාම කකුල උස්සන ක්‍රියාවන් සේ කියාය. තමනට ඒ ගැන කිසිත් පාලනයක් නැතැයි සිතති. ඒ නිසා වගකීමක් ද නැතැයි සිතති. //
මේක ඔබ තුමියගේ කියමනක් නම්. අනිවාර්යයෙන්ම දාර්ශනික කියමනකි….
මාතලන්,
ඔය ඇබිත්ත පැහැදිලි කිරීම අද ලෝක සමාජ හුරුව දිහා බලා කරන ලද මගේ දැක්වීමක් වුනත්, ඊට පදනම ලැබෙන්නෙ ලුඩ්විග් වොන් මීසස් ගේ “මිනිස් ක්‍රියාකාරකම්” දර්ශනයෙන්. පොත 1949 දී ප්‍රකාශිත වූවක්. මා කියෙව්වේ 1998 මුද්‍රණයයි.