අරුණි ශපීරෝ‍ වෙතින්

ලෝක අලි, පැරිසියේ කාන්තාවන් හා කළ නොකළ යුතු දෑ

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 19, 2013

අලි

ලෝකයේ සියල්ලන්ම පරාදීසියක් යැයි පිළිගත් තැනක් කිසිදා නොතිබුණි. එහෙත් පරාදීසියක් හොයන්නට බහුතර පිරිසක් වෙහෙසෙති. ඒ සඳහා නායකයන් පත්කර ගනිති. ආගම් හා දර්ශනයන් අදහති. දේශපාලන හා ආර්ථික න්‍යාය අනුගමනය කරති. මෙලොව දී බැරිනම් පරලොව දී හෝ එහි යන්නට වෙහෙසෙති. පරාදීසියට යන්නේ මෙසේ යැයි ද එය මෙවැනි ආකාරයෙන් වූවක් යැයි ද විස්තර කරනා අයත් සිටිති.

පුරාතන හින්දු මිථ්‍යා ප්‍රබන්ධයකට අනුව ලොව උසුලාගෙන සිටින්නේ අලි රැලකි. අලියන්ව උසුලාගෙන සිටින්නේ දැවැන්ත කැස්බෑවෙකි. කැස්බෑවාව උසුලාගෙන ඉන්නේ ඔවුන් සියල්ලන්ම වෙලාගෙන ඉන්නා නාගයෙකි.

උතුරු යුකතන් අර්ධ ද්වීපයේ Chichen Itza නම් පූර්ව-කොලොම්බියානු මායා පුරාවිද්‍යා ගවේෂණ බිමේ පූජනීය ළිඳක් සොයා ගැනුණි. පූර්ව-කොලොම්බියානු මායාවරුන් වැස්ස යදිනු පිණිස මිනිස් බිලිපූජාවන් කළ බවට එහි සාක්ෂි දකින්නට හැකිවිය.

වසර දෙසියයකට එහා අතීතයක දී පැරිසීයේ රෙදි හෝදන කාන්තාවන් සබන් මිල වැඩි වූවා යැයි මැසිවිලි නඟමින් වෙළෙන්ඳන්ට මරණ දඬුවම නියම විය යුතු යැයි චෝදනා කළහ. ප්‍රංශයේ වෛද්‍යවරයෙක්, විද්‍යාඥයෙක්, දේශපාලන න්‍යායවාදියෙක් ද වූ Jean-Paul Marat විසින් විසඳුමක් යෝජනා කළේය. වෙළෙන්ඳන් එල්ලුම් ගහට යැවීමෙන් සහ ජනතාව කඩවලට පැන කොල්ලකෑමෙන් ප්‍රශ්නය විසඳේ යැයි ඔහු පෙන්වා දුන්නේය.

බඩු මිල ඉහළ යෑම ගැන පාරිභෝගිකයන්ට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් වෙළෙන්ඳන් වගකිව යුත්තෝ නොවෙති. අසාර්ථක වූ සැලසුම් හදනා දේශපාලනඥයන් නිසා ඉහළ යන බඩු මිල නොදකින, එහෙත් කඩේට ගොඩවෙද්දී බඩු මිල ඉහළ ගිහින් යැයි දකින, පාරිභෝගිකයාගේ උදහසට පාත්‍ර වෙන්නේ බඩු විකුණන වෙළෙන්ඳාය.

බඩු මිල ඉහළ යන්නේ ඇයි?

උද්ධමනය නිසයි.

උද්ධමනය ඇතිවෙන්නේ ඇයි?

ආණ්ඩුවේ වියදම් වැඩිවුනාම.

ඇයි ආණ්ඩුවේ වියදම් වැඩිවුනාම උද්ධමනය ඇති වෙන්නේ?

කෙළින්ම අය කරන බදු වලින් වියදම් පියවා ගන්න බැරිවුනාම ආණ්ඩු මුදල් හොයාගන්න ක්‍රමයක් හැටියට උද්ධමනයට හැරෙනවා.

උද්ධමනයක් ඇතිවෙන විදියට ඇයි ආණ්ඩුවක් ඒ තරම් වැඩියෙන් වියදම් කරන්නේ?

වැඩියෙන් වියදම් කරන ආණ්ඩුවකට පක්ෂපාතී වූ මිනිස්සු වැඩියි, අඩුවෙන් වියදම් කරන ආණ්ඩුවකට පක්ෂපාතී වූ මිනිසුන්ට වඩා.

ඇයි මිනිස්සු වැඩියෙන් වියදම් කරන ආණ්ඩුවකට වැඩියෙන් පක්ෂපාතී වෙන්නෙ?

දැන් අවංක වූ ගවේෂණයක යෙදෙන්නා මෙතැන දී තමයි හේතුව පැහැදිලිව නොපෙනෙන පරිශ්‍රයකට පිවිසෙන්නේ. මෙතැන දී අපිට වෙන්නෙ මිනිස්සු පක්ෂපාතී ආකාරයෙන් හැසිරෙන්නේ ඇයි කියල හොයන්නයි. පැහැදිලිව පෙනෙන එක මාර්ගයක මෙතෙක් ගමන් කළා වගේ තව දුරටත් දැන් ගමන් කරන්න හැකියාවක් නැහැ. මිලියන බිලියන ගණනක අඳුරු මාවත් ගණනාවක් ඉස්සරහ හිටගෙන කොයි පාරේ යන්න දැයි හිතාගන්න බැරිව!!!!

ඇයි තමන්ගෙ පොකැට්ටුවෙන් සල්ලි හොරකම් කරනවාට අකමැති මිනිස්සු ආණ්ඩුව ලවා අනුන්ගෙ පොකැට්ටු වලින් සල්ලි හොරකම් කරන්න කැමත්ත පළ කරන්නේ? යුක්තිය යන්නේ අඩුපාඩුවක් ඇත්නම් මොකක් ද ඒ අඩුපාඩුව? ආචාර ධාර්මිකව කළ යුත්ත කුමක් ද? අධ්‍යාපනයේ වැරැද්දක් ද? අර්ථ ශාස්ත්‍රය නොදැනීම ද? පැරීසියේ රෙදි හෝදන කාන්තාවන්ට මෙන් සබන් මිල වැඩියි යන්නට ඔබ්බෙන් එය වැඩිවූයේ කෙසේදැයි කියා දකින්නට නොහැකියාව ද? පාරිභෝගික උන්මාදය ද? තමාගේ ම සම්පත් හා කුසලතාවයන් මත විශ්වාසය තබාගෙන කටයුතු කරන අය අඩු වී ගිය නිසා ද? සියල්ල දෛවයට ඉඩ දී බලා සිටින අය වැඩි වී ඇති නිසා ද? ඒකීය නිර්මාණශීලීත්වයට අගයක් නොලැබෙන සේ සමාජය හැඩගැසී ඇති බැවින් ඒකීය උත්සාහයන් නාස්තිකාර ලෙසින් සිද්ධ වෙන නිසා ද? මිනිස් ඉරණම යනු පරිහානිය හා ලෝක විනාශය කරා ගමන් ගන්නක් බව විශ්වාස කරන නිසා ද?

ඉතින් උඩ කිව්වෙ මිලියන බිලියන ගණනක් තියෙන හේතු ගැන … ඔය තියෙන්නෙ එයින් ටිකක්!!!!

බඩු මිල මේ අදහස පැහැදිලි කරන්න ගත්ත එක උදාහරණයක් විතරයි. ඕනෑම සමාජ අසාධාරණයක් සැලකිල්ලට ගන්න. අපරාධ, යුද්ධ, සමාජවාදය 😀 … ඉහත විදියට ප්‍රශ්න කරගෙන යද්දී විශ්ලේශණයේ පාර වනාන්තරයක් තුලට තමයි ඇතුල්වෙන්නේ. වනාන්තරය ඇතුලේ හැමෝටම ගිහින් බලා ප්‍රත්‍යක්ෂ කරගත හැකි වූ ගමනාන්තය සඳහන් අඩිපාරවල් දකින්න නැහැ. ගමනාන්තය මෙසේ විය යැයි කියන, ගිහින් ඇවිත් ආයේ වෙන පාරක යන්න බැරි (කෙටි වූ මිනිස් ජීවිතය මරණයෙන් අවසන් වෙන නිසා), අනුමානයෙන් යන පාරවල් වල තමයි එතැනින් එහාට යා යුත්තේ.

ඒක “මම,පැන්සල” කතාවේ දැක්වෙන නොපෙනෙන දෙයක් නොදන්නාකම නෙමෙයි. පැන්සලක් අතට ගත්තම එය හදන්න ගත්තු මිනිරන් ආවේ කොහෙන්දැයි, පතලේ ශ්‍රමිකයන් කවුදැයි අයෙක්ට නොපෙනුනාට නිසි ගවේෂණයකින් එය නිශ්චිතවම සොයාගත හැකියි.

ඒත් ඇයි අයෙක් යමක් තෝරාගන්නෙ අනිකක් තෝරා නොගෙන? යන්නට උත්තරය පැහැදිලිව පෙන්වන්නට සමත් වූ මාස්ටර් මොළයක් කිසිවෙකුට නැහැ. එතැන දී අප ඉදිරියේ ඇත්තේ සැබෑ බව ඔප්පු කරගත (verify) නොහැකි කල්පිතයන් (speculations) පමණයි.

මිනිසා යම් ක්‍රියාවක් තෝරාගැනීමක දී තමන්ගේ ආගමික නායකයා, දේශපාලන ආකල්පය, විද්‍යාත්මක සංකල්පය .. එහෙම හිතිච්ච නිසා … යනාදියෙන් ගමන් කළ යුතු මාර්ගයක් තමන් වෙනුවෙන් තෝරා ගන්නවා. ඒත් ගමනාන්තය ගැන සිතන්නේ ස්වල්පයක් පමණයි. අනිත් අයව බලහත්කාරයෙන් යවපු ගමනාන්තයන් නිශ්චය කරන ලද වැරදීම් වලින් ඉතිහාසය පිරී තිබුණත් අදත් එහෙම තීරණය කරන මාස්ටර් මොළ තමනට ඇතැයි සිතන උද්ධච්ච අය ඉන්නවා.

ඉතාමත් කලාතුරකින් කෙනෙක් තමයි අවංකව පිළිගන්නේ සියල්ලන්ටම සුදුසු යැයි නිශ්චිතව ඔප්පු කරන ලද ගමනාන්තයක් නැහැයි කියන්න.

ඒත්, උත්තරයක් නැතැයි කීමේ දී අදහස් වෙන්නේ කරන්න දෙයක් ද නැතැයි කියා නොවේ.

ප්‍රශ්න වලට හේතුව සොයා ගත නොහැකි වුනු පමණින් කරන්න දෙයක් නැතැයි අදහස් නොවේ.

මෙතැන දී අවංක ගවේෂණයක යෙදෙන්නාට පැහැදිලිව පෙනෙන කාරණා නම් නොකළ යුතු දේවල් සහ හැසිරිය නොයුතු විධි!!!!

අලි රුලක් නෙමෙයි ලෝකය උස්සා ගෙන ඉන්නෙ. නැවක නැඟිලා ලෝකය වටේ ගිහින් එන්න පුළුවන්.

වැස්ස යදින්නට කරන මිනිස් බිලිපූජාවෙන් වඳවෙලා යන්නෙ තම ජාතියයි.

සබන් මිල අඩු කරගන්න වෙළෙන්ඳන් එල්ලුම් ගහට යවලා, කඩ වලට පැනලා මංකොල්ල කෑවට බැහැ.

ඒත්, බඩු මිල වැඩිවෙන නිසා ආණ්ඩුවේ වියදම් වැඩි කරන්න ඕනෑ නැහැ කිව්වොත්?!!!!! 😀

ලෝරන්ස් ඊ. රීඩ් 1967 දී ලියූ “ඔබ හිතනවාට වඩා ගැඹුරුයි” -Deeper Than You Think කෘතියේ (මෙම සටහන ඒ ඇසුරෙනි) ලුඩ්විග් වොන් මීසස් නම් අර්ථ ශාස්ත්‍රඥයා ඇතුළු විසි ගණනක කණ්ඩායමක් වරක් සන්ධ්‍යා සාදයක දී හමුවෙච්ච අවස්ථාවක රටේ ආර්ථිකය අයහපත් අතකට ගමන් කරන්නේ යැයි කියූ ඔවුන් ලුඩ්විග් ගෙන් අහනවා මෙහෙම:

“ඔබව ඇමෙරිකාවේ ආඥාදායකයා කළොත් ඔබ රට හදන්නේ කොහොම ද?”

ලුඩ්විග් හැරුණු අතට උත්තර දුනනේ “මම ඉල්ලා අස්වෙනවා,” කියාය.

අනෙක් අය ජීවත්වන්නේ කෙසේදැයි කියා ආඥා පැනවීම නොකළ යුත්තක්.

එහෙම නම් ලෝකය දියුණු වෙන්නේ කොහොම ද?

කාටවත් මාස්ටර් මොළයක් නැහැ. අයෙක් එහෙම උත්සාහයක් ගන්නවා නම් ඔහු වංචාකාරයෙක්. එහි වාසය කරන මිනිසාගේ යහපත නොසලකා හැර පළාතක, රටක, ලෝකයක දියුණුව ගැන කතා කරන්නට බැහැ. හැමෝගෙම දියුණුව සලසන ආකාරය දන්නා මාස්ටර් මොළයක් නැත්නම් ඒ ඒ මිනිසාට තම දියුණුව සලසාගන්නට නිදහසක් ලබාදෙන්න ඕනෑ. එහි දී ආණ්ඩුවක, පාලනයක, රජුගේ … වගකීම වෙන්නේ අයෙක් තවකෙනෙකුගේ නිදහස උල්ලංඝනය කරන ලද අපරාධයන්ට දඬුවම් දීම පමණයි.

ඉතින් ඒ නිසා, අපි නොකළ යුත්ත නම් අනුන්ට ජීවත්වෙන හැටි මෙසේ යැයි කියා නීති පැනවීම.

ඉතින් ඒ නිසා, අපි කළ යුත්ත නම් (ලැබෙන්නේ එහෙම යැයි සිතුවාට එය සිද්ධ වෙන්නේ කෙසේදැයි නොදන්නා වැස්සකට මිනිස් බිලි පූජා නොකර) තවකෙනෙකුගේ නිදහස් උල්ලංඝනය නොකරන ඒකීය මිනිසාට නිදහසේ කැමැති පාරක යන්නට ඉඩදීම.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Gold fish said, on ජනවාරි 19, 2013 at 11:29 පෙ.ව.

    එහෙම අනිත් කෙනාගේ සුභ සිද්ධිය ගැන හිතලා ආන්ඩුවේ වියදම් අඩු කරන්නෙත්, ඉල්ලා අස්වෙන්නෙත් පාරාදීසයකම විතරයි….

    • arunishapiro said, on ජනවාරි 19, 2013 at 12:57 ප.ව.

      old fish,

      මහ ලොකුවට කියන පොදු යහපත උදෙසා කටයුතු කරන්න ඕනෑ අනිත් අයයි. පොදු යහපත ගැන කතා කරන අය සත්‍යයෙන් කරන්නෙ මිනිස්සු මරන්න ඕඩර් දීලා දඬුවම් නොවිඳ ඉන්න එකයි. ස්ටාලින්ගේ රුසියාවෙත් එහෙම වුනාලු හැබැයි ලංකාවේ නම් එහෙම නැහැල්ලු!!!!

  2. Naleen Dilruksha said, on ජනවාරි 19, 2013 at 1:09 ප.ව.

    අද ලිපිය නම් බොහොම හොදින් වටහා ගත හැකි අයුරින් ලියැවිලා තියනවා. // අපි නොකළ යුත්ත නම් අනුන්ට ජීවත්වෙන හැටි මෙසේ යැයි කියා නීති පැනවීම.// ඉතා වටිනා අදහසක්…

  3. magenama said, on ජනවාරි 21, 2013 at 2:03 පෙ.ව.

    ඔතන ගැටලුව වෙන්නෙ දැං ආන්ඩුවක් රටේ මොකක් හරි වැඩක් හරියට වුනොත්(ඒක ස්වාභාවික වුනත්) ඒකෙ නම්බුව ගන්න යනවා,අනික ඒ වැඩේම අනිත් පැත්තට ගියොත් මම දන්නෙ නෑ කියනවා.මිනිස්සුන්ටම හරි යන ආන්ඩු වගේම ආන්ඩුවටම හරි යන මිනිස්සු.
    මම නම් ඒකාධිපතියෙක් වුනොත් මම නීතියක් ගේනවා මට පස්සේ කාටවත් ඒකාධිපතියෙක් වෙන්න බැරි වෙන්න.නැත්තං මම සුං.

    • arunishapiro said, on ජනවාරි 21, 2013 at 8:07 පෙ.ව.

      magenama,

      //මිනිස්සුන්ටම හරි යන ආන්ඩු වගේම ආන්ඩුවටම හරි යන මිනිස්සු.// ඒකයි මිනිස්සුන්ට හරියන මිනිස්සු (වෙළඳාමෙන් කෙරෙන හුවමාරුව මඟින් එකිනෙකාගේ යහපත සලසා ගැනීමේ දී තමයි හැමෝගේ ම යහපත පමණක් නොව පැවැත්ම ද) ක්‍රියාකරන හැටි කියාදෙන්න අවශ්‍ය!!!

      //මම නම් ඒකාධිපතියෙක් වුනොත් මම නීතියක් ගේනවා මට පස්සේ කාටවත් ඒකාධිපතියෙක් වෙන්න බැරි වෙන්න.නැත්තං මම සුං.// ජේ. ආර්. ට බැරිවුනාට magenama ට පුලුවන් වේ යැයි හිතන්නේ ඇයි?!!!!!

      • magenama said, on ජනවාරි 22, 2013 at 2:06 පෙ.ව.

        ඒකනේ අක්කේ මම වුනොත් කියලා කියන්නෙ…(වෙන්නෙ නැති නිසානෙ)හැබැයි ටිකක් seriously කතා කරොත් හැම ඒකාධිපතියාම හිතන් ඉන්නේ ඔහොම තමයි,මාව එලවන්න පුලුවන් දෙයියන්ටම විතරයි කියලා,එහෙම හිතලා නීති ගේනවා,අන්තිමටම ඒ නීති තමන්ටම පාරා වලල්ලක් වෙලා එනවා.

  4. maathalan said, on ජනවාරි 21, 2013 at 2:31 පෙ.ව.

    ඒත් ඉතින් තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුනුත් කන්න බොන්න එපාය. දරුවෙකුටවත් ඇපල් ගෙඩියක් අරන් දෙන්නෙ නැති උන්, ඇපල් තියලා පලතුරු වට්ටි දෙයියන්ට පූජා කරන හරක් ඉන්න රටක මොන කතාද නෝනේ…

    • arunishapiro said, on ජනවාරි 21, 2013 at 8:13 පෙ.ව.

      maathalan,

      ඒ ඇපල් දරුවන්ට කන්න දුන්නට වඩා දෙවියන්ට පූජා කළාම, තමන්ටයි දරුවන්ටයි වස්තු සම්පත් හා නිරෝගී ලාභ ලැබෙනවා යැයි සිතන නිසා. වැටහෙන විදියට කවුරු හරි පෙන්වා දුන්නොත් වැඩියෙන් වස්තු සම්පත් හා නිරෝගී ලාභ ලැබෙන හැටි අද්භූත බල වලින් ඒවා ඉල්ලලා වඳින එක නවත්තලා මිනිස්සු ඒවා ලබාගන්න තම වෙහෙස යොදවනවා. ඉගැන්වීම ආණ්ඩුවට බාර දීලා තියෙද්දී …. ඉතින් මිනිස්සු කරන්නෙ ඉගෙන ගත්තු දේවල් නේද?!!!!!

  5. දේශකයා said, on ජනවාරි 22, 2013 at 3:39 පෙ.ව.

    පාරාදීසයටම කෙලවී ඇති බව පාරාදීසයේ කබ්බන් වන අපි දන්නව උනත් නොදන්න ගානට ඉන්නවා නෙව… කාලෙකින් තමා ප්‍රතිචාරයක් දෙන්න ආවේ.. ඒත් හැම එකම කියවනවා..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: