අරුණි ශපීරෝ‍ වෙතින්

පරිස්ථානීය දැනුමට පරිස්ථානීය විසඳුම් බලය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 17, 2013

IMG_4959

දැනුම ලොව විසිර පවතින්නකි. සියල්ල දන්නා මාස්ටර් මොළයක් නැති නිසා මිනිසාගේ පැවැත්මට හා උන්නතියට පරිස්ථානීය දැනුම (local knowledge) අත්‍යාවශ්‍ය වේ යැයි පෙන්වා දුන්නේ ෆෙඩ්රික් හයෙක් විසිනි. කොමියුනිස්ට් හා සමාජවාදී ක්‍රමයන් අසාර්ථක වූයේ මෙම පරිස්ථානීය දැනුමට වැදගත්කමක් නොදෙන ලෙසින් බලය (force) යොදාගෙන ස්ථාපිත වූ මධ්‍යම සැලසුම් ක්‍රමයෙන් ගැලවිය නොහැකි දුර්වලතාවය නිසයි.

පරිස්ථානීය දැනුම නම් සමාජයක හැම තලයකම විසිර සිටින ඒකීය වූ පුද්ගලයාට ඇති දැනුමයි. යම් කාලයක් යමක නිරත වීමේ දී මුහුණ දෙන අත්දැකීම් වලින් ඒ පරිස්ථානියේ ඉන්නා ශ්‍රමිකයාට ඇති දැනුම වෙනත් පරිස්ථානියක වූවෙක්ට නැත.

වෙග්මන්ස් නමින් වූ වෙළඳසැල් දාමය ඇමෙරිකාවේ පිහිටන්නකි. මේ පින්තූර පසුගියදා වර්ජිනියාවේ ෆෙයාර්ෆැක්ස් නරගයේ වෙග්මන්ස් කඩයකට ගොඩ වී ගත් ඒවාය. දිනපතා පරිභෝජනයට අවශ්‍ය බඩු විකුණන ඇමෙරිකන් සිල්ලර කඩ අතර, වර්ග අඩි ප්‍රමාණයක විකුණන බඩු වලට වැඩියෙන්ම ලාබයක් උපයන්නට සමත් වී ඇත්තේ වෙග්මන්ස් කඩවල් ය.

එහෙත් එහි බඩු බිම සිට සිවිලිමට හිර වෙන සේ ගොඩ ගසා නැත. දැකුම්කළු ලෙසින්, බක්කි තල්ලු කරගෙන අන්තරාල අතරින් පහසුවෙන් ඇවිදිත හැකි සේ එහි ඇතුලත බඩු අලෙවියට තබා ඇත.

මිල දී ගන්නා යමක් තමාට රුචි නොවූයේ නම් ආපසු ගෙනැවිත් දී මුදල් ලබාගත හැකියාව ඇමෙරිකන් වෙළඳුන් අතර බහුල වශයෙන් දැකිය හැකිවූවකි. බොහෝ වෙළඳසැල් වල ඒ සඳහා වෙනම පාරිභෝගික කවුන්ටරයක් පිහිටයි. එහි ඉන්නා කළමනාකරැවෙක් විසින් පාරිභෝගිකයාගේ පැමිණිල්ල සාධාරණ ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ කොම්පැණියේ රෙගුලාසි වලට අනුවය.

මිල දී ගත්තක් ආපසු යවා මුදල් ලබාගන්නට නොහැකි වූ රටවල් වලින් ආ අය, මේ අවස්ථාවෙන් අයුතු ප්‍රයෝජන ගන්නා ආකාරය මා දැක ඇත. අලුතින් ඇඳුමක් මිල දී ගත් අයෙක් එහි එල්ලෙන මිල සඳහන නොගලවා එය නොපෙනෙන සේ උත්සවයට හැඳගෙන ගොස් පසුව එය ආපසු කඩේට දී තම මුදල් ලබාගත් හැටි ගැන මහා කෙරුවාවක් ජයගත් ලෙසින් කියනවා වරක් මා අසාගෙන සිටියෙමි.

ඔයා වගේ කිහිප දෙනෙක් එහෙම කරාම වැඩිකල් නොගිහින් ඔවුන් විකුණන ඇඳුම් වල මිල ඉහළ යන බව දන්නවා ද?

ඔයා වගේ කිහිප දෙනෙක් එහෙම කරාම වැඩිකල් නොගිහින් ඔවුන්ට ව්‍යාපාරය වසා දමා ගෙදර යන්නට වෙන බව දන්නවා ද?

ඔයා වගේ කිහිප දෙනෙක් එහෙම කරාම වැඩිකල් නොගිහින් ඒ කඩවල ශ්‍රමිකයන්ගේ රැකියාවල් නැතිවෙලා ඔවුන්ගේ දරුමල්ලන්ට සුබසාධන සේවා වලින් කන්න දෙනු පිණිස බදු වැඩි වෙන්නේ ඔයාගේම පොකැට්ටුවෙන් බව දන්නවා ද?

ඔයා කරන්නේ හොරකමක් බව ඔයා දන්නවා ද?!!!!!!

ඇය මාව ඇසුරු කිරීම නවතා දැමුවාය!!!!!!

IMG_4952 IMG_4956 IMG_4957 IMG_4961

වෙග්මන්ස් කඩදාමයේ දර්ශනය මෙයයි: යහපත් මිනිස්සු, පොදු අරමුණක් වෙනුවෙන් වෙහෙසෙද්දී, ඔවුන් අධිෂ්ඨාන කරගන්නා ඕනෑම ඉලක්කයක් මුදුන් පමුණුවා ගන්නට සමත් වෙති යන්න අප විශ්වාස කරමු.

ඉහත පාඨය මත ඇමෙරිකාව බිහිවුණි. ඉහත පාඨය මත ඇමෙරිකාවේ දියුණුව උදාවිය.

තමන් කවුදැයි කියන්නට තව දුරටත් වෙග්මන්ස් කඩදාමය මෙසේ විස්තර කරයි:
1. සෑම පුද්ගලයෙකුගේම සුවසෙත හා සාර්ථකත්වය ගැන තැකීම අපි කරන්නෙමු.
2. ඉහළ ප්‍රමිතියන් යනු ජීවත්වෙන ආකාරයකි. අපි කරන සෑම කටයුත්තක දී ම අපි හඹායන්නේ අනගිත්වයයි.
3. අපි සේවා සපයන සෑම සමාජයකම අපි වෙනසක් ඇති කරන්නෙමු.
4. අපේ ශ්‍රමිකයන්ට අපි සවන් දෙමු, අපි ඔවුන්ට ගෞරව කරමු.
5. අපේ කොම්පැණියටත්, අපේ පාරිභෝගිකයන්ටත් වාසිදායක වෙන ලෙසින් සහ ඔවුන්ගේ සේවය වඩාත් දියුණු කරගන්නට හැකිවන ලෙසින් අපේ ශ්‍රමිකයන්ට තීරණ ගන්නා බලය දෙමු.

කඩය හා ගණුදෙනු කරන අයෙක්ට ඉහත දේවල් ඔවුන් නිකම් ලියා ඇති පාඨ නොව සත්‍යයෙන්ම ක්‍රියාවට නංවන ඉලක්කයන් බව අත්විඳින්නට හැකිය. ඉහත දෙවැන්න ගැන කිව්වොත්, ඔව්! සැබැවින්ම, එහි රාත්තලක් $499/- මිල දී ගත හැකි හතු (truffels) විකුණන්නට ද ඇත!!!!! එහෙත් මේ සටහනට වඩාත්ම වැදගත් කරුණ නම්, වෙග්මන්ස් කඩ දාමයේ සේවය කරනා අයට තම පරිස්ථානීය දැනුම අනුව තමාට ඉහළින් ඉන්නා මැනේජර්ලා ගෙන් අහන්නේ නැතිව තනිවම තීරණයක් ගන්නට බලය සතු වීමයි.

බොහෝ දෙනෙක් බලය ලබන්නට ඉතා කැමැත්තෝය. එහෙත් බලය සමඟින් පැවරෙන වගකීම කුමක් දැයි නොදන්නෝය.

අයෙක් මිල දී ගෙන ගිය කේක් ගෙඩියෙන් කෑල්ලක් කා අපොයි මම මේ රහට කොහෙත්ම කැමති නැහැ, මට වෙන කේක් ගෙඩියක් ඕනෑ යැයි පැමිණිලි කළොත්, වෙන කේක් ගෙඩියක් හෝ මුදල් ආපසු දීමට බලය ඔබ සතු නම්, ඔබ ඒ බලය ඔබේ නෑදෑ හිත මිතුරන්ට වැඩියෙන් වාසිවන අන්දමින් පාවිච්චි කරනවා ද? නැත්නම්, පාරිභෝගිකයාගේ සත්‍යයතාවය ඔබට මැනීමට හැකි තරමින් අවංකව තීරණය කරනවා ද?

බලයක් දීමෙන් සහ ඒ බලය පරිහරණයේ දී ඇති වගකීම ගැන ද අවබෝධයක් ඇති කිරීමෙන් වෙග්මන්ස් වෙළඳසැල් හි වැඩියෙන් ඉන්නේ සතුටු ශ්‍රමිකයන් යැයි පෙන්වන්නේ වෙග්මන්ස් කොම්පැණියේ සත්‍ය දත්තයන්ය. එනම් එහි වැඩ කරන අය, බඩු ඇණවුම් කරන අය, බඩු අඩුක් කරන අය, බඩු විකුණන අය යනාදීන් අනෙකුත් වෙළඳසැල් වල දකින්නට ඇතිවා සේ ටික කාලයක් සේවය කර අනතුරුව වෙනත් රැකියාවක් සොයාගෙන යන්නෝ නොවෙති. එසේම වර්ග අඩියක විකුණන භාණ්ඩ වලින් අනිත් කඩවලට වඩා වැඩියෙන් ඔවුන් ලාබයක් උපයන්නට සමත් වෙති.

මිනිස් උවමනා සපුරාගන්නට නම් සමාජයේ විසිර ඇති පරිස්ථානිය දැනුමට වැදගත්කමක් දිය යුතුයි. අයෙකු වඩාත්ම නිර්මාණශීලී වෙන්නේ ද, වඩාත්ම කාර්යක්ෂම වෙන්නේ ද නිදහසේ ක්‍රියාකරන්නට ඉඩක් ලැබෙද්දීය. ඉතින් මේ නිදහස ගැනත් නිදහස් මිනිසුන් ගැනත් විශ්වාසයක් තැබීමෙන් සාර්ථකත්වය උදා කරගන්න හැකි යැයි “මම, පැන්සල” ලියූ ලෙනාර්ඩ් ඊ. රීඩ් ගේ අදහස ක්‍රියාත්මක කළ තවත් සාර්ථක ව්‍යාපාරයක්!!!!!

Advertisements

21 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on ජනවාරි 17, 2013 at 9:27 පෙ.ව.

    ලස්සන කඩයකි..

    • arunishapiro said, on ජනවාරි 17, 2013 at 9:28 පෙ.ව.

      indika27,

      තේ කඩේ තේ බොන විදියට රඟපාන මගේ දුවත් ලස්සනයි නේ!!!! 😀

      • indika27 said, on ජනවාරි 17, 2013 at 10:00 පෙ.ව.

        එකාපාරක් බ්ලොග් එකක ඔයාවත් දැක්කා ඔයාත් ලක්ෂණයි..සීත රටවල ඉන්නකොට ඒ තරං වයස පේන්නෙ නැහැ….

      • amalpasanna said, on අගෝස්තු 15, 2013 at 3:11 පෙ.ව.

        ධනවාධයට දේශපාලනය,ආන්ඩු,පාලනය,පොලීසි,CIA,FBI මුකුත් ඕන නැත්නම් ඇමරිකා ඒව තියාගෙන සල්ලි අපතෙ අරින්නෙ ඇයි? මිනිස්සුන්න නිදහසේ ඕන දෙයක් කරගෙන ඉන්න දෙන්න පුලුවන්නේද?

        • arunishapiro said, on අගෝස්තු 15, 2013 at 4:51 පෙ.ව.

          amalpasanna,

          දේශපාලනය, ආණ්ඩුවක්, පොලීසියක් හා පාලනයක් අවශ්‍ය නැති වෙන්නෙ නැහැ කියන එක නෙමෙයි ධනවාදය කියන ආර්ථික ක්‍රමය කියන්නෙ. වැරදි කරන ලොව මිනිසුන් වඳ කරන්න බැරි නිසාත්, වැරදි කරන අයට වැරදි කරන්න කළින් දඬුවම් දිය නොහැකි නිසාත්, ඒ ආයතන අවශ්‍ය වෙනවා. CIA සහ FBI ඒවායේ ස්වභාවයෙන්ම විනිවිද නොවන සංවිධාන නිසා ඒවා නම් ඕනෑම සමාජයකට අහිතකරයි. ඇයි ඒවා තියාගෙන ඉන්නෙ? මෙහෙත් බරක් ඔබාමා වැනි බලතණ්හාධි නායකයන් වරින් වර බලයට පත් කරගන්න මිනිස්සු ඉන්න නිසා.

  2. naleendilruksha said, on ජනවාරි 17, 2013 at 9:45 පෙ.ව.

    සිත් ගත් ලිපියක්….මේ ගැන යමක් හිතන්න ම වෙනවා…

  3. දූපත් said, on ජනවාරි 17, 2013 at 9:55 පෙ.ව.

    කාලෙකට පසුව මටත් තේරුම් යන ගානට ලියැවු අනගි ලිපියක්. +++

    බොහෝ දෙනෙක් බලය ලබන්නට ඉතා කැමැත්තෝය. එහෙත් බලය සමඟින් පැවරෙන වගකීම කුමක් දැයි නොදන්නෝය.// ඉහළ පුටු වල ඉන්න කස්ටිය කරන සමහර දේ පහල පුටුවල ඉදන් බලන විට මෝඩ තීරණ සේ පෙනුනත්, සමහර විට ඉහළ පුටුවට ගියාමයි හැගෙන්නේ ඒ තීරණය නිවැරදියි කියා.

    තවත් පොඩි දෙයක් කියන්නට කැමැතියි. මා වැනි බ්ලොග් කියවනන්ට ඇති පරිස්ථානීය දැනුමයි ඔබගේ එකයි බොහොම වෙනස්. අපිට මාස්ටර් මොළ නැත. ඔබගේ ලිපි සරල කර ලියවීමෙන් වැඩි වපසරියක පුද්ගලයන්ට කියවීමට හැකි වේ.

    • arunishapiro said, on ජනවාරි 17, 2013 at 10:18 පෙ.ව.

      දූපත්,

      මටත් මාස්ටර් මොළයක් නැහැ දූපත්. ඔව්, සරල බවට මාත් කැමතියි, ඒත් අදහස් සංකීර්ණ හා නුහුරු නිසාවෙන් දූපත්ට තියෙන පරිස්ථානීය දැනුමයි මට තියෙන පරිස්ථානීය දැනුමෙයි වෙනස තමයි මේ ලියන හෑලි වල අදහස් හුවමාරුවට ඇති ලොකුම බාධකය! මාත් සරල බවින් ලියන්නට දැඩි උත්සාහයක් ගන්නම්, දූපත් විසින් ද සංකීර්ණ අදහස් වටහා ගන්න දැඩි උත්සාහයක් ගන්නවා නම් …. පොදු අරමුණක් සාක්ෂාත් වේවි!!!

      • naleendilruksha said, on ජනවාරි 17, 2013 at 12:14 ප.ව.

        අරුණි ටික කලක පටන් මං ඔබව කියවනවා. ඒත් ඔබේ දේ වටහා ගැන්ම අසීරුයි.. ඇත්තම කිව්වොත් ඔබත් දීප්ති කුමාර ගුණරත්නත් දෙන්නම මට අනුව එක සමානයි. කාලයක් මම දීප්තිවටත් කියෙව්වා.දැන් ඔබව කියවනවා.ඔබ දෙදෙනා ළගම යමක් තිබෙනවා. ඒ දෙය ඔබ දෙන ක්‍රමය වැරදිද මට වටහා ගන්න බැරිකම ද මොකක්ද අතර මැද තියනවා.

        • arunishapiro said, on ජනවාරි 17, 2013 at 12:58 ප.ව.

          naleendilruksha,

          මම ගිහින් ඔබ කියන දීප්ති ලියපු සටහන් දෙක තුනක් අන්තර්ජාලයෙන් කියවා බැලුවා … අපොයි අපොයි … මාව පේන්නෙත් ඒ වගේ ද?!! මළකෙළියයි, මම ලියන්නේ ඔහු ලියන්නට හාත්පසින්ම විරුද්ධ දෙයක්!!! මම අන්ත ධනවාදියෙක්, මම නිදහස් වෙළඳපොල අගයන්නෙක්, මම මිනිසාගේ නිදහස වඩාත්ම උත්කෘෂ්ට වූවක් යැයි සලකන්නෙක්. මම ධනවාදී යැයි කියමින් ඒත් ඉතින් ධනවාදයේ ද වැරදි ඇතැයි කියන කෙනෙක් නෙමෙයි. මගේ අදහස් දෙන ක්‍රමය වැරදි ද කියවන අයට වටහා ගන්න බැරිකම ද යන්න ගැන වහාම ගවේෂණයක් පවත්වා, මාව පැහැදිලිවම වෙනස් සේ පෙනෙන්නට ලිවිය යුතු යැයි තරයේ අධිෂ්ඨාන කරගත්තා.

          ගොඩාක් ස්තූතියි ඔබේ ප්‍රතිචාරයට. 😀

          • Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 17, 2013 at 2:08 ප.ව.

            එකල කොටි සංවිදානයේ හිටිය ඇන්ටන් බාල සිංහම් කියල කෙනෙක් මෙයාගේ නිල තනතුර තමයි සංවිධානයේ න්‍යායාචාර්ය ඒ වගේ කලකට පෙර ටැබූ සබ්ජෙක්ට් නම් බ්ලොග් කරුවා බ්ලොග් ලියන කාලේ මම හිතපු දෙයක් තමයි ලංකාවේ එක්සත් ජාතික පක්ෂය ට ත් මේ න්‍යායාචාර්ය තනතුරක් අවශ්‍යයි මේකට සුදුසුම ටැබූ සබ්ජෙක්ට් ලියන පුද්ගලයා කියල. දැන් ඔහු නැහැ නිතරඟයෙන් ලංකාවේ ධනවාදී දේශපාලන පක්ෂයට න්‍යායාචාර්ය තනතුරට සුදුසුම අරුණි තමයි.
            දේශපාලන තලයේදී අරුණි ට කවදාවත් දිප්තිව තේරුම් ගන්න බැහැ දීප්තිට කවදාවත් අරුණි ව තේරුම් ගන්න බැහැ. තේරුම් ගැනීමේ අවශ්‍යතාවයකුත් නැහැ. හැබැයි එක දෙයක් මම කියන්නම් මේ දෙන්නම තේරුම් ගන්න පුළුවන් දේශපාලකයෙක් ලංකාවේ බිහිවුන දාට ලංකාව වෙනස් වෙනවා. එතැනින් පස්සේ පී බි ජයසුන්දරගෙන් ලංකාවට වැඩක් නැහැ ඔහුට විශ්‍රාම යන්න පුළුවන්.

            • arunishapiro said, on ජනවාරි 17, 2013 at 2:44 ප.ව.

              Uditha,

              දැන් යාන්තමට ලයිට් බල්බ් එකක් පත්තු වුනා YOU ARE HERE ගැන!!!! (උදිත දන්නවා වුනාට අනෙක් අය දන්නෙ නැහැනෙ: ඇමෙරිකාවේ වෙළඳ සංකීර්ණයකට ගොඩ වුනාම ඇතුල්වන තැන් වල තියෙනවා පුවරුවක්. ඒකෙ තියෙනවා කඩවල නම් එක්ක ඒවා පිහිටන ස්ථාන සිතියමක්. සිතියමේ පුවරුව ඉස්සරහා ඔබ සිටගෙන සිටීම දක්වලා තියෙන්නේ “මෙතැන තමයි ඔබ ඉන්නෙ” කියලා!!)

              උදිතට වැරදුනේ කොහොම දැයි කියන්නටත් “මා ඉන්නා තැන” පෙන්වා දෙන්නටත් පුංචි උත්සාහයක් ගන්නම්. මම හිතාගෙන හිටියේ උදිත ගේ අන්තර්ජාල අඩවියේ මා දැමූ පළමුවැනි ප්‍රතිචාරයෙන් එය පැහැදිලි වෙන්නැති කියලා!!!! 😀

              ධනවාදය යනු න්‍යයාචාර්යෙයක් අවශ්‍ය දේශපාලන පක්ෂයකින් සිද්ධ වෙන්නක් නොවෙයි. ධනවාදය යනු නොනැවතෙන මිනිස් උත්සාහයන්හි ප්‍රතිඵලයක් ලෙසින් කිසිවෙකුගේ මූලිකත්වයක් නැතිව බිහිවෙච්ච, එය බිහිවුනේ කවදා දැයි කිව නොහැකි (එය දකින්නට ලැබුනේ වැඩවසම් සමාජයෙන් ගොඩ එද්දී වුනාට) ආර්ථික ක්‍රමයක්. මිනිස් ස්වභාවය හා ලෝක ස්වභාවය අනුව ඊට පටහැනිව මිනිසාට කිසිම ආර්ථික ක්‍රියාවක සාර්ථකව නිරත වෙන්න බැරි වූවක්. ඉතින් ඒ නිසා, ඒකීය මිනිසුන් නිදහස් ලෙසින් තම තමන්ගේ ඒකීය ඉලක්කයන් හඹායන විට ලැබෙන ආර්ථික උන්නතිය තමයි ධනවාදයෙන් පිළිබිඹු වෙන්නේ.

              ධනවාදයේ පැවැත්මට දේශපාලන පක්ෂයක් අවශ්‍ය නැහැ. මොකද මිනිසා පවතින්නේ නම් ධනවාදය පවතින නිසා. ධනවාදයට ඉඩක් නැත්නම් සමාජයක් ආර්ථිකව දුබල වෙනවා පමණයි.

              මම දේශපාලනය (politics) සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන අයෙක්. මිනිසුන්ට නිදහසේ ඉන්න ඉඩදෙන්න යැයි කියන්නට පමණක් තනි පුද්ගලයෙක් හැටියට කිසිම සංවිධානයකට නොබැඳී සටන් වදින කෙනෙක්.

              ඒකීය මිනිසුන්ට නිදහසේ සිය ඉලක්කයන් හඹා යන්නට ඉඩ දෙනවා නම්, ලෝකයේ ඕනෑම රටක ඕනෑම දේශපාලන පක්ෂයක් මොන ලේබල් එකක් අලවාගෙන ආවත් මට කමක් නැහැ. මම අන්ත ධනවාදියෙක් යැයි කියද්දී, නැවත නැවතත් මේ අඩවිය පටන් ගත් දා සිට තවමත් කියන්නේ ඒ අර්ථයෙන්. එනම්, නිදහස් ඒකීය මිනිසා හඹා යන ඒකීය වෑයම ගැන විශ්වාසයක් තබන්න. ඔවුන් පමණක්ම සමාජයේ යහපත සලසාවී යන්න ගැන විශ්වාසයක් තබන්න කියායි. මගේ ධනවාදය එයයි.

              • naleendilruksha said, on ජනවාරි 17, 2013 at 11:09 ප.ව.

                ඔබත් දීප්තිත් මට අනුව සමාන වන්නේ මතවාදී තලයෙන් නොවෙයි. ඔබ දෙදෙනාම තම න්‍යායපත්‍ර අනුව හොඳ හැදෑරීමක් සහිතව තම මතවාදය සමාජ ගත කරන්නට වෑයම් කරන දෙදෙනෙක් යන අර්ථයෙන්. ඒත් අවාසනාව ඔබ දෙදෙනාම කියන දෙය එයට ඇල්මක් දක්වන්නෙකුට හෝ තේරුම් ගන්නට නොහැකීවීමයි. හරියට දෙදෙනාම පසේ බුදුවරු වගේ. සියල්ල දන්නවා ඒ දෙය සමාජ ගත කරන විදිය අවශේෂ ලොකයාට නොතේරේ. අප ත් මේ කියැවීමටක එන්නේ යමක් වටහා ගන්න යි. එතැන තර්ක විතර්ක ඇති වන මුත් හැම විට අනෙකා සර්ව සමුපූර්ණ දැනුමැත්තෙකු සේ නොසලකා ඔබේ අදහස දෙන්න.

                • arunishapiro said, on ජනවාරි 18, 2013 at 12:17 පෙ.ව.

                  naleendilruksha,

                  ස්තූතියි නැවතත්, තවත් වැදගත් කාරණයක් පෙන්වා දුන්නට.

                  වටහා ගැනීමේ ගැටළුව තවත් දරුණු මේ ලියන හෑලි වලට පසුබිම් අටුවා ටීකා සිංහලෙන් ලියපු කෙනෙක් නැතිකම. උදාහරණයක් හැටියට, බහුතරය විසින් ධනවාදය යැයි සිතාගෙන සිටින්නේ කාල් මාක්ස් විසින් ලේබල් ඇල වූ නිර්වචනයයි. ඉතින් ධනවාදය යනු කාල් මාක්ස්ට කළින් ලොව තිබියක්. කාල් මාක්ස්ගේ විග්‍රහය වැරදි යැයි කියන්න කාල් මාක්ස් දුන් විස්තර ලියලා ඒවා නිශ්ප්‍රභා වෙන හැටි පැහැදිලි කරන්න වෙනවා. ඉතින් මා කාල් මාක්ස් පැහැදිලි කරනවා වෙනුවට කෙළින්ම පිවිසුනේ මොකක් ද මේ ධනවාදය? කියලයි. පාසැල් වලින් හා විශ්ව විද්‍යාල වලින් ධනවාදය මෙයැයි කියා කාල් මාක්ස් ගේ විග්‍රහය ඉගෙන ගත් අයට මගේ විග්‍රහය පටහැනි ලෙසින් පෙනිච්ච නිසා ගොඩ දෙනෙක් එතැන දී මෙයා කියන්නෙ මොන බොරු ද කියා හිතනවා. ඒත් මගේ අරමුණ කාල් මාක්ස් නිශ්ප්‍රභා කිරීම නෙමෙයි. ඉතිහාසය ඔප්පු කරලා තියෙන්නකට වැය කරන්න කාලයක් මට නැහැ. මගේ අරමුණ ඒකීය මිනිස් උත්සාහයට උදව්වක් වෙන තොරතුරු හැකි පමණින් සිංහලෙන් ලියා තැබීම.

                  බුදුන්ගේ දර්ශනයෙන් පුරාතනයේ ද, ඇරිස්ටෝටල් වෙතින් ද, ජෝන් ලොක් ගේ දර්ශනයෙන් නූතනයේ පටන් ගත්, ඩේවිඩ් හියුම්, ඇඩම් ස්මිත්, Edmund Burke, Alexis de Tocqueville, Lord Acton වැනි මේ අඩවියේ මුල පටන් නම් වලින් සඳහන් කරපු අය අතරට රොබට් නෝසික් හා අයින් රෑන්ඩ් යනාදීන් ගැන කියද්දී බලන්න ඔයාම මේ කී දෙනෙක්ගේ නම් හුරු ද කියලා? මේ කී දෙනෙක්ගේ දර්ශනයන් මොනවා දැයි දන්නවා ද කියලා? සිංහලෙන් අර්ථ ශාස්ත්‍රය හදාරන අයෙක් වෙතින් අහන්න ෆෙඩරික් බැස්ටියාට්, ෆෙඩරික් හයෙක් හා ලුඩ්විග් වොන් මීසස් කවුදැයි කියා?

                  ඉතින් මගේ තනි රුවලක් ඇති නැව පදින්නේ කවුරුත් ගමන් කරලා සිංහලෙන් සිතියමක් සලකුණු කරලා නැති සයුරක් මැදින්. මා මුල සිට මුලාශ්‍ර සබැඳියන් හා නම් ගම් ලියන්නේ කැමති අයට වැඩිදුර තොරතුරු අන්තර්ජාලයෙන් සොයා යන්නට උදව් වෙනු පිණිස. ඉහත සඳහන් කරපු අය ලියපු ඒවා ගැන සිංහලෙන් තව තොරතුරු එකතු වෙන කාලයක් පැමිණියාම මේ අදහස් වඩා පහසුවෙන් වටහා ගන්නට හැකිවෙයි කියායි මම හිතන්නේ.

                  • naleendilruksha said, on ජනවාරි 18, 2013 at 3:32 පෙ.ව.

                    ස්තුතියි පිළිතුර……වටහා ගැන්මකට හැදැරීමකට මා උත්සාහ ගන්නවා.
                    මේ වෙනත් කරුණක්… ප්‍රශ්චාත් නූතන වාදය ගැන ඔබේ ආකල්පය කෙඹඳුද? ජැක් ඩෙරීඩා…..වැන්නවුන් ගේ මත වාද ගැන ආකල්පය

                    • arunishapiro said, on ජනවාරි 18, 2013 at 9:41 පෙ.ව.

                      naleendilruksha,

                      pharmakon සංකල්පය වැනි දේවල් පිළිගන්නට නොහැකියාවෙන් එවැනි මතවාදයන් ගැන වැඩිදුර හොයන්න වැඩියෙන් කාලයක් වැය කරන්නේ නැහැ. දාර්ශනික පසුබිමකින් අධ්‍යාපනය ලැබුවාට ඒ සමඟින් මනෝවිද්‍යාව හදාරා ඇති නිසා මගේ උත්සාහයන් ප්‍රායෝගික මට්ටමෙන් කෙරෙන ප්‍රතිඵල පැහැදිලිව දැකිය හැකි වූ වෑයම් වලටයි වැඩි නැඹුරැව.

            • Sharanga said, on ජනවාරි 19, 2013 at 3:40 පෙ.ව.

              අරුණිට දීප්තිව තේරුම් ගන්න බැරි දීප්ති කියන දේවල් වල තේරුමක් නැති නිසා. පශ්චාත් නූතනවාදය කියන්නෙ තේරුමක් තියෙන දෙයක් නෙවෙයි. Sokal Affair එක ඒ බව සැක නැතුව ඔප්පු කළා.

  4. මාතලන් said, on ජනවාරි 18, 2013 at 12:05 පෙ.ව.

    අපේ රටෙත් සාර්ථක් උන ව්‍යාපාරිකයන් අනුගමනය කරන්නේ බොහෝ විට පෝස්ටුවේ සඳහන් කරුණුයි… ඔවුනගේ සාර්ථකත්වයේ රහස එයයි…

    • arunishapiro said, on ජනවාරි 18, 2013 at 12:24 පෙ.ව.

      මාතලන්,

      සාර්ථකත්වයට ඇත්තේ මූලික සිද්ධාන්ත මඟහැර යා නොහැකි වූ එක මගක් පමණි. කොම්ප්‍රොමයිස් මාර්ගයන් හැමදාම දුක් විඳිමින් ගමන් කරනා මාර්ග පමණයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: