අරුණි ශපීරෝ‍ වෙතින්

අතර මැද්දට පැන ගණුදෙනුව කඩාකප්පල් කරන මැරයන් -රාජ් ගැන නෙමෙයි

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 11, 2012

බෙයාර්ෆුට් ගාඩන්ස්

“පන්සල හැදෙන කොට මිනිස්සු හැදෙන නිසා පන්සල හදලා රට හදන්න ඕනෑ,” යැයි කියන්නේ මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමති මර්වින් සිල්වා.

තව දුරටත් විස්තර කරමින්, ‘පන්සල හැදෙන කොට මිනිස්සු හැදෙන නිසා මිනිසුන්ගේ මොළේ වර්ධනය වෙනවා. විනීතභාවය ඇති වෙනවා. සන්සුන්භාවය ඇති වෙනවා. දුර දක්නා නුවණක් පහළ වෙනවා. මිනිසුන් ධර්මයේ ජීවත්වෙනවා,” යැයි ද ඔහු කියා ඇත්තේ ආගමික ස්ථාන සංවර්ධනය කිරීම සඳහා මුදල් ආධාර ප්‍රදානය කිරීමේ විශේෂ වැඩසටහනක දී ය.

උදාර චේතනා ගැන පාරට්ටු බාන්නට දක්ෂ මොහුගේ මොළේ වර්ධනය, විනීතභාවය, සන්සුන් හැදියාව හා දුර දක්නා නුවණ (ශ්‍රී.ල.නි.පක්ෂයෙන් එ.ජා.පක්ෂයටත් එතැනින් සන්ධානයටත්) ගැන සිංහලෙන් කියවන්නාට අලුතින් කියන්නට අවශ්‍යතාවයක් නැත. එහෙයින්, කැළණිය ආසනයේ ආගමික ස්ථාන 33 ක් සඳහා බෙදා දුන් රුපියල් 1,650,000/- ක ආධාර කාගේ සාක්කුවෙන් ආපු ඒවාදැයි විමසන්න.

පන්සල හා දායකයා අතර ගණුදෙනුව මැද්දට පැන කඩාකප්පල්කාරයා වී ඇත්තේ රජයයි.

ආණ්ඩුව බෙදා දෙන්නේ පුරවැසියාගේ වස්තුවයි. ඒත් මෙම ආධාර ලබන භික්ෂුවට දායකයාට පින් දෙන්නට අවශ්‍යතාවයක් නැත. ආණ්ඩුවට පින් දෙන්නට ද අවශ්‍යතාවයක් නැත. මේ ආධාර ලබන භික්ෂුව කිසිවෙකුට පින් දිය යුතු නොවේ. මන්ද ඔවුන් සිතන්නේ එය ඔවුන්ට ලැබිය යුතු වූවක් කියාය.

දායකයා සහ භික්ෂුව අතර හුවමාරු වන දහම් පණිවුඩයට තුති පුදන පඬුරු ගැන සියල්ලන්ට ම අමතක වී ගිහින් ද?!!!!!

පුරවැසියා වෙහෙසුනේ නැත්නම් භික්ෂුවට රජයේ ආධාර ලැබෙන්නේ නැතැයි භික්ෂුව නොදනී.

වෙහෙසෙන පුරවැසියාගේ පසුම්බිය හිස්වෙද්දී, වෙහෙසෙන අය අඩු වී, තමනට ලැබෙන කොටසත් අඩු වෙන හැටි භික්ෂුව නොදනී.

ආධාර තමනට ලැබිය යුතු යැයි සිතන භික්ෂූන්ගේ ක්‍රියාකලාපයන් දැක ආගම එපා කියා අත්හැර දමන අයව භික්ෂුව නොදකී.

කාලයක් යද්දී ලැබෙන දෙයක් නැති නිසා බෙදා දෙන්නට ද දෙයක් නැතිවෙද්දී, ආණ්ඩු විසින් දෙන්නේ කාටදැයි නොදෙන්නේ කාටදැයි තීරණය කරද්දී, භික්ෂුව විසින් ආධාර කොහෙන් එන්නේ දැයි නොසොයන නිසා, ලැබිය යුතු වූවක් ලැබෙනවා යැයි සිතන මුලාවෙන්, උද්ඝෝෂණ පවත්වන්නට පාරට බහිනු ඇත. කාලයකට දේශප්‍රේමීන් තවත් කාලයක දී දේශද්‍රෝහීන් යැයි කියන ආණ්ඩුව විසින් ම කඳුළු ගෑස් ගසා ඒ උද්ඝෝෂණය විසිරුවා හරිනු ඇත. පුරවැසියන් රටේ සදචාරය පිරිහිලා යැයි එකිනෙකාට කියාගනු ඇත.

රජයක් මෙසේ ආධාර ලබන භික්ෂූන්වහන්සේලාවත්, එසේ රජය විසින් සාධාරණව බෙදා දෙන්නට දන්නවා කියන පුරවැසියන්වත්, එහි නියැළෙන රජයේ නිලධාරීන්වත්, උදාර චේතනා වලට රැවටුනු රූකඩයන් කරගෙන සිටියි.

යම් නිර්මාණයකට හිමිකම් කියන්නා සහ ඒ නිර්මාණයෙන් ඵල ප්‍රයෝජන ගන්නා අතර ගණුදෙනුව මැදට රජය කඩාපැන ස්වභාවය විකෘති කරමින් සිටිනා බව බහුතරය නොදකියි. එහෙත් තවදුරටත් තමන්ට ලැබිය යුත්ත සාධාරණව බෙදා දෙන්නට උපරිම හැකියාව ඇත්තේ ආණ්ඩුවට යැයි අනුමත කරමින් සිටියි. එසේ සිටිමින්, ආගමික සංස්ථාව දූෂණයේ යෙදෙනවා කියා ආගම එපා යැයි කියති.

ඉතින් රාජ් විසින් දයාල්-බතී ගේ අඩවියේ දාපු ප්‍රතිචාරයෙන් මම දැක්කෙ රාජ් මිතුරා බල තණ්හාධිකයන් පාරට්ටු බාන උදාර චේතනා වලට රැවටිලා කවුද වරදකරු යැයි සිතාගත නොහැකි අවුලක ඉන්නේ කියායි.

දුක්ඛ, සමුද්‍ය, නිරෝධ, මග්ග ගැන දත්තාට ඒවා ගැන දන්නවා ද?!!!!!

රාජ්ගේ නවාතැන ලියන රාජ් ගෙන් මම ලංකාවට ආවම මාව හමුවෙන්න හැකි දැයි එන්න කළින් මා අසා යැව්වා. සිංහලෙන් බ්ලොග් ලියන, ඔවුන් ලියූ අදහස් වලට සිත ඇදී ගිය, කිහිප දෙනෙක් හමුවන්නට මම කැමැත්තෙන් හිටියෙ. ඒ සමහර අයගේ අඩවි වල මා ප්‍රතිචාර දමා ඇත්තේ කලාතුරකින්. සමහර විට ඒ නිසා වෙන්නැති මට මතක විදියට රාජ් පුදුම වුනා ද කොහෙද ඒ ආරාධනය එයාටම ද කියලත්!!!! එදා හමු වූ සියළු දෙනාම මා ඔවුන් ලියූ දේවල් කියවා පමණින් ඔවුන් හිත හොඳ අය ලෙසට තෝරාගත් අයයි. මගේ තෝරාගැනීම් නිවැරදි බවත් ඒ අය පිරිසිදු චේතනා ඇති සොඳුරු පුද්ගලයන් වූ බවත් හමුව තහවුරු කළා.

අදත් ඒ අය බහුතරයක් සහ මගේ අදහස් අතර දැඩි පරතරයක් තියෙනවා. පරතරය තියෙන්නේ ඔවුන් දුක්ඛ, සමුද්‍ය, නිරෝධ හා මග්ග ගැන දත්තාට දන්නේ නැතිකම පමණයි නිසාත් වෙන්නැති!!!!! 😀

පහත විඩියෝවේ ඇත්තේ ඇමෙරිකාවේ බදු මුදල් ලෝකයේ මුස්ලිම් පල්ලි ප්‍රතිසංස්කරණය සඳහා යොදවන ආකාරය ගැන ප්‍රවෘත්තියකි. මෙහි දී ද පාඨකයා මතකයේ තබාගත යුත්තේ කැමැති ආගමිකයෙක් කැමති පල්ලියකට හෝ පංසලකට තම මුදල් පරිත්‍යාග කරනවාට මම අකමැති යැයි කියා නොවේ. මම අකමැති මගේ මුදලින් ආණ්ඩුව විසින් කරන පරිත්‍යාග වලටයි.

මෙම ආධාර ‘ජාතික නින්දාවක්’ යැයි ඇමෙරිකන් මාධ්‍යකරුවන් කියද්දී ඇමෙරිකන් ආගමික ආධාර මුදලින් 98% ක් යන්නේ ලෝකයේ වැඩියෙන් ඇත්තේ ක්‍රිස්තියානි සංවිධාන නිසා ඒ සංවිධාන වලට ය.

ලංකාවට විදේශ ආධාර හා ණය මාර්ගයෙන් එන මගේ බදු මුදල් ලංකාවේ මා අකමැති සිංහල පන්සල් වලට බෙදා දෙන්නේ ද මෙසේමය!!!!!! මා මෙහි දී සටන් වදින්නේ ආණ්ඩුවට ඒ බලය අහිමි කර මා වෙත යළි පවරාගන්නට ය.

තතු සොයා බලන්නට කම්මැලි අය අසික්කිත හැදියාවන් පෝෂණය කරමින්, ඒවාට දිරි දෙමින්, එයින් බැහැරව කටයුතු කරන්නට නොහැකි වාතාවරණයක් හදන්නට පක්ෂපාතීත්වය දෙමින්, අනතුරුව බනින්නේ නිදහස් වෙළඳපොලට හා ධනවාදයට වීම නොදන්නාකමයි.

සටහනට එකතු කරන පින්තූරයට ස්තූතියි මාළුවාට.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. අටම්පහුර said, on දෙසැම්බර් 11, 2012 at 11:37 පෙ.ව.

    හෙලවිජය ගැන ඔබතුමිය කියනා දෙය මම එකහෙලා අනුමත කරනවා, අහම්බෙන් දවසක් උන්වහන්සේ මට කතාකලා , අද කාලේ එහෙම පොඩි හාමුදුරු කෙනෙක් ඉන්නවාද කියලත් මට හිතුනා , පොඩි වයසක ඉදගන කරන වැඩ දැක්කහම තව වයසට යනකොට මොන තරම් දේවල් කරයිද කියලත් හිතෙනවා , කවදාහරි දවසක ජාතියට මග පෙන්වන නියමුවෙකු වන ලක්ෂණ දකින්න තියනවා උන් වහන්සේගේ ,

    (… ස්තූතියි ඒත් මේ ටික කපා දැම්මා අටම්පහුර, හේතුව ඇයි කියලා ලියපු ඔයා දන්න නිසා මාත් එක්ක තරහා වෙන්නෙ නැහැනේ -අරුණි)

    රටට අඩබෙර නොගහා ඔබතුමිය කරනා දේවල් වලට ඔබතුමියටත් පින්

  2. wicharaka විචාරක said, on දෙසැම්බර් 11, 2012 at 11:58 පෙ.ව.

    මට බොහෝ වෙලාවට හිතෙන දෙයක් තමයි අපේ සමහර මහානායක ස්වාමීන් වහන්සේලාද ඇතුළුව බොහොමයක් ප්‍රධාන පෙලේ භික්ෂූන් වහන්සේ ‘පුවත් නොදැන බමන මතින්’ ඉන්නවාද කියා. කාලීන දේශපාලන හා සමාජයීය තොරතුරු පිළිබඳව උන්වහන්සේලා දක්වන අදහස් වලට දෙකොනින් සිනායන අවස්ථා ද තිබෙනවා. තමන්ගේ විචාර බුද්ධිය සිවුර අස්සේ සඟවා, නූගත්, කපටි, හොර කට්ට, කයිරාටික, අධම, ජඩ, දේශපාලුවන් තම පන්සලට දෙන්න හදන ඊනියා ආධාර, (සමහරවිට කාර්) ලේ තැවරුණු, කොමිස් කුණු ගඳ ගහන, හිඟන දුප්පතුන්ගෙන් හූරාගත්, සල්ලි බව තේරුම් ගෙන, ඒවා නොබියව ප්‍රතික්ෂේප නොකරන්නේ මන්ද යන්න මහත් ගැටළුවක්. එසේ නොකර කොන්ද කෙලින් තියාගෙන ඉන්න කිසිදු ස්වාමීන් වහන්සේ නමක්, දානය නොලැබී අපවත් වෙන්නේ නැතිබව සහතිකයි. ඒ අර හැමදාමත් බදු ගෙවන මිනිහාට මොලය නැතත් හදවතක් තියන නිසා. මහා සංගායනාවක් පැවැත්වීමට දැන් හොඳටම ප්‍රමාද වැඩියි. කුණු දේශපාලනය භික්ෂු සමාජය විනාශ කර අවසන්.

    • arunishapiro said, on දෙසැම්බර් 11, 2012 at 10:21 ප.ව.

      විචාරක,

      //ඒවා නොබියව ප්‍රතික්ෂේප නොකරන්නේ මන්ද යන්න මහත් ගැටළුවක්.//

      බහුතර පුරවැසියන් ආණ්ඩුවේ ඉන්නේ තමන්ගේ පාලකයන් නොව සේවකයන් යැයි තේරුම් ගෙන ඔවුනට යටත් වී සිටීම නොබියව ප්‍රතික්ෂේප නොකරන හේතුවම තමයි.

      //දැන් හොඳටම ප්‍රමාද වැඩියි.// නැහැ කියලයි මම හිතන්න කැමති. ජීවිතය පවතින තාක් කල් මිනිස් මොළයට දැවෙන උවමනාවක් තියෙනවා දුකින් සිටීම ප්‍රතික්ෂේප කරලා විකල්ප හොයන්නට. සත්තුන්ට නැති ඒ මිනිසත් බවේ අරැමය මැකී යා නොදී රැකගත යුත්තක්.

  3. naleendilruksha said, on දෙසැම්බර් 11, 2012 at 12:42 ප.ව.

    ඉතාමත් වටින පෝස්ටුවක්. ඒත් මං කියලා යන්නේ මං මේක බැලුවා කියලා විතරයි.ලංකාවට ආ දවසක හැකිනම් මා හමුවන්න..

    • arunishapiro said, on දෙසැම්බර් 11, 2012 at 10:25 ප.ව.

      naleendilruksha,

      හාවා හඳ දකිනවා වගෙ තමයි මගෙ ලංකා ගමන්. මෙහෙම යද්දී නම් වීසා ලැබෙන එකකුත් ෂුවර් නෑ. ආවොත් හැංගිලා ඉන්න වේවි ඔය තලිබාන් නීති තියෙන බොදු බල සේනා වලින් දඬුවම් දෙයි නැත්නම්!!!!

  4. kavikaari said, on දෙසැම්බර් 11, 2012 at 12:49 ප.ව.

    අක්කට වෙන්නෙ දුන්දෙය සුවඳයි කියල හිත හදා ගන්න තමා. නොවැම්බර් අග ටැක්ස් ගෙවන ගමන් අපි කැමති තැනට කැමතිදෙයක් වෙනම දෙන්නෙ අපි ගෙවන ටැක්ස් වලින් මුං මොනවා කරනවාද නොදන්න නිසාමයි.

    • arunishapiro said, on දෙසැම්බර් 11, 2012 at 10:33 ප.ව.

      kavikaari,

      දුන්නු දෙයක් නෙමෙයිනෙ, බලහත්කාරයෙන් අරගෙන නාස්ති කරලා, දැන් තව තවත් වැඩියෙන් ගන්න හදන එකනෙ වෙන්නෙ.

      අන්තිමේ දී ඔය විඩියෝවේ තියන රටවල් වගේ ම තමයි අනිත් රටවලත් වැඩි වෙනසක් නැහැ. අපේ අකැමැත්තෙන් අපේ පොකැට්ටුවට විදලා ගන්න අයයි බෙදලා දෙන අයයි අපිටමයි බනින්නෙ. මර්වින් සිල්වා වගේ ම බරක් ඔබාමාත් හරි ෂෝයි!!!!

  5. මාතලන් said, on දෙසැම්බර් 12, 2012 at 1:12 පෙ.ව.

    මෙහෙමයි නොනේ වැඩේ. දැන් ඔය මර්වින් උපාසක කේස් එක ගනිමුකෝ. ඉස්සර කැළණිය කිව්වම මේ පලාතටම බලවතා තමයි කැළණි පන්සලේ ලොකු හාමුදුරුවෝ. ඒත් දැන් ලොකු හාමුදුරුවෝ මර්වින් සිල්වට වඳිනවා. මර්වින් මහත්තයා ආධාර කරන්නේ එයාට සප් එක දෙන පන්සල් වලට විතරයි. (ඔක්කෝම වගේ එයාට සපෝට්) මේවාට වියදම් කරන්නෙ අරුණි නෝනා කියනවා වගේම බිස්නස් කාරයෝ. ඉතින් බුදු හාමුදුරුවොත් කියලා තියෙනවනේ ආගමික කටයුතු වලටත් ලාබයෙන් කොටසක් වෙන් කරන්න කියලා. ඉතින් ඒ වෙන් කරන කොටස මර්වින් උපාසක මහත්තයගේ ගෝලයෝ සම්මාදම් කරනවා. මේකට වල් කොල්ලෝ කියන්නෙ කප්පම් ගන්නවා කියලා. ඉතින් මට පේන විදියට මෙතන වැරද්දක් නෑ. මර්වින් උපාසක මහත්තයා, ව්‍යාපාර ප්‍රජාව වෙනුවෙන් තම දේශප්‍රේමී බෞද්ධයෙක් වශයෙන් තම යුතුකම් කොටස ඉටු කරනවා. ඔය සජිත් මහත්තයත් කරන්නෙ ඕකම තමයි. පන්සලට පැවත්මක් තියෙන්නෙත්. ප්‍රධාන දායකයා පොරක් නම් විතරයි. ඉතින් එහෙම අසරණ පන්සල් වලට බුද්ධං සරණේ සරණයි. වැරදි දෙයක් කියවුනානම් සමාවෙන්න ඕන නෝනේ.

    • arunishapiro said, on දෙසැම්බර් 12, 2012 at 8:19 පෙ.ව.

      මාතලන්,

      මම නොදන්න දෙයක් මාතලන් ලියලා නැහැ. ඒත් //ඉතින් මට පේන විදියට මෙතන වැරද්දක් නෑ.// යැයි මාතලන් කියද්දී මා තරයේ ම කියා සිටින්නේ වැරැද්ද ඇත්තේ එතැනම බවයි. එය ඉතා පහසුවෙන් නිවැරදි කරගත හැකියාවෙන් යුතු වූවක් ද බවයි.

  6. chandi said, on දෙසැම්බර් 13, 2012 at 5:35 පෙ.ව.

    නංගී අප ආයතනය ගෙවූ බදු මුදල් ප්‍රමාණය ඇසුවොත් ඔබ පුදුම වේවි, ඒ අපි රජයට වත් කිසිම වංචාවක් නොකල නිසා. නමුත් අපේ අනාගතය ඒ හැම දෙයක්ම සෝද පාළු වෙලා. ඇත්තේ පුදුම කල්කිරීමක්. කවිකාරි නංගි කියනවා වාගේ වෙන්නෙ දුන්දෙය සුවඳයි කියල හිත හදා ගන්න තමා.

    • arunishapiro said, on දෙසැම්බර් 13, 2012 at 5:40 පෙ.ව.

      chandi,

      කොමියුනිස්ට් ලෝකය කඩා වැටුනේ මන්දැයි වසර විස්සකට වඩා ගෙවී ගිහින් තියෙද්දී මිනිස්සු තවම දන්නේ නැහැ.

      යුරෝපා යුනියනයට නොබෙල් සාම තෑග්ග ලැබිලා … එහි සාමය වෙනුවට පාරේ මිනිස්සු පෙළපාලි යන්න පටන් අරන් කියලා ලෝකය “දකින්නේ” නැහැ.

      ඔබාමා සුළු පිරිසකගේ බදු වැඩි කරලා බහුතරයට බෙදා දෙනවා කියමින් ආණ්ඩුවේ බලතල වැඩි කරනවා කියල ‘ඇමෙරිකන් ධනවාදීන්’ පවා දකින්නේ නැහැ.

      ලෝකය යන අත භීෂණයට, ඒකාධිපතියන්ට හා අහිංසක මිනිස්සු මරණයට පමුණුවන පාරක් යැයි දැක දැකත් නිහඬව ඉන්නට හෘදය සාක්ෂිය නම් ඉඩ දෙන්නේ නැහැ!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: