අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝක ස්වභාවයකට මිනිස් ස්වභාවයක් එකතු වූ විටෙක …

Posted in Uncategorized by arunishapiro on දෙසැම්බර් 24, 2012

“මම හිතන්නෙ මාව සෑම විටෙකම වැරදියට වටහා ගත්තෙ කියල. මිනිස්සු මට කැමති නැතැයි මට පෙනුන. මම හිතන්නෙ මම එයාලට මාව නොරිස්සුම් සහගත වෙන විදියට වැඩ කළා කියල. එයාලගෙ සිත් පීඩා වෙන විදියට හැසිරුනා කියල. ඇයි කියන්න මම දන්නෙ නැහැ. එහෙම තමයි ලෝක ස්වභාවය තිබ්බෙ. ඔව්. සමහර විට මම තීව්‍ර වැඩි වෙන්නැති. මම සැරෙන් එන්න ඇති. මම දන්නෙ නැහැ, මට නිශ්චිතවම කියන්න බැහැ. ඔව්, එහෙම ඉන්න එක පාලුයි, හරිම පාලුයි, ඒත් ඉතින් – ටික කාලෙකට පස්සේ ඒකටත් මුහුණ දෙන්න පුලුවන් විදියට හැඩ ගැසෙනවා. ඉතින් එහෙම යද්දි එක දවසක්, ඔක්කොම වෙනස් වුනා -අයෙක් මාව පිළිගත්තා- මම ඉන්න ස්වභාවයෙන්ම. ඉතින් මට දැන් මේ රස්සාව ලැබිලා තියෙන නිසා, දැන් ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස්. මාව ප්‍රයෝජනවත් යැයි මට දැනෙනවා -යමකට සුදුසු යැයි දැනෙනවා.

සුළඟ

ඔහු දියුණු කළ හැකියාව අපගේය.”

-Epuron සහ ජර්මන් පරිසර අමාත්‍යාංශය විසින් 2011 හදන ලද දැන්වීමකි.

පහත පින්තූරය ඩෙලවෙයාර්හි අත්ලාන්තික් මුහුදු වෙරළ අසල දකින්නට ලැබෙන සුළඟ ප්‍රයෝජනයට ගන්නා මිනිස් උත්සාහයකි. මෙහි දී සුළඟ දියුණු කළ හැකියාව ‘අපගේය’ කියද්දී එය ආණ්ඩුවේ හැකියාවක් නොවේ. ආණ්ඩු වලට හැකියාව ඇත්තේ සුළඟෙන් වැඩ ගන්නට වෙහෙසෙන අයට නීති රෙගුලාසි ගෙන ඒම පමණි. පිරිසකගෙන් උදුරා ගන්නා බදු මුදල් තවත් පිරිසකට ලබා දීම පමණි. පිරිසක් උද්ඝෝෂණ කරද්දී නීති රෙගුලාසි වෙනස් කිරීම පමණි.

පරිසරයටත් මිනිසාටත් හිතවාදී වෙන පරිද්දෙන් අනගි බඩුවක් අඩු මිලට වෙළඳපොලට ඉදිරිපත් කරන්නට දන්නේ ඒකීය මිනිස් උත්සාහයකි.

The Brick නොහොත් ගඩොලක් යැයි නම් වූ මුල්ම මොබයිල් දුරකතනය අලෙවි වූයේ $3,995/- මිලකටය. අද ඇමෙරිකාවේ වසර දෙකක දුරකතන සේවය ලබාගන්නා ගිවිසුමට අත්සන් ගැසීමෙන් අයිෆෝනයක් නොමිලේ ලැබෙයි. ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් අඩු වී පුද්ගලික වෙළන්ඳන් අතර තරඟයක් වෙළඳපොලේ ඇත්තේ නම් ලංකාවේ අයටත් ස්මාට් ෆෝන් මිල දී ගන්නට සිද්ධ නොවී සේවා සැලැස්මට කීයක් ගෙවන්නේ දැයි තීරණය කරන ගැටළුව පවතිනු ඇත.

1990 සිට 2011 වෙද්දී ලෝක මොබයිල් ෆෝන් භාවිතය මිලියන 12.4 ක සිට බිලියන 6 ක් දක්වා වැඩි වී ඇත. එය ලෝක ජනගහණයෙන් 87% කට ද, අඩුම ආර්ථික මට්ටම්වල සිටිනා බහුතරයට ද ඇති පහසුකමක් වී ඇත.

විදුලිබලය ද බහුතර ලෝකයට අවශ්‍ය වූවකි. පුද්ගලික අංශයට එය අනගි ලෙසින් අඩු මිලට සැපයීමේ හැකියාව ලොව ඇත.

ආණ්ඩුවේ ඇඟිලි ගැසීම් නිසා අලාභ දැරීමට පුරවැසියන්ට සිද්ධ වීමත්, අනගි යමක් අඩු මිලට ලබා ගැනීමේ හැකියාව නොහැකි වී යන හැටිත් නොදකින බහුතරය, විදුලිබලය සැපයීම ද ආණ්ඩුව මැදිහත් වී සැලසුම් කරනවාට අකමැති යැයි කී විට, පිළිතුරු දෙන්නේ දුප්පත් අයට විදුලිබලය ලැබෙනවාට ධනවාදීන් අකමැති යැයි කියාය. ආණ්ඩුව ඇඟිලි ගසන්නේ නොමැති නම් තාක්ෂණයේ දියුණුවත් සමඟ පරිසරහිතවාදීව විදුලිබලය අඩු මිලකට වැඩි ජනගහණයකට සපයන ක්‍රමවේද දැනටමත් ලොව ඇත.

“සමාජවාදය නම් සෝවියට් බලයයි සහ එයට එකතුවෙන මුළු රටම විදුලිබලකරණය වීමයි, මන්ද විදුලිබලකරණය නොමැතිව කර්මාන්ත සංවර්ධනය කළ නොහැකි නිසාය.” -ව්ලැඩමියර් ලෙනින්, 1920

ඉතින්, අද ලෝකයේ තියෙන්නේ මොන සමාජවාදයක් දැයි අහනා අය, 1920 දී රජය විසින් සැලසුම් කළ හැකි යැයි උඬඟු ලෙසින් කියා අසාර්ථක වූ සමාජවාදී ප්‍රතිපත්ති තවමත් අගයමින්, ධනවාදීන් සූරා කනවා යැයි කියමින් එහෙත් රජයට තමාව සූරා කන්නට ඉඩ දී සතුටින් ලොව පුරා ජීවත්වෙති!!!!!!

IMG_4834

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on දෙසැම්බර් 24, 2012 at 11:52 පෙ.ව.

    පිස්සුද අරුණි ධනවාදියෝ කවද්ද සුරාගන කෑවේ. දන් පින් සෙරම කළේ මේ අයනේ. මේ සමාජවාදියන්ගේ බේගල්.ඔයා ඕවා ගනන් ගන්න එපා.

    • arunishapiro said, on දෙසැම්බර් 24, 2012 at 12:02 ප.ව.

      naleendilruksha,

      ඔයා අලුතින් මේ අඩවියට සම්බන්ධ නිසාත්, තාම මුල සිටම කියවා නැති බවත් පෙන්නුම් කරන නිසාත්, මෙහෙම කියද්දී ඔයා ධනවාදියා කවුදැයි නොදන්නා බව පෙන්නුම් කරනවා.

      ධනවාදියා යනු තම මූල ධනය අවදානමක් ගෙන ආයෝජනය කරමින් අනගි බඩුවක් අඩු මිලකට කැමැත්තෙන් මිල දී ගන්නා අය වෙනුවෙන් වෙළඳපොලට ඉදිරිපත් කරන්නෙකි.

      ඔයා ධනවාදියා යැයි රැවටී සිටින්නේ රටක දියුණුව සැලසුම් කළ හැකි කියමින් උදාර ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පාලන බලය අල්ලා ගන්නට හදනා ආණ්ඩුවක් දිනවන්නට සල්ලි වැය කරමින් එන එන ආණ්ඩුවේ පැත්තට හේත්තු වන බඩතඩි මුදලාලිලාටයි.

      සමාජවාදියා නම් අනුන්ගේ ජීවිතය හා දේපල ඔහුට නොව සමාජයට අයිතියි ඒවා සමාජයේ යහපත පිණිස යෙදීමේ බලය රජය සතු යැයි කියන්නාය.

  2. wicharaka විචාරක said, on දෙසැම්බර් 24, 2012 at 12:20 ප.ව.

    කසාද බඳින ගාස්තුවත් ඊයේ පෙරේදා හිටපු ගමන් වැඩි කරලනේ අරුණි. දික්කසාද කරන ගානත් වැඩිකලොත් අනේ අර සනත් ජයසුරිය වගේ අහිංසකයන්ට දෙයියන්නෙම පිහිටයි.

    මට පුදුම බයක් තියනවා ළමයි හම්බවෙන එකටත් ගාස්තුවක්, ළමයා හම්බවීමෙදී අම්මා කෑගහන ප්‍රමාණය අනුව ගාස්තුවක්, (සෞඛ්‍ය සම්පන්න මවක් කිසිදු කෑගැසීමකින් තොරව දරු ප්‍රසුතිය කරනවා කියලා පැහැදිලි කරලා දෙන්න ගිහින් මෙහෙ අම්මලාගෙන් කුණුහරප අහගන්න මට බැහැ) තාත්තා දරන ලද ‘මහන්සිය’ වෙනුවෙන් ගාස්තුවක්, බලන්න ඔය විදිහට ඊළඟ බජට් එකේදී මොන මොනවා එයිද කියලා.

    ස්වභාවික ජල මාර්ග ආශ්‍රිත ග්‍රාමීය ජල විදුලි ව්‍යාපෘති බොහොමයක් අධෛර්යයට පත් කරලා, අලුතෙන් පටන් ගැනීමක් පෙනෙන්න නැහැ. ඉන්දන වලින් විදුලිය නිපදවන පුද්ගලික සමාගම් බූවල්ලෝ, සියලු මහ උත්තමයන් උන්ගේ අධෝමුඛයෙන් වහගෙන ඉවරයි.
    හැමදාමත් හූල්ල හූල්ල ඉන්ඩ එපා මිනිස්සුනේ එකතුවෙයව් කියන සරල අදහස හරියට තේරුම් කරලා දෙන්ඩ මිනිහෙක් නැතිවීමයි දැනට තියන ලොකුම ප්‍රශ්නය. අපි ලයිට් බිල දැකලා බඩ පපුව පත්තුවෙලා දඟලනවා. බේබිලා රෑටත් ලයිට් දාගෙන උන්ගේ අම්මලාගේ ‘අම්මෝගිනි’ පදිනවා.

    • arunishapiro said, on දෙසැම්බර් 24, 2012 at 12:34 ප.ව.

      විචාරක,

      පුංචි සංශෝධනයක් කරන්න ඉඩ දෙන්න: බේබිලා රෑටත් ලයිට් දාගෙන පදින්නෙ උන්ගේ අම්මලාගේ ‘අම්මෝගිනි’ නෙමෙයි; ඉස්සරහට උපදින්න ඉන්න දරුවන්වත් ණය කරපු ‘අම්මෝගිනි’!!!! ඒත් ඒවාට ඉඩ ලැබෙන්නෙ රට හදන්න පුලුවන් ආණ්ඩුවටයි කියලා තවමත් හිතන අය බහුතරය නිසයි. ඉතින් දැනට තියෙනවාටත් වඩා ආණ්ඩුවේ බලය වැඩි නොකළොත් දැන් ඉන්න එක්කෙනාට වඩා හැකියාවක් අලුතින් එන එක්කෙනාට ලැබෙයි කියලා හිතන්නෙ කොහොම ද?!!!!!

      හැමෝම හැමෝවම කොල්ලකෑවාට පස්සෙ නැත්තටම නැති දවස ආවම මතක් වේවි ආණ්ඩුවට බැහැ රට හදන්න කියල. අර ආණ්ඩුවට හේත්තු වෙලා බඩවල් වඩාගත්තු සමහරු ධනවාදීන් යැයි හිතන අපරාධකරුවන් එතකොට රටිනුත් පැනලා තමන්ගෙ ස්විස් බැංකු සල්ලි වලින් ජීවත්වෙන්න ගිහින්. ඉතින් භාණ්ඩාගාරය හිස් වුනාම ඊ ළඟට එන ආණ්ඩුව කියයි මිනිස්සුන්ට ඉඩ දෙන්න ඕනෑ කියල. මිනිස් උත්සාහයන්ට තැන දීලා යාන්තමට හිස ඔසවද්දී ආයේ හැමෝම හැමෝවම කොල්ලකෑම පටන් ගනිවී ජනතා හිතසුව සලසන නාමයෙන් ආණ්ඩුවටයි, ආණ්ඩුව බලයට ගේන අයටයි පමණයි රට හදන්න පුලුවන් කියලා.

  3. malagala said, on දෙසැම්බර් 24, 2012 at 2:05 ප.ව.

    ආණ්ඩුවක් කරන්න ඕනේ අර ධනවාදීන් කියා ගන්නා බඩතඩි මුදලාලිලාගේ සූරා කෑම් වලින් මිනිස්සුන්ව බේර ගන්න එක නේද? ඒත් අපේ ක්‍රමය ඇතුලේ ඇත්තටම ආණ්ඩු හදන්නෙත් පෙරලන්නෙත් මේ බඩ තඩි මුදලාලිලාමයි. අනිත් එක තමයි ධනවාදියා ක්‍රමයෙන් බඩතඩි මුදලාලි කෙනෙක් වීම ස්වභාවික ක්‍රියාවලියක් නේද? ආශාව තණ්හාව තියනකම් ධනවාදියා ක්‍රමයෙන් බඩතඩි මුදලාලි කෙනක් බවට පත්වනවා. හැබැයි ඒකට විසදුම සමාජවාදම නම් නෙමයි කියලා පැහැදිලියි. මම දකින්නේ අපි ආණ්ඩු පිහිටුවන්නේ මිනිස් හැකියාවන් නිසි දිශානතියකට යොදවා මිනිස්සුන්ට වඩා හොද හෙට දවසක් නිර්මාණය කරන්න මිසක් ආණ්ඩුව තවත් ව්‍යවසායකයෙක් කරන්නට නෙමෙයි

    • arunishapiro said, on දෙසැම්බර් 24, 2012 at 2:16 ප.ව.

      malagala,

      //ආණ්ඩුවක් කරන්න ඕනේ අර ධනවාදීන් කියා ගන්නා බඩතඩි මුදලාලිලාගේ සූරා කෑම් වලින් මිනිස්සුන්ව බේර ගන්න එක නේද?// ඔව් ධනවාදීන් කියා ලේබල් අලවාගත් අපරාධකරුවන් විසින් කරන සූරා කෑම් වලින් මිනිස්සුන්ව බේරා ගන්න එකයි සහ පැහැදිලිවම එය පමණයි ආණ්ඩුවේ කාර්යභාරය.

      “අපේ ක්‍රමය” යනු ආණ්ඩුවට රට හදන්න බාර දීම වෙද්දී තමයි ධනවාදියා ලෙසින් බොරු ලේබල් අලවාගත් අය බඩතඩි මුදලාලි කෙනෙන් වීම ස්වභාවික ක්‍රියාවලියක් වෙන්නෙ. එය පමණක් නෙමෙයි එතකොට ආණ්ඩුවක නායකයා ද ආඥාදායෙක් කිරීමත් ස්වභාවික ක්‍රියාවලියක් වෙනවා.

      ආශාව හා තණ්හාව මිනිස් ස්වභාවයයි. ඒ වගේම මිනිස් ස්වභාවයක් තමයි වෙහෙසක් ගන්නවාට වඩා කොල්ලකෑම පහසු වුනාම කොල්ලකෑමේ යෙදීම. ඉතින් ආශාව හා තණ්හාව තියෙන නිසා නෙමෙයි ධනවාදියා යැයි බොරු ලේබල් අලවා ගත්ත අයෙක් බඩතඩි මුදලාලි කෙනෙක් වෙන්නෙ. ආණ්ඩුවක් විසින් එයට හේත්තු වී ඉන්නා බඩතඩි මුදලාලිලාට වෙහෙසෙනවාට වඩා කොල්ලකෑම පහසු කරලා තියෙන නිසා.

      ආණ්ඩුවක් යනු පුද්ගලයා විසින් තවත් පුද්ගලයෙක් කොල්ලකෑම නවතනු සඳහා මිනිසුන් විසින් හදාගත් නීතිමය සංවිධානයක්. අයෙකුට තවකෙකු කොල්ලකෑමට ඉඩක් නොතැබීම පමණයි ආණ්ඩුවේ කාර්යභාරය.

      එහෙම නැතිව මිනිස් හැකියාවන් නිසි දිශාන්තියකට යොදවන අරමුණකින් හදා ගත්තා වූවක් කියන්න ගියොත් තමයි මොනවා ද මේ ‘මිනිස් හැකියාවන්’, ‘නිසි දිශාන්තිය’, ‘වඩා හොඳ හෙට දවස’ යනාදියෙන් ඒ ඒ අය අදහස් කරන්නේ කුමක් ද යන්න ගැන ගැටළු ඇවිත් සමාජයේ පිරිසක් කොල්ලාකෑම පටන් ගෙන අනතුරුව සියල්ලන් විසින් සියල්ලන් කොල්ලකෑම කරා යන්නේ.

  4. රාජ් said, on දෙසැම්බර් 25, 2012 at 1:11 පෙ.ව.

    තරගකාරී වෙමින් ටිකෙන් ටික අඩුවෙමින් පැවති ලංකාවේ දුරකථන ගාස්තු ආණ්ඩුවේ බද්දෙන් පසු අඩුවීම නැවැත්තුව. අන්න වැඩ! 🙂

    • arunishapiro said, on දෙසැම්බර් 25, 2012 at 10:40 පෙ.ව.

      රාජ්,

      ඔව් රාජ් ඒවා තමයි රාජකීය පණ්ඩිතයන්ගෙ වැඩ! ලෝකෙ හැම ආණ්ඩුවක්ම එකම මෝඩකම් කරමින් සිටින්නෙ ඒවායෙ බලයැත්තන්ට උපදෙස් දෙන්නෙත් එකම පාසැලේ අර්ථ ශාස්ත්‍රඥයෝ නිසා වෙන්නැති!!!!!

      රොනල්ඩ් රේගන් කියපු කතාවක් තමයි ව්‍යාපාරයකින් හොඳට ලාබ සොයන කොට රජයක් කරන්නෙ ඊට බදු වැඩි කිරීම. ඒක තවත් ලාබදායක ලෙසින් කරගෙන යන වෑයම තියෙනවා නම් රජය කරන්නෙ රෙගුලාසි වැඩි කිරීම. ඒක කරගෙන යන්න බැරි විදියට දුෂ්කර වෙලා නැවතෙද්දි එවිට රජය කරන්නෙ එයට සහනාධාර දීම කියල. නමුත් ලංකාවේ පටන් ගන්නෙම අනිත් පැත්තෙන්. මේ ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි කියලා ඔය පස් අවුරුදු 10 අවුරුදු සැලැස්ම යෝජනා කරන අය තමන්ගෙ හෙංචයියන්ට ව්‍යාපාර පටන් ගන්න හැකියාව ලැබෙන විදියට නීති විපර්යාස කරලා (සුඛෝපභෝගී වාහන වලට බදු ඉවත් කිරීම!!!) පටන් ගන්නවා. එය ලාබදායක ව්‍යාපාරයක් වෙන්නෙ (බදු) සහනාධාර ලැබෙන කාලය තුල පමණයි. ඊට පස්සෙ ආණ්ඩුවෙ බංකොළොත් බව වසා ගන්න දැන් මේ ක්ෂේත්‍රය දියුණු කළා ඇති අපි දැන් මේ අනෙක් ක්ෂේත්‍රය දියුණු කරනවා කියලා තවත් එකකට සහනාධාර දෙන්න පටන් ගන්නවා. ඒ අනික් ක්ෂේත්‍රයත් එක්කො ඒ හෙංචයියාගේම නැත්නම් තව හෙංචයියෙක්ගෙම ක්ෂේත්‍රයක් තමයි.

      කවදා හරි, මේ එක එක අනාගත සැලැස්ම ගේන්න දන්නවා කියල තමන් හිතන විද්වතුන් පැත්තකට වුනොත් විතරයි, රටේ හුදී ජනතාව විසින් සත්‍යය සංවර්ධනයක් ඉල්ලුම හා සැපයුම පෙන්වන තරඟකාරී වෙළඳපොලට ඉඩ දීලා බඩු මිල අඩු කර අනගි බඩු වැඩි කරන්නෙ. ඒත් ඒකට ඉඩක් ලැබෙන්නෙ නැත්තෙ, රටේ සංස්කෘතිය නැතිවෙයි කියලා පැත්තකින් කල්ලියක් කෑ ගහන නිසා, රටේ පරිසරය විනාශ වෙයි කියලා තවත් කල්ලියක් කෑ ගසන නිසා, රටේ පෝසත්තු ඔක්කොම දුප්පතුන් සූරා කනවා යැයි තවත් කල්ලියක් කෑ ගසන නිසා …. හුදී ජනතාව මෝඩයි දක්කාගෙන යා යුත්තේ මේ සියල්ල දන්නා විද්වතුන් යන මුලාවෙන් හැමෝම හැමෝවම කොල්ලකෑමෙන් තවත් කාලයක් ජීවත්වේවි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: