අරුණි ශපීරෝ‍ වෙතින්

ඉතින් දැන් අපි නිදහසට උත්සාහයක් ගනිමු

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 17, 2012

Bastiat

“මෙය කිව යුතුය: “ශ්‍රේෂ්ඨ” මිනිසුන් ලොව පමණට වඩා සිටිති. නීති සම්පාදකයන්, සංවිධායකයන්, හොඳ හිතැති අතථ්‍ය යථාරූපී නොවූ දානපතියන්, ජනතා නායකයන්, ජාතියේ පියවරුන්, මෙහෙම මෙහෙම කියාගත්තා අය. අවශ්‍ය පමණට වඩා වැඩි පිරිසක් තමන්ව මිනිස් සංහතියට වඩා ඉහළින් තබා ගනිති. ඔවුන් ඒ සඳහා කරන සංවිධානය, තමන්ගේ හා වෑයමේ ලොකුකම් කියා පෑම, අනුන් පාලනය යනාදිය තම වෘත්තිය කරගනිති.

ඉතින් අයෙක් කියනු ඇත: “ඔබත් කරන්නේ එයම නොවේ ද?”

සත්‍යයකි. එහෙත් මම ක්‍රියා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනත් හැඟීමකින් බව කිව යුතුය. මම ප්‍රතිසංස්කරණවාදීන් යැයි කියාගන්නවුන් අතරටම එක් වී ඇත්තෙමි. එහෙත් ඒ එකම අරමුණක් සඳහා පමණි. ජනතාවට නිදහසේ ඉන්න ඉඩ දෙන්න යැයි කියන එකම අරමුණින් පමණි. වැනකෝසන් විසින් තම යාන්ත්‍රීකරණය දිහා බැලූ අන්දමින් මම ජනතාව දිහා බලන්නේ නැත. කායික විද්‍යාඥයෙක් මිනිස් සිරුර ඇති ආකාරයෙන් බාරගන්නා විදියට, මම බාරගන්නේ ද මිනිසුන් ඔවුන් සිටිනා ආකාරයෙන්ම ය. මගේ කැමැත්ත ඔවුන් අධ්‍යයනය කරන්නට සහ ඔවුන් අගය කරන්නට පමණි.

සියළු ජනතාව ගැන මගේ ගති ස්වභාවය, ප්‍රශංසාවට පත් වී ඇති දේශාටකයෙකුගේ මේ කතන්දරය ගෙනහැර පා පහදන්නම්:

ඔහු දවසක් පිවිසියේ අලුත උපන් දරුවෙක් ඉන්නා ම්ලේච්ඡ ගෝත්‍රික කණ්ඩායමක් මැද්දටය. අනාවැකි කියන්නෝ, මැජික් සංදර්ශන දක්වන්නෝ, හොර වෙද්දු, –වළලු, මුදු, කොකු සහ ලණු අතැතිව– දරැවා වටකරගෙන සිටියහ.

“මේ දරුවා කිසිදා සාම-පයිප්පයක සුවඳ නොදනීවි මම ඔහුගේ නාස්පුඬු දික් කළේ නැත්නම්,” යැයි අයෙක් කීය.

“ඔහුගේ කන් ඔහුගේ උරහිස දක්වා දිගට මම ඇද්දෙ නැත්නම් ඔහුට කිසිවක් ඇහෙන්නේ නැතිවේවි,” තවත් අයෙක් කීය.

“මම ඔහුගේ ඇස් හැදුවේ නැත්නම් ඔහු කිසිදාක සූර්යයාලෝකය දකින්නේ නැතිවේවි,” තුන්වැන්නා කීය.

“මම ඔහුගේ කකුල් නැව්වේ නැත්නම් ඔහු කිසිම දවසක කෙළින් හිටගන්නේ නැතිවේවි,” හතරවැන්නා කීය.

“මම ඔහුගේ ඔළුකට්ට සමතලා කළේ නැත්නම් ඔහු කිසිම දවසක හිතන්න දන්නේ නැතිවේවි,” පස්වැනියා කීය.

“නවතින්න,” දේශාටකයා කෑ ගැසීය. “දෙයියො හදපු ටික හොඳට හදලා ඇත්තේ. ඔහුට වඩා දන්නවා යැයි කියන්න එපා. මේ දුර්වල සත්වයාට දෙයියෝ විසින් ඉන්ද්රීයයන් දීලා තියෙන්නෙ; ඒවාට ව්යායාම වලින්, පාවිච්චියෙන්, අත්දැකීම් වලින් සහ නිදහසෙන් වැඩි වර්ධනය වෙලා ශක්තිමත් වෙන්නට ඉඩ දෙන්න.”

ඉතින් දැන් අපි නිදහසට උත්සාහයක් ගනිමු.”

ඉහත සියල්ල ලියා ඇත්තේ ෆෙඩරික් බැස්ටියාට් විසින් 1850 දී නීතිය නැමති ලොව අගනා කෘතියෙහි ය.

සම්පූර්ණ පොත සිංහලෙන් කියැවීමට පහසු ලෙසින් PDF පොතක් විදියට ලබා ගැනීමට මෙම සබැඳියෙන් හැකියි. කැමති අය සමඟ එය බෙදා ගන්නට අවසර ඇති බව සඳහන් කරමි:
Bastiat translation

Advertisements

14 Responses

Subscribe to comments with RSS.

  1. deshakaya said, on දෙසැම්බර් 17, 2012 at 9:37 පෙ.ව.

    ඒක නං හෙන වටිනවා.. ස්තුතියි..

    • arunishapiro said, on දෙසැම්බර් 17, 2012 at 9:40 පෙ.ව.

      deshakaya,

      පළමු ප්‍රතිචාරය වෑයම අගයන්නක් වීම මිනිස් සංහතියේ සහජයෙන් ඇත්තේ සද්ගුණවත් බව යැයි මගේ විශ්වාසය වැඩි කරන්නක් වීමෙන් දැනුනේ ලොකු සතුටක්!!!!!!!

  2. shermie Fernandez said, on දෙසැම්බර් 17, 2012 at 10:11 පෙ.ව.

    මේ උත්සාහය නම් අගයනවා අරුණි..
    වෙලාවක කියවන්න ඕන.
    ( ඔබගේ පා සටහන් මා නිවසට එන විට
    දොරකඩ තිබෙනු දුටුවා..)

    • arunishapiro said, on දෙසැම්බර් 17, 2012 at 10:17 පෙ.ව.

      shermie,

      ඇතුලට ඇවිත් දේපල විනාශ කරලා ගියේ නෑනේ!!!! 😀

      • shermie Fernandez said, on දෙසැම්බර් 17, 2012 at 11:21 පෙ.ව.

        ඇත්තටම අරුණි මට ඔබ සමග කිසිදු බේරාගන්නට
        නොහැකි හබයක් නැත..ඔබගේ ඔය සරල ස්භාවයට
        මා කැමතිය.සරලව විහුළුවක් තහළුවක් කර ඉන්නට බැරි
        ඇතැමුන් නම් කෙස් පැලෙන පුහු තර්ක ගෙන එයි..
        දරන්නට බැරි යමක් පැවසු විට ව්‍යාජව පැමිණ ප්‍රසිද්දියේ මඩ ගසයි..නමුත් මා කිසි දිනෙක
        ඇනෝ ලෙස පැමිණ කිසිවක් නොපවසයි.එහෙයින් සියල්ලට
        වැරදි කරු වී ඇත්තේ මාය ..එයට කම් නැත..:D මෙය හුදෙක්
        අන්තර්ජාල සටහනක් පමණය.නමුත් ඒ බව තේරුම් නොගත හැකි
        පිරිස මෙය ජීවිතයම කර සිටිනු දැක ඇත්තෙමි..:D

        අනිත් කාරණය අරුණි ඔබ අප සියලු දෙනා හට යම් සමාජයීය
        වගකීමක් ඇත.එය පිලිගනිමි.නමුත් ඒ පිටින් දමා ජනතාව මන් මුලා
        කරවීම වැරදි ක්‍රියාවක්.කිමද කිසිම පුද්ගලයෙක් , කිසිම පුද්ගලයෙක් හට
        තම පොකැට්ටුවෙන් වියදම් කර ඔහුගේ උන්නතියට වැඩ කරන්නේ නැත.
        ඒ වේලාට සමාජීය කැක්කුම අන්තරස්දහන් වී ගොස් හමාරය.
        අන්න ඒ දේ ගැනයි මා කතා කරන්නේ.එය පිළිගන්නා ඕනෑම කෙනෙක්
        සමග නැවත බඩගිනි උනන තුරු සාකච්චා පැවැත්විය හැක.

        ඔයාම හිතන්න අරුණි මේ ලෝකේ අවංක නැහැ .100% එහෙමයි කියනවා
        නෙවේ.හැමෝම මොකක් හෝ දේකට යටත්ව කුහකයි.ඒ කුහකත්වය
        සමාජ කැක්කුම් සළුවෙන් දවටා වසා ගැනීම ඊටත් වඩා කුහකයි නේද?
        ඔයා එහෙමයි කියල නෙවේ මන් කියන්නේ..හොදද ? මන් කියන කාරණාව
        ගැන හිතල කියන්න සරලව..සරල වෙන්න හොදද ?

        දැන් බලන්න උදාහරනෙකට අග _____තුමිය ගැන ..එතුමිය පත් කරේ
        කවුද ? අපිද ? එතුමිය හට චෝදනා එල්ල කරන්නේ කව්ද ? අපිද ?
        ඔය වැරදි කලින් දැනන් නැද්ද පත් කරපු ඈයෝ ?
        ඉතින් අරුණි ඔයාවත් මම වත් ඔය වගේ දේවල් වලට ඇයි මේ කෑගහන්නේ?
        පැහැදිලිවම අපිව අතරමං කිරීමක් තියෙන්නේ..ඒක තේරුම් අරං මන් නම්
        පැත්තකට වෙනවා…මගේ අන්තිම ලියවිල්ල ලිය උනෙත් ඒ ගැන ඒකයි…

        ඒ ටික ලිව්වෙත් අප ඉවත් විය යුත්තේ ඇයි කියන දේ කීමට පමණයි.
        ඒ ඇර මටද ඒ පැත්තටත් මේ පැත්තටත් කරුණු කිව හැකියි.නමුත් ඵලය
        කුමක්ද ?

        මා විස්වාස කරන හා කරන එකම දෙය ජීවිතය ගෙනයාමට වෙහෙසීමත්
        හැකි අයුරින් අනෙකාටද අත හිත දීමත් පමණි.ඒ ඇර මහා කඳු සමග
        හැප්පීමෙන් ඵලක් නැත .

        ( දේපල පරිහරණය මා විනාසයක් සේ නොසලකයි , කැමති නම් ශීත
        පෙට්ටිය ඇර වයින් බිඳක් තොල ගෑමටද අවසර ඇත .. 😀 )

        • arunishapiro said, on දෙසැම්බර් 17, 2012 at 12:17 ප.ව.

          shermie,

          අප සියලු දෙනාටම ඇති සමාජ වගකීම නම් මගේ යහපත වෙනුවෙන් කටයුතු කරන්න යැයි තවකෙකුට බලහත්කාරකමක් නොකර සිටීමයි.

          //ඔයාම හිතන්න අරුණි මේ ලෝකේ අවංක නැහැ. 100% එහෙමයි කියනවා
          නෙවේ. හැමෝම මොකක් හෝ දේකට යටත්ව කුහකයි.// මැද වාක්‍ය අනිත් දෙකට පරස්පර විරෝධී ය.

          //එතුමිය පත් කරේ
          කවුද ? අපිද ? එතුමිය හට චෝදනා එල්ල කරන්නේ කව්ද ? අපිද ?
          ඔය වැරදි කලින් දැනන් නැද්ද පත් කරපු ඈයෝ ?// ඇය ඒ තනතුරට පත් කරගන්නා ලද්දේ ඇය වාසය කරන ඒ රටේ පුරවැසියන් විසින් නොවේ නම් අඟහරු ලෝකෙන් ආපු අය ද?!!!! තමන් විසින් ජනාධිපති තෝරා ගැනීමේ දී, ජනාධිපති විසින් පත්කරන අනිකුත් තනතුරු තීරණය කරන බලය ඔහුට දෙන්නේ ජනාධිපති තෝරා ගන්නා පුරවැසියන් විසින්මයි. ඔහොම ලේසියෙන් අපොයි අපේ නෙමේ වැරැද්ද කියලා ගැලවිලා යන්න දෙන්න බැහැ.

          මා විශ්වාස කරන්නේ කළින් කිව්වා සේ තවකෙකුගේ දේපලක් බලහත්කාරයෙන් උදුරා නොගෙන ජීවිතය ගෙන යෑමටයි. මම කාටවත් උදව් කරනවා ද නැද්ද යන්න වෙන කාගේවත් වැඩක් නොව මගේ වැඩක් නිසා, ඒ ගැන අනිත් අය කියන්නේ හිතන්නේ කරන්නේ කුමක් දැයි විමසීම මට උවමනා නැත.

          දේපල අපහරණය මම ඉතාම දරුණුම වූ මහා විනාසය සේ සලකමි. ඉතින්, මගේ ගෙදර ඇති ශීත පෙට්ටියක් ඇර කිසිවක් තොල ගෑමට තියා, ගේ ඇතුලට එන්න ද ආරාධනාවක් මවිසින් කර නැත්නම් ඊට ඉඩක් කිසිසේත්ම නොදෙමි 😀

  3. w a wijewardena said, on දෙසැම්බර් 17, 2012 at 11:05 පෙ.ව.

    You have done a great job by putting this to Sinhala and making it available to Sinhala readers. Continue this good work.

  4. wicharaka විචාරක said, on දෙසැම්බර් 17, 2012 at 12:00 ප.ව.

    බාගත්තා. කියවා බලන්නම්. ඔබේ තවත් අගනා ලිපියක්

  5. magenama said, on දෙසැම්බර් 18, 2012 at 12:36 පෙ.ව.

    පොත කියවලම ඒ ගැන දාන්නම්.හැබැයි අර උදාහරණයේදි ඇත්තටම වෙන්නෙ නම් ඔය කියන දේවල් කරලා හරි ගියොත් විතරක් පුරසාරම් කියන එක.නමුත් වැරදුනොතින් නම් පොඩි එකාට දෙයියන්ගෙම පිහිට තමා.

    • arunishapiro said, on දෙසැම්බර් 18, 2012 at 7:30 පෙ.ව.

      magenama,

      දැනට වෙලා තියෙන උදාහරණයේ විදියට “මෙයාට මෙහෙම දුන්නෙ නැත්නම් මෙයාට මේවා නොලැබේවි” යන බොරු පොරොන්දුවෙන් චන්දය දිනාගෙන බලය අල්ලා ගත් පසු ඒක කරන්න බැහැයි කියන්න කාරණයක් හෝ ඒක එහෙම දුන්නත් මේවා නොලැබුනේ (කළින් එසේ කරන්න නොහැකි වූ එම හේතුන් ම නොදැක්කා සේ සිට) මේ හේතු නිසා ඒ නිසා වරද මගේ නොවේ කියල මාරු වෙන එක. පුරවැසියාටයි රජයක් විසින් කරන ලද වැරදීම් වලට ගෙවන්න සිද්ධ වෙන්නේ, රජයේ බලය අල්ලා ගෙන මෙහෙම කළාම මෙහෙම වෙනවා යැයි පොරොන්දු දුන් අයට නෙමෙයි. ඉතින් හැමදාම වැරදෙන නිසා (සමස්ත සමාජයේ යහපත ඔවුන්ගේ අරමුණ නොවන නිසාම) පොඩි එකාට/පුරවැසියන්ට දෙයියන්ගේ ම පිහිට තමා!

  6. චින්තක ටිකිරිබන්ඩාර said, on දෙසැම්බර් 18, 2012 at 4:03 පෙ.ව.

    මේ සබැදියට මගේත් හෘදයාංගම ස්තූතිය ඔබට. එමෙන්ම ධනවාදය නිර්දය බව විවේචනය කරන සියල්ලන්ම පරම සමාජවාදීන් යැයි උපක්ල්පනය කරන්නට හදිසි වන්නටත් එපා. මේ මීට පෙර ලිපියේ මගේ කොමෙන්ටුවට ඔබේ ප්‍රතිචාරය ගැනයි මේ.

    • arunishapiro said, on දෙසැම්බර් 18, 2012 at 7:48 පෙ.ව.

      චින්තක ටිකිරිබන්ඩාර,

      උත්සාහය අගය කිරීම ගැන සතුටුයි. ධනවාදය යනු පුද්ගල හා දේපල අයිතිය පිළිගැනීම යැයි මේ අඩවියේ මුල සිටම තරයේ කියා සිටින්නක්. පුද්ගල සහ දේපල අයිතිය යනු ලොව කිසිම වාදයක් යැයි කියා දැයක් මිනිසා හඳුනාගන්නට පෙර පැවතියක්. ඕනෑම පීඩකයෙක් විසින් පුද්ගල හෝ පුද්ගලික දේපල අයිතියක් කඩාකප්පල් කරනවා නම් එයා සමාජවාදියෙක්. එම විග්‍රහයට අනුව පරම ධනවාදියෙක් කියා හෝ පරම සමාජවාදියෙක් කියා අන්ත දෙකක් නැහැ. කළු සහ සුදු යනු අන්ත දෙකක් නෙමෙයි. දෙවිදියකට වෙන් වූ වර්ග දෙකක්. එකක් ඇත්නම් එතැනම අනිකට පවතින්න බැහැ. තමා සමාජවාදයට කැමති නම් අනිවාර්යෙන්ම පිළිගත යුත්තක් තමයි තමන් පුද්ගල හා දේපල අයිතිය පිළිගන්නේ නැති බව. තමා ධනවාදියෙක් නම් අනිවාර්යෙන්ම පුද්ගල සහ දේපල අයිතිය පිළිගත යුත්තක්. ඒ දෙක අතර මැද හිඳගෙන තමා අන්තවාදියෙක් නොවේ යැයි කියාගන්න බැහැ, මොකද මෙය අන්තවාදය ගැනක් නොවන නිසා. ඒත් දේශපාලනඥයන් අතර ධනවාදය සහ සමාජවාදය දෙකම අවශ්‍ය යැයි කියන අය වැඩියි. එහි දී ඒ දෙකම කුමක් දැයි නොදන්නා බවයි ඔවුන් පෙන්වන්නේ. මොකද එකක නිරත වෙද්දී අනෙක අනවරතයෙන් ම නොපවතින නිසා.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: