අරුණි ශපීරෝ‍ වෙතින්

අදහස කුමක් දැයි තෝරා බේරා ගන්නේ කෙසේද?

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 19, 2012

twoways

මූල ධර්මයක් හෝ සිද්ධාන්තයක් වටහා ගැනීමට එයින් අදහස් වෙන්නේ කුමක් දැයි තෝරා බේරාගත යුතුයි. මූල ධර්මය කුමක් දැයි පහදන්නට යන්නා එහි භාවිතා වන වචන හා අදහස් සඳහා නිර්වචනයන් සපයන්නේ ඊට උදව් කරන්නටය. එහෙත් ඒ නිර්වචනයන් තමන්ට උවමනා ආකාරයට වෙනස් කරගෙන පාවිච්චි කරමින් මූල ධර්මය ගැන සාකච්ඡාවට එන්නේ නම් එහි දී නිර්වචනය ඉදිරිපත් කිරිමෙන් දුන් උදව්ව බැහැරලා සංවාදයට පිවිසී ඇත. අයෙක් එක නිර්වචනයක් ද තවත් අයෙක් තවත් නිර්වචනයක ද එළඹ සිටිය දී සංවාදයක් කරනු නොහැකිය. එවිට සිද්ධ වෙන්නේ දෙදෙනෙක් මාර්ග දෙකක යමින් එහෙත් යන්න හදන්නේ එකම මාර්ගයක යැයි කියන නිශ්ඵල උත්සාහයේ යෙදී සිටීමය.

වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ දැඩි අඩුපාඩුවක් නම් අපේ මානසික උත්සාහයන්හි අනගි වූ කොටස භාවිතයෙන් අපේ විචාරයට හැකියාව සහ අපේ සිහි බුද්ධිය මෙහෙයවන්නට ඉඩක් නොදී එහි වැදගත්කමක් නැතැයි කියා අතහැර තිබීමය. මේ අනගි වූ කොටස අපි මුලින් ම භාවිතයට ගන්නේ අපේ ළමා කාලයේය.

මිනිසාට ඇති සත්වයන්ට නැති තර්කානුකූල මනස සහජ මිනිස් ස්වභාවයකි. තමා ඉදිරියේ ඇති තොරතුරු දැක දරුවා ඥානය උකහා ගන්නේ නිරීක්ෂණයෙනි (observation), සාක්කි (proof) වලිනි, නැවත නැවත අදාල වෙන පරිදි යොදා ගැනීමට හැකි දැයි (repeated application) සොයා බැලීමෙනි.

පාසැල් අධ්‍යාපනයෙන් සැලසිය යුත්තේ මෙය එසේ ඉටු කරගන්නට හැකිවන තොරතුරු දරුවා වෙත ඉදිරිපත් කිරිමයි. එයින් දරුවා තම සම්පූර්ණ ජීවිත කාලය තුල දී මනස සංවර්ධනය කරගන්නට හැකි ඒ විජට්ටු සහජ වූ තර්කානුකූල බවින් පාවිච්චියට ඉගෙන ගනියි.

ප්‍රශ්න විසඳා ගැනීමට සහජ වූ මොළයක් උපතින් ඇතැයි කියමින්, (ආදී මිනිසාට වඩා වර්තමාන මිනිසා එයට ඉහත විජට්ටු හදාගෙන දියුණු වූ බව අමතක කරමින්) වර්තමාන අධ්‍යාපන ක්‍රමය (ඉහත විජට්ටු ගැන කියා නොදී) තර්කය යනු නිර්මාණශීලී ලෙසින් තමනට උවමනා ඕනෑම ආකාරයකින් පාවිච්චියට හැකි වූවක් සේ ඉදිරිපත් කර, තොරතුරු ද පැත්තකට පක්ෂපාතීව පමණක් ඉදිරිපත් කර (පාසැල් වල දී), තර්කානුකූල මනස වැඩීමට බාධා පමුණුවා ඇත.

ආදී මිනිසාට සේ ප්‍රශ්න විසඳා ගන්නට අද දරුවාටත් සහජ වූ හැකියාවක් ඇතැයි කියද්දී, එයට සහාය වෙන තර්කානුකූල මනස සහජ මිනිස් ස්වභාවයක් වුවත්, එයට ආදී මිනිසා පරම්පරා ගණනක් තිස්සේ වැඩිහිටියන් ගෙන් දරුවන්ට කියා දී රැකගත් 1. නිරීක්ෂණය, 2. සාක්කි, 3. නැවත නැවත අදාල වෙන පරිදි යොදා ගැනීමට හැකි දැයි සොයා බැලීම යන විජට්ටු භාවිතය කෙසේදැයි කියා දීම නවතා ඇත. ප්‍රතිඵලය දරුවා මිථ්‍යාවක් සහ සත්‍යයක් අතර වෙනස තෝරා බේරා ගන්නට තමන් තර්කානුකූල වන්නේ කෙසේදැයි නොදැනීමයි.

දැනුම වනාහී අද දරුවාගේ මනසට පරිබාහිරව තියෙන්නක් යැයි සැලකේ. අද දරුවාට පරිසිද්ධි (facts) සහ මූල ධර්මයන් (principles) වලින් ඥානය ලැබෙන්නේ කෙසේදැයි උගන්වන්නේ නැත. මන්ද අද ගුරුවරු සිතන්නේ අද ඥානය යනු හෙට වඳ වී යන දැයක් කියාය. අද ගුරුවරු කරන්නේ “ඒසේ යැයි ඔවුන් සිතන එහෙත් එසේ නොවන ඒ ඊනියා ඥානය” ලබාගන්නේ කොතැනින් දැයි පෙන්වා දීම පමණි. යමක් දැනගන්නට අවශ්‍ය වූවාම අහවල් පුස්තකාලයේ, අහවල් පොතේ, අහවල් අන්තර්ජාලයේ අන්න අතන එය ඇතැයි සොයාගන්නා ආකාරය කියා දීම පමණි.

ඉතින්, ප්‍රශ්න පත්තරේ එන ප්‍රශ්නත් දෙනවාලු විභාගෙට යන්න කළින්ම!!!!!

පසුගියදා කල එළි බැසි “අපට ගැළපෙන ආර්ථික ක්‍රමවේද” පොතේ පිටු අංක 150 හි මෙසේ සඳහන් විය: “බොහෝ දෙනෙකු වරද්දා ගන්නා කරුණක් නම් උගතුන්, වියතුන් අන්තර්ජාලය භාවිත කරන අන්දමට සියලු දෙනා අන්තර්ජාලය භාවිත කළ යුතු යැයි සිතීමයි. එය වැරදි වැටහීමෙකි.”

මෙය සත්‍යයෙන් ම වැරදි වැටහීමක් යැයි මගේ අදහස ද වේ. මා කැළණිය, කොළඹ සහ කොළඹ නගරයේ පුද්ගලික විශ්ව විද්‍යාලයක ද පරිගණක පාවිචිච්යේ දී සාමාන්‍යයෙන් මොනවා ගැනදැයි කැම්පස් උගතුන් සොයා බලන්නේ කියා දැනගන්නට පරිගණකයේ අන්තර්ජාල ඉතිහාසය සොයා බලද්දී, දැනුම එක්කාසු කරන අය විසින් මෙතරම් කාලය වැය කර ඇත්තේ මේවාට දැයි දැක සැබැවින්ම පුදුමයට පත් වුනිමි!!!!!

ඉහත පොත තව දුරටත් මෙසේ කියයි: “ශාස්ත්‍රීය පොතක් මුල සිට අගට කියවීම උගතුන් ගේ ක්‍රමය නොවේ. එහි අග තිබෙන වර්ගීකරණය පටුන ආදියෙන් බලා අවශ්‍ය දේ පමණක් කියැවීම ප්‍රමාණවත් ය.”

තවත් තැනක මෙය දැක්කෙමි: “මේ පොත් කිසිවක් මම සම්පූර්ණයෙක් නොකියැවූයෙමි. නමුත් පොතක් නොකියවා එහි හරය උකහා ගැනීමේ කපටිකම ඒ වන විට ‘මාස්ටර් කර’ තිබුණු හෙයින් විජයවර්ධන මහත්තයාට මට උගන්වන්නට අවශ්‍ය වූ දේ වටහා ගතිමි.”

උගතුන් වියතුන් ඥානය උකහා ගන්නට නියැළෙන ඉහත ක්‍රමය භාවිතා නොකරාවි යැයි මම මගේ පාඨකයාගෙන් උදක්ම බලාපොරොත්තු වෙමි!!!!!

මනසක් සංවර්ධනය වෙන්නේ කළින් එකතු කරගත් තොරතුරු වලට නව තොරතුරු එකතු කර කළින් තැන්පත් කරගත් දැනුම සමඟ නව තොරතුරු අමුණා ගැනීම අනුවය; එනම්, මූල ධර්මයන් සහ පරිසිද්ධි මොනවා දැයි හඳුනාගෙන ඒවා නිරීක්ෂණය, සාක්කි, නැවත නැවත අදාල වෙන පරිදි යොදා ගැනීමට හැකිදැයි තමන් ඉදිරියට එන අලුත් තොරතුරු වලින් ද විමසා බැලීමෙනි.

ඉතින් බැස්ටියාට්ගේ පොත කියවන්න යැයි ඉදිරිපත් කරද්දී මා කියන්නේ ඔබට බැස්ටියාට් මෙසේ කියා තිබෙන නිසා එය පිළිගන්න කියා නෙමෙයි. බැස්ටියාට් තම මූල ධර්ම සහ පරිසිද්ධි ඉදිරිපත් කරගෙන නිරීක්ෂණය, සාක්කි සහ නැවත නැවත අදාල වෙන පරිදි යොදා ගැනීම කර ඇති ආකාරය කියවන්න කියාය. ඉන්පසුව තම ජීවිතයේ දී තමන් ඉදිරියේ ඇති සිද්ධියක දී ඊට අදාල පරිසිද්ධි සහ මූල ධර්ම ගැන විමසන්නට ද බැස්ටියාට් කියූ දේවල් භාවිතයෙන් ඔබගේ මනස විචාරයට භාවිතා කරන්න කියාය.

ඉතින් අයින් රෑන්ඩ්ගේ අදහස් මෙහි ලියද්දී මා කියන්නේ ඔබට අයින් රෑන්ඩ් එසේ කියා තිබෙන නිසා එය පිළිගන්න කියා නෙමෙයි. අයින් රෑන්ඩ් ඇයගේ මූල ධර්ම සහ පරිසිද්ධි ඉදිරිපත් කරගෙන නිරීක්ෂණය, සාක්කි සහ නැවත නැවත අදාල වෙන පරිදි යොදා ගැනීම කර ඇති ආකාරය කියවන්න කියා පමණි. ඉන්පසුව තම ජීවිතයේ දී තමන් ඉදිරියේ ඇති සිද්ධියක දී ඊට අදාල පරිසිද්ධි සහ මූල ධර්ම විභාගයට අයින් රෑන්ඩ් කියූ දේවල් භාවිතයෙන් ඔබගේ මනස පාවිච්චි කරන්න කියාය.

යම් මූල ධර්මයක් වටහා ගන්නට උත්සාහ ගන්නා සත්‍යය උත්සාහයක දී, වර්ගීකරණය බලා, පටුන බලා, තමනට අවශ්‍ය යැයි තමන් හෝ අනුන් සිතන කොටසක් පමණක් කියැවීමෙන් නුපුළුවන. එවිට ලැබෙන්නේ පින්තූරයෙන් කොටසක් පමණි. හරියට මෝනා ලීසා ප්‍රසිද්ධ ඇයගේ සිනාවට යැයි අහපු නිසා ඇයගේ මුව පමණක් බලා එය මෝනා ලීසා චිත්‍රය යැයි බාරගැනීම වැනිය.

පිටු 1208 ක ඇඩම් ස්මිත්ගේ The Wealth of Nations කියවන්න වේලාවක් අපිට කොයින් ද?

පිටු 502 ක ජෝන් ජාක් රූසෝගේ Emile, ou L’education කියවන්න වේලාවක් අපිට කොයින් ද?

පිටු 541 ක කාල් මාක්ස්ගේ Das Kapital කියවන්න වේලාවක් අපිට කොයින් ද?

පිටු 1804 ක අයින් රෑන්ඩ්ගේ Atlas Shurgged කියවන්න වේලාවක් අපිට කොයින් ද?

පිටු 33 ක ෆ්‍රෙඩරික් බැස්ටියාට්ගේ Law කියවන්න වේලාවක් අපිට කොයින් ද?

මෙසේ කියන අය, ඉහත පොත්වල ලියා ඇති අදහස් ගැන තමන් විසින් අගය කරන අයෙකු ගෙන් හෝ, ඒවායේ වර්ගීකරණය, පටුන කියවා තමනට අවශ්‍ය කොටස් පමණක් කියැවූ අයෙකුගේ හෝ තමන් එසේ කියවා, ලබාගත් අදහස් සත්‍යය යැයි බාරගෙන සිටිති.

තමන් කියවන්නේ නැතිව, අනුන් ලියා ඇති දේවල් බාරගෙන ඉන්නා අයම මගෙන් ඇවිත් මෙතැන දී අහන්නේ, ඔයා කියන නිසා අරයා කිව්වා මෙයා කිව්වා කියා අපි පිළිගත යුතු මන්දැයි කියාය.

මා කියන්නේ ඔබ විසින් ඒවා මුල සිට අගට අකුරක් නෑර, කිහිප වතාවක් කියැවිය යුතු යැයි කියාය.

ඒවා පමණක් නොව ඔවුන් විසින් ලියූ අනිත් පොත්පත් හා ලියකියැවිලි ද අකුරක් නෑර කිහිප වතාවක් කියවිය යුතු යැයි කියාය.

ඉන්පසුව මා මෙහි ලියන සටහන් අනුව, ඔබේ ජීවිතයේ ඔබ මුහුණ පාන සිද්ධීන් හමුවේ දී ඒවායෙන් සහ මම ලියන දෑ වලින් ඔබගේ මනස භාවිතයට ගෙන ඔබ සිතන්න ඕනෑ යැයි කියාය.

එහෙත් එය කරන්නට අවශ්‍ය ඔබට ඥානය පාදා ගන්නට අවශ්‍ය නම් පමණි. ඔබේ වෑයම වන්නේ ඔබේ විකල තර්කයෙන් එහෙන් මෙහෙන් අල්ලා ගත් දෑ වලින් ඔබේ දෝෂ සහගත මතය මට හඟිස්සවන්නට නම් එම උත්සාහය නිශ්ඵලය.

අහෝ තර්කානුකූල මනස, ඔබට සිද්ධ වී ඇති විපත්තියක තරම. ඔබව පාවිච්චියට ගන්නට නොදන්නා කමෙන්, ඔබව මනසේ මුල්ලක විලංගු දමා සිරකර ඇත. ඔබේ යදම් ලිහන්නට මා ගන්නා වෑයම හැකිතාක් කාලයක් කරගෙන යන්නම්. 😀

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. R.p. Susantha said, on දෙසැම්බර් 19, 2012 at 7:19 පෙ.ව.

    කවදත් වගේ බොහෝ දැනුමක් ලබා ගත්තා. ස්තුතියි.

  2. Uditha Meegahathenna (@UdithaMe) said, on දෙසැම්බර් 19, 2012 at 9:22 පෙ.ව.

    The Wealth of Nations සහ Das Kapital කියවා ඇත නැවත නැවත බලමි. අයින් රෑන්ඩ් කියෙව්වේ අරුණි අක්කගේ ලිපි කියවා ඇය ගැන දැනගත් බැවිනි.(ස්තුතියි අරුණි ). චානුක වත්තේගම මෙන් පොත් දිහා බලා අන්තර්ගතය දැනගැනීමේ හැකියාව මට නොමැතිවීම මොනතරම් අවාසනාවන්ත කමක්ද. ෆ්‍රෙඩරික් බැස්ටියාට් පොතේ දැන් ඉතින් PDF එක තියනවනේ මම ඒක මේ දවස්වල USB මෙමරි ස්ටික් එකකට දාල සාක්කුවේ දාගෙන ඉන්නවා. 😉

  3. මාතලන් said, on දෙසැම්බර් 19, 2012 at 11:27 ප.ව.

    පොතේ කවරෙන් පොත් මනින්න එපා කියලා කතාවක් තියෙනවනේ. සමහර විට අළුත් පොතකින් කතුවරයා තමන් එතෙක් දැරූ මතය වෙනස් වී අළුත් මතයකට පැමිනෙන්න ඉඩ තියෙනවා. ඒත් එහෙන මෙහෙන් කියෙව්වාම. ඒයා වෙනස් වෙලාද නැතිද කියලා තේරේනවා. බුදු හාමුදුරුවන්ගේ ධර්මය වටහා ගන්න ත්‍රිපිටකයම කියවන්න ඕන නෑනේ. අනික්වත් එහෙම තමයි. නමුත් මම හිතනවා ඔය පොත් පත් වල තියෙන දෙයට වඩා තමා තමාගේ මතයක් දර්ශනයක පිහිටා ඉන්න එක වැදගත් කියලා. ඔබ තුමියම එක තැනක අගය කරපු ගෙදර ඉඳගෙන ඉගෙනගැනීම, මේ අවස්ථාවේ වැරදිලා තියෙනවා. ඒකෙන් පේන්නේ සාපේක්ෂතාවාදය අන් හැමටම වඩා සත්‍යයක් බවයි…

    • arunishapiro said, on දෙසැම්බර් 20, 2012 at 9:19 පෙ.ව.

      මාතලන්,

      //සමහර විට අළුත් පොතකින් කතුවරයා තමන් එතෙක් දැරූ මතය වෙනස් වී අළුත් මතයකට පැමිනෙන්න ඉඩ තියෙනවා.// අපි මතයක් ගැන නෙමෙයි කතා කරන්නෙ මාතලන්. සිද්ධාන්තයන් සහ මූල ධර්මයන් ගැන. කතුවරයා මතය වෙනස් කරගත්තාට සහ කියවන්නා මතය වෙනස් කරගත්තාට සිද්ධාන්තයන් සහ මූල ධර්මයන් වෙනස් වෙන්නේ නැහැ. ඒවා ලියන එක්කෙනා සහ කියවන එක්කෙනා විසින් පිළිගන්නවා ද නැද්ද යන්න පමණයි වෙනසට භාජනය වෙන්න හැකි එකම තැන. අයෙක් පිළිගත් සිද්ධාන්තයක් හෝ මූල ධර්මයක් පසු කාලයක දී අයෙක් පිළිනොගන්න නිසා වෙනස් වී ඇත්තේ පුද්ගලයාගේ පිළිගැනීම/පිළිනොගැනීම මිසක් සිද්ධාන්තය/මූල ධර්මය නෙමෙයි.

      //බුදු හාමුදුරුවන්ගේ ධර්මය වටහා ගන්න ත්‍රිපිටකයම කියවන්න ඕන නෑනේ.// ත්‍රිපිටකයේ විනය පිටකයෙන් සංඝ/භික්ෂුණි සඳහා ඇති උපදෙස් ටිකක් කියවන ගිහියාට බුදු දහම වැටහෙනවා යැයි ඔබ කියන්නේ නම් ඒ මුලාවෙන් ම තමයි ධර්මය වටහා ගන්න සියල්ල කියවිය නැතැයි ඔබ කියන්නේ. විශේෂයෙන් ම අර “තීරශ්චීන විද්‍යාවන්” ගැන බුදුන් වදාල ටික මඟහැරිලා යන්නෙ!!!!!!

      //නමුත් මම හිතනවා ඔය පොත් පත් වල තියෙන දෙයට වඩා තමා තමාගේ මතයක් දර්ශනයක පිහිටා ඉන්න එක වැදගත් කියලා.// එහෙම නම් අයෙක් වහල්ක්‍රමය හොඳ යැයි තමන්ගේ මතයක දර්ශනයක සිටීමත් වැදගත්. ඉතින් මට ඇමෙරිකාවේ ව්‍යවස්ථාවෙන් නීත්‍යානුකූලව සැමට දී ඇති අයිතියක් වෙන අවි ළඟ තබා ගැනීමේ අයිතිය නිවැරදි යැයි මතයක පිහිටා ඉන්න එක වැදගත් නම් ඇයි ඒක එපා කියන්න පෙල ගැහෙන්නේ?!! ඇයි මගේ මතය වැරදි ඒත් වැරදි මතය නිවැරදි?!!!! 😀

      //ඔබ තුමියම එක තැනක අගය කරපු ගෙදර ඉඳගෙන ඉගෙනගැනීම, මේ අවස්ථාවේ වැරදිලා තියෙනවා.// ඉතින් සබැඳියක් දුන්නාම එය කියවන්නෙ නැතිව එකම knee jerk reaction එක නැවත නැවතත් ගිරවෙක් මෙන් ප්‍රතිචාරය කරන්නේ නම් මා හටත් සිද්ධ වෙන්නේ එයට දෙන උත්තරය නැවත නැවත් ලිවීම පමණයි. වැරදුනේ ගෙදර ඉඳගෙන ඉගෙන ගැනීම නෙමෙයි; මෙතැන දී වැරදී ඇත්තේ පාසල් සිරකඳවුරු සේ පවත්වා ගෙන යමින්, ඒවායේ සිය ළමා කාලයෙන් වැඩිපුර කාලයක් රජයේ නිර්දේශ ඉගෙන ගනිමින් ඉන්නා දරුවන්ට ආරක්ෂාව සපයන මුරකරුවන්, වැඩිහිටියන් හා වගකිව යුතු පුද්ගලයන්ට “තුවක්කු අහිමි කලාපයක්” කර අපරාධකරුවන්ට තෝතැන්නක් හදා තිබීමයි. අපරාධකරුවෙක් සමාජයේ ගෙදර ඉගෙන ගන්නා දරුවන්, පාසැල් වල ඉගෙන ගන්නා දරුවන්, විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නා දරුවන්, රජයේ ශිෂ්‍යත්ව ලබා ඇති දරුවන්, රජයේ තනතුරු දරනා වැඩිහිටියන් යනාදී කිසිම තැනකින් බිහිවීම වළක්වා ගන්නට නම් කරන්නට ඇත්තේ එකම එක දෙයයි: උපන් විගස වහාම සිරබන්ධනයේ තැබීම. එහෙම වෑයම් තමයි පුරාතන ග්‍රීසියේ ස්පාර්ටාවෙන් දකින්නට ලැබුනේ, එහෙම උත්සාහයන් තමයි අද යුරෝපයෙන් ඊට වඩා ඔවුන් විසින් “මානුෂික හිතවාදී” ලේබල් එකෙන් ක්‍රියාත්මක වෙන්නෙ. යුරෝපයේ දරුවෙක් තමන්ට ළාබාල අවදියේ විභාග සමත් වීම අනුව නියමිත වූ රජයේ පාඨමාලව මිසක් වෙනකක් හදාරන්නට ඇති මාර්ග අඩුවීම හරියට සංවර්ධිත ලෝකයට එකතු වෙලා නැති ලංකාවටත් එහා ගිහින්. ඉතින් සිරකරුවන් ලෙසින් ඉන්නට ඔබ කැමති වූ පමණින් මාවත් එහි සිරකරුවෙක් කරන්නට හදන්නේ නම්, නීත්‍යානුකූලව තිබෙන මගේ අයිතීන් -මා නීති කඩා අපරාධකාරයෙක් වේ යැයි ඔබ සිතන නිසා පමණින්- මගෙන් නීත්‍යානුකූලව උදුරන්නට බලයක් ඇතැයි ඔබ සිතන්නේ නම් මා ඊට විරද්ධව සටන් වැදීම නවතන්නේ නැහැ.

  4. ineshwickramaraja said, on දෙසැම්බර් 21, 2012 at 5:21 පෙ.ව.

    උදිතගෙ සටහනේ තිබුන කමෙන්ටු කීපයකට පිලිතුරු ලෙස මෙ ලිපිය ලිය ඈති බවක් දෑනෙයි,එම ලිපියෙ කමෙන්ටු වල ඔබට කර අති චොදනා වල ඈත්තේ ,කොහෙද යන්නෙ මල්ලෙ පොල් වෑනි කාතාය,ඔවුන් කවුරුන් හෝ ලියන දෙයක අදහස තෙරුම් ගත් අකාරයට සිනා ගියෙමි,—-යමක් කියවා තෙරුම් ගත යුතු ආකරය හා තමන් විසින් තර්ක කර අවබොධ කරගත යුතුයි යන්න හොදින් පෑහදිලි වන ලිපියකි.ගිරවා දමා හා බොරු කර ඉගෙනගත් ලන්කාවෙ බොහෝ දෙනෙකුට තර්ක කර අවබෝධ කර ගෑනීම යන්න නොතෙරේ.

    • arunishapiro said, on දෙසැම්බර් 21, 2012 at 9:34 පෙ.ව.

      ineshwickramaraja,

      ස්තූතියි ප්‍රතිචාරයට. ඔබ හා එකඟවෙන තවත් පිරිසක් මේ අඩවිය කියවනවා!!!

      සැම විටම සත්‍යය රැකබලා ගන්න, වරදට සමාව දෙන්න, දුෂ්ට බවට ඉහළින් නැඟී සිටින්න. Cherish truth, pardon error, rise above evil.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: