අරුණි ශපීරෝ‍ වෙතින්

කැමැත්තෙන් එකඟ වූ ගිවිසුමකින් කැමැත්තෙන් අයින් වෙන්න හැකියි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 20, 2013

b8d0cfd7a7394d5bd591a2eab1d318fd

නිදහස් අරගලය දිනාගත්තාට ඇමෙරිකානුවන්ට වැටහුනේ තමන් සෙසු යුරෝපය සමඟ මිලිටරි දැනුමෙන් කිසිසේත්ම සමාන තත්වයක නොවන බවයි. විශේෂයෙන් ම සියවස් ගණනාවක් පුරා යුද්ධයන් හි නිරත වූ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය අසලකටවත් එන යුද දැනුමක්, පුහුණුවක් හෝ අත්දැකීම් ඇමෙරිකානුවන්ට නොතිබුණි. එසේම යුද වියදම් දරන්නට ෆෙඩරල් භාණ්ඩාගාරයක් ද නොතිබුණි. රටේ අගනුවරක් හෝ ෆෙඩරල් ආණ්ඩුවට නිල කාර්යාලයක් නොවිණ.

නිදහස් ඇමෙරිකාවේ උතුරු අත්ලාන්තික් වෙරළබඩ බ්‍රිතාන්‍ය සහ ප්‍රංශය තම හමුදා බලයන් තව දුරටත් විදහා පාමින් සිටියහ. ඒ නිසා විජාතික බලවේග වලින් ඇමෙරිකාවට ඇති බලපෑම මෙම අංක 2 ෆෙඩරලිස්ට් රචනාවේ දී කතාබහට ලක්විය. දිනාගත් නිදහස ආරක්ෂාවට නම් ප්‍රාන්ත 13 ක් වෙන් වෙන්ව කටයුතු නොකර එක රටක් ලෙසින් එකතු වීම අවශ්‍ය බව ව්‍යවස්ථාව හැදූ අයගේ මතය විය.

එදා ඇමෙරිකාව යැයි ඔවුන් සිතා සිටියේ ප්‍රාන්ත 13 ගැන පමණි. රට මැද්ද සහ බටහිර පෙදෙස් ගැන, ඒවායේ විසූ ගෝත්‍රික ඉන්දියානුවන් ගැන දැනුමක් නොමැති විය. රටට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදනා විට එහි විශාලත්වය ඔවුන් දැන නොසිටියහ.

යුරෝපයෙන් ආගමික නිදහස පතා ආ අය ඒ රටවල් හැර දා ආවේ ආගම නිසා මරණය නියම වෙද්දී ය. එහෙත් ඔවුන් අන්‍ය ආගමිකයන් ගැන පක්ෂභජනයක් (bias) ඇමෙරිකාවට කරපින්නා ගෙන ආවේ නැත. ඔවුන් සොයා ගියේ තමන්ගේ ආගම තමනට කැමති පරිදි අදහන්නට ඉඩකඩකි. ප්‍රංශ, ඕලන්ද, ස්පාඤ්ඤ භාවිතයෙන් යුතු අය වූවත්, වැඩියෙන් සිටියේ ඉංග්‍රීසි දත් අයයි.

ජෝන් ලොක් සහ තෝමස් හොබ්ස් යන දාර්ශනිකයන් වෙතින් අදහස් උකහා ගන්නා ජෝන් ජේ ඒවායෙන් සමෘද්ධිය හා සාමය සලසා ගන්නේ කෙසේදැයි විමසීම මෙම රචනාවෙන් දැකිය හැකියි. ආණ්ඩුවට දෙන යම් බලයක් ඇත්නම්, ඒ බලය ජනතාව විසින් අත්හරින යම් ස්වභාවික අයිතීන් වෙති, යැයි ජේ පෙන්වයි.

“ආණ්ඩුවක අවශ්‍යතාවය තරම් සැලකිල්ලෙන් බැහැර කළ නොහැකි වෙනත් ස්ථිර දැයක් නැත. ඒ වගේම ප්‍රතික්ෂේප කළ නොහැකි වූවක් වන්නේ, ආණ්ඩුවක් කොයි යම් කාලයක, කොයි යම් ආකාරයකින් පිහිටුවා ගත්ත ද, ඊට අවශ්‍ය බලය ලබා දීම වෙනුවන්, ජනතාව තමන්ගේ ස්වභාවික අයිතීන් වලින් කොටසක් ආණ්ඩුවට පුද කරන බවයි.

ඒ නිසා ප්‍රාන්ත ලෙසින් කොටස් කොටස් වලට කැඩී ඒ ඒ කොටස් වල නායකයන්ට යම් බලයක් පවරනවාට වඩා, එක ජාතික ආණ්ඩුවකට එවැනිම වූ බලයක් පැවරීම වඩා සුදුසු ය.

මෙතෙක් විවාදයට තුඩු නුදුන් අදහසක් වූයේ අපේ හොඳම සහ බුද්ධිමත්ම පුරවැසියන්ගේ නිති මෙහෙයවීම් යටතේ ඇමෙරිකාවේ සියළුම පුරවැසියන්ගේ සමෘද්ධිය සලසා ගැනීමට හැකි බවයි.

ඒත් දැන් මතුවෙන දේශපාලනඥයන් කියන්නේ මේ අදහස සාවද්‍ය බවයි. යුනියනයක් හැටියට ආරක්ෂාව සහ සතුට සොයනවා වෙනුවට විවිධ ප්‍රාන්ත වලට කැඩී ගොස් එය ලබාගත හැකි යැයි මතයක් පැතිරෙන්නට පටන් ගෙන ඇත.

නිදහස් අරගලයකින් පසු දේශපාලන පැවැත්මක් හට ගනිද්දී .. නැහැ, ඔවුන්ගේ වාසස්ථාන තවමත් ගින්නෙන් ඇවිලෙමින් තිබෙද්දී ම, බොහෝ දෙනෙක් තවමත් සටන් බිමේ ලේ වගුරවමින් සිටිය දී ම, එදිරිවාදිකම් සහ වියෝගයන් පැතිර යද්දී ම, සංසුන්ව පරිණත ලෙසින් විචාරය සහ සලකා බැලීම කරන්නට ඉතා ඇබිත්තක් පමණක් ඉඩක් ලැබෙද්දී, බුද්ධිමත් සහ සමබර ආණ්ඩුවක් ගැන කතාබහ පටන් ගැනිණ.

රටේ ව්‍යවස්ථාව ගැන ෆිලඩෙල්ෆියාවේ දී කතා කළේ ජනතාවගේ විශ්වාසය දිනාගත් පිරිසකි. ඔවුන් ජාත්‍යාලයෙන්, සද්ගුණයෙන් හා බුද්ධියෙන් ඉතා ඉහළ අය යැයි පිළිගැනීමට පාත්‍ර වූ අයයි. අනෙකුත් දේවල් ගැන සිතමින් මොළ අවුල් කරගන්නේ නැතිව, ඔවුන් මාස ගණනාවක් කිසිත් බාධාවකින් තොරව දිනපතා සංවාද වලින් යම් අරමුණක් සාක්ෂාත් කර ගැනීමට වෙහෙස වූ අයයි. ඔවුන් රටට ඇති ආදරය පමණකින් මිසෙක, බලය අල්ලා ගන්නට හෝ වෙනත් ලාලසාවකින් පෙළඹී කටයුතු නොකළ අයයි.

ඒ සංවාද වලින් අනතුරුව ඒකමතික සභාවකින් ඔවුන් මෙසේ සැලසුමක් රටට ඉදිරිපත් කර ඇත.

මෙම සැලසුම නිර්දේශ ඉදිරිපත් කරනවා (recommended) මිසෙක එය බලහත්කාරයෙන් පනවන්නක් නොවන බව පරිසිද්ධියකි (fact). එසේම මතක තියා ගත යුත්තක් වන්නේ, එය අන්ධ ලෙසින් අනුමැතිය ලබා ගැනීමට හෝ අන්ධ ලෙසින් ශාපයට ලක්වෙනු සඳහා ඉලක්ක කරගනු ලද්දක් ද නොවන බවයි.

මෙම සැලසුම ඉදිරිපත් කර ඇත්තේ සන්සුන් ලෙසින් හා අවංක ලෙසින් සලකා බලන්නට කියාය. එහි විෂයයට දිය යුතු වැදගත්කම දෙමින් සහ දැඩි අවධානය යොමු කරමින් ඒ ගැන විභාග කර බලන්නට කියාය.

1774 කොංග්‍රසය පිහිටුවද්දී අපිට බොහෝ අය වෙතින් දකින්නට ලැබුණු හැදියාවන් අමතක කළ නොහැකියි. එහි සමහර නිර්දේශයන් තම පුරවැසියන්ට ඉදිරිපත් කළ අයගේ බුද්ධිමත් බව අද මනාව පෙනුන ද, එදා ඒ නිර්දේශයන්ට විරුද්ධව පත්‍රිකා සහ සතිපතා පුවත්පත් ගැසූ අයගේ අදහස් අපි අමතක කළ යුතු නැත. ඒවාට ආණ්ඩුවේ නිලධාරීන් ද පුද්ගලික අභිලාෂයන් පෙරමුණු කරගෙන මහජන සුවසෙත නොසලකා හරිමින් දේශප්‍රේමී කොංග්‍රසයට එරෙහිව කටයුතු කරන්නට යැයි අනුබල දුන් හැටි අපි අමතක කළ යුතු නැත.

බොහොමයක් දෙනා රැවටිල්ලට භාජනය වූහ. එහෙත් බහුතරය තාර්කික විචාරයේ සහාය ගත්හ. යුක්ති සහගත ලෙසින් තීන්දු කළහ. එසේ කළා යැයි ඔවුන් අද සතුටු වෙති.

රටේ අභිවෘද්ධිය සලසන්නේ මොන ආකාරයෙන් දැයි කොංග්‍රසයේ වූ ප්‍රඥාවන්ත පරිණත මිනිසුන් විමසා බැලූහ. ඒ හැම අයෙක්ටම උවමනා වූයේ නිදහස සහ සමෘද්ධිය ආරක්ෂා කර ගැනීමයි. ඒ නිසාම ඔවුන් අතින් ඉදිරිපත් කෙරුනේ අනගි අවවාද රැසකි.

ඔවුන්ට එරෙහිව ගෙනා අවලාද බැහැර ලා ඔවුන් කියන්නට සවන් දෙන්නට පුරවැසියන් තෝරා ගත්තේ ඒ ප්‍රඥාවන්ත මිනිසුන්ගේ අවංකත්වය සහ විනිශ්චයන් ගැන විශ්වාසයක් තබන්නට හැකි නිසාමයි. ඒ කොංග්‍රසයේ අදහස් ප්‍රකාශ කළ අය අද මේ ව්‍යවස්ථාව හදන්නට ද පෙරමුණ ගත් අයයි. ඉතින් ඔවුන්ගේ දැනුම හා පුහුණුව දැන් තවත් වැඩි වී ඇත.

කවදා හෝ දවසක යුනියනය විසුරුවා හරින්නට කාලය උදා වුවහොත් එදාට මේ කිවිඳාගේ පද්‍ය ඇමෙරිකාවට කියන්නට හැකිවේවි: සමුගන්නම්! දිගු කලකට සමුගන්නම්, මගේ සියළු ශ්‍රේෂ්ඨත්වයෙන්.”*

පූබ්ලියස් නමින් ෆෙඩරලිස්ට් රචනා අංක 2 ලියා ඇත්තේ 1787 ඔක්තෝබර් 31 වැනිදා ජෝන් ජේ විසිනි.

*”Farewell a long farewell, to all my greatness!,” යනු ශේක්ස්පියර් ගේ Henry VIII හි Cardinal Wolsey ගේ ජවනිකා 3, දර්ශන 2 හි එන භාෂණයකි.

වර්තමාන ඇමෙරිකන් ෆෙඩරල් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හෙළා දකින ප්‍රාන්ත 40 ක් යුනියනයෙන් අහක්වීමට පෙත්සම් අත්සන් එකතු කරති. පුරවැසියන් විසින් තම බලයෙන් කොටසක් පවරා දුන්න ආණ්ඩුව එය නිසි සේ පරිහරණය කරන්නේ නැත්නම් ඒ බලය තව දුරටත් ආණ්ඩුවට නොදීමට ද අයිතිය ඇත්තේ පුරවැසියන්ටය.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. රාජ් said, on පෙබරවාරි 21, 2013 at 1:45 පෙ.ව.

    //යුරෝපයෙන් ආගමික නිදහස පතා ආ අය ඒ රටවල් හැර දා ආවේ ආගම නිසා මරණය නියම වෙද්දී ය. එහෙත් ඔවුන් අන්‍ය ආගමිකයන් ගැන පක්ෂභජනයක් (bias) ඇමෙරිකාවට කරපින්නා ගෙන ආවේ නැත. ඔවුන් සොයා ගියේ තමන්ගේ ආගම තමනට කැමති පරිදි අදහන්නට ඉඩකඩකි//

    මේවගේ උදවියගෙන් ඇමෙරිකාව පිරුනු නිසා වෙන්නැති අද ඉන්න තත්වයට පත්වෙන්න ඇතිතෙ නේද?(මම කියන්නෙ මේවගේ කාරණා වලින් යුරෝපයට සාපේක්ෂව ඇමරිකාව ඉදිරියෙන් සිටීම ගැන).

    අරුණි කියන විදියට දැන් ආයෙත් ආපස්සටද යන්නෙ?

    • arunishapiro said, on පෙබරවාරි 21, 2013 at 8:07 පෙ.ව.

      රාජ්,

      ඔව් එදා ඇමෙරිකානුවන්ගේ දියුණුව සීඝ්‍රයෙන් නැඟලා යෑමට ඒක ප්‍රධාන හේතුවක්.

      නැහැ, මෙහෙ අද ආයේ ආපස්සට යන්නෙ නැහැ ආගම පැත්තෙන් නම්, ආගමික භේද ගේන්න හැදුවත් එකෙක් දෙන්නෙක් බලය අල්ලා ගන්නට ඒවා හරි ගියේ නැහැ.

  2. magenama said, on පෙබරවාරි 21, 2013 at 2:36 පෙ.ව.

    අක්කේ,ඔය අදහස් මේ දවස් වල ටිකක් පරෙස්සමින් පළ කරන්න,මොකද මේ දවස් වල පුදුමාකාර දේශප්‍රේමී උන්මාදයක් මෙහේ පතුරනවා.ඊළඟට මේ ජිනීවා යන්න කලින් රටේ බෙදුම් වාදයක් පතුරවන්න හදනවා කියලා කියයි.මේ දවස් වල මොකක් හරි මතයක් යටපත් කරන්න ජිනීවා ඉස්සරහට දානවා.ඉතින් කැමති හෝ අකමැති ගහලා තියෙන ගිවිසුම් මොක වුනත් ලංකාවේ අයින් වෙනවා නම් බොරු……………

    • arunishapiro said, on පෙබරවාරි 21, 2013 at 8:20 පෙ.ව.

      magenama,

      තමන්ට වඩාත්ම කරදරයක් වෙන අවස්ථාවේ දී සත්‍යය වෙනුවෙන් පෙනී සිටියේ නැත්නම් අනිත් වේලාවේ දී කොච්චර හයියෙන් කෑ ගැහැව්වත් ඵලක් නැහැනෙ මල්ලි.

      අනික ඉතින් සත්‍යය බෙදුම්වාදයේ ඉන්න අය තමයි රටේ හැමෝම එකතු වෙන්න අවශ්‍ය ඇයි කියලා දකින්නෙ නැතිව අහක ඉන්න අයට බෙදුම්වාදීන් කියන්නේ!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: