අරුණි ශපීරෝ‍ වෙතින්

ලොව කිබිසිනි වී ඇති කාලයක …. රුසියාවේ ස්ටීව් ජොබ්ස් සිහිවටනයක්!!!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 11, 2013

Gun Free Zone

අනියන් නොහොත් ලූණු (Allium cepa) නමින් වූ ප්‍රවෘත්ති සංවිධානය ඇමෙරිකාවේ බිහිවූවකි. ඔවුන් උපහාසයෙන් ඉදිරිපත් කරන්නේ පවතින සම්ප්‍රදායන් හා හැදියාවන් වලට කෙළින්ම පහර දෙන වැඩ සටහනකි.

පහුගිය දිනයෙක අනියන් නිව්ස් කියා සිටියේ කොරියාවේ නායක කිම් ජොන්ග් උන් 2012 ජීවත් ව සිටින වඩාත්ම සෙක්සි මිනිසා කියාය. එය කොරියාවේ ටයිම්ස් පත්‍රය සහ චීනයේ පීපල්ස් ඩේලි ඔන්ලයින් දෙකම සත්‍යයක් යැයි සිතූහ.

ඉන්දියාවේ ජෙන්ඩර්සයිඩ් නොහොත් දැරියක් යැයි දැනගත් කළ දරුගැබ විනාශ කර දැමීම රටට නිගා කරන ඉහළ මට්ටමකින් සිද්ධ වෙන්නක් යැයි එහි අගමැතිවරයා කියා සිටියේය. මාසයකට පනස්දහසක් ගැහැණු දරුගැබ් මරා දමනු ලබයි. එහෙත් ඊට මූලික වෙන හැදියාවට විරෝධය දක්වනවාට වඩා මහා ජන සෙනඟක් එක කෙල්ලක් දූෂණය වූ නිසා පාරට බැස්සහ. නොදකින දේ ගැන උද්ඝෝෂණ කරන්නේ කෙසේද?!!!

හිටපු ජනාධිපතිවරුන්ට මුළු ජීවිත කාලය පුරාම රහස් සේවයේ ආරක්ෂාව ලබාදිය යුතු යැයි නීතියක් ඇමෙරිකන් ජනාධිපති ඔබාමා විසින් පසුගියදා අත්සන් කරන ලදි. වැඩ කරන කුඹීන්ගේ බර තවත් ඉහළ ගියේය. ඒ නීතිය කලකට පෙර ඉවත් කරන ලද අතර එයින් ප්‍රථම වරට ආරක්ෂාව අහිමි වෙන්නට තිබුනේ බුෂ් පුතාට මේ වසරේ දී ය. හැමෝම දන්නා පරිදි ඔහුට තම ආරක්ෂාව සලසා ගැනීමට වත්කම නැති අයෙකු නොවේ!!!! එහෙත් උපජනාධිපති විසින් ජනතාවට තම ආරක්ෂාව සලසා ගැනීමේ අයිතීන් කප්පාදු කරන්නට නීති යෝජනා කරද්දීම ජනතාවගේ මුදලින් හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතය තිබෙනා තුරු ආරක්ෂාව සලසන්නට ඔවුන් නීති සම්මත කරගත්හ.

පසුගියදා රුසියාවේ ව්ලැඩමියර් පූටින් ප්‍රංශයේ සුප්‍රසිද්ධ නළු ජෙරාඩ් ඩෙපාඩ්‍යුට රුසියානු පුරවැසිකම ප්‍රසිද්ධියේම ලබා දුන්නේය. නළුවා ප්‍රංශයේ ආදායම් බදු ඉහළ ගියාට අකමැති වී පුරවැසිබව අත්හරින්නට තීරණය කළ අයෙකි. ඒ සමාජවාදී ප්‍රංශ ජනාධිපති ආදායම් බදු ඉහළ දමා ඇත්තේ ප්‍රංශයේ ව්‍යවස්ථාවට පිටතින් ගිහින් යැයි එහි සුපිරි උසාවිය කියා තිබිය දී ය. පිටරට ආධාර ලබන සංවිධාන වලට දේශද්‍රෝහී යැයි ලේබල් අලවන නීති ගෙනා, ආණ්ඩුවට අපහාස කරන්න නොහැකි යැයි නීති සම්මත කරගත්, ඇමෙරිකාවේ අයට රුසියාවේ දරුවන් හදාගන්න නොහැකි වන සේ නීති වෙනස් කරපු පූටින් ජනවාරි 9 වැනිදා සෙන්ට් පීටර්ස්බර්ග් ජාතික පර්යේෂණ විශ්ව විද්‍යාලයේ දී ස්ටීව් ජොබ්ස් සිහිවටන අයිෆෝනයක් ලෙසින් හැදූ ඔහුගේ ජීවිතකතාව දිස්වන ඡායාරූප හා විඩියෝ රැගත් ස්මාරකයක් විවෘත කරන්නට ඉඩ දී සිටියේය.

ඊයේ වෙනෙසියුලාවේ ජනාධිපති නොමැතිව ජනාධිපති නිලප්‍රතිෂ්ඨාන උත්සවය පැවැත්වුණි. ලංකාවේ ‘වෙදා’ ගෙන් බෙහෙත් ගත්තා නම් උත්සවයට යාගත හැකිදැයි දැනගත හැකි වූ අවස්ථාව ලොව වෛද්‍ය හාස්කම් දකින්නට බලා සිටියවුන්ට අහිමිය!!!! ඉන්න පැත්තට කත් ඇද්දේ නැත්නම් ලැබෙන දේවල් අඩුවේ යැයි බියෙන් පාරවල් දිගේ තව කොපමණ කාලයක් වෙනෙසියුලානුවන් චැවේස්ගේ පින්තූර උස්සා ගෙන ප්‍රීති ඝෝෂා කරාවි ද?!!!!

2013 ජූනි මාසයේ දී පිරිනමන්නට යන “වසරේ තාත්තා” සම්මානය මෙවර දිනාගන ඇත්තේ හිටපු ඇමෙරිකන් ජනාධිපති බිල් ක්ලින්ටන් විසිනි. තම දියණිය ධවල මන්දිරයේ වාසය කරද්දී ලෝකයම දත් මොනිකා ලුවින්ස්කි පලහිලව්වෙන් ඔහුව දොට්ට දමන්න බැරිවුනේ කොංග්‍රසයට චන්ද 17 ක් මදි වූ නිසාය. වසරේ තාත්තා සම්මානය දිනාගන්නට කැමති අයට අලුත් පාරක් විවෘත වී ඇත!!!!

ඊයේ, එනම් ජනවාරි 10 දා ස්විට්ස්සර්ලන්තයේ දුම්රිය දෙකක් ගැටී ඩබල් ඩෙකර් මගී දුම්රියේ එන්ජිම පීලිපැන පුද්ගලයන් 17 දෙනෙකු තුවාල වූහ. ස්විස් ඔරලෝසුවක් මෙන් හැම දෙයක්ම නියමාකාරයෙන් දුවවන හැකියාව ඔවුන්ට අහිමිව ගිහින් ද, නැත්නම් ලෝකය කිබිසිනි වී ඇති කලෙක ස්විස් වැසියන් ද නොදෙවෙනි වන්නට ඇති අකමැත්ත ද?!!!!!

කිබිසිනි නොහොත් උඩුයටිකුරු වූ ලෝකයක සවුදි අරාබිය නම් නොසෙල්වී සිටියි!!!! එහෙත් ධනපති ක්‍රමය නිසා මරණ දඬුවම් සිද්ධ වෙනවා ය, ශරියා නීතිය නිසා හිස් ගසා දැමෙනවාය කියා ජනඝෝෂා කරන අය ඒ දෙකම නැති සෙසු ලෝකයේ කොතරම් මරණ දඬුවම් සිද්ධ වෙනවා දැයි නොදනිති. නොදකින දේවල් ගැන උද්ඝෝෂණ කරන්නේ කෙසේද? එහෙත් අනෙක් ලෝක ප්‍රවණතාවයන් උඩුයටිකුරු වෙමින් නැවත නිවැරදි පැත්ත ටික කලකට හෝ පිහිටුවා ගනිමින් යන අනාගත ගමනක, ලෝකයේ මරණ දණ්ඩන ප්‍රවණතාවය නම් එය අහෝසියට යන මාර්ගයක ගමන් කරනා බව ලොව කිබිසිනි වූවත් සතුටු විය හැකි කාරණයකි. අබ්දුල්ලා රජු ඇතුළු සවුදියේ රජ පෙළපතේ බහුතරය මහළු වයසේ වූවන්ය. ලංකාවේ උපන් රිසානා ඊට හේතුවක් නොවූවත් වැඩි කලක් නොයා සවුදියේ ද අරාබි වසන්තයක් පටන් ගැනීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකි වූවකි.

නිදහස නිකම් බලාගෙන සිටියාට ලැබෙන්නක් නොවේ. එහෙත් එය නිකම් බලාගෙන සිටිය දී හනිකට අහිමි වෙන්නකි.

Advertisements

11 Responses

Subscribe to comments with RSS.

  1. buwa said, on ජනවාරි 11, 2013 at 10:03 පෙ.ව.

    පෙනෙන දේට කරනා උද්ඝෝෂණ අතර , විකෘති ලෙස දැකීමෙන් කරනා ( අනෙක් අයට ව්කෘති ලෙස දැක්ක වීමේ අරමුණින් ) කරනා උද්ඝෝෂනද ඇත . පාර්ලිමේන්තු වටරවුමේ එවන් එකක් ක්‍රියාත්මක වෙමින් පවතී

    • arunishapiro said, on ජනවාරි 11, 2013 at 10:12 පෙ.ව.

      Buwa,

      රැල්ලේ යන අය හැමදාම එහෙම රැලි වලට එකතුවෙනවා. ඒත් හිතන්නට උත්සාහයක් ගන්නා අයට ඉන් හටගන්නේ ද ප්‍රකෘතිය කුමක් දැයි සොයන උවමනාවක් නොවේ ද?

  2. අමා said, on ජනවාරි 12, 2013 at 5:53 ප.ව.

    මහජන මුදල් මෙහෙම නාස්ති වෙන අතරේ Aaron Swartz ට ලක්ෂ ගණන් වන්දි මුදල් ඉල්ලමින් අවුරුදු ගණනක් හිරේට නියම කර එක ගැන කනගාටුයි… ඔහු සිය දිවි නසා ගැනීම අනුමත කරන්නේ නැහැ. නමුත් ඔහුගේ වරද, මහජන මුදල් නාස්ති කරන දේශපාලකයන් සමඟ සසඳද්දී, එතරම් දැඩි දඬුවම් දෙන්ට ඕනා වරදක්දයි හිතෙනවා. 😦

    • arunishapiro said, on ජනවාරි 12, 2013 at 6:28 ප.ව.

      අමා,

      අනුන්ගේ දේපල වලට ඉස්සර කාලෙ වගේම අදත් නීතියක් ගෙනැල්ලා අයිතියක් කියන්න බලයක් ඇත්තෙ දේශපාලනඥයන්ට විතරයි. ඔවුන්ට ඒ බලය දීලා ඇත්තේ චන්දෙ දෙන පුරවැසියන් විසින්මයි.

      සාමාන්‍ය පුරවැසියෙක් විසින් මොන හොඳ චේතනාවකින් අනුන්ගේ දේපලක් හොරකම් කරනවා නම් එයාට මේ වගේ රටක දී දඩ වැදෙනවා නැත්නම් හිරේට වැටෙනවා. ඔහු කළේ හොරකමක්, හොඳ චේතනාවකින් වුවත් එය වරදක්. ඊට නියමිත වූ දඬුවම් එයා වෙනුවෙන් හදපුවා නෙමෙයි. මහජන මුදල් වලින් කෙරෙන පර්යේෂණ සහ ඒවායෙන් ලියැවෙන ලිපි මිලක් අය නොකර බෙදා දිය යුතු යැයි පෙන්වන්න ඔහුට එසේ හොරෙන් බාගන්නෙ නැතිව ජනතා ඕනෑකමක් ඇති කරලා නීති පනතක් මඟින් වෙනස් කරගන්න හැකියාව තියෙන්නක්.

  3. අමා said, on ජනවාරි 12, 2013 at 6:07 ප.ව.

    //කිබිසිනි නොහොත් උඩුයටිකුරු වූ ලෝකයක සවුදි අරාබිය නම් නොසෙල්වී සිටියි!!!!//

    සව්දි අරාබියත් දැන් වෙනස් වීගෙන යන බව තමයි මේකේ ඉන්න සවුදි කුමාරයා/ආණ්ඩුකාරය කියන්නේ…:D

    සවුදියේ ශාරියා බැරිනම් ඕනෑ එකක් කර ගත්තට කමක් නෑ. ඒකෙ අඩුපාඩු ඇත්නම් ඒවා වෙනස් කරගනීවි ඒ රටේ පුරවැසියෝ. ඒත් ඔවුන් සංක්‍රමණය වෙන අනිත් රටවලටත් ඕක අරන් එන්ට තනන එක තමා වැරැද්ද!

    • arunishapiro said, on ජනවාරි 12, 2013 at 6:36 ප.ව.

      අමා,

      අරන් එන්න හදන හැම දෙයක්ම ඇතුලට ගේන්න ඉඩ දීලා ඊට පස්සෙ ඇඬුවට ඵලක් වෙන්නෙ නැහැනෙ. ලැබෙන වාසි පස්සෙන් එන කොන්දේසි දිහා බහුතරය බලන්නෙ ඉතා කලාතුරකින්.

  4. Sharanga said, on ජනවාරි 12, 2013 at 11:34 ප.ව.

    //එහෙත් උපජනාධිපති විසින් ජනතාවට තම ආරක්ෂාව සලසා ගැනීමේ අයිතීන් කප්පාදු කරන්නට නීති යෝජනා කරද්දීම ජනතාවගේ මුදලින් හිටපු ජනාධිපතිවරුන්ට ජීවිතය තිබෙනා තුරු ආරක්ෂාව සලසන්නට ඔවුන් නීති සම්මත කරගත්හ.//

    මේ gun control ප්‍රශ්නය ගැන වෙන්න ඇති. ඒත් මේක හොද තර්කයක් නෙවෙයි. ජනතාවට තුවක්කු දීමේ අරමුණ ජනතාවට තම ආරක්ෂාව සපයාගන්න ඉඩ ලබා දීම නම් ප්‍රශ්නක් එනව එක එකා තුවක්කු අරන් ඇවිත් ළමයින්ව වෙඩි තියල මරලා දාද්දි ආරක්ෂාව හම්බවෙන්නෙ කාටද කියල. මිනිස්සුනට මැෂින් තුවක්කු දෙනවනම් ඇයි න්‍යෂ්ටික ආයුධ නොදෙන්නෙ? තවත් වැඩිපුර ආරක්ෂාව සලසා ගන්න පුලුවන්නෙ.

    ඇමරිකන් ජනාධිපති කෙනෙක් ධූරයෙන් ඉවත් වුනාට පස්සෙත් Security Briefings හම්බවෙනව. ඉතින් ඕන මෝඩයෙක්ට තේරෙනව හිටපු ජනාධිපති කෙනෙක් උස්සන් ගියොත් සෑහෙන්න රාජ්‍ය රහස් ප්‍රමාණයක් හොයා ගන්න පුලුවන් කියල.

    • arunishapiro said, on ජනවාරි 13, 2013 at 9:36 පෙ.ව.

      Sharanga,

      මැෂින් තුවක්කු අයිතිය ඇමෙරිකාවේ නීත්‍යානුකූලව අවසරයක් ලැබෙන්නක් නොවේ. ස්විට්ස්සර්ලන්තයේ නම් ඊට අයිතියක් එහි පුරවැසියන්ට ඇත. ඒ සඳහා ඔවුනට පුහුණුවක් ද ලබා දෙයි. ඒ පුහුණුව අනුව ඔවුන් රටේ ආරක්ෂාව ද සැලසිය යුතුයි.

      තුවක්කු ළඟ තබා ගැනීමට සාමාන්‍ය පුරවැසියන්ට අවසර නැති වුවත් ලංකාවේ හසිත මඩවල මැරුනා නේද? තුවක්කු තහනම් කළ පමණින් අපරාධකරුවන් ලොවෙන් තුරන් කරන්න හැකි ද? ලංකාවේ මිනිහෙක්ගෙ අතපය කපා දැමූ විඩියෝව මතකයේ නැද්ද? ගැහැණියක් හොර සම්බන්ධයක් පැවැත්වූවා යැයි කියා පුරුෂයා විසින් ඇයගේ කකුල් දෙක කපා දැමූ ප්‍රවෘත්තිය කියැවුයේ නැද්ද? එහෙම නම් කඩු, මන්නා, කැති, පිහි පවා පුරවැසියන්ට භාවිතයට ඉඩ නොදිය යුතුයි ද?!!!!!

      රාජ්‍ය රහස් දැනගන්න අපි කියවන්නෙ නම් විකිලීක්ස්!!!!

      • Sharanga said, on ජනවාරි 14, 2013 at 2:52 පෙ.ව.

        ඇත්තටම ඇමරිකාවෙ තදබල විදිහට පාලනය කරන්නෙ NFA තුවක්කු පමණයි. ඒ කාණ්ඩයට බොහෝ semi-automatic ආයුධ අයිති වෙන් නැහැ. ජනපදයෙන් ජනපදයට semi-automatic ආයුධ ලබා ගැනීමේ පහසු බව වෙනස් වෙනව.

        ඒත් නියම කතාව ඒක නෙවෙයි. තුවක්කු පාලනය නිසා සිදුවිය හැකි හානි අඩු කරන්න බැරිනම් මැෂින් තුවක්කු පාලනය කරන්නෙ ඇයි? ආයුධ පාලනය නිසා සිදු විය හැකි අනතුරු අඩු කරන්න බැරිනම් thermonuclear warheads පාලනය කරන්නෙ ඇයි? NRA එක පවා මිනිස්සුනට න්‍යෂ්ටික ආයුධ ළග තබා ගෙනෙ ඉන්න දෙන්නයි කියා ඉල්ලන්නෙ නැහැ. ඒකෙන් තේරෙන්නෙ මේක Ayn Rand ගේ ගෝලබාලයින්ගෙන් පිරුනු NRA කියන ආකාරයේ absolute rights පිළිබද ප්‍රශ්නයක් නොවෙයි. හොද නරක් පැති තිබෙන ප්‍රායෝගික ප්‍රශ්නයක්.

        එතකොට මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් මිසක් අයිතිවාසිකම් පිළිබද ප්‍රශ්නයක් නොවෙයි නම් ඔය පිහි, කැති තර්කය තව දුරටත් වලංගු නෑ.මිනිස්සුන්ට පිහි, කැති ළග තබාගන්න ඉඩ දෙන්නෙ අයිතිවාසිකම් පිළිබද අදහසක් නිසා නොවෙයි, ප්‍රායෝගික අවශ්‍යතවයක් නිසා.ඉතින් මිනිස්සුන්ට පිහි, කැති ළග තබා ගන්න ප්‍රායෝගික අවශ්‍යතාවයක් තිබුනයි කියල මිනිස්සුන්ට තුවක්කු ළග තියා ගන්නත් ප්‍රායෝගික අවශ්‍යතාවයක් තියෙනව කියල ඔප්පු වෙන් නෑ.

        අනික් කාරණය තමයි මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් නම් ඕන කෙනෙකුට තේරෙන දෙයක් තමයි මිනිස්සුන්ට දවැන්ත විනාශයක් කරන්න පුලුවන් assault weapons ළග තබාගන්න ඉඩ දීම න්‍යෂ්ටික ආයුධ ළග තබා ගන්න ඉඩ දෙනවට වඩා පොඩ්ඩක් පිස්සු අඩු අදහසක් විතරයි කියල.
        *
        //එහෙම නම් කඩු, මන්නා, කැති, පිහි පවා පුරවැසියන්ට භාවිතයට ඉඩ නොදිය යුතුයි ද?!!!!!//

        ලංකාවෙ මම දන්න තරමින් කඩු ළග තබා ගැනීමට එරෙහි නීති තියනව. ඒ කොහම උනත් මේක ප්‍රායෝගික ප්‍රශ්නයක් මිසක් absolute rights පිළිබද ප්‍රශ්නයක් නොවෙයි නම් මේකට දෙන්න වෙන්නෙත් ප්‍රායෝගික උත්තරයක්. නිවසක පිහි භාවිතා කරන්න ප්‍රායෝගික අවශ්‍යතාවයක් නැති කාලයක පිහි භාවිතයත් තහනම් කර දැමිය යුතුයි.
        *
        //තුවක්කු තහනම් කළ පමණින් අපරාධකරුවන් ලොවෙන් තුරන් කරන්න හැකි ද?//

        තුවක්කු තහනම් කිරීමේ අරමුණ අපරාධකාරයන් තුරන් කිරීම නොවෙයි. අපරාධකාරයන්, මානසික රෝගීන් වැන්නන්ට සාමාජයට කළ හැකි හානිය අවම කිරිම.ලෝකයෙ කිසිම ආයුධයක් නැත්තම්, ඒ කියන්නෙ බිම වැටිල තියෙන ගලක් අහුලගෙන ගහන්නවත් හැකියාවක් නැත්තම් ප්‍රචණ්ඩ අපරාධ කරන්න හැකියාවක් නෑ. ඒත් ඒක ප්‍රායෝගික නැති නිසා ප්‍රායෝගිකව කළ හැකි දේවල් අපි කරනව. පිහි භාවිතය නවත්තන්න අපිට දැනට බැහැ. නමුත් අනාගතයෙදි ඒ අවස්ථාව ලැබෙන්න පුලුවන්.
        *
        //රාජ්‍ය රහස් දැනගන්න අපි කියවන්නෙ නම් විකිලීක්ස්!!!!//

        මේක තර්කයක් නෙවෙයි, විහිලුවක්.

  5. ineshwickramaraja said, on ජනවාරි 14, 2013 at 11:38 ප.ව.

    America වෙ මරණ දඩුවම ක්‍රියාත්මකද?

    • arunishapiro said, on ජනවාරි 15, 2013 at 9:58 පෙ.ව.

      neshwickramaraja,

      ඔව්, සමහර ප්‍රාන්ත වල තාමත් එය ක්‍රියාත්මකයි. සමහර ප්‍රාන්ත වල දඬුවම තිබ්බට ක්‍රියාත්මක කරන්නෙ නැහැ. කවදා හෝ එය නීතිමය දඬුවමක් ලෙසින් ඉතිරි වී ඇති ප්‍රාන්ත වලින් ද ඉවත් කරගන්න දරනා උත්සාහයන්ට මට හැකි සෑම අවස්ථාවකම සෑම ආකාරයකින්ම උදව් කරමින් සිටිමි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: