අරුණි ශපීරෝ‍ වෙතින්

ආදරයේ දෙයියන්ට දඟකාර වැඩ කරලා හොඳටම මහන්සිලු …

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 14, 2013

h2_43.11.4

බාණකුසුමයා නොහොත් අනංගයා නොහොත් රෝමානුවන් Cupid යැයි සැලකුවේ පුරාණ ප්‍රවේදයේ එන දේව චරිතයකි. ග්‍රීක අයට ඒ චරිතය ලැබුනේ Eros නමින්. කියුපිඩ් යනු වීනස් නැමති ආදරයේ දෙව්දුවගේ පුතා වෙද්දී, ඔවුන්ගේ නම් ලතින් බසින් එසේ හැඳින්වෙද්දී, ඔවුන්වම ඊරෝස් යනු ඇප්‍රොඩයිටී ගේ පුතා යැයි ග්‍රීක නම් වලින් හැඳින්වෙති. ෆ්‍රැන්සුවා බූෂේ තෙල් සායමට නැඟූ ආදරයේ දෙයියා පියාපත් ඇති, කැරලි කොණ්ඩයෙන් යුතු, පුෂ්ටිමත් කුඩා ළමයෙකුගේ වේශයක් නිරුපනය කරයි.

පුරාණ ප්‍රවේදයට අනුව දෙවියෙකුට වුවත් අනංගයාගේ ඊතල පහරක් වැදෙන්නේ ද පාලනය කරගත නොහැකි ආශාවෙන් මුසුපත් වෙයි. පුරාණ ප්‍රවේදයේ එන පරිදි ඔහු අත රත්තරන් සහ ඊයම් යන වර්ග දෙකකින් හැදුනු ඊතල විය. රත්තරන් ඊතල වැදෙනා අය අසීමිත ආදරයෙන් වෙළී යද්දී ඊයම් ඊතල වැදෙනා අයට සල්ලාල හැසිරීම කැඳවීය. ඒ නිසා අනංගයා එනවාට හැමෝම කැමති වී නැත.

රත්තරන් බූරුවා (The Golden Ass) ලතින් බසින් ලියැවී සම්පූර්ණ ලෙසකින් ඉතිරි වී ඇති එකම නවකතාව යැයි සැලකේ. එහි අනංගයා ගැන සඳහනක් වෙන්නේ නරක හැදියාවක් තියෙන අයෙක් හැටියට ය. රාත්‍රී කාලය පුරා ගෙයින් ගෙයට දුව පැන ගොස් හැමෝගේම නීත්‍යානුකූල විවාහයන් කඩාකප්පල් කරන මේ ආදරයේ දෙයියෝ නම් කඩවසම් තරුණයෙක් ගැන කියැවෙන නිසා සමහර ප්‍රතිමා වල ඔහු දිස්වෙන්නේ තරුණයෙක් ලෙසිනි.

මේ පින්තූර වල දිස්වෙන, ‘නිදා ඉන්නා ඊරෝස්’ (Sleeping Eros) ගේ ප්‍රතිමාව නිමැවෙන්නේ ක්‍රි. පූ. 3 වන සහ 2 වන සියවස අතර මැද කාලයක දී යැයි සැලකේ. ග්‍රීක නිර්මාණයන් වන මෙය ඒජීයන් මුහුදේ (Aegean Sea) රෝඩ්ස් නැමති දූපතේ බිහිවූවා යැයි අනුමාන වෙයි. මූර්ති ශිල්පියා කවුදැයි කිසිවෙක් නොදනිති.

මේ දිනවල නිව් යෝර්ක් නගරයේ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇති මේ ප්‍රතිමාව ජූනි 23 වැනිදා තෙක් විශේෂ තැනක ප්‍රදර්ශනය වෙන්නකි. ඒ අවට ඉතා සංසුන් පරිසරයක් ලෙස ප්‍රදර්ශනය සැකසී ඇත්තේ මහන්සියෙන් නිදා ඉන්නා ආදරයේ දෙයියාට ගැලපෙන ලෙසටයි. දුන්න හා ඊතල ඉතිරි වී ඇති කොටස් ඇත්තේ ඔහුගේ හිස අසල.

hb_43.11.4_av1

පින්තූර The Metropolitan Museum of Art අඩවියෙන්.

Advertisements

16 Responses

Subscribe to comments with RSS.

  1. Chandi said, on පෙබරවාරි 14, 2013 at 12:28 ප.ව.

    ඇත්තටම එයාට මහන්සි වගේ.

  2. praveena said, on පෙබරවාරි 14, 2013 at 10:19 ප.ව.

    //පුරාණ ප්‍රවේදයේ එන පරිදි ඔහු අත රත්තරන් සහ ඊයම් යන වර්ග දෙකකින් හැදුනු ඊතල විය. රත්තරන් ඊතල වැදෙනා අය අසීමිත ආදරයෙන් වෙළී යද්දී ඊයම් ඊතල වැදෙනා අයට සල්ලාල හැසිරීම කැඳවීය. ඒ නිසා අනංගයා එනවාට හැමෝම කැමති වී නැත.//

    මේ කතාව කලින් දැන හිටියේ නෑ.

    මම හිතුවේ එයා ඊයේ දවසම මහන්සිවෙලා නිදි කියලා. ඒ ඊය හා දුන්න වෙන කවුරු හරි අතට ගියොත් මහා විනාසයක් වෙන්නේ… 😀

    • රාජ් said, on පෙබරවාරි 14, 2013 at 11:38 ප.ව.

      //පුරාණ ප්‍රවේදයේ එන පරිදි ඔහු අත රත්තරන් සහ ඊයම් යන වර්ග දෙකකින් හැදුනු ඊතල විය. රත්තරන් ඊතල වැදෙනා අය අසීමිත ආදරයෙන් වෙළී යද්දී ඊයම් ඊතල වැදෙනා අයට සල්ලාල හැසිරීම කැඳවීය. ඒ නිසා අනංගයා එනවාට හැමෝම කැමති වී නැත.//
      ඒ කතාව මාත් දන්නෙ දැන්. දුන්න අපේ නායකතුමාට භාරදෙමු. (අනිත් හැමදෙයක්ම වගේ)

      • arunishapiro said, on පෙබරවාරි 15, 2013 at 5:42 පෙ.ව.

        රාජ්,

        //දුන්න අපේ නායකතුමාට භාරදෙමු. (අනිත් හැමදෙයක්ම වගේ)// බාර දෙන්න ඕනෙ නැහැ දුන්න එයා අතට අරගෙන ඉවරයි ද කොහෙද!! සොරි, ඔයා කිව්වෙ විපක්ෂයේ නායකතුමා ගැන නෙවෙයි ද?!!!!

        praveena,

        අනංගයත් ඒ තරම් වගකීමකින් දුන්න පාවිච්චි කරලා නෑ වගේ!!!

  3. dilsubha UOC said, on පෙබරවාරි 15, 2013 at 12:52 පෙ.ව.

    aththamai me tharam wistharayak mama danagena hitiye naha thank u.ada usawiwala dikkasada wadiwena hati dakkama latin nawakathawe inna anangaya wage anangayo keepa denek innawada danna loke.

    • arunishapiro said, on පෙබරවාරි 15, 2013 at 5:37 පෙ.ව.

      dilsubha UOC,

      ලංකාවේ දික්කසාද නීතිය වෙනස් වූනේ මෑතක දී, දෙදහස් ගණන් වල දී කියලා මම හිතන්නෙ. එතෙක් දික්කසාද වෙන්න පුළුවන් වූයේ එක පැත්තක වැරැද්දක් පෙන්වලා ඒ වැරැද්ද උසාවිය පිළිගන්නා වැරැද්දක් වුනොත් පමණයි. විවාහය බංකොළොත් කියල දික්කසාද වෙන්න පුළුවන්කම ලැබුණට පස්සෙ කතෝලික බැතිමත් බහුතරයක් සිටින ලතින් ඇමෙරිකානු රටවලටත් වැඩියෙන් දික්කසාද ඉහළ ගියා ලංකාවේ. අයින් වෙන්න බැරිවෙච්ච බොහෝ දෙනෙක් අයින් වුනා.

      ඒත් උසාවියේ දී වෙන් නොවී අත්හැරලා දාලා යන අය කොච්චර ඉන්නවා ද?

      මිනිස් ස්වභාවය එහෙම වෙන්නෙ ඇයි කියලා හිතාගන්න බැරිවුනාම මේ විදියෙ අනංගයෙක් හරි ඕනෑ හිත හදාගන්න.

  4. මාතලන් said, on පෙබරවාරි 15, 2013 at 1:21 පෙ.ව.

    ලංකාවට ආවයින් පස්සෙ පිස්සු වගේ එන්න ඇති. මුන්ට අනංගයා නැතුවම බෑනේ. හැබයි විමලෙට අහු වුනා නම් ඉවරයි. අනංගයා උනත් බටහිර නේ…

  5. තහනම් වචන said, on පෙබරවාරි 15, 2013 at 4:04 ප.ව.

    ඊරෝස් සහ අනංගයා කියන්නේ දෙන්නෙක් නේද? සමරූපී වෙන්න ඇති, නමුත් දෙන්නෙක් නේද?

    • arunishapiro said, on පෙබරවාරි 15, 2013 at 8:08 ප.ව.

      තහනම් වචන,

      ඊරෝස් සහ අනංගයා දෙන්නම එකම කෙනෙක්.

      ඵෛතිහාසික අනංගයා ද පෙමින් බැඳුන අයෙක්. සමහර විට අනංගයා කියල මිනිසුන්ට නම් පට බැඳෙන්නෙ මේ විදියේ ආදර කතන්දර රඟපාන්න යන නිසා වෙන්නැති!

      “රත්තරන් බුරුවා” කතාව අනුව: කියුපිඩ්ගේ අම්මා වීනස්ට හරියට ජෙලස් හිතුනලු සයිකි (Psyche) කියන කුමාරිකාව ගැන. වීනස් අණ දුන්නාලු කියුපිඩ්ට ගිහින් ලෝකයේ තියෙන දුෂ්ටම දුෂ්ටයාත් එක්ක ආදරයෙන් බැඳෙන්න සයිකිට ඊ තලයක් විදින්න කියල. රත්තරන් ඊ තලයක් අරගෙන සයිකි ළඟට යද්දී ඇය ඉතා රූමත් කියල දැකල කියුපිඩ් ඒ ඊතලයෙන් තමන්ව විද ගත්තලු. ඉතින් අසීමිත ආදරයෙන් බැඳිලා.

      කියුපිඩ් හැමදාම රාත්‍රියේ ඇය නිදා ඉන්න විට ඇය බලන්න යනවාලු. ඇයට නොපෙනෙන ලෙසින් හිඳගෙන ඇය හා කතා කරනවාලු. ඇයට තමා දිහා බලන්න උත්සාහ කරන්න එපා කියලා කියා තිබුණත්, සයිකිගෙ අක්කලා දෙන්නා කියුපිඩ් කියන්නෙ මහා රාක්ෂකයෙක් යැයි ඇයව බය කරලා තිබ්බ නිසා ඇය කියුපිඩ් දිහා හොරෙන් බලන්න තැත් කරල. ඒකෙන් කියුපිඩ්ට හොඳටම තරහ ගිහින්. කියුපිඩ් පිටවෙලා ගියාට පස්සෙ සයිකි ලෝකෙ හැම තැනම ඔහුව හොයනවා. වීනස් ඇයට කියනවා තමන් පවරන කාර්යය නිම කළොත් කියුපිඩ් හොයා ගන්න උදව් කරන්නම් කියල. එකඟ වෙන සයිකිට ඉවර කරන හැම වැඩේටම වඩා දුෂ්කර වැඩක් ලැබෙනවා. අන්තිමට ඉටු කළ යුතු කාර්යය හැටියට ලැබෙන්නෙ ඇතුලේ තියෙන්න මොකක් ද කියලා ඇරලා බලන්නෙ නැතිව පෙට්ටියක් අපායේ බාරකාරයාට ගිහින් දෙන්න. සයිකි පෙට්ටිය ඇරලා බලනවා. වීනස් ඒකෙ ඇතුලෙ දාලා තියෙන්න සදාකාලික නින්ද. ඉතින් සයිකි සදාකාලික නින්දකට වැටෙනවා. තරහා නිවිලා කියුපිඩ් ඇවිත් සයිකිව නින්දෙන් අවදි කරවලා අමරණීයත්වයක් දෙනවා. ඒ දෙන්නාගේ දුව තමයි හිඩොනි ( Hedone = Voluptas) නැත්නම් “සන්තුෂ්ටිය”.

      සයිකිව නිරූපනය වෙලා තියෙන්න සමනල් තටු සමඟ.

      සයිකිගේ පුරාණ ප්‍රවේදයන්හි ද සංස්කරණ විවිධයි.

  6. SoSi said, on පෙබරවාරි 16, 2013 at 9:27 පෙ.ව.

    මල්සරා හෙවත් අනංග අන අංග කියන්නේ අංග නැති කෙනා,ශරීරයක් නැති කෙනා. අපි දන්න කතාවෙ දි මේ පුංචි කොලු පැටියට ඇඟ නැති වුනේ ඔහු කරපු කඩප්පුලි වැඩක් නිසා ඇස් තුනක් තියෙන ඊශ්වර දෙයියන්නට තරහ ගිහින් තෙවන ඇහින් ඒ මනුස්සය දිහා බලපු නිසා ලු. ඒ බැල්මට මල්සරා සුන්නද්දූවිලි වෙලා ගිහින් ආත්මය විතරක් ඉතිරි වෙලා….

    ඒකා තවම හරිහැටි ඊතලයක් මේ පැත්තට විද්දෙ නැති නිසා මම ඉන්නේ මුණ ගැහෙනකම් තමයි ඔය හාදයව.

    • arunishapiro said, on පෙබරවාරි 16, 2013 at 9:35 පෙ.ව.

      SoSi,

      සමහර වෙලාවට වැදෙන ඊතල වලින් හැමදාම මල්සරාගේ ප්‍රේම ලෝකෙ සිහින මාලිගා තමයි හදන්න වෙන්නෙ කට්ටියකට … ආදරයෙන් වෙළිච්ච පමණින් එකතු වෙන්න ඉඩක් ලැබෙන්නෙ නැති එක ග්‍රීක ශෝකාන්ත වල දකින සාමාන්‍ය සිරිතනේ.

      ග්‍රීක් ශෝකාන්තයක් නොගෑවිච්ච ඊතලයක් ඔයා ඉන්න පැත්තට ඒවා යැයි පතන්නම්!

  7. එච්..එම්.. said, on පෙබරවාරි 18, 2013 at 3:38 පෙ.ව.

    ඉතාම රසවත් ලිපියක්……………..


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: