අරුණි ශපීරෝ‍ වෙතින්

රට ඇතුලත පැතිරෙන බෙදුම්වාදය වඩාත්ම කලබල විය යුත්තයි

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 27, 2013

“1914 සිට 1951 දක්වා දීර්ඝ කාලයක් දේශපාලන තනතුරු දැරූ ජේම්ස් මයිකල් කර්ලි අල්ලස් දූෂණ ගත් වරදට සිර දඬුවම් ගෙවද්දී බොස්ටන් නගරාධිපති වශයෙන් එහි බහුතර සංක්‍රමණික අයිරිශ් ජනතාව තෝරාපත් කරගන්නා ලද්දෙකි.”

“පසුගිය රචනා තුනෙන් කතාබහ වූයේ විදේශීය බලවේගයන් නිසා ඇමෙරිකාවට ඇති අවදානමයි. දැන් ඊට වඩා පරිස්සම් විය යුත්ත ගැන විමසමු -ඒ දේශීය කල්ලි ගැසීම් හා හදගැස්මන් නිසා ප්‍රාන්ත අතර ඇතිවෙන්නා වූ මතභේදයන්. කළින් යාන්තමට සඳහන් කළාට මේ ගැන දැඩි විමර්ශනයක් කළ යුතුයි.

ඇමෙරිකාව කිසිම ආකාරයකින් එකතු නැත්නම් හෝ, යම් තරමකට පමණක් එකතු සමාබන්ධන (confederacies) වලින් යුතු නම් හෝ, ඒ ඒ කොටස් අතර නිතර දැකිය හැකි ප්‍රචණ්ඩ අවුල් වියවුල් සිද්ධ වෙන්නේ නැතැයි උතෝපියානු දැක්මකින් කල්පනාවේ අතරමං වූවෙක් පමණක් සිතනු ඇත. අරගල සඳහා අභිප්‍රායන් ඇත්තේ සුළු ප්‍රමාණයක් යැයි සිතීම මිනිසා යනු අභිලාෂයන් වලින් යුතු, පළිගන්නා සිත් වලින් යුතු, ගසා කන හැදියාවෙන් යුතු සත්වයෙක් යැයි ද අමතක කරන්නෙකි. ස්වාධීන වූ ප්‍රාන්තයන් කිහිපයක් අතර දීර්ඝ කාලීන වූ සාමකාමී පැවැත්ම අපේක්ෂා කිරීම මිනිසා ස්වභාවයෙන් මුහුණ දෙන සිද්ධීන් සහ ඉතිහාසය පුරා එකතු කරගත් අත්දැකීම් බැහැර ලා දැමීමකි.

ජාතීන් අතර එදිරිවාදිකම් හට ගන්නා හේතු ගණනය කළ නොහැකිය. සමාජයක් ලෙසින් හැසිරෙන කල්ලි වලින් සමහර හේතු නිතරම දකින්නට ලැබේ. බලය අල්ලා ගැනීමට ඇති ආශාව, අනුන්ට ඉහළින් ඉන්නට සහ ප්‍රකට වෙන්නට ඇති ආශාව, වෙනකෙකු සතු බලයට ද්වේෂය, නැත්නම් සමානාත්මතාවයට හා ආරක්ෂාවට ඇති කැමැත්ත ද මේ හේතු අතර පවතිනවා විය හැකියි.

එසේම වානිජ කටයුතු වලට ඇති තරඟය හා අනිකා අභිබවා යන්නට කැමැත්ත වැනි හේතු ද ඒ හා සමාන ලෙසකින්ම එදිරිවාදිකම් වලට තුඩු දෙති.

තවත් හේතු, සබැඳියාවන්, ආඝාතය (hatred), කැමැත්ත, බලාපොරොත්තු, බිය යනාදී ඒ සමාජයේ නායකයන් තුල වූ පුද්ගලික ලාලසාව මතින් පැන නඟින්නකි. මහරජුගේ ප්‍රසාදය දිනාගත් අය හෝ නැත්නම් ජනතා ප්‍රසාදය දිනාගත් අය ද, තමන්ගේ සමාජ තත්වය අපයෝජනය කර ඊට ලැබුණු මහජන විශ්වාසය පළුදු කරති. ඔවුන් එසේ කරන්නේ පුද්ගලික ලාබ හෝ පුද්ගලික සතුටක් සඳහා ජාතික සාමය පොදු ජනතාවගේ යහපත පිණිස යැයි පාවා දෙමින්.

ඇතැන්ස් හි විසූ පෙරික්ලීස්, ගණිකාවකගේ අප්‍රසාදයකට ලක්වීම නිසා ඊට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසින් Samnians නම් නගරය විනාශ කර දැමුවේ තම රටවැසියන්ට සම්පත් හා ජීවිත අහිමි කරමිනි. ඇතැන්ස් සමූහාණ්ඩුවේ විනාශය කැඳ වූ සුප්‍රසිද්ධ පෙලපනීසියන් යුද්ධය පටන් ගත්තේ ද ඒ මිනිසාම වේ. ඔහුට පුද්ගලික කේන්තියක් තිබූ Megarensians නම් තවත් ග්‍රීක ජාතියකට විරුද්ධතාවය මෙම යුද්ධයට එක හේතුවකි. Phidias නමින් වූ ප්‍රතිමාව හොරකම් කිරීමේ* සම කුමන්ත්‍රණකරුවෙක් යැයි පැන නැඟී තිබි චෝදනාවෙන් ගැලවීමට උවමනාව මෙම යුද්ධයට තවත් හේතුවකි. රටේ අරමුදල් ජනප්‍රියත්වය දිනාගන්නට පාවිච්චි කළා යන චෝදනාවෙන් ගැලවීම අරබයා මෙම යුද්ධයට පිවිසීම තවත් හේතුවකි.

අටවැනි හෙන්රිගේ අගමැතිවරයා වූ කාඩිනල් වොල්සෙ ගේ දැඩි අපේක්ෂාව වූයේ පාප් පදවියයි. එය එම්ප්‍රද්‍යෝරු රජ වූ පස්වැනි චාල්ස් මාර්ගයෙන් අත්පත් කරගැනීමට බලාපොරොත්තුවෙන් ඔහු බලවත් එම්ප්‍රද්‍යෝරු රජගේ ප්‍රසාදය දිනාගනු සඳහා එංගලන්තයට ප්‍රංශය සමඟ යුද වදින්නට යැයි පෙළඹවීය. එය රටේ ප්‍රතිපත්ති වලට පටහැනි වූ, එංගලන්තයේ සහ සෙසු යුරෝපයේ ම ආරක්ෂාව සහ ස්වාධීන තත්වයන් දරුණු ලෙසකින් අවදානමට ලක් කරන ලදි. එම්ප්‍රද්‍යෝරු චාල්ස් සිය බලාපොරොත්තුව වූ විශ්ව අගරජ (universal monarch) වීමට වොල්සෙ ව යොදාගත්තේය.

කාන්තාවන් ද ගැටුම් වලට හේතු කාරක වී ඇත. ප්‍රංශයෙ මැඩාම් පොම්පාඩූර්** නම් කාන්තාව කෙතරම් බලපෑම් කරන ලද්දා ද, මාල්බොරෝ හි ආදිපාදවරිය ගේ නොරිස්සුම් ගතිගුණ කොතරම් බලපෑම් ඇති කළා ද, මැඩාම් ඩ මේන්ටෙනොන් ගේ අධානග්‍රාහී මතයන් සංහිඳුවන්නට යනාදී වශයෙන් හේතු අපේ සමකාලීන යුරෝපීය ප්‍රතිපත්ති යුද වලට තුඩු දුන්නා දැයි විමසිය යුත්තකි.

පුද්ගලික අභිප්‍රේරණයන් ජාතික සිදුවීම් (දේශීය වශයෙන් සහ විදේශීය ලෙසින් ද) ඇති කරන්නට සමත් වෙන බවට උදාහරණ ගණනාවක් ඉතිහාසයෙන් පෙන්විය හැකි වුවත් ඒවා කාලය නාස්ති කිරීමකි. මිනිස් ස්වභාවය ගැන යාන්තමකට හෝ දන්නා අයට මෙහි යථාර්ථය හා වැදගත්කම වටහාගෙන තම මතයක් ගොඩ නඟා ගන්නට උදාහරණ අවශ්‍ය නොවේ.

එහෙත්, මෑත කාලීන සිද්ධියක් ගැන දක්වා මෙම සාමාන්‍ය මූලධර්මය පැහැදිලි කළ හැකියි. Shays*** බලාපොරොත්තු සුන් කරගත් ණයකාරයෙක් වූයේ නැත්නම් මැසචූසෙට්ස් ප්‍රාන්තයේ සිවිල් යුද්ධයක් ඇතිවන්නට තිබුණා දැයි සැක සහිතය.

ජනරජයක් නෛසර්ගික වශයෙන් ම සාමකාමී යැයි කියන අය වෙන් වී පවතින ප්‍රාන්ත තුල නිතරම සාමය පවතින බව කියති. වානිජ්‍ය මිනිසා මෘදු කරයි කියා ද, යුද්ධ අවුලන ගිනි නිවා ලන්නේ යැයි ද කියති. ඇමෙරිකාව වැනි වානිජ්‍ය ජනරජයක් එකිනෙකා සමඟ යුද වැද විනාශය කරා නොයයි කියති. සාමකාමී සබඳතා පවත්වමින් එකිනෙකාගේ කැමැත්ත අනුව වැඩ කරන දැක්මක් වර්ධනය කරගනු ඇතැයි කියති.

එහෙනම් ඉතින්, සියළු ජාතීන් විසින් තමන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මේ යහපත් පරහිතකාමී දර්ශනය වඩාගත යුතු නොවන්නේ දැයි මෙසේ කියන දේශපාලන අනාගතවාක්තෘවරයන් ගෙන් අපි මෙසේ අසමු. පරහිතකාමී දර්ශනය පුරවැසියන්ගේ සත්‍ය අභිවෘද්ධිය සලසන බව දන්නවා නම් සියළු පුරවැසියන් එය සත්‍යයෙන් ම නොකරන්නේ ඇයි?

අපිට පෙනී යන්නේ පරහිතකාමී හැසිරීමට වඩා පුරවැසියන් හදිසියේ හටගන්නා ලාලසයන්ට සිතා නොබලා අවනත වෙන අන්දමයි. ප්‍රතිපත්ති, ඒවායේ ප්‍රයෝජනවත් බව, සාධරණත්වය ගැන සලකා බලනවාට වඩා දැන් තෘප්තිමත් කරගත යුතු කැමැත්ත වඩා දැඩි ලෙසකින් මිනිස් හැදියාව පාලනය කරනවා නොවේද? ජනරජයන් රාජාණ්ඩු වලට වඩා අඩුවෙන් යුද්ධයන්ට ඇබ්බැහි වී ඇත් ද? ඒවා දෙකේම පාලකයන් වන්නේ මිනිසුන් නොවේද?

ජුගුප්සාවන්, අභිරුචියන්, එදිරිවාදිකම් සහ බලහත්කාරයෙන් අල්ලා ගැනීමේ ආශාව යනාදිය ජනරජයන්ට සේ ම රජවරුන්ටත් නැද්ද? ජනප්‍රිය මහජන සභාවන් නිතර පාහේ කෝපාවිෂ්ට ආවේග, තරහ මරහ, ද්වේෂය, තෘෂ්ණාව සහ තවත් ප්‍රචණ්ඩ ප්‍රවණතාවන් දක්වන්නේ නැද්ද?

විශ්වාස කරන සුළු පිරිසක් විසින් ආණ්ඩු කරන ජනරජයක් ඒ අයගේ ලාලසාවන් වලින් පිළිබිඹු වෙන්නේ නැද්ද? යුද්ධයේ අරමුණු වෙනස් කරනවාට වඩා යමක් වානිජ්‍ය විසින් කර ඇත්ද? වස්තු සම්පත් වලට ඇති ආශාව යනු බලය හෝ කීර්ති ප්‍රශංසාව අත්පත් කර ගැනීමට ඇති ආශාව හා සමාන වූ ලාලසාවක් නොවන්නේ ද?

කළින් දේශ සීමාවන් ජයගන්නට හෝ අනෙකා පරදවා ඉහළින් ඉන්නට ආශාවෙන් යුද්ධ කළා සේ ම, වානිජ්‍ය අරමුණු හේතු කොට ගෙන කොතරම් යුද්ධ පටන් ගෙන ඇත්ද? අනතුරුව ඒවා ඒ රටවල දිගටම පවත්වා ගෙන යන බව දකින්නට ඇත්ද? වානිජ්‍ය විසින් යුද්ධ පටන් ගන්නට අලුත් දිරිගැන්වීම් දී නැත්ද?

මිනිස් හැදියාව ගැන කියා පාන අපිට තිබෙන වඩාත්ම අඩුවෙන් වැරදීම් සිද්ධ වෙන මාර්ගෝපදේශකයට, එනම් අපේ අත්දැකීම් වලට, මේ ප්‍රශ්න වලට පිළිතුරු සපයන්නට අපි ඉඩ දෙමු.

ස්පාර්ටාව, ඇතැන්ස්, රෝමය, සහ කාර්තෙජ් යනාදී සියල්ලම ජනරජයන් වූහ. ඇතැන්ස් සහ කාර්තෙජ් වානිජ්‍ය ජනරජයන් වූහ. එහෙත් ඒවා ද ආක්‍රමණික ලෙසින් ද, ආරක්ෂාව සපයා ගනු පිණිස ද යුද්යන්හි නිතර වූයේ ඔවුන්ගේ අසල්වැසියන් වූ රාජාණ්ඩු හා සමානවයි. ස්පාර්ටාව හමුදා කඳවුරකට වඩා ලොකු ප්‍රදේශයක් නොවිණ. මනුෂ්‍ය සංහාරයන් සහ යටත්විජිතයන් අත්පත් කර ගැනීම ප්‍රමාණවත් යැයි රෝමය කිසි විටෙක තෘප්තිමත් වූයේ නැත.

වානිජ්‍ය ජනරජයක් වූ කාර්තෙජ් තමාගේම විනාශය ළඟා කරගත් ආක්‍රමණිකයා විය. ඇයගේ අවි හැනිබල් විසින් ඉතාලියේ මැද්දට ගෙන ගියේය. රෝමයේ ගේට්ටු අසලට ගෙන ගියේය. එවිට රෝමයේ සීපියෝ කාර්තෙජයේ දේශයන් රෝම සමූහාණ්ඩු වෙනුවෙන් අල්ලා ගති.

වෙනීසිය අනේක යුද අභිලාෂයන් වලින් යුතු වූයේ අවසානයේ එය අනෙක් ඉතාලි පළාත් වල ඉල්ලකයක් වෙන තෙක්ය. ඉතාලි කුමරුන් හා රාජධානි බහුතරයක්, ඉතාලි එම්ප්‍රදෝරු, ප්‍රංශ රජු, ආර්ගොන්හි රජු යනාදිය එකතු වී කැම්බ්‍රේ සාමග්ගිය එකතු කළ දෙවැනි ජූලියස් පාප් විසින් මේ වෙනීසියානු උඩඟු ජනරජයේ බලය අහෝසි විය.

ණය බරින් සහ බදු බරින් කරකියා ගත නොහැකි තෙක් ඕලන්දයේ දිස්ත්‍රික්කයන් යුරෝපීය යුද්ධ වල නිරත වූහ. මුහුදු බලය අල්ලා ගන්නට ඔවුන් දරුණු සේ එංගලන්තය හා සටන් වැදුනහ. වැඩි කාලයක් දැඩි ලෙසකින් දාහතරවැනි ලුවී රජුගේ එදිරිවාදීන් වූයේ ඔවුන්.

කාලාන්තරයක් තිස්සේ එංගලන්තයේ වඩාත්ම ප්‍රධාන ඉලක්කය වූයේ වානිජ්‍යයි. එහි එක ජාතික සභාවක් ජනතාවගේ නියෝජිතයන් වෙති. එසේ වුවත් එහි තරම් ජනතාව විසින් නිතර පටන් ගන්නා ලද යුද්ධයන්හි නියැළුන වෙනත් ජාතීන් අඩුයි. එහි ජනතා නියෝජිතයන් කරන ලද යුද්ධ රජවරුන් කරන ලද යුද්ධ තරම්ම ප්‍රමාණයකි. සමහර අවස්ථා වල දී ජනතා නියෝජිතයන් විසින් රජුව යුද්ධයට ඇදගෙන ගොස් ඇත. එහෙම නැත්නම් රජුගේ කැමැත්තට පටහැනිව, ජාතියේ සත්‍ය කැමැත්තට පටහැනිව ජනතා නියෝජිතයන් විසින් යුද්ධය දිගටම පවත්වා ගෙන ගොස් ඇත.

ඔස්ට්‍රියා-බර්බන් අතර වූ දීර්ඝ යුරෝපීය අරගලයේ දී ප්‍රංශය නුරුස්නා ඉංග්‍රීසි හැදියාව, මාල්බොරෝ ආදිපාදවරයාගේ තෘෂ්ණාව, යනාදිය විසින් යුද්ධය දිගටම ඇදගෙන ගියේ රජ පරම්පරාවේ විරුද්ධත්වය සහ රටට හොඳ ප්‍රතිපත්ති නොසලකා හරිමිනි. ප්‍රංශ-ඉංග්‍රීසි යුද්ධ වලට වඩාත්ම හේතු වූයේ නාවුක මාර්ග හා වෙළඳාම ආරක්ෂාව හෝ වැඩි කරගැනීමයි. වෙනත් ජාතීන්ගේ අවසරය නැතිව ඔවුන්ගේ වානිජ්‍ය කටයුතු වල ද නිරත වෙන අරමුණෙනි.

ස්පාඤ්ඤය සහ බ්‍රිතාන්‍ය අතර වූ යුද්ධ ස්පාඤ්ඤයේ නීති විරෝධී වෙළඳාම කරවුන්ට බ්‍රිතාන්‍ය වෙළඳුන් විසින් නඩු කියන්නට ගත් උත්සාහයක් නිසා ඇතිවිය. එහෙත් එහි දී සිද්ධ වූයේ ස්පාඤ්ඤ ජාතිකයන් විසින් යුක්ති සහගත ප්‍රතිප්‍රහාර දෙනවා වෙනුවට අමානුෂික හා කෲර ලෙසින් සීමා ඉක්මවා යෑමයි.

ඉංග්‍රීසි අයව අල්ලා ගෙන ගොස් පොටොසි පතල් වල කැනීම් කරන්නට ස්පාඤ්ඤ වෙරළබඩට යවන ලදි. කාලයක් යද්දී එහි වූ අහිංසකයන් හා වරදකරුවන් කවුදැයි තෝරා බේරා ගන්නට නොහැකිව හැමෝටම එක සේ දඬුවම් ලැබිණ. ඉංග්‍රීසි වෙළඳුන් කළ පැමිණිලි වලින් දරුණු සේ කුපිත වූ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මහජන සභාව යුද්ධයක් දියත් කළහ. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර විස්සකට පෙර හදාගත් දෙපාර්ශවයේම වැඩි ඵලදායීත්වය වෙනුවෙන් වූ සියළු ගිවිසුම් අහෝසි විය.

මේ කෙටි සමාලෝචනය සලකා බලද්දී ප්‍රාන්ත වශයෙන් වෙන් වී ගියොත් ඔවුනොවුන් අතර සාමය සහ සමගිය පැවැත්වේවි කියා කෙසේ ද අපිට කියන්න පුළුවන් වෙන්නේ?

සියළු ආකාරයන් වලින් යුතු සමාජ වල අසම්පූර්ණ, දුර්වල, දුෂ්ට සිදුවීම් දකින්නට තිබිය දී, කෙසේ ද අපිට කියන්න පුළුවන් ඒවා සම්පූර්ණයෙන්ම නැති වූවක් හදන්න පුළුවන් කියා?

අපිට පුළුවන් මේ ලෝකේ ඉන්නා අනෙක් වාසීන් අතර දකින්නට ඇතිවා මෙන්ම, සම්පුර්ණ ප්‍රඥාවක් හෝ සම්පූර්ණ සද්ගුණයක් බලාපොරොත්තු නොවී, අපේ දේශපාලන හැදියාවන් ද අනෙක් ලෝක වාසීන් හා සමානව සිද්ධ වේ යැයි අනුමානයෙන් ගොඩනඟා ගන්නා ප්‍රායෝගික වූ ක්‍රමවේදයක් ගොඩනැඟීමට පමණයි.

“ඉතිහාසමය නිරීක්ෂණ වලින් පෙනී යන්නේ ළඟින් අසල්වැසි ජාතීන් ස්වභාවයෙන්ම හතුරන් වෙන බවයි. අසල්වැසියන් අතර ඇතිවිය හැකි වෙනස්කම් ඔවුන් දෙපළගේ ම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් වළක්වන්නේ නම්, ඔවුන් අතර පවතින ද්වේෂයන් එක පළාතක වාසිය වෙනුවෙන් පැතිර යන්නට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොදෙන්නේ නම්, එවිට ඔවුන් මුහුණ පාන්නා වූ පොදු අවදානමක් ඔවුන් අතර ගිවිසුමකට එළඹෙන්නට ඉඩක් සලසයි.”

ඉහත වගන්තිය දුෂ්ට බව කුමක් ද යන්නත් ඊට කළ යුතු ප්‍රතිකාරය කුමක් ද යන්නත් අපිට පෙන්වා දී ඇත.

-පූබ්ලියස්”

ෆෙඩරලිස්ට් රචනා අංක 6 ලියන්නේ ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් විසිනි. මෙය 1787 නොවැම්බර් 14 වැනිදා ප්‍රකාශිත විය.

* එහි ගා තිබූ රත්තරන් මිනර්වා ප්‍රතිමාවට යොදන්නට හොරාගන්නා ලදැයි එක මතයකි.
** යුගයේ අතිශයම රූමත් කාන්තාව ඇය සේ සැලකිණ.
*** ඩැනියෙල් ශේ නැමැත්තා මැසචූසෙට්ස් ප්‍රාන්තය තුල අවිගත් කැරැල්ලක් මෙහෙයවන ලද්දෙකි.

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on පෙබරවාරි 27, 2013 at 12:01 ප.ව.

    මීට වඩා මේක අපේ රටට ගලපලා ලීවානම් බොහෝම වටිනවා නෝනේ. කියවෙන්නෙම එහෙමයි අනේ. ගිවේරෙත් කියන්නද යුදෙව් භාෂාවෙන්…

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 5:26 පෙ.ව.

      Maathalan,

      ඔයාලගෙ රටට විතරක් නෙමෙයි, ලෝකෙ මිනිසුන් වාසය කරන ඕනෑම රටකටත්, මේක ලියපු අය හිටිය රටටත් තාම ගැලපෙනවා .. බෙහෙත මේකයි කිව්වම ඕක හැන්දකට දාලා පොවන්න ඕනෑ ද? නැත්නම් රෝගය සුවවෙන බෙහෙතෙ නම කිව්වම හොයාගෙන ගිහින් තමන් පාවිච්චිය තමන්ට ඇති තෝරා ගැනීමක් නෙවෙයි ද?

      ගුවේරා යුදෙව් ද? ඒකත් roots කතාවක්!!!!

  2. Karunarathna Paranawithana said, on පෙබරවාරි 27, 2013 at 10:53 ප.ව.

    ඉතා අගනා පරිවර්තනයකි

  3. දේශකයා said, on පෙබරවාරි 27, 2013 at 10:54 ප.ව.

    ඊයේ දාපු ත්‍රිත්වය ම කියවන්න බැරි උනා.. මාර ස්පීඩ් නේ.. මාතලං කිව්ව එක මටත් කියන්න තිබුනනං හොදයි කියල තමා හිතෙන්නේ..
    මට ඊමේලය එවන්න එතකොට කියන්න ඕන දෙයක් කිව හැකියි.

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 5:32 පෙ.ව.

      දේශකයා,

      හිමිහිට කියවන්න .. දාන පරක්කුවට කියවන්න ඕනෑ නැහැ මොකෝ පුස්තකාල පොතක් වගේ ආපහු නියමිත දිනයට ගිහින් බාර දෙන්න ඕනෑයැ.

      ලංකාවට ගැලපෙන්න ලියන අය ඕනෑ තරම් ඉන්නවානේ දේශකයා .. මම ලියන්නෙ සිංහලෙන් කියවන හැකියාව ඇති ඕනෑම රටක මිනිස්සුන්ට. හැබැයි කවුරුත් මෙහෙම ලියන්න කිව්වට ඒක මගෙත් තෝරා ගැනීම විතරක් නම් තමයි එහෙම ලියන්නෙ .. දැනටමත් ඒක නම් දන්නවානේ!!!!

      ඊමේලයක් එවන්නම්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: