අරුණි ශපීරෝ‍ වෙතින්

ලින්කන් ගේ යුද්ධය

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 8, 2013

“ඉතිහාසය යනු කුමක් ද?” යැයි ප්‍රශ්නයක් ඉතිහාස පංතියක දී මුලින් ම අහනවා දැයි නොදන්නෙමි. මා ඉතිහාස පංතියක කිසිම දවසක වාඩි වී නැත. දර්ශනය යනු කුමක් ද? යැයි දර්ශනය 101 පංතියේ දී මුලින් ම විමසන ප්‍රශ්නයක් වී ඇත්තේ සමහර විට PhD ලැබුවත් එය කුමක් දැයි වටහා නොගන්නා බහුතරයක් ඉන්න නිසා වෙන්නට ඇති!!!

“ඉතිහාසය නම් උදාහරණ වලින් දර්ශනය ඉගැන්වීමයි,” -History is philosophy teaching by example යැයි මුලින්ම කියා ඇත්තේ හැලිකානැසස් හි දියොනිසියස් නම් ග්‍රීක ඉතිහාසඥයාය. එය බ්‍රිතාන්‍ය දේශපාලනඥ, පාර්ලිමේන්තු සභික හා දේශපාලන දාර්ශනිකයෙක් වූ බෝලින්බෲක් විසින් ප්‍රචලිත කරන ලද නිසා පළමුවෙන් කියුවේ ඔහු යැයි සිතනා අය බහුලය.

තොරතුරු බහුල ලෝකයට පිවිස ඉන්නා අපි සත්‍ය අසත්‍ය තෝරා බේරා ගන්නේ කෙසේද යන්නත් විවාදයට තුඩු දෙන්නකි!!! මුදල් යන්නේ කොහාට දැයි සොයන්න, (follow the money) එක අවවාදයකි. තොරතුරු සපයන්නාගේ ගැතිවාදය විමසන්න යැයි තවත් අවවාදයකි. දාර්ශනිකයාට වඩා වැදගත් වෙන්නේ අයෙක් තම මතය පෙන්වන්නට යොදාගන්නා සාක්ෂි වෙති. එය විචාරයෙන්, තර්කයෙන් මෙන්ම පරිසිද්ධි (facts) වලින් ද විමර්ශනය කළ යුතුයි.

ඉතිහාසය හදාරන්නාට යම් විස්තරයක් හමුවෙද්දී, එය රජවරුන් විසින් ලකුණු දාගන්නට ලියූවක් ද, ඔවුනට කත් අදින අය විසින් ලියන ලද්දක් ද, යම් පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගන්නට ලියන ලද හෝ මෝහයෙන් ලියන ලද දැයක් දැයි සොයා ගන්නට හැකියාව ලැබෙන්නේ දිගින් දිගටම ඒ ගැන සෙවීම අත්හැර නොදමන්නේ නම් පමණි. පර සුද්දන් සිංහලයන්ව මධ්‍යසාරයට ඇබ්බැහි කළා යැයි මේ අඩවියේ දී දෝෂාරෝපණයක් එල්ල වෙද්දී මා මූලාශ්‍ර පෙන්වන්න යැයි ඉල්ලා සිටියෙමි. එහෙම නැතැයි කියන්නට මා සතු මූලාශ්‍ර නොමැති වූ නිසා එදා එහෙම වූයේ නැතැයි මම කිව්වේ නැත. ඔවුන් මූලාශ්‍ර පෙන්වූයේ නැත. එහෙත් මගේ විමසුම මා නැවතුවේ නැත.

ලංකාවේ පරාක්‍රමබාහු රජ සමයේ තිබි ආර්ථක ප්‍රතිපත්ති ගැන අගනා ලිපියක් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා Economic Policies of Parakramabahu the Great: What lessons are there for today? යන සිරස්තලයෙන් My View: Economics Matters තීරුවට ලියා තියෙනවා. එය සිංහලෙන් කොතැනක හෝ පළ වී නැත්නම් මම ඔහුගෙන් අවසර ගත හැකිනම් එහි පරිවර්තනයක් ඉදිරි දවසක මේ අඩවියේ දාන්නම්. අපේ වාමාංශික සහෝදරයන් මට මේ අඩවියේ සුද්දෝ මධ්‍යසාරය ගෙනැවිත් සිංහලයාව ඇබ්බැහි කළා කියලා අවලාද කියා තිබුණ. බලාගෙන ගියාම පරාක්‍රමබාහු රජ්ජුරුවෝනේ 1154 දී මධ්‍යසාර වෙළඳාමේ යෙදිලා තියෙන්නේ පර සුද්දන් ලංකාවට එන්නත් කළින්ම!!!

ඒ ඉංග්‍රීසි ලිපියේ සිංහල පරිවර්තනය අද මෙතැනින් කියැවිය හැකියි. එහෙත් එක් අයෙක් කරන ලද පර්යේෂණ ලිපියකින් සත්‍යයක් අසත්‍යයක් යැයි තෝරා බේරාගත නොහැකිය. ඉදිරිපත් කරන ලද්දා වූ මතයක්, තතු දක්වා සත්‍ය යැයි ඔප්පු කර ඇති තවත් අය ඉන්නවා දැයි සොයා බලා, ඒ අය විසින් ද මේ මතය තහවුරු කරන සාක්ෂි පෙන්වා දෙන්නේ දැයි සෙවීමට තමන් විසින් උත්සාහයක් ගත යුතුයි.

“දත්ත හා මූලාශ්‍ර පෙන්විය නොහැකි කල කියන දෑ කටකතා, හිස් වචන හා සම්ප්‍රලාප පමණයි. තාර්කික ඔප්පු කිරීමක් නැති වාක්‍යයන් හුදු ඔප්පු නොකරන ලද ප්‍රස්තුතයක් පමණයි.

ඔය දෙක නැතිව කරන සංවාදය කාලය නාස්ති කිරීම මිස ප්‍රයෝජන රහිත ය!!!”

එය පිළිගන්නේ නැති අය මේ අඩවියෙන් කිසිවක් තම දැනුමට එකතු කරගන්නේ නැත. ඔවුන් වෙනුවෙන් නාස්ති කරන්නට කාලයක් මට නැත. සම්ප්‍රලාප වලින් කාලය ගෙවීමට රිසි අයගේ ඉල්ලුම සපයන්න ඕනෑ තරම් සිංහල බ්ලොග් අඩවි තිබේ.

ඉතිහාසය හදාරන අයට තවත් වැදගත් වෙන්නකි “සංශෝධනවාදය” (revisionism). කළින් ලියා ඇති වූවක සත්‍යය සංශෝධනවාදය නිසා විකෘති වේ යැයි සමහර අයගේ මතයකි. “ඉතිහාසය පරිසිද්ධි අනුව ගැලපීමක් සංශෝධනවාදයෙන් සිද්ධ කරයි,” -Revisionism is bringing history into accord with facts,” යැයි Harry Elmer Barnes කියයි. ඕර්වෙල්ගේ 1984 ප්‍රබන්ධයේ “සංශෝධනවාදය” යන්න ආණ්ඩුවෙන් වාරණය කරන ලද වචනයකි. එහි “Ministry of Truth” විසින් ඉතිහාසය උවමනාවෙන්ම සාවද්‍ය ලෙසින් ලියා ඇත්තේ තම අතීතයේ සත්‍යයන් නොදන්නා අයට ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත නොහැකි නිසා ඔවුන්ව වර්තමානයේ දී පමණක් නොව අනාගතයේ දී ද පහසුවෙන් පාලනය කළ හැකි යැයි ආණ්ඩුවේ මතය නිසයි.

දෙවැනි ලෝක යුද්ධයේ දී Katyn හි (වර්තමාන බෙලාරූස් හි) සිද්ධ වූ සමූල ඝාතනය බහුතර ඉතිහාස පොත්වල ලියැවුනේ ජර්මානුවන් කරන ලද යුද අපරාධයක් ලෙසිනි. 1939 සැප්තැම්බරයේ දී ජර්මානුවන් සහ සෝවියට් යුනියනය පෝලන්තය ආක්‍රමණය කර එය දෙගොල්ලන් විසින්ම අල්ලා (occupy) ගත්හ. පෝලන්ත හමුදාවේ නිලධාරීන්, දේශපාලන නායකයන්, විද්වතුන් හා ගුරුවරුන් එහි දී සමුල ඝාතනය වූයේ යැයි දැනගන්නට ලැබිණ. 1943 දී අතුරුදහන් වූ ජනකායෙන් 15,000 ක සිරුරු සොයා ගැනිණ. එකිනෙක මත පැටවූ මේ සිරුරු වලට අයත් හිස්කබල් වල එක වෙඩි උණ්ඩයක සිදුරක් දැකිය හැකි විය. යුද කාලයේ ප්‍රොපගැන්ඩා වලින් ඇමෙරිකන්, බ්‍රිතාන්‍ය හා රුසියාව ද කියා සිටියේ එය ජර්මන් අපරාධයක් කියාය. 1940 දී ජෝසප් ස්ටාලින්ගේ විශේෂ අඥාව යටතේ 21,587 ක පිරිසක පෝලන්ත හතුරන්ව මේ ස්ථානයේ දී මරන්නට සෝවියට් රහස් පොලීසියට අණ දුන් සත්‍ය ලිපිලේඛන 1989 දී මිකායෙල් ගොර්බචොව් විසින් ඉදිරිපත් කරන ලදි. ඔහු අනිත් සොහොන් ගැන විස්තර දුන්නේ නැත. අනෙකුත් සොහොන් හෝ පුද්ගලයන් කිසිදා සොයා ගැනුනේ නැත. මේ විස්තර ලොවට ඉදිරිපත් කළ පසුව Katyan සමූල ඝාතනය ජර්මානුවන් කරන ලද අපරාධයක් යැයි ඒ ස්ථානයේ තිබූ පුවරුව ඉවත් කරනු ලැබීය.

Death by Government (1994) සහ Power Kills: Democracy as a method of nonviolence (1997) යන පොත් දෙකෙන් R. J. Rummel විසින් ඔප්පු කරන්නේ ලෝකයේ ලොකුම මිනීමරුවා ස්ටාලින් බවත් දෙවැනියා මා ඕ සේතුං බවත් ය. එහෙත් විස්තර නොසොයන අයට ලෝකයේ කුරිරු අධිරාජ්‍යවාදීයා සහ කුරිරුම වූ මිනීමරණ යුදකාමීයා ඇමෙරිකාව යැයි කියමින් රවටන්නට සහ ඒ මුලාවේ තවත් ලගින්නට, ඇමෙරිකාවම සිය ප්‍රබන්ධ වලින් සහාය වෙයි!!!!

දැන් ලින්කන්ගේ යුද්ධයට. 1861 දී, ඒබ්‍රහම් ලින්කන් දකුණු පළාත් වලට යුද්ධයක් ගෙන ගියේ වහලුන් බේරාගන්නට නොවේ. සිවිල් යුද්ධය ආරම්භ කරන්නට ප්‍රධාන හේතුව වුයේ යුනියනය නොහොත් ඇමෙරිකාව දෙකට කැඩී යාවී යන බියයි. යුනියනය කැඩී නොයා දීමට කළ යුද්ධය නිසා මරණයට පත්, තුවාල ලත් හා අතුරුදහන් වූ සංඛයාව මිලියන 1.5 කි. ජනාධිපති තනතුර බාරගනිද්දී පවත්වන ලද පළමු ඇමතුමේ දී ලින්කන් විසින් කියන්නේ ෆෙඩරල් ආණ්ඩුව විසින් ව්‍යවස්ථා සංශෝධනයකින් වහලුන් තබා ගන්නා ප්‍රාන්ත වලට ඒ අයිතිය දෙන්නට කැමති යැයි කියාය. I have no purpose, directly or indirectly, to interfere with the institution of slavery in the States where it exists. I believe I have no lawful right to do so, and I have no inclination to do so.

Stephen Douglass සමඟ 1858 දී කරන ලින්කන්-ඩග්ලස් විවාද වල දී කළු හා සුදු ජාතීන් අතර ඇති “ශාරීරික වෙනස්කම්” නිසා සමාජයීය හා දේශපාලන වශයෙන් සමානාත්මතාවයෙන් කටයුතු කරන්නට ඔවුනට නොහැකි වනු ඇතැයි ලින්කන් කියා ඇත. “I am not, nor ever have been, in favor of bringing about in any way the social and political equality of the white and black races, that I am not nor ever have been in favor of making voters or jurors of negroes, nor of qualifying them to hold office, nor to intermarry with white people; and I will say in addition to this that there is a physical difference between the white and black races which I believe will forever forbid the two races living together on terms of social and political equality.”

දකුණු පළාත් වල සිටිය සියල්ලන්ම වහල් ක්‍රමයට එක ලෙසින් අනුමැතිය දුන් අය ද නොවේ. Stonewall Jackson සහ Robert E. Lee ඊට විරුද්ධ වූවන් අතරින් කැපී පෙනෙන අයයි. James Henley Thornwell ක්‍රමයෙන් නිදහස් බව වහලුන්ට ප්‍රදානය කරන සැලසුමක් ගෙනහැර පෑවේය. “It is a publick testimony to our faith, that the Negro is of one blood with ourselves -that he has sinned as we have, and that he has an equal interest with us in the great redemption.” -The Rights and the Duties of Masters, 1850

සියළු වහලුන්ගේ නිදහස මිල දී ගෙන ඔවුනට අක්කර 40 ක් දී බූරුවෙකුත් දෙන්නට හැකි තරම් වැයක් ලින්කන් විසින් සිවිල් යුද්ධයට වැය කළා යැයි පෙන්වා දෙන්නේ Jeffrey Rogers Hummel ලියන Emancipating Slaves, Enslaving Free Men (1996) කෘතියේය.

1861 අගෝස්තු 5 වැනිදා ඇමෙරිකන් සිවිල් යුද්ධයේ (1861 අප්‍රේල් 12 පටන් ගෙන 1865 මැයි 9 වැනිදා අවසන් වූ) වියදම් පියවා ගනු පිණිස යැයි ද, රට එක්සත් කරන්නට යැයි ද, වහල් නිදහස වෙනුවෙන් යැයි ද පාරට්ටු බාන ලින්කන් විසින් ඇමෙරිකන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කළේ වාර්ෂික ආදායම $800 කට වඩා වැඩියෙන් උපයන අයට 3% ආදායම් බද්දක් පැනවීමෙනි. 1871 දී කොංග්‍රසය ලින්කන්ගේ ආදායම් බදු නීතිය අවලංගු කර දමති. 1913 අපරානුමත වෙන ආදායම් බද්දක් නියම වෙන 16 වැනි සංශෝධනය මේ නිසා පහසු විය.

යුද්ධය දියත් වීමත් සමඟ ලින්කන්ගේ දර්ශනය ද වෙනස් වෙයි. යුද්ධයේ අවසාන කාලය ඔහු වහල් නිදහස වෙනුවෙන් පෙනී සිටියි. ඉතින් රිපබ්ලිකන් පක්ෂයේ ලින්කන් වහලුන් නිදහස් කළා යැයි පෙන්වන්නට ලින්කන් (2012) චිත්‍රපටියේ දැක්වෙන්නේ ඒබ්‍රහම් ලින්කන්ගේ ඒ අවසාන උත්කර්ෂවත් සමයයි!!!!

ඇමෙරිකන් වහල් ඉතිහාසය හොලිවුඩ් මවාපාන තරම් කුරිරු වූයේ නැත. 1860 දී දකුණේ මුළු වහලුන් සංඛ්‍යාව මිලියන 4 ක් පමණ විය.

අන්කල් ටොම් ගේ කැබින් එක ගැන ප්‍රබන්ධය ලියූ අහෝසිවාදියෙක් වූ හැරියෙට් වහල් ක්‍රමය පැවති දකුණේ ජීවත් වූවෙක් නොවේ.

1850 දී දකුණු පළාත් වල මුළු ජනගහණයෙන් කළු අය හා කුමන හෝ ආකාරයක ගණුදෙනු කළවුන් වූයේ 1/3 කටත් අඩුවෙනි. කළු හා සුදු ජාතීන් අතර ශ්‍රමයෙන් ණය ගෙවා නිදහස් වෙන indentured servant ලෙසින්, තම නිදහස තම ශ්‍රමයෙන් ලබාගත් මහත් පිරිසක් එදා වූහ. එසේම නිදහස් වහල් අය අනිත් කළු අයව තම වහලුන් කරගත්තේ ඔවුනට හිතවත් පවුල් එකතු වී වාසයට ඉඩක් දෙන්නටය. දකුණේ පදිංචිය අත්හැර ගියේ ස්වල්පයකි. පළාගිය අය අතරින් ආපහු අල්ලා ගන්නට පුද්ගලික වහල් සෙවුමේ යෙදුන අයට හැකිවූයේ ද තවත් ස්වල්පයකි.

වර්ජිනීයාව ඇමෙරිකන් ඉතිහාසයේ කළු ජාතිකයන් පළමුවෙන්ම ගෙන ආ, වැඩිම දීර්ඝ කාලයක්, වැඩිම පිරිසක් ජීවත් වූ ප්‍රාන්තය වෙයි. දකුණු කැරලයිනාවේ කළු වහලා ගැන Peter H. Wood විසින් කියා දෙන්නේ Black Majority (1974) ග්‍රන්ථයෙනි. සුදු අයට වඩා වැඩි කළු ජනගහණයක් සිටි එකම ප්‍රාන්තය එයයි. 1820 දත්ත අනුව සුදු අය 237,000; කළු අය 265,000 කි. 1820 දී එහි සිටි නිදහස් කළු අය 6,826 කි. සුදු අයටත් කළු අයටත් එක හා සමාන රුකියාවන් වල නියැළෙන්නට නිදහස තිබිණ. සුදු ගෘහ සේවිකාවන්ට වඩා වැඩියෙන් සිටියේ ආදායම් උපයන කළු ගෘහ සේවිකාවන්ය. කළු අයට වූ අතවර ගැන සත්‍ය වාර්තා වැඩියෙන්ම ඇත්තේ ද දකුණු කැරලයිනා වලිනි.

විස්තර: Encyclopedia of Black America, (1984) W. Augustus Low සහ Virgil A. Clift කර්තෘත්වයෙනි.

මිනිසාගේ නිදහසට ඉතා වැදගත් ස්ථානයක් දෙන, ඇමෙරිකන් ව්‍යවස්ථාව කුමක් අරබයා ලියැවුනා දැයි වටහා ගන්නා ඇමෙරිකානුවන්ට, වහල් බව යන්න සෙසු ලෝකයේ කිසිවෙකුටත් වඩා වේදනාකාරී වූවකි.

ආණ්ඩුවකට බදු ලෙසින් බලහත්කාරයෙන් මිනිසාගේ ශ්‍රමය උදුරා ගන්නට නීත්‍යානුකූල අවසරය ලැබෙද්දී යුක්ති සහගත නොවන යුද වල නිරත වෙන්නට ඉඩකඩ ලැබෙයි. නිදහස නීත්‍යානුකූල වූවාට පසු ඒකීය පුද්ගලයන් අතර සිදු වූ ගණුදෙනු මැදට බලලෝභී දේශපාලනඥයන් කඩා වැදී විකෘති කරන ලද නීතීන් නිසා, වහල් ක්‍රමය සාමකාමී ලෙසකින් තුරන් වූයේ නැත. ජාතිවාදී අරගල 60 ගණන් වල යළි හිස ඔසවන්නේ ද, අද බරක් ඔබාමා ඩ්‍රෝන් ප්‍රහාර වල යෙදෙන්නේ ද, අයෙකුගේ ශ්‍රමයට තවකෙකුට අයිතියක් කියන්නට හැකියාව ඇතැයි කියමින් නිදහස කුමක් දැයි තවමත් මිනිසා වටහා ගෙන නැති නිසයි.

ආණ්ඩුවක්, ජනතාවගෙන් හැදුන, ජනතාව වෙනුවෙන් පෙනී සිටින, ජනතාව විසින් මෙහෙයවන යැයි කියනා දේශපාලනඥයන් ජනතාව කවුදැයි අමතක කර දැමීම තරම් ironic අවුලක් වෙන නැත!!!!!!

Advertisements

9 Responses

Subscribe to comments with RSS.

  1. විසිතුරු said, on පෙබරවාරි 8, 2013 at 10:00 ප.ව.

    ඇමරිකන් කලු ජාතික වහල් සේවය, ලින්කන් මහතාගේ ප්‍රයත්නය සහ සිවිල් යුද්ධය ගැන මම එතෙක් හිතාගෙන හිටපු මතය සෑහෙන වෙනස් වුණා “Gone with the wind” කියවීමෙන්.

    • arunishapiro said, on පෙබරවාරි 9, 2013 at 8:45 පෙ.ව.

      විසිතුරු,

      Gone With the Wind පොත අයිති වෙන්නේ ‘ඇන්ටි-ටොම් සාහිත්‍යයට‘. සින්සිනාටි, ඔහායෝ වල ජීවත්වෙච්ච හැරියෙට් ‘අන්කල් ටොම්ගේ කැබින්’ කියලා ලිව්ව ප්‍රබන්ධයට එරෙහිව දකණු පළාත් වලින් ඉදිරිපත් වෙන ‘වතු වැවිලි සාහිත්‍ය’ -plantation literature කියලාත් නම් වෙනවා. ඔවුන් කියන්නේ හැරියෙට් දකුණු පළාත් වල ජීවත් වූයේ නැහැ ඒ නිසා ඇයගේ ප්‍රබන්ධයේ අඩංගු වෙන්නේ වහල් ක්‍රමය නොතිබූ උතුරු පළාත් වලට පැන යන අයගෙන් ඇය දැනගත්ත විස්තර. ඉතින් ඇන්ටි-ටොම් සාහිත්‍ය උත්සාහ කරන්නේ එවක සියළු සුදු වහල් හිමියන් තම කළු වහලුන්ට වදහිංසා නොදුන් බව පෙන්වන්නට. ඒවාත් ප්‍රබන්ධ යැයි අමතක කරන්න එපා; ඒ කියන්නෙ ඒ පැත්තෙන් අතිශයෝක්තිය ද නැතැයි සිතන්නට එපා!!!

      සම්පූර්ණ අධ්‍යයනයක් කරන්නට නම් වහල් වාර්තා ගැන ද කියවන්නට ඕනෑ. ඒ කියන්නෙ වහලුන් වෙලා නිදහස් වූ මම කළින් සඳහන් කළ ෆෙඩ්රික් ඩග්ලස් වැනි අය The Heroic Slave ලියූ දේවල් ද කියවන්නට ඕනෑ. වහල් ක්‍රමයේ සිටි හයදාහක් (උතුරු ඇමෙරිකාවේ සහ කැරීබියන් දූපත් වල) ඒ කාලයේ ම තම ජීවිත වාර්තා ගැන සටහන් ඉතිහාසයට එකතු කරලා තියෙනවා.

      ඇමෙරිකාවේ වහල් ඉතිහාසය ගැන සඳහාම වෙන් වූ කෞතුකාගාර වල ඔවුන් ලියූ ලිපි, පින්තූර යනාදිය සුරක්ෂිතව තියෙනවා, කැමති කෙනෙකුට අධ්‍යයනය කරන්න හැකියි.

  2. Roots said, on පෙබරවාරි 9, 2013 at 2:31 ප.ව.

    Roots පොත ගැන ඔබගේ අදහස කියන්න පුළුවන් ද?

    • arunishapiro said, on පෙබරවාරි 9, 2013 at 4:07 ප.ව.

      Roots,

      මම, Roots: The Saga of an American Family (1976) පොත කියවා නැත්තෙමි. කියවන්නට අදහසක් ද නැත. හේතුව මේකයි. තම වංශකතාව ලියා ලෝකයේ වඩාත්ම සුප්‍රසිද්ධ වූ, විකිණිච්ච පොත් වලින් සහ එයින් හැදුණු ටෙලිනාට්‍ය වලින් මහත් ධනයක් උපයා ගන්නට සමත් වූ, ඊට විශේෂ පුලිට්සර් තෑග්ගක් දිනාගත්, Alex Haley නම් වූ කළු ඇමෙරිකානුවා එහි ලියා ඇත්තේ බොරු බව ඔප්පු වී ඇති නිසයි.

      පොත 1976 දී පළ වීමත් සමඟ ඇමෙරිකාවේ හා සෙසු ලෝකයේ එය විශාල වශයෙන් අලෙවියට පත්වුණි. ටෙලිනාට්‍යයක් වශයෙන් නිෂ්පාදනය වන එහි අවසන් කොටස ඇමෙරිකාවේ මිලියන 130 ක ජනතාවක් නැරඹූ බව කියැවේ.

      වසර ගණනාවක් පර්යේෂණ පවත්වා, ගැම්බියාවට හා අප්‍රිකාවේ රටවල් වල සංචාරයේ යෙදී සිය වංශකතාවේ තොරතුරු එකතු කරගෙන ඔහුගේ පරම්පරාවෙන් ඇමෙරිකාවට ගෙනා මුල් වහලා හඳුනාගත්තා යැයි ඔහුගේ සත්‍ය වංශ කතාවේ කොටස් 80 ක් උපුටා ගෙන ඇත්තේ ඊට වසර 30 කට පෙර Harold Courlander විසින් ලියන ලද The African ප්‍රබන්ධයෙනි!!!!!

      1978 දී Courlander විසින් නිව් යෝර්ක් දිස්ත්‍රික් උසාවියේ දී copyright නඩුවක් ගොනු කරන ලදි. තම ප්‍රබන්ධයේ කොටස් 80 පමණක් නොව එහි plot එක සහ සමහර චරිත ද යොදා පොත ලියා ඇතැයි ඔහු පෙන්වයි. Haley ගේ විත්තිය බිඳ හැලුනේ ඔහු ලියූ පොතේ පළ වී ඇති සමාන වූ කොටස් වලට අමතරව ඔහුගේ ටයිප් කරන ලද සටහන් අතර The African පොතෙන් ගත්, ඔහුට විනාශ කර දමන්නට අමතක වූ කොටස් තුනක් හමු වූ නිසාය. නඩුව අතරමැද දී මෙසේ ඔහු වරදකරු බව සනාථ විය. Courlander වෙත වන්දියක් ගෙවා නඩුව සමථයකට ගෙනෙන්නට යැයි නඩුකාරයා අවවාද කළේය. ඒ අනුව Haley $650,000 ක වන්දියක් ගෙවීය. නඩුව ගැන කිසිත් නොකියන්නට Courlander එකඟ වී ඒ පොරොන්දුව මරණය දක්වාම රැකගති.

      1970 දී ඇමෙරිකාවේ ප්‍රමුඛ පෙළපත් විශේෂඥයන් (genealogists) දෙදෙනෙකු වූ Gary Mills සහ Elizabeth Shown Mills දෙදෙනා වර්ජීනියා, උතුරු කැරලයිනා සහ මේරිලන්ඩ් හි තිබූ ලේඛනාගාර තතු වලින් Haley ලියා ඇති වංශකතාවේ ඇත්ත නැත්ත සෙවූහ. ඔවුනට හමුවූයේ ද ඔහු බරපතල සේ මූලාශ්‍ර වෙනස් කර ඇති බවයි. National Genealogical Society Quarterly හි කතුවරියක් වන ඇය, “අපි බලාපොරොත්තු වූයේ නොසැලකිලිමත් බවයි, උවමනාවෙන්ම නොමඟ යවන්නට ගත් උත්සාහයක් නෙමෙයි,” -We expected ineptitude, but not subterfuge,” යැයි ලියා ඇත.

      ඵෛතිහාසික වාර්තා දක්වන පරිදි, Haley හැම දෙයක්ම වරද්දා ගෙන ඇත. ගැම්බියාවේ සිට ‘නැප්ලිස් දක්වා 1767 දී Kunta Kinte ගිය Lord Ligonier නැව, ගැම්බියාවට ‘රජ්ජුරුවන්ගේ සොල්දාදුවන්’ ආ වසර යැයි Haley සවිස්තර ලෙසින් ලියා ඇතැයි පෙන්වන Mills දෙදෙනා පෙන්වන්නේ එහි Kunta Kinte නමින් තමන්ගේ පරම්පරාවේ යැයි පෙන්වන වහලා John Walter පවුලේ Toby නමින් වූ වහලෙක් බවයි. ඒ විස්තර වලට වඩාත්ම හොඳින් ගැලපෙන Toby 1762 දී, එනම් Haley දක්වන කාලයට වසර 5 කට පෙර, Lord Ligonier නැව එන්නට වසර 5 කට පෙර, ඇමෙරිකාවට පැමිණ සිටි බවයි. එසේම, Kizzy යනුවෙන් Haley වංශකතාවේ දක්වන දියණිය ඉපදෙන්නට වසර 8 කට පෙර සත්‍ය වහලා වූ Toby මිය ගිහින් තිබේ.

      නඩුව හෝ පෙළපත් විශේෂඥයන් සත්‍ය පැහැදිලි කරත්, පොත හා ටෙලිනාට්‍යන්ට තිබූ ඉල්ලුම අඩුවූයේ නැත!!!! ඒ මදිවාට විශේෂ පුලිට්සර් තෑග්ගක් ද Haley වෙත ප්‍රදානය විය. මීට කළින් ස්ටාලින්ගේ රුසියාවේ සාගතයක් නැතැයි කියූ වෝල්ටර් ඩුරාන්ටි වැනි අයටත් පුලිට්සර් තෑග්ගක් ප්‍රදානය වූ නිසා එය විශ්මයක් නොවේ!!!

      Africana: The Encyclopedia of The African and African American Experience සම්පාදක හාවඩ් විශ්ව විද්‍යාල Henry Louis Gates, Jr. විසින් 1996 දී තමයි (අන්තර්ජාලයේ හැමෝටම දැන් විස්තර හොයාගන්න පුළුවන් නිසා!!) පිටු 2660 කින් හැදෙන Norton Anthology of African American Literature වලින් Haley සඳහන ඉවත් කරන්නේ.

      ඉතින් ‘ආර්ථික ඝාතකයා’ බොරු වලින් පිරුණක් යැයි ඔප්පු වුව ද තවමත් එය මූලාශ්‍රයක් හැටියට පෙන්වන අය සිටිති. එසේම තමන් අමුණන කරුණු සහතික කරන්නට සත්‍ය කතාවක් කියමින් ප්‍රබන්ධයකින් හොරාගත් ලෝකයාටම ඔප්පු වූ බොරු යොදා ගනිති. තමන් එසේ නිවැරදි යැයි කියමින් ඇත්ත නැත්ත විමසා බලන්න යැයි පෙන්වන්නාට ලේබල් ද ගහති!!!!

      කැමැත්තක් තෝරා ගැනීම කියවන්නාගේ ය.

      තව විස්තර පහත සබැඳි වලින්:
      Harold Courlander
      Alex Haley
      Alex Haley and ‘Roots’: The Lance Armstrong of Literature
      Alex Haley vs Reality-History
      Hoodwinked: Alex Haley’s Immaculate Roots, Jack Cashill
      Genealogy in the “Information Age”: History’s New Frontier, Elizabeth Shown Mills (2003)

      • Ravi said, on පෙබරවාරි 9, 2013 at 4:44 ප.ව.

        හපොයි දෙයියනේ..ඇලෙක්ස් හේලි මහත්මයාගෙ (?) මේ අහස පොළව නුහූලන වංචාව ගැන මම මේ ඇහුවමයි.1987 විතර මට මතක විදිහට රූට්ස් කතාව රූපවාහිනියෙ ප්‍රචාරය වෙද්දි හැම කොටසක්ම නොවරදවා බැලුව මම ඇසි පිය නොහෙලා..ඒ හැඟීම් බර ස්වභාවයට වැඩියම හේතු උනේ ඒ රූට්ස් කියන්නෙ සම්පූර්ණ සත්‍ය කථාවක්ය කියල මම විශ්වාස කරපු නිසයි.ඊට පස් සෙ පොත ලංකාවට එනවය කියල ආරංචි උනහම මාසෙකට විතර කලින් නුවර විජිත යාපා සාප්පුවට මම සල්ලි ගෙව්ව පොත කියවන්ට තිබුනු උනන්දුව නිසාම.හේලිගෙ Queen පොතත් ආපු ගමන්ම මම ගත්ත. හපොයි, සල්ලි වලට ප්‍රසිද්ධියට මිනිස්සු මොන තරම් වංචා කරනවද කියල හිතනකොටත් දැනෙන්නෙ පුදුම කලකිරීමක්.එක අතකට ඒ ගැන කලකිරෙන එකේ තේරුමකුත් නෑ. එහෙම මිනිස්සුත් ඉන්නව කියල හිතුවම හරි 🙂

        ස්තූතියි අරුණි මූලාශ්‍ර සහ දැනුවත් කිරීමට …මගේ හිතේ තිබුණු ප්‍රතිරූපයක් සුනු විසුනු වෙලා ගියානම් තමයි. ඒත් ඇත්ත දැන ගත්තු එකත් ලොකු දෙයක්නෙ.

        • arunishapiro said, on පෙබරවාරි 9, 2013 at 8:49 ප.ව.

          Ravi,

          ලංකාවේත් ජනප්‍රිය වූ ඔච්චර හදවතට සමීප වෙච්ච කතාවක් කියල මම දැනන් හිටියේ නෑ. 87 මැද මම ලංකාවෙන් ගිහින්. සමාවෙන්න ප්‍රතිරූපය කැඩුවාට. මේක කියවලා හිත හදාගන්න; වැරදි හදාගන්න හැකියාවෙන් තමයි අපි ඉස්සරහට යන්නෙ.

          http://historicpathways.com/download/rootsngsq.pdf

  3. Ravi said, on පෙබරවාරි 9, 2013 at 4:10 ප.ව.

    / යුද්ධය දියත් වීමත් සමඟ ලින්කන්ගේ දර්ශනය ද වෙනස් වෙයි. යුද්ධයේ අවසාන කාලය ඔහු වහල් නිදහස වෙනුවෙන් පෙනී සිටියි. /

    ඔහුගේ දර්ශනය වෙනස්වූයේ අවංකවම විය හැක. නැතහොත් තම අභිප්‍රායට සුජාතභවයක් වඩා ජනප්‍රියබවක් එසේම කල්ලන් අතර පිළිගැනීමක් ලබාගැනීමේ අටියෙන් ද විය හැක.

    තම සටනේ සත්‍ය පරමාර්ථයවූ වැටුප් වැඩිකර ගැනීමේ ඉල්ලීම වසන් කොට පොදු පිළිගැනීමක් ලබා ගැනිමේ අටියෙන් කිසිදු පදනමක් නොමැති ඉල්ලීමකට ( අධ්‍යාපනයට 6% වෙන් කිරීම ) මුවා වූ බුද්ධියේ අග්‍රඵල යයි තමන්ම කියාගන්නා ඊනියා ජනතාවාදී සෙන්පතියෝ රජය හා සමඟ සාකච්ඡාවේදී මුලින්ම අත්හැරදැමීමට එකඟ වූයේ ද ඒ පරාර්ථකාමී මහජන හිතවාදී ඉල්ලීමම බව ද මේ අවස්ථාවේ මගේ සිහියට නැඟේ.

    • arunishapiro said, on පෙබරවාරි 9, 2013 at 4:19 ප.ව.

      Ravi,

      ඔව්, සැබැවින්ම රවී එම හේතු දෙකම නිසා වෙන්න පුලුවන්. කවුරු හරි කෙනෙක් වැරදි මත ඉවත් කරලා නිවැරදි මාර්ගයට එනවා නම් ඉතින් වෙඩි තියන්න ඕනෙත් නෑ තමයි!!!!

      අනේ මොනවාට කියනවා ද මේ මැදපංතියෙන් ඉහළට නැඟ රදළයන් වෙන්නට හදනා පරාර්ථකාමී මහජන හිතවාදීන් ගැන!!!!

  4. arunishapiro said, on මැයි 22, 2016 at 4:30 ප.ව.

    ලින්කන් අභිවාදනය නමින් The Real Lincoln: A New Look at Abraham Lincoln (2002) පොත ලියූ Thomas DiLorenzo විසින් මීසස් ආයතනයේ දී පවත්වන ලද දේශනයක් මෙතැනින් අහන්නට පුළුවන: https://mises.org/library/mises-circle-lincoln-cult


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: