අරුණි ශපීරෝ‍ වෙතින්

1776 දී හඳුන්වා දුන් අමුත්තා 2013 දී කුළුපග මිතුරෙක් කර ගන්නවා ද?

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 7, 2013

තීරණය ඔබේය. ඊට කැමති හෝ අකමැති වූ පමණින් විසඳුම (an answer to a problem) වෙනස් වෙන්නේ නැත. වෙනස් වෙන්නේ ප්‍රතිඵලයයි (to proceed or arise as a consequence, effect, or conclusion ). විසඳුමට කැමති වුවහොත් යහපත් ප්‍රතිඵලයන් ද අකමැති වුවහොත් අයහපත් ප්‍රතිඵලයන් ද ලැබේ. තෝරාගැනීම ඇත්තේ ඔබේ අතයි.

තෝරාගැනීම වෙන කෙනෙකුට බාර කරන්නේ නම් ඉතිහාසයෙන් දැකිය හැකි පහත සබැඳියේ වැනි තෝරාගැනීම් අනුන් විසින් ඔබට තෝරා දෙනු ඇත!!!!

දිවයින

මා ඊමේලයක් මඟින් ඉහත අන්තර්ජාල ලිපිය පළ වූ දියාරු පත්තරේට (මාතලන්ට ස්තූතියි) පහත අදහස් ලියා යැව්වෙමි.

ඉහත සඳහන් ලිපියේ “අද තරම් අසහනයෙන් පෙළෙන මිනිසෙකු මේ මිහි මත වෙනත් කිසිම දිනෙක ජීවත්ව නැත,” යැයි ලියන ලේඛකයා මිනිසුන්ගේ අසහන තත්වයන් දැනගන්නට කුමන පර්යේෂණ පවත්වා ඇත්දැයි දැනගනු රිසියි.

ලංකාවේ අයට පමණක් දියවැඩියාව ගොවි යුගයේ දී හැදුනේ නැතැයි කියන්නේ කුමන දත්ත වලින් ද?

ගොවි යුගයේ මිනිසාට අධිරුධිරපීඩනය නොතිබුනා යැයි කියා ඇත්තේ එකල විසූ මොන දේශීය වෛද්‍යවරයා ද?

කොලෙස්ටරෝල් යනු කුමක් දැයි නොදැන සිටි පමණින් ගොවියාට එය නොතිබුනා යැයි නිශ්චිතවම ලේඛකයා දන්නවා ද?

උණ හා හෙම්බිරිස්සාව යනු රෝග නොව රෝග ලක්ෂණ යැයි මේ ලිපිය ලියන ලේඛකයා දන්නවා ද?

වර්තමානයේ ජීවත්වන සුසන්තිකා ජයසිංහ* වේගයෙන් දිවගොස් ඔලිම්පික් පදක්කම් දිනා ඇත. ලේඛකයා වර්තමානයේ ජීවත්වන බොහෝ දෙනෙකුට මයිල කාලක දුරක් පයින් යා නොහැකිය යැයි කියන්නේ කුමන විමර්ශනයක ප්‍රතිඵල දිහා බලා ද?

තැපැල් දෙපාර්තමේන්තුව මඟින් ලිපි නොයවා එකිනෙකා අතර කෙටි පණිවුඩ යවද්දී ආදර හසුන් හොරකම් කරන්නට කෙනෙක් නැති බව ලේඛකයා දන්නවා ද?

ලේඛකයා ජීවත්වෙනුයේ පොල් අතු හෝ පිදුරු සෙවිලි කළ, ගෙබිම ගොම මැටි හා වරිච්චි බිත්ති බැඳි නිවසක දැයි දැනගැනීමට අතිශයෙන් කැමැත්තෙමි. එය නවීන පන්නයේ නිවසකට වඩා සුවදායක යැයි කියන නිසා එසේ ජීවත් නොවන්නේ නම් ඒ ඇයිදැයි දැනගන්නට ද මහත් කැමැත්තෙමි.

අද කොළරා රෝගයෙන් මිය යන කී දෙනෙක් ගැන අහන්නට ලැබෙනවා දැයි ළිං ජලයේ රස අගයන ලේඛකයා සොයා බලා ඇත් ද? ළිං ජලයේ අඩංගු සිරුරට අවශ්‍ය බීජ වර්ග ලැයිස්තුව කරුණාකර පළ කරන්න යැයි ද ඉල්ලමි.

13 වැනි සියවස තෙක් වූ මහාතිත්ත නමින් ලංකාවේ ප්‍රධාන වෙළඳ වරායක, මුතු මැණික්, කුළු බඩු මෙන් අලි ඇතුන් ඇතුළු අන්තර්ජාතික වෙළඳාම පැවතිණ. යටත් විජිත සමයට පෙර රට ඇතුලත තිබු වෙළඳාම ගැන (ඒ මේ ලේඛකයා කියන අභ්‍යාවකාශ යුගයට පෙර වූ ගොවි යුගය ද වෙයි) ඩබ්ලිව්. අයි. සිරිවීර නම් ඉතිහාසඥයා ලියා ඇති තොරතුරු අනුව එක පළාතක බඩු රැගෙන වෙනත් පළාත්වල විකුණන්නට ගිය වෙළෙන්ඳන් එකල සිටියහ. තවලම හා ගැල් යනාදී වහර එන්නේ ඒවායෙනි.

එසේම ‘කය වික්කයා’ යනාදී වංචනික ක්‍රියාවන් ගැන සුමංගල විලාසිනි හි බ්‍රහ්මජාල සූත්‍ර වර්ණනාවේ ලියැවෙන්නේ සහ කංස කූට වැනි පද වහර සිංහලට එකතුවෙන්නේ ද, වර්තමානයේ පවතින විවෘත ආර්ථික ක්‍රමය ලංකාවට එන්නට පෙර නොවේ ද?

කප්පම් ගැනීම වැනි සියලු දූෂණයන්ගේ ආරම්භයට හේතු වූයේ ඊනියා විවෘත ආර්ථිකය යැයි ලියන ලේඛකයා, හතරවැනි උදය රජුගේ බදුළු ටැම් ලිපියේ රාජ්‍ය බදු එකතු කරපු නිලධාරීන්ගේ අකටයුතු සඳහන් වෙන්නේ හා විශේෂයෙන්ම අල්ලස හා දූෂණයට යොමු වූ ඒ නිලධාරීන්ට මත්පැන්, මස්, කිරි ආදිය වෙළඳුන් ගෙන් ගැනීම තහනම් කෙරෙන්නේ ඇයි දැයි විස්තර කරන්නේ කෙසේද?

අත්තනගලු විහාර වංසයේ ගෙල සිඳීම, හී වලින් විද මරා දැමීම, කඩුවකින් කෙසෙල් ගසක් මෙන් පෙතිගසා මරා දැමීම, තෙල් පොවන ලද රෙදි කඩින් වෙලා මහත් වූ ගින්නෙන් පුළුස්සා මැරීම යනාදිය සඳහන් වෙන්නේ එවක මිනිසා අංග ඡේදනය, හා හන තැබීම වැනි දඬුවම් පිළිබඳව ඇහෙන්නේ ඇයි? නිර්දෝෂී මිනිසුන්ට දඬුවම් දීම ලේඛකයා කියන “ඊනියා විවෘත ආර්ථිකය” නොතිබි එකළ හෙළ සිරිත් වූ නිසා ද?

සාමාන්‍ය කුකුලා සම්පූර්ණ වැඩිවියට පත්වෙන්නේ මාස හයකිනි. නරියන් වැනි වල් සතුන් සමඟ පොර බදින්නට හා දුර පියාඹා යන්නට නොහැකි නිසා ගොවිපොලේ කූඩුවක ආරක්ෂා නොලබන කුකුලෙක් වසර දෙක තුනක් හෝ ජීවත්වීම ගොවි යුගයේ දී පමණක් නොව අද දිනයේ ද පුදුමයකි. දින හතළිස් පහෙන් ගොවිපොල කුකුලෙක් මේසෙට යවත හැකි සම්පූර්ණ වැඩිවියට පත් කරත හැකියාව ලැබී ඇති හෝමෝන් එන්නත් වල නම් පළ කරන්න පුලුවන් ද? කුකුලාගේ වර්ධනයට මාස හයක් යනතුරු බලා නොසිට දින හතළිස් පහකින් වෙන්නේ ඒ බිත්තර දාන සහ කෑම මේසයට යවන කුකුලන් වරණීය බෝ කිරීම නොහොත් selective breeding ක්‍රමයකින් දියුණු කරගත් නිසාය.

පරම ආයු කාලය වසරින් වසර අඩුවේ යැයි ලියන ලේඛකයා ලංකාවේ වැසියන්ගේ ආයු කාලය 1960 සිට 2010 වෙද්දී වසර 13 කින් ඉහළ ගොස් ඇතැයි දන්නවා ද?

ලේඛකයන් ලියා එවන ලිපි වල අන්තර්ගතය මොනවාදැයි සොයා බලන්නේ නැතිව ද පත්තර වල ප්‍රධාන කර්තෘවරුන් අද ලෝකය පුරා කියවන්නට හැකි ලිපි පළකරන්නේ?

Advertisements

17 Responses

Subscribe to comments with RSS.

  1. Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 7, 2013 at 2:22 ප.ව.

    හෆොයි අරුණි ඔය පත්තරේ ගැන කියල වැඩක් නෑ. අර පිස්සු ආචාරියා(නලින් ද සිල්වා නොවේ අර ෆේස් බුක් හොට් ගෑල්ලමයි ඉන්න අචාර්ය) ගේ ලිපියකුත් පසුගියදා දාල තිබුනා. රටටම පිස්සු හැදිලා තියනකොට ඉතින් කතු වරුන්ටත් පිස්සු නැතුව තියේවිද?

  2. අමා said, on ජනවාරි 7, 2013 at 8:34 ප.ව.

    හික් මට ඕකේ අර ‘තේ කහට එකක් බීල උදේ වැඩ පටන් ගන්න ගොවියා’ ගැන කියවද්දී අහන්ට හිතුන එතකොට දැන් ඔය ‘තේ’ එකත් මේ ගොවියා ගෙදර වවපු තේ ගහකින් හදාගත්තු තේ එකක්ද කියල…!

    ඔය වගේ කිසිම විචාර බුද්ධියක් නැතුව ලියන මෝඩ ලිපිත් ‘දිවයිනේ’ පල කරනවද හැබෑට ! දුක හිතෙන්නේ ඔව්ව කියවල රැවටෙන මිනිස්සු ගැන…ඉස්සර අපේ ගෙදර වයරින් වැඩ කරන්න එන වයසක සීය කෙනෙක් හිටිය. එයාගේ හිතේ පත්තරේ යන හැම දෙයක්ම ඇත්ත කියල. ඉතින් අපි මොකක් කිව්වත් පිළිගන්නේ නෑ – කියනවා එහෙම වෙන්නේ කොහොමද පත්තරේ තිබ්බේ මෙහෙමයි කියල.

    • arunishapiro said, on ජනවාරි 8, 2013 at 8:24 පෙ.ව.

      අමා,

      අයියෝ අමා නංගි මට තේ කෝප්පෙ මිස් වෙලානේ!!!!! 😀

      පත්තරේ යන හැම දෙයක්ම ඇත්ත කියලා රැවටෙන මිනිස්සු එදා හිටියා වගේ අද අන්තර්ජාලේ යන හැම දෙයක්ම ඇත්ත කියලා රැවටෙන කට්ටියකුත් ඉන්නවා. ඒත් එයින් කියන්නෙ විචාර බුද්ධියෙන් ලියන අයත් කියවන අයත් නැහැයි කියල නෙමෙයිනේ.

  3. මාතලන් said, on ජනවාරි 8, 2013 at 12:18 පෙ.ව.

    ඕවාට කේන්ති ගන්න කාරනාවක් නෑ නෝනේ.. ඔය පත්තරේ කරන්නෙ ජනතාව ගල් යුගයට කැන්දාගෙන යන එක. ඔහේ මේ විකිනෙන්නෙ නැති පත්තර වලට පබ්ලිසිටි දෙනවා වගේ.. සුසන්තිකා නම් ගුණසිංහ නෙමෙයි ජයසිංහ… අපහාස නඩුබ්වක් වැටෙන්න කලින් වෙනස් කලොත් හොඳා…

    • arunishapiro said, on ජනවාරි 8, 2013 at 8:51 පෙ.ව.

      මාතලන්,

      කේන්තියක් නැහැ … බින්දි නංගි කියන විදියට මම යකඩ හිතක් තියෙන ගැහැණියෙක් යැයි හිතන්න මාත් කැමති වුනත්, මගේ හිත උණුවෙන්නෙ වෙඩරු වගේ කියලා ඊයේ ආයෙත් ඔප්පු වුනා. 1789 දී වෙච්ච ප්‍රංශ විප්ලවයෙන් පස්සෙ 2013 වෙද්දී ප්‍රංශයේ මිනිස්සු තාම ඉන්න අවුල දැක්කම උන් ගැනත් දුකයි. ලේ මිසෙරාබ්ල සංගීතමය චිත්‍රපටිය බලද්දී මායි දුවයි තරඟෙට අඬපු විදියට ශාලාව පිරිලා තිබුනා නම් අපිව එළියට දානවා.

      සම්මුතීන්ට හිර නොවූ මනසක් ඇති ශෝන් වොශෝන් ස්වාධීන උත්සාහයෙන් අවංක වෙන්න වෙහෙසෙද්දී ඔහු ඉදිරියට එන බාධා හමුවේ ඔහු
      “මම කතා කළොත්, මම පරිභවයට ලක්වේවි.
      මම නිහඬව සිටියොත් මම ශාපයට ලක් වූවෙක් වේවි!”
      කියන්නෙ තමන් යැයි සිතා අසරණයෙක් සිරගෙදරට දැමීම වළක්වන්න. ඒත් අනුන්ගේ සිත් රිදෙන දේවල් හා මිනිසුන් මෝඩයන් කරන දේවල් නොකර ඉන්න හැකියාව තිබෙද්දී මෙවැනි ඉතිහාසමය වැදගත්කමක් ඇති ප්‍රකාශයක් තමනට අවශ්‍ය විදියට වෙනස් කරගෙන කියද්දී දැනෙන්නේ මිනිසුන් මුලාවෙලා ඉන්න අන්ධකාරයේ මහත ගැන දුකක්. පොතේ කියැවෙන සිසු අරගලයට සත්‍යය ජීවිතයේ දී සහාය දුන් වික්ටර් හියුගෝ සිහියට ආවා ෆිල්ම් එක බලද්දී. ලංකාවේ සිසු අරගල වලින් ජීවිත අහිමි වූ තරුණ අයව මතක් වෙද්දී වැඩියෙන් ඇඬුණා. ඒ අහිංසකයන් මියගියේ මේ දිවයින පත්තරේ ලේඛකයාත්, ඉතිහාසය නොදන්නා මිනිස්සුත්, පොත් හරියට නොකියවා දකින දෙයක් අහන දෙයක් තමන්ට ඕනෑ විදියට වෙනස් කරගන්න නීච මිනිස්සුත් ඉන්න නිසා යැයි දැක්කම නිහඬ වෙන්න බැහැ.

      මාතලන්ට ස්තූතියි ගොඩක් සුසන්තිකාගේ වාසගම නිවැරදි කළාට. ඉක්මනට හදන්නම්. නැත්නම් ඒකෙ එල්ලේවි වෙන එල්ලෙන්න දෙයක් නැති අය.

  4. රූ said, on ජනවාරි 8, 2013 at 12:22 පෙ.ව.

    //ලේඛකයන් ලියා එවන ලිපි වල අන්තර්ගතය මොනවාදැයි සොයා බලන්නේ නැතිව ද පත්තර වල ප්‍රධාන කර්තෘවරුන් අද ලෝකය පුරා කියවන්නට හැකි ලිපි පළකරන්නේ?//

    මේ ලිපියත් අදාල ලිපිත් කියෙව්වත් ටික කාලයක සිට පත්තර වල පළවෙන මති මතාන්තර ගැන ප්‍රශ්නයක් ඇති නිසා අරුණිගේ පෝස්ටුවේ මේ අන්තිම වැකිය ඉතා ප්‍රබලයි..

    මේ විදිහට පත්තර කතුවරුන් දුර දිග නොබලා ලිපි පලකරන්නේ හේතු කීපයක් නිසා බව මගේ හැඟීමයි.කිහිපයක් මට හැඟෙන අයුරින් මෙන්න.

    1. පාඨකයා ගොනාට අන්දවන්ට හැකි පිරිසක් බව උපකල්පනය කිරීම, පාඨකයාද මෙවන් ලිපිවලට නියමාකාරයෙන් පිළිතුරු නොදීමෙන් මෙම උපකල්පනයට උල්පන්දම් දෙයි
    2. පුවත් පත් කතුවරුන් ළිං මැඩියන් මේන දැනුමෙන් යාවත් කාලීන නොවීමත් කුතුහලයක් නොතිබීම
    3. මොනවා ලීවත් පත්තරයේ අලෙවිය වෙනස් නොවීම

    • arunishapiro said, on ජනවාරි 8, 2013 at 8:58 පෙ.ව.

      රූ,

      1. ඔව් මෙහෙම ලිපියක් දැක්කම, අර ඉහත උදිත දෙන උදාහරණයත් වගේම, අපි මේ පිස්සු මනස්ගාත විශ්වාස කරන කෙනෙක් අද ලෝකෙ ඉන්න බෑනේ කියල පුදුමය නිසා ඒ ගැන කිසිත් නොකර නිහඬ වෙනවා. හැබැයි ඒකෙන් වෙන්නෙ මේවා පමණක් කියවන්න හුරුවෙලා ඉන්න අහිංසක දරුවන් මුලාවට පත්වීම.

      2. ඔව්, රස්සාව ලැබුණට පස්සෙ එය තරඟකාරීත්වයකින් නොයුතු නිසා මොනවාට දැනුම වැඩි කරගන්නවා ද?

      3. මේක නම් අද හෙට නොවූවත් ඉදිරියේ දී වෙනස් වේවි. බොරු වලට දීර්ඝ කාලීන පැවැත්මක් නැහැ. ඒ වගේම නොමිලේ සන්නිවේදනය සෙල් ෆෝන් වලින් වැඩියෙන් ලැබෙද්දී පත්තර අලෙවිය අඩුවේවි.

  5. ineshwickramaraja said, on ජනවාරි 8, 2013 at 1:03 පෙ.ව.

    ඔතන වෙන්නෙ,ලන්කාවෙ හුගක් තැන්වල වෙනවා වගේ,කරන්න බැරි දෙවල් කිය කිය පට්ට ගහන එක,මේ කාලේ මොකද්ද ඒ කාලෙනි බලන්න තිබුනේ කියන සිතුවිල්ලම එක එක විදිහට කියනවා,මොකද වෙන කියන්න දෙයක් දන්නෙත් නැ,අනික එහෙම කියලා,අපි තමා සේරම දන්න පොර කියන සන්කල්පය අනිත් අයට හැගෙන්න අරිනවා,(එකත් හරියට රැග් එක වැඩියෙන්ම තියන campus වල උඹලට දැන් හොදයි අපිට තිබුන රැග් වලින් මොනවද උඹලට තිබුනෙ කියනව වගෙ කතාවක්)ඉතින් පත්තරේ හොදයි කියල අහගන්න කැමත්තට ඒ අයත් මෙවා ලොකු අකුරෙන් දානවා,ලන්කවෙ ඉන්න බහුතරයක් පත්තරේ ගියොත් හරි TV එකේ පෙන්නුවොත් හරි නිවැරදියි කියන මතෙ ඉන්න මෝඩ මිනිස්සු,අනික හිතගන්න බැරි මේ මෝඩ අදහස් ලියන මිනිස්සුන්ගෙ අත්ම විශ්වසය වැඩියි නිදහස් අදහසක් තියන මිනිස්සුන්ට වඩා,

    • arunishapiro said, on ජනවාරි 8, 2013 at 9:10 පෙ.ව.

      ineshwickramaraja,

      //උඹලට දැන් හොදයි අපිට තිබුන රැග් වලින් මොනවද උඹලට තිබුනෙ කියනව වගෙ කතාවක්// 😀 මේ කතාව මාත් අහලා තියෙනවා. එහෙම කියපු එක්කෙනෙක් ගෙන් මම ඇහැව්වෙ ඉතින් ඔයගොල්ලො මෝඩ වුනයි කියල අපිත් මෝඩ වෙන්න ඕනෑද කියලයි. ඊට පස්සෙ මගේ යෙහෙළියත් ඇදගෙන ඒ ජේෂ්ඨ මෝඩයා එක්ක කතා කරලා කාලේ නාස්ති කරන්නෙ නැතිව එතැනින් ගියා. 😀

      ඒත් මේ මෝඩ අදහස් තියන මිනිස්සුන්ගේ ආත්ම විශ්වාසය, නිදහස් අදහස් තියෙන මිනිස්සුන්ට වඩා වැඩියි කියල නම් මම පිළිගන්නෙ නැහැ. නීච අයව රවටන්න පුලුවන් තවත් නීච අයට පමණයි. නිදහස් මිනිසුන්ව නෙමෙයි. මිනිසා තුල ආත්ම විශ්වාසය ඇතිවෙන්නෙ නීච අයගේ සපෝට් ලැබෙන නිසා නෙමෙයි. නීච මිනිසාට ඇත්තේ ද නිදහස් මිනිසෙකුගේ කැමැත්ත දිනාගන්න ආසාවක්. ඒ නිසා නීච හෙංචයියන් පිරිවරාගත් අය තමන්ට ඕනෑ විදියට මොළ ශුද්ධ කරන්න තැත් දැරුවත්, කිසිදාක බුද්ධි විචාරයට එරෙහිව පෙනී සිට නැහැ.

      පොදු යහපත සලසන නාමයෙන් හැදිලා තියෙන සමාජ පද්ධතිය අධ්‍යාපනයෙන් හා සන්නිවේදනයෙන් මිනිසාව නීච කරද්දී ඒ අය වැඩි වී නිදහස් සිතුවිලි ඇති මිනිස්සු අඩු වීම නිසා තමයි එදා වික්ටර් හියුගෝ, ෆෙඩරික් බැස්ටියාට් .. අද රොන් පෝල් වැන්නුවන් නිහඬ නොවී යමක් කරන්නෙ කියන්නෙ ලියන්නේ. එය නිදහස් සිතුවිලි ඇති මිනිසුන්ට පැහැර හැරිය නොහැකි වූ බාරදූර වගකීමක්.

  6. රාජ් said, on ජනවාරි 8, 2013 at 9:33 පෙ.ව.

    අතීතකාමය ප්‍රහර්ෂයට නැංවීමත් හොඳ බිස්නස් එකක් නොවැ. විශේෂයෙන් දිවයින පත්තරේට!
    ලඟදි දවසක ටිකක් වයසක මනුස්සයෙක් කතා කරනව අද සිද්ධවෙන ළමා අපචාර ගැන. අපේ කාලෙ නං ඔයවගේ දේවල් සිද්ධවුනේ නැහැ කියලත් කිව්ව. එතකොට එතන හිටිය තවත් වැඩිහිටි කෙනෙක් කිව්ව ළමා කාලයේ තමුන්ට වෙච්ච අතවරයක් ගැන. ඔය ඒකාලෙ මෙහෙමයි කියල කියන පිරිස සැලකියයුතු ප්‍රතිශතයක් මේ සමාජයේ ඉන්නව. අනේ මංද මොකද කියල.

    • arunishapiro said, on ජනවාරි 8, 2013 at 9:41 පෙ.ව.

      රාජ්,

      😀

      මිනිසාට ස්වභාවයෙන් ලැබී ඇති මහඟු දායාදයක් තර්කය. රාජ් දාලා තිබ්බෙ නියම පෝස්ට් එකක්!!! දක්කාගෙන යනු පිණිස මිනිසාව දීන කරගන්න පුලුවන් වෙන්නෙත් ඒ ස්වභාවික මිනිස් හැදියාව යටපත් කළොත් පමණයි. අද අධ්‍යාපනය කියලා පොවන්නෙ තර්කයට ඉඩක් නොතැබීම. ඉතින් අදහසක් ඇහුනම ඒ ගැන තනිවම තර්කයක් ගොඩනඟන්න හැදියාව මොළේ අස්සේ කුරුවල් වෙලා ගිහින්.

  7. sharanga said, on ජනවාරි 9, 2013 at 5:38 පෙ.ව.

    There’s saying is Judaism that the previous generation should be regarded by the next one the way men regard angels, and the next generation should be regarded by the present one the way men regard donkeys. The idea is that the previous generation knew more about the religion because they were historically closer to the time when Moses gave the Judaic law, so there’s less knowledge loss.

    That’s all nonsense. We live in a wonderful time when we compare our times with 10,000 years ago, and all the crap they had to go through. One of the reasons is science. Unlike religions, it grows. Nevertheless, those who are not inspired by science live under the illusion that the past was better than the present. It’s just ignorance.

  8. Jay said, on ජනවාරි 9, 2013 at 6:04 පෙ.ව.

    Tanks.

  9. Ravi said, on ජනවාරි 12, 2013 at 5:10 පෙ.ව.

    / ලේඛකයන් ලියා එවන ලිපි වල අන්තර්ගතය මොනවාදැයි සොයා බලන්නේ නැතිව ද පත්තර වල ප්‍රධාන කර්තෘවරුන් අද ලෝකය පුරා කියවන්නට හැකි ලිපි පළකරන්නේ? /

    අරුණි,

    අපි නැවතත් ගොවි යුගයට යන්නට ඕනෑ කියන මතය දරන්නත් ඒ වගේම අපි නැවතත් ගොවි යුගයට යමු කියල යෝජනා කරල තම මතය ලිපියක් මඟින් ප්‍රකාශයට පත් කරන්නත් බද්දේගම ඩී. අමරසේන මහත්මයාට අනුල්ලංඝනීය අයිතියක් තියනව නේද?…

    එක්සත් ජාතීන්ගෙ මිනිස් අයිතිවාසිකම් ප්‍රඥප්තියෙ 19 වන වගන්තියෙන් තහවුරු කරල තියෙන්නෙ ඒ අයිතිය නේද?

    දිවයිනේ කර්තෘ තුමා තමන් ඒ මතය නොපිළිගන්නවා හෝ වැඩි දෙනෙක් ඒ මතයට විරුද්ධ මතයක ඉන්නවයි කියන කාරණය මත ඒ ලිපිය පලකිරීම ප්‍රතික්ෂේප කලොත් ඒ මහත්මයාගෙ අර අයිතියට මොකද වෙන්නෙ?

    දිවයින කියන්නෙ පත්තරයක් නෙවෙයි පත්තර කඩමාල්ලක් කියන එක වෙනම කතාවක්. දිවයිනේ පලවන ලිපි 90% ක් තනිකර පල් හෑලි. ඒකත් වෙනම කතාවක්.

    මම ඉන්න කිට්ටුව තියන සුපර් මාකට් එකට දැනට කාලෙකට ඉස්සර ආවෙ ලංකාවෙ පත්තර වලින් ඔය දිවයින විතරයි. මුද්‍රිත සිංහල අකුරක් කියවන්ට කොච්චර ආශාවක් තිබුනත් මම කිසිම දවසක දිවයින නම් ගත්තෙම නෑ. ඒ මගේ අයිතිය. මගේ මුදල් වියදම් කරන්නෙ මොනවටද කියල තීරණය කරන්න මට අයිතියක් තියනව. ඒ වගේමයි තමන්ගෙ අදහස ප්‍රකාශ කරන්ට අර ලේඛක මහත්මයටත් නිදහස තියෙන්ට ඕනය කියන එකයි මගේ අදහස.

    • arunishapiro said, on ජනවාරි 12, 2013 at 9:49 පෙ.ව.

      Ravi,

      අයිතිය කියන එක ඉතාමත් සරල වූවක්. ඒත් එය තරම් අවබෝධයට නොහැකි ලෙසින් පටලවා ගත්තක් තවත් හොයාගන්න අමාරුයි, විශේෂයෙන්ම මේ දවස්වල ලෝකය පුරාම.

      අපේ අයිතිය යනු තවකෙනෙකුගේ අයිතියක් අහෝසි කළ හැකි අයිතියක් ද අඩංගු වෙන්නක් නොවේ.

      සෙනඟ පිරැණු දොරවල් වසා ඇති සිනමා ශාලාවක් ඇතුලත “ගින්නක්! ගින්නක්!” කියා ගින්නක් නැත්නම් බොරුවට කෑ ගැසීමට කිසිවෙකුට අයිතියක් නැහැ. එය නිදහස් ප්‍රකාශයක් නෙමෙයි. එය හිතාමතා හෝ නොදන්නාකම නිසා අනිත් අය රවටන අනිත් අය අනතුරකට පත්කරන ක්‍රියාවක්. එනිසා එය නීතිමය දඬුවම් ලැබෙන ක්‍රියාවක්.

      දිවයින ලිපියේ මා විරෝධය පා ඇත්තේ ලේඛකයාගේ මතයට නෙමෙයි. ඒකයි ඇහැව්වෙ ඔහු ගොම ගාපු ගෙයක ජීවත්වෙනවා ද කියල! කවුරු හරි පොල් අතු පැළක, වරිච්චි බිත්ති වලින් හැදිච්ච, ගොම ගාපු පොළවක ජීවත් වෙන්නට කැමැති මතයක් ඉදිරිපත් කරනවා නම් එය ඔහුගේ අයිතියක්. ඒත් කවුරු හරි කියනවා නම් “පරම ආයු කාලය වසරින් වසර අඩුවේ,” කියලා ඒක බොරුවක්. දත්ත පෙන්වන්නේ ආයු කාලය වැඩිවෙලා කියලයි.

      නොදන්නාකම හෝ හිතාමතා බොරුවක් කියන එක කිසිම ප්‍රඥප්තියකින් ආරක්ෂා කරන අයිතියක් නෙමෙයි.

      මුදල් අය කර විකුණන පත්තරයකට සමාජයේ අනිත් අයගේ අයිතියක් අහෝසි කරන්න බැහැ. එනම් පැහැදිලිව දත්ත පෙන්වන බොරුවක් පත්තරයේ පළ කරන්නට කිසිම අයිතියක් නැහැ.

      වෙළඳ ව්‍යාපාරයකට බොරු බෙදාහරින්න අයිතියක් කිසිම ප්‍රඥප්තියකින් තහවුරු කරලා නැහැ.

      බොරු කියන එක තම මතය දක්වනවා යැයි හිතන නිසා වෙන්නැති දේශපාලනඥයන් කියන බොරු වලට දඬුවම් ලැබෙන්නෙ නැත්තෙත්. 😀

  10. Ravi said, on ජනවාරි 12, 2013 at 12:32 ප.ව.

    අරුණි…මම කථා කලෙත් ඔහුගේ අදහස් දැක්වීමේ අයිතිය ගැන විතරයි.

    ඇත්ත…. තහවුරු නොකල කරුණු කිසිම වග විභාගයකින් තොරව ඇත්ත කියල ප්‍රකාශ කිරීම ප්‍රකාශන නිදහස අයුතු ලෙස යොදාගැනීමක්. ඊට එකහෙලාම විරුද්ධ විය යුතුයි…ඒ ගැන ගැටළුවක් නැහැ…දැන් කාලෙක ඉඳල ලංකාවෙ ඉරිද පත්තරවල පලවෙන විශේෂාංග ලිපි ඔන්න ඔය ජාතියෙ එව්වනෙ. ” පොලව යට පිටසක්වල ජීවින්ගේ අභිරහස් වාසස්ථාන පවතින බව ලොව පරසිදු බොහෝ විද්‍යාඥයෝ එක හෙලා පිළිගනිති. ” ….එච්චරයි. එහෙම කිව්වම අපි ඒක පිළිගන්නට ඕනෙ. 😀

    ස්තූතියි අරුණි, ප්‍රකාශනයේ නිදහස සහ එහි සීමාවන් පිළිබඳ පැහැදිළි කිරීමට. එකහෙලා පිළිගනිමි. 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: