අරුණි ශපීරෝ‍ වෙතින්

මම, තක්කාලි

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 16, 2013

පැන්සලක් හදාගන්නවත් දැනුමක් නැති වුනාට ඉගෙන ගන්න ඕනෑ මේවා යැයි ද, වවන්න ඕනෑ මේවා යැයි ද, රට පටවන්න ඕනෑ මේවා යැයි ද, රට රුකියාවන්ට යවන්න ඕනෑ මේ අයව පමණක් යැයි ද, දරුවන් හදන්න ඕනෑ අහවල් සංඛ්‍යාව පමණක් යනාදී වශයෙන් අනුන්ගේ ජීවිත සැලසුම් ඉදිරිපත් කරන අය, පුරාතනයේ පටන් අද දක්වාම නොමඳව සිටිති.

අනුන්ගේ නිර්මාණ කොපි කරන, හොරෙන් බාගෙන රසවිඳින, අනුන්ගේ බ්ලොග් වල තමන්ට ප්‍රතිචාර දාන්න අයිතියක් ඇතැයි සිතන, ජනසතු ව්‍යාපාර වලට පක්ෂපාතී වූ, බංකොළොත් වූ රාජ්‍ය භාණ්ඩාගාරයන් මහජනතාවගේ බදු වැඩි කරද්දී ඒ වැඩිවෙන්නේ තමන්ගේ බදු නොවේ යැයි සිතන පුද්ගල අයිතිය සහ පොදු දේපල අයිතිය අතර වෙනස නොදන්නවුන්, පුරාතනයේ පටන් අද දක්වාම නොමඳව සිටිති.

තම ජනතාවට නිදහසේ ගණුදෙනු කරන්නට නොහැකි ලෙසින් සැලසුම් කරමින්, රටේ ආර්ථිකය කුරුවල් වෙද්දී සැලසුම් ගැසූ තමන් නොව වැරැද්ද ඇත්තේ අන්න අර කුමන්ත්‍රණවාදීන් අත, මෙන්න මේ මංකොල්ලකරුවන් අත යැයි කියන පාලකයන් පුරාතනයේ පටන් අද දක්වාම නොමඳව සිටිති.

තම ජනතාව මත බදු බර පටවා තම වත්කම් වලට බදු නොගෙවමින් මෙලොව සුරසැප විඳින පාලකයන්, පුරාතනයේ පටන් අද දක්වාම නොමඳව සිටිති.

තම ජනතාව නීතිය කැඩුවොත් විඳිය යුතු වූ දඬුවම් ස්ථාපනය කරමින්, එහෙත් තමන් ඒ නීති කැඩුවොත් ඒ දඬුවම් නොලබන පාලකයන්, පුරාතනයේ පටන් අද දක්වාම නොමඳව සිටිති.

පැන්සලක් හදා ගන්නට මිනිසා සමත් වෙන්නේ ගණුදෙනුවක් තුල වූ කැමැත්තෙන් සිද්ධ වෙන හුවමාරුවෙන් යැයි නොදන්නා අය තවමත් මිනිස් ක්‍රියාකාරකම් (human action) යනු කුමක්දැයි ඇබිත්තක් හෝ හඳුනා ගෙන නැත.

මිනිසා යනු තම අතීත අත්දැකීම් තුලින් ඉගෙන ගන්නට සමතෙකි.

මිනිසා යනු අනුන්ට සිද්ධ වෙන ඵලවිපාක වලින් තම ජීවිතය හැඩගසා ගන්නට සමතෙකි.

මිනිසා යනු ප්‍රබන්ධයක ගෙතෙන මනඞකල්පිත චරිතයක් දැක එයින් පාඩමක් ඉගෙන ගන්නට සමතෙකි.

එහෙත් එම උත්සාහයට පියවරක් මොළයෙන් කල්පනා කරන්නට හැකි මිනිසා නොගන්නේ ද ඔහු ලබා උපන් හැටියට කඹුරමින් සිට මිය යන්නෙකි.

පාලකයන්ගේ සැලසුම් වලට නොව ඒකීය මිනිස් ක්‍රියාකාරකම් වලට ඉඩක් ලැබෙන සේ ආර්ථිකයක් ලෝකයේ බිහිවිය. ඒ ඇමෙරිකාවේය. එදත් අදත් එහි වාසය කරනා මිනිසුන් අතර අතීත අත්දැකීම්, අනුන්ට සිද්ධ වෙන ඵලවිපාක හා ප්‍රබන්ධයන්හි ලියැවෙන මනඞකල්පිතයන් වලින් ද තම තමන්ගේ අනාගතය වෙනස් කරගන්නට සමත් වෙන අය සිටිති.

“මම, පැන්සල” නම් මධ්‍යම සැලසුම්කරණයක් නොමැතිව ඒකීය මිනිසුන් නිදහස් ලෙසින් තම තමන් කරනා වෑයම් වල ප්‍රතිඵලයක් ලෙසින් බිහි වූ සාර්ථකත්වය පැහැදිලි කරන රචනාවකි.

“මම, තක්කාලි” නම් Chris Rufer නැමති එක ලොරියකින් තක්කාලි ප්‍රවාහනය කළ කැම්පස් සිසුවෙක් වූ තරැණ ව්‍යවසායකයා, තක්කාලි වවන තිදෙනෙකුගේ ආයෝජන සහායෙන්, නවෝත්පාදනයෙන්, අත්දැකීම් වලින්, සිහිබුද්ධියෙන්, ලාබ උපයන ව්‍යාපාරයක මැනේජර්ලා නොමැතිව ඒකීය ශ්‍රමිකයන්ට නිදහස් ලෙසින් තම උත්සාහයන් වල නියැළෙන්නට ඉඩ දී කොම්පැණියක් සාර්ථක කරගත් අන්දමයි.

ලෝකයේ විශාලතම තක්කාලි පැසුරුම් කම්හල වෙන්නේ ද, කැලිෆෝර්නියාවේ වවන තක්කාලි වලින් 40% ක් පැසුරුම් කරන්නේ ‘ද මොනින් ස්ටාර් කොම්පැණියයි.ස්වයං කළමනාකරණය මේ කොම්පැණියේ ඉහළ මට්ටමකින් ක්‍රියාත්මක වෙන්නකි. එහි තක්කාලි ටොන් 530 ක් පමණ පැයක දී පැසුරුම් කරති.

තමන් ගන්නා තීරණ වල වගකීම තමන් දරනා අයවළුන් සේවය කරන මේ කොම්පැණියේ ශ්‍රමිකයාට නිදහස් ලෙසින් කටයුතු කරන්නට ඉඩ ලැබේ. ඔවුන් තමන් හා සේවය කරන අනෙකුත් ශ්‍රමිකයන් සමඟ එක් වී තමන්ගේ කාර්ය භාරය කුමක් විය යුතු දැයි නිශ්චය කරති. අලුත් යන්ත්‍රයක් මිල දී ගැනීමට අවශ්‍ය නම්, කළමනාකරුවෙකුගේ අවසරයක් සොයන්නට අවශ්‍ය නැත. ඒ මිල දී ගන්නා යන්ත්‍රය නිසා ඇතිවන වාසි හා අවාසි ගැන කතාබස් කරන්නේ ඊට ලක්වෙන්නා වූ අනික් ශ්‍රමිකයන් සමඟය. අවාසි වලට වඩා වාසි වැඩි නම් යන්ත්‍රය මිල දී ගන්නට එහි ක්‍රියාකාරීත්වය බාරව ඉන්නාට පුළුවන.

මේ කොම්පැණියේ පර්යේෂණ හා සංවර්ධන අංශයක් නැත. ඒත් හැම ශ්‍රමිකයෙකුටම නවෝත්පාදනය කරන්නට දැඩි උවමනාවක් ඇත. ඔවුන්ට නවෝත්පාදනයට සමත් වූ නිසා ඉහළ නිලතල නොලැබේ. ඔවුන්ට ලැබෙන්නේ මුදල් ප්‍රතිලාබයි. ඊට අමතරව තම සහාය ශ්‍රමිකයන්ගේ ගෞරවයයි.

වසර 40 කට වඩා කාලයක් පුරා අතිශය සාර්ථකත්වයෙන් දුවන “මම, තක්කාලි” වසර 50 කට ඉහතක දී ලෙනාර්ඩ් ඊ. රීඩ් ලියූ “මම, පැන්සල” කතාව ඔප්පු කර පෙන්වමින් සිටියි.

“මම, තක්කාලි” විසිර ඇති දැනුම ව්‍යාපාරයේ දියුණුවට හැම දිනයෙකම යොදා ගන්නේ ඒ ඒ අංශයේ ඇති වැඩි දැනුම එහි නියැළෙන්නා සතුයි, ඒ නිසා තීරණ ගැනීමේ වගකීම හා බලය ද එයාට ලැබිය යුතුයි යන හයෙක් කියාදුන් සිද්ධාන්තයෙනි.

එහෙත් සරල අදහස් වටහා ගන්නට බැරි වූවන්, සත්‍ය සිද්ධාන්තයක් පිළිපැදීමෙන් ලැබෙන සත්‍ය සාක්කි පෙන්වූවත්, කාලාන්තරයක් තිස්සේ දැඩි භක්තියෙන් අල්ලා ගෙන ඉන්නා මිත්‍යා දෘශ්ටීන් බිම තබනු නොමැත. අප්‍රිකාවේ මිනිස්සු අදත් දුප්පත් උන්ගේ පාලකයන් උන්ව සූරා කන නිසා යැයි නොදන්නා අය, තමන් දුප්පත් වී සිටින්නේ ද එම හේතුව නිසාමයි නොදැක, තවත් කාලයක් සියල්ලට වරදකරු යැයි රටකට හෝ ආර්ථික ක්‍රමයකට හංවඩු ගැසීම පමණක් ඇතැයි සිතමින් කඹුරමින් සිට මිය යනු ඇත.

මම, තක්කාලි: කළමනාකරණයට රුඩිකල් පිවිසුමක් මෝනින් ස්ටාර් කොම්පැණියෙන් යන සිරස්තලයෙන් වූ ඉංග්‍රිසි ලිපිය මෙතැනින් කියවත හැකියි.

Advertisements

7 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ජනවාරි 16, 2013 at 9:50 පෙ.ව.

    ඒ වගේ වීඩියෝ එකක් දැක්කමයි…!!!

    • arunishapiro said, on ජනවාරි 17, 2013 at 9:39 පෙ.ව.

      Gold fish,

      ඇමෙරිකාවේ උපතේ සිට අද දක්වාම වැඩියෙන් තියෙන්නෙ ඔය වගේ ව්‍යාපාර තමයි. ඒත් සමහරු හිතන්නේ (වැරදියට!!) අප්‍රිකාවේ අයගේ සම්පත් උදුරාගෙන ඇවිත් ඇමෙරිකාව ධනවස්තු ගොඩගහාගෙන කියලයි!!!!

  2. මාතලන් said, on ජනවාරි 17, 2013 at 12:23 පෙ.ව.

    අපේ රටේ වැඩ කරන උන්ට වඩා ඉන්නේ බොස්ලා නේ…

  3. Ineshwickramaraja said, on ජනවාරි 17, 2013 at 5:50 පෙ.ව.

    1.ඔබෙ මම පැන්සල,සටහනේ අවසානයට සදහන් වන,//අදිසි හස්තයට නිදහස් මිනිසුන් සහ ගැහනුන් යහපත් ප්‍රතිචාර දක්වාවි කියලා විශ්වාසය අති කර ගන්න// යන්න ක්‍රියාවට නගන ලද අවස්ථවක්ද මේ?…
    2.මෙහි වැඩකරන පුද්ගලයින් බදවා ගැනීමේ ක්‍රමයත් වෙනස්ද?පුද්ගල ආකල්ප කුසලතා අනුව මෙහි වැඩ කරන්න ගලපෙන්නෙ මොන විදිහෙ අයද?

    • arunishapiro said, on ජනවාරි 17, 2013 at 9:24 පෙ.ව.

      Ineshwickramaraja,

      1. ඔව් එය තමා නිවැරදි ලෙසින් ඔප්පු කර ඇත්තේ.

      2. ඔව්, සම්මුඛ පරීක්ෂණයේ දී ව්‍යාපාරයේ ඉලක්කයන් විස්තර කරද්දී සහ කොම්පැණියේ දර්ශනය කියද්දී ඒවාට එකඟ නොවෙන අය එහි වැඩ කරන්න අයැදුම් කරන එකකුත් නැහැයි කියන්න පුලුවන්. මොකද සමහරු සොයන්නේ බොස්ලා වෙන්න මිසක් වැඩ කරන්න නෙමෙයිනේ!!!

      පුද්ගලික ආකල්ප අනුව එහි සේවය කරන්නේ, තමන් විසින් ඉලක්කයක් හදාගෙන ඒ ඉලක්කයේ සාර්ථකත්වය සඳහා වෙහෙසෙන්න කැමති අයයි. උදේට වැඩට ගිහින් හැමදාම කරන දේ කරලා හවසට ගෙදර එන අය නෙමෙයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: