අරුණි ශපීරෝ‍ වෙතින්

එවිට පිටරටවල් අපේ මිත්‍රත්වය දිනාගන්නට පිළිවෙත් හදනු ඇත

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 25, 2013

http://en.wikipedia.org/wiki/File:Map_of_territorial_growth_1775.svg

“ඇමෙරිකන් ජනතාවගේ ආරක්ෂාව රඳන්නේ අනිත් ජාතීන්ව යුද්ධයට කැඳවන යුක්ති සහගත හේතු නොදී සිටීමෙන් පමණක් නෙවෙයි. සටන් කැඳවන අවස්ථාවන්ට තමන් පත් නොවී සිටීමටත් වගබලා ගත යුතු වෙයි. යුද්ධය ඇතිවීමට යුක්ති සහගත මෙන් ම මවා පාන හේතු ද ඇති බව පිළිගත යුතුයි.

යුද්ධයකින් යමක් ලබාගත හැකි වූ විටෙක රටවල් සාමාන්‍යයෙන් යුද්ධයට යෑම මිනිස් ස්වභාවයේ පිළිකුල් උපදවන ලක්ෂණයකි. එසේම පරම රජවරුන් රටට කිසිත් ලැබෙන්නේ නැති විට ද යුද්ධයට යති. එහි දී යුද්ධයට යා යුත්තේ මන්දැයි පැහැදිලි රජුට පමණි. ඒවා යුක්ති සහගත බවින් හෝ ජනතාවගේ යහපත පිණිස යැයි කියා නිර්දෝෂී නොවෙති. මෙවැනි අභිප්‍රේරණ අතරට මිලිටරි ජයග්‍රහණයකින් ලැබෙන කීර්තිය සොයා යෑම, පුද්ගලික මදි පුංචිකමක් නිසා පළිගැනීම, අභිලාෂය, පුද්ගලික තරහ මරහ පිරිමසා ගැනීමට හෝ යම් පවුලේ හෝ පාක්ෂික වූ අයට සහයෝගය දැක්වීමට යනාදිය අඩංගු වෙති.

වෙනත් හේතු නිසා ද යුධ හටගන්නා නිසා අපි ඒ ගැන සලකා බලමු.

ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය වර්තමානයේ දී ධීවර කර්මාන්තයේ තරඟකරුවන් වෙති. විදේශ මාළු වලට තීරු බදු පැනවූවත්, දේශීය මාළු වලට සහනාධාර ලබා දුන්නත්, අපට ඔවුන්ගේ වෙළඳපොල වලට අඩු වැයෙන් මාළු සපයන්නට හැකියි.

මුහුදු මාර්ග සහ බඩු ප්‍රවාහනයට අපි ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය සමඟත් වෙනත් යුරෝපීය ජාතීන් සමඟත් තරඟයේ යෙදෙමු. අපේ වෑයම සාර්ථක වෙනවා දැක ඔවුන් සතුටු වෙතැයි සිතන්නේ නම් අපි අපට බොරු කියා ගන්නා අයයි. අපේ ප්‍රවාහන කර්මාන්තය වැඩි වීමෙන් ඔවුන්ගේ කර්මාන්තය අඩු වී යන නිසා අපේ කර්මාන්තයට අත දෙනවාට වඩා ඊට අවහිර කිරීම ඔවුන්ගේ යහපතට හේතු වේ.

චීනය හා ඉන්දියාව සමඟ කෙරෙන අපගේ වෙළඳ ගණුදෙනු නිසා කළින් වෙනත් රටවල් කිහිපයක් මාර්ගයෙන්, ඒ රටවලට තිබූ මොනොපොලියෙන් අපි ලබාගත් දෑ දැන් අපිට කෙළින්ම ඉන්දියාවෙන් සහ චීනයෙන් මිල දී ගන්නට හැකි වී තිබීම ද ඒ රටවල කනස්සල්ලට ලක් වී ඇත්තකි.

මේ මහාද්වීපය තුල හා ඒ අසල ඇති අනෙකුත් රටවලට අපේ වානිජ කටයුතු වර්ධනය වීම සහ අපේ නැව් මාර්ග දියුණු වීම නිසා කිසිසේත්ම සතුටක් ඇති වන්නේ නැත. අපේ නිෂ්පාදන මිලෙන් අඩුයි. අනගි බවෙන් වැඩියි. අප පිහිටා ඇති ස්ථානයේ පහසුව නිසා උත්සාහවන්ත වෙළඳ ව්‍යවසායකයන්ටත් නාවුක කටයුතු මෙහෙයවන අයටත් යුරෝපීය රාජාණ්ඩුවල ප්‍රතිපත්ති අනුව කටයුතු කරනවාට අපි සමඟ ගණුදෙනු කිරීම වඩා පහසු වී ඇත.

මේ හේතු නිසා ද යුද්ධයක් ඇති වෙන්නට හැකි බව ද ඇමෙරිකානුවන් දනිති. දැනට පැහැදිලි නොමැති අනෙක් හේතු මෙන්ම, අවස්ථාවදීන් යුද්ධයක් යුක්ති සහගත යැයි කියන්නට කුමන හෝ හේතු සොයා ගනු ඇත. ඒ නිසා, යුද්ධ වලට ආරාධනා නොකර යුද්ධ අධෛර්ය කරන යුනියනයක් සහ හොඳ ජාතික ආණ්ඩුවක් අවශ්‍යයය.

රටට හොඳම ආරක්ෂාව ලැබීම තීරණය වෙන්නේ ආණ්ඩුව, අවි සහ රටේ සම්පත් අනුවයි.

සියල්ලන්ගේ ම ආරක්ෂාව රඳන්නේ සම්පූර්ණ රටේ ආරක්ෂාව මත ය. ආණ්ඩුවක්, එකක් හෝ කිහිපයක් නොමැතිව එය සලසන්නට නොහැකිය. ඒ සංන්දර්භයෙන් ගත්තාම, එක හොඳ ආණ්ඩුවක් ආණ්ඩු කිහිපයකට වඩා දක්ෂ වෙනවා ද?

එක ආණ්ඩුවකට රටේ ඉන්නා දක්ෂතම කුසලතා සහ අත්දැකීම් ඇති අය යොදා ගත හැකියි. ඔවුන් රටේ කොයි පළාතෙන් වුව ද ෆෙඩරල් ආණ්ඩුවට බඳවා ගත හැකියි. ෆෙඩරල් ආණ්ඩුවකට සැමට එක සේ වූ පිළිවෙතක් අනුගමනය කළ හැකියි. ඒ ඒ කොටස් අතර එකමුතුකම, ස්වීකරණය, ආරක්ෂාව වර්ධනය කරත හැකියි. දූරදර්ශ්‍රීභාවයෙන් සහ පෙර පරෙස්සමෙන් කටයුතු කරමින් සැමට එක සේ යහපත සලසත හැකියි.

ගිවිසුම් වලට එළඹෙද්දී, එක ආණ්ඩුක් විසින් රට ගැන සම්පූර්ණයෙන් ද, ඒ ඒ ප්‍රාන්ත ගැන විශේෂයන් ද සලකා බලනු ඇත. යම් කොටසක් වඩාත් පහසුවෙන් ආරක්ෂා කරන්නට මුළු රටේ සම්පත් හා බලය යොදවත හැකියි.

රටේ ඉන්නා මිලීෂීයාව ප්‍රධාන විධායක (ජනාධිපති) යටතේ ඒකාරාශී වූ බල ඇණියක් බවට පත් කළ හැකියි. එය ප්‍රාන්ත 13 ක් පුරා විසිර ඉන්නා පිරිසක් හෝ තුන් හතර ස්වාධීන බලකායන් වලට වඩා කාර්යක්ෂම වූවකි.

බ්‍රිතාන්‍යය ගැන උදාහරණයක් ගෙන සලකා බලමු. ඉංග්‍රීසි මිලීෂීයාව එංගලන්තයටත්, ස්කොට් මිලීෂීයාව ස්කොට්ලන්තයටත්, වෙල්ෂ් මිලීෂීයාව වේල්ස් වලටත් පමණක් අවනත වෙනවා නම්, යම් ආක්‍රමණයක දී, මේ ආණ්ඩු තුන (ඔවුන් එකඟ වුවහොත්) හතුරෙක් පරාජයට, එක ආණ්ඩුවක් යටතේ ඇති මහා බ්‍රිතාන්‍යයට වඩා කොතරම් සමත් වේවි ද?

ප්‍රාන්ත 13 ක් ලෙසින් බෙදී තිබෙන ඇමෙරිකාවක් හෝ සමාබන්ධන (confederacy) තුන හතරක් ලෙසින් බෙදී ඇති රටක් වුවහොත් ඔවුන් විසින් පිහිටුවා ගන්නා හමුදාවල් කුමන ආකාරයේ වේ ද? ඒ හමුදාවන් නඩත්තු කරන්නේ කෙසේ ද? එක ප්‍රාන්තයක් ආක්‍රමණය වුවහොත් අනිත් ඒවා එහි උදව්වට ඒවි ද? ලෙයින් හා මුදලින් වෙනත් ප්‍රාන්තයක ආරක්ෂාවට සහාය වේවි ද?

එහෙම නැත්නම් විජාතික බලවේගයන් බොරු ප්‍රශංසා වලින් හා බොරු පොරොන්දු වලින් ඒ ඒ සමාබන්ධන රජයක් රවටා ගනීවි ද? එක ප්‍රාන්තයක් තවත් ප්‍රාන්තයකට එරෙහිව උසිගන්වනු ඇත් ද?

බුද්ධිමත් නොවූවත් මේවා ස්වභාවික ක්‍රියා පිළිවෙත් වෙති. ග්‍රීක ඉතිහාසය සහ වෙනත් රටවල ඉතිහාසයන් ඒවායෙන් පිරී ඇත.

අපේ තත්වය කුමක් වුවත්, එක ජාතික ආණ්ඩුවක් තිබේ ද, නැත්නම් සමාබන්ධන කිහිපයක් තිබේ ද, විදේශීය රටවල් ඒ අනුව කටයුතු කරනු ඇත. අපේ ජාතික ආණ්ඩුව කාර්යක්ෂම බවින් කටයුතු කරන්නේ නම්, නිසි පරිපාලනයෙන් යුතු නම්, අපේ වෙළඳාම දූරදර්ශී ලෙසින් රෙගුලාසි වෙන්නේ නම්, අපේ මිලීෂීයාව සංවිධානාත්මක බවෙන් හා මනා ශික්ෂණයෙන් යුතු වේ නම්, අපේ සම්පත් හා මුදල් විචක්ෂණ ලෙසින් පාලනය වෙන්නේ නම්, අපේ ණය ගැනීමට හැකියාව නැවත පිහිටුවා ගත්තේ නම්, අපේ පුරවැසියන් නිදහස් හා සතුටින් එකමුතුවෙන් වාසය කරන්නේ නම්, එවිට පිට රටවල් අපිව උසිගන්වා අපේ අමනාපයට ලක්වීමට නොව අපේ මිත්‍රත්වය දිනා ගන්නට පිළිවෙත් හදනු ඇත.

අනෙක් අතට, අපේ ආණ්ඩුව අකාර්යක්ෂම යැයි දකින්නේ ද, තුන හතරක් ලෙසින් බෙදී පවතින අසමගියෙන් ඉන්නා ලෙසින් දකින්නේ ද, එකක් බ්‍රිතාන්‍යයට පක්ෂපාතී යැයි ද, තවෙකක් ප්‍රංශයට හා තෙවැන්නක් ස්පාඤ්ඤයට ද යනාදී වශයෙන් නැඹුරුවක් ඇතැයි දකින්නේ ද, එවිට ඇමෙරිකාව ඔවුන්ගේ ඇස් හමුවේ බැගෑපත් රාජ්‍යයක් ලෙසින් දිස්වනු ඇත! එවිට ඔවුන්ගේ අවමානයට පමණක් නොව ක්‍රෑරකම් වලට ද ඇය ඉලක්කයක් වනු ඇත.

ඕනෑම පවුලක් මෙන් ම ඕනෑම රටක ජනතාවක් ද බෙදී වෙන් වී යන්නේ ද, එහි දී අනිවාර්යෙන් ම සිද්ධ වන්නේ ඔවුන් ඔවුන්ට ම එරෙහි වීමකි.

-පූබ්ලියස්

ජෝන් ජේ ලියන ෆෙඩරලිස්ට් රචනා අංක 4 ප්‍රකාශිත වූයේ 1787 නොවැම්බර් 7 වැනිදා.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on පෙබරවාරි 25, 2013 at 11:38 පෙ.ව.

    සුපිරිම පැහැදිලි කිරිමක්… අවසානයේ එන මේ වැකියත් තදින්ම හිතට වැදුණා.
    //ඕනෑම පවුලක් මෙන් ම ඕනෑම රටක ජනතාවක් ද බෙදී වෙන් වී යන්නේ ද, එහි දී අනිවාර්යෙන් ම සිද්ධ වන්නේ ඔවුන් ඔවුන්ට ම එරෙහි වීමකි.//
    මෙය අපට කොදරම් අදාළද. එය තේරුම් නොගන්නා තාක් අප අගාධයට.

  2. Uditha Meegahathenna (@UdithaMe) said, on පෙබරවාරි 25, 2013 at 1:05 ප.ව.

    මේක දෙමළ භාෂාවට පරිවර්තනය කරලා බෙදුම්වාදී දෙමල ජාතිවාදී නායකින්ටයි කියවන්න දෙන්න ඕනෑ


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: