අරුණි ශපීරෝ‍ වෙතින්

බඩු මිල අඩුවෙන එකම ක්‍රමය

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 24, 2013

IMG_4551

දුප්පත් රටවල් වලින් කොල්ලකාලා තමයි ඇමෙරිකාවේ අය ධනවත් වෙලා තියෙන්නෙ කියන මුලාව ගිල සිටින අය දුප්පත් රටවල් බහුතරයෙ සිටියෙ/සිටින්නේ ඇමෙරිකන් ක්‍රමයට අකමැති පාලකයන් බව දකිනවා ද? ඇමෙරිකන් ක්‍රමයට අකමැති, ඇමෙරිකාවට බනින පාලකයන්, රටේ පුරවැසියන්වයි රටේ සම්පත් ටිකයි කොල්ල කන්න ඇමෙරිකාවට ඉඩ දෙන්නෙ ඇයි කියලා අහන්න කෙනෙක් ඉන්නවා ද?!!! එහෙම කියමින් ඔවුන් කොල්ල කන්නෙ තම රටේ සම්පත් හා තමන්ගෙ පුරවැසියන්ගෙ වෙහෙසෙන් උපයන ඩිංගිත්ත බව දකින්න කෙනෙක් ඉන්නවා ද?!!!!

කියුබාවේ කැස්ත්‍රෝ සහෝදරයන් ඇමෙරිකන් ක්‍රමය ප්‍රතික්ෂේප කළාට අවසානයේ ඔවුන්ට ද පැහැදිලි වෙන්නෙ, (සෝවියට් දේශය කඩා වැටීමත් සමඟ එහෙන් එන සහනාධාර නැවතුණාම) සෝවියට් දේශයට වගේ ම, කොමියුනිස්ට් චීනයට වගේ ම, යාන්තමකට හෝ ඇමෙරිකන් ක්‍රමය ගෑවිලා නැතිව ආර්ථිකය පවත්වාගෙන යන්න බැහැයි කියල. ඉතින් ඔවුන් පුද්ගල දේපල අයිතියට ඉඩක් දෙනවා. ඒත් පුරවැසියන්ගේ පුද්ගල දේපල අයිතිය මෙහෙම අරහෙම විය යුතු යැයි කියමින් දැඩි සමාජවාදී නීති සහ බදු පනවනවා. කාලාන්තරයක් තිස්සෙ පුද්ගල දේපල අයිතියක් තිබ්බෙ නැති, යාන්තමට කාලා ඇඳලා ආණ්ඩුව කියන විදියට ජීවත්වෙච්ච, ජීවිතේටම කිසිම බද්දක් ගෙව්වෙ නැති කියුබානුවන් අහන්නෙ මේ ප්‍රශ්නය: ආණ්ඩුවට බදු ගෙවන්න ඇයි මොකට ද වැඩියෙන් මහන්සි වෙන්නෙ?!!!

වැඩියෙන් මහන්සි වෙන්නෙ වැඩියෙන් ලාබ හොයන්න පුලුවන් නම්.

කවුද තීරණය කරන්නෙ මහන්සිය වැඩි ද අඩු ද කියලා? මහන්සි වෙන පුද්ගලයා.

කවුද තීරණය කරන්නෙ මහන්සියේ තරමට ලැබෙන ලාබය අඩු ද වැඩි ද කියලා? ලාබය ලබන පුද්ගලයා.

ඒක තමයි ඇමෙරිකන් ක්‍රමය!!!!!

වැඩියෙන් මහන්සි විය යුත්තේ කවුදැයි හෝ වැඩියෙන් ලාබ ලැබිය යුත්තේ කවුදැයි තීරණය කරන මාස්ටර් මොළයක් ලෝකයේ කිසිවෙකුට නැහැ. ඒ නිසා මිල සූත්‍ර තීරණය විය යුත්තේ මෙහෙමයි කියා සැලසුම් හැදූ/හදන/අනාගතයේ හදන්නට වෙර දරනා රටක ආර්ථික සාර්ථකත්වය ඇතිවෙන්නේ නැහැ. එහෙම උත්සාහ ගත් යුරෝපීය යුනියනය අද අවුලක. ඒත් යුරෝපයේ අය තවමත් පාරට බහින්නෙ ආණ්ඩුවේ වියදම් අඩු කරන්න එපා කියල පෙළපාලි යන්න. ඇමෙරිකන් ක්‍රමය කුමක් දැයි දන්න ඇමෙරිකාවේ අය ජනඝෝෂා කරන්නේ ආණ්ඩුවේ වියදම් වැඩි කරන්න එපා කියල.

ඇමෙරිකාව සමඟ වෙළඳ ගණුදෙනු කරන ප්‍රධාන රටක් තමයි ජපානය. ඉහත ඇත්තේ 1972 දී ජපානයේ නිෂ්පාදනය කරන ලද ඩොලර් 350/- සිල්ලර අලෙවිය වූ ස්ටිරියෝවක්. අද සමහර ඇමෙරිකන් තරුණ අයට ඇති අයිෆෝන් කැමැත්ත මෙන් එදා ඇමෙරිකන් තරුණ පිරිසකට මෙය සතු කරගැනීමේ කැමැත්තක් තිබුණ.

අනගි නිෂ්පාදනයක අගනා බවක් ඇත්දැයි තීරණය කරන්නේ එය මිල දී ගන්නා පුද්ගලයාය.

රට රැකියාවකට යන බාධක ඉවත් වුවත්, එය ඉතා දුෂ්කර වු 80 ගණන් මුල දී රස්සාවක් පිණිස පිටරට ගිය ලංකාවේ අයෙක්ට කටහඬ පණිවුඩ යැව්වේ පවුලේ ඥාතීන් සියල්ල එකතු වී පටිගත කරපු කැසට් ටේප් එකකින්. කැසට් එක තැපැල් වලින් යද්දී ඒ නිව්ස් සෑහෙන්න පරණයි. දුරකතන තිබුණේ රටේ අතලොස්සකටය. ඔවුන් අතර ද අන්තර්ජාල ඇමතුම් ගන්නට හෝ ඒ වියදම දැරිය ආර්ථික හැකියාව තිබුනේ තවත් සුළු පිරිසකටය. රට ගිය ඇත්තෙකුගේ කටහඬ අහන්නට ලැබෙන්නේ ද එසේ පටිගත කර එවන ලද කැසට් පටියකින්.

එවක රට පුරා රෙකෝඩ් බාර් බිහිවූයේ නම් රටගිය ඥාතියා ගේ කටහඬ අහන්නට නොවේ!!!!

පුංචි කාලේ තීන්ත පුරවන්න අලුත් පෑනක් ලැබිච්ච දවස අයිෆෝන් එකක් ලැබිච්ච දවස වගේම හිතේ සතුටක් සටහන් වෙච්ච දවසක්!!!! ඒත්, බෝල් පොයින්ට් පෑන් ලංකාවට ආවම එතෙක් තීන්ත පුරවද්දී සුදු ගවුම් වල වැටෙන පැල්ලම් වලට බැනුම් අහමින් සිටි කාලය අවසන් වුනා. තීන්ත පුරවන පෑන භාවිතයෙන් ඉතිරි කරගන්න මුදල් හා සංසන්දනය කරද්දී බෝල් පොයින්ට් පෑන් වලට ගෙවන්න වෙන මුදල අඩුවෙයි ද/වැඩිවෙයි ද ගැන කතාබහ තාම මතකයි!!!

තීන්ත පුරවන පෑන් සහ බෝල් පොයින්ට් පෑන් ආනයනයට ඉඩ දෙනවා ද, ලංකාවේ හදන පෑන් වලට වඩා වැඩියෙන් ඒවාට බදු කොතරම් පනවනවාද යන්න තීරණය කළේ ආණ්ඩු වුනාට පෑනක් මිල දී ගෙන පරිහරණය කරනවා ද නැද්ද යන්න තීරණය කළේ ඒකීය පුද්ගලයන් විසින්.

ඇමෙරිකාවේ සමාජ සංවිධාන හා ව්‍යාපාර ආයතන වලින් ඔවුන්ගෙ නම ගහලා නොමිලේ දෙන බෝල් පොයින්ට් එකතු කරන සිරිතක් මට තිබුනේ ලංකාවේ දී බෝල් පොයින්ට් පෑනක් මිල දී ගන්න එකත් මහ ලොකු වියදමක් වෙච්ච නිසා. එකතු වෙන පෑන් පාවිච්චි කරන තරමට වඩා ගොඩ වැඩියි කියල වැටහිච්ච දවසේ සිරිත නැවතුණා. තාම තීන්ත පෑන්, බෝල් පොයින්ට් භාවිතය තිබුණට දැන් ඩිජිටල් (stylus) පෑන් භාවිතය ඇමෙරිකාවේ බහුලයි. ලංකාවේ දුප්පත් දරුවන්ට තවමත් පෑන් සහ පැන්සල් පරිත්‍යාග කරන වැඩසටහන් අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවේ මාස්ටර් මොළ නිසා බව දකින්නෙ ඉතාම සුලු පිරිසක්.

අද ලංකාවේ කෙනෙක්ට පිටරට ඉන්න අයෙක් එක්ක කතා කරන්න ගූගල්/ස්කයිප් වලින් පුලුවන්. ඇමෙරිකාවේ ඉන්න කෙනෙක්ට ඊට අමතර වියදමක් යන්නෙ නැහැ. ඇමෙරිකාවේ සිට ලංකාවේ රේඩියෝව අහන්නත් අයිෆෝනයෙන් අමතර වියදමක් නැතිව පුලුවන්. සේවය වසර දෙකකට ලබාගන්නා ගිවිසුමකට අත්සන් කළාම නොමිලේ අයිෆෝන් 5 එකකුත් ලැබෙනවා. 1972 දී හදපු ස්ටිරියෝ සෙට් එකට 2012 හදපු අයිෆෝන් එක අමුණාගෙන ගෙදර දෙවනත් වෙන්න දාන්නත් පුලුවන්.

කිසිවෙක් සැලසුම් නොකළ ඒකීය මිනිසුන් විසින් තම ඒකීය කැමැත්තන් හඹා යෑමේ දී බිහිවෙච්ච නිෂ්පාදන සහ ඒවායේ ඉල්ලුම හා සැපයුම අනුව විකිණෙන මිල ආණ්ඩු විසින් තීරණය නොකරද්දී ඒවා පහසුවෙන් හා අඩු මිලෙන් ලැබෙනවා යැයි දකිනා අය ඉතා අඩුයි. ඒකීය පුද්ගලයාව අමතක කරලා, බඩු මිල අඩුවෙන එකම ක්‍රමයට ඉඩක් නොදී ආර්ථිකය සැලසුම් කරන්න හදන මාස්ටර් මොළ නැති නායකයන්ට කොච්චර වැරදුනත් එය සැලසුමේ වැරැද්ද යැයි පිළිගන්නේ නැතිව ක්‍රමයේ වැරැද්ද යැයි කියමින් ඉන්නට තවත් කොපමණ කාලයක් ඉඩ දෙනවා ද?!!!!!

IMG_4555 IMG_4557

Advertisements

19 Responses

Subscribe to comments with RSS.

  1. Shanthi Chandrasekera said, on ජනවාරි 24, 2013 at 11:51 පෙ.ව.

    ape rate minisunge hati thamai Aruni ona detai epadetai boruwata aagahana eka kisi aramunak naha. eka anduwe inna horu dannawa dakkane wasu Bro ge hati. ithin yal panagiya samaja wade ussagena yanne eyalage pawathmata nathuwa rate suba siddiyata nowei. Thanks Aruni

  2. Jay said, on ජනවාරි 24, 2013 at 8:54 ප.ව.

    මට නම් හිතෙන්නෙ ඈන් ඈම් පෙරේරලගෙ ඉදලා පරම්පරා ගනනාවක් පතුරපු බොරෑව හබෑවක් කියල හිතන නිසා වෙන්න පුලුවන්.
    මේක බොරුවක් බව දෑන දෑනම මම වුනත් හිතන් හිටිය මම වෑරදිද කියලා.
    මට දැන් හිතෙනවා අර ඉස්සර අපට ලැබුනු අඇදිහැස විස්කොතු වලට ගෙව්වෙ ඇමරිකන් බදුගෙවන්නන් නේද කියලා. ඉදලා හිටලා විස්කෝතු වලින් ගහ ගත්තු එකට දැන්නම් දුකය්.
    අදත් විදේශ ආධාර ගසාකන අය කරන්නේ කොහේහරි රටක වැඩකරන ජනතාවගේ සල්ලි හොරකම් කරන එකය්.
    රිජු බදු නොගෙවා වක්‍ර බදු ගෙවන ලංකාවෙ අයට මේවා තේරැම් යනවා අඩුය්. රජයේ බදු ගෙවීමේ වගකීම සහ එහි පුරවැසියාට ඇති ලාබය මට හරියටම අවබෝධ කරලා දුන්නේ මීට වසර 12 කට පමනපෙර නම දැන් මතක නැති ටැක්සි රියැදුරෙක් සිංගප්පූරැවෙදි.

    • arunishapiro said, on ජනවාරි 24, 2013 at 9:23 ප.ව.

      Jay,

      සිංගප්පූරුවට ගිහින් ඒ ටැක්සි කාරයාව හොයාගෙන ලංකාවේ සම්මන්ත්‍රණයක් පවත්වන්න ගෙන්වා ගත්තොත් හරි! 😀

      ඔව්, පහදා දෙන්න දුෂ්කර වූවක්. ඒත් එහෙමයි කියලා උත්සාහයක් නොගෙන බෑනේ.

  3. naleendilruksha said, on ජනවාරි 24, 2013 at 11:40 ප.ව.

    මෙන්න මේ කොටස් තව ටිකක් පැහැදිලි කර දෙන්න
    // ලංකාවේ දුප්පත් දරුවන්ට තවමත් පෑන් සහ පැන්සල් පරිත්‍යාග කරන වැඩසටහන් අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවේ මාස්ටර් මොළ නිසා බව දකින්නෙ ඉතාම සුලු පිරිසක්.//

    //විකිණෙන මිල ආණ්ඩු විසින් තීරණය නොකරද්දී ඒවා පහසුවෙන් හා අඩු මිලෙන් ලැබෙනවා යැයි දකිනා අය ඉතා අඩුයි.//

    // බඩු මිල අඩුවෙන එකම ක්‍රමයට ඉඩක් නොදී ආර්ථිකය සැලසුම් කරන්න හදන //

    ඉහත කරැණු පිළිබඳ තව ටිකක් විග්‍රහයක් කරන්න හැකි නම් අගෙයි…විශේෂයෙන්ම පොඩි උදාහරණයක් සමග නම් වඩාත් ම අගෙයි.

    • arunishapiro said, on ජනවාරි 25, 2013 at 11:15 පෙ.ව.

      මම වොශින්ටන් ආවා … සින්හල අකුරු නෑ. ඉක්මනින් ලියන්නම්. ‍යුනිකෙත අපහසුයි!

    • arunishapiro said, on ජනවාරි 25, 2013 at 10:27 ප.ව.

      naleendilruksha,

      සාධාරණත්වය සලසන නාමයෙන් අසාධාරණ රෙගුලාසි ගෙනෙද්දී බහුතර ජනගහණයක් ඉන්නා නගර වලට වාසි වැඩියි. අවසානයේ යහපතක් කරනවාය කියන දුප්පත් ගම්බද අයටම තමයි අවාසිය සැලසෙන්නේ. කොළඹ අවටම අඩු ආදායම් ලබන ජනතාවගේ දරුවන් එන පාසැල් කොපමණක් මෑත කාලයේ දී වැසී ගිහින් දැයි සොයා බලන්න. අඩු ආදායම් ඇති අය ඉහළ ලොකු ලොක්කන්ව දන්නෙ නැහැ. අඩු ජනගහණයක් ඉන්න තැනකින් ලැබෙන චන්ද අඩුයි. ඒ නිසා ඒවා චන්ද පොරොන්දු හැටියට හැමදාම පවතිනවා.

      බඩුවක් විකිණෙන මිල තීරණය කරන්න ලෝකයේ කිසිම ආණ්ඩුවකට මාස්ටර් මොළයක් නැහැ. නිෂ්පාදන වැය, අද ඇති අමුද්‍රව්‍ය මිල සහ අනාගතයේ බඩුව විකිණිය හැකි මිල යනු අවදානමක් ගන්නා ව්‍යාපාරිකයෙකුගේ වෑයමක්. ඒ වෑයම සාර්ථක වී ව්‍යාපාරිකයා ලාබ හොයන්නේ ගත්තු අවදානමට වඩා ලබන ලාබය වැඩි වුනාම. එහෙම ලාබයක් ලැබෙන්නෙ නැතිව බංකොළොත් වෙච්ච උත්සාහයන් ලොව ඕනෑ තරම්. ඒත් ආණ්ඩුවක් මැදිහත් වෙලා එහි ආශීර්වාදය යම් ව්‍යාපාරයකට/ව්‍යාපාරිකයෙකුට දෙනවා නම් (සහනාධාර, බදු සහන …) එහි දී වෙනත් බඩු වෙළඳපොලේ අඩු වීම හා වෙනත් බඩුවල මිල ඉහළ යෑම දකින්නට ලැබෙනවා. ආණ්ඩු විසින් පිටරටින් ගෙන්වන බඩු වලට තීරු බදු ගහද්දී ඒ තීරු බදුත් එකතු වෙලා තමයි භාණ්ඩයේ මිල ගෙවන්නේ පාරිභෝගිකයා විසින්. ඒත් බඩුවකට තීරු බද්ද නැත්නම් පිටරටක නිෂ්පාදකයෙකුට පාරිභෝගිකයාට අඩු මිලට භාණ්ඩය සපයන්නට පුලුවන්. මෙහි දී තම රටේ නිෂ්පාදකයන් ආරක්ෂා කරනවා කියන නාමයෙන් ආණ්ඩුවක් කරන්නෙ තම රටේ පාරිභෝගිකයන්ව ගසා කෑම.

      බඩු මිල අඩුවෙන එකම ක්‍රමය නම් ආණ්ඩුව විසින් ජයගන්නේ කවුදැයි පැරදෙන්නේ කවුදැයි කියා තීරණය කරන ව්‍යාපාර රෙගුලාසි පැනවීමෙන් බැහැර වීම. කාලයට ගොවියා නඟා සිටුවන්න රෙගුලාසි හදනවා, කාලයකට සංචාරක ව්‍යාපාරය වෙනුවෙන් රෙගුලාසි හදනවා, පිටරට යවන්නේ කවුදැයි මොන වයසෙන් දැයි රෙගුලාසි හදනවා …. කිසිම ආණ්ඩුවකට මාස්ටර් මොළයක් නැති නිසා, එවැනි සියලු සැලසුම් අසාර්ථකයි. ව්‍යාපාරයක් ජයගන්නේ අනගි බඩුවක් හෝ සේවාවක් අඩු මිලට අවශ්‍ය වේලාවට සපයන්න හැකියාව තිබීමෙන්. භාණ්ඩය හෝ සේවාව සපයන පුද්ගලික ව්‍යාපාර විසින් ඔවුන්ගේ ආයෝජන පරදුවට තබා ගන්නා අවදානමක්. වැඩියෙන් ලාබ උපයන්නට හැකිනම් වැඩියෙන් අවදානම් ගන්නා අය සිටීම මිනිස් ස්වභාවයක්. එයට ඔවුන්ට ලැබෙන්නේ ලාබ. එයින් පාරිභෝගිකයන්ට ලැබෙන්නේ අඩු මිලට අනගි බඩු. ඇයි අනගි බඩු? මොනොපොලියක් නැති තරඟකාරී වෙළඳපොලක බඩු ගොඩක් බිහිවෙන නිසා පාරිභෝගිකයා තෝරාගන්නේ අනගි වූව නොවේ ද? මොනපොලි හදන ආණ්ඩු සාධාරණත්වයේ නාමයෙන් අසාධාරණ දේවල් කරන්න ගියාම පුරවැසියන්ට ලැබෙන්නේ ණය බර.

  4. R.p. Susantha said, on ජනවාරි 25, 2013 at 12:12 පෙ.ව.

    බොහෝ කාලයකට පෙර මමත් ඔය මිත්‍යාවේමයි ගැලී උන්නේ. නමුත් මගේ නිදහස් චින්තනය, බොහෝ රටවල ඇවිද ලබාගත් අත්දැකීම් ආදිය මගේ චින්තනය වෙනස් කලා. අද මම පිළිගන්නව අපේ වගේ රටවල ජනතාව පෙලන දුප්පත්කමට හෙතුව අපේම අය මිස වෙනත් රටවල නායකයන් නොවෙන බව. ඒ විතරක් නෙමේ අපි අනුගමනය කරනව නම් අපිට ගැලපෙන ලෙස සකස ගන්නව නම් ඇත්තෙන්ම අපිට ඇමරිකාව, සිංගපූරුව, හොන්කොන්, ජපානය, තායිවානය,දකුණු කොරියාව, වගේ රටවල ක්‍රම ගැනත් අපි සිතා බැලිය යුතුයි.

    නිර්බදු වෙනුවෙන් මමත් සටන් කරනවා. මගේ මතය බදු කියන්නේ මොනම ආකාරයට ගත්තත් මංකොල්ලයක්.

  5. Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 25, 2013 at 4:14 පෙ.ව.

    ;ලංකාවේ නම් වම කියන්නේ මාර්කට් එකේම කොටසක් ලංකාවේ වම්මුන්ට තාම ඉල්ලුමක් තියනව ඉතින් උන් මේ ඉල්ලුමට සැපයුම දීල වම ජීවිකාව කරගෙන ඉන්නේ,

    • arunishapiro said, on ජනවාරි 25, 2013 at 10:33 ප.ව.

      Uditha,

      මේ දවස්වල මෙහෙත් එහෙමනේ … ඔබාමා මේ ඉල්ලුමට සැපයුම දීල වම ජීවිකාව කරගෙන යසට ඉන්නෙ. දකුණේ අයත් වමේ අදහස් මාර්කට් කරන්නෙ ඉල්ලුමක් තියෙන නිසානේ. ඉතින් ඒකයි ලිබටේරියන් අදහස් ඇති අපි සුලුතරයක් වෙහෙසෙන්නෙ ඔවුන් ඉල්ලන්නේ මොකක් ද යන්න වමේ අයට නොව දකුණේ අයට පහදලා දෙන්න.

  6. Jay said, on ජනවාරි 25, 2013 at 8:10 පෙ.ව.

    උපුටා දැක්වීම අරැණි ශපීරෝ “පරිස්තානීය දැනුම”

  7. wicharaka විචාරක said, on ජනවාරි 25, 2013 at 11:36 පෙ.ව.

    මා අසනීපව සිටි කාලය තුල ඔබ ලියා තිබුන ලිපි තවම කියවනවා. ලංකාවේ දේශපාලුවන්ගේ බොරු මූණ එලියට පෙන්නන සම්මන්ත්‍රණ රට පුරා තබියහැකි, විද්වතුන්ගේ සන්ධානයක් බිහිකරගන්නවත් කොන්ද පැන තියන ඇය නැතිවීම දුකක්.

    • arunishapiro said, on ජනවාරි 25, 2013 at 10:40 ප.ව.

      විචාරක,

      දේශපාලනඥයන්ගේ අත පල්ලෙන් වැටෙන දේවල් හිඟන්න බලන් ඉන්නෙ නැතිව තමන් විසින් උත්සාහයක් ගෙන දියුණුව ලබන ටික දෙනෙක්ට ඊට ඉඩ දුන්නාම සමාජයටම දියුණුවක් ලබත හැකියි කියලා එක එක්කෙනාට වැටහෙන විදියට පහදා දෙන්නයි ඕනෑ. ඒකට විද්වත් යැයි කියාගන්න අය අවශ්‍ය නැහැ. මේක වැටහෙන අය හිටියාම හොඳටම ඇති අනෙක් අයට කියලා දෙන්න.

  8. Jay said, on ජනවාරි 25, 2013 at 9:54 ප.ව.

    Aruni be happy!
    Enlightment is happen, you are getting some return for your sweat and tears.
    Happy to see growing audience of yours, wheels are moving slowly but firmly.
    Aruni I use “sanhinda” iPad app to type sinhala on move, it’s working for me try.
    Key board is different than Wijesekera but it works.

    • arunishapiro said, on ජනවාරි 25, 2013 at 10:36 ප.ව.

      Jay,

      සන්හිඳ මාත් දාගත්තා. ඒත් විජේසේකර අකුරු නෙමෙයි නිසා අත්හදා බලන්න කාලයක් තවම ලැබුනේ නැහැ. ස්තූතියි .. සොයා බලන්නම් ඉඩක් ලැබුණ විගසින්.

    • arunishapiro said, on මාර්තු 3, 2013 at 8:48 පෙ.ව.

      Kasun,

      හාවඩ් විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර පාසැලේ Michael I. Norton සහ ඩ්‍යුක් විශ්ව විද්‍යාලයේ Dan Ariely යන දෙදෙනා විසින් ඇමෙරිකන් වැසියන් 5000 ක් වෙතින් අහන ප්‍රශ්න අනුව ඔවුන් මේ අධ්‍යයනයෙන් පෙන්වා දෙන්නේ ඇමෙරිකානුවන් හිතන්නේ මෙසේය කියාය.

      It's the inequality, Stupid/Mother Jones

      මැද තීරුවෙන් දැක්වෙන්නේ රටේ වස්තු සම්පත් බෙදී ඇතැයි ඔවුන් සිතන අන්දමයි.
      යට තීරුවෙන් දැක්වෙන්නේ වස්තු සම්පත් බෙදී තිබිය යුතු ආකාරය මෙයැයි ඔවුන් කැමති අන්දමයි.
      උඩ තීරුවෙන් දැක්වෙන්නේ සත්‍යයෙන් රටේ වස්තු සම්පත් බෙදී ඇති ආකාරයයි

      ඇමෙරිකන් අය විතරක් නෙමෙයි අද ලෝකයේ බහුතරයක් හිතන්නේ මෙහෙම. එසේම ඇමෙරිකාවේ විතරක් නෙමෙයි වෙනස් හේතු නිසා ලෝකයේ හැම රටකම වස්තු සම්පත් බෙදී ඇත්තේ ඒ හා සමානව.

      ඇයි ඒ?

      රටක පවතින වස්තු සම්පත් යම් ආකාරයකින් බෙදී තිබිය යුතු යැයි හිතන්නේ ඇයි කියා ඇහැව්වොත් එය සාධාරණත්වය හා සමානාත්මතාවය වූවක් ගැන යයි වස්තු සම්පත් බෙදා හැරීම ගැන කතාබස් කරන අය කියනු ඇත. ඒ සාධාරණත්වය හා සමානාත්මතාවය විස්තර කරන්න යැයි කිව්වොත් ඔවුන් තම හැඟීම් අතර හා විචාරය අතර අතරමං වෙනු ඇත.

      ස්වභාවික සම්පත් වලට මිනිස් ක්‍රියාවක් (human action) එකතු වීම නිසා එය වස්තු සම්පතක් බවට පත්වෙයි. ඒ ගැන වැඩි විස්තර මම රන්දොර ආර්ථික නුවණ අඩවියට ලියූ සටහන මෙතැනින් කියවන්න.

      මිනිසාට කුසලතාවයන් ස්වභාව ධර්මය විසින් දී ඇත්තේ අසමාන ලෙසින්. හැම මිනිසෙක්ම එකම විදියකින් වැඩ කරන්නට දස්කම් දක්වන රොබොට් කෙනෙක් නෙමෙයි. අයෙකුට පිළිවන් වූවක් තව අයෙකුට බැහැ.

      ඒ නිසා සෑම මිනිසෙකුටම එක හා සමාන ලෙසින් සැලකිල්ලට පාත්‍ර විය යුතුයි යන්නේ දී “හැමෝම එක හා සමානයි” යන තියරියක් ඇත්තේ මෙහෙම:

      හැමෝම එක හා සමාන වෙන්නෙ මිනිස් ජීවිතයක් තිබෙන පමණින්. ඒ නිසා මිනිසාට ඔහුගේ ජීවිතයට අයිතියක් ඇත.

      හැමෝම තමන්ගේ කුසලතාවය අනුව, එනම් තම මිනිස් ක්‍රියාවක් යොදවා ස්වභාවික සම්පතකින් වස්තු සම්පතක් උපදවා ගනියි. මෙහි දී වස්තු සම්පත අයිතිවෙන්නේ එයට තම කුසලතාවය යොදවපු අයට ය. (මාක්ස්ගේ ශ්‍රමික අගය -labor value විස්තරය අර්ථ ශාස්ත්‍රයේ දෝෂ සහගත වෙන අයුරු පැහැදිලි කිරීමක් අනාගතයේ දවසක ලියන්නම්.)

      ඉතින් මිනිසා අනෙක් මිනිසා හා එකම සමාන වූ සාධාරණ තත්වයක ඉන්නේ ඔහුගේ ජීවිතයට ඇති අයිතියත්, ඔහු විසින් උපයන දේපලට ඇති අයිතියත් අනුව පමණි.

      සාමානාත්මතාවය ගැන කතා කරන්නට නම් ඒකීය පුද්ගලයාගේ නීතිමය අයිතිය ගැන විමසිය යුතුයි. ඒකීය පුද්ගලයාට තම සංවර්ධනයට ඉඩක් නොමැති කළ, ඊට බාධා පැමිණෙන කළ, ඒකීය පුද්ගලයෙක් (individual) සහ එවැනි ඒකීය පුද්ගලයන් එකතු වී හැදෙන කල්ලි ද මේ බාධක ජයගන්නට විප්ලව කරති. සමාජ පර්යාය (social order) යන්නට බලවත් පහරක් වැදෙන්නේ අයිතීන් වලට ඉඩකඩක් නොමැති මිනිසුන් ඒ සමාජයේ ජීවත්වෙද්දී ය. ඔවුන් සාමාන්‍යයෙන් අයිතීන් ලබාගන්නට බහින්නේ ප්‍රචණ්ඩ මාර්ග වලටයි. මොකද යම් සාමකාමී මාර්ගයකින් ඔවුන්ට අයිතීන් දිනාගන්නට තිබුණා නම් මේ වෙන විටත් එය සිද්ධ වී තිබෙන නිසායි. [මෙතැන දී අයිතීන් මොනවා දැයි නොදන්නාකම ද මූලිකත්වයක් ගනියි. ඒ නිසා සටන් වදිනුයේ සමහර විට දිනාගත යුතු අයිතීන් සඳහා නොවේ. ඒ නිසා නැවත නැවත විප්ලව සිද්ධ වී සමාජය පර්යාය විකල් බවින් පවතී.]

      සමාජයේ සාමය ඇතිවෙන්නේ එහි සියළු සාමාජිකයන්ට ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් මඟින් ලැබිය යුතු ඉහත මා සඳහන් කළ අයිතීන් දිනා ගන්නට, එනම් නීතිය ඉදිරියේ සියල්ලන්ම එක හා සමානාත්මතාවයෙන් සිටින කල පමණකි.

      සමාජයකට ඉතා හොඳින් කල් ගෙවන්නට ලැබෙන්නේ එහි නිෂ්පාදන ක්‍රම (means of production) ඒවා වඩාත්ම හොඳින් පරිහරණයට දන්නා අය සතුව තිබෙන විටයි. උප්පත්තියෙන් ලැබෙන වාසියක් නිසා හොඳම කළමනාකරුවන් වෙතින් නිෂ්පාදන භාණ්ඩ අහක් වෙයි. ඉතින් වැඩවසම් ක්‍රමයෙන් ගැලවෙන මිනිසා හොඳම කළමනාකරුවා උප්පතියෙන් ආවා ද නැද්ද යන්න සලකා බැලීම නතර කරන ලදි.

      නීතියේ පැවැත්ම සමාජ අරමුණක් සඳහා ය. ඒකීය පුද්ගලයා එය අනුමත කළ යුතුයි. මන්ද ඔහුගේ අරමුණු, ඉලක්ක ද වඩාත්ම හොඳින් සාක්ෂාත් වෙන්නේ සමාජයේ ගණුදෙනු තුලින් නිසාය.

      මෙතැනින් එහාට යම් දැයක් නීතියට කළ හැකි යැයි අයෙක් අදහස් ඉදිරිපත් කරන්නේ ද, එයා මිනිස් ස්වභාවයට බැරි, ලෝක ස්වභාවයේ නැති, නීතියට හා යුක්තියට හා සාධාරණත්වයට නොහැකි වූවක් කරන්නට යැයි කියනා අයෙකි.

      ලිබරල්වාදයේ ඇති ඉහත එකම සත්‍යය සමානාත්මතාවය යනු නීතිය ඉදිරියේ ඇති සමානාත්මතාවය ද වෙයි. ඔයිට වඩා යමක් ලිබරල්වාදයට හෝ වෙනත් කුමන හෝ වාදයකට සොයාගත නොහැකියි. ඉතින් අයෙක් කියනවා නම් මේ සමානාත්මතාවය ප්‍රමාණවත් නැතැයි කියා, එහි දී කියනවා නම් සම්පූර්ණ සමානාත්මතාවය යනු ආදායම් සමානාත්මතාවය (equality of income) හෝ භාණ්ඩ හා සේවා බෙදා හැරීමේ දී සමානාත්මතාවයක් (equal distribution of commodities) තිබීම යැයි කියා එය යුක්ති සහගත (justify) කරන්නට කිසිත් පදනමක් සොයාගත නොහැකියි.

      ප්‍රජාතන්ත්‍රවාදයේ දී ඉඩක් ලැබෙන්නේ ධනවත් අයට වැඩියෙන් ඇතැයි ඉහත වැනි දත්ත වලින් දක්වා දුප්පත් ජනයාගේ නොරිස්සුම අවුස්සා දුප්පතුන්ව ධනවතුන්ට එරෙහිව සන්නද්ධ කරන්නටයි. නමුත් ධනවත් අයට වැඩියෙන් ලැබුනේ කෙසේදැයි එහි දී විමසීම නොවන නිසා, වඩා ලොකු සෙනඟක් එකතු කරගන්නට, ඕනෑම සමාජයක කුසලතා ඇති හා තියෙන ඒවා දියුණු කරගන්නට වෙහෙසන ස්වල්පයක් පමණක් සිටින නිසා, ඔවුන්ට එරෙහිව නැඟී සිටින සංඛ්‍යාව මහත් ය.

      මෙම දත්ත පෙන්වන්නේ ද එයයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු සමාජයේ ඉන්නා සෑම සාමාජිකයෙක්ම සැලකිල්ලට ගැනීමයි. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටියවුන් වැඩවසම් ක්‍රමයෙන් ගැලවුනේ පරම්පරාගත රදළයන්ට තිබි වරප්‍රසාද ක්‍රමය අහෝසි කරගැනීමෙන් තමන්ට තම වාසනාව උරගා බලන්නට අවස්ථාවක් පාදා ගන්නටයි. එහෙත් අද ප්‍රජාතන්ත්‍රවාදයෙන් කරන්නේ මුළු සමාජයේ සියළු සාමාජිකයන් අමතක කර කොටසක් පමණක්, සන්නද්ධ බලයෙන් වැඩි කොටස 😀 අනිත් අයව වහලෙක් කර ගැනීමට අයිතියක් ඉල්ලා උද්ඝෝෂණ පැවැත්වීමයි.

      එහෙම කරමින් ලොව පැවති සෑම සමාජවාදී හා කොමියුනිස්ට් ක්‍රමයක් කඩා වැටුනේ මන්දැයි විස්තර කරගත නොහැකිව තවමත් අන්දබූතයෙන් සිටිති.

      ඇමෙරිකාවේ දුප්පතුන් ගැන මා කළින් ලියූ සටහනක් මෙතැනින් කියවන්න.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: