දුර්වල රටක් විදේශීය අනතුරු කැඳවති
“1706 ජූලි 1 වැනිදා ස්කොට් පාර්ලිමේන්තුවට ලිපියක් ලියූ ඈන් රැජින එංගලන්තය සහ ස්කොට්ලන්තය අතර යුනියනයක වැදගත්කම මෙසේ සඳහන් කළාය:
“සම්පූර්ණ සහ පරිපූර්ණ වූ යුනියනයක් දීර්ඝ කාලීන සාමයක පදනම වෙයි. එයින් ඔබේ ආගම, නිදහස සහ සමෘද්ධිය ආරක්ෂා වෙයි. ඔබ එකිනෙකා අතර ඇති වෛරයන් ඉවත් කරගන්න, එවිට අපේ රාජධානි දෙක අතර ඇති ද්වේශයන් සහ වෙනස්කම් ඉවත් කරගන්න හැකිවනු ඇත. එයින් වැඩිවෙන්නේ ඔබේ ශක්තියයි, සම්පත් හා වෙළඳ ගණුදෙනුයි. මේ යුනියනයෙන් සම්පූර්ණ දිවයිනට එකතු වී එහි හතුරන්ට ඉඩ ප්‍රස්ථාවක් නොදෙන්නට හැකිවනු ඇත.”
“අපි නිර්දේශ කරන්නේ අප්‍රමාදව සංසුන් වෙන්න කියාය. පවතින තත්වය ගැන ඒකමතික ලෙස කටයුතු කිරීමෙන් සතුටුදායක ප්‍රතිඵලයක් හැමෝටම ලැබෙනු ඇත. අපේ සහ ඔබේ හතුරන්ව දොම්නසට පත් කරමින් අපේ සහ ඔබේ වර්තමාන සහ අනාගත සතුට ආරක්ෂා කරගන්නට ලැබෙන්නේ යුනියනයකි. එය ප්‍රමාද කිරීම හෝ කල් යැවීම ඔවුන්ගේ ලොකුම උත්සාහයයි.”
රටක් යහපත් ලෙසින් ආණ්ඩු වෙන්නේ ද, එය ශක්තිමත් වෙන්නේ ද, එය විදේශීය අනතුරු වලින් ආරක්ෂා කරයි. අපි මහා බ්‍රිතාන්‍යයේ ඉතිහාසය මැනවින් දනිමු. අපිට ඔවුන්ගේ අත්දැකීම් වලින්, ඒවාට කිසිත් ගෙවීමක් නොකර, ඉතා ප්‍රයෝජනවත් පාඩම් ඉගෙන ගත හැකියි. සාමාන්‍ය මොළයෙන් පිරික්සා කර බලද්දී එවැනි දිවයිනක එක ආණ්ඩුවක් පමණක් පැවතිය යුතු යැයි දකින්නට හැකියි. ඒත් තුන් කොටසකට බෙදී එකිනෙකා සමඟ නිතර පාහේ අඬ දබර හා යුද්ධ වලින් ගෙවා දැමූ දීර්ඝ ඉතිහාසයක් අපට එහි දකින්නට ලැබේ. අනෙක් යුරෝපීය ජාතීන් සමඟ සබඳතා පවත්වද්දී බ්‍රිතාන්‍යයන් අතර එක හා සමාන උවමනාවන් දකින්නට තිබුණ ද, ප්‍රතිපත්ති, පිළිවෙත් හා ද්වේෂයන් ඔවුන්ව නිතරම උණුසුම් භේද වලින් සීමා කර තිබුණි. වඩා කාලයක් ඔවුන්ගේ දියුණුවට බාධා පමුණුවා ගත්තේ පිටතින් ආ බලවේගයක් නොව ඔවුනොවුන්ම විසිනි.
ඇමෙරිකාවත් රාජ්‍යයන් කිහිපයකට බෙදී ගියොත් එයම සිද්ධ නොවේ යැයි කිව හැකිද? එවැනි ද්වේෂයන් හට ගනුයේ නැතැයි කිව හැකිද?
“ළැදියාවකින් එකතු” වීම වෙනුවට අප එකිනෙකා අතර විවිධ කැමති ඇතැයි සිත් කරදර කරගන්නේ ද, එවිට ඊර්ෂ්‍යාවන් සහ ද්වේෂයන් නිසා විශ්වාසය සහ ළැදියාව ඉක්මණින් නැති වී යයි. සම්පූර්ණ ඇමෙරිකාවේ සාමාන්‍ය කැමැත්ත සලකා බලනවාට වඩා, විශේෂිත එක එක කොටසකට සීමා වූ කැමැත්තක් සලකා බැලීමේ දී ප්‍රතිපත්ති හා වෑයම් හැදෙන්නේ ඒ අනුවයි. එවිට මායිම් දේශයන් සේ හැමවිටම ඔවුන් යුද්ධයන් හි නිරත වෙමින් හෝ යුද්ධයක් ඇති වේ යැයි නිති බියෙන් ජීවත් වෙති.
සමාබන්ධන (confederacy) දේශයන් සමානාත්මතාවයෙන් යුතුව පැවතෙනුයේ නැත. කිසිම මිනිස් සැලසුමකට මෙවැනි සමානාත්මතාවයක් දිගට ම පැවැත්වේවි යැයි සහතික කළ නොහැකියි. එක පළාතක බලය වැඩි වී තවත් පැත්තක බලය අඩු වී යන පරිස්ථානීය (local) තත්වයන් හැරෙන්නට, සුපිරි ප්‍රතිපත්ති සහ යහපත් ආණ්ඩුක්රමය එක පළාතක් අනික් පළාතකට වඩා උසස් බවක් ගන්නට හේතු පාදක වෙනු ඇත.
එය කෙසේ, කුමන අවස්ථාවක දී සිද්ධ වෙන්නේ ද, එය සිද්ධ වෙන්නකි. එකක් අනෙකට වඩා දේශපාලන වැදගත්කමකින් උසස් වෙද්දී අනෙකා එය දිහා ද්වේෂයෙන් හා බියෙන් බලනු ඇත. එහි බලවත්කම අඩු කරන්නට ක්‍රමවේද සොයනු ඇත. තමන්ගේ ආරක්ෂාව සහ සමෘද්ධිය නොසලකා හැර අනිකාගේ නැඟ ඒම වළක්වන්නට කටයුතු කරනු ඇත.
අවිශ්වාසය ස්වභාවයෙන්ම පතුරුවා හරින්නේ අවිශ්වාසයයි. කෙළින්ම කියන හෝ හඟවන ද්වේෂයන් සහ අධ්යාරෝපණයන් තරම් හොඳ හිත සහ කරුණාවන්ත හැදියාව ඉක්මණින් වෙනස් කරන්නට සමත් වෙනකක් නැත.
දැනට පෙන්වන පරිස්ථානීය තත්වයන් නිසා ඉතාමත් කෙටි කාලයක දී බහුතර උතුරු පළාත් කිසිත් සැකයක් නැතිව දකුණු පළාත් වලට වඩා දැඩි සේ ශක්තිමත් වනු ඇත. මෙය ස්ඵූට වෙද්දී ඇමරිකාවේ දකුණු පළාත් වලට උතුරු පළාත් ගැන යුරෝපයේ Northern Hive* නොහොත් උතුරු බිලය ගැන ඇති වූ හැඟීම් හා අදහස් සමාන අදහස් පහළ වනු ඇත. එවිට උතුරේ වැසියන් දකුණේ මල් පිපෙන වතුයායන් හි මී පැණි එකතු කරන්නට, සුවපහසු කාලගුණයේ සුවය හොයන්නට ඉදිරිපත් වෙන බවත් යැයි කීම විමසා නොබලා කියන ප්‍රකාශයක් නොවේ.
ඉතිහාසයේ බෙදී ඇති රාජ්‍යයන් සලකා බැලීමේ දී අපිට පෙනී යන්නේ ඇමෙරිකාවේ සමාබන්ධන කිහිපයක් ඇති වුවහොත් ඔවුන් හොඳ අසල්වැසියන් නොවන බවයි. ඔවුන් එකිනෙකාට ආදරය කරමින් එකිනෙකාව විශ්වාස නොකරනු ඇත. අසමගිය පතුරුවන අදහස් වලට නැඹුරු වී, ද්වේෂයෙන් එකිනෙකාට අනතුරු කරගනු ඇත. කෙටියෙන් කිවහොත් අපිව එවැනි තැනකට ඇද දමන්නට කැමති විජාතිකයන්ට උවමනා විදියට එවිට අපි හැසිරෙනු ඇත.
දැනට යෝජනා වී ඇති සමාබන්ධනයන් ස්වාධීන වූ ජාතීන් ලෙස ඉදිරිපත් වී සිටිති. ඔවුනට විදේශයන් සමඟ වානිජ කටයුතු වල කැමති ගිවිසුම් ගසා ගැනීමට බලය ලැබේ. ඒ ඒ අයගේ නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය වෙනස් නිසා, ඔවුන් ඉලක්ක කරන්නේ ද විවිධ වෙළඳපොලවල් නිසා, ගිවිසුම් ද විවිධ වූවන් වෙති.
විවිධ වානිජ අභිලාෂයන් විවිධ කැමැති ඇති කර, විවිධ විජාතික බලවේගයන් සමඟ විවිධ දේශපාලන ගිවිසුම් වලට එළඹෙනු ඇත. සාමය සහ මිත්‍රත්වය පවත්වා ගන්නට කැමති විදේශයක් සමඟ උතුරු සමාබන්ධනයක් කටයුතු කරද්දී දකුණු සමාබන්ධයක් විසින් එය සමඟ යුද්ධයේ නිරත වෙනු ඇත. ඒ නිසා ඔවුන්ගේ ආනන්තරික කැමැත්තට පටහැනිව එකඟතාවයක් ඇති කරගන්නට නොහැකි වනු ඇත. එසේ ඇති කරගත්ත ද එය පහසුවෙන් පවත්වාගන්නට නොහැකි වනු ඇත.
යුරෝපය සේ ම, ඇමෙරිකාවත් එහි අසල්වැසි පළාත් සමඟ නිතරම එරෙහි වනු ඇත. යුරෝපයෙන් අප ඉන්නා භූගෝලීය දුර දිහා බලද්දී, යුරෝපයෙන් එන අනතුරු වලට වඩා ස්වාභවයෙන්ම අප අතර ම පැන නඟින අනතුරු ගැන වැඩි අවදානමක් දැනෙනු ඇත. එහි දී පිරිසක් විසින් අනික් පිරිසට එරෙහිව විදේශීය ආධාර බලාපොරොත්තු වනු ඇත. ඔවුන් හා ගිවිසුම් ගසා ගනු ඇත.
විදේශීය යුද හමුදාවන් හා නාවුක හමුදාවන් අපේ රටට ගෙන්වා ගැනීම කොතරම් පහසු වී ද සහ ඒවා ආපසු යවා ගැනීම කොතරම් අපහසු වූවා ද යන්න අපි අමතක කළ යුතු නොවේ. මිතුරන් සේ ඇවිත් රෝමානුවන් මෙන් ම තවත් කොපමණ ජාතියක් විසින් ආක්‍රමණ ජයගෙන ඇත් ද? තමන් ආරක්ෂා කරනවා යැයි බොරුවට මවා පෑ රාජ්‍යයන් හි ඔවුන් කළ වෙනස කුමක් ද?
ඉතින් එහෙනම්, ස්වාධීන වූ රාජ්‍යයන් කිහිපයක් තිබෙනවා නම් විදේශීය බලවේගයන් වලින් අප වැඩියෙන් ආරක්ෂා වේවි දැයි කියා අවංක මිනිසුන් සලකා බැලිය යුත්තකි.
-පූබ්ලියස්”
5 වැනි ෆෙඩරලිස්ට් රචනාව ජෝන් ජේ අතින් ලියැවී මුලින්ම ප්‍රකාශිත වූයේ 1787 නොවැම්බර් 10 වැනිදා.
* උතුරු බිලය ගැන මෙහි සඳහන් යුරෝපීය අදහස උතුරු දේශ සීමාවන්හි පටන් ගත් බුද්ධිමය විචාරමය යුගය හා බැඳී ඇත. ඉංග්‍රීසී නීතිය යටතේ පුද්ගල අයිතිය, දේපල අයිතිය, පුද්ගලික වැරදි සහ මහජන වැරදි යනාදියෙන් සාමාන්‍ය නීතිය (common law) සාමාන්‍ය ජනතාවට වැටහෙන ලෙසින් Sir William Blackstone ඇතුළු පිරිසක් ලියා ඇති Commentaries on the Laws of England (1765) හි මේ අදහස් දකුණු යුරෝපීයයන්ට වඩා වෙනස් වූයේ කෙසේදැයි සොයාගත හැකියි.
ඔබගේ බ්ලොග් අඩවියට පිවිසෙන සෑම අවස්ථාවකදීම පීඩීඑෆ් ගොනුවක් බාගත කිරීමට පණිවිඩයක් දිස්වේ. මෙය ලිපි කියවීමට මහත් හිරිහැරයකි. කරුණාකර එම ප්රශ්නය විසඳා දෙන්න.
මාක්,
ඔබ මෙම අඩවියට පිවිසෙන්නේ කෙසේ ද? http://www.arunishapiro.wordpress.com මඟින් එන්නේ නම් එසේ සිද්ධ නොවේ.
ඔබ එන්නේ බැස්ටියාට් ගේ නීතිය නම් පොත බාගත කිරීමට හදා ඇති මාර්ගයෙන් වෙන්නට පුළුවන.