අරුණි ශපීරෝ‍ වෙතින්

යදම් ගැල වූ ජැන්ගෝ – ඩී සයිලන්ට් ය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 7, 2013

2012 දෙසැම්බරයේ ඇමෙරිකන් සිනමාවට එකතු වූ Django Unchained (2012) චිත්‍රපටිය කුවෙන්ටින් ටරන්ටිනෝ නිෂ්පාදනයකි. තතු දන්නා අයට දැන් කියැවීම අවසන් කර චිත්‍රපටිය රසවිඳිය හැකියි.

ඉතිරිය තතු නොදන්නා අයට. කුවෙන්ටින් ටරන්ටිනෝ යනු ඔහුටම ආවේනික ශෛලියකට චිත්‍රපටි නිපදවන අති දක්ෂ සිනමාකරුවෙකි. “යදම් ගැල වූ ජැන්ගෝ” බටහිර වීරකාව්‍ය සිනමා ප්‍රබන්ධයකි. එහි සත්‍ය සමාජ ලක්ෂණ සහ ප්‍රබන්ධය රසවත් කරන්නට යොදා ඇති පසුබිම තමන් විසින් තෝරා බේරාගත යුත්තකි.

ඇමෙරිකන් බටහිර සත්‍ය ඉතිහාසය, කව්බෝයි කතන්දර නොහොත් westerns යැයි සැලකෙන ප්‍රබන්ධයන් හි නිරූපනය වෙන තරම් දාමරික වූයේ නැත. යුරෝපීය නිරුවතට වඩා, ඉන්දීය කඳුළු ගංගා වලට වඩා, චීන සටන් ක්‍රම වලට වඩා, ත්‍රාසය දනවන උත්ප්‍රාසයෙන් පිරි ප්‍රචණ්ඩත්වය සිනමාවෙන් දකින්නට ඇමරිකන්කාරයා කැමතිය. කුවෙන්ටින් මනාව සපයා ඇත්තේ ඒ ඉල්ලුමයි.

පිරිමි වහලුන් අතර ග්ලැඩියේටර් වැනි සටන් වහල් හිමියන් විසින් පවත්වා ඇතැයි ඇමෙරිකන් ඉතිහාසයේ කොතැනකවත් ලියැවී නැත. තම දේපල මිය ගියහොත් එය ආර්ථික පාඩුවකි. උවමනාවෙන් තමනට ආර්ථික පාඩු සිද්ධ කරගැනීම ධනවාදීන්ගේ සිරිතක් නොවේ!!!!!

ඇමෙරිකන් ඉතිහාසය අවංකව හදාරන ඕනෑම අයෙකු පළමුවෙන්ම දකිනා දෙයක් නම් පළමු පරම්පරාවල අය විසින්ම ලියා ඇති ඇමෙරිකන් ඉතිහාස මූලාශ්‍ර කොපමණ යන්නේ ද කියාය. චිත්‍රපටියේ දැක්වෙන Ku Klux Klan වැනි අයව වසර දශකයකින් පෙරට කුවෙන්ටින් විසින් ගෙනැවිත් ඇත.

අයෙක් ජැන්ගෝ ඇමෙරිකන් වහලා ගැන වූවක් යැයි කියන්නේ නම් කුවෙන්ටින් හැදූ Inglourious Basterds (2009) ඇමෙරිකානුවන් හිට්ලර් පැරද වූ හැටි යැයි කියනු ද ඇත!!!!

සෙසු ලෝකය හා සසඳද්දී ඇමෙරිකාව වෙනස් වන්නේ:
වැඩවසම් ආර්ථික ක්‍රමයක් නොතිබීමෙන්
පරම්පරා උරුමයෙන් ලැබුන ඉඩම් අයිතියක් මූලාරම්භයේ පටන් නොවීමෙන්
පංති අරගලයක් නොවීමෙන්
ඇමෙරිකන් පදිංචිකරුවන්ට රටේ හැම පළාතකම නිදහසේ ගමන් බිමන් කිරීමට හැකිවීමෙන්
ආරම්භයේ පටන් ම විවිධ ජාතීන් අතර විවාහ සිද්ධ වීමෙන් (මම වගේ!!!)

ඉතින් මෙහි දී ඇමෙරිකාවට බනින්නට උවමනා අය යොදා ගන්නේ අධිරාජ්‍යවාදීන් (පෘතුගීසි, බ්‍රිතාන්‍ය, ස්පාඤ්ඤ, ප්‍රංශ, ඕලන්ද) ඇමෙරිකාවටත් ගෙනා, එවක ලෝකයේ හැම තැනකම තිබි වහල් ක්‍රමයයි. පුරාතන ග්‍රීසියේ ප්ලේටෝ ද වහලෙක් වී සිටියේය. යුරෝපීයයන් අතර වහලුන් හා වහල් අයිතිකරුවන් එකම ජාතියකට අයත් වී සිටියා යැයි ද, වහල් ක්‍රමයේ ඉතිහාසය අවුරුදු දහස් ගණනක් ඈතක දී ඇරඹුන ලද්දක් බව ද මොවුන් අමතක කරති. මෙසේ ඇමෙරිකාවේ වැරදි පමණක් හොයන අයට ලොවේ එකම වහල් ක්‍රමය තිබුනේ ඇමෙරිකාවේ පමණි. ඒ මදිවාට කළු අය 13% ක් පමණක් ඉන්නා මෙහි අද කළු ජනාධිපතිවරයෙක් සිටිය දී තවමත් ජාතිවාදයක් ඇතැයි කියන්නට උත්සාහ කරති.

වහලුන් ගෙනා බෝට්ටු ගැන විස්තර ලියද්දී, ඒවායෙන් වහලුන් ප්‍රවාහනය කළේ ඇමරිකාවට පමණක් නොව කැරිබීයන් මුහුදේ ඇති කියුබාව වැනි රටවලටත්, සෙසු දකුණු ඇමෙරිකානු රටවල වූ පෘතුගීසි, ඕලන්ද, බ්‍රිතාන්‍ය, ප්‍රංශ හා ස්පාඤ්ඤ යටත්විජිත වලට බවත් නොදනිති.

ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය වහල් ක්‍රමය ආලෝපනය කළ පසුවත්, දශක ගණනාවක් යනතුරු ඔටෝමාන් අධිරාජ්‍යයේ සුදු අයව වහලුන් පිණිස විකුණන ලදි. 18 වැනි සියවසේ ජෝර්ජ් වොෂිංටන්, තෝමස් ජෙෆර්සන්, පැට්‍රික් හෙන්රි වැනි අය ලියූ ඵෛතිහාසික සටහන් වලින් වහල් ක්‍රමය අහෝසි කළ යුතු යැයි පැහැදිලි කතාබහ දකින්නට ලැබුණත්, එවක අප්‍රිකාවේ, ආසියාවේ හෝ මැද පෙරදිග කිසිම තැනකින් ඒ අදහස කියා පෑ අයෙක් සොයාගත නොහැකියි.

වහල් ක්‍රමය දුෂ්ට වූවක් යන්න තීන්දු කිරීම එවක ඇමෙරිකානුවන්ට පහසු විය. එහෙත් රටේ ඉන්නා මිලියන තුනක වහලුන් වෙනුවෙන් කුමන පිළිවෙතක් ගෙන එන්නේ ද යන්න තීරණය අපහසු වූවකි. “බූරුවෙකුත් අක්කර 30 කුත් දී වහලා නිදහස් කරන්න,” යැයි එවක නිදහස අගයන අය ගෙනා යෝජනාවක් විය. තහනමට පෙර වහලුන් මිල දී අය තම දේපල අහිමියට අකමැති වූහ.

1862 දී අප්‍රිකාවේ සිට කියුබාව බලා යන වහලුන් රැගත් නැවක් ඇමෙරිකන් නාවුක හමුදාව විසින් අල්ලා ගන්නා ලදි. තහනම් වහල් ප්‍රවාහනයේ යෙදුන නිසා එහි කප්පිත්තාව එල්ලුම් ගහට නියම විය. නැවේ සෙසු පිරිස සිරදඬුවම් ලැබුහ.

සිවිල් යුද්ධයේ දී නිදහස ලැබූ සෑම වහලුන් හයක් වෙනුවෙන්ම එක මිනිස් ජීවිතයක් අහිමි විය. සිවිල් යුද්ධයට පෙර සන්ධ්‍යාව නොහොත් antebellum කාලයේ (ජැන්ගෝ චිත්‍රපටිය දිග හැරෙන කාලය) දී කළු ජාතිකයන් ද වහලුන් දහස් ගණනින් අයිති කරගෙන සිටියහ.

විස්තර:තෝමස් සවෙල් ලියූ Thomas Sowell Reader (2011)

නීතියක් ගෙනා පමණින් සියල්ලන්ම එයට අවනත වෙනු ඇතැයි සිතන අයත් සිටිති. ඒ අය බලහත්කාරයෙන්, වෙහෙසන අය ලවාම තව දුරටත් වැඩියෙන් වෙහෙස වී බදු වැඩියෙන් ගෙවන්නට කැමති කරවා ගන්නට නිතිපතා තැත් කරති!!!!

ආර්ථික සත්‍යයක් නම් වහලෙක් තබා ගැනීම නිදහස් මිනිසෙකු ගෙන් ශ්‍රමය මිල දී ගන්නවාට වඩා වැඩියෙන් පාඩු ලබන ක්‍රමයක් බවයි. මිනිසුන් වහලුන් සේ අදත් ජීවත්වෙන රටවල ආර්ථිකයන් ඊට කදිම නිදර්ශන වෙති. වහල් ක්‍රමය අහෝසියට සිවිල් යුද්ධයක් නොකළත් එය පැවැත්මකින් තොර වූවක් බව එවක දී හඳුනාගෙන තිබුණි. “හැමදාම පැවතෙන්නට නොහැකි දෙයක්, නවතිනු ඇත.Lincoln (2012) ඵෛතිහාසික ප්‍රබන්ධය 1861 සිට 1865 දක්වා වූ සිවිල් යුද්ධයේ අවසානය හා ඒබ්‍රහම් ලින්කන් ගැන.

Underground Railroad නමින් හැඳින්වෙන්නේ 19 වැනි සියවසේ දකුණේ වහලුන් වහල් ක්‍රමයක් නොමැති වූ උතුරට පළා යන්නට හදාගත් විධි ක්‍රමයකි. 1850 දී ලක්ෂයක් වහලුන් එයින් උතුරු පෙදෙස් වලටත් කැනඩාවටත් පළා ගිය බව කියැවේ.

Abolitionists කියන්නේ වහල් ක්‍රමය අහෝසිය වෙනුවෙන් කැප වී කටයුතු කළ අහෝසිවාදීන්ටයි. American Anti-Slavery Society සහ William Lloyd Garrison, Arthur Tappan, Lewis Tappan, John Greenleaf Whittier, Harriet Beecher Stowe යනාදීන් වෙහෙස වූයේ abolitionism නොහොත් අහෝසිවාදයටයි.

ඇමෙරිකාවේ ෆෙඩරල් ආණ්ඩුවේ බලය අවම කරවන ප්‍රාන්ත බලතල අද ඔබාමා ද නොසලකා හරින්නකි. එදා ඒ බලතල රටේ ව්‍යවස්ථාව අවතක්සේරුවට හේතු විය. විසඳුම විය යුතුව තිබුනේ ෆෙඩරල් බලය වැඩි කිරීම නොව ප්‍රාන්ත විසින් රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අනුගමනයට කැමති කරවා ගැනීමයි. එහෙත් බලතණ්හාධිකයන් ඕනෑම අර්බූදයක දී බලය තම අතට ගන්නට ව්‍යවස්ථාව කෙළසති. ආදීපීතෘවරුන් ලියූ ලොව අනගි ලියැවිල්ල හිතුමතයට වෙනස් කිරීම පහසු නැති බව අද ඔබාමාත් එදා දකුණු ප්‍රාන්ත ද අත්දුටුවහ. එදා ප්‍රාන්ත රටේ ව්‍යවස්ථාව වෙනස් නොකර තම කැමැත්ත ඉටු කරගන්නට රෙගුලාසි හා නීති රීති පනවා ගත්හ. අද ෆෙඩරල් ආණ්ඩුවත් ව්‍යවස්ථාව වෙනස් නොකර රෙගුලාසි හා නීති රීති වලින් ව්‍යවස්ථාව කෙළසන්නට පටන් ගෙන ඇත.

ලුයිසියානාවේ නීතියකින් Plessy v. Ferguson (1896) දී දුම්රිය මැදිරි කළු හා සුදු යන අයට වෙන් කරගනිති. සුපිරි උසාවියේ විනිසුරු John Marshall Harlan එයට හත්දෙනෙක් කැමැත්ත ප්‍රකාශ කරද්දී තනිවම අකමැත්ත ප්‍රකාශ කරමින් “අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාට වෙනසක් දකින්නේ නැත, පංති භේදයක් අපේ ජනතාව අතර ඇතිවීම ඉවසා සිටින්නේ ද නැතැයි,” ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටියි.

ජිම් ක්‍රෝ යනුවෙන් ඇතිවන ප්‍රතිඵලය ප්‍රාන්ත නීතියකි.

ඔබාමාගේ සෞඛ්‍ය පනත 2012 දී සුපිරි උසාවියේ දී අනුමත වූයේ 5 ක් පක්ෂව හා 4 ක් විපක්ෂව දුන් තීන්දුවෙනි. එහි ඵලවිපාක පෙන්වන්නට රටේ ආර්ථිකය පටන් ගෙන ඇත. ව්‍යාපාර කරගෙන යන අයට සෞඛ්‍ය පනතෙන් වියදම් වැඩිවන නිසා අද ව්‍යාපාර වසා දමන අයත්, අලුතින් ව්‍යාපාර පටන් නොගන්නා අයත් බහුල වී ඇත.

එදා ව්‍යාපාර කරගෙන ගිය සුදු අයට ජිම් ක්‍රෝ යනු වියදම් වැඩි කළ නීතියක් විය. දුම්රිය පෙට්ටි දෙකක් දුවනවා වෙනුවට දැන් කළු -දුම් නොබොන, කළු -දුම්බොන, සුදු -දුම් නොබෙන, සුදු -දුම්බොන යැයි ඩබල් වැයකි!!! පුද්ගලික ව්‍යාපාරිකයන්ට උවමනා වූයේ ජාතීන් දෙගොල්ලන්ම ගමන් ගන්නා මැදිරිය.

ව්‍යාපාර බංකොළොත් කරන නීති රෙගුලාසි ගෙනෙනා ආණ්ඩු අනතුරුව සේවා සැපයීම තමන් අතට ගෙන තම බලය තවත් වැඩි කරගනියි. පුරවැසියාගේ ආර්ථිකය බංකොළොත්වීම ගැන ආණ්ඩුවේ දේශපාලනඥයාට ගැටළුවක් නැත.

විවිධ දකුණු ප්‍රාන්ත වල විවිධ නීති පැතිර ගියේය. එකම මේසයක වාඩි වී කාඩ් සෙල්ලමේ යෙදෙන්නට කළු හා සුදු අයට තහනම් විය. උසාවියේ වෙන අසුන් නියම විය. වෙන බයිබල් වල ගිවිසුම් ගන්නට සිද්ධ විය. කළු බාබර්ලාට සුදු අයගේ කොණ්ඩය කපන්නට තහනම් විය. පුස්තකාල ජාතිය අනුව වෙන් කෙරිණ.

1910 වෙද්දී එතෙක් එකතුව කරන කටයුතු සියල්ල වෙන් වෙන්ව කරන්නට Jim Crow නීති ගෙනැවිත් තිබුණි. එය ව්‍යවස්ථාවට පටහැනි බව නිදහස වෙනුවෙන් පෙනී සිටියවුන් හඬ ගෑහ. එය ව්‍යාපාර වලට අලාබදායක බව පුද්ගලික අංශය කියා සිටියහ. 1800 ගණන් අග දී ඔගස්ටා, හූස්ටන්, ජැක්සන්විල්, මොබිල්, මොන්ට්ගොමරි, සහ මෙම්ෆිස් යන නගර වල වීදි රථ කළු සුදු භේදයකින් තොරව පාවිච්චි කරන්නට සැමට ඉඩ ලැබුණි. එහෙත් 1900 ගණන් මුල වෙද්දී නගර සභා වලින් සහ ප්‍රාන්ත ව්‍යවස්ථා වලින් මහජන පහසුකම් බෙදී තිබිණ. ජිම් ක්‍රෝ නීතිය පිළිපැදීම බහුතර පුද්ගලික රේල් පාරවල් අයිති අය ප්‍රතික්ෂේප කළහ. ආර්ථික ඉතිහාසඥයෙක් වන Jennifer Roback පෙන්වා දෙන්නේ ඔවුන් එසේ විරුද්ධ වූ ආකාරයයි. තමන් ව්‍යාපාර කරගෙන යන විදියට ආණ්ඩුව බලපෑම් කරන්නේ යැයි ඔවුන් ප්‍රාන්ත ආණ්ඩු වලට චෝදනා එල්ල කළහ. එහෙත් ආණ්ඩුවේ දේශපාලනය ව්‍යාපාරයන්ගේ ලාබය හෝ සද්ගුණය ගැන විමසන්නක් නොවේ. නීති වලට අනුමත නොවී ව්‍යාපාරයන් කරගෙන යනු නොහැකි තර්ජන ගෙනවිත් ජාතිවාදී වූයේ රේල්ලු අයිතිකරුවන් වූ සුදු ව්‍යාපාරිකයන් නොව බලතණ්හාධික දේශපාලනඥයා බව දැකිය හැකියි!!!!

ප්‍රාන්ත ආණ්ඩු විසින් කළ ව්‍යවස්ථා උල්ලංඝන ගැන තව විස්තර: Dred Scott’s Revenge: A Legal History of Race and Freedom in America, Judge Andrew Napolitano (2009)

ඇමෙරිකාවේ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මතට තිත (prohibition) තැබිණ. ඒ 1920 සිට 1933 දක්වා කාලයයි. නීතියක් ගෙනාවාට මිනිස් ස්වභාවය වෙනස් කරනු නොහැකි යැයි පැහැදිලි වෙන්නට එවර නම් වැඩි කාලයක් ගත නොවිණ!!!! 1933 දී 21 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් මතට තිත ඉවත් කෙරිණ.

1954 සුපිරි උසාවියේ Brown v Board of Education තීන්දුවෙන් ජිම් ක්‍රෝ නීතිය ඉවත් කෙරිණ.

මා ඇතුළු නිදහස අගයන, රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අගයන පිරිසක් නිති වෙහෙසෙනුයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ලද 16 වැනි ව්‍යවස්ථා සංශෝධනය හෙවත් ආදායම් බදු අහෝසිය වෙනුවෙනි.

මේ දිනවල ඔබාමා විසින් සෞඛ්‍ය පනත සම්මතයෙන් රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බව පහදා ගන්නට බැරි අයට එදා මතට තිත පැනවූයේ කෙසේද, ජිම් ක්‍රෝ නීති ගෙන ඒම සිද්ධ වුයේ කෙසේද කියා ද පහදා ගත නොහැකියි. අද ව්‍යවස්ථාව බිඳ දැමීම ගැන කැමැත්ත දක්වන ඔවුන් කළින් ව්‍යවස්ථාව උල්ලංඝනයට අකමැත්ත කියනවා පමණි.

“හැමදාම පැවතෙන්නට නොහැකි දෙයක්, නවතිනු ඇත,” නිසා වහල් ක්‍රමය තුරන් කරන්නට හැකියාව ඇත්තේ ධනවාදයටයි, Race and Economics ලියන වෝල්ටර් ඊ. විලියම්ස් නම් ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ අර්ථ ශාස්ත්‍ර මහාචාර්යවරයා පෙන්වා දුන්නේ අද ආණ්ඩුවේ සහනාධාර වලින් ජීවත්වෙන වහලුන් ලෙස කළු ජනතාව තම කළු නායකයන්ගේ මුලාවන්ට රැවටී තමන්ව විකුණා ඉන්නා ආකාරයයි.

දක්කා ගෙන යන්නට බැටළුන් නැත්නම් දේශපාලනඥයන් රටේ සෙසු පුරවැසියන් සේ වෙහෙස වී නිදහස් වෙළඳපොලේ තරඟ කළ යුතු වේ!!!!! ඒ නිසා දක්කා ගෙන යන්නට බැටළුවන් සොයා ගැනීම දේශපාලනඥයාගේ පැවැත්මට නිති අවශ්‍ය වේ.

ජැක්සන්, මිසිසිපි හි කළු ගෘහ සේවිකාවන් ගේ ජීවිතය ලොවට හෙළිදරව් කරන සුදු කෙල්ලක් ගැන කතාවක් The Help (2011) චිත්‍රපටියේ දකින්න පුලුවන්. ඒ 1960 ගණන් වෙයි. මෙයත් ප්‍රබන්ධයකි. කළු සේවකයන්ට නිවසේ වෙනම වැසිකිළියක් තිබිය යුතු යැයි නීතියක් ජැක්සන්, මිසිසිපි හි සම්මත වූයේ නැත.

සිංහලෙන් ඇමෙරිකන් ඉතිහාසය කියවන්න කැමති අයට:
ඇමෙරිකා එක්සත් ජනපද ඉතිහාසය, (1998; 1999; 2002) මහාචාර්ය උක්කු බණ්ඩා කරුණානන්ද
ඇමෙරිකානු සිවිල් යුද්ධය 1861-1865, මහාචාර්ය නයනි මැලගොඩ (2004)
ජෝර්ජ් වොෂිංටන්, මහාචාර්ය නයනි මැලගොඩ (2006)
බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්, මහාචාර්ය නයනි මැලගොඩ සහ අරුණි ශපීරෝ (2004)

Advertisements

13 Responses

Subscribe to comments with RSS.

  1. Uditha Meegahathenna (@UdithaMe) said, on පෙබරවාරි 7, 2013 at 8:50 පෙ.ව.

    ඊයේ රෑ මම බැලුවේ ස්පිල්බර්ග් විසින් නිෂ්පාදනය කොට අධ්‍යක්‍ෂණය කරන ලද නවතම චිත්‍රපටය ලින්කන්. අරුණි බැලුවාද? නිකමට හිතල බලන්න ඒබ්‍රහම් ලින්කන් වගේ අය ඒ කාලේ ලෝකේ හිටිය (ඇමරිකාවේ කිව්වම අපේ අයට මල නේ) රට ජනතාව වෙනුවෙන් පනත් සම්මත කරගත්තා අපේ 2013 ඉන්නේ පාර්ලිමේන්තුවේ 3න් 2 බලය ලැබුනම ඕනෑම වර ගණනක් ජනධිපති වෙන්න තමන් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කරන නායකයෝ. ජැන්ගෝ මම ගිය සතියේ බැලුවා. කතා කරන්න බොහෝ දේවල් සහ ඉගෙනගන්නවානම් ලාංකිකයාට ගන්න ගොඩක් දේවල් මේ චිත්‍රපට දෙකේ තියනවා . එහෙව් රටේ ඉඳගෙන සමහරු අපිට දාන කින්ඩි කොහොමද?

    • arunishapiro said, on පෙබරවාරි 7, 2013 at 9:43 පෙ.ව.

      Uditha,

      ලින්කන් ඉදිරියේ බැලිය යුතු ලැයිස්තුවේ එකක්. ලින්කන් ඉක්මන් වුනා වැඩියි කියලයි මා හිතන්නෙ. සිවිල් යුද්ධයේ මිනිස් ඝාතනයකින් නොව නිදහස් වෙළඳපොල ක්‍රියාමාර්ගයට ඉඩ දුන්නා නම් තිරසාර නිවහල් බව, කළු අයට විතරක් නෙමෙයි සියළු පුරවැසියන්ට ලැබෙන්නට තිබූ මාර්ගය, බදු එකතු කරන ෆෙඩරල් ආණ්ඩුව අතට බලය වැඩිවීමෙන් තවත් කාලයක් යන තුරු ප්‍රමාද වූවා යන අදහස් ඇති අයටයි මා අයිති වෙන්නේ.

      ඉගෙන ගන්න ඕනෑ කෙනෙක්ට ඕනෑ තරම් දේවල් තියෙනවා. “කින්ඩි” 😀 දාන්නෙ විචාරය, තර්කය බැරි, දත්ත සහ මූලාශ්‍ර පෙන්විය නොහැකි අයයි. එහෙම අනුන් මුලාකරමින් තමන් ද මුලාවේ සිටිමින් එයාලගෙ “කින්ඩි” දාන්න අපි ඉඩ දෙන්නත් ඕනෑ කියලා හිතනවා.

      ඕනෑ තරම් භාවිතයේ යෙදෙන හැටි අහලා තිබුණාට “කින්ඩි” වචනයේ අර්ථය ශබ්දකෝෂයකින් මට හොයා ගන්න බැරි වුනා. 😦

  2. Gold fish said, on පෙබරවාරි 7, 2013 at 12:06 ප.ව.

    ලිස්ට් එකට තව එකක්….

  3. චින්තක ටිකිරිබන්ඩාර said, on පෙබරවාරි 7, 2013 at 12:46 ප.ව.

    ඔබ අන්චේන් ජැන්ගෝ චිත්‍රපටය ගැන කතා කර ඇති නිසාම මම අහන්නට කැමතියි ඔබෙන් එහි සඳහන් වෙන bounty hunter හෙවත් තිළිණ දඩයම්කරුවා ගැන ඔබේ අදහස කුමක්ද? ඒ ගැන විකිපීඩියා තොරතුරු නම් මා කියෙව්වා. මාව විසමයට පත් කරනු ලැබුවේ ඔබ මහත් උත්කර්ෂයෙන් කතාකරනු ලබන ප්‍රජාතාන්ත්‍රික ඇමරිකාවේ අධිකරණය රටේ නමගිය අපරාධකරුවන් හට දඬුවම් කිරීමට මෙවනි අවිධිමත් ,,අවිශ්වාශනීයය ක්‍රියාවලියක් පවත්වාගෙන යාම ගැනයි. ඔබ නිතර කතාකරන ඇමරිකාවේ සාධාරණත්වය, ප්‍රජාතාන්ත්‍රික පරිපාලනය එවැනි කිළිටි ක්‍රමවේදයන් අනුගමනය කිරීම ගැන ඔබේ අදහස කුමක්ද ?

    • arunishapiro said, on පෙබරවාරි 7, 2013 at 2:12 ප.ව.

      චින්තක ටිකිරිබන්ඩාර,

      ඇමෙරිකන් බටහිර සත්‍ය ඉතිහාසය, කව්බෝයි කතන්දර නොහොත් westerns යැයි සැලකෙන ප්‍රබන්ධයන් හි නිරූපනය වෙන තරම් දාමරික වූයේ නැත,” යැයි මා ඉහත වාක්‍යයට අමුණා ඇති සබැඳියේ Thomas J. DiLorenzo මෙය පැහැදිලි කරන්නට මූලාශ්‍ර රාශියක් ඉදිරිපත් කර ඇත.

      Thomas E. Woods, Jr. විසින් ද “Was the “WILD WEST” Really Wild? යන මැයෙන් සිය පොතක පරිච්ඡේදයකින් ඉහත මා ලියූ වාක්‍ය ඔප්පු කර පෙන්වා ඇත. 2004 දී ස්ටෑන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ P. J. Hill සහ Terry Anderson විසින් ලියන ලද “Not so Wild, Wild West,” යන පර්යේෂණ ලිපිය ද පරිසිද්ධි (facts) දක්වමින් කියන්නේ “එසේ දාමරික වූයේ නැත, පුද්ගලික දේපල අයිතීන් ආරක්ෂා වී සිවිල් විනය පැවතිණ. පුද්ගලික ඒජන්සියන් සමාජයේ විනය හා සාමය රකින්නට අවශ්‍ය පදනම ලබා දුනි. එයින් දේපල ආරක්ෂා වී පිළිගැටුම් නිරාකරණය විය.” -“indicates that this was not the case; property rights were protected and civil order prevailed. Private agencies provided the necessary basis for an orderly society in which property was protected and conflicts were resolved.” 1976 දී W. Eugene Hollon ලියන Frontier Violence: Another Look හි සාමකාමී බව නිසාම වැඩියෙන් නැගෙනහිර ජනතාව පුරෝගාමී ජනාවාස වලට ඇදී එන බව දත්ත පෙන්වා ඔප්පු කර තිබෙනවා. Common sense (සිංහලෙන් කියන්න නොදනිමි) කියන්නේ ද වෙස්ටර්න් චිත්‍රපටිවල නිරූපනය වන තරම් ක්ෂණයෙන් එකිනෙකා මරා ගන්නා හැදියාවක් තිබුණා නම් බටහිර පෙදෙස් ජනශුන්‍ය වී අසාර්ථක පෙදෙස් වෙන්නට වඩා ඉඩක් ඇති බව නොවේ ද? 1983 දී Cattle Towns ලියන Robert Dyktsra සහ රචනා බොහොමයකින් සෑදෙන Lethal Imagination: Violence and Brutality in American History (1999) පෙන්වා දෙන්නේ ද කව්බෝයි ප්‍රබන්ධ හා චිත්‍රපටි වල ඇති අත්‍යාලංකාරය හා අතිශයෝක්තිය සත්‍ය සමාජ ඉතිහාසයේ නොතිබූ බවයි.

      ඉතිහාසඥ Richard Shenkman මෙසේ පෙන්වා දෙයි. “සත්‍ය පුරෝගාමී පෙදෙස් වල මැරුණු සංඛ්‍යාවට වඩා සෑහෙන අධික සංඛ්‍යාවක් හොලිවුඩ් වෙස්ටර්න් වල මිනිසුන් මැරී ඇත.” උදාහරණයක් හැටියට 1878 දී Dodge City හි මැරුම් කා ඇත්තේ 5 දෙනෙකි. ඒ නගරයේ පුරෝගාමී මුළු ඉතිහාසය පුරාම වසරක දී වැඩියෙන්ම මැරුම් කෑ සංඛ්‍යාව එයයි. පැය දෙකක වෙස්ටර්න් එකක් හදන්නෙ කොහොම ද පස් දෙනෙක් විතරක් මැරෙන කොට? යැයි ඔහු පෙන්වා දෙනවා!!!! 1870 සිට 1885 දක්වා වසර 15 ක මුළු කාලය තුලම Abilene, Caldwell, Dodge City, Ellsworth, Wichita යන නගර වල මැරුම් කා ඇත්තේ 45 දෙනෙක්.

      1859 සිට 1900 දක්වා බැංකු කොල්ලකෑම් සිද්ධ වී ඇත්තේ 12 කටත් අඩු සංඛ්‍යාවක් යැයි පෙන්වා දෙන්නේ University of Dayton හි Larry Schweikart.

      Gun-fighters, Highwaymen, and Vigilantes ලියන Roger McGrath කියන්නේ “අවිගත් මිනිසුන් ස්ථාපනය කළ විනීත සිවිල් සමාජයක්,” පැවති බවයි. අනුන්ගේ ඉඩම් අල්ලා ගත් (claim-jumping) අය දුර්ලභ වූහ. එයත් common sense වලින් පැහැදිලි වන්නකි. එතරම් ඉඩ ප්‍රමාණයක් තිබිය දී අනුන්ගේ මායිම් අවශ්‍ය වීම ප්‍රබන්ධයක plot එකට අවශ්‍ය වූවක් පමණි.

      Buffalo Bill Cody නැමැත්තා පාපෝච්චාරණය කළ පරිදි ඔහු ඉන්දියානුවන් සමඟ 137 වතාවක් සටන් වැදී නැත. ඔහු සටන් වැදී ඇත්තේ එක් වතාවක් පමණි. ඒත් ඒක අහන්න කාට ද ඕනෑ?

      Bounty hunter විස්තරය පළ වී ඇති විකිපීඩියා සටහනේ අවසන එය ප්‍රබන්ධ වල (fiction) නිරූපනය ගැනත් සටහන් කර ඇත.

      තවත් උදාහරණ, මූලාශ හා දත්ත අනේක ගණනාවක් ගෙනැවිත් මෙතැන ලියුවත් හොලිවුඩ් කතන්දර වලින් සත්‍ය සමාජය එසේ යැයි පිළිගෙන ඇති අයට ඒත්තු ගන්වන්නට නොහැකියි. ඔවුන් හැමදාම බොටුල්වාදයේ හිර වී ඉන්නට කැමැත්ත ඇත්තෝ වෙති. තව කාලයක් යද්දී යාපනයේ පුස්තකාලයට ගිනි තිබ්බේ කාලෝ පොන්සේකා විසින් යැයි සිංහලෙන් බ්ලොග් කියවන අය ඇසින් දුටු සේ තහවුරු කරමින් කියනු ඇත!!!!!!!!!

      “මම දිටිමි සිහිනයක් ඊයේ රෑ
      මරන ලදහ බුදුහිමියෝ වෙඩි තබා
      නීතිය රකින පොලිසිය විසින්
      ලෙයින් පෙගුණු ශ්‍රී දේහය
      වැතිර තිබිණි
      යාපා පටුනේ පුස්තකාලය අභියස
      පැමිණියහ ඇමතියෝ අඳුරට මුවා වීල
      ප්‍රශ්න කළහ කෝපාවිශ්ට වල
      ,නැත මොහුගේ නම අපේ ලැයිස්තුවේ
      වැරදීමක් වෙලාවත් ද?,
      ,නෑ නෑ ඇමතිවරුනිෟ
      වැරදීමක් වෙලා නැහැල
      නොයවා මොහු පරලොව
      හානියක් කළ හැකි ද කුරා කුහුඹියෙකුටවත් ?,
      තැතනූහ පොලිස්කාරයෝ
      —හා හරි හරිෟ සඟවාපියව් සිරුර වහා ම,
      කියමින් අතුරුදන් වූහ ඇමතියොA
      එකෙණෙහි ම ඇදගෙන යනු ලැබිණ ශ්‍රී දේහය
      පුස්තකාලය තුළට
      සිවිල් ඇඳුමින් සිටි
      පොලිස්කාරයෝත
      ගොඩගැසූහ දේහය මත පොත්
      ඉතා දුර්ලභ ඉතා අගනා
      අනූ දහසක්
      ඉක්බිති ගිනි තැබූහ චිතකයට
      සිඟාලෝවාද සූත්‍රය ගිනි හුල ලෙස ගෙන
      මෙසේ ගිනිබත් විය
      රන් වන් බුදු බඳ
      දම්මපදයත් සමඟ” –කාලෝ පොන්සේකා

      ඔය වගේ අවුල් වල පැටලෙන්නෙ දේශපාලනඥයන්ට කහින්න යන විචාරයක් නැති අය තමා!!!!

  4. Malan said, on පෙබරවාරි 7, 2013 at 9:23 ප.ව.

    ” Inglourious Basterds (2009) ” වල තියෙන්නේ ඇමරිකන් මෙහෙයුමකද? අය්යෝ මං හිතං හිටියේ එකේ මෙහෙයුම කරන්නේ බ්‍රිතාන්‍යයේ සෙබළු පිරිසක් කියලා. :p

    • arunishapiro said, on පෙබරවාරි 8, 2013 at 10:31 පෙ.ව.

      Malan,

      ප්‍රබන්ධයේ දිග හැරෙන්නෙ එක පැත්තකින් ප්‍රංශ යුදෙව් කෙල්ලක් එයාගෙ පවුල ඝාතනය කළ පළිය ගන්නා මෙහෙයුමත් අනෙත් පැත්තෙන් විශේෂ බලකායක් හදන බ්‍රැඩ් පිට් රඟපාන චරිතය ඇමෙරිකන් යුදෙව් භටයන් 8 දෙනෙක් ඊට බඳවාගෙන ඔවුන් ලවා scapls 100 ක් එකතු කරන්න යන මෙහෙයුම.

  5. අමා said, on පෙබරවාරි 7, 2013 at 11:24 ප.ව.

    අක්කාගේ ලිපිය කියවාගෙන යද්දී මතක් උනේ ම ‘the Help’ පොත. අන්තිමට බැලුවම අක්ක ටත් Help මතක් වෙලා නේ! 😀
    පොත කියෙවුවා පමණයි. චිත්‍රපටිය නරඹන් ට බැරිඋනා තවම…
    (අපේ ගොඩක් අය එක්කෝ ‘ගුරු ගීතය’ හරි ‘බොඳ මීදුම්’ හරි පට්ට ගහනව මිසක් ඔය වගේ පොතක් කියවන්නේ නැහැනේ!)

    PS:
    කින්ඩි – ‘නෝන්ඩි’ වෙනුවට භාවිතා වේ. ඉතාම ලැජ්ජාවට පත්වූ අවස්තාවන් වලදී ‘කින්ඩි ගෝනියයි!’ යනුවෙන් කියනු ලැබේ. දැනට වඩා 90 දශකයේ අග භාගයේදී සුලභව භාවිතා විය. 😀 😀

    • arunishapiro said, on පෙබරවාරි 8, 2013 at 10:33 පෙ.ව.

      අමා,

      මමත් පොතයි චිත්‍රපටියයි දෙකම රසවින්ඳා. දෙකම හොඳයි, කොයි පිළිවෙලට ගියත්.

      මම 90 දශකයේ ලංකාවේ හිටියෙ නැතිකමේ පාඩුව -කින්ඩි ගෝනි ගණනින් මිස් වෙලා!!!!

  6. Uditha Meegahathenna (@UdithaMe) said, on පෙබරවාරි 8, 2013 at 2:06 පෙ.ව.

    @චින්තක ටිකිරිබන්ඩාර
    අවුරුදු දෙසීයකට පෙර ඇමරිකාවේ හෝ ලෝකයේ තිබූ දේවල් ගැන ඔබ විසමයට පත් වෙනවා එත් මේ මෑත කාලයේ ලංකාවේ වෙන දේවල් ගැන මොකද හිතෙන්නේ,
    * අපරාධකරුවන් සඟවා තැබූ ආයුධ සොයන්න පොලිසිය එක්ක රෑ දොළහට යනවා එතෙන්දි මිනිහ පොලිස් කාරයට ගහල පැනල දුවද්දී පොලිසියට වෙඩි තියන්න වෙනවා.
    * වැලිකඩ හිරගෙදර ඇතුලට හමුදාව ඇවිත් හීරකරයො මරල දානවා
    * 2009 අපි යුද්ධය දිනුවේ කිසිම කිළිටි ක්‍රමවේදයන් අනුගමනය නොකිරිමෙන්ද?
    * 1989 කැරැල්ල වෙලාවේ දෙපැත්තෙන්ම හැට දාහක් මිනී පාරවල් අයිනේ
    අද ලෝකය හා ලංකාව සංසන්දනය කරාම ලංකාව වඩා කිට්ටු ඇමරිකාවටද සිම්බාබ්වේ වගේ රටකටද නැත්නම් අවුරුදු දෙසීයකට පෙර ඇමරිකාවටද?
    බටහිර අතීත ම්ලේච්ඡත්වය ගැන විමතියට පත් වන අය අමතක කරන දෙයක් තමා ඒ කාලේ ලංකාවේ ළමයි වංගෙඩියේ දා කොටන්න රජතුමා අණ කරා කියන එක.
    ටිකිරිබන්ඩාර ගැටලුව තියෙන්නේ ලෝකය ක්‍රමයෙන් ම්ලේච්ඡත්වයේ සිට ශිෂ්ඨත්වය කරා කෙමෙන් යද්දී ඇයි අපි 2013 දීත් ආපස්සට හරි වේගෙන් ම්ලේච්ඡත්වය දිහාට යන්නේ කියන එකයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: