අරුණි ශපීරෝ‍ වෙතින්

කාලීන පුවත් සහ චිලේ රටේ කරන්ට්ස්

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 20, 2012

red currants

කාලීන පුවත් රජයේ නිර්දේශය යටතේ හැදැරීම පාසැල් අධ්‍යාපනයට “සමාජ අධ්‍යයනය” නමින් රිංගා ගත්තේ මම සාමාන්‍ය පෙළ පංතියේ ඉගෙන ගනිද්දී ය. අද කාලීන පුවත් කාගේවත් නිර්දේශයක් ලැබෙන තෙක් බලා නොසිට, උස් පහත් බේදයක් නොමැතිව, දේශ සීමාන්තරයක් නොමැතිව ලෝක ජනතාව අතර ක්ෂණයෙන් පැතිරේ. කාලාන්තරයක් තිස්සේ ප්‍රවීණ කරගත් හුරුවෙන් ගැලවී කාලීන පුවත් කතාබහට ඉඩක් ලැබෙන්නේ ලොව ඉතා මෑතකය.

වෙළඳාම ගෝලීය වූයේ මෑතක දී යැයි සමහරු සිතති. පුරාතනයේ ධන කුවේරයන්ට පමණක් භුක්ති විඳිය හැකි වූ ගෝලීය වෙළඳාමේ ඵල අද අවම පඩියට සතියේ පැය හතළිහක් වැඩ කරන්නාට භුක්ති විඳිත හැකිය. පින්තූරයේ ඇති චිලේ රටේ වැවෙන රතු කරන්ට්ස් (Ribes rubrum) ඇමෙරිකන් වෙළඳපොලේ අලෙවි බදු නැති ඩෙලවෙයාර් ප්‍රාන්තයේ දී මිල දී ගත්තේ ගොඩ ඩොලර් දෙකකටය. ඩෙලවෙයාර්හි අවම පඩිය පැයකට $7.25 කි. යෝග ව්‍යායාම් උගන්වන්නට හැකි සහතිකයක් ඇත්නම් පැයකට $30 කි!!! අඩු පඩි ලබනා අයට ආදායම් බදු නැත, නොමිලේ ආහාර කූපන් වලින් රතු කරන්ට්ස් ගත හැකියි.

කාලීන පුවත් රජයේ නිර්දේශ යටතේ බෙදා හැරුණ එදා බහුතරයක් සේ ම, අදත් බහුතරයක් ධන කුවේරයන් ගේ හෝ දුප්පතුන්ගේ සත්‍යය තත්වය ගැන නොදනිති. ධන කුවේරයන් ඉන්නේ 1% ක් යැයි ද සෙසු සියල්ලෝම 99% යැයි ද ජනප්‍රිය ලේබල් එකයි. ඒ දෙගොල්ලන් අතරම මාක්ස්වාදය කුමක් දැයි නොදන්නා එහෙත් එය ධනවාදයට වඩා නම් අති උතුම් වූ ජනතා හිතවාදී වූවක් යැයි සිතනා බහුතරයක් සිටිති. අද එය වෙනත් වේෂ නිරූපනයෙන් හිස ඔසවා ජීවිත හා දේපල තවමත් කඩාකප්පල් කරමින් ඉන්නේ යැයි නොදකින ඔවුන් අතර බහුතරයක්, මාක්ස්වාදය ලොව තුරන් යැයි කියමින් එහෙත් ඒ පදයට තවමත් නටති.

චිලේ රටේ රතු කරන්ට්ස් වලට ඩෙලවෙයාර්හි අවම පඩිලාභියෙකුට හේමන්තයේ දී රස විඳින්නට හැකියාව ලැබී ඇත්තේ ධනවාදයේ මහිමය නිසා බව නොදන්නා අය ද ලොව බහුතරයකි. මෙහෙ ඉන්නා 99% නියෝජනය කරන අයෙකුගෙන් ඇසුවොත් එය ඔබාමා දුන් තවත් තෑග්ගක් යැයි අහගන්නට ද හැකිවන්නට ඉඩ ඇත!!!!!

ධනවාදියා සහ ශ්‍රමිකයා අතර ඇති වෙනස අතීතයේ වහල් හිමියා සහ වහලා අතර ද, රදළයා සහ ප්‍රවේණි දාසයා අතර ද දකින අසමානතාවය හා සමාන යැයි මුළු ඉතිහාසයෙන් ම පෙන්නුම් කරන්නේ එක එක වේෂ නිරූපනයෙන් එන ඒ පංති භේදය යැයි කීම මාක්ස් සහ එංගල්ස් ලියූ මාක්ස්වාදයයි. සමාජයේ ඇති මේ පංති භේදය නැති කර සියලු සූරා කෑම් නවතා සම්පූර්ණ සමාජ සාධාරණත්වය සමාජවාදයෙන් සැලසිය හැකි යැයි කීම මාක්ස්වාදයයි.

වහලා නම් ස්වාමියා වෙතින් පැන යන්නට නොහැකි ජීවිතය තිබෙන තුරු තමා අයිති ස්වාමියට කඹුරන මිනිසෙකි.

ප්‍රවේණිදාසයා නම් රදළයාගේ නියමයන් අනුව නිර්මිත වූ වෘත්තියක නියැළෙන, ලැබෙන පංගුවට වඩා වැඩි යමක් වෘත්තිය පරදුවට තබා උද්ඝෝෂණයකින් මිසක ඉල්ලා සිටිය නොහැකි, රදළයාගේ කැමැත්ත අනුව උපන්දා අයිති වූ පංතියේ මැරෙන දා තෙක් කඹුරන මිනිසෙකි.

ඉතින් මාක්ස්වාදීන් යැයි කියාගත්තවුන් ද, කොමියුනිස්ට් යැයි කියාගත්තවුන් ද, සමාජවාදීන් යැයි කියාගත්තවුන් ද, අද ධනවාදීන් යැයි පෙනී සිටින්නට හදනා අය ද සමාජයේ සියලු උවදුරු නැති කළ හැකියේ හැමෝම සමාජ සමානාත්මතාවයෙන් පවත්වා ගත හැකි සිපිරිගෙය ඇතුලතට ගෙනැවිත් හිරකර දැම්මාම යයි ගුණ්ඩුවට හසු වී සිටිති. ගුණ්ඩුව ගිල තමන් ඉන්නා සිපිරිගෙයෙහි කුසගින්න නිවාගන්නට පාන් ගෙඩිය ද නැතිවෙද්දී බලයේ ඉන්නා අය පමණක් “රතු කරන්ට්ස්” කමින් සිටිය දී උද්ඝෝෂණයක් කළොත් ඉතින් මිය යන්නේ ඊනියා පංති භේදය නැතිකර ඊනියා සූරා කෑම සහමුලින් නවතන්නට හැකි යැයි කියූ මාක්ස්වාදියාගේ වෙඩි පහරින්මය.

එවිට අහඹු ලෙසින් මාක්ස්වාදී/සමාජවාදී පාක්ෂිකයෙකුට යාන්තම් නුවණක් පෑදෙයි:

..එහෙම නම් තත්වය
ආණ්ඩුවට වඩා පහසු නැද්ද
ජනතාව විසුරුවා හැර
වෙනත් ජනතාවක් පත්කර ගැනීම?

ඇයි, මෙතෙන්ට එන්න කළින් මිනිසුන් යනු සමානාත්මතාවයෙන් සැලකිය හැකි වූවක් යැයි සිතුවේ? අසමාන වූ මිනිස් ස්වභාවයම නොවේ ද එහි ආශ්චර්යය? ඇයි ඔය ප්‍රශ්නය ආයෙත්, නැවතත් මිනිස් ජීවිත සංඛ්‍යාවක් මිය යන්නට කළින් අහන්න බැරි?!!!!!!!!!

අපොයි නැහැ අපි මාක්ස්වාදීන් නෙමෙයි යයි කියන්නා, එහෙනම් ඔබ පුද්ගල අයිතිය හා දේපල අයිතිය පිළිගන්නවා දැයි අහද්දී ඔව්, ඒත් .. කියා කොම්ප්‍රොමයිස් හදත හැකි යැයි කියමින් කොන්දේසි ගෙනෙන්නට ඉදිරිපත් වෙයි. පුද්ගලයාගේ ජීවිතයටත්, ඔහුගේ ශ්‍රමය, බුද්ධිය හා එහි ඵලයන් නම් වූ පුද්ගලයාගේ දේපලට ඇති අයිතිය පුද්ගලයාගේ ය. එය නීත්‍යානුකූල වූ බලයක් යොදාගෙන ඔහුගෙන් උදුරා ගැනීම අයිතිය උල්ලංඝනයකි. හොරකමකි. එය ඔහුට තෝරා ගැනීමට ඉඩක් දී ඔහුව අලුත් නීතියක් ගෙනැවිත් අයිතිය අපරාධයක් කර, දැන් අපරාධයට ඔහු වරදකරුවෙක් වෙන නිසා බලහත්කාරයෙන් “එකඟ” කරගත්තා වූ ක්‍රියාදාමය කොම්ප්‍රොමයිසයක් එකක් නොවේ.

සොරාගැනීම නීත්‍යානුකූල කරත හැකි සේ (දේපල සහ ජීවිතය) සමාජයක් සංවිධානය වෙද්දී එවැනි ආණ්ඩුවක් මාරක වල්සතෙකි. සමාජයේ සාධාරණත්වයක් ඉටු වෙන්නේ ජීවිතයට හා දේපලට අයිතිය එහි හිමිකම ඇත්තාට ආරක්ෂා කරදීම ආණ්ඩුව නැමති සමාජ සංවිධානය කළ යුතු වූ එකම ක්‍රියාව තුල දී පමණි. වල්සතෙක් සේ හැසිර එම සංවිධානයට මංකොල්ලයේ සහ මිනීමැරීමේ යෙදෙන්නට බලය දෙන්නේ වෙන කිසිවෙක් නොව ආණ්ඩුව තෝරාපත් කරගන්නා ජනතාව තම බහුතර කැමැත්තෙන් යැයි කීම ප්‍රජාතන්ත්‍රවාදයේ ඇති බලය අපහරණයයි. ප්‍රජාතන්ත්‍රවාදය නම් ආණ්ඩු කෙරන සියලු පුරවැසියන් ගේ අයිතීන් ආරක්ෂා කිරීමය. ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුවකට අපි කැමැත්ත දක්වන්නේ ඒ නිසා මිසක ආඥාදායකයෙක් සේ කටයුතු කරත හැකියාවක් නීත්‍යානුකූලව ගෙන ඒමට හැකියාවක් බහුතර කැමැත්ත මඟින් ආණ්ඩුවට දීමට නොවේ.

පුද්ගල හා දේපල අයිතිය ධනවාදයේ සුරාකෑමක් යැයි කියන මාක්ස්වාදී මුලාවෙන් රැවටී පුද්ගල හා දේපල අයිතිය රිසි සේ බෙදන්නට දන්නවා යැයි සිතන මාරක වල්සතාට බාර දීමෙන් ජනතාව කැමැත්ත ප්‍රකාශ කරන්නේ ආඥාදායකයට ඇති කැමැත්තයි!!!!!!

අද ශ්‍රමිකයා වහලෙක් නොවේ. කැමති නම් වෙන වැඩපොලකට, වෙන ගමකට හෝ වෙන රටකට වුව ද රුකියාවට යා හැකිය. කැමති නම් වෙන වෘත්තියක නියැළිය හැකිය. පුහුණුව හා අත්දැකීම් වැඩි කරගැනීමෙන් උද්ඝෝෂණ නොකර පඩි වැඩි තැනකට, වෘත්තියකට යා හැකියි.

අද ධනවාදියා නොව පුද්ගලයාගේ පොකැට්ටුවෙන් නීත්‍යානුකූල යැයි විපර්යාසයට පත්කර ගත් නීතියේ බලයෙන් ඔහුගේ දේපල උදුරාගන්නේ සමාජවාදී වී ඇති ආණ්ඩුවයි. එසේ පෝසතා ගෙන් මෙන් ම දුප්පතාගෙන් ද බලහත්කාරයෙන් ඩැහැගන්නා ආණ්ඩුව සිය සංවිධානයේ බලයෙන් එහි බලය අල්ලා ගත්තවුවන්ට රිසි සේ ඒවා වියදම් කරති.

මූල ධර්මයන් නැති හෙයින් කාලයකට ආගම අබින් යැයි කියන අයම කාලයකට තමන් කැමති ආගම ආණ්ඩුවට ළං කරගනිති. සාධාරණත්වයක් ඉටු කරනවා යැයි කියමින් පුද්ගලයාගේ දේපල බලහත්කාරයෙන් උදුරා ගෙන එයින් ඩිංගක් ආණ්ඩුවේ කැමැත්ත පරිදි ආගමික නායකයන් අතර බෙදා හරියි.

අහෝ, එහෙත් මාක්ස් කියවා නැති අය, ‘පන්සලේ හාමුදුරුවන්’ට ද “වේතනයේ වහලෙක්” වන්නට සිද්ධ වූයේ ධනවාදයෙන් යැයි මාක්ස් කියූ බවත් නොදනිති. වැරදුනා වැරදුනා … මාක්ස් සහ එංගල්ස් දෙන්න එක්ක ලියපු පොතනේ, දෙන්නා ගෙන් කොයි එක්කෙනා ද දන්නෑ හරියටම ඒ වාක්‍යය ලිව්වේ!!!!!!!!

සාක්කි පෙන්වා ඔප්පු කරන්න යැයි ඉල්ලා සිටින අය තමන් ඉදිරියේ පෙනෙන්නට ඇති අද කාලීන පුවත් වලින් දකින්නට හැකි සාක්කි හමුවේ (මේ අඩවියේ මුල සිටම කාලීන පුවත් ඇසුරු කරගත්ත ද) ඒවා නොපෙනෙන ලෙසින් ඇස් පියාගෙන සිටිති.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. ineshwickramaraja said, on දෙසැම්බර් 21, 2012 at 5:42 පෙ.ව.

    //අසමාන වූ මිනිස් ස්වභාවයම නොවේ ද එහි ආශ්චර්යය? //මෙ ටික කියවද්දි ඈග හිරි වෑටුනා,පෑය කීයක් කල්පනා කරන්න පුලුවන් රස විදින්න පුලුවන් මාතෘකාවක්ද,,,

  2. Uditha Meegahathenna (@UdithaMe) said, on දෙසැම්බර් 21, 2012 at 9:15 ප.ව.

    wow සහතික ඇත්ත. අර උඩ ලින්ක් එක දාපු එක හොඳයි ඒ ලිපිය මට මගෑරිලා තිබුනේ. අරුණි අක්කේ මේකයි මට වැටහෙන විදිය තරුණ මාක්ස් සිට වයස මාක්ස් දක්වා ඔහුගේ විකාශනය බැලුවම මාක්ස් ගේ පදනම බොහෝ විට වැරදියි සහ ඔහු කරපු වැරැද්දෙන් ඔහු පසු පස ගිය අය නිසා ලෝකයේ මහා විනාසයක් උනා ඇත්ත එත් ඔහුගේ සමහර සොයා ගැනීම් අදටත් සුවිශේෂයි ඒ වගේම තමයි රුසියාවෙන් ආපු අයින් රෑන්ඩ් ඇයට වරදින්න තියන ඉඩ අඩුයි. ඇයට අවස්ථාව ලැබුන රුසියානු අත්දැකීම් සහ ඇමරිකානු පර්යේෂණය අතර දෝලනය වෙන්න. මාක්ස් ගේ වැරදීම් අතර හරි දේවලුත් ඉගෙනගත යුතු දේවලුත් තියනවා ඒ වගේම අයින් රෑන්ඩ් ගේ හරි දේවල් අතර පට්ට වැරදි හිනා යන කතාත් තියනවා. පරිපුර්ණ නැහැ කවුරුවත්. මේ කිසිම කෙනෙක් කියපු දේවල් මූල ධාර්මික විදියට ගන්න නරකයි.

    • arunishapiro said, on දෙසැම්බර් 21, 2012 at 10:14 ප.ව.

      Uditha Meegahathenna,

      කවුරුත් කියපු නිසා නෙමෙයි මම යම් ප්‍රස්තුතයක් මූල ධර්මයක් විදියට සලකන්නේ. උඩ දැම්මොත් බිම වැටෙයි යන්න අත්හදා බලා තියෙන්නක්. ගුරුත්වාකර්ෂණය ඒ නිසා මූල ධර්මයක් ලෙසින් සලකමි. සිප් ලයින් වගේ උදව්වක් නැත්නම් උස් බිල්ඩිමකින් පනින්නේ නැත්තෙමි!!! නැත්නම් සැමුවෙල් ජැක්සන්ට The Other Guys (2010) චිත්‍රපටියේ වෙච්ච දේම තමයි ඕනෑම කෙනෙකුට සිද්ධ වෙන්නෙ!!!!

      මූල ධර්මයක් (principle) යනු කුමක් ද? යම් විශ්වාස පද්ධතියක්, චර්යාවක්, විචාරාත්මක උත්සාහයක් යනාදියට පදනමක් දෙන මූලික සත්‍යයක් හෝ ප්‍රස්තුතයක් වෙයි. (A fundamental truth or proposition that serves as the foundation for a system of belief or behavior or for a chain of reasoning.) යම් අයෙකුගේ පුද්ගලික හැදියාවට මග පෙන්වන රීතියක් හෝ විශ්වාසයක් වෙයි. (A rule or belief governing one’s personal behavior.)

      ඉතින් උදිත මල්ලි, මිනිසාට තම ජීවිතයට අයිතිය හා තම ශ්‍රමයෙන්/බුද්ධියෙන් සොයාගත් දේපලට අයිතිය ස්වභාවයෙන්ම ලැබෙන අයිතියක් ද? නැද්ද?

      ආහාර සහ විෂ යන දෙකින් එකක් තෝරාගත යුතු වූ සේ මෙම දෙකෙන් එකක් තෝරාගත යුතුයි. අතරමැදක් තෝරාගද්දී අනවරතයෙන්ම එය විෂකි.

      මා පිළිගත් මූල ධර්මය නම් මිනිසාට තම ජීවිතයට අයිතිය හා තම ශ්‍රමයෙන්/බුද්ධියෙන් සොයාගත් දේපලට ස්වභාවයෙන්ම අයිතියක් ලැබී ඇතැයි කියාය. එය මගේ විශ්වාස පද්ධතියේ, චර්යාවේ, විචාරාත්මක උත්සාහයේ පදනම වෙයි. මගේ පුද්ගලික හැදියාවට මඟ පෙන්වන රීතියක් ද වේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: