අරුණි ශපීරෝ‍ වෙතින්

මනුතාපය, දූලි පින්තාරු නොහොත් ලේ මිසෙරාබ්ල

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 4, 2013

banner-lesmis

අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල පරිවර්තනය කල මනුතාපය මා කියැවූයේ ඈත අතීතයක දී. ශ්‍රී ලංකා ජාතික රූපවාහිනියෙන් විකාශනය වූ දූලි පින්තාරු දැක නැත්තෙමි. ලියම් නීසන් රඟපෑ Les Misérables (1998) චිත්‍රපටිය නරඹා ඇත්තෙමි. වික්ටර් හියුගෝ ලියූ Les Misérables (1862) හි ඉංග්‍රීසි පරිවර්තනය ඊයේ පෙරේදා නැවතත් කියැවීමි. ඒ 2012 චිත්‍රපටිය බලන්නට පෙර මතකය අලුත් කරගන්නයි.

ඉහත පින්තූරයේ ඇති කොසෙට් (Cosette) නිරූපනය ලොව නන් දෙසින් බිහිවන සංගීතමය ලේ මිසෙරාබ්ල නිර්මාණ සඳහා භාවිතයට ගැනෙන්නකි. එය Émile Bayard විසින් 1862 මුල් පොත් කවරය සඳහා අඳින ලද්දකි. එය බයාඩ්ගේ සුප්‍රසිද්ධ ම නිර්මාණය වෙයි.

2012 චිත්‍රපටියේ ඈන් හැතවේ රඟපාන්නේ ෆැන්ටින් ගේ චරිතයයි. බුෂ් පුතා ඇමෙරිකන් ජනාධිපතිව සිටි සමයේ ඈන් හැතවේ විසින් අයින් රෑන්ඩ් ලියූ ඇට්ලස් හැකිළුණි පොත මුලින් ම කියවා ඇත. 1957 දී ලියූ පොතක අනාවැකි අද ඇස් පනාපිට ලෝකයේ හැම පැත්තකින්ම දිග හැරෙනා බවත් “මිනිසුන් තමන්ව ආණ්ඩු කරගන්නේ තම ආවේග වලින් මිසෙක සිය බුද්ධියෙන් නොවේ” යැයි ඈන් හැතවේ දකියි.

1862 දී ලියූ ප්‍රබන්ධයේ ෆැන්ටින් චරිතය අසරණ වෙන්නේ සමාජ සම්ප්‍රදායන් නිසාය.

කාසි වාසි ඇති පමණින් මනුස්සකම හරිම හිඟයි කියා තවමත් සිතන ජනතාව තමන්ගේ ආරක්ෂාව සලසන්නට බාර දී ඇති පොදු යහපත පිණිස පෙනී සිටින දේශපාලනඥයන් බාල වයස්කාර දැරියක් දූෂණය කළත් දැරිය උසාවියට එන්නට අකමැති වූ නිසා නිදහස් වී රටෙත් නැතිව පඩි ලබමින් සිටිය දී, ඉන්දියාවේ ස්ත්‍රී දූෂණය ගැන අනුකම්පාවෙන් ප්‍රසිද්ධියේ හඬ නඟති. ළාබාල දැරියක් දූෂණය කරපු අනෙක් දේශපාලනඥයාට එරෙහිව හෙට අනිද්දා කවුරු හෝ පෙළපාලි යාවි ද? අයෙක් මිය යා යුතු ද ජනතාවගේ අනුකම්පාව දිනන්න?

ලේ මිසෙරාබ්ල ප්‍රබන්ධයේ පෙරවදනේ මෙසේ සඳහන් වෙයි. “නීතියෙන් සහ සම්ප්‍රදායෙන්, සමාජය විසින් සාපරාධී අණ තීන්දු ප්‍රකාශ කරමින්, මේ පෘතුවියේ ශිෂ්ඨාචාර මැද නරකාදි නිර්මාණය කරමින්, මිනිස් දෛවය යන්න දෙවියන්ගේ නියමයට බාර දෙමින් සිටිනා තාක් කල්; ශතකයේ දැවැන්තම ගැටළු තුන -දරීද්‍රතාවාදයෙන් මිනිසාව අවමානයට ලක් කිරීම, කුසගින්නෙන් ගැහැණිය දූෂ්‍ය කිරීම, අන්ධකාරයෙන් දරුවන් අබල දුබලයන් කිරීම- විසඳන්නේ නැති තාක් කල්; සමාජ මුර්ඡාවට ලෝකයේ කුමන හෝ තැනක ඉඩක් තියෙනා තාක් කල්; -වෙන විදියකින් කිව්වොත්, එතරම් දැඩි වැදගත්කමින්ම කිව්වොත්, නූගත්කම සහ දුප්පත්කම ලොව පවතින තුරා, මෙම ලේ මිසෙරාබ්ල වැනි පොත් ප්‍රයෝජනවත් බවින් තොර නොවනු ඇත.” -වික්ටර් හියුගෝ

“මම කතා කළොත්, මම පරිභවයට ලක්වේවි.
මම නිහඬව සිටියොත් මම ශාපයට ලක් වූවෙක් වේවි!” -ශෝන් වොශෝන් (Jean Valjean)

“නූගත් අයට ඔබට හැකි පමණින් උගන්වන්න; සියල්ලන්ටම නිදහස් අධ්‍යාපනයකට ඉඩ නොදෙන විට, සමාජය වගකිව යුත්තන් වෙති. එවිට ඇතිවෙන අන්ධකාරයට සමාජය උත්තර දිය යුතු වෙයි. අඳුරේ ඉන්නට ආත්මයට ඉඩ හැරියොත් එවිට එය පව්කාර වැඩ කරයි. එවිට සාපරාධී වන්නේ වරද කළ අය නොව අඳුර පැතිර වූ අයයි.” -ශෝන් වොශෝන්

පුරාතන ප්‍රංශයේ අධ්‍යාපනය තීරණය කළේ රජුට පක්ෂපාතී වූ පල්ලි සංස්ථාවයි. විප්ලවීය ප්‍රංශයේ අධ්‍යාපන තීරණය කළේ මැක්සිමිලියන් රොබෙස්පියෙර් වැනි අයයි. ඔවුන්ගේ නියෝග වලට පිටතින් යමක් ඉගැන්වූ අයට මරණ දණ්ඩනය නියම කෙරුනේ ජාතිද්‍රෝහී දේශද්‍රෝහි ලේබල් අලවාය.

නිවහල් අධ්‍යාපනය යනු කැමති අයෙක් කැමැති දැනුමක් ලබාගෙන තම කුසලතාවන් වර්ධනය කර ගැනීම යැයි අවබෝධ කරගෙන නැති ලෝකයක අපි තවමත් ජීවත්වෙමු.

නිවහල් දැනුමක් එකතු කරගන්නට කැමැත්තාට එය පහසුවෙන් ලබා දීමට එදාට වඩා වැඩි ශෝන් වොශෝන් පිරිසක් අද ලොව සිටිති. අද ලේ මිසෙරාබ්ල පොත මිල දී නොගෙන අන්තර්ජාලයෙන් නොමිලේ බාගත හැකිය. එහෙත් එය කියවන්නට සිංහල පමණයි නීති ගෙනැවිත් ඉංග්‍රීසි අහිමි වූ ජනතාවක් දන්නේ කෙසේ ද?

දරීද්‍රතාවයෙන් ගැලවෙනු නොහැකි සේ තව දුරටත් දුප්පතුන්ටම දැනුම අහිමි කරමින්, නිදහස් දරුවන් ටුලොන් සිරගෙවල් වලට දමන බලය ඉල්ලා වර්ජන තර්ජන කරන්නේ, ජෝසප් ස්ටාලින්ලා ප්‍රමුඛ දරුවන් ගැන සත්‍ය කැක්කුමක් නැති වෘත්තීය සමිති යැයි ජනතාව වටහා ගන්නේ කවදා ද?!!!!

ලේ මිසෙරාබ්ල ප්‍රබන්ධය අවසානයේ දී ඉන්ස්පෙක්ටර් ජැවර්ට් පවා සත්‍ය මිනිසා හඳුනාගති. එහෙත් අද ඉන්නා ජෝසප් ස්ටාලින්ලා සත්‍ය දරුවන්ව කවදා හඳුනා ගනීවි ද?

ඔබේ හෘදය සාක්ෂිය කියන්නේ කුමක් ද?

“ඔබ අහනවා මට කතා කරන්න බලකරන්නේ කුමක් දැයි කියා? පුදුම දැයක්; මගේ හෘදය සාක්ෂිය.” -ශෝන් වොශෝන්

ශෝන් වොශෝන් චරිතය රොබින් හුඩ් චරිතයක් නොවේ. ඔහු වසර 19 ක් තිස්සේ ගැටෙන්නේ පවතින නීති හා සම්ප්‍රදායන්ට එරෙහිව ය. එහෙත් ඔහු ධනවතුන්ගෙන් උදුරා දුප්පතුන්ට බෙදා දෙන්නට සංවිධානය වෙන්නෙක් නොවෙයි. ඔහු රදළයන්ට එරෙහිව අවි ගන්නේ නැත. Monsieur Madeleine, Ultime Fauchelevent, Monsieur Leblanc, Urbain Fabre, 24601 සහ 9430 යන නම් වලින් පෙනී සිටින ශෝන් වොශෝන් ඉල්ලා සිටින්නේ තම ස්වාධීන වෑයමට නිදහසයි. ඔහු පරිත්‍යාග කරන්නේ තමන් උපයා ගන්නා වස්තු සම්පත්ය. ඔහු අසරණ ජීවිත බේරාගන්නේ තම ශක්තියෙනි.

ඔහුගේ චරිතය සත්‍ය පුද්ගලයෙක් වූ Eugène François Vidocq ගේ ජීවිතය පදනම් කරගත්තක් යැයි සැලකේ.

වික්ටර් හියුගෝ සමාජ දොම්නස සහ සමාජ අසාධාරණය ගැන වූ මේ පොත ලියන්නට වසර 17 ක් කැප කළේය.

සමාජයක වාසය කරන්නෙක් පොත කියවා නැත්තම් සුළු කාලයක් මිඩංගු කර එය කියැවිය යුතු නැත්ද?!!!!!!

Advertisements

24 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on ජනවාරි 4, 2013 at 8:35 පෙ.ව.

    harima kangatu dayakai Aruni dan lankawe thathwaya. indiyawe siduuna gaanu lamayage rape siddiya hitha wedanawata path wenawa wagema 31 wenida raa lankawe colomboweladi gamaka ganu lamayek rape karala 4 deneku visin. rate neethiyak naha .. therum ganna baha mokadda me wenne kiya.

    • arunishapiro said, on ජනවාරි 4, 2013 at 6:33 ප.ව.

      Shanthi,

      නීති විපර්යාස වීම නිසා, අශිෂ්ඨ මිනිස් ස්වභාවයෙන් හැසිරීමට, ස්වභාවික නීතිය නිසා ශිෂ්ට වූ මිනිසාට බිය නැතිවී යාම.

  2. budditha said, on ජනවාරි 4, 2013 at 10:43 පෙ.ව.

    බොහොම ආසාවෙන් තමයි මාත් ඉන්නේ Les Misérables (2012) බලන්න. ලිබර්ටි සිනමා හලට දෙවෙනි දර්ශන වාරදීවත් ආවොත් හොඳයි.. ඉස්සර කතෝලික ධර්මය 6වසර පාසල් පෙළ පොතේ පලවෙනි පාඩම තමයි මනුතාපය. අර පියතුමා සමාව දෙන දර්ශනය. ඒ වුනාට මට තියෙන ප්‍රශ්නේ තමයි වික්ටර් හියුගෝ පන දුන්න Jean Valjean වැනි මිනිසුන්ට සත්‍ය ලෝකයේ පැවැත්මක් තිබේද යන්න!!

    • arunishapiro said, on ජනවාරි 4, 2013 at 6:37 ප.ව.

      budditha,

      අලුත් දෙයක් දැනගත්තා: කතෝලික ධර්මය උගන්වන පාසැල් පෙළ පොතක් ලෙස යොදා ගත්තා කියල දැන ගැනීම සතුටක්.

      Jean Valjean වැනි මිනිසුන් සත්‍ය ලෝකයේ එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් සිටීවි.

    • Prashan Fernando said, on ජනවාරි 5, 2013 at 12:00 පෙ.ව.

      මටත් මතකයි එක. ජෝන් වෙල් ජෝන් පල්ලියේ නවාතැන් අරගෙන යද්දී පල්ලියේ පහන් දෙකක් හොරකම් කරගෙන යන්නේ. පියතුමාට කතාකරන්නේ බිස්කුවහන්සේ කියල මට මතක විදිහට.

      • arunishapiro said, on ජනවාරි 5, 2013 at 8:29 පෙ.ව.

        Prashan Fernando,

        බිෂොප්ට කියන්නෙ බිස්කුවහන්සේ කියලා ද? ස්තූතියි තවත් දෙයක් දැනගත්තා!!! ඔව් රාත්‍රියට නවාතැන් ගත් පල්ලියේ රිදී පිඟන් සහ රිදී හැඳි ගෑරුප්පු සොරාගෙන රෑ හොරෙන්ම යද්දී ශෝන් පොලීසියට අහුවෙන්නෙ. එතකොට පොලීසිය ඉදිරිපිට බිස්කුවහන්සේ ශෝන්ට කියන්නෙ ඔයා මේ දුන්න රිදී ඉටිපන්දම් රඳවන අරගෙන ගිහින් නෑනේ කියලයි. බිස්කුවහන්සේගේ අවවාදය තමයි ඒවා අරගෙන ගිහින් දුෂ්ට බවින් අයින් වෙලා හොඳ මිනිසෙක් වෙන්න කියන එක. කතාවේ ඉතා වැදගත් ස්ථානයක් එය. එතැන් සිට තමයි ශෝන් වොල්ශෝන් අවංකව ජීවත්විය යුතු යැයි අවබෝධ කරගන්නෙ.

  3. Bindi said, on ජනවාරි 4, 2013 at 11:05 පෙ.ව.

    ඉතාම ආසාවෙන් කීපවතාවක්ම කියවූ පොතක් මනුතාපය . පසු කලෙක ඉංග්‍රීසි බසිනුත් කියවූවා . චිත්‍රපටය නම් බලා නැහැ . අලුත් නිර්මාණය බැලිය යුතුමයි . ස්ත්‍රිය පිඩාවට පත්වීම ඉතාම කනගාටුවට කරුණක්. මා දකින දියුණුව නම් ස්ත්‍රිය බිය නැතුව පාරේ යන සමාජයක් බිහිවීමයි .

    • arunishapiro said, on ජනවාරි 4, 2013 at 6:44 ප.ව.

      Bindi,

      මමත් මේ මතකයන් අලුත් කරගෙන ලැහැස්ති වෙන්නෙ අලුත්ම එක බලන්න යන්න තමයි.

      //ස්ත්‍රිය පිඩාවට පත්වීම ඉතාම කනගාටුවට කරුණක්. මා දකින දියුණුව නම් ස්ත්‍රිය බිය නැතුව පාරේ යන සමාජයක් බිහිවීමයි.// ලෝකය වෙනස්වේවි, අපේ ජීවිත කාලයේ නොවූවත්, එය වෙනස්වේවි … මිනිසා මීට වඩා ශිෂ්ට විය හැකි මොළයක් තියෙන සතෙක්!!!!!

  4. දූපත් said, on ජනවාරි 4, 2013 at 2:20 ප.ව.

    උඩම සදහන් පොත් ටික නම් මමත් බලා ඇත.

    /* අද ලේ මිසෙරාබ්ල පොත මිල දී නොගෙන අන්තර්ජාලයෙන් නොමිලේ බාගත හැකිය. එහෙත් එය කියවන්නට සිංහල පමණයි නීති ගෙනැවිත් ඉංග්‍රීසි අහිමි වූ ජනතාවක් දන්නේ කෙසේ ද? */ :- ඉන්ගිරිසිය තියා අපේ පාලි සංස්කෘත ටිකක් වත් නොදන්නා දූපත් වැසියාට නම් සිංහලෙන් තිබ්බොත් විතරයි ඉතින්. ඇත්තටම ඉංගිරිසිය නොදන්නා හෝ නීරස කතා ඉංගිරිසියෙන් කියවන්නට අරුචි ප්‍රංශ, ජර්මන්, ආදී යුරෝපියයුනුත්, බහුතරයක් ජපන්නුත් ඔව්වා දන්නේද.????

    • arunishapiro said, on ජනවාරි 4, 2013 at 6:55 ප.ව.

      දූපත්,

      පාලි සංස්කෘත ටිකත් සුද්දා අරන් ගිහින් ඉංග්‍රීසියට දැම්මට පස්සෙයි සිංහලෙන් පරිවර්තන බිහිවෙලා හැමෝටම කියවන්න ලැබුනේ.

      මේක නීරස කතාවක් නම් නෙමෙයි. මේ පොත ප්‍රංශ බසෙන් තමයි මුලින් ලියලා තියෙන්නෙ.

      යුරෝපීයයන් හැම බසකින්ම ලියැවෙන සුප්‍රසිද්ධ පොත් තම භාෂා වලට පරිවර්තනය කරගෙන කියවනවා. අපි එයාලගෙ භාෂා වලින් ලියැවෙන ඒවා ඉංග්‍රීසියෙන් කියවනවා.

      ස්වීඩන බසින් ලියැවුන පොත Män som hatar kvinnor නොහොත් “ගෑණුන්ට ද්වේශ කරන පිරිමි” පොත The Girl with the Dragon Tattoo කියලා අපි ඉංග්‍රීසියෙන් කියෙව්වා. පෝලන්ත බසින් ලියැවුන Ogniem i mieczem නොහොත් “ගින්නෙන් සහ කඩුවෙන්” පොත With Fire and Sword කියලා අපි ඉංග්‍රිසියෙන් කියෙව්වා.

      ජපන් අය ලෝකයේ පළ කරන හැම දෙයක්ම දවසෙන් දෙකෙන් තම බසට පරිවර්තන කරන අය.

      අනික අපේ අය වගෙත් නෙමෙයි, මේ මිනිස්සු කර්තෘවරුන්ගෙන් අවසර අරගෙන, දේපල අයිතියට ගරු කරමින් පරිවර්තන කරන අය.

  5. මණ්ඩාවල පඤ්ඤාවංස හාමුදුරුවෝ said, on ජනවාරි 4, 2013 at 2:29 ප.ව.

    ඔබතුමා ලියා තිබෙන ලිපිය ඉතා වැදගත්.

    මා මෙම කෙටි ලිපිය ලියන්නේ තවත් කරුණක් කෙරෙහි ඔබ තුමාගේ අවධානය යොමුකරන්නයි.

    වික්ටර් හිය්‍යුගෝගේ මරණ දඬුවමට කැපවූවකුගේ අන්තිම දවස (Le Dernier Jour d’un Condamné par Victor Hugo)නම් නවකතාව ම විසින් වසර කීපයකට පෙර සිංහලට පෙරලූ බව සහ ඊට නිසි ප්‍රචාරයක් හෝ ප්‍රතිචාරයක් නොලැබුණු බව කියන්නයි.

    මෙම මහා ලේඛකයාගේ මව්බසින් ඍජුව ම සිංහලට නැගුණු එකම පොත මෙය බවයි මගේ අවබෝධය.

    එය ටෙලි චිත්‍රපටයක් සඳහා ද ඉතා උචිත කතාවක්.

    ඒ පොත මුලින් විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය විසින් පළකළ අතර දෙවන මුද්‍රණය ෆාස්ට් පබ්ලිෂින් විසින් කරන ලදි.

    මේ පිළිබඳ ව යමක් ලියන්නේ නම් බෙහෙවින් කෘතවේදී වෙමි.

    මණ්ඩාවල පඤ්ඤාවංස හාමුදුරුවෝ

    mdpannawansa@gmail.com

    • arunishapiro said, on ජනවාරි 4, 2013 at 7:09 ප.ව.

      මණ්ඩාවල පඤ්ඤාවංස හාමුදුරුවන් වෙත,

      ස්තූතියි. මම අරුණි (ගැහැණියක් වෙමි).

      //මෙම මහා ලේඛකයාගේ මව්බසින් ඍජුව ම සිංහලට නැගුණු එකම පොත මෙය බවයි මගේ අවබෝධය.// ප්‍රශංසනීය කටයුත්තක්!! ලංකාවේ Alliance Française ශාඛා කිහිපයක් දැනට තියෙනවා. ඒවායේ දී පොතට යම් අවධානයක් ලබාගත හැකිවේවි යැයි සිතෙනවා.

      පොත ගැන ඉහත සඳහන කියවා ඒ පොත සොයාගෙන කියවන්නට මෙහි එන පාඨකයන්ට පුලුවනි. මම පොත කියවා නැති නිසාත්, මම ලියන්නේ පොත් ගැන හෝ කතුවරයෙක් ගැන නොවන නිසාත්, ඒ පොත ගැන ලියන්න නොහැකි බව කරුණාවෙන් දන්වමි.

  6. kd said, on ජනවාරි 5, 2013 at 3:51 පෙ.ව.

    හොද පෝස්ට් එකක්……….දිගටම ලියන්න ……..
    ඉඩ තියෙන වෙලාවක මගේ බ්ලොග් එක පැත්තෙත් ඇවිත් යන්න එන්න…..

    http://kdgesatahana.blogspot.com/

  7. chandi said, on ජනවාරි 5, 2013 at 1:06 ප.ව.

    අරුණි නංගී,
    මනුතාපය පොතත් , ඉංග්‍රීසි පොතත් , Les Misérables (1998) චිත්‍රපටියත් නරඹා ඇත්තෙමි. ඒ සියල්ලටම එකසේ ආදරය කරමි. මේ අළුත් ෆිල්ම් එක එනතෙක් මමත් පොඩි පුතුත් මඟ බලා හිඳිමි. ස්තූතියි පොස්ට් එකට.

  8. Ravi said, on ජනවාරි 6, 2013 at 8:38 පෙ.ව.

    බීස්කූන් වහන්සේ කියන යෙදුම එන්නෙ අයි. එම්. ආඑ. ඒ ඊරියගොල්ල මහත්මයගෙ ලේ මිසෙරාබ්ල පරිවර්තනයෙ විතරයි. මනු තාපයෙ…ඒ දවස්වල Bishop කියන වචනෙට සිංහල වචනයක් නැති නිසා මම හිතන්නෙ එතුමා හදාපු වචනයක්…දැන් කියන්නෙ රාජගුරු ප්‍රසාදීන් වහන්සේ නැත්නම් රදගුරු තුමා. Archbishop = අගරදගුරු

    මනුතාපය සහ දේවතාපය මමත් අවුරුදු 10 වගෙ කාලෙ හරිම ආසාවෙන් කියවපු කතා දෙකක්. දේවතාපය අරුණි කියවල නැත්ද?

    ඊරියගොල්ල මහත්මයගෙ පරිවර්තන රසවත් වෙන්න එක හේතුවක් එතුමා චරිත හැඳින්වුවෙ අපිට හුරු පුරුදු නම් වලින්.

    මනුතාපයෙ හිටියෙ ජනවර්ජන, ඉන්ස්පෙක්ටර් ජන්තු, කිසා, පැන්තිනා

    දේවතාපයෙ ග්ලව්කුස, ආබසේස, දයෝමේද,ඔලින්තුස

    ජනවර්ජනගෙ චරිතය පදනම් වුනේ සත්‍ය මිනිසෙකු වටාය කියල දැන ගත්තෙ අද…ස්තූතියි අරුණි.

    • arunishapiro said, on ජනවාරි 6, 2013 at 8:51 පෙ.ව.

      Ravi,

      මනු තාපය කියල වචන දෙකකින් ද පරිවර්තන පොතේ නම තිබ්බෙ? දේවතාපය (සිංහලෙන්) කියවලා නැහැ. හොයාගන්න ඕනෑ. පරිවර්තනයක් රසවත් වෙන්නෙ හුරු පුරුදු නම් ආදේශ කරන්න හැකියාව තියෙන නිසා කියල මමත් එකඟයි.

      • Ravi said, on ජනවාරි 6, 2013 at 2:47 ප.ව.

        හපොයි මට වැරදීමක්….සමාවෙන්න….පොතේ නම තිබ්බෙ මනුතාපය කියල 🙂

        සිංහලට හුරු නම් යෙදුවම අපිට බොහොම සමීපතාවයක් ඇතිවෙන එක නම් ඇත්ත.

        ඒ ක්‍රමය අනුගමනය කරපු තවත් පරිවර්තකයෙක් ඩේවිඩ් කරුණාරත්න මහත්මය. Count of Monte Christo පරිවර්තනයෙ මේ ඔහු යෙදූ නම්..

        Edmond Dantès – එඩ්මන් දනතිස්ස

        Mercédès – මදුමණී

        Eugénie Danglars  – එව්ජිනී දංගෙදර

        Lucien Debray – ලුෂියන් දාබරේ

        Valentine de Villefort – විලාසනී විල්කොටුව

        Maximilien Morrel – ලක්ෂ්මන් මොරලන්ද

        එඩ්මන්ගෙ පියා හඳුන්වල තිබ්බෙ මහළු දනතිස්ස කියල.ඔය නම් පුංචි මගෙ හිතට කොයිතරම් බලපෑමක් ඇතිකලාද කීවොත් අපෙ ගෙවල් ළඟ මගෙ යාලුවෙක්ගෙ සීය හිටිය. අපි එක්ක හරිම එකතුයි. අඹ කජු එහෙම එකතු කරල අපිට දෙනව. මම ඒ යාලුවට කිව්ව ” මේ, මීට පස්සෙ මම ඔයාලගෙ සීයට කියන්නෙ මහළු දනතිස්ස කියල, හරිද? ” ඔන්න ඔහොම 🙂

  9. Weda Mahatha Senanayake said, on දෙසැම්බර් 29, 2016 at 11:41 පෙ.ව.

    රසවිදීමට තබා නිකම් කියවා බැලීමටත් අපහසු , බොලද කතා වලින් හෙම්බත් උනු බුද්දීමතුන්ගේ මනසට කතා කරන මෙවැනි පොත් ගැන විස්තර සපයන ඔබ තුමිය ගැහැනියක් බව පවසන්නීය … නමුත් ඔබ ඕෂෝ දාර්ශනිකයා කියන්නාක් මෙන් ගැහැනියක නොව ..”ගැහැණු මනුස්සයෙකි ” ඔබට දිගායු

  10. hallowrusta said, on ජනවාරි 18, 2017 at 2:14 ප.ව.

    ලිපිය පැරණි වුවත් මනුතාපය කුඩා කල නෙත් කදුලින් තෙත් කල පොතක් වූ නිසා කමෙන්ටුවක් නොදා බැහැ. ශපිරෝ මහත්මිය සදහන් කර ඇති ඊරියගොල්ල මහතාගේ පොත තමයි මමත් මුලින්ම සහ නැවත නැවතත් කියාවා ඇත්තේ. ඒ වගේම ඔය ආශ්‍රයෙන් තැනුනු චිත්‍රපටයක් ජාතික රූපවාහිනිය ඔස්සේ කීප වාරයක්ම විකාශය වී ඇති බවත් මතකයි. ඔබ සදහන් කළ දූවිලි පින්තාරු කොටස් කිහිපයක් නරඹා ඇත්ත් එහි මා දුටුවේ වෙදිකාව හුරු නලුවන්ගේ එවැනි රටාවක රංගයක් මිස කතාවේ සැබෑ ස්පර්ශයක් නොවේ. කෙසේ නමුත් මනුතාපය නමතිව මෙහේ බොහෝ දෙනා රසවිදි පොතට අමතරව දැන් අසංශිප්ත පරිවර්තනයක් තිබෙනවා මනස්තාපය නමින්, මේ මොහොතේ ඒ පොත සන්තකයේ නැති බැවින් මතකයට නොආ කතුවරයා කියනු බැහැ. එහි කතාවේ චරිත විකාශය සැබවින්ම පුලුල් නිසා අර සැබෑ චරිතයක් ගැන කීව කතාව වඩා සමීපව දැන් හිතිය හැකියි. සමරිසි ලින්කුවක් ඔස්සේ හොද බෙහෙවින්ම ආසා කළ පොතක් කරා පැමිණිය එක වඩා සතුටුයි. දෙවතාපයක් ගැන අසා ඇතත් එය කියවන්නට ලැබී නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: