අහම්බෙන් සහ බලහත්කාරයෙන් ද නැත්නම් සලකා බැලීමෙන් සහ තෝරා ගැනීමෙන් ද?
නිදහස කුමක් දැයි ලොවට කියා දුන් ෆෙඩරලිස්ට් රචනා අංක 1 ලියන්නේ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් විසිනි. සියළු රචනාවන් නිව් යෝර්ක් ප්‍රාන්තයට එදා ඉදිරිපත් වූයේ පුබ්ලියස් නම් අන්වර්ථ නාමයෙනි. අද ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් ඒවායෙන් රචනා 51 ක් ලියන ලද බවත්, ජේම්ස් මැඩිසන් රචනා 29 ක් ද, ජෝන් ජේ විසින් රචනා 5 ක් ද ලියා ඇති බව ඉතිහාස ගත වී ඇත.
ෆෙඩරලිස්ට් රචනා වලට හැඳින්වීමක් ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් රචනා අංක 1 තුලින් ඉදිරිපත් කරයි. මෙහි දී ඔහු පහත අදහස් සලකා බලන්නට ඉදිරි රචනා වලින් අවධානය යොමු කරන බව කියයි. මේවා සලකා බැලිය යුත්තේ මන්දැයි පැහැදිලි කිරීමට මේ රචනාව ලියා ඇතැයි කිව හැකිය. මිනිස් නිදහස ගැන හෝඩුවාවක් ලොව නොතිබි යුගයක ඒ ගැන විමසීමේ දී ඔවුන් ගත් වගකීම මේ උත්සාහයන් තුලින් මනාව පිළිබිඹු වෙයි.
1. දේශපාලන සමෘද්ධියට සියළු ප්‍රාන්ත එකතුව සිටීමෙන් (යුනියනය) ලැබෙන ප්‍රයෝජනය
2. යුනියනය ආරක්ෂා කිරීමට දැනට ඇති හවුල ප්‍රමාණවත් නොවීම
3. මේ අරමුණ සාක්ෂාත් කිරීමට ජවයකින් පිරි ආණ්ඩුවක අවශ්‍යතාවය
4. ජනරජ ආණ්ඩුවක් සඳහා සත්‍ය ප්‍රතිපත්ති යෝජනා කරන ව්‍යවස්ථාවේ ඇත්දැයි විමසීම
5. ඔබේ ප්‍රාන්ත ව්‍යවස්ථාවට එය සාදෘශ්‍ය දැයි විමසීම
6. නිදහස සහ සමෘද්ධිය තව වැඩියෙන් ආරක්ෂා කර ගැනීමට හැකියාව ලැබේදැයි විමසීම
ෆෙඩරලිස්ට් රචනා වල අරමුණ: ඇමෙරිකා එක්සත් ජනපදය වෙනුවෙන් ආදීපීතෘවරුන් සකස් කරගත් ෆෙඩරල් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට මහජන ප්‍රසාදය දිනා ගැනීමෙන් ප්‍රාන්ත 13 එක රටක් බවට එකතු කිරීම විය. ඒ සඳහා ඒ එක් එක් ප්‍රාන්තය විසින් එහි ජීවත්වන ජනතාවගේ ප්‍රසාදය ඇතිව රටේ ප්‍රථම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව පිළිගැනීම කැමැත්තෙන් කරවා ගන්නට විචාරයේ සහාය ඇතිව ඔවුන් මෙසේ සමත් වූහ.
ලෝකයේ වඩාත්ම සිත් ගන්නා රජයේ ඉරණම තීරණය කිරීම ඉතා වැදගත් විෂයයක් බව කියමින් ඔහු රචනා අංක 1 පටන් ගනියි.
“රටේ ජනතාවට, ඔවුන් එකිනෙකාගේ හැසිරීම හා ඔවුන් එකිනෙකාගේ ආදර්ශයන් අනුව රටේ ඉරණම තීරණය කරන්නට ඉඩ දිය යුතු නම් එහි දී වඩා වැදගත් කුමක් ද?
යහපත් ආණ්ඩුවක් ලැබෙන්නේ සලකා බැලීමෙන් හා තෝරා ගැනීම් වලින් තීරණය කිරීමෙන් ද?
නැත්නම්, අහම්බෙන් හෝ බලය (force) යොදා ඔවුන්ට දේශපාලන ආයතන නියම කිරීමෙන් ද?
අපි අද ඉන්නේ මේ දෙකෙන් එකක් තෝරා ගැනීම අබියස. වැරදි තෝරා ගැනීම අප අතින් සිද්ධ වුවහොත්, ඒ අනුව අපි ක්‍රියාකාරී වුවහොත්, එය මනුෂ්‍ය වර්ගයාගේ මහත් දුර්භාග්‍යය වෙයි.
අප ඉදිරියේ ඇති දැවැන්ත බාධකයන් අතර පළමුවැන්න: හැම ප්‍රාන්තයකම ඉන්නා යම් මිනිසුන් කොට්ඨාශයක් තමන්ගේ බලය අඩු වී යන බව දකිනා නිසා සෑම වෙනසකටම එරෙහි වීම.
අප ඉදිරියේ ඇති දැවැන්ත බාධකයන් අතර දෙවැන්න: විකෘති අභිලාෂයන් ඇති තවත් කොට්ඨාශයක් එක්කෝ ඔවුන්ගේ පිරිස අතර අන්දබූතය (confusion) පතුරුවා හැර ඔවුන්ගේ නායකත්වය උසස් කර පෙන්වනු ඇත. එසේ නැත්නම් ඔවුන් රට කොටස් කොටස් වලට කඩා දැමීමේ මහඟු වාසි ගැන උඩඟු ලෙසින් කියනු ඇත.
පාරම්පරිකව අල්ලා ගෙන ඉන්නා ද්වේශයන් නිසා මිනිස් මොළයේ අවංක වැරදීම් සිද්ධ වෙන බවත් අප අමතක කළ නොයුතුය. විනිශ්චයක් කරා එන වැරදි පක්ෂභජනය (bias) සිද්ධ වෙන්නට හැකි හේතුන් කොතරම් විවිධ හා කොතරම් බලවත් දැයි කියුවොත්, අපි බොහෝ අවස්ථා වල දී, දැක ඇත්තේ හොඳ මිනිසුන්, ඥානවන්ත මිනිසුන්, වරෙක හොඳ පැත්තේ ද, තවත් වරෙක නරක පැත්තේ ද සිටිනා බවයි. ඒ නිසා, සත්‍ය වෙනුවෙන් පෙනී සිටින අය එසේ කරන්නේ ඔවුන්ගේ එදිරිවාදීන්ට වඩා ඉහළ වූ පිවිතුරු චේතනා වලින් දැයි අපිට සහතික නැත.
අභිලාෂයන්, තෘෂ්ණාවෙන්, පුද්ගලික කෝන්තර වලින්, පක්ෂ විරෝධතාවන් සහ තවත් අනේක අභිප්‍රේරණ වලින් උසිගැන්වී කටයුතු කිරීම අපට යම් ප්‍රශ්නයක නිවැරදි පැත්ත විමසීමේ දී, තමන් අල්ලා ගන්න පැත්තේ අයගෙන් ද, අනිත් පැත්තේ අයගෙන් ද යන දෙගොල්ලන් වෙතින් ම දකින්නට හැකියි.
එවැනි හැසිරීම් වලින් නොඉවසිල්ලෙන් අපි රටේ ව්‍යවස්ථාව සලකා බලන්නට උත්සාහයක් ගන්නේ ද, එවිට අපිට ලැබෙන්නේ අනිසි ලෙසින් විනිශ්චය වූවකි. හැම විටම දේශපාලන පක්ෂ තුලින් දකින්නට ලැබෙන්නේ එවැනි ලක්ෂණයකි. ගින්නෙන් හා කඩුවෙන් අන්‍ය ආගමකට හැර වූ පුද්ගලයෙක් මෙන් එවිට දේශපාලනයට ද නිරර්ථක පාක්ෂිකයෙක් ලැබේ. ඒ දෙකේම ඇති මිථ්යාග්රාහයන් වධහිංසා වලින් සුව කරන්නට බැරිය.
කාර්යක්ෂම සහ ජවයෙන් පිරි ආණ්ඩුවක් සඳහා අවබෝධයෙන් යුතු අඛන්ඩ හා කැප වු ප්රයත්නයක් අපකීර්තියට පැමිණෙන්නේ බලයට කෑදර ආවේග තුලිනි. නිදහසට එරෙහි වූ ප්‍රතිපත්ති වලිනි. සියළු පුද්ගලයන්ගේ අයිතීන් ආරක්ෂාව වෙනුවෙන් දැඩි ලෙසින් පෙනී සිටින්නාව ඒ සඳහා බොරුවට පෙනී සිටින්නෙක් හෝ ප්රයෝගකාරයෙක් යැයි මහජන සුවසෙත සඳහා තමුන් පෙනී සිටිනවා යැයි කියන පිළුණු වෙච්ච ගුණ්ඩුවෙන් ජනප්‍රිය වෙන අය විසින් කියනු ඇත.
මගේ සෙසු පුරවැසියෙනි, ඉදිරියේ දී ඔබ වෙත ඉදිරිපත් කරන සියල්ලෙන්, ඔබේ සුවසෙත වෙනුවෙන් ඔබේ තීරණයට යම් බලපෑමක් කරන්නට මම උත්සාහයක් ගනිමි. එයින් අනතුරුව සත්‍යය පිළිබඳ සාක්ෂි දැකීමෙන් පසු ඔබ ගන්නා තීරණයක් සිද්ධ වෙනු ඇතැයි මම උදක්ම අපේක්ෂා කරමි.
මගේ සෙසු රටවැසියෙනි, ඔබේ නිසි සලකා බැලීමට ලක්වීමෙන් පසුව මේ ව්‍යවස්ථාවට ඔබ එකඟ වේ යැයි මගේ පැහැදිලි මතයයි. එය ඔබේ නිදහසට, ඔබේ උදාරත්වයට, ඔබේ සතුටට ඇති ආරක්ෂිතම වූ මාර්ගයයි. මම මේ ගැන හිතා බලමින් සිටින්නේ යැයි මා ඔබ සමඟ විහිළු නොකරමි. මම තීරණයක් ගෙන ඇත්තෙමි. මගේ ස්ථිර විශ්වාසය මා මෙසේ ඔබ හමුවේ කියා සිටිමි. එසේ විශ්වාස කිරීමට හේතු පැහැදිලි ලෙසින් මා ඔබ හමුවට ගේන්නම්. මගේ තර්කයන් සියල්ලන්ම විවෘත වූ ඒවා වුවත් මා පෙළඹ වූ හේතුව මගේ හදවතේ පමණක් රඳවා ගෙන ඉන්නම්.”
-පුබ්ලියස්
මෙය සම්පූර්ණ පරිවර්තනයක් නොව අංක 1 හි වැදගත් යැයි මට සිතෙන අදහස් එකතුව පමණකි. මෙය ප්‍රකාශිත වූයේ 1787 ඔක්තෝබර් 27 වැනි දිනයේ.
මා හිතන්නේ ලංකාවෙනම් වැඩිපුරම තියෙන්නේ අන්දබූතය මහජනතාව මත පැටවීම, ආරෝපණය කිරීම, විකල්පය ලෙස පෙන්වීම කියලයි. අන්දබූතයෙන් මිදිය යුතුයි කියන වැටහීම ඇති පිරිස වර්ධනය කරගැනීමට අවශ්‍ය සංවිධාන ශක්තියක් නැතිකම ලොකු අවාසනාවක්.
විචාරක,
එහෙම නැති නිසා කාට ද වාසි?!!!!!
වටිනා ලිපියක්
සත්‍යය බුදු දහම මොකද්ද? සංවාදයට මෙතැනින් එකතු වෙන්න