අරුණි ශපීරෝ‍ වෙතින්

තර්කය යනු විචාරයේ විද්‍යාව සහ කලාවයි -ජෝන් ස්ටුවර්ට් මිල්

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2013

විභාගයක් සමත් වෙන්න වගේ ම ජීවිතය ජයගන්නත් අවශ්‍ය වූ කුසලතාවයක් තමයි තර්කය. මිනිසාට ස්වභාවයෙන් ම තාර්කික හැකියාවක් පිහිටලා තියෙනවා. ඒ ජීවිතය ආරක්ෂා කරගන්නට. එහෙත් එහි ප්‍රාථමික බවෙන් එහාට වර්ධනය කරගන්න සමත් වෙන අය අඩුයි. මූලික හේතුව තර්කය ගැන කියා දෙන්න කෙනෙක් නැතිකම. අනෙක ඕනෑකමක් නැතිකම.

තර්කයේ විද්‍යාව සිද්ධ වෙන්නෙ අපි විචාරයක යෙදනා විට හටගන්නා මානසික ක්‍රියාවලිය විශ්ලේෂණයෙන්.

තර්කයේ කලාව සිද්ධ වෙන්නේ එහි රීති, අර විශ්ලේෂණයේ පදනම් වී ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යන්නට ලැබෙද්දී.

පවතින තත්වයකට වඩා හොඳ තත්වයකට යන්නට (improve) අපේ වැරදි නිවැරදි කරගත හැකියාව, මේකට ඉංග්‍රීසියෙන් එක වචනයක් තියෙනවා emendation කියලා, එය තමයි තර්ක ශාස්ත්‍රයේ ඇති වැදගත් ම ලක්ෂණය.

තර්ක ශාස්ත්‍රය අපිට ලබාදෙන්නේ:
මානසික ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි අවබෝධයක්
එය පදනම් වෙන කොන්දේසි මොනවා ද යන්න ගැන වැටහීමක්
එහි පියවර මොනවා ද
රීති පද්ධතියක් ගොඩනඟා ගත හැකි එකම පදනම
කොහෙද යා යුත්තේ කියා ඕනෑම ක්‍රියාවලියකට මාර්ගෝපදේශයක් දීම

ඕනෑම කලා කටයුත්තක දී එහි මූලික කටයුතු සඳහා විද්‍යාවේ සහාය අත්‍යාවශ්‍යයයි. විද්‍යාවක් නැතිව කලා නිර්මාණයක් බිහිවෙන්න ඉඩක් නැහැ. ඒත් එයින් කියැවෙන්නෙ කලා නිර්මාණයක් කරන අයෙක් එහි මූලිකව අන්තර්ගත වෙන විද්‍යාව පහදා ගන්නට දන්නවා කියලා නම් නෙමෙයි. කලාකරුවා දැන සිටියත් නැතත් කලා කෘතියේ නිර්මාණයට මුලින්ම විද්‍යාව උදව්වට ඇවිත්.

සංවාක්‍යයවාදය (syllogism) තමයි බහුතරයක් තර්කය හැටියට දන්නෙ. සාමාන්‍ය ප්‍රස්තුත වලින් විශේෂ ප්‍රස්තුතයකට පැමිණීම. තමන් දැනටමත් සත්‍යය යැයි පිළිගත් ප්‍රකාශයකින් වෙනත් ප්‍රකාශ සත්‍යය දැයි සොයා ගැනීම.

ඇරිස්ටෝටල් තර්ක ශාස්ත්‍රයේ දී නොහොත් වාද න්‍යාය (theory of argumentation) වල දී මුලින්ම පද (terms) මොනවා දැයි හඳුනාගන්න අවශ්‍යයයි. ඊ ළඟට ප්‍රස්තුත අවබෝධය අවශ්‍යයයි. එහි දී නිර්වචන (definitions) සහ විභජන (divisions) යනු කොටස් දෙකක්. වාදය (argumentation) එන්නෙ අන්තිමට. ඒත බහුතර සමාජයක් එතැනින් තමයි පටන් ගන්න හුරු වෙලා තියෙන්නෙ. ඒ නිසාම ඔවුන්ගේ වාදයන් දෝෂ සහිතයි.

තර්කයේ යෙදෙන භාෂාව කුමක් වුවත් එය තථ්‍යරූපී ලෙසින් යොදා ගත යුතුයි. එසේම තර්කයේ දී වර්ගීකරණය නිශ්චිතව කරන්නත් ඕනෑ.

සත්‍යය සොයන්නාට මිනිස් අවබෝධය වැඩ කරන හැටි කියා දෙන විද්‍යාව තමයි තර්කය.

අපිට තර්කයෙන් අපේ දැනුම අනිත් අය හා බෙදා ගන්න පුලුවන්. ඒත් තර්කයේ පරම අරමුණ වෙන්නේ තමන්ගේ ම සිතුවිලි වලට මාර්ගෝපදේශකයෙක් වීමයි.

සත්‍යය යනු කුමක් දැයි වටහා ගන්නට ක්‍රම දෙකක් තියෙනවා.

පළමු ක්‍රමය තමයි යමක් ගැන කෙළින්ම සත්‍යය අවබෝධය. බඩගිනියි කියලා කවුරුත් අත දරුවෙකුට වත් කියලා දෙන්න අවශ්‍ය වූවක් නෙමෙයි. සවිඥානය සහ සහජ ඥානයෙන් ශාරීරික වූ සංවේදන සහ මානසික සංවේදන වලින් අපිට සත්‍යය දැනගන්නට පුලුවන්.

දෙවැනි ක්‍රමය තමයි නිගමනය නැත්නම් අනුමේයය (inference) ඥානය. අනිත් සත්‍යයන් තුලින් තවත් සත්‍යයක් අවබෝධය. මුල් ප්‍රස්තුත වලින් තමයි අනිත් සියල්ලේ නිගමනයන් කරා එළඹෙන්නේ. ඉතින් මුල් ප්‍රස්තුත වල දී කරන පිළිගැනීම අනුව තමයි පසුව එන ප්‍රස්තුත පිළිගැනීම සිද්ධ වෙන්නෙ.

සමහර අයගෙ දුර්මතය තමයි බටහිර තර්ක ශාස්ත්‍රයේ දී කළු කපුටා සුදු කරන්න පුලුවන් කියල. මූලික ප්‍රස්තුතය නිවැරදිව පාවිච්චි කරන අයෙකුට එහෙම සත්‍යයක් අසත්‍යයක් කරන්න තර්කය සහාය දෙන්නෙ නැහැ.

අපිට කිසිම ඥානයක් පාදා ගන්නට තාර්කික විචාරයෙන් බැහැ දැනට සලකා බලන්නට පූර්වගාමී වූ ප්‍රස්තුතයක් නැත්නම්.

දැන් අයෙක් තමාට බඩගිනියි කියලා දැන ගැනීම ඍජු ඥානයක් වෙද්දී, නිගමන වලින් අපි ලබා ගන්නේ යම් තැනක අපි නැති වෙලාවට සිද්ධ වෙන දේවල් ගැන ඥානයයි. ඒ ඥානය ඉතිහාසයේ වාර්තා වලින් ලැබෙන නැත්නම් ගණිතමය ප්‍රමේයයන් වලින් ලැබෙන ඥානය හා සමාන වූවක්.

ඉතින් අපිට මේ ලෝකයේ දැනුමක් ලබාගන්න හැකි දේවල් එක්කෝ ඍජු ඥානය, නැත්නම් නිගමන ඥානය යන දෙකෙන් එකකට අයිති වෙනවා. ඒ දැනුම ප්‍රාථමික දත්ත වලින් ලබාගත හැකි වූවක්, නැත්නම් ඒ දත්ත වලින් නිගමන කරා එළඹෙන්න හැකි වූවක්.

ඍජු ඥානයෙන් අපිට ලැබෙන දැනුම කිසිම කෙනෙකුට ප්‍රශ්න කරන්න බැහැ. මට බඩගිනියි කියල මම කිව්වොත් එය මගේ දැනුමයි. තව කාටවත් බැහැ කියන්න, අපි මේ දැන් කාලා ඉවර වුනා විතරයි, ඔයාට බඩගිනි දැනෙන්නෙ කොහොම ද කියලා!!!! මට ඇති ඍජු ඥානය තහවුරු කරන්න කිසිම විද්‍යාවක් අපිට අවශ්‍ය නැහැ. කිසිම කලාවකින් අපිට මේ වැනි ඍජු දැනුමක් ප්‍රශ්න කරන්න අවසරයක් ලැබෙන්නේ ද නැහැ. අයෙක් කිව්වොත් අපොයි ඒ නිර්මාණය මට කිසිම ලෙසකින් රසවත් නැහැ කියලා අපිට එය එසේ නොවේ යැයි කියන්න බැහැ. අනෙකාගේ ඍජු දැනුමට අපිට හැකියාවක් නොමැති නිසා, ඍජු ඥානය යන කොටස ගැන තාර්කික පදනමක් ද අවශ්‍ය නැහැ.

නමුත් නිගමන වලින් එළඹෙන ඥානය … අන්න එය තමයි ප්‍රස්තුත වල නිරවද්‍යතාවය ගැන ප්‍රශ්න කරන්නට අපිට හැකි එකම ස්ථානය. එතැන දී තමයි අපිට අනෙක් අයගේ අදහස් හා එකඟ නොවී ඔවුන් වැරදි අපි නිවැරදි යැයි ඥානය පාදා දෙන්නට හැකි එකම අවස්ථාව.

තර්කය ගැන ලියන්නේ ජෝන් ස්ටුවර්ට් මිල් ලියූ A System of Logic (1882) ඇසුරිනි.

තර්කය ගැන කළින් ලියූ සටහන් කිහිපයක්:
එදිනෙදා ජීවිතයට තර්කයේ වැදගත්කම
අද දිනය ඊයේ දුර්මත වලින් පිරි හෙට දිනයක් ද?
මෝහයෙන් විතර්කය නොහොත් argumentum ad ignorantiam
තර්කයේ දුර්මත ගැන ආයෙත්

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: