අරුණි ශපීරෝ‍ වෙතින්

යුක්ති සහගත සහ චිරස්ථායී රජයක්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 13, 2012

southern Sri Lanka

අයුතු ලෙසින් යොදා ගැනෙන නීතිය නිසා පොලිස් බලය හා රාජ්‍ය බලය ඒ සමඟින් අයුතු ලෙසින් යොදා ගැනෙනු ඇත. නීතිය එවිට එහි නියමිත වූ අරමුණ සාධනය කරනවා වෙනුවෙට ඊට සම්පූර්ණයෙන්ම පටහැනි වූවක් ඉටු කරයි. නීතිය එවිට හැම ගිජු ක්‍රියාවකටම මුල්වෙන අවියක් බවට හැරෙයි. අපරාධයන් ගැන සොයා බලනවා වෙනුවට, තමන් දඬුවම් කළ යුතු වරදවල් සඳහාම එවිට වරදකරුවෙකු වෙන්නේ නීතියයි.

මෙය සත්‍යය නම්, එය අතිශය වැදගත් කාරණයකි. මගේ සෙසු පුරවැසියන්ගේ අවධානය මෙයට යොමු කරවීම මගේ ආචාර ධාර්මික වු වගකීමක් වෙයි.

දෙවියන්ගෙන්/ස්වභාව ධර්මයෙන් ලැබෙන්නා වූ තෑග්ග නම් ජීවිතයයි -භෞතික වූ ශරීරය, බුද්ධිය හා ආචාර ධාර්මික ජීවිතය.

නමුත් ජීවිතයට ජීවය ලැබුණු පමණින් ජීවත්විය නොහැක. ඒ නිසා ජීවයේ නිර්මාතෘවරයා අපට එය ආරක්ෂා කරගැනීමට, වර්ධනය කරගැනීමට, සර්ව සම්පුර්ණ කරගැනීමට වගකීමක් පවරා ඇත. ඒ සඳහා අපූර්ව වූ හැකියාවන් ගණනාවක් අපට දායාද කර ඇත. අපිව අනේක වූ ස්වභාවික සම්පත් අතර උපදවා ඇත. අපේ අපූර්ව වූ හැකියාවන් මේ ස්වභාවික සම්පත් උදෙසා භාවිතා කළ විට අපිට ඒවායෙන් නිෂ්පාදන බිහිකර අපේ යහපත පිණිස පාවිච්චියට ගත හැකිය.

උපන් දා සිට මිය යන තෙක් මිනිසා නිරත වෙන්නේ මෙම ක්‍රියාවලියේය.

ජීවිතය, හැකියාවන්, නිෂ්පාදන -තවත් විදියකින් කියනවා නම්, ඒකීය පුද්ගලයා, නිදහස, දේපල- යනු මිනිසාය. වාග් කෞශල්‍යයෙන් පිරි උදාර චේතනා ගැන පාරට්ටු බාන දේශපාලනඥයන් මොනවා කිව්වත්, ස්වභාව ධර්මයෙන් ලැබි ඇති මේ ත්‍යාගයන් තුන අභිබවා වෙනස් මඟක යන්නට කිසිම මිනිස් නීති සම්පාදකයෙකුට නොහැකිය.

මන්ද ජිවිතය, නිදහස, දේපල පවතින්නේ මිනිසා නීති හැදූ නිසා නෙමෙයි. මුලින් ජීවිතය, නිදහස හා දේපල පැවති නිසා මුල්ම නීති සම්පාදනයට මිනිසාට හැකිවිය.

අයෙකුගේ ශ්‍රමයට කිසි ලෙසකින් තවත් අයෙක් බලපෑමක් කිරීම ප්‍රතික්ෂේප වීමෙන් ඒකීය පුද්ගලයාගේ ශ්‍රමයට ඇති ඔහුගේ ස්වභාවික අයිතිය ආරක්ෂා වෙයි.

එය ආරක්ෂා කරන රජයක් සරල වූවකි. යුක්ති සහගත වූවකි. චිරස්ථායී වූවකි. එහි දේශපාලන හැදියාව කුමක් දැයි වැදගැම්මකින් යුතු නොවූවකි.

එවැනි ආණ්ඩුවක් යටතේ සෑම පුද්ගලයෙක්ම වටහා ගන්නේ තම පැවැත්ම නිසා තමාට බාරවෙන සියළු වරප්‍රසාද සහ සියළු වගකීම් තමාගේ බවයි. එවිට කිසිවෙකුට ආණ්ඩුව හා වාද කරන්නට අවශ්‍යතාවයක් නැත.

පුද්ගලයාට ගෞරවයක් ලැබෙයි. ඔහුගේ ශ්‍රමය කැමැති සේ පාවිච්චියට ගන්නට ඔහුට නිදහස ලැබෙයි. ඔහුගේ ශ්‍රමයෙන් ඔහු එකතු කරනා ඵලය ඔහු කැමති අන්දමින් පාවිච්චි කරන අයිතියට ඉඩක් නොදී බලහත්කාරකමක් කරන අයගෙන් රජය ඔහුව ආරක්ෂා කරයි.

ශ්‍රමිකයා සාර්ථක වෙද්දී ආණ්ඩුවට පින් දෙන්නට අවශ්‍යතාවයක් නැත.

ශ්‍රමිකයා අසාර්ථක වෙද්දී ද, සිය අභාග්‍යයන් වලට ආණ්ඩුවට බනින්නට අවශ්‍යතාවයක් නැත.

ඉඩෝරයක් ආවත් ගංවතුරක් ආවත් ආණ්ඩුවට බනින හැදියාව එවිට නවතිනු ඇත!!!!!

රජයක් ඇතැයි කියා අප දැනගන්නේ අගය කළ නොහැකි තරමින් මෙසේ අපේ ශ්‍රමයට ඇති අපේ අයිතිය ආරක්ෂා කර දීමේ දී පමණි.

පුද්ගලික කටයුතු වලට ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නැතිවිට, අපේ උවමනාවන් සහ ඒවා සපුරා ගැනීම තාර්කික වූ ආකාරයකින් ඉටු වීම මිනිසා අතින් ස්වභාවිකව සිද්ධ වෙන්නකි.

එවිට දුප්පත් පවුල් බඩ පුරවා ගන්නට පෙර සාහිත්‍ය ඉගෙන ගන්නට වෑයම් ගන්නවා අපි දකින්නේ නැත. දුෂ්කර පළාත් හිලව්වට තබමින් නගරබද පළාත් දියුණු වෙනවා දකින්නේ නැත. මූලධනය, ශ්‍රමය, සහ ජනගහණය නීති සම්පාදකයන්ගේ අනුවණ සැලසුම් නිසා විස්ථාපනය (displacement) වී තිබෙනවා දකින්නේ නැත.

අපේ පැවැත්මට අවශ්‍ය වූ ප්‍රාථමික දේවල් අවිනිශ්චිත වූ හා අවදානම් වූ තත්වයකට ගෙන එන්නේ රාජ්‍ය විසින් ඇඟිලි ගැසීමෙන් ඇති කරන විස්ථාපනයෙනි. මේ ක්‍රියාකාරකම් නිසා ආණ්ඩුවේ බර වැඩිවේ. ආණ්ඩුවේ වගකීම් වැඩිවේ.

එවිට නීතිය සහමුලින් අයුතු ලෙසින් යොදා ගැනෙන සේ විපර්යාසයකට මුහුණ දෙයි.

ෆ්‍රෙඩ්රික් බැස්ටියාට් (Frédéric Bastiat) 1850 දී ලියූ The Law ග්‍රන්ථයෙනි. ළඟදීම සිංහලෙන් කියවත හැකියි!!!!!

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. chandi said, on දෙසැම්බර් 13, 2012 at 5:38 පෙ.ව.

    වැදගත් කරුණු ටිකක් ස්තූතියි ! නංගි.

  2. naleendilruksha said, on දෙසැම්බර් 13, 2012 at 7:52 පෙ.ව.

    මෙහෙම ආන්ඩුවක් කොහෙහරි තියනවද අරුණි. එහෙම තියනවා නම් ඉතින් ඒ වැසියා හරිම වාසනාවන්ත යි.

    • arunishapiro said, on දෙසැම්බර් 13, 2012 at 7:58 පෙ.ව.

      naleendilruksha,

      එහෙම ආණ්ඩුවක් තියෙන එකම රට ඇමෙරිකාව බව බැස්ටියාට් ඒ පොතේම ලියා තිබෙනවා. ඇමෙරිකාවේ එදා තිබිච්ච (1850) නිදහස හා දේපලට එරෙහි වූ දෙකක් ඔහු පෙන්වා දෙනවා. එකක් වහල්ක්‍රමය අනික තීරු බදු (tariffs). ඒ දෙක නිසා අනාගතයේ ඇමෙරිකාවේ දරුණු තත්වයක් ඇතිවෙන බවත් ඔහු අනාවැකි කිව්වා. ඒ අනාවැකි සත්‍යයක් වූවා. වහල්ක්‍රමයෙන් ගැලවෙන්නට හැකි වුනාට බදු ක්‍රමයට අද අපිත් යුරෝපයට ආසන්න වෙන්න හදනවා. ඒත් තාමත් ලෝකයේ වැඩියෙන් ම මේ පුද්ගලික දේපල සහ නිදහස තියෙන රට රැකගන්නට මෙහෙ දිනපතා සටන් වදිනා පිරිසක් නිවාඩු ගිහින් නැහැ.

  3. Maathalan said, on දෙසැම්බර් 13, 2012 at 11:25 පෙ.ව.

    බලාගෙන ගියාම අද ඇමරිකාව පිරිහිලානේ….

    • arunishapiro said, on දෙසැම්බර් 13, 2012 at 1:34 ප.ව.

      Maathalan,

      බුෂ් පුතාගේ දේශප්‍රේමී පනතයි බරක් ඔබාමාගේ සෞඛ්‍ය පනතයි මෑත කාලයේ දී නීති විපර්යාසයන් වලින් පිරිහීමේ වේගය වැඩි කළා.

  4. Shanthi Chandrasekera said, on දෙසැම්බර් 13, 2012 at 1:01 ප.ව.

    ehew nidahase suwarga rajjayata mage deshaya ragena yanu mana kiya kagenda ada dawase illanne? deshapaluwo okkoma kunujarawelin pirila.

    • arunishapiro said, on දෙසැම්බර් 13, 2012 at 1:36 ප.ව.

      Shanthi,

      ජනතාව ඉල්ලා සිටින්නේ කුමක් ද? එය දීමෙන් තමයි දේශපාලනඥයෙකුට බලයට එන්න හෝ බලයේ රැඳී ඉන්න පුළුවන්. ඉතින් මේ දේවල් බහුතරයක් විසින් ඉල්ලද්දී ඒවා දෙන්නට කෙනෙකුත් ඉදිරිපත් වේවි!!!

  5. magenama said, on දෙසැම්බර් 14, 2012 at 12:09 පෙ.ව.

    ආණ්ඩු හරිම දක්ෂයි මාංචුවක් රනින් කළ කිරුළක් ලෙස මිනිස්සුන්ට දම්මන්න.මාංචුවේ අයිතිය ආණ්ඩුවට.අපි ඒක දාගෙන ඉන්න කොට අපේ අත් හිර වෙනවා,නිදහස සීමා වෙනවා,හිතන්න පුලුවන් වුනාට,හීන දකින්න පුලුවන් වුනාට,ඒ සිතුවිලි යථාර්තයක් කර ගන්න අපේ අත් වලංගු නෑ.ඊලඟට කටට දානවා ඉබ්බෙක්,හැබැයි රත්තරන්(ඒකත් අයිති ආණ්ඩුවට).දැන් නාමිකව අපි පොහොසත්,මොකද රත්තරන් කෑලි දෙකක් අපි ගාව.ඒත් ඒකෙන් කිසිම දෙයක් කරන්න බෑ.හිතුවත් කරන්න වරමකුත් නැහැ.ඒත් ආණ්ඩුව කියනවා අපි මාර සතුටින් ඉන්නවා ඇයි අතේ කරේ රත්තරන්.ඒත් ඇත්තටම අපි රන් කූඩුවක දාපු සතෙකුට සමාන වෙලා.

    • arunishapiro said, on දෙසැම්බර් 14, 2012 at 12:14 පෙ.ව.

      magenama,

      රත්තරන් විග්‍රහයක්!!! ආණ්ඩුවේ මාංචුයි ආණ්ඩුවේ ඉබ්බොයි දකින්න පුළුවන් දාටයි ඒවා ගලවලා දාන විදියක් හොයාගන්න පුළුවන් වෙන්නෙත්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: