අරුණි ශපීරෝ‍ වෙතින්

ඇමෙරිකන් වෘත්තීය ෆුට්බෝල් සහ එයින් බිහි වූ ධනවතුන්

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 13, 2013

National Football League

ඇමෙරිකන් ෆුට්බෝල් යනු ඇමෙරිකාවේ නිෂ්පාදනයකි. අනිත් ඇමෙරිකන් ක්‍රීඩා තරඟ වලට වඩා වැඩියෙන් මුදල් උපයන්නේ ඇමෙරිකන් ෆුට්බෝල් ක්‍රීඩාවයි. ජාතික ෆුට්බෝල් ලීගය (NFL) ලෝකයේ ධනවත්ම ක්‍රීඩා සංවිධානය ද වෙයි.

NFL හි ආරම්භය 1920 දී ඇමෙරිකන් වෘත්තීය ෆුට්බෝල් සංගමය නමින් වූ කණ්ඩායම් 11 කින් සෑදුණකි. අද එහි තරඟ වදින කණ්ඩායම් 32 කි. ඉන් හරි අඩක් ඇමෙරිකන් ෆුට්බෝල් කොන්ෆරන්ස් (AFC) හි තරඟ කරන අතර අනෙක් බාගය ජාතික ෆුට්බෝල් කොන්ෆර්න්ස් (NFC) හි තරඟ වදිති. කොන්ෆර්න්ස් එකක අංශ හතරකි. එක අංශයක කණ්ඩායම් හතරකි.

සති 17 ක් පුරා හැම සතියක දී ම තරඟ 16 ක් සෙල්ලම් කරන හැම කණ්ඩායකටම එක සතියක් නිවාඩුවක් ලැබේ. ෆුට්බෝල් සීසන් එක පටන් ගන්නේ සැප්තැම්බර් මාසයේ මුල් සම්පූර්ණ සතියේ බ්‍රහස්පතින්දා රාත්‍රියේය. අනතුරුව දෙසැම්බර් අග හෝ ජනවාරි මුල දක්වා හැම සති අන්තයකම පාහේ නරඹන්නට ෆුට්බෝල් තරඟයක් ඇත. සති 17 අවසන හැම අංශයකින්ම අඩුගානේ එක කණ්ඩායමක් හෝ බැගින් හැම කොන්ෆර්න්ස් එකකින්ම කණ්ඩායම් 6 ක් NFL playoffs තරඟයට සුදුසුකම් ලබයි. ඒ තරඟයන් දිනුම ලබද්දී ඊ ළඟ තරඟයට යන්නටත් පැරදුමක් ලබද්දී ගෙදර යන්නටත් ලෙසින් සැකසී ඇත. එය අවසන් වෙන්නේ සුපර් බෝල් මහා තරඟයෙනි.

එක සති අන්තයක එක වෘත්තීමය ෆුට්බෝල් තරඟයක් නරඹන්නට සහභාගී වෙන රසිකයන් මධ්‍යකය දළ වශයෙන් 67,394 කි.

හැම ෆුට්බෝල් ක්‍රීඩා සමාජයකම කණ්ඩායමකට ක්‍රීඩකයන් 53 ක් උපරිම වශයෙන් තබාගත හැකිය. එහෙත් එක තරඟයක දී ක්‍රීඩා කරන්නට සූදානමින් ඉදිරිපත් කරත හැක්කේ ක්‍රීඩකයන් 45 දෙනෙකි.

ඇමෙරිකාවේ ජනගහණය විසිරී ඇති ආකාරයෙන්ම ෆුට්බෝල් කණ්ඩායම් ද රටේ පිහිටා ඇත. නැගෙනහිර ප්‍රදේශයන්හි කණ්ඩායම් 17; මධ්‍යම ප්‍රදේශයන්හි කණ්ඩායම් 9; පැසිෆික් ප්‍රදේශයේ කණ්ඩායම් 4; කඳුකර ප්‍රදේශයන්හි කණ්ඩායම් 2 ක් ඇත.

ෆුට්බෝල් ක්‍රීඩා සමාජයක අයිතිකරුවෙක් වෙන්නට නම් කවුරුන් හෝ පවතින ක්‍රීඩා සමාජයක් විකුණන්නට ඉදිරිපත් විය යුතුය. අලුත් අයිතිකරුවෙක් වීමට අනිත් අයිතිකරුවන්ගේ වැඩි චන්දයෙන් අනුමැතිය ලබාගත යුතුය. NFL කොමසාරිස්වරයා තෝරා ගන්නේ ක්‍රීඩා සමාජ අයිතිකරුවන්ගේ චන්දයෙනි. ව්‍යාපාර සමාගමකට ක්‍රීඩා සමාජයක අයිතියක් දැරිය නොහැකිය. සමාජයක අයිතිය ඒකීය පුද්ගලයන් උපරිම වශයෙන් 24 දෙනෙක් හෝ ඊට අඩු සංඛ්‍යාවකින් විය හැකියි. ඔවුන් අතර එක් අයෙක් හෝ 30% හෝ සමාජයේ වැඩි අයිතියක් කිව යුතුය.

එම නීතිය ගෙනෙන්නට පෙර විස්කොන්සින් ප්‍රාන්තයේ ග්‍රීන් බේ පැකර්ස් නම් කණ්ඩායම මහජන කොටස් ක්‍රමයකට තම සමාජය පිරිසක් විසින් අයිතිය දරන සංස්ථාවක් ලෙසින් තිබි නිසා ඔවුනට දිගටම එසේ කටයුතු කරන්නට අවසර ලැබේ.

ක්‍රීඩා සමාජයකට කැමති ක්‍රීඩකයෙක් බඳවා ගන්නට අවසරයක් නැත. වෙන්දේසියක් වැන්නක දී ෆුට්බෝල් සෙල්ලම් කරන්නට ඉදිරිපත් වන ක්‍රීඩකයන් අතරින් වඩාත්ම සුදුස්සාව කළින් වසරේ දී වඩාත්ම අඩු ප්‍රතිඵල ලැබූ සමාජයට බඳවා ගන්නට පළමු අවස්ථාව පෑදේ. එසේම හැම සමාජයකටම මිලියන ඩොලර් 80.6 කට වඩා වැඩියෙන් එක ක්‍රීඩකයෙකුට පඩි ගෙවන්නට ද නොහැකිය.

NFL හි වඩාත්ම දක්ෂ ක්‍රීඩකයා වඩාත්ම ධනවත් ක්‍රීඩකයා ද වෙයි. කණ්ඩායම් දක්ෂතාවයෙන් ජය පරාජය තීරණය වෙන බැවින් වඩාත්ම දක්ෂ ක්‍රීඩකයා සතු වූ පමණින් දිනන සමාජයක් නැත. ක්‍රීඩකයන් වෘත්තීය සමිතියක සාමාජිකයන් වෙති. ආරම්භයේ සිට මේ වනතුරු වෘත්තීය සමිති වර්ජනයක් නිසා තරඟයක් ඇණහිට නැත.

Colts සමාජයට බැඳෙන විට වසර හතක් සෙල්ලම් කරන එකඟතාවයට පේටන් මැනින්ට ඩොලර් මිලියන 99.2 ක් ලැබුණි. ඒ අත්සන් කරනවාට බෝනස් වශයෙන් මිලියන 34.5 ක් පඩියට අමතරව එකතු වූ නිසාය. 2011 දී වසර හත අවසන් කරන ඔහු Bronco සමාජයට බැඳෙන්නේ වසර පහක් සෙල්ලම් කරන්නට මිලියන 96 ක ගිවිසුමකට අත්සන් කරමිනි. ඔහුගේ පිල ඊයේ පරාජය වූහ.

1990 දී උපන් Robert Griffin III නොහොත් RG3 2012 දී වොෂිංටන් Redskins සමාජයට බැඳුනේ වසර හතරක් සෙල්ලම් කරන්න මිලියන 21.1 ලැබෙන ගිවිසුමකිනි. එය අත්සන් කරන්නට බෝනස් වශයෙන් මිලියන 13.8 ක් ඔහු ලබා ගති.

Seattle Seahawks ෆුට්බෝල් කණ්ඩායමේ අයිතිකරුවා මයික්‍රොසොෆ්ට් කොම්පැණියේ සම නිර්මාතෘවරයෙකු වන පෝල් ඇලන්ය. පෝල් ඇලන්ගේ වත්කම බිලියන 15 කි. ඔහුට සියළු ෆුට්බෝල් කණ්ඩායම් වල අයිතිකරුවා වන්නට තරම් මුදල් තිබිය ද එයට ෆුට්බෝල් සංගමයේ රීති අනුව අවසර නැත. ෆුට්බෝල් සමාජ දෙකක බහුතර අයිතියක් කිසිවෙකුට නැත.

Miami Dolphins හි අයිතිකරුවා ස්ටීවන් රොස් නැමැත්තෙකි. ඔහු ඉඩකඩම් ව්‍යාපාර වලින් ධනවත් වුයෙකි. ඔහුගේ වත්කම බිලියන 4.4 කි.

St. Louis Rams කණ්ඩායමේ අයිතිය කියන්නේ තවත් ඉඩකඩම් ව්‍යාපාර වලින් ධනවත් වූවෙක් වන ස්ටැන් ක්‍රොඑන්කෙ නැමැත්තාය. ඔහුගේ වත්කම බිලියන හතරකි.

ස්ව උත්සාහයෙන් ව්‍යාපාර කරමින් ධනවත් වූවන් තම ධනය ක්‍රීඩා ලෝකයට ගෙන යද්දී දක්ෂතා ඇති ක්‍රීඩකයන් පමණක් නොව, වෙනත් දක්ෂතා ඇති/නැති අයටත් රස්සාවල් බිහිවේ. රූපවාහිනි නිවේදකයන්, නිෂ්පාදකයන්, දැන්වීම් හදන අය, කැමරාකරුවන්, පුහුණුකරුවන්, දහස් ගණනින් සති අන්තයක් පාසා එක් රොක්වෙන ජනකායට කෑම බීම හදන විකුණන අය, ක්‍රීඩාංගන මුරකරුවන්, පිටියේ තණකොල බලා කියා ගන්නා අය, රසිකයන්ට මිල දී ගන්නට කැප් හා ටී-ෂර්ට් හදනා අය වගේම තරඟ පවත්වන නගරයේ අවන්හල්, රථ ගාල් ද ආදායම් උපයති.

එසේම ඇමෙරිකන් ෆුට්බෝල් නිසා බිහිවූ වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම ක්‍රීඩාවේ නොයුතු අයගේ නිරෝගී බවත් පාදන්නට සමත් වී ඇත.

ඉහළ ආදායම් උපයන්නට සමත් අය තමන් කැමති උත්සාහයන්ට මුදල් ආයෝජනය කරද්දී අඩු ආදායම් උපයන අයට රස්සාවල් ලැබේ. නිදහස් මිනිසුන්ට නිදහස් කැමැත්තෙන් ඒකීය සතුට සොයා යන්නට ධනවාදී ක්‍රමයකින් ඉඩක් ලැබෙද්දී ඒකීය උත්සාහයන් අතිශයින් සාර්ථක වී ඒකීය පුද්ගලයාගේ ආර්ථිකය ද, රටේ ආර්ථිකය ද වඩා සාර්ථක වේ.

අයෙකුට හෝ මණ්ඩලයකට රටක දිවිනැඟුම සඳහා සියලු බලතල හා මුදල් පවරනවාට වඩා, නිදහස් මිනිසුන්ට නිදහස් ක්‍රියාවන්හි නියැළීමට ඉඩදීම ආර්ථික නංවාලන්නට අතිශය සාර්ථක වූවක් යැයි ඉතිහාසය ඔප්පු කර තිබෙන්නකි.

ආර්ථිකයක් වැඩ කරන හැටි නොදන්නා නූගතුන් සිතන්නේ ඇමෙරිකාව වෙනත් රටවල් වලින් සම්පත් උදුරා ගෙන ධනවත් වුවා කියාය. ඒ නොදන්නාකම නිසාම 1922 සිට 1991 දක්වා පුරා වසර 69 ක කාලයක් සත්‍යයෙන්ම තම රටේ හා අනිත් රටවල අනුන් සතු දේපල හා සම්පත් උදුරා ගත් සෝවියට් රුසියාව යැයි කියාගත් මහා දේශයක් බංකොළොත් වුයේ මන්දැයි ආර්ථිකය වැඩ කරන්නේ කෙසේදැයි නොදන්නා අයට තවමත් පැහැදිලි කළ නොහැකියි!!!!!!!

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on ජනවාරි 13, 2013 at 11:15 පෙ.ව.

    මෙහේ නං කේන්ද්‍රයට සියලු බලතල පවරනව මදිවාට අයිති නැති බලතල බලහත්කාරය යොදල අයිතිකරගන්න තත්වයක් තියෙන්නෙ.

    ඇමරිකන් ෆුට්බෝල් ගැනනං දන්නෙ නෑ. හැබැයි පහුගිය දවස්වල මේ ක්‍රීඩාව ලංකාවටත් ආව.

  2. Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 14, 2013 at 9:52 පෙ.ව.

    මේ දවස් වල පිස්සුවක් වගේ ෆුට්බෝල් බලන එක තමයි කරන්නේ . නිව් ඉංග්ලන්ඩ් පෙට්‍රියට් කණ්ඩායමට ජයවේවා. හුරු උනාම අපේ ඇඟේ තියන ක්‍රිකට් ක්‍රීඩාව වත් මේ තරම් රසවත් නෑ.

    • arunishapiro said, on ජනවාරි 15, 2013 at 9:54 පෙ.ව.

      Uditha,

      පිටතින් ඇඟිලි ගහන අය නැති නිසා, ජයගන්නේ කවුදැයි අනාවැකි කියන්න බැරිකම එහි රසවත් බව වැඩි කරනවා යැයි මගේ හැඟීම. ඔව්, ටොම් බ්‍රේඩි ලස්සන කොල්ලා බොරු සෝබන නැතිව ජයගන්නවා. ඒත් ඩෙලවෙයාර් කොල්ලා ජෝ ෆ්ලැකෝ ඉන්න රේවන් කණ්ඩායම තාම තරඟයේ ඉන්න නිසා ඔවුන්ට ජයවේවා නොකියා බෑනේ!!! 😀

      • Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 15, 2013 at 10:32 පෙ.ව.

        නිව් යෝර්ක් කණ්ඩායම් හැලුනට පස්සේ මම නම් පෙට්‍රියට් බස් එකට නැග්ගා 🙂 කොහොමත් මම කැමති කණ්ඩායමක් එත් එතින් අපි වානරයාගෙන් පැවත එන ශේෂය හින්දද කොහෙද තාම භූගෝලීය ප්‍රදේශය සලකුණ කරන්න තමන් ඉන්න පැත්තේ කණ්ඩායමට නේ සපෝර්ට් .

        • arunishapiro said, on ජනවාරි 15, 2013 at 11:03 පෙ.ව.

          Uditha,

          ඔව්, මාත් ඩෙන්වර් බ්‍රොන්කෝ හැලුනට පස්සෙ තමයි රේවන් බස් එකේ එල්ලෙන්නේ 😀

          දන්න කියන කෙනෙක්, ඉන්න පළාතක් නිසා ඔව් ඔයා කියන ‘වානර ශේෂය’ බලපානවා.

          හැබැයි මුළු ඇමෙරිකාවේම වැඩියෙන්ම ජනප්‍රිය ෆුට්බෝල් කණ්ඩායම ඩලාස් කව්බෝයිස්ලා!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: