අරුණි ශපීරෝ‍ වෙතින්

ෆිඩෙල් කැස්ත්‍රෝ හමුවට ගිය පොළොන්නරුවෙ කොල්ලා

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 22, 2013

patrick

වසර විසි තිස් ගණනකට ඉහතක දී හඳුනාගන්නට ලැබුණු මිතුරෙක් පසුගිය දා යළි හමුවෙන්නට අවස්ථාවක් පෑදුණි. ඒ වර්ජීනියාවේ ජෝර්ජ් මේසන් විශ්ව විද්‍යාලයේ දී ය. අපි මුලින් ම මුණ ගැසුනේ ලෝක විශ්ව විද්‍යාල සේවයේ නිලතල දැරූ අය හැටියටය. මා ඉගෙන ගත්තේ කැළණියේ. ඔහු ඉගෙන ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර. අපි මුණ ගැසෙන්නට ඇත්තේ කොළඹ විශ්ව විද්‍යාලයේ දී.

පැට්‍රික් මෙන්ඩිස් උසස් පෙළ කාලයේ දී American Field Scholarship නොහොත් AFS ශිෂ්‍යත්වයක් දිනාගෙන මිනෙසෝටා හි කාලය ගත කර ලංකාවට පැමිණියෙකි. මගේ කල්ලියේ කෙල්ලෝ වැඩියෙන් සිටි අපේ WUS හමුවන් වල දී එදා මිනෙසෝටා ගැන ඔහුගේ අත්දැකීම් හෝ ඔහුගේ ගම වූ පොළොන්නරුව ගැන දැනගන්නට අපිට කිසිම උවමනාවක් නොවීය. ඔහුට ඒවා ගැන කතාබහට අපි කිසිම ඉඩක් නොදුන්නෙමු. ඔහු ඒ නිසා අප හා කිසිවිටෙක උරණ වූයේ නැත. අපූරු විකටයෙක් වූවත් ඔහු කාගේවත් හිත රිදවන පරිද්දෙන් හැසිරුනේ නැත. අපි හමු වූ හැම අවස්ථාවක දී ම ඉතා රසවත් කාලයක් ගෙවා දැමූ බව පමණක් මතකයේ සටහන් වී ඇත.

එහෙත් ඔහු කවුදැයි නොදැන ඔහුට රැග් කරන්නට සූදානම් වූ පිරිසකගේ කතාව මා හා පැට්‍රික් දිග හැරියේ මෙසේය.

මචං පොළොන්නරුවෙ කොල්ලෙක් ඇමෙරිකාවට ගිහින් ඇවිත්. ඌට දැන් කඩ්ඩ විතරලු පුළුවන් බං. ඌ කැම්පස් එනවලු බං. ආවම අල්ලාගෙන දෙමු බං හොඳටම රැග් එක.

මචං අන්න උඹට රැග් කරන්න බලාගෙන ඉන්නවලු බං. ඇමෙරිකාවට ගිහින් උඹට සිංහල අමතක වෙලා කියල. කැම්පස් ගියාම පරිස්සෙමන් හිටිං.

උඹ කොහෙන් ද?

මම මින්නේරියෙන්.

කාලයක් ගෙවී යයි. පොළොන්නරුවෙන් ආ කොල්ලා හොඳ සිංහලෙන් කතාබහේ යෙදෙයි. රැග් කරන්නට බලා සිටි අය හා කුළුපග මිතුරෙක් වෙයි.

මචං අර පොළොන්නරුවෙන් ආපු කඩ්ඩ දාන එකාව අපිට අහුවුනේ නෑනේ බං. ඌව හොයාගන්න ඕනෑ බං.

මේ ඉන්නෙ බං මූ තමයි පොළොන්නරුවේ කොල්ලා බං.

ශ්‍රේෂ්ඨයන්ට තරු විසිවෙති. ලැජ්ජාව මකා ගන්නට ඔවුන් සුමංගල හෝල් එක ඉස්සරහ නවකයා සමඟ බොරු කඩු ෆයිට් එකක නිරත වෙති. එතැන ඇති ගහක කරල් ඔවුන් කඩු විදියට පාවිච්චි කරති. සැවොම සතුටින් විසිර යති.

කාලයාගේ ඇවෑමෙන් පැට්‍රික් ලංකාව හැර දමා පැමිණ ඇමෙරිකාවේ පුරවැසියෙක් වෙයි. මිනෙසෝටා වලින් කියුබාව බලා ගිය ඇමෙරිකන් රජයේ නිල දූත පිරිසක සාමාජිකයෙක් වෙයි.

රාජ්‍ය නිල කටයුතු අවසන ෆිඩෙල් කැස්ත්‍රෝ මිනෙසෝටාවෙන් පැමිණි දූත පිරිස දිහා උකුසු ඇස් වලින් බලා සිටියි. පැට්‍රික් දෙසට වෙදැඟිල්ලක් රවුමට රවුමට කරකවා අනතුරැව එයට පැට්‍රික්ව ඉලක්ක කරගෙන “ඔයා කොහෙන් ද?” යැයි අසයි.

මම මිනෙසෝටා වලින්.

නැහැ වෙන්න බැහැ. ඔයා මුලින් ආවේ කොහෙන් ද?

මම ලංකාවෙන්.

ෆිඩෙල්ට මහත් සතුටකි. ඔහු පැට්‍රික්ව වැළඳ ගනියි.

පුද්ගලයෙකු හා මිත්‍රකම් පවත්වන්නට සමාජ, දේශපාලන හා ආගමික තක්සේරු පාවිච්චිය සමහර අයගේ හැදියාවය. සත්‍ය කුසලතාවන් මොනවා දැයි සහ අවංක මිනිසා කවුදැයි සමාජ, දේශපාලන හා ආගමික බැඳියාවන් වලින් තොරව දැකිය හැකියාවේ මහත් වටිනාකමක් ඇතැයි එදත් අදත් තිබි මගේ පුද්ගලික මතයයි.

ජාත්‍යන්තර සබඳතා අධ්‍යයනයේ යෙදෙමින් ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ලෙසින් සේවය කරන පැට්‍රික් ලියූ පොතක පරිච්ඡේද දෙකක ඔහු ෆිඩෙල් එදින කියූ අදහසක් විචාරයට ලක් කරන ලදැයි මා සමඟ කියුවේය. ඇමෙරිකාවේ ආදීපීතෘවරුන් ලෙස සැලකෙන පැට්‍රික් හෙන්රිට වඩා තමන් තෝමස් ජෙෆර්සන්ට කැමති යැයි ෆිඩෙල් විසින් ‘ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් බවට පත් වූ පොළොන්නරුවෙ කොල්ලාට’ කියා ඇත.

පැට්‍රික් මෑතක දී හාවඩ් ජාත්‍යන්තර විමසුමට ලියූ ලිපියක් මම කියවා ඇතත් (එයින් තමයි අපි නැවතත් දැන හැඳුනුම්කම් අලුත් කරගන්නේ) ඔහු ලියූ පොත් කිසිවක් තවම කියවා නැත්තෙමි. පසුගියදා අපි හමුවෙද්දී උන්හිටි තැන් පවා නොදැන දීර්ඝ කාලයක් ඉක්ම වී ගියත් අන්තිමට හමු වූ අවසන් දිනයේ කතාබස් කළ ලෙසින්ම අපිට නැවතත් සතුටු සාමීචිය පටන් ගන්නට හැකිවිණ.

සොඳුරු මිනිසා කවුදැයි හඳුනා ගන්නා භාග්‍යවන්තයෙකි!!!!!

‘මට නිදහස දෙන්න නැත්නම් මට මරණය දෙන්න!’ “Give me Liberty, or Give me Death!” යැයි කියූ පැට්‍රික් හෙන්රිට ෆිඩෙල් අකමැති වීම පුදුමයට කාරණයක් නොවේ.

එසේම, තෝමස් ජෙෆර්සන් යම් කෙනෙකුගේ සමාජ, දේශපාලන හෝ ආගමික පසුබිම සොයා බලා යහළුවන් තෝරාගත් හෝ යහළුවන් ගෙන් ඈත් වූ අයෙක් යැයි ද කිව නොහැකියි: “දේශපාලනය, ආගම, දර්ශනය යනාදියේ මතවාද වෙනස්කමක් යාළුවෙක් ගෙන් ඈත් වෙන්නට හේතුවක් යැයි මම කිසිදා සලකා බලා නැත්තෙමි.” -තෝමස් ජෙෆර්සන් “I never considered a difference of opinion in politics, in religion, in philosophy, as cause for withdrawing from a friend.”
~Thomas Jefferson

ප්‍රැටික් ගේ පොත කියැවූ දවසට ෆිඩෙල් කැස්ත්‍රෝ තමා ජෙෆර්සන්ට වඩා කැමති යැයි කීමෙන් අදහස් කළේ කුමක් දැයි වටහා ගත හැකිවේවි!!!!

මාර්තු මාසයේ දී චීනය ප්‍රධාන ආසියාවේ විශ්ව විද්‍යාල (ලංකාවට එන්නේ නැහැ) ගණනාවක දී ඔහු ශාන්තිකර සාගරයේ නැඟ එන බලය පිළිබඳව සම්මන්ත්‍රණ පවත්වන්නට නියමිතය. ඔහුගේ අලුතින් පිටවෙන්නට නියමිත පොතත් ඒ ගැනයි.

පොළොන්නරුවෙන් ජීවිත ගමන පටන් ගෙන ලෝකයට ම ජාත්‍යන්තර සබඳතා පහදන පැට්‍රික් හිතවතාට උණුසුම් සුබ පැතුම්!

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Nandasiri Wanninayaka said, on පෙබරවාරි 22, 2013 at 8:37 පෙ.ව.

    I have communicated with Professor Patrck Mendis http://en.wikipedia.org/wiki/Patrick_Mendis through emails. A very humble person. We are proud of him for the recognition he has got from the US government.

    • arunishapiro said, on පෙබරවාරි 23, 2013 at 8:27 පෙ.ව.

      Nandasiri Wanninayaka,

      මවා පාන නිහතමානීකම උදාර ගතියක් සේ දක්වන අය අස්සේ පැට්‍රික් හමුවුනාම නැවුම් සුළඟක් හමා ගියා සේ දැනුනා. මටත් ආඩම්බරයි පැට්‍රික් අපේ ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රිකයෙක් වීම ගැන. 😀

  2. kavikaari said, on පෙබරවාරි 22, 2013 at 10:08 පෙ.ව.

    හරිම සතුටක් ඔහු ගැන කියවන්නට ලැබීමත්

  3. Chandi said, on පෙබරවාරි 22, 2013 at 11:12 පෙ.ව.

    හරිම සතුටුයි අපිත් එක්ක මේ සටහන බෙදා ගත්ත එකට. ආඩම්බරයි ඔහු ගැන . ලංකාවට කීර්තියක් ගෙනාව ගමේ කොල්ලෙක්! හුඟ කාලෙකින් ආවෙ නංගි. ටිකක් අසනීපෙන් හිටියා. අද ගෙදර ආවෙ.

    • arunishapiro said, on පෙබරවාරි 23, 2013 at 8:35 පෙ.ව.

      Chandi,

      අදහස් වෙනස් වුවත් අගය කළ යුත්තේ කාව ද යන්න වටහා ගන්න හැකියාව බහුතරය තුල අතුරැදහන් වෙලා. ඕනෑම මුලාවක් තමන්ගෙ පැත්තෙ එකා කියනවා නම් විතරක් අනුගමනයට බහුතරය හුරුවෙලා ඉන්න කාලයක්. එහෙම කාලයක චාන්දි අක්කා, කවිකාරි නංගි, විචාරක, පැට්‍රික් හා මම වැටෙන කැටගරිය ඉතාම පුංචි පිරිසකින් හැදුන එකක්.

  4. wicharaka විචාරක said, on පෙබරවාරි 23, 2013 at 3:59 පෙ.ව.

    මෙහෙත් එන්න කියන්න දේශනයකටවත්. බැරිනම් මෙහෙ පත්තරයකටවත් ලිපියක් දෙකක් ලියන්න කියලා එයාට කියන්න.

    • arunishapiro said, on පෙබරවාරි 23, 2013 at 8:45 පෙ.ව.

      විචාරක,

      ෆිඩෙල් වගේ නෙමෙයි ලංකාවේ ආණ්ඩුව!!! ඔන්න රාවුල් කැස්ත්‍රොත් විශ්‍රාම යනවාලු ළඟදී ම.

      ඇමෙරිකන් උපදෙස් මොනවා ද කියලා හොයලා බලන්න වත් අද ලංකාව කැමති නැහැනෙ විචාරක, ලංකාවෙන් ආපු කොල්ලෙක් දුන්නත්!!!!

  5. අසරණයා said, on පෙබරවාරි 23, 2013 at 11:51 පෙ.ව.

    ශ්‍රී ලාංකිකයෙක් අපිට ආඩම්බරයි.

  6. Uditha Meegahathenna (@UdithaMe) said, on පෙබරවාරි 24, 2013 at 5:06 පෙ.ව.

    කොහේදී හරි දැකල තියනවා…


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: