අරුණි ශපීරෝ‍ වෙතින්

හොරකම් නොකරනු: ආණ්ඩුව දැඩි ලෙසින්ම අකමැතියි තරඟයට

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 25, 2013

ron-paul-do-not-steal

1776 දී බිහිවුන ඇමෙරිකා එක්සත් ජනපදය එවක ලෝකයේ සරු පස් තිබි, උගත් පුහුණු ශ්‍රමිකයන් සිටි, යුද්ධ නොමැති වූ රටවල් අභිබවා සශ්‍රීකත්වය ලැබුවේ එහි පුද්ගල දේපල අයිතියට ඉතා ඉහළ ස්ථානයක් හිමි වූ නිසාය. ඒ ඒ ප්‍රාන්ත පාලනය ස්වාධීන ලෙසින් සිද්ධ විය. එක ප්‍රාන්තයක ආර්ථික, දේශපාලන, සංස්කෘතික හෝ ආගමික වාතාවරණයට අකමැති නම් තවත් ප්‍රාන්තයක පදිංචියට යනු හැකි විය. එයට ආණ්ඩුව විසින් බලපෑමක් නොකරන ලදි. රටේ ව්‍යවස්ථාවෙන් සිද්ධ වූයේ ප්‍රාන්ත අතර තරඟයට ඉඩ දී ෆෙඩරල් ආණ්ඩුව බලයෙන් අඩු වූවක් ද හැටියට තැබීමයි. බලයෙන් අඩු ආණ්ඩුවක් යනු බලයෙන් වැඩි පුරවැසියන් ඉන්නා ආණ්ඩුවකි. ඇමෙරිකාවේ ව්‍යවස්ථාව “අපි ජනතාව,” ලෙසින් පටන් ගන්නා බලයෙන් වැඩි පුරවැසියන් පිළිබඳ වූ ආණ්ඩුවකි.

එහෙත් 1913 දී රටේ ව්‍යවස්ථාවට එකතු වූ 16 වැනි සංශෝධනයෙන් කොංග්‍රසයට ආදායම් බද්දක් එකතු කරගන්නට අවසරය ලැබිණ. රටේ සියළු වැසියන්ගේ පොකැට්ටු වලට අත දමන්නට රජයට හැකියාව ලැබිණ. එයින් ප්‍රාන්ත බලය අඩු වී ගියේය. ඔවුන්ගේ ස්වාධීනත්වය ද නැති වී ගියේය. අද කැලිෆෝර්නියාව වැනි බංකොළොත් සැලසුම් හදනා ප්‍රාන්ත ආණ්ඩුවක් පෝෂණය වෙන්නේ ටෙනසි වැනි ප්‍රාන්ත ආදායම් බදු නැති එහෙත් ෆෙඩරල් ආදායම් බදු ගෙවන වැසියන් වෙතින්.

බදු ගෙවීම අනිවාර්යය. බහුතරයකගේ ආදායමෙන් බදු කැපී පඩිය අතට ලැබේ. පැහැදිලිවම ෆෙඩරල් හා ප්‍රාන්ත ආණ්ඩුවට මෙතරම් යැයි ගෙවන බදු වලට අමතරව හැංගී ඇති කොච්චරක් දැයි නොදන්නා වක්‍ර බදු ද වෙති. වක්‍ර බදු ගෙවන්නා විසින් ආණ්ඩුවට නොදේ. ඒවා නිෂ්පාදකයන් සහ වෙළෙන්ඳන් විසින් එකතු කර ආණ්ඩුවට යවති. වක්‍ර බදු නිෂ්පාදනයේ හෝ සේවාවේ මිලට එකතු කරන නිසා එය ගෙවන්නේ පාරිභෝගිකයාය. මේ නිසා අද බහුතර වෙළඳුන් බදු කොපමණ දැයි භාණ්ඩයේ මිල කොපමණ දැයි බිලේ වෙනම දක්වන්නට පටන් ගෙන ඇත. එයින් ඔවුන් පෙන්වා දෙන්නේ මේ බදු රජයට ගෙවන්නට සිද්ධ වෙන්නේ නැත්නම් අපිට මේ අඩු මිලට ඔබට භාණ්ඩය දිය හැකියි කියාය.

ආදායම් හා උරුම බදු පුද්ගල අයිතිය ප්‍රතික්ෂේප කරන බදු වෙති. එහි දී ආණ්ඩුවක් කියන්නේ මෙයයි: ඔබ උපයන ආදායම සම්පූර්ණයෙන්ම ඔබේ නොවේ. ඔබට ඊට ඇති අයිතියට වඩා අපිට ඊට අයිතියක් ඇත. ඔබට ජීවත්වෙන්නට අවශ්‍ය නිසා අපි තීරණය කරන්නම් එයින් කොයි තරම් ප්‍රමාණයක් ඔබට තියාගන්නට අවසර දෙනවා ද කියල!!!!

ඇමෙරිකන් ගොල්ෆ් ක්‍රීඩක ෆිල් මිකල්සන් ධනවතෙකි. මිලියන 47 ක ධනයට මේ වසරේ දී බදු වැඩිවෙන නිසා ඔහු කැලිෆෝර්නියා ප්‍රාන්තය හැර දා යන්නට තීරණය කර ඇතැයි පසුගියදා කීය. උපයන හැම ඩොලරයකින්ම සත 35 ක් පමණක් ඔහුට තබාගන්නට ලැබෙයි. ෆෙඩරල් සහ ප්‍රාන්ත ආණ්ඩු විසින් බදු ඉහළ යවද්දී ඔහු නීත්‍යානුකූලව අඩු බදු ගෙවන්නට හැකි ප්‍රාන්තයක් සෙවීම නුවණක්කාර වැඩකි. “ධනවතෙක් වී සිටීම පහසු නැතැයි,” ඔහුගේ කියමන ඔහු උපයන මුදලට තමන්ටත් අයිතියක් ඇතැයි සිතන අයට වැටහෙන්නේ නැත.

ඇමෙරිකාවේ අවිවාහක අයෙකු සිය ජීවිත කාලය තුල දී විවාහකයෙකුට වඩා වැඩියෙන් බදු ගෙවයි. විවාහක අවිවාහක බවේ සාධාරණ කොටස (fare share) තීරණය කිරීමත් ආණ්ඩුවට බාරගෙන ඇත!!!!!

ඇමෙරිකාවේ සමාජවාදය ඇරඹෙන්නේ 1913 දී කිව්වොත් නිවැරදිය. එනම් පුද්ගලික දේපල අයිතිය උදුරා ගන්නට බලයක් ආණ්ඩුවට ලැබීමෙනි. එහෙත් පැහැදිලිවම ඇමෙරිකන් ආණ්ඩුවේ අදටත් පවතින ව්‍යවස්ථාව කියා සිටින්නේ පුද්ගලයාගේ ජීවිතයට හා ඔහුගේ දේපලට ඇති අයිතිය ආණ්ඩුව විසින් දුන්නක් නොවේ කියාය. ඒ නිසාම එය උදුරාගත නොහැකි (inalienable) අයිතියක් කියාය. 16 වැනි සංශෝධනයෙන් එය පැත්තකට දාන්නට නීති සම්පාදකයන් කටයුතු කරන්නේ තමන්ගේ බලය වැඩිකර ගන්නටය. පුරවැසියන් ඒ නීති සම්පාදකයන් පළවා හැර එය අහෝසි කරන නීති සම්පාදකයන් පත්කර නොගන්නේ තමන්ට කෙළින්ම සොරකම් කළ නොහැක්ක ආණ්ඩුව ලවා සොරකම් කරවා ගැනීමටය.

ඉතින් පුද්ගලයාට අයිතීන් ලැබෙන්නේ බහුතර චන්දයෙන් පත්වෙන ආණ්ඩුවෙන් යැයි පිළිගත හොත්, ඒ අයිතීන් උදුරා ගැනීමට බලය ඇත්තේ ද ඒ ආණ්ඩුවට යැයි පිළිගන්නට සිද්ධ වේ. ඒකීය පුද්ගලයා විසින් වෙහෙසෙන ශ්‍රමයේ ඵලදාව උදුරා ගන්නට බහුතරයාට අයිතියක් ඇත්නම් ඔහුගේ වෙනත් ඕනෑම සම්පතක් උදුරාගත හැකියාව ද ආණ්ඩුවටත් බහුතරයාටත් ලැබේ.

මෑත ඇමෙරිකන් ඉතිහාසයේ පැහැදිලිව ආණ්ඩුව විසින් කරන ලද වැරදි දැකගන්නට ජනතාවට අවස්ථාවක් ලැබුණි. වැරදීම් ඒ ආණ්ඩුව සහ මේ ආණ්ඩුව කරන ලද ඒවා කියමින් පිල් බෙදුනා මිසක කොයි ආණ්ඩුවෙන් වුනත් සිද්ධ වූයේ වැරදි සැලසුම් බව වටහා ගන්නට ජනතාව නොදත්හ. පුද්ගලික ව්‍යාපාරියෙකු කරන වැරදි සැලසුම් නිසා ඔහුට පාඩු සිද්ධ වේ. ඔහු ආයෝජනය කරන ලද ඔහුගේ මුදල් අහිමි වේ. ව්‍යාපාරය බංකොළොත් වෙයි. ආණ්ඩුවක් කරන වැරදි සැලසුම් දකින්නට බැරි ජනතාව ඒ වැරදිම් නැවත නැවතත් කරන අයව බලයට පත් කරගන්නේ ද, රට බංකොළොත් වීමේ දී අහිමි වෙන්නේ පුරවැසියන්ගේ මුදල්. විනාශයට යන්නේ තමන්ගේ ආර්ථිකයයි.

මේ වසන්තයේ දී නරඹන්න බුබ්බුලය පුපුරා ගියේ කොහොම දැයි විස්තර කරන ඇමෙරිකන් චිත්‍රපටිය:

Advertisements

36 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on ජනවාරි 25, 2013 at 12:24 ප.ව.

    සුන්දර පැහැදිලි කිරීමක් ……

  2. Madu said, on ජනවාරි 25, 2013 at 12:27 ප.ව.

    දිනන එකාටම දිය යුතුයි, බලය තිබෙන පැත්තට දිය යුතුයි, …. මේ ආකාරයේ නොයෙකුත් සිතුවිලිවලින් බහුතරයකගේ ඔළු පිරිලා. නමුත්, එම ඔළු ගෙඩි තුළ ඇති මොළ ගෙඩිය භාවිත කරනුයේ ඉතා සුලු පිරිසක්.
    ගසා කෑමට අද ජනතාව කෑ මොර දුන්නද නැවත ඡන්දයකදී බලන්න. ඔබ කියනා ආකාරයට දූෂිතයන් ම බලයට ගේන්න සැදී පැහැදී සිටිනා අයුරු. මේයද ඇත්තෙන්ම ආශ්චර්යක්.

    • arunishapiro said, on ජනවාරි 25, 2013 at 10:49 ප.ව.

      Madu,

      සාධාරණයක් සලසන වේශයෙන් සලසන්නේ අසාධාරණයක් බව වටහා ගැනීමට නොහැකි නිසයි හැමෝම එකතු වෙලා හැමෝවම කොල්ල කන්නෙ. අසාධාරණයක් අත්විඳින පුද්ගලයා ඒ නිසා තව කෙනෙකුට අසාධාරණයක් කළාට කමක් නැතැයි කියන තැනට ආවාම බැස්ටියාට් කිව්වෙ හැමෝම හැමෝවම කොල්ල කාලා නැත්තටම නැතිවෙන ගාණට ආවට පස්සෙ තමයි මොළේ යාන්තමකට පෑදෙන්නෙ කියල. හත් අවුරුදු සාපයකින් පස්සෙ මිනිස්සු පොඩ්ඩක් වෙනස් වුනා. ඒත් ඒ ඇයි කියල වටහා ගත්තෙ නැති නිසා -මොළය දියුණු නොවුනු නිසා දැන් ආයෙත් ආපස්සට ගිහින්.

      • Madu said, on ජනවාරි 29, 2013 at 4:51 ප.ව.

        මා දන්නා පරිදි පැවති යුද්ධය ද එයට ප්‍රධාන වශයෙන් හේතුභූත වූවා. එය පාදක කර ගනිමින් මිනිසුන් තවදුරටත් පීඩනය විඳ දරා ගැනීමට ශක්තිමත් වූවා. නමුත්, දෙවන ලෝක යුද්ධය පවා වසර 4 කට වඩා අලෙවි කිරීමට නොහැකි වූ බව මා අසා තිබෙනවා. තවදුරටත් ජනතාව අතර අළෙවි කර ගත හැකි වස්තුවක් නැති බැවින් දැන් දැන් නිතර හොල්මන් කරනුයේ එය දැයි කියා විටෙක සිතෙනවා.

        • arunishapiro said, on ජනවාරි 29, 2013 at 6:00 ප.ව.

          Madu,

          ඔව්, යුද්ධයක් පවතින කාලයක දී ජනතාව රවටන්න ඉතා පහසුයි. බජට් පාස් කරගන්න බැරිව මේ ජනවාරියේ සිට ඉහළ ගිය බදු නිසා ජනතාවගේ පඩි පැකට්ටු අඩු වෙලා කියල දැක්කම තමයි ජනතාවට පෙනිලා තියෙන්නේ ඉහළ ගිහින් තියෙන්නේ මිලියෙනර්ලාගේ බදු විතරක් නෙමෙයි කියල. සමාජවාදය කරා යන ආර්ථිකයක් සෑහෙන්න අඩපණ වෙන්න ඕනෑ බහුතර පුරවැසියන් අවදි කරවන්නට. මිනිස්සු දුක් විඳින්න හුරු වුනාම සැප කුමක් දැයි අමතක වෙලා යනවා. අද ලෝකයම එකට සමාජවාදය කරා යද්දී ආර්ථිකය අඩපණ වෙන වේගයත් වැඩි නිසා මොළය පෑදෙන්නත් යන කාලය අඩු වේවි කියලත් හිතෙනවා!!!!!

          • Madu said, on පෙබරවාරි 2, 2013 at 4:38 පෙ.ව.

            සමාවෙන්න, මා කියනුයේ එවැන්නක් නොවේ.
            සමාජවාදයකරා යන ගමනේ දී ආර්ථිකය අඩපන වෙනවායි යනුවෙන් ආදේශ කිරීම වැරැදියි. මන්ද යත් මේ සමාජවාදයක් නොවන බැවිනුයි. නමුත්, ලේබලයක් අලවාගෙන ඇත. වර්තමාන දූෂිත පාලකයන්ගේ ගමනේ බැරපැන සමාජවාදී ගිණුමෙන් හර කිරීම සාධාරණ නැහැ. අඩුම තරමේ අඩුම වශයෙන් ඔහුන් දන්නා සමාජවාදයක් හෝ නැහැ.
            නිවැරැදි සමාජවාදී හෝ ධනේශ්වර හෝ පාලනයක දූෂණයක් දැකිය නොහැකියි.

          • Madu said, on පෙබරවාරි 2, 2013 at 6:54 පෙ.ව.

            සමාවෙන්න, මා කියනුයේ එවැන්නක් නොවේ.
            සමාජවාදයකරා යන ගමනේ දී ආර්ථිකය අඩපන වෙනවායි යනුවෙන් ආදේශ කිරීම වැරැදියි. මන්ද යත් මේ පවතිනුයේ සමාජවාදයක් නොවන බැවිනුයි. නමුත්, ලේබලයක් අලවාගෙන ඇත. වර්තමාන දූෂිත පාලකයන්ගේ ගමනේ බැරපැන සමාජවාදී ගිණුමෙන් හර කිරීම සාධාරණ නැහැ. අඩුම තරමේ අඩුම වශයෙන් මෙකී පාලකයන් (සමහරක්) දන්නා සමාජවාදයක් හෝ දේශපාලනයක් නැහැ. පසුගිය කාලේ තේරී පත්වූ මන්ත්‍රීන් සහ මන්ත්‍රිණියන් කිහිපදෙනෙක් ම රියැලිටි කරණයේ ප්‍රතිඵලයක්.
            නිවැරැදි සමාජවාදී හෝ ධනේශ්වර හෝ පාලනයක දූෂණයක් දැකිය නොහැකියි.

  3. Sharanga said, on ජනවාරි 25, 2013 at 11:01 ප.ව.

    බදු වලට මගේ විශේෂ කැමැත්තක් නැහැ. ඒත් ඔබ්ජෙක්ටිවිස්ට්ලාගෙ මේ අන්ත බදු විරෝධය විකාරයක්. අයන් රෑන්ඩ් ට අනුව මිනිස්සුන්ට තියෙන්නේ ඍණ අයිතීන් (negative rights) පමණයි. ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයක එකම අරමුණ මිනිසෙක් තවත් මිනිසෙකුගෙ නිදහසට බාධා කිරීම වැළැක්මීම පමණයි. ඒ නිසා ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව පොලීසියක්, උසාවි හා හමුදාවක් පවත්වාගැනීම රජයක කාර්යභාරය වෙනව. හැබැයි ඊට වැඩිපුර කිසි දෙයක් රජයක් නොකළ යුතුයි. කොටින්ම මේ කතන්දරේට අනුව ගිනි නිවන හමුදාවක්වත් පවත්වාගන්න බෑ. මොකද ස්වභාවික ආපදා වලින් මිනිස්සු ගලවා ගැනීම රජයකට අයිති වැඩක් නෙවෙයි. ඒවගේම ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයකට සුනාමියක් ආවොත් එහෙම කපෝතියි..ඒ රජය විපතට පත් වුන මිනිස්සුන්ට උදව් කරන්නැහැ. ඒ විතරක් නෙවෙයි, ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව උදව් දෙන එකත්, උදව් ගන්න එකත් immoral දේවල්. ඉතින් ගෙදරක් නැතුව පාරට වැටිලා ඉන්න මිනිහා ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක්නම් මිනිහට සදාකාලෙටම පාරෙම තමයි.

    හැබැයි ලස්සන වැඩේ තමයි මේ කතා ඔබ්ජෙක්ටිවිස්ට්ලාට කියල දුන්න අයන් රෑන්ඩ්ම තමන්ට අසනීප වුන වෙලාවේ ආණ්ඩුවෙන් දෙන සෞඛ්‍යය සහනාධාරය (medicare) ගත්ත එක. අද කාලේ ඔබ්ජෙක්ටිවිස්ට්ලා මිනිසුන් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන් නෑ කියල හිතනව වගේ ඒ කාලේ ඔබ්ජෙක්ටිවිස්ට්ලා හිතුව දුම්පානය නිසා පෙනහලු පිළිකා හැදෙන්නැහැ කියල. අයන් රෑන්ඩ් දැඩි ලෙස දුම්බීමට ඇබ්බැහි වෙලා හිටියේ. ඒ නිසා ඇයට පෙනහලු පිළිකාවක් හැදුනා. ඒ වෙලාවෙ රෑන්ඩ් තම සෞඛ්‍යය සහනාධාරය Ann O’Conner (සැමියා Frank O’Connor) කියන නමින් ලබාගත්තා.

    අයන් රෑන්ඩ් හැමෝටම කරන්න එපා කියලා අවවාද කරපු දේ තමන්ම කලා. ඔබ්ජෙක්ට්විස්ට් දර්ශනය අනුව ඒවගේ උදව් ගන්නේ morally weak මිනිස්සු. අයන් රෑන්ඩ් මේ අනුව දෙපිටකාට්ටුවෙක්. හැබැයි ඇය ඔබ්ජේට්ටිවිස්ට්ලා කල යුතු පරිදි තම rational self-interest එක වෙනුවෙන්නම් හොදට වැඩ කරල තියෙනව.

    දැන් අයන් රෑන්ඩ් මෙහෙම කලා කියල ඔබ්ජේක්ටිවිස්ම් බොරු වෙන්නෙ නැහැ. මට පැහැදිලි කරන්න ඕන මේ දර්ශනයේ අප්‍රායොගිකත්වය.

    ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව බදු ගැසීම අනිවාර්යය නොවී ස්වකැමැත්තෙන්ම විය යුතුයි. Virtue of Selfishness පොතේ ඇය ලිව්ව මෙහෙම:

    In a fully free society, taxation—or, to be exact, payment for governmental services—would be voluntary. Since the proper services of a government—the police, the armed forces, the law courts—are demonstrably needed by individual citizens and affect their interests directly, the citizens would (and should) be willing to pay for such services, as they pay for insurance.

    ඒ අනුව මිනිසුන් ස්වකැමැත්තෙන් බදු ගෙවන ක්‍රමයකට රජයක් යා යුතුයි. නීති මගින් බදු ගෙවීම අනිවාර්යය කර එම නීති කඩන්නන්ට දඩුවම් නොකළ යුතුයි. පොඩි පරහකට තියෙන්නෙ rationally self-interested මනුස්සයෙක් ස්වකැමැත්තෙන්ම බදු ගෙවන්නෙ මොකටද කියල. එහෙම ගෙවන්න හේතුවක් නැහැ. තමන් ගෙව්වෙ නැතත් අනිත් අය ස්වකැමැත්තෙන්ම බදු ටික ගෙවනවනම් තමන් මොකටද බදු ගෙවන්නෙ? මෙහෙම ඔබ්ජෙක්ටිවිස්ට් රටක මම හිටියානම් මම කරන්නෙ කාටවත් නොකියා බදු නොගෙවා ඉන්න එක. මම දැනටත් සාමාන්‍යයෙන් ඡන්දය දාන්නෙ නැහැ. මොකද ඡන්දය දාන්න යන එක irrational වැඩක්. මගේ ඡන්දයෙන් ඡන්ද ප්‍රතිපලය වෙනස් වෙන්න තියෙන සම්භාවිතාවය මිලියන ගානකට එකක්. ඉතින් මොන හේතුවකටද මම මගේ කාලය ශ්‍රමය හා මුදල් වැයකරලා ඡන්ද දාන්න යන්නෙ. මේ බදු වැඩෙත් ඒ වගෙම වැඩක්. ඉතින් ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයක් හැදුවොත් ඒකට පවතින්න පුලුවන් irrational මිනිස්සු (ඡන්ද දාන, බදු ගෙවන) හිටියොත් විතරයි. Rationally self-interested පිරිසක් හිටියොත් මේ රාජ්‍යයය කඩාගෙන වැටෙනව.

    • arunishapiro said, on ජනවාරි 26, 2013 at 9:48 පෙ.ව.

      Sharanga,

      ස්වකැමැත්තෙන් බදු ගෙවිය යුතු යැයි අයින් රෑන්ඩ් කියා නැහැ. මමත් කිසිම තැනක එහෙම කතාවක් කියා නැහැ.

      ස්වකැමැත්තෙන් බදු ගෙවන කෙනෙක් හොයා ගන්න බැරි නිසයි බදු නොගෙනවන අයට දඬුවම් නියම කරලා බලහත්කාරයෙන් බදු උදුරා ගන්නෙ කියලා ඇති තරමට කියලා මම කියලා තියෙනවා.

      ඡන්දය නොදැම්මට හිරේ දාන්නෙ නැහැ. ඒත් බදු නොගෙව්වම හිරේ දානවා. ඉතින් ඒ නිසා බදු වැඩේ ඡන්දෙ වැඩේ වගේ නෙමෙයි.

      ඔබට රිසි අයුරින් දර්ශනයක් පටලවා ගෙන ඒක විග්‍රහ කරන්න යන්නේ ඇයි?

      • Sharanga said, on ජනවාරි 26, 2013 at 10:08 පෙ.ව.

        //ස්වකැමැත්තෙන් බදු ගෙවිය යුතු යැයි අයින් රෑන්ඩ් කියා නැහැ.//

        මට දැන් ප්‍රශ්නයක් එනව ඔබ ඔබේම දර්ශනයෙ පොත පත කියවල තියෙනවද කියල. ඒ වගේම මට ප්‍රතිචාර දක්වන්න කළින් ඔබ මගේ කමෙන්ට්ස් හරියට කියවනවද කියල. මම කළිනුත් උපුටා දක්වපු රෑන්ඩ්ගේ Government Financing in a Free Society රචනාවේ ඇය මෙහෙම ලියනව:

        “In a fully free society, taxation—or, to be exact, payment for governmental services—would be voluntary. Since the proper services of a government—the police, the armed forces, the law courts—are demonstrably needed by individual citizens and affect their interests directly, the citizens would (and should) be willing to pay for such services, as they pay for insurance.”

        මම පරිවර්ථනයට දක්ෂ නැති නිසා ඔබටම පුලුවන් ඔබේ පාඨකයන්ගේ දැනුම වර්ධනය උදෙසා එය පරිවර්තනය කරන්න. In a fully free society taxation would be voluntary කියල කිව්වට පස්සෙත් ඔබ කියන්නෙ ස්වකැමැත්තෙන් බදු ගෙවන්න රෑන්ඩ් කිව්වේ නෑ කියලද?

        මම ඔබේ දර්ශනය පටලවගෙන නැහැ. මම කියන්නෙ ඔබේ පොත්වල තියෙන දේවල්ම තමයි.

        • arunishapiro said, on ජනවාරි 26, 2013 at 7:03 ප.ව.

          Sharanga,

          ස්වාර්ථකාමයේ සද්ගුණය -The Virtue of Selfishness (1961) පොතේ නිවහල් සමාජයක ආණ්ඩුව ෆිනෑන්ස් කරන ආකාරය -Government Financing in a Free Society යන රචනාව ඔබට කැමති විදියට හැඩගස්වා ගෙන ඇති ආකාරය මා පැහැදිලි කරදෙන්නම්.

          මුලින්ම බදු යනු කොල්ලකෑමක් බව පිළිගන්නට ඕනෑ ඊ ළඟට රජයක් නඩත්තු කරන හැටි ගැන කතා කරන්න යැයි මා කිව්වේ මේ නිසාම තමයි.

          රූන්ඩ් රචනාව පටන් ගන්නේ මේ ප්‍රශ්නයෙන්: “සම්පූර්ණ නිවහල් සමාජයක ආණ්ඩුවේ උවමනා සඳහා මුදල් සපයන්න සුදුසු ක්‍රමය කුමක් ද?” -What would be the proper method of financing the government in a fully free society?

          ඊට උත්තර දීම ඇය පටන් ගන්නේ මෙසේය: “මේ ප්‍රශ්නය සාමාන්‍යයෙන් අසන්නේ, නිවහල් සමාජයක පවතින ආණ්ඩුවට භෞතික බලයක් මුලින්ම පාවිච්චියට අවසර නැත, යන විෂයමූලිකවාදී මූල ධර්මය සම්බන්ධයෙනි. නිවහල් සමාජයක පවතින ආණ්ඩුවකට බලය පාවිච්චියට අවසර ලැබෙන්නේ ආණ්ඩුවට එරෙහිව බලය පාවිච්චි වෙන පමණක් වූ ඒ එකම අවස්ථාවේ දී පමණි. බදු පැනවීම යනු බලය පාවිච්චියට මුලින් ඉදිරිපත් වීම නිසා, එවිට විමසන්නේ, නිදහස් රටක ආණ්ඩුවක් එහි නිසි සේවයන් සපයනු සඳහා මුදල් සොයා ගන්නේ කෙසේද යන්නයි. -This question is usually asked in connection with the Objectivist principle that the government of a free society may not initiate the use of physical force and may use force only in retaliation against those who initiate its use. Since the imposition of taxes does represent an initiation of force, how, it is asked, would the government of a free country raise the money needed to finance its proper services?

          ඊ ළඟ කොටසේ ඇය ලියන්නේ ඔබ උපුටන කොටස. ඒත් එය උපුටද්දී නිවැරදිව දක්වන ඔබ එය තර්කයට යොදා ගනිද්දී එහි වැදගත්ම කොටස අයින් කරලා ලියනවා.

          “සම්පූර්ණයෙන් නිවහල් සමාජයක, බදු –නොහොත්, හරියටම නිවැරදිව කියනවා නම්, ආණ්ඩුවේ සේවා සඳහා ගෙවීම්– ස්වේච්ඡාවෙන් සිදුවන්නකි. -In a fully free society, taxation, -or to be exact, payment for government services- would be voluntary.

          එතැන් සිට රූන්ඩ් විසින් සිය රචනාව පුරා පැහැදිලි කරන්නේ බදු අයකරන්නේ නැතිව, ස්වේච්ඡාවෙන් දෙන මුදල් වලින්, -පොලීසිය, යුද හමුදාව, උසාවි- යනාදී ආණ්ඩුවේ සේවාවන් සඳහා වූ වියදම් පිණිස මුදල් සපයන (financing) ආකාරයයි.

          තව දුරටත් විස්තර කරන රූන්ඩ්: මේ මූල ධර්මය පාවිච්චියට හැකියාව ඇත්තේ සම්පූර්ණයෙන් නිවහල් වූ සමාජයක පමණි, ව්‍යවස්ථාදායකව ආණ්ඩුවක් එහි නිසි වූ තරමට, එහි ප්‍රාථමික කටයුතු සඳහා පමණකට බලයෙන් අවම කර ඇති විටෙක පමණි, ඒ නිසා එවැනි ස්වේච්ඡාවෙන් මුදල් සපයන විශේෂ ආකාරයක් තෝරාගැනීම ගැන අද කතා කිරීම කාලය කිසිත්ම ලෙසින් පැමිණ නැත. -The choice of a specific method of implimentation is more than premature today -since the principle will be practicable only in a fully free society, a society whose government has been constitutionally reduced to its proper, basic functions.

          මීට කලින් පරිච්ඡේදය ඇය වෙන් කරන්නේ “ආණ්ඩුවක ස්වභාවය” -The Nature of Government කුමක් දැයි පහදා දෙන්නටයි. ඉතින් ඉහත වාක්‍යයේ //ආණ්ඩුවක් එහි නිසි වූ තරමට, එහි ප්‍රාථමික කටයුතු සඳහා පමණකට// යනු මොනවා දැයි දැනගන්නට එය කියැවන්න යැයි ඇය කියා තිබෙනවා.

          ඊ ළඟට රචනාවේ ඇය යෝජනා කරන්නේ කැමැත්තෙන් මිල දී ගන්නා ලොතරුයි විකුණන ක්‍රමයකින් ආණ්ඩුවේ ලොතරැයි මණ්ඩලයක් මඟින් ආදායමක් උපයා ගන්නා ආකාරයයි. අද ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ ඇමෙරිකන් ප්‍රන්ත වලද ලොතරැයි විකුණා එසේ ආණ්ඩුවේ වියදම් සඳහා මුදල් සොයා ගන්නවා. ඒත් බදුත් ගහනවා!!!!!

          අනතුරුව ඇය ආණ්ඩුව විසින් සැපයිය යුතු වැදගත් සේවයක් නම්, ගිවිසුම් වලින් එකඟතා ගසාගන්නා පුරවැසියන්ව ආරක්ෂා කිරීම යැයි උදාහරණයක් ගෙනෙනවා. මොකද නිවහල් සමාජයක පුද්ගලයන් අතර කැමැත්තෙන් සිද්ධ වන ගිවිසුම් වලින් තමයි කටයුතු කෙරෙන්නේ. ඒ ගිවිසුම් කඩනා අයට විරුද්ධව ගත හැකි මාර්ගය තමයි ආණ්ඩුව විසින් සැපයිය යුත්තේ. එනම් ගිවිසුමේ නීත්‍යානුකූලත්වය පසඳාලීම තමයි ආණ්ඩුවේ සේවය. ඉතින්, මුදල් ගෙවා කරන ඕනෑම ගණුදෙනුවක් එකඟත්වයකින් වෙන ගිවිසුමක් (contractual agreement). අයෙක් එවැනි ගිවිසුමක් ලබාගන්නට කැමති නම් පමණක් ස්වේච්ඡාවෙන් ඊට රක්ෂණයක් ලබාගත හැකියි කියන ඇය ඒ රක්ෂණය ලබා ගැනීම පිණිස ආණ්ඩුවට ගෙවන මුදල් ආණ්ඩුවේ වියදම් සඳහා පාවිච්චි කළ හැකියි කියනවා.

          එම රක්ෂණය වැනි ස්වේච්ඡාවෙන් ගෙවිය යුත්තක් මිස ඇය බද්දක් (tax) අය කළ යුතු යැයි උදාහරණයකට ගෙන නැත. ඒ 1961 දී. 2013 වෙද්දී ඇමෙරිකානුවන්ට සෞඛ්‍ය රක්ෂණය ද ආණ්ඩුවේ බලහත්කාරය පාවිච්චියෙන් (සෞඛ්‍ය රක්ෂණය ගත්තේ නැත්නම් දඩයක් වැදෙන) මිල දී ගත යුත්තක් වෙලා!!!!!

          ඇය ප්ලෑන් එකක් හැටියට මෙම රචනාවේ එය සඳහන් කරන්නේ ගැටළුව විසඳිය හැකි ක්‍රමයට උදාහරණයක් පමණක් ලෙසින් යැයි කියද්දී ඒ වැඩසටහන අද්වකාත් කරන හෝ එය නිශ්චිත පිළිතුරක් යැයි නොකියන බවත් ලියා ඇත.

          “ස්වේච්ඡාවෙන් ආණ්ඩුවේ වියදම් පියවීම සඳහා මුදල් සොයන වැඩසටහනක් පළමු පියවර නොවේ, එය නිවහල් සමාජයකට යන මාර්ගයේ අවසන් පියවර විය යුතුයි. එය පළමුවෙන් ප්‍රතිසංස්කරණය කළ යුත්ත නොව අවසානයේ දී කළ යුත්තයි. එය වැඩ කරන්නේ නිවහල් සමාජයක ප්‍රධාන මූල ධර්මයන් හා ආයතන පිහිටුවා ගත් පසුයි. එයින් අද වැඩක් වෙන්නේ නැහැ.” -Any program of voluntary government financing is the last, not the first, step on the road to a free society- the last, not the first, reform to advocate. It would work only when the basic principles and institutions of a free society have been established. It would not work today.

          ‘මිනිසුන් තමන්ගේ ගණුදෙනු ආරක්ෂා කරගන්නට ස්වේච්ඡාවෙන් රක්ෂණයක් මිල දී ගන්නා වැඩ සටහනක් මඟින් නිසි ආණ්ඩුවක නීත්‍යානුකූල කටයුතු වල වැය ගෙවන්නට ඉතා සෑහේ.” -A program of voluntary government financing would be amply sufficient to pay for the legitimate functions of a proper governmet.

          ඉතින්, අයින් රූන්ඩ් කියා ඇත්තේ ස්වකැමැත්තෙන් බදු ගෙවිය යුතු යැයි කියා නෙමෙයි!!!! ඇය ඒ රචනාවෙන් පැහැදිලි කරන්නේ ස්වකැමැත්තෙන් ආණ්ඩුවේ වියදම් පියවා ගත හැකි වැඩසටහන් ගැනයි.

          ඇය කිව්වා වගේම, මාත් කියන්නේ, අපි ඒ වැඩසටහන් ගැන කතා කරන්නට කළින් මගේ උත්සාහය සාර්ථක වී ඇත්තේ උත්සාහය මගේ නිසා බව පිළිගන්නට ඕනෑ!!!!! 😀

          සමහර විට අයින් රෑන්ඩ් දර්ශනය තමන් විසින් නොකියවා Sharanga විසින් අනිකුත් අයගේ විවේචන වලින් එය කුමක්දැයි තේරුම් ගන්නට යෑම නිසා වැරදියට වටහා ගෙන ඇතැයි ද සිතෙනවා.

          • Sharanga said, on ජනවාරි 26, 2013 at 10:15 ප.ව.

            //බදු -නොහොත්, හරියටම නිවැරදිව කියනවා නම්, ආණ්ඩුවේ සේවා සඳහා ගෙවීම්- ස්වේච්ඡාවෙන් සිදුවන්නකි//

            හොදයි. ඔබ මේ ආණ්ඩුවට ස්වේච්ඡාවෙන් කරන ගෙවීම් බදු වශයෙන් හදුන්වන්න අකමැතිනම් මම ඒව “ජම්බු” වශයෙන් හදුන්වන්නම්. වචනයක නිර්වචනය වෙනුවෙන් යුද්ධ කරන්න මම ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක් නෙවෙයි.

            මේ අවසාන කමෙන්ට් ඒක තුල ඔබ ඇත්තටම කරල තියෙන්නෙ මම කියපු දේ ආයෙමත් කියන එක මිසක් අහපු දේවල් වලට උත්තර දෙන එක නෙවෙයි. ඔබ දීර්ඝ වශයෙන් ලියල තියනව ඔබ්ජෙක්ටිවිස්ට් රජයක කාර්යයභාරය ගැන. ඒක ගැන මම කලින් කෙටියෙන් ලිව්ව, රජයක් කාර්යයභාරය පොලීසියක්, උසාවියක් හා හමුදාවක් පවත්වාගැනීම පමණයි කියල. ඔබ ඒ ටිකම ආයෙත් කියල වැඩක් නැහැ. මම මෙතනදි මතු කරපු ප්‍රශ්නය තමයි මේ ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයට සුනාමියක් ආවොත් මොකද වෙන්නෙ කියල. ගිනි නිවන හමුදාවක්වත් පවත්වගන්නැති මේ ඔබ්ජෙක්ටිවිස්ට් රටේ සුනාමියෙන් අවතැන් වෙන මිනිස්සුන්ට මොකද වෙන්නෙ?

            ඒක පළවෙනි ප්‍රශනය. අපි නැවතත් ජම්බු වලට යමු. නිවහල් සමාජයේ සාමාජිකයන් රජයට ජම්බු ගෙවිය යුතුයි කියල රෑන්ඩ් කියනව. මම අහපු ප්‍රශ්නය තමයි මොන හේතුවක් මතද rationally self-interested agent කෙනෙක් ඔය ජම්බු ටික ගෙවන්නෙ කියල. මේ අහන ප්‍රශ්නය හුගක් ඔබ්ජෙක්ටිවිස්ට්ලාට නොතේරුනාට game theory තුල බරපතල විදිහට අධ්‍යයනය කරපු ප්‍රශ්නයක්. මේක හදුන්වනව assurance problem කියල. කල්පනා කරල බලන්න මේවගෙ රාජ්‍යයක rationally self-intereted මනුස්සයෙක් මොකද කරන්නෙ කියල.රජයෙන් ලබාදෙන සේවා වලින් වාසියක් ලබා ගන්න ඔහුට පුලුවන්. හැබැයි ඔහුට ඊටත් වඩා වාසියක් ලබාගන්න පුලුවන් ඒ සේවාවන් ඔහු නොමිලේම ලබා ගන්නවනම්. ඉතින් මේ වගේ අවස්ථාවක rationally self-interested මිනිහෙක් කළ යුත්තෙ සත පහක් වත් (ජම්බු ) රජයට නොගෙවා ඉන්න එක. අනික අතට හිතන්න මේ සමාජයේ ඉන්න හැමෝම rationally self-intersted මිනිස්සු කියල. ඒතකොට අපි දන්නව අපි ඔක්කම නොමිලේ බඩු ගන්න හදනව කියල. එවැනි අවස්ථාවක ජම්බු ගෙන්වන එක අන්තිම irrational වැඩක්. මේක ආඩි හත් දෙනාගෙ කතාව වගේ. හැම ආඩියම බලන්නේ නිකන් බත් කන්න. ඒ නිසා කවුරුවත් හාල් මිටක් දාන් නැතුව අනික් අයගේ ඒව කන්න බලනව. අනික් අතට හැම ආඩියම දන්නවනම් අනික් හය දෙනාම හාල් දාන් නෑ කියල තමන්ගෙ හාල් ටික දාන එක අන්තිම මෝඩ වැඩක්. කලින් කිව් පරිදි game theory තුල මේ ප්‍රශනය හදුන්වනව assurance problem කියල. රජයක් කරන්නේ බලය යොදලා assurance problem එක විසදන එක.

            එතකොට දෙවෙන් ප්‍රශ්නය තමයි, දැන් මේ ප්‍රශ්නයට ඔබ්ජෙක්ටිවිස්ට්ලා දෙන උත්තරේ මොකද්ද? මම දන්න තරමින් ඔවුන් assurance problem කියල දෙයක් තියෙනව කියල පිළිගන්නැහැ. මේක සම්බන්ධයෙන් කොච්චර විද්‍යාත්මක පර්යේෂණ කරල තිබුනත් ඔබ්ජෙක්ටිවිස්ට්ලාට ඒවයින් වැඩක් නැහැ. පීකොෆ් කියන විදිහටම ඔබ්ජෙක්ටිවිස්ට්ම් කියන්නෙ closed system එකක්. අයන් රෑන්ඩ් කියපු දේ දේව වාක්‍යය වගේ.

            //ඊ ළඟට රචනාවේ ඇය යෝජනා කරන්නේ කැමැත්තෙන් මිල දී ගන්නා ලොතරුයි විකුණන ක්‍රමයකින් ආණ්ඩුවේ ලොතරැයි මණ්ඩලයක් මඟින් ආදායමක් උපයා ගන්නා ආකාරයයි. අද ලංකාවේ විතරක් නෙමෙයි බොහෝ ඇමෙරිකන් ප්‍රන්ත වලද ලොතරැයි විකුණා එසේ ආණ්ඩුවේ වියදම් සඳහා මුදල් සොයා ගන්නවා. //

            අයන් රෑන්ඩ් rationality ගැන කටකැඩෙනකම් කතා කළාට ඒ ගැන වැඩි දෙයක් දැනන් හිටියි නැහැ. ඒකට එක හේතුවක් තමයි Bayes theorem ඒක සාමාන්‍යය ප්‍රශ්න වලදී භාවිතය, heuristics හා biases සම්බන්ධ හුගක් පර්යෙෂණ සිද්ධ වුනේ අසූගණන් වලින් පස්සෙ. ඇය ඒව ගැන දැනගෙන හිටියනම් කීයටවත් ඔය ලොතරැයි උදාහරෙනෙ ගේන්නෙ නැහැ. මොකද ලොතරැයි ගන්නනම් ඔබ අන්තිම irrational මනුස්සයෙක් වෙන්න ඕන. මිනිස්සුන්ට ලොතරැයි ගැනීම rational වැඩක් වගේ පේන්නෙ මිනිස්සු probabilistic reasoning වලට ස්වභාවයෙන්ම දුර්වල නිසා. ඒක අපේ පරිණාමික අතීතය හා බැදුන දුර්වලතාවයක්. ලොතරැයිය දිනන්න තියෙන සම්භාවිතාවය බිලියනයට එකයි කිව්වට මිනිසුන් ඒකෙන් තේරුම් ගන්නෙ ලොතරැයිය ගන්න එක මැටිමෝල් වැඩක් කියන එක නෙවෙයි, දිනන්න පුංචි හරි සම්භාවිතාවයක් තියනවනෙ කියල.ඉතින් හැමෝම rationally self-interested මිනිස්සුනම්, මේ ලොතරැයි ව්‍යාපාරෙත් කඩාගෙන වැටෙනව.

            ඔය ප්‍රශ්න දෙක තමයි මම මුලික වශයෙන්ම ඇහුවෙ. අර The choice of a specific method of implementation වලින් පටන් ගන්න කොටස මම මේ ළගදි උදිත ගේ බ්ලොග් එකේ උපුටා දැක්වුවා. මම එතනදි පෙන්නුම් කළේ මේ කියන ජම්බු වලින් යැපෙන රාජ්‍යයේ අප්‍රායෝගිකත්වය. ජම්බු වලින් යැපෙන්න ඕනේ ඕනේ කියල කිව්වට කොහමද යැපෙන්නෙ කියල රෑන්ඩ්වත් දන් නැහැ. අනික් කාරණේ තමයි හුගක් පණ්ඩිත කතා කිව්වට තමන්ට කරදරයක් වුනාම ආණ්ඩුවෙන් නිකන් දෙන දේ ගන්න ඔබ්ජෙක්ටිවිස්ට්ලාවත්, ලිබර්ටේරියන්ලාවත් පසුබට වෙන්නැහැ. අයන් රෑන්ඩ් එක්කෙනෙක්. මට මතකයි John Stossel රූපවාහිනී වැඩසටහනකදි කිව්ව ඔහුගේ නිවස සුළි කුණාටුවකින් විනාශ වුනාම ඔහු රජයේ ආධාර ගත්තා කියල. I felt bad about it afterwards ලු. හහ්.

            • arunishapiro said, on ජනවාරි 28, 2013 at 3:54 ප.ව.

              Sharanga,

              ඔබට වැටහුනේ නැතිවාට ඔබ අහපු දේවල් වලට මා උත්තර දී ඇති බවත්, මගේ පිළිතුරු කියවපු අනිත් අයට ද පැහැදිලි වී ඇති බවත් ඔවුන්ගේ ප්‍රතිචාර වලින් මට නම් දැකිය හැකියි.

              නිවහල් රාජ්‍යයකට සුනාමියක් ආවොත් අද සත්‍යය ලෝකයේ වගේ ම කටයුතු සිද්ධ වේවි; එවිට ද, සුනාමියට හසු නොවූ වැසියන් සුනාමියට හසු වූ වැසියන්ගේ ආධාරයට ඒවි, ධනවතුන් දුප්පතුන්ගේ ආධාරයට ඒවි. සුනාමියක දී වේවා චණ්ඩ මාරුතයක දී වේවා සෑම සභ්‍ය මිනිසෙක්ම තම ආණ්ඩුව ගැන ලැජ්ජාවකින් සිටින්නෙකි. අනුන්ගේ දේපල කොල්ල කන්නට දිනපතා හවුල් වෙන අයෙක් වෙතින් සුනාමියක දී උදව්වක් පතන්නේ තවත් කොල්ලකරුවෙකි!!!

              අපි රජය විසින් අධ්‍යාපනය සපයනවාට විරුද්ධය. එවිට සමාජවාදීන් කියන්නේ අපි අධ්‍යාපනයට විරැද්ධ යැයි කියාය. අපි රජය විසින් ආගමට ඇඟිලි ගැසීමට විරුද්ධය. එවිට සමාජවාදීන් කියන්නේ අපිට ආගම ඕනෑ නැතැයි කියනවා කියාය. අපි රජය විසින් සමානාත්මතාවය ස්ථාපිත කරන්න හදන උත්සාහයට විරුද්ධය. එවිට සමාජවාදීන් කියන්නේ අපි සමානාත්මතාවයට එරෙහි යැයි කියාය. ඉතින් මෙසේ දිගින් දිගට කියත හැකිය. එය හරියට රජය විසින් ධාන්‍ය වගා කරනවාට අපි අකමැති වෙද්දී අපි මිනිස්සුන්ට කන්න ලැබෙනවාට අකමැති වෙනවා යැයි සමාජවාදීන් කියන්නා සේ ය.

              සුනාමියට අවතැන් වූවන්ට ආධාර ආණ්ඩුව විසින් එකතු කරනවාට අපි අකමැතිය. එවිට සමාජවාදින් කියන්නේ අපි සුනාමියෙන් අවතැන් වූවන් දුක් විඳිනවාට කැමති යැයි කියාය!!!!!

              විෂයමූලිකවාදයේ අදහස් ඔබට අවශ්‍ය පරිදි වෙනස් කරගත්තාට එහි සත්‍යතාවය වෙනස් නොවේ.

              National Fire Protection Association දත්ත අනුව ඇමෙරිකාවේ 2011 වසරේ දී ආසන්න වශයෙන් 1,100,450 ක් ගිනිනිවන හමුදාවක සේවය කර ඇත. එයින් 31% ක් වෘත්තීය ගිනි නිවන භටයන් වෙද්දී 69% ක් ස්වේච්ඡාවෙන් ගිනි නිවන හමුදාවේ අයයි. අමෙරිකාවේ කෙටි ඉතිහාසයේ ගිනි නිවන හමුදාවේ ස්වේච්ඡා සේවය ඉතා ඉහළින් අගය කරන අපි ඔවුන්ගේ වියදම් පිණිස සල්ලි එකතු කරන උත්සව වලට සහභාගී වෙන්නේ කැමැත්තෙනි. අපි ඔවුනට මුදල් පරිත්‍යාග කරන්නේ කැමැත්තෙනි. අපේ ගිනි නිවන හමුදාවේ අය කිසිදිනෙක අපෙන් සොරකම් නොකරති!!!!

              //නිවහල් සමාජයේ සාමාජිකයන් රජයට ජම්බු ගෙවිය යුතුයි කියල රෑන්ඩ් කියනව.// අයින් රූන්ඩ් එහෙම කිව්වා යැයි ඔබ කියූ පමණින් එය සත්‍යයක් නොවේ. රජයක වියදම් පියවා ගන්නට මිනිසුන් කැමැත්තෙන් නැතහොත් ස්වේච්ඡාවෙන් ගන්නා මාර්ග ගැනයි ඇය කතා කරන්නේ. එහෙම කැමැත්තෙන් අනුන්ට උදව් කරන මිනිස්සු ඉන්නවා කියල නොදන්නේ අනුන්ගේ සල්ලි හොරකම් කරලා දුප්පතුන්ට දීලා තමන් මහා දානපතියෝ වගේ වැජඹෙන මර්වින් … මැරයන් විතරයි!!!!!

              සූදු කෙළියට ප්‍රසිද්ධ මොනාකෝ හි බලහත්කාරයෙන් උදුරා ගන්නා ආදායම් බදු නැති ආණ්ඩුවක් ඇතැයි ද, එහි රැකියා හිඟයක් නැතැයි ද, එහි ඇත්තේ ලොව ඉහළම ප්‍රතිශීර්ෂ ආදායම යැයි ද, දකින්නට බැරි අය ලෝකයේ ඉතා ධනවත් රටවල් 15 ක ආදායම් බදු නැති බවත් දකින්නේ නැත. මොනාකෝ හි පුරවැසිභාවය ගත් ලෝක ටෙනිස් ශූර නෝවැක් ජෝකවිච් අන්තිම irrational මනුස්සයෙක් වෙන්නැති එහෙනම්!!!!!

              යථාර්ථවාදී ස්වායර්ථකාමියෙක් වූ පමණින් එයා මසිරු සිටාණෝ කෙනෙක් වෙනවා කියල බොරුවට මිනිස්සු රටවන්නේ ලොව ඉන්නා මැරයන් වෙති!!!! ඔවුන් ධනවතාගේ පොකැට්ටුවට හා දුප්පතාගේ පොකැට්ටුවට කිසි හිරිකිතයක් නැතිව එකසේ විදිති!!!!

              කටකතා වලින් තම තර්කයට කරුණු එකතු කරන අයට යථාර්ථය දකින්න හැකියාවක් ඇත්දැයි සැකයි. අයින් රූන්ඩ් සිය ජීවිතය පුරා ගෙවූ ආදායම් බදු වලට අමතරව social security සහ medicare කපාගන්නේ ඇයගේ කැමැත්ත අකමැත්ත අහන්නේ නැතිව ආණ්ඩුව විසින් බලහත්කාරයෙන්. එය ආපසු මහළු වියේ දී දෙනවා කියන පොරොන්දුවකින් කපා ගන්නා මුදලක්. අයින් රූන්ඩ් වැනි (ලේඛිකාවක්) ස්වයං ව්‍යාපාර වල යෙදෙන අය සේවායෝජකයා ගෙවන කොටස හා සේවානියුක්තියා ගෙවන කොටස වශයෙන් වෙන අයෙක් යටතේ වැඩ කරන කෙනෙකුට වඩා දෙගුණයකින් ගෙවිය යුතුයි. ඊ ළඟට ඇය social security සහ medicare ලබාගත් බවට අයින් රෑන්ඩ් විරෝධීන් සංදර්භ වෙනස් කරමින් පෙන්වන තවත් බොරු අතර ඇති එකම සාධකය නම් Evva Pryror නැමැත්තිය කියපු කතාවක්. ඒත් ඊවා ප්‍රයර් එහි දී “ඇය කළා එහෙම ඒත් ඇය කිව්වා අනිත් අයට එහෙම කරන එක වැරදියි කියා,” යන්න ද අසත්‍ය බව පෙනෙන්නේ අයින් රූන්ඩ් ලියන පරම මිනිසා පිළිබිඹු කරන මූලප්‍රභවය නොහොත් The Fountainhead පොතේ “මහජන (ආණ්ඩුවේ) ශිෂ්‍යත්ව ගැන වෙන මූල ධර්මයක් හා සැලකිල්ලට පාත්‍ර විය යුතු වෙනත් දේ ඇත. ආධාර බාරගන්නට අයිතියක් තිබේදැයි යන්න තීරණය වෙන්නේ ඔවුන් වෙතින් බලහත්කාරයෙන් උදුරා ගන්නා (කොටසක් හෝ) උපහටයන් ගේ පුද්ගලික දේපල අයිතිය මතයි. වැරැද්ද ඇත්තේ බලහත්කාරයෙන් ආදායමෙන් කොටසක් උදුරා ගැනීමේ මිසක තමන්ගෙන් උදුරා ගත්තකින් ඇබිත්තක් ලබා ගැනීම නොවේ. නමුත් ඇය එසේ ලබාගත් බවට සාධක ඇත්තේ විරුද්ධවාදීන් ලියන පොතක යොදාගන්නා එකම එක කාන්තාවකගේ වචනයක් මත පමණකි!!!!! අයින් රූන්ඩ් සිගරට් බිව්වාට කමක් නැතැයි කියා ඇත්තේ යැයි කටකතාව පැතිර යන්නේ ඇයගේ “ඇට්ලස් හැකිළුණි” පොතේ ඇය දැවෙන සිගරුට්ටුවක් මොළයේ ගින්නක් (නිර්මාණශීලී අදහස් වලින් පිරුණු ගින්නකට) සමාන කරන වාක්‍යය තමන්ට ඕනෑ හැටියට සංදර්භයෙන් පිටතට ගෙන යොදා ගන්නා අය විසින්. “I like to think of fire held in a man’s hand. Fire, a dangerous force, tamed at his fingertips. I often wonder about the hours when a man sits alone, watching the smoke of a cigarette, thinking. I wonder what great things have come from such hours. When a man thinks, there is a spot of fire alive in his mind–and it is proper that he should have the burning point of a cigarette as his one expression.” -Ayn Rand

              වෙහෙසන අයට තම පුද්ගලික ධනයට අයිතියක් කියන්න ලැබීමෙන් ඔවුන් දානපතියන් වී ඇති බව ලෝකයේ සත්‍ය තොරතුරු කියා පානවා. බිල් ගේට්ස්, වොරන් බෆට්, මාක් සුකර්බර්ග් විතරක් නෙමෙයි අද ඊයේ චීනයේ ධනපතියෙක් වෙන්න ඉඩ ලැබිච්ච අලිබාබා අයිතිකරු Jack Ma වයස 48 දී විශ්‍රාම යන්නෙ දානමානාදියේ යෙදෙන්නටලු. ස්වභාවයෙන් ම මොළය නිර්මාණය කර ඇත්තේ ත්‍යාගශීලී ධනවතුන්!!! යැයි ultimate game පර්යේෂණයෙන් විද්‍යාත්මකව පෙන්වා දුන්න ද, සත්‍ය ලෝකයේ කොච්චර සාධක ගෙනැවිත් යථාර්ථය මෙයැයි කියා පෙන්නුවත් තවත් තියරියක් තමන්ට ඕනෑ විදියට පාවිච්චියට ගෙන, මේ විද්‍යාව බොරුවක් සහ මේ යථාර්ථය බොරුවක් යැයි කියන අයට, ඔවුන් තර්ක කරන්න එකතු කරන කටකතා විතරක් නිවැරදියි අනිත් පැත්ත කියන එව්වා ඔක්කොම වැරදියි, උත්තර දී ඇති ඒවාටත් උත්තර දෙන්න බැහැ කියන අයගෙ මොළේ පාදන්න සමත් අයෙක් මේ ලෝකේ නැහැ.

              සබැඳියන් ඇතිව, මූලාශ්‍ර දක්වා, පහදා දෙන්නට මෙසේ මා ගත් කාලය නාස්තියක් නොවන්නේ මේ උත්තරය ලියන්නේ Sharanga ට නොවන නිසාය. මේ තොරතුරු තනිවම සොයාගන්නට නොදන්නා අයටත්, සිංහලෙන් පමණක් කියවන්නට දන්නා අයටත්, උපකාරයක් වනු ඇතැයි සිතා මෙසේ සටහන් තබමි.

              • Sharanga said, on ජනවාරි 29, 2013 at 6:46 පෙ.ව.

                මගේ කමෙන්ටුව පළ කරගැනීමට මෙච්චර කරදර වෙන්න සිදු වීම ගැන මම කණගාටු වෙනව. තමන්ගේ බ්ලොග් එකේ තමන්ට කැමති කමෙන්ට් පමණක් පළ කිර්‍රමට තමන්ට අයිතියක් තිබුණත් විරුද්ධ මත වාරණය කිරීම තමන්ගේ බුද්ධිමය අවංකකම ගැන ප්‍රශ්නයක්. මේක මගේ අන්තිම කමෙන්ටුව. ඒ නිසා මේක වාරණය කරන්න එපා.

                ස්වාහාවික ආපදා සම්බන්ධයෙන් වැදගත් කරුණු තුනක් තියෙනව. පළවෙනි දේ ඔබ්ජෙක්ටිවිස්ට් එතික්ස් වලට අනුව අපි rationally self-interested වෙන්න ඕන කියන එක. දෙවෙනි කාරණය තමයි charity පිළිබද රෑන්ඩ් ගේ පහත අදහස.

                My views on charity are very simple. I do not consider it a major virtue and, above all, I do not consider it a moral duty. There is nothing wrong in helping other people, if and when they are worthy of the help and you can afford to help them. I regard charity as a marginal issue. What I am fighting is the idea that charity is a moral duty and a primary virtue.

                – ප්ලේ බෝයි සගරාවේ අයන් රෑන්ඩ් සමග සාකච්ඡාවෙන් – 1964

                තුන්වෙනි කාරණය

                There is one word that is forbidden in this valley: the word ‘give.’
                -Atlas Shrugged – අයන් රෑන්ඩ්

                සාමන්‍යය මිනිස්සුන්ට හැගීමක් තියෙනව වෙනත් මිනිහෙක් කරදරයක වැටුනාම ඔවුන්ට උදව් කරන්න තමන්ට යුතුකමක් තියනව කියන එක. ඔබ්ජෙක්ටිවිස්ට්ලාට අනුව අපිට එහෙම යුතුකමක් නැහැ. එතකොට ඇතිවෙන සරළම ප්‍රශ්නය තමයි එහෙමනම් rationally self-interested මනුස්සයෙක් මොකටද කාටවත් උදව් කරන්නේ කියල. මිනිහෙක්ට උදව් කළා කියල මට ලැබෙන දෙයක් නැහැ. සමහර විට මාධ්‍යය හරහා ලොකු ප්‍රචාරයක් අරන් ප්‍රසිද්ධ වෙන්න පුලුවන්. නමුත් ඒ ඇරෙන්න ලැබෙන දෙයක් නැහැ. කෙනෙක්ට කියන්න පුලුවන් සතුටක් ලබන්න පුලුවන් කියල. නමුත් ඒ මුදලින් ඊට වඩා සතුටක් ගන්න පුලුවන් ක්‍රම ඕන තරම් තියනව.

                මම කිව්වෙ නැහැ ඔබ්ජෙක්ටිව්ස්ට්ලා අධ්‍යාපනයට විරුද්ධයි වගේ කතාවක්. මම කියන්නේ ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයකට ආපදාවකට මුහුණ දෙන්න බැහැ. පහසුම උදාහරණය තමයි කැත්‍රිනා කුණටුව. George W. Bush ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක් නෙවෙයි. නමුත් කැත්‍රිනා කුණාටුව ප්‍රසිද්ධයි ඒ ව්‍යසනයෙන් අවතැන් වුන මිනිස්සු වෙනුවෙන් ආණ්ඩුව කිසි දෙයක් නොකීර්‍රම ගැන. කැත්‍රිනා කුණාටුව පෙන්නුම් කළා ස්වභාවික ආපදාවන් වලට මුහුණ දෙන්න රජයක් අවශ්‍යයයි කියල. පෞද්ගලික ආධාර විතරක් මදි කියල. Rationally self-interested මිනිස්සු අඩු කාලෙකත් තත්වය මේක නම් rationally self-interested මිනිස්සුන්ගෙන් පිරිනු ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යය කොහම වෙයිද?

                *************************
                ගිනි නිවන හමුදාව ගැන කියනවනම් නියම ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක්ට ස්වේච්චාවෙන් ගිනි නිවන භටයෙක් වෙන්න බැහැ. මොකද කිසිම වාසියක් නැතුව තම ජිවිතය අනිත් අය වෙනුවෙන් පුජා කිරීම හෝ තර්ජනයට ලක් කිරීම අන්ත self-sacrificing වැඩක්. අයන් රෑන්ඩ් ඔබ දන්න පරිදි බොහම පැහැදිලිව කියල තියෙනව මේක වැරදියි කියල.

                “Sacrifice” is the surrender of a greater value for the sake of a lesser one or of a nonvalue. Thus, altruism gauges a man’s virtue by the degree to which he surrenders, renounces or betrays his values (since help to a stranger or an enemy is regarded as more virtuous, less “selfish,” than help to those one loves). The rational principle of conduct is the exact opposite: always act in accordance with the hierarchy of your values, and never sacrifice a greater value to a lesser one.

                – Ethics of Emergencies, Ayn Rand

                ඔබ අනිත් අය වෙනුවෙන් තමන්ට කිසි දෙයක් නොලැබෙද්දිත් ජිවිතය අන්තුරේ හෙලීම අගය කරනවනම් ඔබ ඔබ්ජෙක්ටිවිස්ට් කෙනෙක් නෙවෙයි.

                ************

                ස්වකැමැත්තෙන් ආණ්ඩුවට මුදල් ගෙවීම ගැන තවත් කතා කරල වැඩක් නැහැ. මම මීට අදාළ game theoretic පැත්ත පැහදිලි කළා, මොකද මේක මගේ විෂයට කෙළින්ම අදාළ නිසා. Rationally self interested agent කෙනෙක් කීයටවත් රජයට සල්ලි ගෙවන්නැහැ.ඒ වගේම ලොතරැයි ගන්නෙත් නැහැ.

                අරන් තියෙන උදාහරණ හරි උදාහරණයක් නෙවෙයි. මොනැකෝ ලෝකේ දෙවැනියට කුඩා රාජ්‍යය. මේ මොනැකෝ වල යුධ ශක්තිය ගැන විකිපිඩියා සටහ:

                The Principality of Monaco, which is the world’s second smallest nation (after the Vatican City State), has a very limited military capability, and would depend entirely upon its larger neighbour, France, for defence in the face of an aggressive world power.

                ඉතින් මොනැකෝ යැපෙන්නෙ අන්තෙටම බදු ගහන ප්‍රංශය මත. ඔබ්ජෙක්ටිවිස්ට් රාජ්‍යයටත් වෙන්නෙ එච්චර තමයි. අනෙක් කාරණය තමයි නෝවැක් ජෝකවිච් irrational මනුස්සයෙක් නෙවෙයි. මිනිහා මොනැකෝ වලට ආවේ බදු නොගෙව ඉන්න මිසක් රජයෙන් ලැබෙන සේවාවන් සදහා ස්වේච්චාවෙන් මුදල් ගෙවන්න නෙවෙයි. නොවැක් මගේ මතයයි සනාථ කරන්නෙ.

                *******
                අයන් රෑන්ඩ් medicare ගැනීම ගැන කියනවනම් medicare කියන දේ ඔබ හොදටම දන්න පරිදි social security වලට වඩා හුගක් වෙනස්. Social security හරහා තමන්ට ලැබෙන්නෙ තමන්ගෙම මුදල්. තමන් බිලියනපතියෙක් හරි, සමාගමක් හරිනම් ඇරෙන්න medicare වලදි තමන්ට වැඩිපුර ලැබෙන්නෙ අනුන්ගෙ මුදල්. ඔබට පෙනහලු පිළිකාවක් වගේ බරපතල ලෙඩක් හැදුනාම ඔබ ඊට ගෙව්වාට වඩා මුදලක් ඒකෙන් ගන්නව.
                ***
                අයන් රෑන්ඩ් සිගරට් බිව්වට කමක් නැතැයි කීම කටකතාවක් නෙවෙයි. අයන් රෑන්ඩ් සිගරට් බිව්ව. ඒක අනුකරනය කරමින් Branden වගේ අනික් හුගක් ඔබ්ජෙක්ටිවිට්ලා සිගරට් බිව්වා. ප්‍රධානම හේතුව මේ කවුරුවත් විශ්වාස කලේ නැහැ සිගරට් බීම පිළිකා ඇති කරනව කියල. ඒක හරියටම වර්තමාන ඔබ්ජෙක්ටිවිස්ට්ලා මිනිසුන් නිසා ගෝලීය උෂ්ණත්වය ඉහළ යන් නැහැ කියනව වගේ.

                • arunishapiro said, on ජනවාරි 29, 2013 at 10:51 පෙ.ව.

                  Sharanga,

                  විරුද්ධ මතයක් දාලා යද්දී ඒකට ඉක්මණින් පිළිතුරක් දිය යුතු යැයි අයිතියකුත් දැන් ඔයාට ලැබිලා ද?!!!

                  //What I am fighting is the idea that charity is a moral duty and a primary virtue.// යැයි අයින් රූන්ඩ් කියමනේ අදහස් වෙන්නේ කුමක් ද? අයෙකු ලවා බලහත්කාරයෙන් දාන මානාදිය කරවා ගන්නට අයිතියක් ඇතැයි හිතෙන්නේ ද, මෙසේ මා වෙතින් ඉක්මණින් පිළිතුරු ලබාගත හැකි අයිතියක් ඇතැයි සිතන අයට පමණක් නොවේ ද? ඔව් මගෙන් වැඩගන්න හෝ මගෙන් දානයක් ලබන්නට, අනික් අයට ඕනෑ වෙලාවට, ඒ අයට ඕනෑ විදියට අයිතියක් ඇතැයි සිතනා හැම අයෙකුටම විරුද්ධව කරන සටන කිසිදා නවත්වන්නේ නැත.

          • Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 27, 2013 at 4:20 පෙ.ව.

            වැරදියට වටහා ගෙන කිව්වොත් වැරදියි ඕකට කියන්නේ සන්දර්භයට පිටත යොදාගැනීම. Sharanga කරලා තියෙන්නේ පොතේ අදහස නොසලකා එක පේලියක් out of context. අරගෙන තමන් කැමති තර්කයක් තහවුරු කරන්න යොදා ගැනීම.

            මගේ ගැටලුව තියෙන්නේ ඔතන නොවෙයි අරුණි සහ අයින් රෑන්ඩ් දෙන්නම නිවැරිදි උනත් බහුතර ජනතාව තාම සුදානම් නැත්නම් මේවා ප්‍රයෝගික නැහැ කියන ඇත්තෙන් අපිට පලා යන්න බැහැ.නේ මිනිස් පරිනාමයේ දැනට අපිට තියන දියුණුතම පාලන ක්‍රමය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය එකේ පදනම තමයි බහුතරයේ කැමැත්ත.

            • arunishapiro said, on ජනවාරි 27, 2013 at 10:55 පෙ.ව.

              Uditha,

              වෙන කවුද කෙනෙක් ලියපු එකක කොනක් අල්ලා ගෙන, දර්ශනයක් තමා වටහා ගත් ලෙසින් පෙනී සිටිමින් එහි වැරදි කියන්න යන අය, වැඩේ වැරදුනාම ඒත් පිළිගන්නේ නැහැ. Sharanga විසින් රූන්ඩ් ගේ පොතේ අදහස නෙමෙයි, ඒ රචනාව කියවා ඇත්දැයි සැකයි. එයින් තමන් උපුටා ගන්නා වගන්තිය ද තමන්ට ඕනෑ විදියට අරගෙන කතා කරමින් තමන් නිවැරදි යයි තවමත් කියනවා. එහෙම අයට ඉඩක් දෙන්න මගේ උත්සාහයෙන් සහ මගේ පුද්ගලික අයිතියෙන් පවත්වා ගෙන යන අඩවියේ ඉඩක් දිය යුතු යැයි ද හිතන චින්තනයෙන්ම තමයි මගේ මුදල් ද බදු යැයි කියමින් සොරකම් කරන්න අයිතියක් තියෙනවා කියල හිතන්නේ.

              එවැනි හිමිකමක් කාට හරි ඇතැයි හිතනවා නම්, එහෙම හිතෙන සෑම අයෙක්ම තම අයිතීන් මොනවාදැයි කියන එක වහාම තමන් විසින් සොයා බලන්න උත්සාහයක් ගන්න අවශ්‍යයි. නැත්නම් තමන්ට දැනට තියෙන ඇබිත්තන් නිදහසත් අහිමි වෙලා ගියාට පස්සෙ අහයි මොකක් ද වුනේ කියලා!!!

              බහුතර ජනතාව ප්‍රායෝගික නැතැයි කියන්නේ ඔවුනට මේ ගැන කිසිවෙක් කියා නොදුන් නිසා. ඇමෙරිකන් මහජන පාසැල් සහ මහජන මුදලින් දුවන කැම්පස් වල අයින් රූන්ඩ් හෝ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රය හෝ ලිබටේරියන් චින්තනය ගැන ඉගෙන ගැනීමට ඇති ඉඩකඩට වඩා ඇත්තේ යුනියන් ගුරුවරුන් වෙතින් අපි හදපු පාරවල් නැත්නම් ඔබලාගේ බඩු ප්‍රවාහනය කරන්නෙ කොහොම ද? වගේ දේවල් උගන්වන නිසා. පුද්ගලික අංශයට ධනවත් වෙන්න බඩු ප්‍රවාහනයට පාරවල් හැදුවා කියන ආණ්ඩුව ඒ පාරවල් හැදුවේ කාගේ සල්ලි වලින් ද? පුද්ගලික අංශයේ අය ගෙවපු බදු මුදල් වලින් නොවේ ද?!!!! ප්‍රායෝගික නැත්තේ ඒකයි. එදා වහල් ක්‍රමය අහෝසි වුනේ උත්සාහයක් ගන්නා මිනිසෙක් වහලෙක් වෙන්න අකමැති වූ නිසයි. ඉතින් අද උත්සාහයක් ගන්නා මිනිසෙක් වහලෙක් වෙන්න කැමති යැයි සිතීම ප්‍රායෝගික වෙන්නේ කොහොම ද?!!!

              ඔව් ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයයි. එහි පදනම බහුතරයේ කැමැත්ත බවත් සත්‍යයයි. එහෙත් බහුතරය මීට වඩා දැනුවත් කරගැනීම ආණ්ඩුවේ බලය අඩු වීමක් සහ ජනතාවගේ බලය වැඩිවීමක් යැයි කියා දෙන්න අවශ්‍ය ජනතාවගේ නොහොත් බහුතරයගේම යහපත පිණිස වූවක් නොවේ ද? මිනිසා තම නිදහස වෙනුවෙන් අරගල උද්ඝෝෂණ විප්ලව කරද්දී මුලින් ම නිදහස කුමක් ද කියා විමසා බැලීම නොකළ හොත් ලැබෙන්නේ තමන්ව පාගා ගෙන ඉන්නා, දක්කා ගෙන යන, වහල් බවින් වැඩ ගන්නා එක එක වේෂ නිරූපයන් වලින් එන ආඥාදායකයන් නොවේ ද? ඒ ඩිංග වටහා ගැනීමට බහුතරයාට නොහැකි යැයි සිතන්නේ ඇයි? එයම වඩාත්ම ප්‍රායෝගික වූව බව දකින්න නොහැකි යැයි හිතන්නේ ඇයි?

              මේවා ඔයාගෙන් අහන ප්‍රශ්න නෙමෙයි උදිත. මේ අඩවිය කියවන හැම අයෙක්ම තමන් වෙතින් අවංකව විමසා බැලිය යුතු ප්‍රශ්න පමණයි. උත්තරය තමන් කැමති විදියට තමන්ට දී ගන්න. උත්තරය අනුවයි අනාගතයේ තමන්ට ලැබෙන්නේ යහපත් සාර්ථකත්වය ද නැත්නම් අයහපත් අසාර්ථකත්වය ද යන්න තීරණය වෙන්නෙ.

        • දිනූෂි පැල්පළ said, on ජනවාරි 27, 2013 at 9:53 පෙ.ව.

          ශාරංග, මේක දර්ශනය පිලිබඳව අර්ථ දක්වපු තැනක් නෙවෙයි රජයේ බදු ප්‍රතිපත්තිය පිළිබඳව දක්වපු අදහසක් පමණයි. ඔබ වුවමනාවට වඩා අපේ මූලික ගැටළුව සංකීර්ණ කරනවා වගේ මට නම් පේන්නේ.

          • arunishapiro said, on ජනවාරි 27, 2013 at 11:39 පෙ.ව.

            දිනූෂි පැල්පළ,

            මෙය පැහැදිලිවම දර්ශනය පිළිබඳව අර්ථ දැක්වීමක් දිනූෂි.

            ආණ්ඩුවක වියදම් පියවීම ස්වේච්ඡාවෙන් කළ යුත්තේ කෙසේද යන්න නීතිමය දර්ශනයට අයිති වූවක්.

            මූල ධර්මයන් පැහැදිලි කිරීම සහ ඒවා ප්‍රායෝගිකව කෙරෙන්නේ කෙසේදැයි අර්ථ දැක්වීම දේශපාලන දර්ශනයට අයිති වූවක්.

            //ඔබ වුවමනාවට වඩා අපේ මූලික ගැටළුව සංකීර්ණ කරනවා වගේ මට නම් පේන්නේ.// එයාගෙ පටලැවිල්ල එයා හදාගත්ත එකක්. තමන් විසින් දර්ශනයක් වටහා ගන්නට උත්සාහයක් නොගෙන අනුන්ගේ මත වලින් තව කෙනෙක්ගෙ මතයක් තර්ක කරන්නට තමන්ට අයිතියක් හා වේදිකාවක් අනුන් විසින් දිය යුතු යැයි සිතන කෙනෙක්.

  4. R.p. Susantha said, on ජනවාරි 26, 2013 at 1:27 පෙ.ව.

    ආණ්ඩුවක බලය වැඩි වුනාම එය ජනතාවගේ බලය අඩු වීමක් කියා ලංකාවෙන්ම උදාහරන ගන්න පුළුවන්. අපි ලංකාවේදි පළාත් සභා ක්‍රමයවත් සාර්ථක කර ගන්න තාම හිතල නැහැ. නමුත් මම හිතනවා යම් විදියකින් පළාත් යම් පමණකට නිසි අයුරින් ක්‍රියාත්මක වුනානම් අපේ මිනිස්සුන්ට අවබෝධයක් ලබා ගන්න තිබුණා. මොකද උත්සාහවන්ත දමිළ ජනයා ඔවුන්ගේ ක්‍රමවලට ඒ පළාත දියුණු කර ගන්නකොට අපේ අයට තේරෙයි ඇත්ත. ඇමරිකාවේදී රටවල් පනහක් එකට පාළනය කරන අයුරු ඔබ මට කියලා දුන්න දවසේ ඉදල මම හීන දකිනවා ලංකාව පළාත් සභා තුලින් නිසි සාධාරන ක්‍රමවත් පාලනයකට යන්නේ කවදාද කියලා.

    • arunishapiro said, on ජනවාරි 26, 2013 at 9:38 පෙ.ව.

      R.p. Susantha,

      මහ/ෆෙඩරල් ආණ්ඩුවට ඇඟිලි ගහන්න පුලුවන් හැකියාව තිබෙන තාක් කල් ප්‍රාන්ත/පළාත් ආණ්ඩුවක ඉන්න අය මහ ආණ්ඩුව කියන විදියට නටන රූකඩයෝ විතරයි. මෙහෙත් දවසින් දවස ප්‍රාන්ත බලය උදුරා ගන්න ෆෙඩරල් ආණ්ඩුව දැඩි උත්සාහයක. පුරවැසියන් කවදා හෝ අවබෝධ කරගන්නා තාක් කල් මොන ආණ්ඩුවෙන් වුනත් කරන ඇඟිලි ගැසීම් අඩුවිය යුතු යැයි කියා පළාතක්/රටක් යන්නේ අසාර්ථකත්වයට.

  5. දිනූෂි පැල්පළ said, on ජනවාරි 26, 2013 at 4:31 ප.ව.

    මම හිතන්නේ බදු ක්‍රමය වඩා සාධාරණීකරණය කරලා පවත්වා ගන්න ලෝකේ හැම රටකම වුවනාව තිබ්බත් ඒක හරියට කරන්න ප්‍රායෝගික තත්වයන් නිසා අමාරු බව තමයි කියන්න තියෙන්නේ.

    • arunishapiro said, on ජනවාරි 26, 2013 at 7:05 ප.ව.

      දිනූෂි පැල්පළ,

      ඔව් එසේ උත්සාහ ගත්තාට ඔවුන් දකින්නේ නැත්තේ අසාධාරණ වූවක් සාධාරණීය කරන්න බැහැයි යන්නයි. පදනම දෙදරද්දී ඒ මත ගොඩනැඟිල්ලක් ඉදිකරන්න බැරිකම ලෝක ස්වභාවයක්.

  6. Sharanga said, on ජනවාරි 27, 2013 at 2:54 පෙ.ව.

    “There is one word that is forbidden in this valley: the word ‘give.'”
    —Atlas Shrugged

    Dude, you should not ask help from an objectivist. In your case, you shouldn’t ask help from anyone sane.

  7. දිනූෂි පැල්පළ said, on ජනවාරි 27, 2013 at 9:49 පෙ.ව.

    අරණි, මම ඒත් හිතනවා ලොකේ කිසිම රටකට බදු ප්‍රතිපත්තිය නිවැරදිව ඒ වගේම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඉඩ ප්‍රස්තාව ලැබිලා නැහැ කියලා. ඒ වගේම එය ප්‍රායෝගික කරගැනීම සඳහා විවිධ රටවල් විසින් ගනු ලබන උපාය මාර්ග මොනවද කියලා ඒ රටවල ක්‍රියාත්මක වන දේශපාලන ආර්ථික රටාවට අනුව තීන්දු අරගෙන නැහැ කියලා. නැතිනම් සමාජවාදය ගැන කතා කර කර රටවැසියන් හූරා කන්න ඕන නැහැනේ. අනික් අතට උපයන ආදායම වෙනුවෙන් රජයට යම්කිසි මුදලක් ලැබීම සාධාරණයි. රටවැසියන් වෙනුවෙන් ආදායම් ඉපයීම වෙනුවෙන් පහසුකම් සලස්වන්නේ රජය. ඒ නිසා රජයේ මැදිහත්වීම මත සලසන පහසුකම් වෙනුවෙන් බදු වශයෙන් සාධාරණ කොටසක් රජයට ගෙවීමට ජනතාව බැඳී සිටිනවා. ඒ වුනාට තමන් රටවැසියාට ලබාදෙන පහසුකම් වගේකීප ගුණයක් පඩිපතෙන් කපා ගැනීම නම් වැරදියි. මොකද බදු අය කිරීමේ පදනම වැරදි නම් එහි ගොඩනඟන ගොඩනැඟිල්ල කොයි තරම් ශක්තිමත් වුනත් වැඩක් නැහැනේ.

    • arunishapiro said, on ජනවාරි 27, 2013 at 11:32 පෙ.ව.

      දිනූෂි පැල්පළ,

      ඇමෙරිකාවේ අවුරුදු 150 ක් ප්‍රායෝගිකව ක්‍රියාත්මක වූයේ ඇමෙරිකන් ක්‍රමයයි. එය ක්‍රියාත්මක වෙද්දී රට අනිකුත් සියළු රටවල් අභිබවා දියුණු වූයේ කිසිම පිටරටකින් ආයෝජන ලබාගෙන නෙමෙයි. අතේ සතේ නැතිව අනුන්ට කුලියට වැඩ කරලා මූල ධනයක් හොයාගෙන තමන්ගෙ කියලා ව්‍යාපාර පටන් ගන්න දහස් ගණනින් උත්සාහවන්තයෝ රටට ඇදිලා ආපු නිසයි.

      //රටවැසියන් වෙනුවෙන් ආදායම් ඉපයීම වෙනුවෙන් පහසුකම් සලස්වන්නේ රජය.// ඔබ කියන පහසුකම් සලස්වන්න රජයට ආදායම් ලැබෙන්නේ කොහොම ද?

      //ඒ නිසා රජයේ මැදිහත්වීම මත සලසන පහසුකම් වෙනුවෙන් බදු වශයෙන් සාධාරණ කොටසක් රජයට ගෙවීමට ජනතාව බැඳී සිටිනවා// රජයේ මැදිහත්වීම මත සලසන පහසුකම් යැයි කියද්දී එයින් ධනවතාගෙන් උදුරා දුප්පතාට දීමයි ඔබ සාධාරණීය කරන්නේ. එහි දී ධනවතාගේ වෙහෙසට, ධනවතාගේ උරුමයට අනිත් අයටත් අයිතියක් ඇතැයි කියනවා. එහෙම නම් දුප්පතාගේ වෙහෙසට සහ උරුමයට පමණක් ද කිසිවෙකුට අයිතියක් නැත්තේ? නැත්නම් දුප්පතාගේ වෙහෙසට ආණ්ඩුවට පමණක් ද අයිතියක් ඇත්තේ? මෙහි දී ධනවතා කවුදැයි සහ දුප්පතා කවුදැයි කියා තීරණය කරන බලය ඔබ පවරා ඇත්තේ ආණ්ඩුවට? ඉතින් යුරෝපයේ ධනවතුන්ට වඩා ඇමෙරිකාවේ දුප්පතා ධනවත් වූවාට ඇමෙරිකන් ආණ්ඩුවට තම බලය තවත් දැඩි කරගන්නට ඇමෙරිකාවේ ධනවතුන්ගෙන් තවත් බදු කපා ගත හැකියි. ඊ ළඟට මෙය සාධාරණීය කරන අයම තමයි ඇමෙරිකන් ආණ්ඩුව බදු මුදල් වලින් ගිහින් අනුන්ගෙ රටවල් වල මානව අයිතිවාසිකම් ගැන කතා කරද්දී ඒකටත් අකමැති!!!!!

      වැරැද්ද ඇත්තේ ඕනෑම ආණ්ඩුවකට ඒකීය පුද්ගලයාගේ වෙහෙසට අයිතියක් කියත හැකියාව නිසා. එය වරදක් විදියට දකින්නට බහුතරයකට බැරි අපිට හුරු කරලා තියෙන්නේ ආණ්ඩුව පුරවැසියාගේ යහපත පිණිස පිහිටුවන ලද්දක් යන සත්‍යය සමඟ ඒ සඳහා වු ආණ්ඩුවේ කාර්ය භාරය ඉතා අවම වූවක් යන්න පැහැදිලි කරදීම අතපසු කර තිබීම නිසා.

      නිවහල් මිනිස්සු මහන්සියෙන් තම ආදායම් උපයන්නට වෙහෙසෙනවා.

      මිනිස්සු අතර කොටසක් පාලකයන්ට හේත්තු වෙලා ඔවුන්ගේ සහායෙන් තම මල්ල පුරවා ගන්නා තඩියන් වී සිටිනවා.

      මිනිස්සු අතර බහුතරයක් ධනවතුන් යැයි දකින්නේ පාලකයන්ට හේත්තු වෙලා තම මල්ල පුරවාගන්නා පරපෝෂිතයන්. දකින්නේ ඔවුන් ධනවතුන් වී ඇත්තේ පාක්ෂික වූ නිසා බව පමණයි. ඉතින් හිතන්නේ තමන් ද පාලකයන්ට පාක්ෂික වූවාම තමන්ගේ මල්ල ද පුරවා ගත හැකියි කියායි.

      මිනිස්සු අතර තවත් කොටසක් පරපෝෂිතයන් දකින්නේ නැහැ. ඔවුන් සියළු ධනවතුන් දකින්නේ තමන් වෙතින් උදුරාගෙන ධනවත් වු අය හැටියට.

      ආණ්ඩුවේ බලය අල්ලා ගැනීම පමණක්ම පාලකයාගේ අභිප්‍රාය නිසා, (රටක ජනතාවට යහපතක් කරන්න දේශපාලනය බලය අවශ්‍ය නැහැ!!!!) ඔවුන් කරන්නේ විකිණෙන අදහස් විකුණලා බලය අල්ලා ගැනීමයි. ඒ නිසා දැනුවත් විය යුත්තේ පුරවැසියන්. වෙනස් විය යුත්තේ පුරවැසියන්.

      අනුන් ගෙන් හොරකම් කරලා අපිට දෙනවා වෙනුවට අපිට අපේ ආදායම් අපට කැමති ලෙසකින් පාදා ගන්න දීලා පැත්තකට වෙන්න කියන පාලකයන් බිහිවෙන්නේ එවැනි අයව පුරවැසියන් විසින් ඉල්ලා සිටිනවා නම් පමණයි.

      ලෝකයේ එහෙම පුරවැසියන් බහුතරයක් බිහිවූයේ බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වූ ඇමෙරිකාවේ. හමුදාවක් නැති, දඩයමේ යන තුවක්කු වලින් අධිරාජ්‍යයක් වූ මහා බ්‍රිතාන්‍ය පරදවන්නට සමත් වුයේ එදා බහුතරයක් නිවහල් බව අගය කළ නිසයි.

      // මොකද බදු අය කිරීමේ පදනම වැරදි නම් එහි ගොඩනඟන ගොඩනැඟිල්ල කොයි තරම් ශක්තිමත් වුනත් වැඩක් නැහැනේ.// ඔව්. 😀

      දැනට කියවා නැත්නම් ෆෙඩරික් බැස්ටියාට් ලියූ නීතිය කියවන්න යැයි ආරාධනා කරමි.

  8. Sharanga said, on ජනවාරි 27, 2013 at 9:43 ප.ව.

    Hah. I have no question about your legal right to censor me. But isn’t it hilarious that the only way objectivism can survive is by censoring truly rational people? I asked you two legitimate questions.

    1. What would happen to an objectivist state if it gets hit by a Tsunami?
    2. Why would a rationally self-interested person voluntarily pay the government?

    These are questions for which objectivists have no answers. I’m not mad at you, even though I’ll publish the same comment elsewhere with the caption “censored by Aruni Shapiro”. You are living in this nice little bubble. It must be fun in there.

  9. Sharanga said, on ජනවාරි 27, 2013 at 10:12 ප.ව.

    Hikiz hikiz. Censorship is the only way objectivism can survive criticism. I asked two legitimate questions, and you have no good answers. Go on living in your nice little bubble where everyone agrees with you

  10. Sharanga said, on ජනවාරි 27, 2013 at 10:13 ප.ව.

    Hikiz

  11. Sharanga said, on ජනවාරි 27, 2013 at 10:21 ප.ව.

    I have no questions about your legal right to censor me. But it’s hilarious how censorship is the only way objectivism can survive criticism. I asked you two legitimate questions.

    1. What would happen if the objectivist state gets hit by a tsunami?
    2. Why would a rationally self-interested person voluntarily pay the government?

    You have no good answers to that, so you censor me. It’s alright. I’m really not mad at you for wanting to live inside your nice little bubble, which is doing the job the Chinese internet firewall is doing, even though I’ll publish the same comment elsewhere with the caption “censored by aruni shapiro”.

    As for my objectivism knowledge, I read Atlas Shrugged when I was 10, and immediately realized the book was nuts. Elites like john galt don’t have to strike for the economy to collapse. It would collapse if all small workers striked too.

    • Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 29, 2013 at 2:38 පෙ.ව.

      @Sharanga
      1. No such thing called “objectivist state” so its impossible that something does not exists get hit by a tsunami
      2. even self-interested person have a sense of fairness , of course even Chimpanzees have a sense of fairness too (http://www.cbsnews.com/8301-205_162-57564156/chimpanzees-have-a-sense-of-fairness/)

      • Sharanga said, on ජනවාරි 29, 2013 at 12:21 ප.ව.

        I’ll be brief Uditha. I intended my last comment to be my last comment here forever. I deeply regret the fact that Aruni censored my comment. That’s as anti-intellectual as it gets. There’s no guarantee that you’ll see this. Aruni may decide to censor this too.

        1. That’s hardly the point. According to the objectivists, this objectivist state is realizable. So the question that how this state would face a Tsunami is a very legitimate question. It shows how weak this ideology is.

        2. There’s a difference between is and ought, as you’d know if you’ve read David Hume. There’s no doubt that there are certain facts pertaining to humans regarding how they are. These are mostly evolutioanry facts. But what one “should do” is not a scientific question. It is philosophical question. I have a drive to help others. But how could I philosophically justify it? My point is, if you’re saying that I ought to be rationally self-intersted, you better not try to convice me that helping others is good idea. Game theory has lot to say about it. You can start with Prisoner’s Dilemma, where co-operation is sometimes the optimum strategy, but never outright helping the other.

  12. maathalan said, on ජනවාරි 28, 2013 at 12:45 පෙ.ව.

    මේ හෙන ගහන බදු ගහන්නේ පාළකයෝ පිරිස වැඩි නිසා නේ. අපි හිතනවා පෞද්ගලික අංශය පමනක් තිබුනොත් මේවායේ පාළනයක් නැතුව කන පැලෙන්න බදු ගහයි කියලා. ඒත් ඉතින් පෞදගලිග අංශයට වඩා රිදෙන්නම රජය බදු ගහනවා. අපි මෙතනදි කල යුත්තේ (අපේ රටට අදාලව.) පාලකයන් පිරිස හා රාජ්‍ය නිළධාරින් අඩු කිරීමයි. එකසත් ජාතික පක්ෂයෙන් ඒක කොරන කොට. කන පැලෙන්න ගහල එයාලව ගෙදර යවලා. අද කෑ ගහනවා අනේ අපිව මරාගෙන කනවෝ කියලා… දැන් දැන් හරක් ටිකට තේරිලා තියෙන්නේ…

    • arunishapiro said, on ජනවාරි 28, 2013 at 7:22 පෙ.ව.

      maathalan,

      පුද්ගලික අංශයට බදු ගහන්න නීතිමය අවසරයක් නැහැ. බදු යනු ආණ්ඩුවට පමණක් අයිති වූ අන්ඩතේට්ටමක්. නිදහස් වෙළඳපොලක දී එකිනෙකා හා තරඟ කරන්න සිද්ධ වෙන නිසා භාණ්ඩ හා සේවා අනෙකාට වඩා අඩුවෙන් හා අනගි බවෙන් දෙන්නට තමයි හැමෝම තරඟයේ යෙදෙන්නේ. ඒක ලංකාවේ කවදාවත් දකින්න බැරි පාලකයන් විසින් වෙළඳපොල හසුරවමින් ටික දෙනෙකුට පමණක් එහි තරඟයට අවසර දෙන නිසා.

      වාමාංශිකයන් මානුෂික අයිතිවාසිකම් උල්ලංඝනය කරද්දී කෑ ගහන්නෙ නැත්තෙ ආණ්ඩුව අපිව බලාගනීවි කියන දුර්මතයේ පුරවැසියා ඉන්න නිසා. දක්ෂිණාංශ පක්ෂයක් කරන හැම දෙයක්ම (රජයේ බලය අවම කිරීම!!!) දකින්නේ ද පුරවැසියා රවටන්න කරන ක්‍රියාවක් හැටියට. වම හා දකුණ ගැන ලෝක පුරවැසියාට ඇති අවබෝධය ඉතාමත් ඇබිත්තක්. ඒ නිසා “හරක් ටිකට” නම් තවම වැටහී ඇත්දැයි සැකයි!!! 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: