අරුණි ශපීරෝ‍ වෙතින්

ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරන්න බැහැයි කියන Khozraschyot සංකල්පය

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 5, 2012

රැසියාව ‘සෝවියට්’ වෙන්නෙ ලාබ ඉපැයීම හෙළා දකින්නට පෙරමුණු ගත්, ‘බහුතරය’ (bolshinstvo) නම් රුසියන් වදනින් හැදෙන, බොල්ෂෙවික් අයගේ නායකත්වය යටතේ.

රුසියන් බසේ ‘කුලාක්’ යන්නේ අරුත ‘මිට මොළවා ගත් අත’ යන්නයි. 1906 දී පමණ පටන් ගත් ස්ටෝලිපින් ප්‍රතිසංස්කරණ නිසා වැඩවසම් ආර්ථික ක්‍රමයක සිටි රුසියන් අධිරාජ්‍යයේ වෙහෙස මහන්සියෙන් උත්සාහයක් ගත් ස්වාධීන පිටිසරබද ගොවියන්ට ධනවත් ඉඩම් හිමියන් වෙන්නට හැකියාව ලැබුණි. ඔවුන්ව හැඳින්වෙන්නට පටන් ගත්තේ ද ‘කුලාක්’ නමින්.

එසේ ධනවතුන් වූ ‘කුලාක්’ අයව මාක්ස්-ලෙනින් දේශපාලනයේ දී දුප්පත් ගම්වැසියන්ගේ පංති හතුරන් යැයි ලේබල් ඇලවුණා. ලෙනින් පැහැදිලි කළේ රුසියාවේ කෘෂිකාර්මික නොවූ පළාත් වල අය බඩගින්නේ සිටිය දී ඉඩම් හිමි ගම්බද ධනවතුන් තම අතිරික්ත ධාන්‍යයෙන් ලාබ උපයන, සූරාකෑමෙන් පෝසත් වූ අය හැටියට. ලේ උරා බොන්නෝ, වැම්පයර්ස්ලා, ජනතාව කොල්ලා කන්නෝ, සාගතයෙන් තරබාරු වෙන්නෝ යනාදී පාච්චල් කරන්නට යොදාගන්නා නම් තමයි ව්ලැඩමියර් ලෙනින් ඔවුන් හඳුන්වන්නට යොදා ගත්තේ.

විචාරාත්මක තර්කය නොහැකි විට සහ සාධක දක්වන්නට බැරි වුනාම සමාජවාදීන් අදත් කරන්නෙ විරුද්ධ පක්ෂයට ලේබල් ඇලවීමයි.

අයිතියක් කියන්නට හිමිකම ලැබෙන්නේ ශ්‍රමය වෙහෙසා නිර්මාණයක් නිපැද වූ නිසා නෙමෙයි යන්නයි මුලින්ම බහුතරයට ගිල්ලවන බොරුව. උපන් පමණින් අනුන් නිපදවන දැයට අයිතියක් ඇතැයි කියන මුලාව පතුරවන්නේ එයට ගොදුරු වෙන බහුතරයගේ කැමැත්තෙන් කිහිප දෙනෙක් විසින් සියලු සම්පත් අයිතිය අල්ලා ගන්නටයි. චතුර කථිකයන් විසින් අනගි වාග් කෞශල්‍යයෙන් කිසිදාත් සාක්ෂාත් කළ නොහැකි උදාර චේතනා එදා සෝවියට් රුසියානුවන්ට පාරට්ටු බෑහ. දුප්පත් බහුතරය ඔවුන්ට වස්තු සම්පත් නැති එකම හේතුව ධනවතුන් වස්තුව පොදි ගහ ගත්තු නිසා යැයි කියන පට්ටපල් බොරුව ගිල්ලහ.

තමනට අවස්ථාවක් දුන්න හොත් තමන්ට ද ධනවත් වන්නට හැකියාවක් ඇති බව කුලාක් විසින් ඒ වන විටත් ඔප්පු කර ඇතැයි දකින්නට නොහැකි තරමට සමාජය විකෘති කර ද්වේෂයන් පුරවන්නට බොල්ෂෙවික් බලතණ්හාධිකයන්ට හැකිවුණි.

ඒත් පාරට්ටු (boasting) වලින් පමණක් බහුතරයට කන්න අඳින්න ඉන්න හිටින්න දෙන්න බැරි බව වැඩිකල් නොයා අත් දකින්නට ලැබෙද්දී බහුතරයට සුව සෙත සලසන නාමයෙන් බොල්ෂෙවික් අය බහින්නේ උත්සාහයක් ගන්නා අයට පාරම්බාන්නටයි (threaten).

කුලාක් අය කැමති වූයේ නැහැ ඈත පිටිසර දුෂ්කර පළාත් වල ගිහින් පටන් ගත්තු තම වගාබිම් සශ්‍රීක වෙද්දී ආණ්ඩුව ඇවිත් තම ඉඩම් ජනසතු කරනවාට. ඔවුන් කැමති වුනේ නැහැ තම ධනය ආණ්ඩුව කියන විදියට ආයෝජනය කරන්නට. ඒ වගේම ආණ්ඩුව කියන විදියට වගා කරන්නට. අනෙක, ආණ්ඩුව කියන විදියට පඩි ගෙවන්නට. ලාබ හොයන ගොවිතැන් කරන්න ඉඩක් දෙන්නෙ නැත්නම් මැරී යන එක වඩා හොඳයි කියා කුලාක් රුසියානුවන් බොල්ෂෙවික්ලාට එරෙහිව තමන්ගෙ උදළු තල, කැති පොරොව සහ දඩයමේ යන තුවක්කු උස්සා ගත්තා.

බහුතරය නොහොත් බොල්ෂෙවික් අය රටේ පාලන බලය අල්ලා ගත්තාම පංති හතුරන් යැයි හංවඩු ගැසි කුලාක් අය මරා දමන්නට නියම වෙනවා. ඒ 1930 ජනවාරි 30 වැනිදා.

මුලින් ම කුලාක් අයව ගුලාග් වලට යවනවා. ගුලාග් කියන්නේ බලහත්කාරයෙන් වැඩ ගන්නා සිර කඳවුරු. 1930 අප්‍රේල් 25 වැනිදා සිට 1960 ජනවාරි 13 දක්වා රුසියාවේ මේ සිර කඳවුරු ක්‍රියාත්මක වූවා. අද රුසියාවේ උත්තර ධ්‍රැවයේ පිහිටන ප්‍රධාන කාර්මික නගර ඉදි වූයේ එදා සිරකරුවන් හා පසුව නිදහස් වූ සිරකරුවන් අතින්. මිලියන 14 ක ජන සංඛ්‍යාවක් මේ ගුලාග් ශ්‍රම සිරකඳවුරු වලට 1929 සිට 1953 අතර කාලයේ දී ගිහින් තියෙනවා. මිලියන දහයකට වඩා මිනිස් ජීවිත සංඛ්‍යාවක් අහිමි වෙන්නේ ගුලාග් වලින් බව වාර්තා වෙනවා.

ඊට අමතරව කුලාක් අයව යූරල් කඳුවැටියේ උතුරු පෙදෙස් වලටත්, කසකස්ථානයටත්, තම දිස්ත්‍රික්කයේම දුර බැහැරටත් පළවා හැරීම හා පිටුවහල් කිරීම් සිද්ධ වෙනවා.

වැඩියෙන් ම සිරගත කරන්නේ හා වෙඩි තබා මරා දමන්නේ පිරිමි කුලාක් අයවයි. Aleksandr Solzhenitsyn වාර්තා කරන්නේ මිලියන 60 ක් පමණ කුලාක් අය මරා දැමුණු බවයි.

පංති හතුරන් වූ කුලාක් අයගේ ඉඩම් ජනසතු කළාම රුසියාවේ කෘෂිකාර්මික නොවන පැතිවල ඉන්නා හැමෝටම කන්න දෙන්න පුළුවන් යැයි, ජීවත්වෙන නිසා අයිතියක් ඇතැයි සිතන එහෙත් නිර්මාණයක් කරන්නට ශ්‍රමයක් වෙහෙසන්නේ කවුදැයි හා ඒ මන්දැයි විමසන්නට නොදන්නා බොල්ෂෙවික් අරගලය තරයේ ම විශ්වාස කළා.

ඉතින්, නිෂ්පාදනය, නිෂ්පාදන විජට්ටු හා නිෂ්පාදන භූමිය උදුරාගත්තට, ධනපතියන් භංග කරාට, සාගතය නැතිවෙනවාට සාගත තවත් වැඩි වී යාමයි සිද්ධ වූයේ.

ඉඩම් හිමියන් මරා දැමුවාම කවුද වගා කරන්න ආයෝජනය කරන අවදානම ගන්නේ?

කවුද දුප්පතුන්ට වගා කරනවාට වේතන ගෙවන්නෙ?

කවුද වගා කරද්දී ඇතිවෙන කෘෂිකාර්මික ගැටළු විසඳන්න දන්නෙ?

කවුද ආහාර බෙදා හරින ක්‍රම දන්නේ?

කවුද අතිරික්ත ධාන්‍ය ගබඩා කරන හැටි දන්නෙ?

ඉතින්, 1921 දී නව ආර්ථික පනත (Novaya Ekonomicheskaya Politika) ගෙනැල්ලා රාජ්‍ය ධනවාදයක් ස්ථාපිත කරන්නෙ ව්ලැඩිමියර් ලෙනින්. ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරන්න බැහැයි කියන Khozraschyot සංකල්පයට ඉඩක් දෙන්නට ඔවුනට සිද්ධ වෙනවා.

නෙප්මෙන් (NEPmen) නමින් වූ මේ නව ආර්ථික පනත අනුව ලාබ සොයන්නට ඉඩක් දුන්නු අයගේ මහන්සියෙන් තමන්ට රැවටිලා ඉන්න බහුතරයා සාගතෙන් මිය යෑම අඩුකරන ලෙනින් පැරදුනා යැයි සඟවන්නට තවත් ලේබල් එකක් ගෙනෙනවා. නව බුර්ජුවාසීන් නොහොත් profit-mongers නොහොත් ලාබ සොයා යන්නන් යැයි ලේබල් ගසා ඒත් ඔවුන්ගේ පිහිටෙන් තමයි බහුතරය ජීවිත රැකගත්තේ. එහෙම ලාබ සොයන අවස්ථාවන් ලැබුනේ ආණ්ඩුවේ වැරදි නොකියා කටවහගෙන ඉන්නවා නම් පමණයි!!!!

කාල් මාක්ස්ගේ කම්කරුවා යනු ව්‍යාපාරයේ මහත්ම සම්පතැයි කියන මිථ්‍යාව බිඳ වැටුනේ එහෙමයි. ඒත් ලෝකය පැතලියි කියල විශ්වාසය අත්හැරියත් ග්‍රහ බලපෑම් විශ්වාස කරන අය තවම ඉන්නවා වගේ මේකත් බිඳ හැලුණු මිථ්‍යාවක් වූවාට අදහන අය තවමත් ලෝකය පුරා ම ඉන්නවා.

ශ්‍රමිකයෙකුට මහන්සියෙන් යමක් නිපදවන්නට උවමනාවක් ඇති වෙන්නේ කොහොම ද?

කටින් බතල හිටවන අයට කන්න පුළුවන් බතල දෙන්න හැකියාවක් නැත්නම් ඒ චතුර බසින් කියන උදාර චේතනා අහගෙන ඉන්න අය බඩගින්නේ මිය යන බව කොච්චර දක්ෂ කථිකයෙකුට වුවත් කටින් ගහලා දිනන්න බැරි කාරණයක්.

ඒ වගේ ම, ව්‍යාපාරික හදවතක් ඇත්තා කොතරම් බාධක මැද්දේ වුවත් ලාබ සෙවීම අත්හරින්නේ නැත්තෙක් වේවි යන දෝෂ සහගත විශ්වාසය ද කොමියුනිස්ට් ලෝකයේ සත්‍යය වූයේ නැති බවත්, සමාජවාදී රටවල ද සත්‍ය වී නැති බවත් දකින්නට බහුතරයකට බැහැ. අද ඇමෙරිකන් ජනාධිපති ඔබාමා ඇතුළු සමාජවාදී චින්තනයේ ඉන්නා බහුතරය හිතන්නේ බදු කොතරම් ඉහළ දැම්මත් ධනවත් ව්‍යාපාරිකයන් නිෂ්පාදනයේ යෙදේවි කියලයි.

ප්‍රංශයේ සමාජවාදී ජනාධිපති ෆ්‍රැන්සුවා හොලෙන්ඩේ හෙට අනිද්දා සම්මත කරගන්නට යන යුරෝ මිලියනයකට වඩා වාර්ෂික ආදායමක් ලබන අයට ආදායමෙන් 75% කට බදු ගහන බජට් නීතිය නිසා ධනවතුන් රට අත්හැර දා යන්නට සූදානම් වෙනවා. ඒත් අනුන්ගේ වෙහෙසට තමන්ට අයිතියක් ඇතැයි සිතන අය දකින්නේ ඒක දේශද්‍රෝහි ක්‍රියාවක් කියල. මිනිසෙක් කැමැත්තෙන් වෙහෙසෙන්නේ වෙන කාටවත් කැමති විදියට, අනුන්ට, අනුන්ගේ භාර්යාවන්ට හා අනුන්ගේ දූ දරුවන් රකින්නට තම පොකැට්ටුවෙන් බලහත්කාරයෙන් මුදල් උදුරා ගැනීමට නොවේ යන්න වටහා ගත හැකියාවක් ඔවුනට නැහැ.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on දෙසැම්බර් 5, 2012 at 8:37 පෙ.ව.

    බොහොම සාරගර්භ ලිපියක්නේ .නියමයි

  2. sameera said, on දෙසැම්බර් 5, 2012 at 11:35 පෙ.ව.

    ගුලාග්…. ! , ” The Way Back ” සිනමා නිර්මණය බලලා තියනවද ? හිට්ලර් යුදෙව්වන් මැරුවාට වඩා ගුලාග් කදවුරු වලදී රුසියනුවන් මියගියාලු… !!
    ” ලාබයක් නැතිව ව්‍යාපාරයක් කරන්න බැහැ ” කවුද එහෙම කියන්නෙ…. අපේ ආන්ඩුවනං වෙලෙන්දන්ට උපදෙස් දෙන්නෙ ලෝභ නැතුව හාල් විකුනන්ඩ කියලා…
    හාල් මෝල්න් කඩෙට රු 70 බාන සහල් ආණ්ඩුවේ පාලන මිල අනුව විකුනකොටත් රු 70 යි …. හුහ්… කොහොමද විවුර්ත ආර්ටිකේ !!!!

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2012 at 8:40 පෙ.ව.

      sameera,

      සිනමා නිර්මාණය දැකලා නැහැ. හොයාගෙන බලන්න ඕනෑ .. රඟපාන අයට කැමතියි. ගුලාග් කඳවුරු ගැන තොරතුරු සොයා ගැනීම අපහසු ලෝකයෙන් වසන් කරන්නට රහසින් කරපු දේවල් නිසා. ජර්මන්කාරයෝ නම් ගම් ලියලා රෙජිස්තර හදලානේ වැඩේ දුන්නේ ජර්මන් හැදියාවෙන් ම!

      ධනවාදය සහ විවෘත ආර්ථිකේ විකෘති කරලා පාවිච්චි කරමින් විජට්ටුව වැඩ කරන්නේ නෑ කියන එක පන්සිල් ගිරව් වගේ කියවමින් පිළිපදින්නෙ නැති අයට හොඳට හුරු දෙයක්නෙ.

  3. Shanthi Chandrasekera said, on දෙසැම්බර් 5, 2012 at 12:44 ප.ව.

    bohoma honda lipiyak ow anunge sakkuwen aran nathi bari ayata denna kuhakayo harima hapan ewagema kammaliyo. thanks aruni oyata

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2012 at 8:41 පෙ.ව.

      Shanthi,

      හරියට හරි තමන් අවදානමක් ගන්නට, වෙහෙසක් හා කාලයක් කැප කරන්නට කම්මැලියෝ වෙමින් අනුන්ගේ දැයට හිමිකම් කියනවා .. මෙය පහදා දෙන්න හැකි තරම් පිරිසකට. කොයි ආණ්ඩුවක් ආවත් රටක් හැදෙන්නෙ එතකොට.

  4. magenama said, on දෙසැම්බර් 5, 2012 at 11:53 ප.ව.

    බෙරයේ හඬ ගැඹුරුයි ඇහුවාම පදයට නටන්නත් හිතෙනවා,හැබැයි බෙරයෙ ඇතුල හිස්.හැබැයි බෙර හඬ වෙනුවෙන් දිවි පුදන්න ඉදිරිපත් වෙන අය ඒ බෙරය ඇතුලේ කිසිම හරයක් නැහැ කියලා තේරුම් ගන්නෙ නැහැ.ශ්‍රමිකයෙක් ව්‍යාවසායකයෙක් වනතුරු අලුතින් යමක් නිපදවෙන්නෙ නැහැ, මොකද ශ්‍රමිකයෙක් ගන්නෙ වගකීමක් වුනත් ව්‍යාවසායකයෙක් ඒ නිමැවුම ගැන අවදානමක් ගන්නවා,ඒ අවදානම වෙනුවෙන් එයා ලාභයක් ලබනවා.ඒ ලාභය නැතිනම් ව්‍යාපාරත් නැහැ,ශ්‍රමිකයිනුත් නැහැ.

    • arunishapiro said, on දෙසැම්බර් 6, 2012 at 8:47 පෙ.ව.

      magenama,

      //හැබැයි බෙර හඬ වෙනුවෙන් දිවි පුදන්න ඉදිරිපත් වෙන අය ඒ බෙරය ඇතුලේ කිසිම හරයක් නැහැ කියලා තේරුම් ගන්නෙ නැහැ.// එහෙම බැරි එයාලට දැනගන්න හැකි දේවල් සීමා කරල තියෙන නිසා. ඉතිහාසය හරි හැටියකට උගන්වන්නෙ නැති ගුරුවරයන් සහ සමාජ අධ්‍යයනය කියන්නෙ සමාජවාදය පැතිර වීමයි සිතන හුරුව නිසා. සිංහල පමණයි පනතක් ගෙනැවිත් සිංහලයාව වලකට දාපු ගෙම්බො වගේ ඇති කළාම වෙන කිසිම පිටතින් එන්නක් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ කියලා හංවඩු ගැහැව්වම හරිම ලේසියි රවටන්නට.

      මේ වැදගත් කොටස අද ඇමෙරිකාවේ සමහර පිරිසකටත් අමතක වෙලා ගිහින්:
      //ශ්‍රමිකයෙක් ව්‍යාවසායකයෙක් වනතුරු අලුතින් යමක් නිපදවෙන්නෙ නැහැ, මොකද ශ්‍රමිකයෙක් ගන්නෙ වගකීමක් වුනත් ව්‍යාවසායකයෙක් ඒ නිමැවුම ගැන අවදානමක් ගන්නවා,ඒ අවදානම වෙනුවෙන් එයා ලාභයක් ලබනවා.ඒ ලාභය නැතිනම් ව්‍යාපාරත් නැහැ,ශ්‍රමිකයිනුත් නැහැ.//

  5. Udara said, on දෙසැම්බර් 11, 2012 at 4:27 පෙ.ව.

    නෝනා මේගොල්ලෝ රතු කිකිළි සහ තිරිඟු ඇටය කථාව අහලා නැහැ.

    • arunishapiro said, on දෙසැම්බර් 11, 2012 at 8:01 පෙ.ව.

      Udara,

      ඔව්. ඒ අතීතයේ දෙමව්පියන් කියාදුන්න අගනා අවවාද ඇතුලත් කතන්දර අද මිනිසාට අමතක වෙලා ගිහින්. ලස්සන වැඩේ මම ඒ කතාව මුලින් ම සිංහලෙන් කියෙව්වෙ ලංකාවේ මුද්‍රණය වෙච්ච ‘සෝවියට් දේශය’ සඟරාවකින්!!!!!!

  6. […] 1921 දී නව ආර්ථික පනත (Novaya Ekonomicheskaya Politika) ගෙනැල්… […]


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: