අරුණි ශපීරෝ‍ වෙතින්

බ්ලොග්කරුවන්ටත් සදාචාර ප්‍රමිතියක්!!!!!

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 13, 2013

IMG_4996තොරතුරු එක්රැස් කරන්නට පටන් ගත්, එහි වටිනාකමක් ඇතැයි දුටු මිනිසාට, ඇත්ත නැත්ත සොයා ගන්නට මුලින් ම උදව් වූයේ පුස්තකාල වල පොත්ගුල් බාරව සිටි අයයි. ඔබ කොපමණ වතාවක් පුස්තකාලයාධිපතියෙක් අමතා තතු සොයාගෙන ඇත් ද?!!!!!!

2012 දී ඇමෙරිකාවේ ඉතා ජනප්‍රිය වූ විද්‍යාත්මක ලිපි රචකයෙක් ඉල්ලා අස්වීය. නිව් යෝර්කර් සඟරාවේ විද්‍යාත්මක ලිපි ලියූ Jonah Lehrer විසින් Imagine යනුවෙන් පොතක් ලියා තිබුණි. ඉල්ලා අස්වීමට නිමිත්ත වූයේ එම පොතේ ජනප්‍රිය ගායකයෙක් වෙන බොබ් ඩිලන් කියමනක් ලෙසින් ජෝනාහ් විසින් අතින් හැදූවක් දමා තිබීමයි. එය ලොවට කීවේ අන්තර්ජාල Tablet සඟරාවයි.

ජෝනාහ් ඊට කළින් ද අතිශයෝක්තියෙන් ලිපි ලියා ඇත්තෙකි. ඩාන්ටේ ගේ ‘දිව්‍යමය කොමඩිය’ පිටු 700 ක් පුරා දුවන කවියකි. එය මුලින්ම ලියැවෙන්නේ ඉතාලි බසෙනි. නෙමොනික්ස් (Mnemonics) යනු විවිධ ක්‍රමවේදයන් වලින් ක්ෂණික මතකයන් ගොඩ නඟා ගත හැකි දක්ෂතාවයයි. නෙමොනිස්ට් යැයි සුප්‍රසිද්ධ වූ රුසියානු සොලමොන් ෂෙරෙශ්ව්ස්කි නැමැත්තා ඩාන්ටේ ගේ කවිය එක වරක් පමණක් කියවා සම්පූර්ණයෙන්ම කටපාඩමින් කියුවේ යැයි ජෝනාහ් විසින් ‘ස්වභාව ධර්මය’ සඟරාවට ලියා ඇත. කවිය ලියැවුනේ ඉතාලි බසෙනි. රුසියානුවා ඉතාලි වදනක් වත් නොදත් නිසා එය සැබැවින්ම හාස්කමක් වෙයි. එහෙත් එම පර්යේෂණය කළ රුසියානුවෙක් වූ ඇලෙක්සැන්ඩර් ලූරියා The Mind of a Mnemonist (1968) පොතේ දක්වා ඇති අන්දමට රුසියානුවාට ඔහු ඉදිරිපත් කර තිබුනේ එයින් පද පේලි කිහිපයක් පමණි. මෙය පෙන්වා දීමත් සමඟ Nature සඟරාව රචකයාගේ ලිපිය සංශෝධනය කළහ.

මෙම විස්තරය කතුවරයෙක් සහ නියුරෝවිද්‍යාඥයෙක් වන Daniel Bor ගේ බ්ලොග් පිටුවෙන් ගන්නා ලද්දකි. එහෙත් එය හෑල්ලක් ලෙසින් මෙතැනට ගෙන ඇද දමන්නට පෙර මම ඩැනියෙල් බො අමුණා ඇති සබැඳි සියල්ල කියවා බැලුවෙමි. මේ හෙළිදරව්ව සත්‍යය දැයි වෙනත් අන්තර්ජාල අඩවි බොහොමයකින් ද සොයා බැලුවෙමි.

යමක් පාඨකයන්ට ඉදිරිපත් කරන්නට පෙර තමන් විසින් සාක්ෂි පිණිස අමුණා ඇති සබැඳි පිරික්සා බැලිය යුතුයි. එහි දී සාක්ෂි වෙනුවට ඇත්තේ තවත් කෙනෙක් විසින් විමසන ලද්දක් ගැන සඳහනක් පමණක් ද නැතහොත් ඔප්පු කර පෙන්වන ලද සත්‍යයක් දැයි බොහෝ විට දැනගන්නට ලැබේ.

ජෝනාහ්ට පසුගිය දිනෙක කතාවක් පවත්වන්නට අවස්ථාවක් ලැබී තිබුණි. එහි දී තමා ලියන දැයක වැරදි පෙන්වා දී තමන්ව හදන ලෙසින් ඔහු සිය පාඨකයන් වෙතින් ඉල්ලා සිටියේය. තමනට අලුත් රීති සමුදායක් අවශ්‍ය යැයි ද, නොලිහිල් ලෙසින් සැකසුන වැඩ කරන ප්‍රමිතියක් අවශ්‍ය (a stricter set of standard operating procedures) අවශ්‍ය යැයි ද ඔහු කියා සිටියේය. රචකයාගේ වැරදි සොයා බැලීම ඔහු සේවය කරන්නේ පුවත්පතක් හෝ ප්‍රකාශක ආයතනයක නම්, එය එහි අයගේ කාර්ය භාරයකි. රචකයාට තමන් ලියන දෙයට වගකීමක් නොගෙන පාඨකයා වෙත ඒ වැඩේ පැවරිය නොහැකියි. ස්වයං ප්‍රකාශකයෙක් නම් තමන් විසින් ලියන ලද්දක් අලෙවියට තබන ප්‍රකාශයට පෙර වෙන කවුරු හරි ලවා හෝ fact-check කරදෙන්න යැයි ඉටුකරගත යුතු කාර්ය භාරයකි.

ඕනෑම අදහසක්, ප්‍රවෘත්ති වාර්තාවක්, තව කෙනෙක් කියූ කතාවක්, පාඨකයාට ඉදිරිපත් කරද්දී, පුරාතනයේ පටන් ලොව පිළිගෙන ඇති රීතියක් තිබුණි. එය කඩ කරනා අයෙක්ව පසුව කිසිවෙක් විශ්වාස නොකළහ!!!!

බ්ලොග්කරණය නිසා ලෝකයට සම්ප්‍රදායික පුහුණුවක් නැති වාර්තාකරුවන් එකතු වී සිටිති. එහෙත් ඔවුන් ද තමන්ගේ පැවැත්ම රිසි නම් අනුගමනය කළ යුත්තේ ලොව පිළිගෙන ඇති ප්‍රතිපත්ති කිහිපයකි.

බොරු ලියන්න එපා. උදා: නිරුවත් ඡායාරූප ඇතැයි කියා ඒවා ප්‍රදර්ශනයට නොතැබීම බොරුවකි!!!!

තමන් දක්වන පරිසිද්ධි (Fact) නිරවද්‍ය යැයි සොයා බලන්න.

අනිත් අයගේ නිර්මාණ තමන්ගේ විදියට ලියන්න එපා.

ඇහින් දැක්කා යැයි කියනා එක අයෙක් හිටියාට එය පරිසිද්ධියක් නොවේ. එහෙම දැකපු කිහිප දෙනෙකු සිටිය යුතුයි.

නොදන්නාකම නිසා වැරදි යමක් ලියැවී ඇත්නම් එය නිවැරදි කළ බවට සටහනක් ද පළ කර යුතුයි.

සත්‍ය වාර්තා කිරීම ලිඛිතාපහාසයක් නොවේ.

ජනප්‍රිය බ්ලොගයක නමක් ඈඳා ගැනීමෙන් තමන් වෙත පාඨකයන් අද්දවා ගැනීම ද ටැබ්ලොයිඩ් ස්ටැයිල් නොහොත් ජනප්‍රිය පුද්ගලයන්ගේ පුද්ගලික ජීවිත හෙළිකරනවා යැයි කියමින් සත්‍යයක් වටා බොරු නොකියා කියන සම්ප්‍රදායක් වෙයි. ඒවාට ඇදී යන, තමන් නිසරු ජීවිත ගෙවනා නිසා අනුන්ගේ ජීවිත වලින් රසාස්වාදය ලබන පාඨකයන් ලොව බොහොමයකි.

පුද්ගලිකත්වය පැත්තකට දමා මතවාදයට පහර දෙන්නේ කෙසේ දැයි අද බොහෝ අය විසින් ඉගෙන ගත යුත්තකි. මතවාදයට ඇති අකමැත්ත තර්කයක් නෙමෙයි. අනුන් කියනා දේවල් වලින් තර්ක කිරීමෙන් තමන් මතය කුමක් දැයි විමසා බලා නැති බව ලෝකයට පෙන්වයි.

ලෝක වෘත්තීය පුවත්පත් කලාවේදීන්ගේ සංගමය (Society of Professional Journalists) මෙසේ සදාචාර පිළිවෙතක් ඉදිරිපත් කර ඇත. ඔය සබැඳියෙන් ඒ පිළිවෙත් ගැන තව පැහැදිලි කරගත හැකියි.

* අයෙක් මෙහෙම කිව්වා යන්න සාක්ෂියක් නොවේ. එසේ කියූ අය කවුදැයි දැක්විය යුතුයි. මහජනතාවට එහෙම මෙහෙම කියන අයගේ සත්‍ය අසත්‍යතාවය ද පිරික්සා කරන්නට අවස්ථාවක් දිය යුතුයි.

* වාර්තාව නිසා බලපෑමට ලක්වෙන අය ගැන තැකීමක් කරන්න. වාර්තා කිරීම යනු කුමක් දැයි නොදන්නා අය, තමන් කියන්නේ කුමක් දැයි නොදන්නා අය හා දරුවන් සමඟින් කටයුතු කරද්දී වැඩියෙන් සුපරික්ෂාකාරී වෙන්න.

* යම් විපතක දී දොම්නසට පත් වී ඉන්නා අයව ප්‍රශ්න කිරීමේ දී හෝ ඔවුන්ගේ ඡායාරූප ගැනීමේ දී සංවේදී වෙන්න.

* නිව්ස් සොයා යෑම, පාඨකයා දැනුවත් කිරීම යනු උද්ධච්ච හැදියාවට දෙන ලැයිසන් එකක් නොවේ.

* බලය හඹා යන, බලපුලුවන්කාරකම් පෙන්වන මහජන සේවකයන් යැයි කියාගන්නා අයට වඩා පුද්ගලික ජනතාවට ඔවුන් ගැන තොරතුරු පාලනයට වැඩියෙන් අයිතියක් ඇති බව හඳුනාගන්න. කාගේ හෝ පුද්ගලිකත්වය හාරා අවුස්සන්න ඉඩක් ලැබෙන්නේ එයින් ඊට වැඩියෙන් සමාජයේ සුවිශේෂී අවශ්‍යතාවයක් ඉටු කරත හැකිනම් පමණි.

* අනවශ්‍ය තොරතුරු හොයන පාඨකයාගේ lurid කුතුහලය පිනවීම පිණිස නොලියන්න.

* ලිංගික අපරාධ වලට හසු වූ උපහටයන්ගේ හා ඒවායේ සැක කරුවන් ගැන ලියද්දී සුපරීක්ෂාකාරී වෙන්න. ලංකාවේ නම් සැකකරායාව එල්ලුම් ගහට යවන්න ඕනෑ කියල තීන්දුවකුත් දීලා තමයි බහුතරයක් වාර්තා පත්තරේ වැටෙන්නෙ!!!

* අයෙකුට විරුද්ධව නඩු පවරා නැත්නම් ඒ අයගේ නම සඳහන් කිරීම ගැන යුක්ති ගරුකව සිටින්න!!!!

අන්තර්ජාලය අද ඇත්ත නැත්ත කුමක් දැයි සොයාගත හැකියාව අත ළඟටම ගෙනැත් දුන්නාට, එසේ සොයනා අය අඩුයි. අමුණා ඇති සබැඳියක වුවත් ඇත්ත නැත්ත සොයා බලන්නේ එහෙමත් කෙනෙකි.

එහෙත් දෙනවා කියන දේවල් නොදෙනා අය සේ ම, දන්නා ලෙසින් නොදන්නා දේවල් ගැන පුරසාරම් බාන අය නම් ලොව අඩුවක් නැත!!!!

Advertisements

23 Responses

Subscribe to comments with RSS.

  1. indika kumara said, on පෙබරවාරි 13, 2013 at 10:14 පෙ.ව.

    යම් දැනුම් ධාරාවක් තවත් දැනුම් ධාරාවන් වලින් ස්වායත්ත වී වෙනමම අදහස් මාලාවක් රැගෙන එන්නේ නම්….ඒ පෙර කී නව දැනුම විග්‍රහ කිරීමට පැරණි ලිංක් දැමීම වැදගත් කමක් නැහැ…
    උදාහරණ ලෙස බුදුදහම ගැන කියෙවෙන බ්ලොග් ලිපියකට අපි නිවුටන්ගේ තුන්වෙනි නියමය ආදේශ කරන්නට යනවා නම් එම අවස්ථාවේ නිව්ටන්ගේ තුන සොයා ලතවෙන එක හො ්එහි ලිංක් සොයා වාත වීම තේරුමක් නැහැ…

    අනික ලිංක් රාශියක් අති ලිපියක ලිංක් කී දෙනෙක් කියවනවාදැය ිකියා විමසීමත් වැදගත්..අපි ලිංක් කොතරම් දමා එය ලක්ෂන කරන්නට වෘත්තිය කරන්නට හැදුවත් ලංකාව වැනි සමාජ පද්ධති තුල ලිංක් කියවීමට යොමුවන පිරිස බොහෝම අඩුයි…

    අපේ රටේ මනුෂ්‍යයින් ස්වභාවයෙන්ම කැමති කතාන්දර වැනි දේවල් කියවන්න..ලංකාදීප පුවත්පතේ කතෘ ආරියනන්ද දොඹගහවත්ත මහතා වරක් ප්‍රකාශ කරලා තිබුනා ලාංකිය පුවත්පත් රුචිය තියෙන්නෙ කතාන්දර මත කියලා…

    මා සිතන්නේ බ්ලොග් කියන්නෙ විවෘත වේදිකාවක්…බ්ලොග් ලිපියක් සියයට අනූවක් සත්‍ය හෝ තහවුරු වුනාම ඇති..එය සියයට සියයක් සත්‍ය වෙන්න අවැසි නැහැ…

    • arunishapiro said, on පෙබරවාරි 13, 2013 at 10:21 පෙ.ව.

      indika kumara,

      දැනුමෙන් ප්‍රයෝජනයක් ලබාගන්න නම්
      ඒ කියන්නෙ එයින් තමන්ගේ ජීවිතයට යහපතක් කරගන්නට නම්,
      //ලංකාව වැනි සමාජ පද්ධති තුල ලිංක් කියවීමට යොමුවන පිරිස බොහෝම අඩුයි…// කියා
      සමාවට කාරණයක් ඉදිරිපත් කළාම
      ලංකාව වැනි රටක පුරවැසියන්
      ඔය ඉන්න විදියටම
      සදා කාලයක්
      දියුණු වෙමින් පවතින රටක ඉන්නා වැසියන් වේවි.

      ඇත්ත නැත්ත නොදන්නා කළ මිනිසාට ගත යුතු තීරණය කුමක් දැයි කියා ද පැහැදිලි නැත. එවිට මිනිසා එක කාලයට එක පිරිසක් ද, තවත් කාලයකට තවත් පිරිසක් ද, අනුකරණයේ යෙදෙන තීරණ ගනිති.

  2. udontneed said, on පෙබරවාරි 13, 2013 at 2:29 ප.ව.

    නයි ඇරීම සදාචාරයට එකග ද ?

    • arunishapiro said, on පෙබරවාරි 13, 2013 at 2:57 ප.ව.

      udontneed,

      තමන්ට නැති දේවල් තියෙන විදියට කිව්වොත් නම් සදාචාරයට විරුද්ධයි!!!

      “ආරූඪ කරගත් නිහතමානී බව තරම් වංචනික වූ කිසිත් නැත.” -ජේන් ඔස්ටින් -Nothing is more deceitful than the appearance of humility. මේක මොකක් ද කියලා පහදා ගන්න බැරි අය තමයි හැම මැතිවරණයක දී ම ජාතික ඇඳුම ඇඳගෙන ගෙදෙට්ට ඇවිත් අත්දෙක එකතු කරන පළියට එහෙම අයට චන්දෙ දෙන්නෙ!!

      “මම එයා එහෙම යැයි කියන්නේ නැහැ, ඒත් ඔබ දිව්‍යලෝකයට ගිහින් ඇත්නම්, එයාට ඒකට සීසන් ටිකට් එකක් තියෙනවා කියල දකිවී,” විලී රසල් -I am not sayin’ she’s a bragger, but if you’ve been to Paradise, she’s got a season ticket.” -Willy Russell, Shirely Valentine (1986) ඔය කතාවේ චරිතය ගැන නොව මේ කියමනේ අදහස විතරයි මෙතැනට ගැලපෙන්නේ. 😀

      • udontneed said, on පෙබරවාරි 13, 2013 at 3:21 ප.ව.

        ok ok 🙂 , what do you think about sinhala muslim problem ?

        • arunishapiro said, on පෙබරවාරි 13, 2013 at 3:30 ප.ව.

          udontneed,

          මට සිංහල දෙමළ ප්‍රශ්නයක් තිබ්බෙත් නැහැ. සිංහල-ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නම් තිබ්බා ලංකාවේ හිටපු කාලේ!!! ඉතින් මට සිංහල මුස්ලිම් ප්‍රශ්නයක් නැති නිසා මම තවම ඒ ගැන හිතලා නැහැ.

          මොකක් ද සිංහල මුස්ලිම් ප්‍රශ්නය? කාට ද ඔය ප්‍රශ්නය තියෙන්නෙ? මේවා ඔයාගෙන් අහන ප්‍රශ්න නෙමෙයි!!! අර rhetorical questions කියන, ප්‍රශ්නෙ ඇහැව්වම උත්තරය පැහැදිලි වෙන්න ඕනෑ වර්ගයේ එව්වා.

  3. ඇනකොන්ඩා said, on පෙබරවාරි 13, 2013 at 10:58 ප.ව.

    මට දැනෙන තේරෙන විදිහට තවමත් සිංහලෙන් බ්ලොග් ලියන අය බ්ලොග් වලින් 100% වැඩ ගන්නෙ නැති බවයි. මේ මාධ්‍ය තුලින් පාඨකයන්ගේ විනෝදය වගේම දැනුමත් දියුණු කරවන්නට උත්සාහ ගැනීම සුදුසු යැයි හගිමි

    • දුකා said, on පෙබරවාරි 14, 2013 at 2:22 පෙ.ව.

      එහෙම ම කියන්න බෑ නේද?
      මේ බ්ලොග් එකට අමතරව දිනේෂ් ලියන සත්සමුදුර, හසිත ලියන ආගිය කතා, දයානන්ද ලියන අස්වැන්න, තිස්ස ලියන හදගී පොත, රොහණ ලියන වෙද ගෙදර මේ වගේ වටින බ්ලොග් සෑහෙන ප්‍රමානයක් තියෙනවා. හොඳ දේ සොයා ගන්න අමාරු එක මිසක් හොඳ දේවල් නෑ නෙමෙයි

      • arunishapiro said, on පෙබරවාරි 14, 2013 at 9:15 පෙ.ව.

        දුකා,

        ස්තූතියි මල්ලි.

        100% ක් වැඩ ගන්නෙ නෑ කියලනෙ අනකොන්ඩා කියන්නෙ. වටින දේවල් නැහැ කියලා නෙමෙයිනෙ. ඉතින් මාත් දකින්නෙ දුකා මල්ලි ඇනකොන්ඩාගේ දැකීම නිවැරදි කියලයි. තාම ඉතා නැවුම් ප්‍රවේශයක් … රටේ ඉතා අල්පයක් අතර භාවිතා වෙන්නක් .. හැබැයි අපි මේකෙන් අයින් වෙන්න කළින් යම් සදාචාරාත්මක තත්වයක ගෙන ආ යුතු ද වූවක්!!!!!

    • arunishapiro said, on පෙබරවාරි 14, 2013 at 8:50 පෙ.ව.

      ඇනකොන්ඩා,

      මාත් හිතනවා බ්ලොග් වලින් කරන්න පුලුවන් කාර්ය භාරයෙන් ඉතාමත් අල්පයක් පමණක් දැනට සිද්ධ වෙන එක. පාඨකයන්ගේ විනෝදය ඉතා වැදගත්. ඒ වගේම අලුත් හිතවත් පිරිසක් හඳුනාගන්න ලැබීමත් ඉතා වැදගත්. ජීවිතයට වැදගත් සිනාවෙන්න ඉඩ ප්‍රස්ථාවක්, සොඳුරු මිනිස්සු හඳුනා ගැනීම. ඉංග්‍රීසි බ්ලොග් වලින් ලබාගත හැකි දැනුම බලද්දී, තම ක්ෂේත්‍ර වල ඉතා ඉහළ දැනුමක්, පුහුණුවක්, අත්දැකීම් ඇති අය පවා මෙහෙ බ්ලොග් ලියනවා. ඉතින් එදා පොතක් මිලට ගෙන තනිවම කියවා ඉගෙන ගන්න වෙච්ච දේවල් අද ඉංග්‍රීසි බ්ලොගයක් තුලින් නොමිලේ කියවලා රචකයාගෙන් ප්‍රශ්න අසා තවත් විස්තර පහදා ගන්න පුලුවන්. ඒ හැකියාව ලංකාව වගේ පොත් මිල අධික රටක් අපතේ යවනවා.

      සිංහල බ්ලොග්කරණය තුල සිද්ධ වෙන්නේ පුද්ගලික අපහාස වලින් විනෝදය ලැබීමක් කියලා දකින කට්ටියක් ආයේ එන්නෙ නැතිව අයින් වෙනවා. හරියට දැන් ලංකාවේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලට නොයන අරමුණින්, පිටරට විභාග වලට වාඩි වෙන්න ඉගෙන ගන්නා අලුත් කොට්ඨාශයක් ඉන්නවා වගේ. ඒකෙන් එක කට්ටියක අතර පමණක් ගොඩනැඟෙන සබඳතාවයන් වලින් දැනුමක්, සුහදතාවයක්, වගේම තම දියුණුවට උදව්වක් ලබාගත හැකි අවස්ථාවන් අනෙක් කට්ටියට සම්පූර්ණයෙන් වැසී යනවා.

  4. දේශකයා said, on පෙබරවාරි 13, 2013 at 11:42 ප.ව.

    ඔබ කියන පුද්ගලික අපහාසය ගැන මමත් එකගයි. ඒත් එතැනින් එහාට නං මට මොකක්වත් වැදගත් නෑ.. ඔබ කියන්නේ බ්ලොග් කෙරුවාව ගැනනං, මම නං හිතන්නේ ආචාර ධර්ම පද්ධතිය එහෙම නෙමෙයි වෙන්න ඕන.. අනික බ්ලොග් තියෙන්නේ තොරතුරු ලබා දීමට පමණක් මයි කියා ඔබ හිතන එක විහිළුවක්.. මේක ආධුනිකයාගේ ඉදල පණ්ඩිතයා දක්වාම භාවිතා කරනවා. වැල අදින එවුන්ගේ හිට වැල නොඅදින අයත් භාවිතා කරනවා. ඒක නිසා මම හිතන හොදම ආචාර ධර්මය තමා තමට සුදුසු දේ තෝරාගෙන කියවීම කියන එක…

    මේ ගැන ගොඩාක් කතා කරත් වැඩක් නැති හින්දා ඔන්න සද්ද වහල යනවා…

    • arunishapiro said, on පෙබරවාරි 14, 2013 at 9:04 පෙ.ව.

      දේශකයා,

      මෙහෙමයි දේශකයා, මට නම් මගේ ජීවිතයේ මම කියන ලියන කරන හැම දෙයක්ම වගකීමකින් කළ යුතු වූවක්. බ්ලොග් ලිව්වෙ නැතත් මම මගේ දුව එක්ක කතාකරද්දී, මගේ සුදු අප්පුහාමි එක්ක කතා කරද්දී මම හැමවිටම උත්සාහ කරන්නේ, එයාලා ද එහෙමම උත්සාහයක් ගන්නේ ඔය ප්‍රමිතියන් අනුව කතා බහ කරන්න, කටයුතු කරන්න.

      //අනික බ්ලොග් තියෙන්නේ තොරතුරු ලබා දීමට පමණක් මයි කියා ඔබ හිතන එක විහිළුවක්.. // මිනිසෙක් එයාගේ ජීවිතයේ දී දකින හැම දෙයකින් ම, කියවන හැම දෙයකින් ම, අහන හැම වදනකින් ම ඒ මිනිසාගේ පුද්ගලික වූ ජීවිතයේ යම් තීරණයක් ගනිද්දී ඊට සහාය කරගන්නා තොරතුරක් එකතු කරගන්නවා. ඒක පරිසිද්ධියක්! වෙනස් කළ නොහැකි මිනිසාට පමණක් ම ලැබිච්ච මිනිස් ස්වභාවයක්.

      පුද්ගලයෙක් හැටියට තමන් දියුණුවක් ලබන්න නම්, තම ජීවිතයේ දී සාර්ථක තීරණ ගත හැකියාවක් ද තියෙන්න ඕනෑ. තමාට සුදුසු දේ තෝරාගෙන කියැවීම හරි. එය සාර්ථක තීරණ ගන්නේ කෙසේදැයි දන්නා අය කොහොමටත් කරන ක්‍රියාවක්. නමුත්, මිනිසාට ආචාර ධර්ම පද්ධතියක් ගැන අවබෝධයක් නැතිකමෙන් යන්නේ පරිහානියට. එක එක මිනිසෙක් බැගින් පරිහානියට යද්දී සමාජයක් ද පරිහානියටයි යන්නේ .. මොකද සමාජයක් හැදෙන්නේ එක එක මිනිස්සුන් වෙතින් නිසා.

      අනික් අහපු කාරණය දැන් හරිනේ. 🙂

  5. Madu said, on පෙබරවාරි 14, 2013 at 2:03 පෙ.ව.

    මා දන්නා පරිදි මාධ්‍ය අඩු-වැඩි සහිතව කිසියම් භාහිර පාර්ශවයකට හිතෛශී භාවය දක්වනවා. ඒ අනුව කිසියම් ගැටලු කාරී අවස්ථාවක අදාල පාර්ශවය වෙනුවෙන් පෙනී සිටීම උච්චතම අවස්තාව උදා කර ගන්නවා. ගැටලුවක් නැහැ, ඉන් ජනතාවට, ඔබ ඉහත දක්වා ඇති සාධක අනුව හෝ ඊට පරිභාහිරව හෝ අසාධාරණයක් නොවෙනවානම්.

    • arunishapiro said, on පෙබරවාරි 14, 2013 at 9:12 පෙ.ව.

      Madu,

      ඔව් Madu ඔයා හරි. හැම සාමාන්‍ය පුද්ගලයෙකුට වගේම හැම මාධ්‍යයකටම, හැම කර්තෘවරයෙකුටම, හැම විද්‍යාඥයෙකුටම තමන් නියැළෙන අංශය ගැන සුවිශේෂ වූ දැක්මක් තියෙනවා. කුමන පුද්ගලයෙක් හෝ කුමන මාධ්‍යයක් කුමන බාහිර පාර්ශවයකට හෝ දැක්මකට හිතවත් දැයි සොයා ගැනීම වැදගත්. අපිට ඒ අය දෙන තොරතුරු වලින් යමක් අපේ ජීවිතයට එකතු කරගන්නවා ද නැද්ද තීරණයේ දී එය බැහැර ලීම නොකළ යුත්තක්. ඒත් ඒ සියල්ලන්ම තමන් පාක්ෂික වූ දැක්ම නිසා, කතාබහේ දී ඊට පාක්ෂික වීම පමණින් සදාචාර ප්‍රමිතියන් බැහැරකට දැම්මාම, ඔවුන් නිකම් බොරු කියන, අශීලාචාර, උද්ධච්ච පිරිසක් පමණක් වෙනවා.

  6. දුකා said, on පෙබරවාරි 14, 2013 at 2:22 පෙ.ව.

    ගොඩක් හොඳ කාලීන ලිපියක් අරුණි අක්කා

  7. මාතලන් said, on පෙබරවාරි 14, 2013 at 3:59 පෙ.ව.

    මාධ්‍යවේදීන්ට අදාල ආචාර ධර්ම එයාලා පිලිපදිනවද කියන එකයි ප්‍රශ්නේ. මම නම් හිතන්නේ බ්ලොග් කලාව වෙනම සංස්කෘතියක් කියාලයි…

    • arunishapiro said, on පෙබරවාරි 14, 2013 at 9:22 පෙ.ව.

      මාතලන්,

      අපිට බැහැ කිසිවෙක් ලවා කිසිවක් පිලිපද්දවන්න! අපිට පුලුවන් අපි අපි තෝරාගෙන අපේ හැදියාව වෙනස් කරගන්න පමණයි. එක එක්කෙනා වෙනස් වෙද්දී සමාජයක් වෙනස් වෙනවා …. සමාජයක් කියන්නේ එහි ඉන්නා එක එක්කෙනා නිසා. සිංහල බ්ලොග් කලාව යනු සිංහල සංස්කෘතියේ එක පැතිකඩක්!!!!!

  8. naleendilruksha said, on පෙබරවාරි 14, 2013 at 5:03 පෙ.ව.

    ඔබ ගේ ලිපියෙන් මා ලබා ගත් දේ බොහෝ යි. අවසන් කරුණු සියල්ල පිළිබඳවම මින් ඉදිරියට සැලකිල්ලක් දක්වන්නට දැඩි උත්සාහයක් ගන්නම්. බොහෝ විට මා ගේ බ්ලොග් රචනයන් හී දී ඔබ පෙන්වා දෙන අඩුපාඩු එමට තිබේ. ඉදිරිය නිවරදි වේවි.. ස්තුතියි.

    • arunishapiro said, on පෙබරවාරි 14, 2013 at 9:24 පෙ.ව.

      naleendilruksha,

      මමත් මෙහි ප්‍රතිචාර දාලා ගිය අයගෙන් ඉතා මුල පටන් බොහෝ දේ උගත්තා. මගේ වැරදි නිවැරදි කරගත්තා. ඉදිරියටත් එහෙමයි. අපේ ජීවිත වඩා යහපත් වෙන්නේ අපි එකිනෙකාගේ දියුණුවට අත දෙනවා නම් පමණයි. බොරුවට හොඳයි කීම හෝ නිකරුනේ බැනීමෙන් දෙගොල්ලන්ටම සෙතක් නැහැ!!!

  9. wicharaka විචාරක said, on පෙබරවාරි 14, 2013 at 9:12 පෙ.ව.

    ඉතාම අගය කරනවා මේ ලිපිය. ඇත්ත වශයෙන්ම බ්ලොග් ලියන සියලුදෙනා විසින් අනිවාර්යයෙන් කියවිය යුතු ලිපියක්. ලෝකයට පෙනෙන්න තමන්ගේ ආත්ම ගෞරවය කෙලෙසා ගැනීම බ්ලොග් ලිවීම කියා හිතා ඉන්න අයටත් හොඳ පාඩමක්.

    • arunishapiro said, on පෙබරවාරි 14, 2013 at 9:20 පෙ.ව.

      විචාරක,

      ආචාර ධර්ම ගැන කතාබහ ලංකාවේ සිද්ධ වීම ආගමික සංදර්භයට සීමා වෙලා ද කියලත් හිතෙනවා. පාරවල් වල රථ පදවන හැටි කදිම උදාහරණයක්. ඇයි අපි අපටත් අනුන්ටත් ආචාරශීලී විය යුත්තේ යන්න පින් එකතු කරන අවස්ථා වලට පමණක් සීමා කරන්න නරකයි!!!

  10. Chandi said, on පෙබරවාරි 14, 2013 at 12:43 ප.ව.

    බොහොම ස්තූතියි මේ සටහනට. වටිනා කරුණු රාශියක් දැනගත්තා. අපෙන් වෙන වැරදි හදාගන්න මගක්. තරුණ අය වචන භාවිතයේදී සංවර නෑ. ඒ නිසා සමහර වෙලාවට අප්‍රිය වෙනවා කියවන්න. ඒ වගේ දේවල් අනිවාර්‍යයෙන්ම හදාගත යුතුයි. අපි අපේ වැරදි හදාගෙන ඉදිරියට යන එක තමයි කරන්න ඕනෙ. මගෙනුත් අනේකවිධ වැරදි වෙනවා ඇති. මොකද මම පැහැදිලිව ලියන්නෙක් නොවෙන නිසා. ඒවා පේන්නෙ අනක් අයට නේ. කවුරු කවුරුත් ඒවා පෙන්වා දෙනවා නම් වටිනවා.

    • arunishapiro said, on පෙබරවාරි 14, 2013 at 2:17 ප.ව.

      Chandi,

      පැහැදිලිව ලියන වෑයමේ මාත් ඉන්නේ 😀 … ඉස්සර දාපු ඒවා කියවන කොට … ඔන්න ඔප්පු කරන්න නම් සාක්ෂි හොඳටම ඇති. වැරදි හදාගැනීමට හැකියාව මිනිසාට පමණක්ම ලැබිච්ච මහඟු දායාදයක්!!! ඒකෙන් වැඩක් ගත්තෙ නැත්නම් මිනිසත් බවට කරන අපහාසයක් නේ!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: