අරුණි ශපීරෝ‍ වෙතින්

කොම්ප්‍රොමයිස් නම් කුමක් ද? එය බාරගැනීම සහ ප්‍රතික්ෂේපය කෙසේද? උදිතට පිළිතුරක්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 18, 2012

කොම්ප්‍රොමයිස් යන්නට සිංහල වචනයක් නැත. සමහර විට ඒ නිසා සිංහලයන් කොම්ප්‍රොමයිස් යනු කුමක් දැයි කියාත්, එය බාරගැනීම සහ ප්‍රතික්ෂේපය සිද්ධ කරන්නේ කෙසේදැයි කියාද නොදන්නවා විය හැකිය!!!!!

යම් දැයකට දෙපැත්තකට හිමිකම් කියත හැකි අවස්ථාවක් ඉදිරියේ ඇතිවන පිළිගැටුම (conflict) අන්‍යෝන්‍ය ලෙසින් එකඟ වී ඉඩදීම මඟින් පිළිගැටුම සමගියෙන් බේරා ගැනීම යනු කොම්ප්‍රොමයිස් එකකි. එවැනි අවස්ථාවක දී දෙපැත්තටම වලංගු වූ යම් හිමිකම් ඇත. දෙපැත්තටම අනෙකාට ඉදිරිපත් කළ හැකි යම් සාර ධර්මයක් (value) ද ඇත. ඒ නිසා එයින් කියැවෙන්නේ දෙපැත්තම යම් මූල ධාර්මික වූ සිද්ධාන්තයක් මත ඔවුන්ගේ පරමාර්දශය සාක්ෂාත් කරගන්නට යම් එකඟතාවයකට පැමිණීමයි.

මූල ධාර්මික වූ සිද්ධාන්තය ගැන කොම්ප්‍රොමයිස් එකක් හදාගන්නට බැරිය. එහි දී එවිට සිද්ධ වන්නේ එක පැත්තක අයෙක් මූල ධර්මය පාවා දීමකි. සතුන් මැරීම පවක් යැයි කියන්නෙකුව සතුන් මැරීමට එකඟ කරවා ගැනීම කොම්ප්‍රොමයිස් එකක් නොවේ; එය බලහත්කාරකමකි. ඒ නිසා ආචාර ධර්ම ගැන කොම්ප්‍රොමයිස් හදනු නොහැකිය. එසේම දැනුම, සත්‍යය හා විචාර බුද්ධියෙන් එළඹෙන ඒත්තු යාම ගැන කොම්ප්‍රොමයිස් එකක් හදනු නොහැකිය. මන්ද, මිනිස් සිතකට ඒවා ඒ ආකාරයෙන්ම පහදා ගත හැකියාව ඇති නිසාය. (මිනිසා දැනුම, සත්‍ය හා විචාර බුද්ධියෙන් ලැබෙන ඒත්තු යෑමට උත්සාහයක් නොගෙන දුෂ්ට ලෙසින් “අපි විරුද්ධයි අපි විරුද්ධයි” කියා කෑ ගැසීම වෙනත් කරුණකි.)

ද්‍රව්‍යසූචක (concretes) වූවන්ට හෝ වෛශෙෂික (particulars) දේවල් වලට පමණි කොම්ප්‍රොමයිස් ගැසිය හැකියාව ඇත්තේ. එහෙමත් නැත්නම්, දෙපැත්තම විසින් අන්‍යෝන්‍ය ලෙසින් පිළිගන්නා යම් ප්‍රධාන මූල ධර්මයක් වෙනුවෙන් පමණකි කොම්ප්‍රොමයිසකට එළඹිය හැක්කේ. උදාහරණයක් ලෙසට, තමන්ගේ නිෂ්පාදනයට ගෙවිය යුතු යැයි තමන් ඉල්ලා සිටින මිල ගැන අයෙකුට කේවල් කරත හැකිය. එහි දී තමන්ගේ ඉල්ලා සිටින සහ ඔහු දෙන්නට කැමති වන මුදල යන දෙකෙහි යම් අතරමැදක දී දෙදෙනාටම එකඟ විය හැකිය. දෙදෙනාම මෙහි දී අන්‍යෝන්‍ය ලෙසින් පිළිගෙන ඇති ප්‍රධාන මූල ධර්මය නම්, වෙළඳාමේ දී, මිල දී ගන්නා අයෙක් තමන් මිල දී ගන්නට ගෙවීමක් කරත යුතුයි, යන සිද්ධාන්තයයි. එහෙත්, අයෙකුට තමාගේ නිෂ්පාදනයට මුදලක් ලැබිය යුතු යැයි පිළිගන්නේ ද, එම නිෂ්පාදනය මිල දී ගන්නට එන්නා විසින් ඒ නිෂ්පාදනයට මුදල් නොදී ලබාගන්නට අදහස් කරන්නේ ද, එවිට එකඟතාවයක් හෝ කතාබහක් පැවැත්වීමට නොහැකිය. මන්ද එහි දී දෙදෙනාගෙන් එක් අයෙක් විසින් අනෙකා වෙතින් අපේක්ෂා කරන්නේ සම්පූර්ණ යටත්වීමයි.

දේපල හිමියෙක්ට සහ හොරෙක්ට කොම්ප්‍රොමයිස් එකකට එන්නට බැරිය. තමන්ගේ ගෙදර ශීත පෙට්ටියේ ඇති චීස් ඇබිත්තක් හෝ හොරාට දෙන්නම් යැයි කියද්දී එය කොම්ප්‍රොමයිස් එකක් නොව, සම්පූර්ණ යටත්වීමකි. එහි දී හොරා විසින් තමනට අයිති නොවන අනුන්ගේ දේපලකට අයිතියක් කියා ඇත.

හැම දෙයක දී ම කොම්ප්‍රොමයිස් කළ යුතු යැයි යැයි විශ්වාස කරන, ඒ වෙනුවෙන් පෙනී සිටින බහුතරය, කෙසේ කියුවත්, හැම අවස්ථාවක දී ම, ප්‍රධාන මූල ධර්මයක් ලෙසින් කොම්ප්‍රොමයිස් යන්න එහි නියැළෙන දෙපාර්ශවය තෘප්තිමත් කරවන්නක් නොවේ, එය දෙපැත්තම අතෘප්තිමත් කරන්නකි. එයින් දෙපැත්තටම තමන් බලාපොරොත්තු වූ දෙය ඉෂ්ට වූවා කියා තෘප්තියක් දැනෙන්නේ නැත. එයින් හැමවිටම ඇතිවෙන්නේ ඉච්ඡාභංගත්වයයි.

සියළු දෙනාටම සරිලන ලෙසින් ජීවත්වෙන්නට හදනා මිනිසා, කිසිවෙකුට කිසිම ලෙසකින් සරිලන නොවන්නෙක් වෙයි. (Those who try to be all things to all men, end up by not being anything to anyone -Ayn Rand) අද ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයට සිද්ධ වී ඇත්තේ මෙයයි. ජනාධිපතිවරණයේ දී ඔබාමා කිසිසේත්ම පාවා නොදුන්නේ ද එයයි: තමන් ඇති අයගේ දේපල අරගෙන නැති කෙනෙකුට දෙනවා යන්න. ඒ නිසා එය විශ්වාස කරන සියල්ලන්ම ඔබාමාට චන්දය දුන්හ.)

යම් කොටසකට අයිතිය කීමට හැකියාව ලැබීමෙන් ලබන්නා වූ ජයග්‍රහණය නිසා හිමිකම් කියන්නාට තව තවත් හිමිකම් කියන්නට ඉදිරියට එන්නට ධෛර්යයක් ලැබෙයි. යුක්ති සහගත වූ හිමිකමෙන් යම් කොටසක් අහිමි වෙද්දී එයට හසුවන උපහටයා (victim) අධෛර්යමත් වී කරකියාගත නොහැකි වෙයි.

ඉතින් සෑම වාද විෂයයක් (issue) ඉදිරියේ දී ම, (මතක තියාගන්න එය මූල ධර්මයක් ඉදිරියේ දී, ආචාර ධර්මයක් ඉදිරියේ දී, දැනුම, සත්‍ය හා විචාර බුද්ධියෙන් ලැබෙන ඒත්තු යෑම ඉදිරියේ දී යනාදී අවස්ථාවන්හි දී නොවන බව) එක පැත්තක් නිවැරදි වන අතර අනෙක් පැත්ත වැරදිය. එහෙත් මැද්ද අනවරතයෙන්ම දුෂ්ට ය.

වැරදි වූ මිනිසා තුල තවමත් සත්‍යය සඳහා යම් තරමකට ගෞරවයක් ඇත්තේ ඔහු තෝරාගැනීමක් ඇතැයි (choice) යන වගකීම බාරගන්නවා නම් පමණකි. ඇති අයගෙන් අරගෙන නැති අයට දීම තමා ඉදිරියේ ඇති තෝරා ගැනීමක් කියා ඔබාමා විසින් වගකීම බාරගෙන සිටියි. ඉතින් ඔහු නීත්‍යානුකූලව කොල්ලකෑම තමන් අනුමත කරන බව පිළිගන්නෙකි. ඒ වෙනුවෙන් පෙනී සිටින්නෙකි.

එහෙත් මැද්දේ ඉන්නා මිට් රොම්නි සැබැවින්ම අණ්ඩපාලයෙකි!!!!! ඔහු බොරු මවා පෑමක් කරන්නේ සත්‍යය වසන් කරමිනි. ඇති අයගෙන් අරගෙන නැති අයට දෙනවා හැරෙන්නට වෙන තෝරා ගැනීමක් තමන් ඉදිරියේ නැතැයි කියමිනි. සාර ධර්මයන් (values) කියා දෙයක පැවැත්ම ඔහු සත්‍යයෙන් පිළි නොගනියි.

වාද විෂයයක දී මැදක සිටින්නා, ඕනෑම සටනක දී පැත්තක් නොගෙන අහකට වී බලා සිට, අහිංසකයන්ගේ ලේ උරා බොන්නට නොපැකිළෙන, එහෙම නැත්නම් සටනේ දී වරදකරුවා යැයි දෝෂාරෝපණයට ලක්විය යුත්තා දිනුවේ නම් ඔහු වෙත බඩ ගා යන්නට නොපැකිළෙන්නෙකි.

වාද විෂයයක දී මැදක ඉන්නා යුක්තිය ඉටු කරනවා යැයි කියා කරන්නේ හොරාවත් සහ හොරකමට අසු වූ උපහටයාවත් යන දෙදෙනාවම සිරගෙදරට යැවීමයි!!!!!

වාද විෂයයක දී මැදක ඉන්නා අයෙක් කරන්නේ සිහිබුද්ධිය ඇත්තාටත් මෝඩයාටත් අතරමැදක දී එකඟ වෙන්න යැයි කීමයි!!!!!

ආහාර සහ වසවිෂ යන දෙක අතර සිද්ධ වෙන්නා වූ ඕනෑම කොම්ප්‍රොමයිස් එකක දී දිනුම ලැබෙන්නේ මරණයට පමණි!!!!

හොඳ සහ නරක යන දෙක අතර සිද්ධ වෙන්නා වූ ඕනෑම කොම්ප්‍රොමයිස් එකක දී, ලාබ ලබන්නේ නරක පමණි!!!!

හොඳ වෙතින් අරගෙන නරක වෙත යවන ලේ පාරවිලයනයේ (blood transfusion) දී කොම්ප්‍රොමයිස් ගහන්නා යනු එය නොවළක්වා ඇදී යාමට ඉඩ දෙන රබර් ටියුබ් එකයි!!!!

මිනිසුන් තම සද්ගුණයන් ආසන්න ලෙසකට අඩු කරද්දී, එවිට අසද්ගුණය විසින් පරම බලයක් ලබා ගනියි. පාවා දිය නොහැකි වූ පරමාර්ථයකට (පුද්ගල හා දේපල අයිතිය) ඇති පක්ෂපාතීත්වය සද්ගුණවත් අය විසින් අත හරිද්දී එය වහාම ඩැහැගන්නේ දුෂ්ටයන් විසිනි. එහි දී ඔබට දකින්නට ලැබෙන්නේ අශිෂ්ට රඟමඬලකි. දෙකට නැවී වැඳ වැටෙමින්, බඩ ගා ගෙන යන, තම ඉල්ලීම් සඳහා හඬා වැටී කේවල් කරන, තම මූල ධර්මයන් පාවා දුන් දුෂ්ටයන් සහ තමන් නිවැරදි (self-righteous) යැයි කියාගනිමින් දුෂ්ට බව කොම්ප්‍රොයිස් නොකරන අයයි.

ඉතින් පහත රීති ඉතා ප්‍රථුල ලෙසින් සාකච්ඡා වෙන විෂයයක දළ සඳහනක් පමණි:

1. එකම ප්‍රධාන සිද්ධාන්තයක් පිළිගන්නා මිනිසුන් දෙදෙනෙක් අතර හෝ කල්ලි දෙකක් අතර ඇතිවන ඕනෑම පිළිගැටුමක දී, හැම විටෙක ම දිනුම ලබන්නේ වඩාත්ම සංගත නොහොත් අචපල (consistent) බැවින් ඉන්නා අයයි.

2. එකිනෙකට වෙනස් වූ ප්‍රධාන සිද්ධාන්තයක් පිළිගන්නා මිනිසුන් දෙදෙනෙක් අතර හෝ කල්ලි දෙකක් අතර ඇතිවන ඕනෑම සහකරණයක (collaboration) උත්සාහයක දී, හැම විටෙක ම දිනුම ලබන්නේ දුෂ්ට (evil) වූ සහ අවිචාරී (irrational) අයයි. තුවක්කුවක් ළඟ තබා ගැනීම අවශ්‍ය මේ නිසාය!!!!!! 😀

3. විරුද්ධ වූ මූල ධර්මයන් පැහැදිලි ලෙසින් හා විවෘත ලෙසින් නිර්වචනය කරන්නේ නම්, එහි වඩා වාසිය ලැබෙන්නේ විචාරය (rational) ඇති පැත්තට ය. ඒවා පැහැදිලි ලෙසින් නිර්වචනය නොකරන කළ, ඒවා සඟවා හෝ මඟහරින කල, එයින් වාසි ලැබෙන්නේ අවිචාරී පැත්තට ය. නැවතත්, තුවක්කුවක් ළඟ තබා ගැනීම අවශ්‍ය මේ නිසාය!!!!!! 😀

ඉහත සටහන අයින් රූන්ඩ් දර්ශනය පදනම් කරගෙන ලියන ලද්දකි.

Advertisements

18 Responses

Subscribe to comments with RSS.

  1. සුදත් said, on දෙසැම්බර් 18, 2012 at 9:43 පෙ.ව.

    ලිපිය ප්‍රයෝජනවත් කරුණු රැසකින් සමන්විතයි.

    ඒත් කොම්ප්‍රමයිස් කියන එකට සිංහලෙන් “සමථයට පත් කරනවා, වෙනවා” යන පදය පාවිච්චි කරනවා. ඒ ‍වගේම “සමගි සම්මුතිය”, “සමගි ගිවිසුම” වගේ නාම පද පාවිච්චි වෙනවා කම්ප්‍රොමයිසේෂන් කියන එකට. සමතය කියන වචනය සෙට්ල් වෙනවා කියන එකටත් භාවිතා කරනවා.

    භාෂාවන් දෙකක වචන අතර ඒක බහු සම්බන්ධයන් තියන අවස්ථා බොහොමයි.

    • arunishapiro said, on දෙසැම්බර් 19, 2012 at 6:34 පෙ.ව.

      සුදත්,

      ඔව් ශබ්දකෝෂ කිහිපයක ඊට සමගිය, සමථය, ගිවිසුම, සම්මුතිය යන සියල්ල ඒ ඒ අයගේ කැමැත්තට අනුව භාවිතා වුනා. එකක් තෝරාගන්න බැරි නිසා තමයි මෙහෙම ලිව්වෙ.

  2. Ravi said, on දෙසැම්බර් 18, 2012 at 10:10 පෙ.ව.

    ප්‍රේමදාස මහත්මය ජනාධිපති කාලෙ පට්ට ගහපු වචන තුනක් තිබුන…3 C’s කියල ඉංගිරිසියෙන් කිව්වෙ……Consultation, Compromise & Consensus……සිංහලෙන් සාකච්ඡාව, සම්මුතිය සහ එකඟතාව……Compromise කියන වචනෙට සම්මුතිය කියල යොදන්න පුළුවන්ය කියලයි මගෙත් නම් අදහස….

    සම්මුතිය ප්‍රශ්නයක් විසඳාගැනීමේදී බොහොම ප්‍රයෝජනවත් වෙන අවස්ථා බහුලයි. ඒ වගේමයි Extreamly Sorry Guys, No Compromise on That At All කියල එකහෙලාම කියන්ට සිද්ද වෙන අවස්ථාත් අනන්ත යෙදෙනව. 😀

    • arunishapiro said, on දෙසැම්බර් 19, 2012 at 6:32 පෙ.ව.

      Ravi,

      අපිත් මේ දවස්වල ඔබාමාට කියන්නේ No Compromise on That At All කියලා තමයි. ඒත් ඉතින් බලහත්කාරකම නීත්‍යානුකූල කරන්න මෙහෙ ඉන්න ප්‍රධාන පක්ෂ දෙපැත්තම එකතු වෙන බව පේනවා.

  3. Gunarathne said, on දෙසැම්බර් 18, 2012 at 11:03 පෙ.ව.

    1. එකම ප්‍රධාන සිද්ධාන්තයක් පිළිගන්නා මිනිසුන් දෙදෙනෙක් අතර හෝ කල්ලි දෙකක් අතර ඇතිවන ඕනෑම පිළිගැටුමක දී, හැම විටෙක ම දිනුම ලබන්නේ වඩාත්ම සංගත නොහොත් අචපල (consistent) බැවින් ඉන්නා අයයි.

    2. එකිනෙකට වෙනස් වූ ප්‍රධාන සිද්ධාන්තයක් පිළිගන්නා මිනිසුන් දෙදෙනෙක් අතර හෝ කල්ලි දෙකක් අතර ඇතිවන ඕනෑම සහකරණයක (collaboration) උත්සාහයක දී, හැම විටෙක ම දිනුම ලබන්නේ දුෂ්ට (evil) වූ සහ අවිචාරී (irrational) අයයි. තුවක්කුවක් ළඟ තබා ගැනීම අවශ්‍ය මේ නිසාය!!!!!! 😀

    3. විරුද්ධ වූ මූල ධර්මයන් පැහැදිලි ලෙසින් හා විවෘත ලෙසින් නිර්වචනය කරන්නේ නම්, එහි වඩා වාසිය ලැබෙන්නේ විචාරය (rational) ඇති පැත්තට ය. ඒවා පැහැදිලි ලෙසින් නිර්වචනය නොකරන කළ, ඒවා සඟවා හෝ මඟහරින කල, එයින් වාසි ලැබෙන්නේ අවිචාරී පැත්තට ය. නැවතත්, තුවක්කුවක් ළඟ තබා ගැනීම අවශ්‍ය මේ නිසාය!!!!!! 😀

    යමක් කියා ඊට අගට 😀 දැමූ පමණින් එය සත්‍ය නොවේ. එසේම අයින් රෑන්ඩ් කිවා කියූ පමණින්ද එය සත්‍ය නොවේ. කරුණාකර මේවා ඔප්පු කරන්න.

  4. Uditha Meegahathenna (@UdithaMe) said, on දෙසැම්බර් 18, 2012 at 11:43 පෙ.ව.

    රැන්ඩියානු රේඛිය චින්තනය (linear thinking)තුල සීමාව ලකුණු කරලා ඉඳගෙන දාර්ශනිකව විතරක් ලෝකය බලන්න උත්සාහ කිරීම නිසා එන සිතුවිල්ලක් නොවෙයිද මේක. අරුණිගෙයි සහ මගෙයි වෙනස ලකුණු වෙන්නේ හරියටම මෙන්න මෙතනදියි. ලෝකය ත්‍රිමානයි රේඛිය නොවෙයි. අඩු තරමේ ද්විමානවත් නොවෙයි අයින් රෑන්ඩ් ගේ ගත යුතු වටිනා දේ තියනවා අරුණි මේ කියපු දේවල් ඇත්ත හැබැයි මේවා ඇත්ත වෙන්නේ හරියටම රේඛිය අක්ෂයේ ස්ථානගත කරන්න පුළුවන් දේ වලට පමණයි. අන්ධ භක්තියෙන් නැතිව අපි නුවනින් විමසන්න ඕන තියරි භාවිතා කිරීමේදී . සමහර විද්‍යාත්මක තියරි තියනවා සත්‍ය වන්නේ රික්තයක් තුලදී පමණයි කියල ඒක එළියේ වායුගෝලයේ වැඩ කරන්නේ නෑ. ඒ වගේ තමයි අයින් රෑන්ඩ් ගත්තත් හැම තැනටම යොදා ගන්න බෑ.
    සරල උදාහරණයක් දුන්නොත් මෙහෙමයි
    වම- මද්‍ය ලක්ෂය- දකුණ (රේඛිය අවස්ථාව) – අයින් රෑන්ඩ් ඉහත තියරිය සත්‍ය වේ
    උතුර- දකුණ – මද්‍ය ලක්ෂය-බටහිර -නැගෙනහිර (ද්විමාන අවස්ථාව) – අයින් රෑන්ඩ් ඉහත තියරිය වලංගු නොවේ.
    උතුර- දකුණ – මද්‍ය ලක්ෂය-බටහිර -නැගෙනහිර සහ උඩ -යට (ත්‍රිමාන අවස්ථාව) – අයින් රෑන්ඩ් ඉහත තියරිය වලංගු නොවේ.

    There are two sides to every issue: one side is right and the other is wrong, but the middle is always evil කියන කියමනේ issue කියන්නේ මත භේදයට තුඩු දුන් ප්‍රශ්න හෝ කාරණා වල කියන එකයි. එක පැත්තක් වැරදියි සහ එක පැත්තක් නිවරිදියි හරි සහ වැරදි යන ප්‍රතිපක්ෂ තියන රේඛිය “issue” එකක් නොවන දේවලට මෙය අදාල නැහැ.
    “මැද්දේ ඉන්නා මිට් රොම්නි සැබැවින්ම අණ්ඩපාලයෙකි” එතෙන්දි ඔබ නිවරිදියි.

    ලංකාවේ ඉදිරි ගමනට විශාල බාදකයක් තමයි මිනිස්සුන්ගේ ඔළුවල ගල් වෙලා තියන සමාජවාදී අදහස්. හිතන්න පුළුවන් මිනිසුන්ගේ චින්තනය තුල සමාජවාදය මරල දාල වලලා දාන්න ගන්න මිනී පෙට්ටියේ ඇණයක් ලෙස අයින් රෑන්ඩ් pragmatic ලෙස යොදා ගැනීම පමණයි මගේ ඉලක්කය. නැතිව ඇය කරේ තබාගෙන යෑම නම් නොවෙයි. ගගෙන් එතෙර වීමට අපි ඔරුවක් භාවිතා කරනවා හැබැයි ගගෙන් එතෙර වුනාට පස්සේ ඔරුව කරේ තියාගෙන යෑම මෝඩ කමක්.

    • arunishapiro said, on දෙසැම්බර් 19, 2012 at 6:20 පෙ.ව.

      Uditha,

      //රැන්ඩියානු රේඛිය චින්තනය (linear thinking)තුල සීමාව ලකුණු කරලා ඉඳගෙන දාර්ශනිකව විතරක් ලෝකය බලන්න උත්සාහ කිරීම නිසා එන සිතුවිල්ලක් නොවෙයිද මේක.// නැහැ රූන්ඩියානු රේඛීය චින්තනයක ඉන්නවා යැයි කියන්නේ ඔබයි. මා නොවෙයි.

      “මූල ධාර්මික වූ සිද්ධාන්තය ගැන කොම්ප්‍රොමයිස් එකක් හදාගන්නට බැරිය. එහි දී එවිට සිද්ධ වන්නේ එක පැත්තක අයෙක් මූල ධර්මය පාවා දීමකි. සතුන් මැරීම පවක් යැයි කියන්නෙකුව සතුන් මැරීමට එකඟ කරවා ගැනීම කොම්ප්‍රොමයිස් එකක් නොවේ; එය බලහත්කාරකමකි. ඒ නිසා ආචාර ධර්ම ගැන කොම්ප්‍රොමයිස් හදනු නොහැකිය. එසේම දැනුම, සත්‍යය හා විචාර බුද්ධියෙන් එළඹෙන ඒත්තු යාම ගැන කොම්ප්‍රොමයිස් එකක් හදනු නොහැකිය.” අයින් රූන්ඩ් විසින් කියා ඇති issue එකක දී compromise කරන්නේ කොහොම ද යන සාකච්ඡාවේ දී ලියා තිබෙන්නකි.

      //නැතිව ඇය කරේ තබාගෙන යෑම නම් නොවෙයි. ගගෙන් එතෙර වීමට අපි ඔරුවක් භාවිතා කරනවා හැබැයි ගගෙන් එතෙර වුනාට පස්සේ ඔරුව කරේ තියාගෙන යෑම මෝඩ කමක්.// මූල ධර්මයන් පාවා දීලා ගඟෙන් එතෙර විය හැකි යැයි හිතනවා නම් ඔබ ඉන්නේ මුලාවක. අද මුළු යුරෝපයම ඉන්නෙත් ඒ මුලාවේම තමයි. අද ඇමෙරිකාව සෙමෙන් පිය නඟන්නේ ද ඒ මුලාවේ ගිලෙන්නටයි.

      • Uditha Meegahathenna (@UdithaMe) said, on දෙසැම්බර් 20, 2012 at 3:35 පෙ.ව.

        මගේ තර්කය මූල ධර්මයන් පාවා දීම ගැන නොවෙයි. ආචාර ධර්ම පාවා දීමට නම් මම විරුද්ධයි. මා අදහස් කලේ මූල ධාර්මික වූ සිද්ධාන්ත යැයි අරුණි කියන සමහර දේවල් මූල ධර්ම නොව ඔබ දරා සිටින දෘෂ්ටිවාදයක් පමණක් බවයි. .ඔබ කියන මූල ධාර්මික වූ සිද්ධාන්ත වල අවසන් විනිශ්චය කරු දෙවියන්ද? අයින් රෑන්ඩ් ද නැත්නම් ඔබද? ඔබ මුල ධර්මයක් යැයි කියන දෙයක් මමත් මුල ධර්මයන් බව පිළිගත යුත්තේ ඇයි යන්නට ඔබට අවසානයේ යා හැක්කේ දෙවියන් වහන්සේ වෙත පමණක් නොවේද? ඔබ මූල ධාර්මික වූ සිද්ධාන්තයක් යයි කියන දෙයක් හුදු දෘෂ්ටිවාදයක් පමණක් වූ විට මම ඒවා ගණන් ගන්නේ නැත. එවිට ඔබට කල හැකි එකම දෙය ඔබ මේ අයින් රෑන්ඩ් ගේ මුල ධර්මය කඩනවා ඒ කියන්නේ ඔබ ඉන්නේ ධනවාදය සමග නොව සමාජවාදීන් සමගයි කීම නොවේද? මෙය හරියටම සමාන වන්නේ ජෝර්ජ් බුෂ් ඉරාකෙට ගහන්න ගිහින් එක්කෝ ඔබ අප සමග එක්කෝ ඔබ ත්රස්තවාදය සමග කී කතාවටමය.ඉරාකෙට ගහන එක ත්‍රස්තවාදයත් එක්ක කරන සටනක් කියල අපි හැමෝම මූල ධර්මයක් ලෙස පිළිගත යුතුයි. අරුණි ඔබ මූල ධාර්මිකයෙක් (extremist) කියා ඔබම පිළිගැනීමක් නොවේද මේ කරන්නේ.

        • arunishapiro said, on දෙසැම්බර් 20, 2012 at 9:39 පෙ.ව.

          Uditha Meegahathenna,

          මගේ තර්කය මූල ධර්මයන් පාවා දීම ගැනයි. එය පාවා දුන් විටෙක අනිත් සියල්ල ඉබේම පාවා දීමක් සිද්ධ වෙයි.

          පුද්ගලයාගේ ජීවිතයට සහ ඔහුගේ දේපලට ඔහුට ඇති අයිතිය දෘශ්ටියක් නෙමෙයි, එම මූල ධාර්මික පදනම උඩ තමයි මිනිස් සංහතිය ගොඩ නැඟුනේ නීත්‍යානුකූල සමාජ සංවිධානයක් සිද්ධ වෙන්නට කළින් සිට ම. ඒ අයිතීන් යනු කවුරුන් අවසන් විනිශ්චයකරුවා විය යුතුදැයි තීරණයක් අවශ්‍ය නොවන අයිතීන්. ඇමෙරිකන් ව්‍යවස්ථාවේ self-evident truths යැයි සඳහන ඒ නිසයි. මන්ද සමාජයේ පැවති, තවමත් පවතින, කොතරම් නීති ගෙනාවත් ඉවත් කළ නොහැකි මිනිස් හැදියාවක් (ස්වාර්ථයෙන් පමණක් ඉෂ්ටාර්ථයක් (objective) එකක් සාක්ෂාත් වන නිසා) බැහැරකට ලා සමාජයක් සංවිධානය කරත නොහැකි වීම. එහෙම උත්සාහයන් තමයි කොමියුනිස්ට් රුසියාවේ පටන් ගත්තෙ. නීතියට වැඩ කරන්න හැදියාවෙන් උරුම වූ අලස නොමැති ජර්මානුවන්ට එය කොමියුනිස්ට් බර්ලිනයේ කරගන්නට බැරිවීම යනු එය මිනිස් හැදියාවට පටහැනි වීමක් මිස වෙන කුමක් යැයි ඔප්පු කරන්නේ ද?

          //ඔබ මුල ධර්මයක් යැයි කියන දෙයක් මමත් මුල ධර්මයන් බව පිළිගත යුත්තේ ඇයි// මූල ධර්මයක් යනු මා කිව්ව පමණින් හෝ ඔබ කිව්ව පමණින් පවතින දෙයක් නෙමෙයි. එය පවතින දෙයක් නිසා අපි එයට මූල ධර්මයක් යැයි කියනවා පමණයි. උඩට විසි කරන යමක් බිමට වැටෙයි. එය මූල ධර්මයකි. එය උදිත සහ අරුණි යන දෙදෙනා ජීවතුන් අතර සිටිය ද නැති ද ලෝකය විනාශ වී නැත්නම් එසේම සිද්ධ වෙන්නකි. ඉතින් //ඔබට අවසානයේ යා හැක්කේ දෙවියන් වහන්සේ වෙත පමණක් නොවේද?// එය ස්වභාව ධර්මය යැයි මා පරිවර්තනයේ දී [ලෝක ස්වභාවය යනාදියෙන් මෙසේ වරහන් ඇතුලත] යොදා ඇත්තේ එය මිනිස් ස්වභාවයෙන් බැහැරක ඇති දැයක් බව පෙන්වන්නටය. ගුරුත්වාකර්ෂණය යනු ලෝක ස්වභාවයක් යැයි පිළිගැනීමේ දී ගුරුත්වාකර්ෂණය දෙවියන්ගේ නිර්මාණයක් යැයි පිළිගන්නට අවශ්‍ය ද?!!!!!!!

          //ඔබ මූල ධාර්මික වූ සිද්ධාන්තයක් යයි කියන දෙයක් හුදු දෘෂ්ටිවාදයක් පමණක් වූ විට මම ඒවා ගණන් ගන්නේ නැත. // ඉතින් ගුරුත්වාකර්ෂණය හුදු දෘෂ්ටිවාදයක් පමණක් නම් ඔබ යන යන තැන කෙළින් සිටගෙන ඇවිදින්නේ මන්ද?!!!!

          ලෝක ස්වභාවයක් එසේ පවතින විට එය පිළිගැනීම සහ මිනිස් ස්වභාවයක් එසේ පවතින විට එය පිළිගැනීම යන දෙකම අන්තවාදී/මූල ධාර්මික/extremist ක්‍රියාවන් නම් අපිට සංවාදයක් තවත් ගෙන යාමට අවශ්‍ය වේ ද?!!!!!

  5. Jay said, on දෙසැම්බර් 18, 2012 at 4:33 ප.ව.

    මට නම් ඔබේ වෑයම ප්‍රාතිහාර්යයක්……
    ඔබ මේ තරම් කාලයක් සොයාගන්නෙ කොහොමද කියල.
    මට ඔබව සම්පූර්යයෙන්ම කියවන්නත් කාලය මදි වගේ…
    ඔබට ජයවේවා…..

    • arunishapiro said, on දෙසැම්බර් 19, 2012 at 6:22 පෙ.ව.

      Jay,

      වසර 25 කට වඩා කාලයක් තිස්සේ එකතු කරගත්තා වූ, හදාරමින් සිටියා වූ දර්ශනයක් මිසක අද ඊයේ හොයන්න පටන් ගත්තු දේවල් නෙමෙයි නිසා වෙන්නැති. ස්තූතියි.

  6. තිසර said, on දෙසැම්බර් 18, 2012 at 7:20 ප.ව.

    //ආහාර සහ වසවිෂ යන දෙක අතර සිද්ධ වෙන්නා වූ ඕනෑම කොම්ප්‍රොමයිස් එකක දී දිනුම ලැබෙන්නේ මරණයට පමණි!!!!//

    මෙය ඉතා සරල වශයෙන් ගත් කල ද සත්‍යයක් නොවේ. වස පානය කල කෙනෙකුට වතුර / පොල්කිරි ආදිය පොවා මරණයෙන් ගලවාගත හැකිය. අප අනුභවයට ගන්නා ආහාර බොහොමයක් ගන්නා ප්‍රමාණය අනුව හොඳ හෝ නරක ප්‍රතිඵල අතිකර දිය හැකිය. මත්ද්‍රව්‍ය ද එසේමය. ප්‍රමාණය පිළිබඳ කොම්ප්‍රොමයිස් එකකින් එයින් ඇතිවන ප්‍රතිඵලයේ හොඳ හෝ නරක බව පාලනය කල හැකිය.

    කෙනෙකු තම ආරක්ෂාව යන් කොම්ප්‍රොමයිස් කල හැකි දෙයක් නොවේය යන්න පවසා තුවක්කු නිදහස වෙනුවෙන් පෙනීසිටීම, තුවක්කු දැරීමට හැකියාවක් නොමැති කුඩා දරුවන්ගේ ජීවිත කොම්ප්‍රොමයිස් කිරීමක් නොවේද?

    ඔබට ආරක්ෂාව අවශ්‍ය වන්නේ යම් පොදු සමාජීය කරුණක් මත නම්, කුඩාදරුවන්ටත් එම අවශ්‍යතාවය පොදුය. තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා කුඩදරුවන් හර ඔබ යෝජනා කරන්නේ කුමක්ද? වෙඩි නොවදින ඇඳුම්?

    //ඉතින් සෑම වාද විෂයයක් (ඉස්සුඒ ඉදිරියේ දී ම, (මතක තියාගන්න එය මූල ධර්මයක් ඉදිරියේ දී, ආචාර ධර්මයක් ඉදිරියේ දී, දැනුම, සත්‍ය හා විචාර බුද්ධියෙන් ලැබෙන ඒත්තු යෑම ඉදිරියේ දී යනාදී අවස්ථාවන්හි දී නොවන බව) එක පැත්තක් නිවැරදි වන අතර අනෙක් පැත්ත වැරදිය. එහෙත් මැද්ද අනවරතයෙන්ම දුෂ්ට ය.//

    වාද විෂයකදී, තම දැනුම අවබෝධය අනුව පැත්තක් ගැනීමට නොහැකි හෝ, තම දැනුම අනුව නිවැරදි හෝ වැරදි යනුවෙන් හඳුනාගෙන ඇති අන්ත පිළිබඳ එකඟතාවයක් නැති නම් හෝ මධ්‍යයෙහි වූ ඊට වඩා හොඳ යැයි තමන් සිතන විසඳුමක් දකියි නම්, ඒ වෙනුවෙන් පෙනී නොසිට අයින් රෑන්ඩ් හෝ වෙන කෙනෙකු කියා තිබෙන නිසා, තවත් කෙනෙකු විසින් හරි වැරදි කියා දක්වා ඇති පැත්තක් ගැනීම දුෂ්ඨත්වයටත් එහා ගිය මුග්ධභාවයකි.

    • arunishapiro said, on දෙසැම්බර් 19, 2012 at 6:28 පෙ.ව.

      තිසර,

      පාන් ගෙඩියක් එක්ක සයිනයිඩ් ඇබිත්තක් දාලා කෑවොත් මොකද වෙන්නෙ කියලා වෛද්‍යවරයෙකු වෙතින් අහන්න. කරලා බලන්න යන්න එපා එතකොට උත්තරේ දැනගන්න කළින් මිය ගිහින්!!!!

      //වතුර / පොල්කිරි ආදිය පොවා මරණයෙන් ගලවාගත හැකිය.// එහෙම කරද්දී වසවිෂ සම්පූර්ණයෙන් ම ඉවත් කරලා නෙමෙයි ඒවත් තියෙද්දීම ද ජීවිතය බේරෙන්නේ?!!!!

      //කෙනෙකු තම ආරක්ෂාව යන් කොම්ප්‍රොමයිස් කල හැකි දෙයක් නොවේය යන්න පවසා තුවක්කු නිදහස වෙනුවෙන් පෙනීසිටීම, තුවක්කු දැරීමට හැකියාවක් නොමැති කුඩා දරුවන්ගේ ජීවිත කොම්ප්‍රොමයිස් කිරීමක් නොවේද?// නැහැ.

      //තම ආරක්ෂාව සලසා ගැනීම සඳහා කුඩදරුවන් හර ඔබ යෝජනා කරන්නේ කුමක්ද?// කුඩා දරුවන් අද ආරක්ෂා කරන්නේ රජය නොව දරුවන්ගේ දෙමව්පියන් නිසා හෙට ඔවුන් ආරක්ෂා කළ යුත්තේ ද දරුවන්ගේ දෙමව්පියන් විසිනි. ඔබේ දරුවාව රජය විසින් ආරක්ෂා කරදෙනවාට ඔබ කැමති නම් ඔබේ දරුවාව රජයට බාර දෙන්න. ඊට මගේ කිසිම අකමැත්තක් නැත. මා අකමැති මගේ දරුවාගේ ආරක්ෂාව සැපයීම මගෙන් ඉවත් කර රජයට බාරදිය යුතු යැයි ඔබ කියන්නට පමණි.

      // ඊට වඩා හොඳ යැයි තමන් සිතන විසඳුමක්// අපොයි ඔව් පාන් ගෙඩිය බාරගන්නෙ නැතිව පාන් ගෙඩිය සහ සයිනයිඩ් අතරමැදින් තියෙන ඊට වඩා හොඳ විසඳුමක් සොයාගත්තම මටත් කියන්න!!!!!!

  7. මාතලන් said, on දෙසැම්බර් 19, 2012 at 1:27 පෙ.ව.

    මම කියන්න ගිය කතාව රවී මට කලින් කියා තිබෙනවා. අවි ගත්තෝ අවියෙන්ම නසී කියන එක නම් සැබෑ වේගන යන බවයි පෙනෙන්නේ. පුද්ගලයාට මෙන්ම රාජ්‍යයන්ටද අදාලව…

    • arunishapiro said, on දෙසැම්බර් 19, 2012 at 6:29 පෙ.ව.

      මාතලන්,

      දත්ත පෙන්වන්නේ අවි ගත්තෝ ජීවිත බේරාගත්තවුන් බවයි. දාන සබැඳි කියවන්නේ නැති නිසා ඒ දරුවන් ඝාතනය කළ පාසැල “තුවක්කු රහිත කලාපයක්” බවත් කියවන්න අතපසු වෙන්නැති.

      http://mises.org/daily/2354/Child-Safety-and-State-Failure

      මහ පුදුම මිනිස්සු ඔහෙ ඉන්නෙ මාතලන්. නීත්‍යානුකූල අවි තියාගන්න ජනතාවට නොහැකි රටක වෙඩි වැදිලා රෝහලක ඉන්න මන්ත්‍රීවරයෙකුට තවමත් පඩි ගෙවමින්, තනතුරේ තියා ගනිමින් මෙහෙ මේ අපරාධ නොකර නීත්‍යානුකූලව අවි තියාගෙන ඉන්න අපෙන් ඒවා උදුරන්න යැයි කියන්න එකතු වෙනවා!!!!!!

      • Uditha Meegahathenna (@UdithaMe) said, on දෙසැම්බර් 20, 2012 at 4:14 පෙ.ව.

        පුද්ගලික දේපල තුල නීත්‍යානුකූලව අවි තියාගෙන ඉන්න එකට නොවෙයි අරුණි මමනම් විරුද්ධ ඒවත් සමග පාරට බැසීමටය ඇති අයිතිය බහුතර කැමැත්ත නැතිව දීමටයි..
        පාර පුද්ගලික දේපලක් කිරීම ප්‍රයෝගික නැහැ කියන එක ඔබ පිලිගන්නවා ඇතැයි සිතමි
        A ස්ථානයේ සිට B ස්ථානයට යන්න A නම් ස්ථානයේ සිටින පුද්ගලික දේපල හිමියන් 5 දෙනෙක් පාරවල් 5 ක් හදනවා වෙනුවට එක පාරක් හදල පොදුවේ පාවිච්චි කිරීම වාසිදායකයි ප්‍රායෝගිකයි.
        දැන් මේ පුද්ගලික දේපල හිමියන් 5 දෙනාගෙන් දෙන්නෙක් තුවක්කු ආයුධ අල්ලන්නවත් කැමති නැති අවිහිංසාවාදී අචාර ධර්ම රකින අය . දෙන්නෙක් අරුණි අක්ක වගේ පුද්ගලික දේපල ආරක්ෂා කරන්න තුවක්කු දරන අය.
        දැන් A ස්ථානයේ සිට B ස්ථානය අතර ඇති හවුල් පරිසරය පාර තුල විය යුත්තේ කුමක්ද?
        මෙහිදී එකම ප්‍රයෝගික විසඳුම නම් පොදු හවුල් අවකාශය තුල තුවක්කු ඉනේ ගැහීමට අවසර දෙනවාද නැද්ද යන්න බහුතර කැමැත්ත උඩ තෝරා ගැනීමයි. මා ඉන්නේ එතනයි. මෙය තීරණය කල යුත්තේ අදාල සමාජයයි.
        මට තේරෙන විදියට අරුණි අක්කා කියන්නේ මෙවැනි දෙයකි “අහවලාගේ අහවල් මූලධර්මයට අනුව අවි දැරීමට ඇති පුද්ගලික අයිතිය උල්ලංගනය කිරීම ධනවාදය ,පුද්ගල දේපල අයිතිය පාවා දීමකි, ධනවාදී අපි එම මූල ධර්ම පාවා දිය යුතු නැත. එබැවින් පොදු හවුල් අවකාශය තුල පවා තුවක්කු ඉනේ ගැහීමට අවසර දිය යුතුය.

        • arunishapiro said, on දෙසැම්බර් 20, 2012 at 10:06 පෙ.ව.

          Uditha Meegahathenna,

          //ඒවත් සමග පාරට බැසීමටය ඇති අයිතිය// අද දවසේ ද නැත. නීත්‍යානුකූල අවසරයකින් අවියක් අතැතිව (carry permit) පාරට බැසීමේ අවසරය ලබන්නට මානසික සුවතාවය සහ නීති කඩකර ඇත්දැයි පසුබිම් සොයා බැලීමක් දැනටමත් සිද්ධ වේ. මේ මිනීමරුවා ඊට අවසරයක් තිබි අයෙක් නොවේ. ඔහු නීති විරෝධී ලෙසින් පවතින නීති කඩ කළ අයෙකි. ඒ බව සැලකීම බැහැරකට දමමින් ඒ ගැන බහුතර කැමැත්තක් ඇත්තේ දැයි කතාකරන්නට යාම නිශ්ඵල වූ ක්‍රියාවකි. මන්ද කොතරම් නීති ගෙනාවත් අපරාධකරුවෙක් නීතියක් කැඩීම වළක්වන්නට කිසිම රටකට කිසිම ආණ්ඩුවකට හැකි වී නැත.

          පුද්ගල අයිතිය හා දේපල අයිතිය යන මූල ධර්මයන් බැහැරකට දා නීත්‍යානුකූලව යමක් තීරණය කළ යුත්තේ සමාජයයි කියන්නේ නම් එවිට // බහුතර කැමැත්ත උඩ තෝරා ගැනීමයි// විදියට ගිය නාට්සි ජර්මනියේ පුද්ගල අයිතිය හා දේපල අයිතිය යන දෙකම උල්ලංඝනය වුනේ නැතැයි ද කියනවා ද? එහෙම ඇති කරගන්නා නීත්‍යානුකූල බවකින් ලංකාවේ ජීවත්වන සියලු දමිලයන් හා මුස්ලිම් ඝාතනය හෝ පලවා හැර ඔවුන්ගේ දේපල අයිතිය අල්ලා ගැනීම ලංකාවේ බහුතර අදාල සමාජය විසින් තීරණය කරන්නට බලයක් දිය යුතු යැයි ද කියනවා ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: