අරුණි ශපීරෝ‍ වෙතින්

නිදහස නම් කාටවත් හිංසාවක් නොවන තෝරා ගැනීමකට බාධක නැතිවීමයි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 5, 2013

IMG_4565

මිනිසා ගන්නා සියළු තීරණ තෝරා ගැනීමකින් සිද්ධ වෙන්නකි. තෝරා ගැනීම් කරන මිනිසා විවිධ භෞතික භාණ්ඩ සහ සේවා අතර පමණක් සිය තීරණ පදනම් කර නොගනියි. සියළු මිනිස් අගැයුම් ද මිනිසාගේ තෝරා ගැනීම් වලට පාත්‍ර වෙති. සාක්ෂාත් කරගන්නට අදහස් කරන සියළු ඉලක්ක, ඒ සඳහා ගන්නා සියළු මාර්ග, සියළු භෞතික හා අධ්‍යාත්මික වාදපද (issues), උත්කෘෂ්ට වූව සහ තුච්ඡ වූව ද, උතුම් වූව සහ අධම වූව ද, යනාදී සියළු තෝරා ගැනීම් අතරින් මිනිසා එකක් තෝරාගෙන අනෙක්වා පැත්තකට දමයි. කැමැත්ත දක්වන දැයක් හෝ අකමැත්තෙන් අයින් වී සිටින්නට යැයි අනුක්‍රමයෙන් පිළිවෙලක් සෑදීම සෑම මිනිසෙක්ම කරන තෝරා ගැනීමයි.

වසර දෙසිය පනහකට පෙර යැපුම් කෘෂිකර්මයෙන් (subsistence farming) ගැලවෙන්නට මිනිසාට හැකි විය. එහෙත් වසංගත, සාගත, ඉඩෝර, ගංවතුර, භූමිකම්පා, සුනාමි යනාදියෙන් දහස් ගණන් මිනිසුන් කෙටි කාලයක දී වඳ වී යා හැකි බව නොදැන තවමත් යැපුම් කෘෂිකර්මය ඉතා සුන්දරය යැයි කියන්නට උත්සාහ ගන්නා අය සිටිති.

යැපුම් කෘෂිකාර්මික ජීවිතයෙන් ගැලවෙන්නට හැකි වූ කාර්මීකරණයේ “නිෂ්පාදන බලයන්” වූයේ මොනවා ද?

17 වැනි සහ 18 වැනි සියවස් හි වූ විචාරාත්මක යුගය (age of reason) යනු ජෝන් ලොක්, අයිසෙක් නිව්ටන් හා වෝල්ටෙයාර් වැන්නවුන් නව අදහස් ඉදිරිපත් කළ සමයයි. එය 1680 දී M. Legendre නමින් වූ ප්‍රංශ කර්මාන්තකරුවා Laissez-nous faire! (Let us alone!) අපිට පාඩුවේ ඉන්න දෙන්න යැයි ඉල්ලා සිටි සමයයි. ජීවිතය හා මරණය අතර සටනක් වූ යැපුම් ආර්ථිකයෙන් ගැලවෙන්නට සැලසුම් හැදීමට රජුවරුන් හා පාලකයන්ට නොහැකි බව දැක නව විසඳුම් සෙවූ අය පරම්පරාගත රදළයන්ගේ වරප්‍රසාදයන් ප්‍රශ්න කරන්නට වූ සමයයි. ශිල්ප ශ්‍රේණි සංවිධාන වල බලය, සීමාවන් සහ ඵලදායීත්වය ප්‍රශ්න කරන්නට වූ සමයයි. බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින් සහ තෝමස් ජෙෆර්සන් වැන්නවුන් මිනිස් උදාරත්වයට තැනක් දී ඇමෙරිකන් නිදහස් අරගලයකින් නව ලෝකයක් ජයගත් සමයයි.

නිෂ්පාදන විධි ක්‍රම වල දියුණුව හා Laissez faire ප්‍රතිපත්ති එකම කාලයක දී දකින්නට හැකිවීම අහම්බයෙන් සිද්ධ වූවක් නොවේ. ඉතිහාසයේ විචාරාත්මක යුගය දිහා විචාරයෙන් බලන්නාට නිදහස් අදහස් නිසා යැපුම් කෘෂිකර්මයෙන් අහක් වී කාර්මීකරණ යුගයට පිවිස ආර්ථික දියුණුවක් ලබාගත් හැටි වටහා ගත හැකියි. කාර්මීකරණය නිසා මිනිසාට එදිනට කුස පුරවා ගන්නේ කෙසේද යන ගැටළුව විසඳාගෙන, වෙනත් කැමැති දේවල් ගැන තෝරා ගැනීම් කරන්නට අවස්ථාවක් ලැබුණු ආකාරය වටහා ගත හැකියි.

ස්වභාවයෙන් මිනිසා දුවන්නේ අපායකට යැයි කියූ අය වැරදි යැයි ඔප්පු කරමින් ස්වභාවයෙන් මිනිසා ගියේ සුරලොවකටය. එහෙත් අපාය කරා යන මිනිසා බේරාගන්නට මධ්‍යම සැලසුම් අවශ්‍ය යැයි කියා ස්වභාවය විකෘති කරමින් ජනතාව රවටන්නට බලතණ්හාධිකයන්ට හැකිවිය. වෙහෙසෙන මිනිසා තවමත් වෙහෙසෙන්නේ මිහිමත සුරලොවක් ජීවත්වෙන කෙටි කාලයේ දී හදාගන්නටය. බලතණ්හාධිකයන්ට ඉනිමං හදන ගැත්තන් නූගතුන් රවටන්නට තවමත් සහාය වෙති. මිනිසා නම් ස්වභාවයෙන්ම සොඳුරු සතෙක් යැයි වටහා ගත්, ඔහුගේ නිදහස වෙනුවෙන් කැප වූ අය මිනිසා රැකගන්නා සටන අත්හැර දමා නැත.

මිනිසා සියළුම ක්‍රියාවන් අරමුණක් ඇතිව කරන්නෙකි. ගිනි දැල්ලකින් අත ඉවතට ගැනීම වැනි ප්‍රතික්‍රියාවක් නොව හිතාමතා කරන ක්‍රියාවන් ඉදිරියේ, තෝරා ගැනීම සේ ම කිසිවක් කිරීමට තෝරා නොගැනීම ද ක්‍රියාව යන්නට අයත් වෙයි. මිනිසාට ඇති මේ තෝරා ගැනීමේ හැකියාවට අයිති වෙන යමක් තෝරා නොගෙන සිටීමේ හැකියාව ද, බොහෝ අය තවමත් නිදහස යැයි හඳුනා ගෙන නැත.

ඒ නිසා මිනිසාගේ තෝරා ගැනීම් නිදහස නැති කරන්නට ගෙනෙන නොයෙකුත් බාධක පිළිවෙත් වැඩ කරන්නේ නැත්තේ මන්දැයි වටහා ගැනීමට ද ඔවුනට හැකියාවක් නැත.

නිදහස යනු අවිහිංසාවාදී සිද්ධාන්තයක් (nonagression axiom) යැයි හඳුනාගත් අය තවමත් ලොව ස්වල්පයකි. කිසිම පුද්ගලයෙක් හෝ පුද්ගල කොට්ඨාශයක් විසින් තවත් පුද්ගලයෙකුට හෝ කිසිවෙකුගේ දේපල වලට තර්ජනයක්, බලහත්කාරකමක්, ප්‍රචණ්ඩත්වයක් නොකිරීම සියල්ලන්ගේ නිදහස සැලසෙන එකම ආකාරයයි. ප්‍රචණ්ඩත්වය යනු ආක්‍රමණයකි. නිදහස යනු ප්‍රචණ්ඩත්වය නොමැතිවීමයි. නිදහස යනු සියළු මිනිසුන්ට කිසිම ආකාරයක බලහත්කාරකමක් නොමැති වීමයි. අපරාධයක් යනු තවත් පුද්ගලයෙකුට හෝ පුද්ගලයෙකුගේ දේපල වලට කරන ප්‍රචණ්ඩත්වයයි.

සියළු මිනිස් උවමනාවන් සපුරා ගන්නට එකිනෙකා අතර කැමැත්තෙන් වන ගණුදෙනු වලින් සිද්ධ කර ගන්නට ඉඩ දෙන නිදහස් වාතාවරණයක් ලොව බිහිවූයේ ඒ ගැන අදහස් ප්‍රකාශ කළ මිනිස් කොට්ඨාශයක්, ඒ අදහස් වෙනුවෙන් සටන් කළ මිනිස් කොට්ඨාශයක් හා ඒ ජයගත් නිදහස සියල්ලන් වෙනුවෙන් ස්ථාපිත කරන්නට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හදා දුන් මිනිසුන් කොට්ඨාශයක් ලොව ජීවත් වූ නිසාය. ඔවුන් නමින් ඇමෙරිකන්කාරයන් ය!!! 😀

නිදහස යන්න ඉබේ පහළ වූවක් නොවේ. නිදහස ආරක්ෂා කරගැනීම ද ඉබේ සිද්ධ වෙන්නක් නොවේ.

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on පෙබරවාරි 5, 2013 at 9:58 පෙ.ව.

    ඔබේ වාක්‍ය සමහරක් දිගු වැඩියි ” සාක්ෂාත් කරගන්නට අදහස් කරන සියළු ඉලක්ක, ඒ සඳහා ගන්නා සියළු මාර්ග, සියළු භෞතික හා අධ්‍යාත්මික වාදපද (issues), උත්කෘෂ්ට වූව සහ තුච්ඡ වූව ද, උතුම් වූව සහ අධම වූව ද, යනාදී සියළු තෝරා ගැනීම් අතරින් මිනිසා එකක් තෝරාගෙන අනෙක්වා පැත්තකට දමයි.” මේ වාක්‍ය හෙම හරි අමාරුයි ලෙහෙසියෙන් තේරුම් ගන්න..
    සාමාන්‍යයෙන් ඔබ කුඩාකල කතාන්දර අසා ඇති…සීයාගෙන් හෝ ආච්චීගෙන්..එවිට ඒ අයකියන කතා ඔබට අපහසුවකින් තොරව තේරෙන්නටත් ඇති…මා සිතන්නේ ඒ භාසා විලාසය තමයි වඩාත් පිරිසකට තේරෙන බාසා විලාසය…

    අපේ බාසාව තව ස්ටෙප් එකක් පස්සට ගිහිං ආයෙත් ස්ටෙප් දෙකක් ඉස්සරහට ගන්න ඕනි…නැත්නම් සන්නිවේදන දුර්වලතා ගොඩක් එක්ක එකතැන තියෙන නොතේරෙන වචන ගොඩක් වෙනවා සිංහල බාසාව..

    • arunishapiro said, on පෙබරවාරි 5, 2013 at 10:11 පෙ.ව.

      indika27,

      මගෙ දයාපුංචි තමයි කතන්දර කියන්න හපනා. ඒත් මේවා ඒ වගේ කතන්දර නෙමෙයිනෙ.

      “සාක්ෂාත් කරගන්නට අදහස් කරන සියළු ඉලක්ක, ඒ සඳහා ගන්නා සියළු මාර්ග, සියළු භෞතික හා අධ්‍යාත්මික වාදපද (issues), උත්කෘෂ්ට වූව සහ තුච්ඡ වූව ද, උතුම් වූව සහ අධම වූව ද, යනාදී සියළු තෝරා ගැනීම් අතරින් මිනිසා එකක් තෝරාගෙන අනෙක්වා පැත්තකට දමයි.”

      බලමු උත්සාහයක් කරලා මේක තවත් සරලව කියන්න.

      අයෙක් ඉටු කරගන්න අදහස් කරන ඉලක්කය කුමක් ද? ඒ වෙනුවෙන් ගන්නා හැම පියවරක්ම එයා තෝරා ගැනීමකින් යුතුව කරන්නකි. බඩුවක් ගන්න ගියත්, පිනක් දහමක් කරගන්න ගියත්, මිනිසා කරන්නේ තමන් ඉදිරියේ ඇති තෝරා ගැනීම් සමූහයකින් එකක් තෝරාගෙන අනෙක් සියල්ල පැත්තකට දැමීමයි. සමහර විට ඒ තෝරාගැනීම ඉතා උතුම් යැයි ඔහු දකින්නට පුළුවන. සමහර විට ඒ තෝරාගැනීම පහත් වූවක් යැයි ඔහු දකින්නට පුළුවන. එහෙත් එය තෝරා ගන්නා අවස්ථාවේ දී, තෝරා ගන්නා පුද්ගලයා එය දකින්නේ තමන් ඉදිරියේ ඇති තෝරාගැනීම් වලින් වඩාත්ම සුදුසු වූ තෝරාගැනීම ලෙසයි. පසු කාලයක දී ඒ තෝරාගැනීම එසේ නොකළේ නම් හොඳයි කියා සිතෙන්නට ද හැකියි. ඒත් ඒ වෙද්දී තෝරා ගැනීම සිද්ධ කර හමාර වී ඇත. ඒ ගැන පසුව කළ හැකි දෙයක් නැත.

      ඉතින් ජීවිතයේ වඩාත්ම වැදගත් වන්නේ තමන් තෝරා ගැනීමක් කරන/තෝරා ගැනීමක් නොකර සිටින යන අවස්ථාවයි.

      යම් තෝරා ගැනීමක් යනු පසුව අහෝසි කළ නොහැකි වූවකි.

  2. Gold fish said, on පෙබරවාරි 5, 2013 at 10:50 පෙ.ව.

    යැපුම් කෘෂිකර්මය ගැන පුංචි විස්තරයක් දැනගන්න කැමතියි.

  3. maathalan said, on පෙබරවාරි 5, 2013 at 1:52 ප.ව.

    අපේ රටේ ජීවත්වූ පුරවැසියකු ලෙස අපේ නිදහස ගැන ඔබේ මතය….? මේ සමරන, ලබා ගත්තායයි උදම් අනන නිදහස….

  4. Nihal Gurusinghe said, on පෙබරවාරි 5, 2013 at 11:44 ප.ව.

    තමන් කැමති දෙයක් ඇඳීමට හැකි වීම, තමන් කැමති විදියකට ජීවත් වීමට හැකි වීම, තමන් කැමති දෙයක් කිරීමට හැකි වීමත් නිදහස නේද ? එහෙම බලන කොට ලංකාවට නිදහසක් තියෙනවද ?

    • arunishapiro said, on පෙබරවාරි 6, 2013 at 7:31 පෙ.ව.

      Nihal Gurusinghe,

      තමන් කැමති දෙයකට නිදහස තියෙන්න ඕනෑ කියල හිතන හැමෝටම අමතක වෙන වැදගත්ම දේ තමයි ඒ තමන් කැමති දේවල් කරන නිදහස අනුන්ගේ ජීවිතය හා අනුන්ගේ දේපල වලින් ලබාගැනීමට නිදහසක් නැහැ යන්න.

  5. Uditha Meegahathenna (@UdithaMe) said, on පෙබරවාරි 6, 2013 at 4:24 පෙ.ව.

    Sweet dreams are made of these
    Who am I to disagree?
    Travel the world and the seven seas
    Everybody’s looking for something

    Some of them want to use you
    Some of them want to get used by you
    Some of them want to abuse you
    Some of them want to be abused

    Songwriters: Lennox, Annie; Stewart, David Allan; song by Marilyn Manson

    ලාංකිකයින් දැන් විඳින්නේ තමන් කැමති නිදහස තමයි, තර්ජනයක්, බලහත්කාරකමක්, ප්‍රචණ්ඩත්වයක් නැහැ බහුතරය කැමැත්තෙන්ම තමයි අනේ අපිවත් දුෂණය කරන්න කියල දුෂකයාගෙන් ඉල්ලලම තමන්ව දුෂණය කරගන්නේ. ඉතින් ඔවුන්ගේ අරුතින් ඔවුන් නිදහස විඳිනවා.
    1, තමන්ගේ නිදහස රාජ්‍යය හෝ බලවත් අනෙකෙකු හරහා සිමා කර ගැනීම තමයි ලාංකිකයා නිදහස කියන්නේ.
    2, බලවත් අනෙකා විඳිනවයයි සිතන අසීමිත පුර්ණ නිදහස දිහා බලාගෙන හූල්ලමින් ඒ තුලින් අනියමින් සතුටුවීම තමයි ලාංකිකයා නිදහස කියන්නේ.
    මේ ඉහත කරුණු දෙක සමාජීය උදාහරණයකින් මෙහෙම පෙන්වලා දෙන්න පුළුවන්
    1, මගේ අල්ලපු ගෙදර කොල්ලා සිය පෙම්වතිය සමග හෝටල් කාමරයකට ගොස් විනෝද වීම රාජ්‍යය හෝ බලවත් අනෙකෙකු හරහා සිමා කල යුතුය වැළක්විය යුතුය එසේ නැත්නම් වසර 2500 පැරණි අපේ සංස්කෘතිය සභ්‍යත්වය විනාශ වේ එබැවින් පොලිසිය හෝටල් වටලා ජෝඩු අල්ලා කුඩුවට දමා මේවා නැවැත්විය යුතුයි. (තහනම වැඩි වැඩියෙන් කරන බලවත් අනෙකාට (මහින්ද රාජපක්ෂ? )බලයේ සිටීමට වැඩියෙන් පොදුජන කැමැත්ත හිමිවේ,)
    2. බලවත් අනෙකාගේ (මහින්ද රාජපක්ෂගේ? ) බාල පුතා සිය සුදු හොට් පෙම්වතිය සමග ඕනෑ රටක ඕනෑම හෝටල් කාමරයක නිදහසේ සංචාරය කරමින් විඳින අසීමිත පුර්ණ නිදහස දිහා බලාගෙන හූල්ලමින් ඒ තුලින් අනියමින් සතුටුවීම, දුමින්ද සිල්වා අනර්කලීගෙන් නිදහසේ ලත් සතුට ,හෝ මේනක නෙහාරාගෙන් ලබන විනෝදය උදාහරණ ඕනෑ තරම් යන්න ගොසිප් සයිට් වලට.

    දැන් ලාංකිකයා නිදහස කියන්නේ මොකක්දැයි අවබෝධයක් ලැබුවානම් තේරෙන්න ඕනෑ කොයි කවුරුත් විඳින බටහිර නිදහස නොවෙයි අපිටම ආවේණික වූ චතුස්කෝටික නිදහස කියන්නේ කසි කබල් බටහිර නිදහස වගේ නොවෙයි. මේක තහනම වැඩියෙන් එන්න එන්න තමයි නිදහස වැඩියෙන් දැනෙන්නේ.

  6. Jay said, on පෙබරවාරි 6, 2013 at 5:18 පෙ.ව.

    අන්න ඒ උත්තරයට මාත් එකගයි…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: