අරුණි ශපීරෝ‍ වෙතින්

මිනිස් සබඳතාවයන් පිළිබඳ දර්ශනය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 22, 2013

politics-butting-heads-color1

“මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයෙක්,” (πολιτικόν ζῷον) යන්න ඇරිස්ටෝටල් විසින් කියන ලද කියමන් අතර ඉතා සුප්‍රසිද්ධ වූවකි. එය උපුටන සමහරු එය ඇරිස්ටෝටල් ඉදිරිපත් කරන ලද්දක් බව නොදන්නවා විය හැකියි. එසේම ඇරිස්ටෝටල් හදාරා නැති අයෙක් එය කුමන සංදර්භයකින් ඔහු ඉදිරිපත් කළේ දැයි නොදන්නවා ද විය හැකියි.

පොලිටික්ස් හැදෙන පොලිස් πόλις යන ග්‍රීක වචනයේ අර්ථය නගරයයි.

ඇරිස්ටෝටල් ගේ πολιτικόν ζῷον පාඨය මිනිසා නොවන අනිකුත් සත්වයන් ආශ්‍රිතව ද ඔහු යොදා ගත්තකි. Historia Animalium කෘතියේ ඇරිස්ටෝටල් විසින් විවිධ සත්වයන් (ζῷον) අතර දකින්නට ඇති පැහැදිලි වෙනස්කම් ලියද්දී ඔහු සත්වයන් අතර දැකිය ඇති ‘සමූහවාසී’ හා ‘හුදකලාවාසී’ යැයි මූලික වෙනස්කම් දෙකක් පෙන්වයි. දෙවැනියට ඔහු සත්වයන් අතර ‘සබඳතා පවත්වන්නට එකතු වී කටයුතු කරන’ (politics) හා ‘විසිරී පවතින’ (scattered) යන වෙනස්කම් දෙකක් පෙන්වයි. එහි දී මී මැස්සන්, බඹරුන්, සංක්‍රමණික කොක්කු සහ කූඹීන් තනි තනිව කරන ක්‍රියාවන් සමඟ එකට එකතු වී පොදු අරමුණු සාක්ෂාත් කරගන්නට කරන ක්‍රියාවන් ගැන ද කතාබහක් වෙයි. එහෙත් එහි දී “සමාජය” යන්න මිනිස් සමාජයක සිදුවන සබඳතා පැවැත්වීම අදහසකින් භාවිතා නොවේ. ඒකීය සත්වයා තුල ද, එසේම පොදු කල්ලියක් තුල ද සිද්ධ වන ක්‍රියාකාරකම් ඇතැයි සඳහන, එම ක්‍රියාකාරකම් හා එම කල්ලියේ ස්වභාවය කුමක්දැයි වැඩි විස්තර නැතිව සඳහන් වෙන්නකි.

මිනිසා යනු සාමූහිකවාසී මෙන්ම හුදකලාවාසී ද යැයි ද ඇරිස්ටෝටල් විසින් තව දුරටත් පහදා ඇත්තේ Nicomachean Ethics (නිකොමාකියන් ආචාර ධර්ම) වල දී ය. යහපත් ජීවිතය (good life) ගැන මිනිසාට දාර්ශනිකව සිතා බැලිය හැකියාව ඇත්තේ අනිකුත් පුද්ගලයන්ගෙන් පැහැදිලිවම ස්වාධීන වීමෙන් යැයි ඇරිස්ටෝටල් එහි දී කියයි. එහෙත් එහි දී අනික් අයගේ සමාගමේ සිටිය දී කටයුතු කළ යුතු සමාජ සද්ගුණයන් බැහැරකට ලා යහපත් ජීවිතය ගැන තනිවම සිතා බැලිය නොහැකි යැයි ද ඔහු පෙන්වා දෙයි.

ඇරිස්ටෝටල්ට අනුව මිනිසා යනු සමුහවාසී වර්ගයක හුදකලාවාසී උප වර්ගයකි.

ඉයුඩිමියන් ආචාර ධර්ම (Eudemian Ethics) හි විවිධ මිත්‍රත්වයන් වල ඇති විවිධ යුක්තියන් ගැන ඇරිස්ටෝටල් විභාග කරයි. නිවසක ඉන්නා අය හා පවත්වන සබඳතාවයන් වල දී යොදා ගැනෙන ‘දේශපාලනය’ නොහොත් ‘සබැඳියාව’ (association) ඔහු සාමාජිකත්වය දරනා අනෙකුත් නගර රාජ්‍යයේ (city state) ඇති සංවිධාන වල දී එයාකාරයෙන්ම සිද්ධ විය යුතු යැයි සමාජයේ කිසිවෙක් මිනිසෙකු ගෙන් අපේක්ෂා කරනවා ද යන්න ගැන ඇරිස්ටෝටල් විමසයි. දෙවැන්නට ඇති මිනිසාගේ උවමනාව පළමුවැන්නට ඇති උවමනාවෙන් පැහැදිලිව වෙනස් වූවක් ද යන්න ඇරිස්ටෝටල් විග්‍රහ කරයි.

මෙය ඉතා වැදගත් වෙනසකි. අපේ පවුලේ සාමාජිකයෙක්ට අපි සලකන ආකාරයෙන් අපි සාමාජයේ සාමාජිකයෙක්ට සැලකිය යුතු ද?!!! සමාජවාදී ක්‍රමයන් බිඳ වැටෙන්නට හේතු පාදක වූ තවත් හේතුවක් මෙහි දී දැක්විය හැකියි. පියෙක් තම පවුල රකින්නට වෙහෙසෙන ආකාරයෙන් ශ්‍රමිකයෙක් සමාජයක් රකින්නට, අනුන්ගේ පවුලට හා දරුවන්ට කන්න දෙන්න මහන්සි වේ යැයි අපේක්ෂා කළ හැකි ද?!!!

නිකොමාකියන් ආචාර ධර්ම හි මිනිසා ස්වභාවයෙන්ම දේශපාලන සත්වයෙක් යැයි කියමන සැලකිල්ලට ගැනෙන්නේ, සතුටින් ඉන්නට මිනිසාට යහළුවන් අවශ්‍ය දැයි විමසනු සඳහා ය. මෙහි දී සැලකිල්ලට ගැනෙන්නේ polis නොහොත් සමාජ සංස්ථාවේ සංවිධාන සමඟ මිනිසා පවත්වන සබඳතා (දේශපාලනය) ගැන නොවේ. හුදකලාව ජීවත්වන පුද්ගලයා සහ සමාජයක ජීවත්වන සාමාන්‍ය පුද්ගලයා අතර සිද්ධ වෙන්නා වූ සබැඳියාවන් වල අවශ්‍යතාවය ගැන විමසුමකි.

මිනිසා යනු ස්වභාවයෙන්ම අනිකුත් මිනිසුන් සමඟ ජීවත්වන්නට රිසි වූවෙක් හා අවශ්‍යතාවයෙන් යුතු වූවෙක් වෙයි. ඔහුගේ අවශ්‍යතා සපුරාගන්නට නම් ඔහුට සමූහවාසය අවශ්‍යයය. එහි දී හැසිරිය යුතු වූ ආචාර ධාර්මික පිළිවෙතයි ඔහු සාකච්ඡාවට ගන්නේ.

ඔහුගේ Politics කෘතියෙහි තැන් දෙකක මේ සුප්‍රසිද්ධ කියමන භාවිත වෙයි. පොදු උවමනාවන් වෙනුවෙන් කටයුතු කරන ‘සාමාන්‍ය’ අය අතරත් පාලකයන්ගේ උවමනාවන්ට අනුව හැසිරෙන ‘විපර්යාස’ වූවන් අතරත් පැහැදිලි වෙනස්කම් සම්බන්ධයෙන් මේ කියමන යොදාගෙන ඇත. එසේම ව්‍යවස්ථාවන් වර්ගීකරණයේ දී ද ඔහු මේ කියමන යොදාගෙන ඇත.

ඇරිස්ටෝටල්ට අනුව මිනිසා සබැඳියාවන් (දේශපාලන සත්වයෙක්) පවත්වන්නට එකතු වෙන්නේ 1. පොදු අරමුණක් සාක්ෂාත් කරගන්නට සහ 2. සබැඳියාවන් පවත්වන ස්වභාවයෙන් යුතු නිසාය.

අනෙකුත් සත්වයන්ට මෙන් මිනිසාට සතුට හා වේදනාව දැනෙයි. ඊට අමතරව සතුන්ට නැති වාසි අවාසි හඳුනාගත හැකියාව ද හොඳ නරක හඳුනාගත හැකියාව ද ඇත. Polis නොහොත් සමාජ සංස්ථාව මිනිස් නිර්මාණයකි. ඉතින් මිනිසාට ස්වභාවයෙන්ම සබැඳියාවන් පවත්වන්නට (දේශපාලනය) අවශ්‍ය වන්නේ හුදකලාව තම යහපත සලසා ගන්නා වෑයමේ දී සමූහවාසයෙන් ලබන වාසි අවාසි සහ හොඳ නරක ද තීරණය කරන්නට සිද්ධ වීමේ දී ය.

සහජයෙන් පවතින ලිංගික ආශාවන් මුදුන්පත් කරනු පිණිස, (මග යන අයෙක් අල්ලාගෙන දූෂණයෙන් එය සපුරාගන්නට ඉඩක් ශිෂ්ඨ සමාජයක නොලැබෙන නිසා) එනම් මූලික අවශ්‍යතාවයක් සපුරා ගන්නට නම් සබඳතාවයක් පවත්වන්නට අවශ්‍ය වේ යන විමසුම පටන් ගන්නා ඇරිස්ටෝටල් ඒ නිසා සබැඳියාවන් පවත්වන දෙදෙනා අතර පවුලක් ඇතිවේ යැයි ද, පවුල් අතර සබැඳියාවන් පැවැත්වීම නිසා ගමක් බිහිවේ දැයි ද, ගම් කිහිපයක් සබැඳියාවන් පැවැත්වීම නිසා දේශයක් බිහිවේ දැයි ද පෙන්වයි. එකිනෙකා අතර පවත්වන සම්බන්ධතාවයන් නොහොත් දේශපාලනය මිනිසාට ස්වභාවයෙන් ලැබී තිබෙන්නක් වන්නේ මේ නිසා යැයි ඔහු කියයි.

ස්වභාවයෙන් ලැබී තිබෙන්නේ සමාජයක් නොවේ. ස්වභාවයෙන් ලැබී තිබෙන්නේ සබඳතාවයන් පවත්වන හැකියාවයි. සමාජය මිනිසා හදාගත්තකි. සබඳතාවයන් පැවැත්වීමට හැකියාව මිනිසාට සහජයෙන් ලැබී තිබෙන්නකි.

සමාජයක් නැතිව හුදකලා ජීවිතයක් ගෙවන්නට මිනිසාට හැකිය. එහෙත් වඩා ඵලදායක වූ ජීවිතයක් ගෙවන්නට නම් මිනිසාට අනෙකුත් අය සමඟ සබඳතා පැවැත්වීම අවශ්‍ය වේ. මේ වෙනස පැහැදිලි වූවකි. සරල වූවකි. එහෙත් බොහෝ අයට වටහා ගැනීමට අපහසු වූවකි. ඒ නිසා කල්ලි ගැසී පුද්ගලයාටත් සමාජයටත් අයහපත් වන දේශපාලනයට සීමිත වෙති.

මිනිසා සහ අනිකුත් සමහර සත්වයන් අතර ද දකින්නට ඇති, එනම් තම වර්ගයාගේ අනිකුත් සාමාජිකයන් සමඟ කරන පොදු කටයුත්තක දී ඔවුනට සබැඳියාවන් පවත්වන -දේශපාලන- හැකියාව සහජයෙන් පිහිටා ඇතැයි කියන ඇරිස්ටෝටල්ට අනුව මිනිසාට දේශපාලනයේ යෙදෙන්නට අනිකුත් සමාජ සංස්ථාවන් වලට බාහිර ලෙසින් වූ අවශ්‍යතාවයක් ඇත. එසේම, මිනිසාට දේශපාලනයේ යෙදෙන්නට අනිකුත් සමාජ සංස්ථාවන් වලට ඇතුලත් වන ලෙසින් වූ අවශ්‍යතාවයක් ඇත.

තනිවම ගණුදෙනු කරන සබැඳියාවන් වලින් අවශ්‍යතා සපුරා ගන්නට බැරි නිසා ද අපිට ‘දේශපාලන නායකයන්’ අවශ්‍ය?

තනිවම ගණුදෙනු කරන සබැඳියාවන් වලින් අවශ්‍යතා සපුරා ගන්නට බැරි නිසා ද අපිට ‘දේශපාලන පක්ෂ’ අවශ්‍ය?

අපිට තනිවම කරගන්නා ගණුදෙනු වලට වඩා වැඩියෙන් අවශ්‍යතා සපුරා ගන්නට ‘දේශපාලන නායකයන්’ සහාය වී ඇත් ද?

අපිට තනිවම කරගන්නා ගණුදෙනු වලට වඩා වැඩියෙන් අවශ්‍යතා සපුරා ගන්නට ‘දේශපාලන පක්ෂ’ සහාය වී ඇත් ද?

[මම ග්‍රීක් බස නොදනිමි. මම දාර්ශනික සබැඳියාවන් පවත්වන සිංහලයන් අතර ග්‍රීක් භාෂාව දන්නා අය සිටිති.]

මේ සටහන Aristotle’s Doctrine That Man Is a Political Animal, R. G. Muligan, Hermes, (1974) -438-445 පිටු- ඇසුරිනි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. නලින් දිල්රුක්ෂ said, on ජනවාරි 22, 2013 at 9:25 පෙ.ව.

    අගෙයි…….ඇරිස්ටෝටල් ගැන යම් කියැවිමකට මේ ලිපිය මට ඉවහල් වුණා…මෙතැන දී වඩා ප්‍රභල වන පවුල අතර බැඳීම සමාජය අතර ඇති කරගන්නට බැරි හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද? මානවී ය ආශාව ද? එසේම මිනිසා සබැඳියා පවත්වන්නේ පොදු අරමුණු ම ඉටු කරගන්න පමණ ද?
    //අපිට තනිවම කරගන්නා ගණුදෙනු වලට වඩා වැඩියෙන් අවශ්‍යතා සපුරා ගන්නට ‘දේශපාලන පක්ෂ’ සහාය වී ඇත් ද?// මෙයින් ඔබ අදහස් කරන්නේ නැතැයි යන්න පමණ ද?
    හරබර ලිපියට තුති..

    • arunishapiro said, on ජනවාරි 22, 2013 at 9:46 පෙ.ව.

      නලින් දිල්රුක්ෂ,

      //පවුල අතර බැඳීම සමාජය අතර ඇති කරගන්නට බැරි හේතුව ලෙස ඔබ දකින්නේ කුමක්ද?// සහජ මිනිස් ස්වභාවය. තමන්ගෙ ලෙයින් මසෙන් හැදුනු අයට ඇති මිනිස් බැඳීම සමාජයේ සිටින තමන් නොදන්නා සාමාජිකයෙකුට ඇති නොවීම. මගේ පවුල, මගේ ඥාතියාගෙ/මිතුරියගෙ පවුල, මගේ ගමේ අය, මගේ රටේ අය, යනාදියෙන් ඈතට දිවෙන බැඳියාව ලෝකයේ වෙනත් කොණක වූ නොදන්නා පුද්ගලයෙකුගේ මනුෂ්‍යත්වය සැලකිල්ලට ගැනෙන විට ඉතා අඩුවෙලා ගිහින් නොවේ ද?

      //මානවී ය ආශාව ද?// ඉහත ජීව විද්‍යාත්මක වූ ස්වභාවයක් ගැනයි කිව්වෙ. මේක ආචාර ධර්ම ගැන වූවක්. මෙතැන මතභේදයට ඉඩ ඇත!!!!

      //එසේම මිනිසා සබැඳියා පවත්වන්නේ පොදු අරමුණු ම ඉටු කරගන්න පමණ ද?// නැහැ ඒකීය අරමුණු සහ පොදු අරමුණු දෙකම සඳහා.

      //මෙයින් ඔබ අදහස් කරන්නේ නැතැයි යන්න පමණ ද?// මෙතැනත් මතභේදයට ඉඩ ඇත!!!! වර්තමානයේ දේශපාලන පක්ෂ වලට (මෙහෙත් එහෙමයි 😀 ) ‘අපිව’ අමතක වෙලා ගිහින්!!!!

  2. Shermie Fernandez said, on ජනවාරි 24, 2013 at 4:07 පෙ.ව.

    පින්තූරේ නම් වචන දාහක් කියවෙනවා අරුණි අක්කේ .
    මේ දේ නිදහසේ කියවන්න ඕනේ.මොකද මොලේ පුළුල්
    වෙන්න ටික වෙලාවක් ඕනේ මට..

    ඇත්තටම හොඳ කරුණු ගොන්නක් ඇතුලත්..
    ( ඔබ සමග මත ගැටුම් තිබුනත් හැර නොයන්නේ
    මේ නිසයි )

    • arunishapiro said, on ජනවාරි 24, 2013 at 8:55 පෙ.ව.

      Shermie Fernandez,

      පින්තූරයේ ඉන්නෙ ඇමෙරිකන් රිපබ්ලිකන් පක්ෂය නියෝජනය කරන අලියා සහ ඇමෙරිකන් ඩෙමොක්‍රැටික් පක්ෂය නියෝජනය කරන බූරැවයි. මේ දිනවල රටේ මහන්සි වී බදු ගෙවන අයගේ සල්ලි නාස්ති කරමින් ඔවුන් එකිනෙකා හා ගැටෙන්නේ වෙහෙසෙන අයගේ බදු තවත් වැඩි කරන බලය අල්ලා ගැනීම වෙනුවෙන්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: