අරුණි ශපීරෝ‍ වෙතින්

අවදානමයි: උණු පානය උණුයි!!!!!

Posted in Uncategorized by arunishapiro on ජනවාරි 30, 2013

Coffee Quote - Warning hot Beverages are hot

Coffee Quotes | Forward this Picture

ඔබ සුවිශේෂී පුද්ගලයෙක්. ඒ කියන්නෙ ඔබට සුවිශේෂී වූ දේවල් ඒ ලෙසින්ම පිහිටා ඇති වෙන කිසිවෙක් මේ ලෝකයේ නැහැ. ඔබේ වර්ගයා අතර දකින්නට ලැබෙන විවිධ ලක්ෂණ ඔබ තුලින් දකින්නට ලැබුණත් ඒවා සංකලනය වී ඔබ හැදී ඇත්තේ ඔබටම වූ සුවිශේෂී ලෙසකින්. එය ඔබ පිළිගත්තේ නැති පමණින් අසත්‍යයක් නොවන්නකි.

ඔබේ දිවට යම් රසයක් දැනෙන්නේ ඔබට සුවිශේෂී වූ විදියකට. ඔබේ දිවට උණුයි වැඩියි කියලා දැනෙන ප්‍රමාණය තවත් අයෙකුගේ දිවට එතරම් උණු මදියි කියා දැනෙන්න පුළුවන්.

දිවෙන් ලොව දකින්නත් පුලුවන් කාලයක අපි ඉන්නෙ.

දිවට රස දැනෙන්නෙ මෙහෙමයි කියලා සිතියමක් හැදුවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ Edwin G. Boring විසින් 1901 දී ජර්මන් බසින් David Hänig ලියපු ලිපියක පරිවර්තනයක් අනුව. සංදර්භයෙන් පිටතට ගෙන තම මතය තහවුරු කරන්න ගන්නා උත්සාහයන් එදත් තිබිලා තියෙනවා. දිවේ ඒ ඒ රස දැනෙන්නේ මේ මේ කොටසට යන්න කියපු මුල් ලිපියේ ඉතා අඩු ප්‍රමාණයෙන් දිව පුරාම රස වෙනස්කම් දැනෙන හැටි ගැන කියල තියෙන ටික වෙනස් වෙලා ඒ ඒ කොටසට දැනෙන්නේ එක ප්‍රාථමික රසයක් බවට පාසැල් දරුවන්ටත් ඉගැන්වෙනවා. 1974 දී වර්ජිනියා කොලින්ග්ස් මේ බොරුව විමර්ශනය කරලා දිවේ හැම තැනකම හැම රසයයක්ම දැනෙන බව ඔප්පු කරන්නෙ.

ඔබේ ආමාශයේ දිරවන කෑම දිරවන්නේ ද ඔබටම සුවිශේෂී වූ විදියකට.

ඔබේ සිරුරට ලැබෙන පෝෂ්‍යපදාර්ථයන් ද එසේමයි. කොච්චර යකඩ බහුල ආහාර ගත්තත් සමහර අයට යකඩ ඌනතාවයන් තියෙනවා. තව සමහර අයට ජානුගතව හැදෙන hereditary hemochromatosis තත්වය නිසා ආහාර වලින් ලැබෙන යකඩ, ආහාර දිරවන මාර්ගයේ දී බහුල වශයෙන් උරාගෙන අතුරු ආබාධ වලට පාදක වෙනවා.

කෙටි කාලයකට ජීවත්වෙන මිනිස් ජීවිතයේ දී මුහුණ පාන උපද්‍රව වලින් ඔබව බේරාගන්නට වැඩියෙන්ම හැකියාව ඇත්තේ ඒ නිසා ඔබට පමණයි. ඔබ ගැන වූ පරිස්ථානීය දැනුම ඇත්තේ ඔබටම පමණි. එය වැඩි දියුණු කරගත හැකියාව ඇත්තා ද ඔබ පමණයි. වෙන කෙනෙකුට ඔබ වෙනුවෙන් තීරණ ගන්නට අවසර හා අයිතිය පවරා දුන්නොත් පරාජය ලබන්නේ ඔබයි.

වර්තමානයේ දී කන බොන දේවල් විතරක් නෙමෙයි ජීවිතයේ හැම අංගයක්ම ආණ්ඩුවක් කරන නිර්දේශයක් යටතේ, ආණ්ඩුවක ප්‍රතිපත්තියක් යටතේ සිද්ධ වෙද්දී, සාමාන්‍ය මිනිස් ස්වභාවය ආණ්ඩුව පුරවැසියාගේ යහපත පිණිස එසේ කටයුතු කරනවා යන්න පිළිගැනීමට හුරු වීමයි. සත්‍යය අසත්‍යය සෙවීම ඔබේ වගකීමයි යන්නට වැදගත් කමක් දෙන්නේ නැහැ. ඉතින් උගන්වන ඕනෑ දෙයක් විශ්වාස කරලා අවසානයේ වැරදුනාම බනින්නත් වෙන කාව හරි හොයාගන්නවා.

පුද්ගලික අංශය විසින් සියළු සම්පත් අල්ලා ගන්නට දරනා වෑයමට එරෙහිව නිරන්තරයෙන් සටන් වදින සමාජ සේවයක් සපයන ආණ්ඩුව විසින් පුරවැසියා වන ඔබව බේරාගන්නවා කියන එකයි ලොව පවතින ලොකුම දුර්මතය. “අපේ ආණ්ඩුව” කියන කඩතුරාවෙන් පොරවා ගත්තම එයින් දේශපාලනයේ සත්‍යය හැදියාව (බලය අල්ලා ගැනීම) වහගන්න පුලුවන්. ආණ්ඩුව කියන්නෙ “අපි” කියන ඇස් බැන්දුමෙන්, ආණ්ඩුව විසින් ඒකීය පුද්ගලයෙකුට කරන ඕනෑම දෙයක් යුක්ති සහගතයි. ඒ වගේම ඊට ලක්වෙන ඒකීය පුද්ගලයාගේ කැමැත්තෙන් ද සිද්ධ වෙන්නක් සේ සලකන්නේ, මොකද ආණ්ඩුව පුද්ගලයාගේ යහපතට ගොඩනඟා ගත්තක් නිසා.

යහ පාලනය කරන්න යැයි පුරවැසියන් ආණ්ඩුවට ඒකීය පුද්ගල අයිතීන් පවරා දුන්නා නම්, එයින් කියැවෙන්නේ ආණ්ඩුවට කළින් පුරවැසියන්ට අයිතීන් තිබ්බ බව නොවේ ද?!!!!

ආණ්ඩුව කට්ටියකගෙන් උදුරලා තව කට්ටියකට බෙදලා දෙනකොට, ඒක යුක්ති සහගතයි කියන්නෙ ආණ්ඩුව “අපේ” කියල සලකන නිසා. ඒ දේවල් “අපට” ලැබිය යුතු දේවල්. ඒත් අයෙක් ආණ්ඩුවට විරුද්ධව යමක් කිව්වොත් එයාව හිරේ දානවා. අපේ ආණ්ඩුව කරන ඒකත් යුක්ති සහගතයි!!!!

පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත්, ආණ්ඩුව කියන්නේ ‘අපි’ නොවෙයි කියා ඔබට වැටහේවි ද?!!!! රටේ මිනිස්සු 70% ක් එකතුවෙලා ඉතිරි 30% මරලා දාන්න ‘අපේ ආණ්ඩුවට’ අනුමැතිය දුන්නොත්, එවිට එය සාධාරණයි කියනවා ද? 70% ඔබේ අදහස හා එකඟ වන්නේ නම් ඔබ උද්දාම වෙනු ඇත. එහෙත් 70% එසේ එකඟ වූ නිසා, ඔබ අයිතිවෙන්නේ 30% ට නම්?!!!!

අයෙකුගේ දිවට දැනෙන රස්නය කොපමණ දැයි නොදැන සියල්ලටම සුදුසු උණු තේ මෙයැයි නිර්දේශ කරන්නට වත් බැරි ආණ්ඩුවට, අයෙකුගේ ආමාශයේ කෑම දිරවන්නේ මේ ලෙසින් නිසා සියල්ලන්ටම මේ ආහාර සුදුසු යැයි නිර්දේශ කරන්නත් බැරි ආණ්ඩුවට, ඇයි බලයක් දෙන්නේ අයෙකුගේ පුද්ගල දේපලෙන් මේ තරමට එයා තියා ගත්තාම ඇති යන්න තීරණය කරන්න අයිතිය?!!

උණු පානයක් උණුයි! මිනීමැරැමක් යනු මිනීමැරුමකි!!! පුද්ගලය දේපල අයිතිය සොරාකෑම යනු සොරාකෑමකි!!!

ආණ්ඩුවක් විසින් ‘අපි’ වෙනුවෙන් නිර්දේශ, ප්‍රතිපත්ති හා තීරණ ගන්නට දන්නවා යැයි සිතා ආණ්ඩුවේ බලය වැඩි වන්නට අත දෙන හැම පියවරක දී ම, එය අනිවාර්යෙන්ම ඒකාධිපත්‍යයක් (despotism) කරා ගමන් කරයි.

මිනිසා කරන හැම ක්‍රියාවක්ම (human action) කාලය යන රාමුව ඇතුලත (in time) කළ යුත්තකි. පැය 24 ක් බැගින් ලැබෙන කෙටි වූ ජීවිතයක සීමාව කොතැනක දී අවසන් වෙනවා දැයි නොදන්නා වූ කාලයක් මිනිසාට ලැබී ඇත. සම්පත් සීමිත යැයි කියද්දී කාලය යන සීමිත වූ සම්පතේ වටිනාකමට සැලකිල්ලක් දක්වන අය ලොව අඩුයි.

In Time (2011) නම් ඉතා රසවත් (දිවට නෙමෙයි!!) චිත්‍රපටියේ කාලය නොමැතිකමෙන් පීඩිත වීරයා ගේ චරිතය රඟපාන ජස්ටින් ටිම්බලේක් සහ කාලයෙන් ධනවතෙක් වන දුෂ්ටයාගේ චරිතය රඟපාන වින්සන්ට් පෝල් කාර්තීසර් අතර දෙබසක් මෙසේය:
දුෂ්ටයා:”ටික දෙනෙකුට අමරණීය වෙන්න, බහුතර දෙනෙක් මිය යා යුතුයි.”
වීරයා: වැරදියි! එක මිනිහෙක් හෝ මිය යා යුතු නම්, කිසිම කෙනෙක් අමරණීය වෙන්න ඕනෑ නැහැ.”

මිනිසා සුවිශේෂී වූවෙක් යන්න යථාර්ථයයි.

මිනිසාගේ හැඟීම්, ප්‍රාර්ථනා, බලාපොරොත්තු හෝ භය නිසා සත්‍ය ලෝකයේ පරිසිද්ධියන් (facts) වෙනස් නොවේ.

යථාර්ථය අවබෝධයට අවශ්‍ය තර්කානුකූල ක්‍රමවේද ඥානයයි. එය, අයෙක් මෙසේ යැයි ද අනෙකා එසේ යැයි ද කියන නිසා වෙනස් වන්නක් නොවේ. සියළු ඉන්ද්‍රියයන් මඟින් ලබා ගන්නා තොරතුරු තර්කානුකූල ක්‍රමවේදය උපයෝගී කරගෙන මිනිසා තමන් ඉදිරියේ පවතින යථාර්ථය කුමක් දැයි කියා හඳුනා ගනී. යථාර්ථය නොදන්නා පුද්ගලයාට නැත්තේ සියළු තොරතුරුය!!!!!

මනුෂ්‍යයාගේ පැවැත්ම රඳා පවතින්නේ තමන් විසින් තමන් වෙනුවෙන් එක්කාසු කරගන්නා දැනුම මතයි. තම සුවිශේෂීත්වයට අනුව වැඩියෙන් තොරතුරු සොයා ගන්නාට තමන් වෙනුවෙන් වැඩියෙන් සාර්ථකත්වය අත්කර දෙන තීරණ ගන්නට දැනුමක් ලැබේ. කොතරම් විසල් වුවත්, කොතරම් බලයෙන් වැඩි වුවත්, ඔබ වෙනුවෙන් ලොව කිසිම ආණ්ඩුවකට එය කළ නොහැකියි.

සිරස්තලයට ස්තූතිය: නෙළුම් විලේ බින්දි නංගිට!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. දේශකයා said, on ජනවාරි 30, 2013 at 10:34 ප.ව.

    Too hot… ආණ්ඩුව අපේ වන්නේ ඡන්දය දෙන දවසට හා උන් පත් වන දවසට පමණි. ඉන් පසුව ආණ්ඩුව අසේ කර ගන්නට අදාළ බත් බැලයන්ට හැකියාව ඇත. දිවේ කතන්දරේ මා තවමත් හිතන්නේ ඒ ඒ කොටස් වල රස සංවේදනය සදහා වෙන වෙනම සැකසී ඇති බවයි. නමුත් සම්පුර්ණයෙන්ම එක් රසයක් සදහා නිර්මිත කොටස් නොමැති වීම මත මුළු දිවෙහිම අඩු වැඩි වශයෙන් සියළු රස හදුනා ගත හැකිය.. ඔබ කිවු චිත්තරපටය නම් මට අජුත සුව ගෙනා එකකි. තේමාව මතින් ගොඩනැගු කතාව හා චරිත කිසිදු වටිනාකමක් ඇති ආකාරයට පෙල ගස්වා නැති අතර එහි නාට්‍යමය ස්වරූපය විහිළුකාරි වේ..

    • arunishapiro said, on ජනවාරි 31, 2013 at 8:33 පෙ.ව.

      දේශකයා,

      ආණ්ඩුවක් ලවා හැම පුරවැසියෙකුටම කරවා ගත හැකි එකම ක්‍රියාව තම පුද්ගලික දේපල කවුරු හරි උදුරා ගන්නේ නම් එයාට දඬුවම් දෙන්න කියා පමණි. එතැනින් එහාට යද්දී ආණ්ඩුවකට හැම පුරවැසියෙකුටම එක සේ සලකන්නට නොහැකියි. එහෙත් “තම පුද්ගලික දේපල” නම් මොනවා ද තවමත් නොදන්නා අය සිටින නිසා, අනුන්ගේ වෙහෙසට අයිතීන් පමණක් නෙමෙයි ඔවුන් ලවා තමන් කැමති වේලාවට වැඩගන්නටත් හැකි යැයි සිතන අයගෙන් පටන් ගෙන සර්බියා-හර්සාගොවිනා වැනි ආණ්ඩුවල මිලෙසවිච් වැනි පාලකයන් රටේ ගැහැණුන් බලහත්කාරයෙන් දූෂණය කර දරුවන් හදවා ගත් හැටි දක්වා (දරුවන් වැඩියෙන් හදන්න නොකියා බලහත්කාරයෙන් එය සිද්ධ වීම නීත්‍යානුකූල වූ සමාජයක) දක්වා යන්නේ පුද්ගලික දේපල අයිතිය වටහා නොගැනීම නිසයි.

      ඒත් කොපමණ ආකාර වලින් කිව්වත් තමන් ඒ ගැන සිතා බලන්නට වෑයමක් ගන්නේ නැත්නම් එය පැහැදිලි වන්නේ නැත.

      එය දිවේ රස දැනෙන ආකාරය නම් පර්යේෂණයකින් තමන්ට අත්හදා බැලිය හැකියි. අනුන්ගේ දේපල අයිතියට කිසිම බාධාවක් නොකර!!

      චිත්‍රපටි විචාරක අඩවියක් වන Rotten Tomatoes හි In Time චිත්‍රපටියට අකමැති වූ 36% ට ඔබ අයිති වේ. මම අයිති වෙන්නේ එයට කැමති වූ 51% ට ය. ඒ අපගේ රස වින්ඳනයේ තෝරා ගැනීමයි. එය ඔබට අජුත සුව ගෙනා බැවින් ඔබේ රසය වැරදි යැයි මා කියන්නේ නැත. එහි දී ඔබේ රසය මගේ රසයට වඩා වෙනස් වූවක් වෙනවා පමණයි. මේ නිසාම තමයි තෝරාගැනීම් ආණ්ඩුවකට අප වෙනුවෙන් කළ නොහැකි.

      • Uditha Meegahathenna (@UdithaMe) said, on ජනවාරි 31, 2013 at 9:20 පෙ.ව.

        ගිය අවුරුද්දේ මම බැලුව චිත්‍රපට අතරින් මමත් හරිම ආසවුන එකක් තමයි In Time. ලංකාවේ ආණ්ඩුවේ හොස්පිටිතාලෙක හොස්තර මහත්තුරු අත් වැරද්දකින් නීති ශිෂ්‍යාවකගේ අතක් කුණු කරලා කපන්න වෙලා. කවුරුත් කෑ ගහනවා වම්මුත් කෑ ගහනවා මම කිව්වා සියලුම විශ්ව විද්‍යාල සහ සියලුම රෝහල් පුද්ගලිකකරණය කල යුතුය කියල පුද්ගලික රෝහලක හොස්තර මහත්තුරුන්ට අත් වැරදි කරලා බේරෙන්න බෑ නේ. නියම විසඳුම පැත්තක තියෙද්දී කවුරුත් බොරුවට කෑ ගහනවා විතරයි කාටවත් මම කියන එක ඇහෙන්නේ නෑ….තාම

        • arunishapiro said, on ජනවාරි 31, 2013 at 9:23 පෙ.ව.

          Uditha,

          මම ඒ ගැන නිහඬ ව සිටියේ උදිත කියන එක “මම කියන එක ඇහෙන්නේ නෑ… තාම” නිසාමයි!!!

          අත්වැරැද්දක් හෝ අපරාධකාරයෙක් නවත්වාගන්න සාර්ථක ක්‍රමයක් ලොව තියෙනවා යැයි සිතන අය තමයි විසල් ආණ්ඩුවක් ලවා එය කරවා ගත හැකි යැයි ද සිතන්නේ. 😀

          පුද්ගලීකරණය කළාම අඩු ගානේ ‘හෝස්තර’ මහත්තයාටයි සහ ‘හොස්පිටිතාලෙටයි’ අර කෘතීම අතට ගෙවන්නයි, වෙන වන්දි ගෙවන්නයි සිද්ධ වෙන්නෙ. දැන් ඉතින් ආණ්ඩුව ලොව විශිෂ්ඨම කෘතීම අත ගෙනැත් දෙන්න කොච්චර ගාණක් වැය කරයි ද, ඒකට යන වියදම පියවෙන්නෙත් රටේම කරපිටින් මිසක් වැරැද්ද කළ අයගේ කරපිටින් නෙමෙයි කියා දකින්නේ නැහැ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: