අරුණි ශපීරෝ‍ වෙතින්

යුද්දෙට යන මල්ලීට, පරිස්සමෙන් ගිහින් එන්න!

Posted in Uncategorized by arunishapiro on පෙබරවාරි 28, 2013

555211_194030447406211_1446111843_n

මගේ මල්ලී ඇෆගනිස්ථානය බලා යන්නට ලැහැස්තියි. සිය කැමැත්තෙන් ඇමෙරිකාවේ යුද හමුදාවට ඔහු බැඳුනේ 9/11 වලින් පසුව ඇමෙරිකාව එයාගේ රට, එය ආරක්ෂා කළ යුතු යැයි ඔහුට සිතිච්ච නිසාලු. ඔහු බැඳී ඇත්තේ යුද හමුදාවට. දැන් ඉන්නේ එහි හෙලිකොප්ටර් කාර්මික තාක්ෂණ අංශයේ. තාක්ෂණික කටයුතු කළාට සටන් බිමේ දී අක්‍රීය වෙන හෙලිකොප්ටරයක් බේරාගෙන එන්නට යන කණ්ඩායමට ඔහු ද අයිතියි. ඉතින් ඒ නිසා යුද පුහුණුවක්, අවි ආයුධ වගේම අවි ආයුධ තොරව කරන සටන් ගැනත් පුහුණුවකින් යුතුයි.

පුංචි සන්දියේ හිටන්, ඒ කියන්නෙ ලංකාවේ ජීවත් වෙන කාලයේ දී ද කරාතේ වැනි සටන් ක්‍රම දැඩි ආශාවකින් වගේම දැඩි කැපවීමකින් පුහුණු වූ කෙනෙක්.

67599_194030390739550_333935405_nඑයා මට වඩා උසින් අඩු කාලේ දී, දැන් මේ කියන්නේ ගොඩාක් ඈතම ඈත අතීතයක් ගැන 😀 ඉතින් ඒ කාලේ දී අපි දෙන්නා එකතු වෙලා උදේ පාන්දර නැඟිටලා දුවනවා ව්‍යයාම වලට. අන්තිමට ආපහු එන්නෙ කොහුවල හංදියේ කිරි මණ්ඩලේ කඩෙන් සීතල කිරි බෝතල් කාලක් බැගින් සප්පායම් වෙලා.

හමුදා පුහුණුව පටන් ගත්තම යුනිට් එකේ පුහුණුව දීපු සාජන්ට්ගේ වසර ගණනාවක් තිබිච්ච දිවීමේ රෙකෝඩ් එක කැඩුවේ මල්ලි. කාට ද ඉතින් ආඩම්බර!!!!

එයා පුංචි කාලේ එයාට නින්ද යන්න කතන්දර කියන්නෙ මම. කාලයක් යද්දී මම දන්න කතන්දර ඉවර වේගන යනකොට කතන්දර හදලා කියන්න පටන් ගත්තා. මාර චේස් සීන් එකක් ගැන රස කර කර කියද්දී නිදිමතේ අහගෙන හිටපු කොල්ලා මගෙන් අහනවා:

“අක්කෙ අක්කෙ ඒ කාර් එකේ ජාතිය මොකක් ද?”

මම දන්න කාර්!!!

“ඒක ඩැට්සන් ගෝ කාට් එකක්.”

කොළු පැංචා ඇඳේ පෙරලී පෙරලී හිනා වෙනවා. ඌ නිදාගන්න ඔන්න මෙන්න කියලා මම හිතුවේ!!!!

“එහෙම කාර් එකක් නැහැ අක්කෙ ඔයා මේ කියන්නෙ බොරු කතාවක්.”

ඊට පස්සෙ කතන්දර හදද්දී ඩීටේල්ස් ගැන සෑහෙන්න කල්පනා කරන්න වුනා.

මමත් පුංචි කාලේ මලයට පොරොන්දු වුනා දවසක් 10 ස්පීඩ් බයිසිකලයක් අරන් දෙනවා කියල … ඒක නම් ඉෂ්ට කරන්න බැරිවෙච්ච පොරොන්දුවක්.

අනාගතයක් ගැන සිහින මවන්න වත් එයාට බැරිවෙලා හිටපු කාලෙක දී එයාව මම මෙහෙට ගෙන්න ගත්ත. දැන් එයාට එයාගෙ සල්ලි වලින්ම ගත්ත හාර්ලි ඩේවිඩ්සන් මෝටර් බයිසිකලයක් තියෙනවා. 10 ස්පීඩ් එකකට වඩා කොච්චර හොඳද!!! පොරොන්දුවෙන් මම නිදහස්ලු.

අපි දෙන්නා අතරේ තිබිච්ච එකම ආරවුල පටන් ගත්තෙ එයා මෙහෙට ආවට පස්සෙ. ඊට පාදක වෙච්ච කාරණා, යුතුකම් සහ වගකීම් එයා දැන් සතුටුදායක ලෙසින් නිමා කරගෙන. ඒ ගැන තාත්තාට වෙච්ච පොරොන්දුව යුද්ධෙට යන්න කළින් නිරාකරණය කරගත්ත එක මගෙත් ලොකු සතුටක්.

තුවක්කු පරිහරණය ගැන ක්‍රමානුකූල පුහුණුව ලත් මලයා ඒ බලකායේ ඉලක්කයට වෙඩි තියන හපනෙක්. මටත් පොඩි ඇඩ්වයිස් දෙක තුනක් ලැබෙනවා ඉඳ හිටලා … දැක්කා ද පොඩි එවුන්ට මුලින් අපි කරුණු කාරණා කියලා දෙනවා ඊට පස්සෙ උන් අපිට කියලා දෙනවා!!!!

ඉතින් මල්ලි, පරිස්සමෙන් ගිහින් එන්න.

I will love you when you are Gone!

මඟ දී හමුවෙන අනික් ඇමෙරිකන් සොල්දාදුවන්ට කියනවා සේ ඔයාටත් “ඔබේ සේවයට ස්තූතියි!” කියන්න බලාගෙන ඉන්නම් ආයේ අපි හමුවෙන දවසේ දී.

Advertisements

22 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on පෙබරවාරි 28, 2013 at 6:05 පෙ.ව.

    මාර හැන්ඩියෙක්නේ. බැඳලත් ඇති. 😀

  2. අපරාදකාරයෝ said, on පෙබරවාරි 28, 2013 at 7:26 පෙ.ව.

    කුලියට මිනීමරන්නෙක්ට පරෙස්සමෙන් ගිහින් එන්නලු. හා හොදමයි ලු! කොහෙදෝ යන රෙද්දෙ රටකට, තෙල් ටික ගන්න මිනිස්සු මරන්න එහේ ලොක්කො කඩේ යන මල්ලිට පරිස්සමෙන් ගිහින් එනන්ලු. එදා මම කිව්වා වගේ අරුණිලා කල දුටු කල වල ඉහගන්න පාපතරයන්. අපේ හාමුදුරුවො කෙනෙක් රට ගැන කතා කරන්න සද්දෙන් කතා කලොත් මේ උපසක අම්මන්ඩිට ඌරු ජුවල්… හා… පෝ…

  3. Kumari Ranasinghe said, on පෙබරවාරි 28, 2013 at 12:10 ප.ව.

    Oya kiwwa vidiyatama mamath kathandara hadala kiwwa malli nida ganna kota:) Habai e hora ahuuna:) moka da wadi hariyak man hadapu kathandara. Maath eya mey ratata ekka awa, ane eth malli apahu lankawata giya army ekata yanna one kiyala. Eth 2000 awurudde April 18 elephant pass yuddedi malli apiwa dala giya, 😦
    Oyage mallita kisima karadarayak nathuwa aphu evi, duk wenna epa:)

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 2:00 ප.ව.

      Kumari Ranasinghe,

      ඔව් කුමාරි, අක්කලා හැටියට අපිට ලැබෙන පඩි නැති කොන්ත්‍රාත්තු තමයි ඕවා!!!

      මගේ තාත්තත් ජපනා බෝම්බ දානවා දැකලා ලංකාවේ ස්වේච්ඡා යුද හමුදාවකට බැඳිලා හිටියා. එයා නම් යුද්ධ කරන්න ගියේ නෑ. ඔබේ මල්ලි රණවිරුවෙක් .. ඔහුගේ සේවයට අපි සදා ස්තූති වන්ත වෙනවා. වෙන කාටවත් ඕන විදියට නෙමෙයි එයාගේ කැමැත්ත වෙනුවෙන් එයා ජීවත් වුන හැටි ගැන හිතන්න. එහෙම අවස්ථාව ලැබෙන්නෙ ලොව ඉතාමත් සීමිත පිරිසකට පමණයි.

      විචාරක කිව්වා වගේ අනිත් සටහනේ දී, මට දුකක් නැහැ. ඔහු හොඳ සොල්දාදුවෙක් යැයි පුංචි ආඩම්බරයක් නම් තියෙනවා!!!

  4. Ravi said, on පෙබරවාරි 28, 2013 at 1:10 ප.ව.

    You are leaving,
    To a far off place,
    The call of duty beckons you there,
    For all of us.

    With all my heart,
    All my wishes,
    Would be with you,
    Wherever you are!!!

    / අන්තිමට ආපහු එන්නෙ කොහුවල හංදියේ කිරි මණ්ඩලේ කඩෙන් සීතල කිරි බෝතල් කාලක් බැගින් සප්පායම් වෙලා. /

    ඒ කාලෙ ඔය රටේ නැති නානාප්පරකාර කිරි ජාති තිබ්බෙ නැහැ නෙව.කෝකටත් තිබ්බෙ ජාතික කිරි මණ්ඩලේ එව්ව විතරයි.ඒකෙ චොක්ලට් කිරි එක ගැන වෙන්නැති අරුණි ඔය කියන්නෙ..හප්පා…පුදුම රහක්..ඊයම් කොලේකින් කට වහල තිබ්බෙ..

    ආය පාන් ගෙඩියක් විතර අයිස් ක්‍රීම් එහෙකුත් තිබ්බ . Family Block කියල කිව්වෙ. අපේ ගෙදර ඒ දවස්වල ෆ්‍රිජ් එකක් තිබ්බෙ නෑ. මාසෙකට සැරයක් පඩි ගත්තම අම්ම සල්ලි දෙනව එයිං එකක් ගේන්න. හොඳ කස්ටමර්ල නිසා අපිට අයිස්ක්‍රීම් එක රිජිෆෝම් පෙට්ටියක දාලමයි දෙන්නෙ. මට තමයි ඔය අයිස්ක්‍රීම් එක ගෙදරට අරං එන මහාර්ඝ සහ භාරදූර රාජකාරිය නිල බලයෙන්ම පැවරිලා තිබ්බෙ පවුලෙ වැඩිමලා හැට්යට. ඕක ගෙනල්ල වඩා හිඳුවල තියනව අපෙ සාලෙ තිබ්බ කැබිනට් එක උඩ. රෑට කාල ඕක කාගන්නකල් ඕකෙමයි අපි ඔක්කොගෙම සිහිය. 🙂

    ආ. තව එකක්….ඒ රෙජිෆෝම් පෙට්‍රල් වල දාල දියකලාම හැදෙනව මරු ගම් එකක්. ආය ඇලෙව්වොත් ඇලෙව්වම තමයි…

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 2:15 ප.ව.

      Ravi,

      ඉංග්‍රීසියෙන් ලිව්වට ස්තූතියි රවී. මලයාට දැන් සිංහලෙන් කියවගෙන යද්දී මොකක් ද කියවන්නෙ කියලා අමතක වෙනවාලු!! හැබැයි ඌට ඒ කාලෙත් සිංහල හරියාකාරව පුලුවන් කෙනෙක් නෙමෙයි. සිංහල නවකතාවක් ජීවිතේට දැකලා ඇත්තෙ මගේ අතක තියෙනවා දැක්කා නම් විතරයි වෙන්න ඕන!!!

      ඔය තියෙන්න ඒ කිරි බෝතල් වල රහ මතකයක්!!! මම නම් බිව්වෙ අනිත් රසය: වැනිලා දාපු එක, මට මතක හැටියට. ඊයම් කොල එකතු කරලා කොස්ටික් සෝඩා දාලා බැලුම් පුරවලා උඩත් යැව්වා .. ඒ කාලේ ඉතින් ඩොල්ෆින්ලාට ඒ හුළං ගිහින් වැටෙන බැලුම් බෝල වලින් වෙන අනතුරු ගැන දන්නෙ නැහැනේ. අපිත් රෙජිෆෝම් වලින් ගම් වැඩෙත් කරලා තියෙනවා.

  5. දූපත් said, on පෙබරවාරි 28, 2013 at 1:57 ප.ව.

    පොඩි මල්ලී, තමුන් දිවි හිමියෙන් රකින්නට පොරොන්දු දුන් රටට සේවය කිරීම වැදගත්. පරිස්සමින් ගොහින් එන්ට. හැබැයි ඇෆ්ගන් නොවේ ඉරානය පැත්තේ ගොහින් තෙල් ටිකකුත් ඇන්න එන්න පුළුවන් නම් “මෝ ප්‍රොෆිටබල්”. එහෙත් ලගදීම යන්න පුළුවන් වෙයි.

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 2:05 ප.ව.

      දූපත්,

      ස්තූතියි දූපත්. ලුඩ්විග් වොන් මීසස් කියන්නෙ ඔස්ට්‍රියා ජර්මන් අධිරාජ්‍ය වලින් යුද්ධයට යවපු මහා ප්‍රාඥයෙක්. එයා මෙහෙම කතාවක් කියලා තියෙනවා: රට වෙනුවෙන් දිවි පිදුවත් රට වෙනුවෙන් බොරු කියන්න එපා!

      ඉරානය පැත්තටත් ඇමෙරිකන් අයව යවලා වැඩ කරවා ගන්න ද හදන්නෙ දූපත්?!!!

  6. saman said, on පෙබරවාරි 28, 2013 at 6:43 ප.ව.

    ඔය මල්ලිට තියෙනවා අපේ මල්ලිට නැති වාසි ගොඩාක්. . කොච්චර මිනී මැරුවත් යුධ අපරාද වෙන්නනේ නැ..

    • arunishapiro said, on පෙබරවාරි 28, 2013 at 7:25 ප.ව.

      saman,

      මල්ලි සිංහල කොල්ලෙක් නිසා ලංකාවේ හමුදාවේ කියලා ඔයාට වැරදුනා ද?

      අබු ගිරාබ් සිරකඳවුරේ භටයන් සහ අධිකාරී ලත් නිලධාරීන් 17 කගේ සේවය තහනම් කරනු ලැබුවා. භටයන් 11 ක් courts-martial වලින් මිලිටරි සිරකඳවුරට යවනු ලැබුවා. ඔවුන්ව සේවයෙන් නින්දා සහිතව පහ කර යවනු ලැබුවා. චාල්ස් ග්‍රැනර් වසර 10 කටත්, ලින්ඩි ඉන්ග්ලන්ඩ් වසර 3 කටත් සිරගත වූවා. සියළු ඉරාකි සිරකඳවුරු වල commanding officer වූ බ්‍රිගේඩියර් ජනරලා ජැනිස් කාර්පින්ස්කි කර්නල් තනතුරකට පහත් කරනු ලැබුවා. ඒ වැරදි සියල්ල ලෝකයාට දැන ගන්නත් කරපු අයව ලැජ්ජාවට හා නින්දාවට පත් කරවන්නත් අන්තර්ජාලයේ වාරණයකින් තොරව පළ වී තියෙනවා .. මෙතැනින් ගිහින් බලන්න.

      මෙහෙ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ් ට ඉන්පසුව දේශපාලන සහයෝගය අහිමි වෙලා සිය තනතුරෙන් 2006 දී ඉල්ලා අස්වෙන්නට සිද්ධ වුනා.

      බුෂ් පුතාට විරුද්ධව අන්තර්ජාතික නඩු යනවා කියලා ඔහෙට ආරංචි නැද්ද? හිට්ලර්ගෙ යුද්ධෙන් පස්සෙ එහි අපරාධ කරවුන්ට දඬුවම් ලැබුනේ කොච්චර කාලයක් ගිහින් ද කියලා ඕන නම් හොයලා බලන්න.

      ඔබාමා ආණ්ඩුවේ ඇෆගනිස්තාන් මෙහෙයුමේ ජනරාල් ස්ටැන්ලි මැක්ක්‍රිස්ටල් තනතුරෙන් ඉවත් කළා කියලා දන්නෙ නැද්ද?

      ලිබියාවේ දී අපේ තානාපති කෙනෙක්ව මැරුවේ මුස්ලිම් ෆිල්ම් එකක් දැකලා කෝප වෙච්ච මිනිස්සුයි කියලා බොරු කිව්ව හිලරි ක්ලින්ටන්වත් දැන් විශ්‍රාම යවලා කියලා ඔහෙට ආරංචි නැද්ද?

      ඒත් ඔහෙ නම් හිරේට දැම්ම එකම එක්කෙනා යුද්ධෙ දිනන්න කැප වෙච්ච ජනරාල් කෙනෙක් කියලයි ආරංචිය .. ඒකත් හැබැයි ඔහේලට නම් මතක නැද්ද කොහෙද!!!!!

      • sinbuwa said, on පෙබරවාරි 28, 2013 at 11:08 ප.ව.

        http://www.youtube.com/watch?v=35ZDvH_CA20 Oyawage deyak lankawe unanam apita monawa karala tiyeyi da oya ge oya americawe aya ? .
        akka oya udin kiyala tiyenne hanganna berima una dewal walata pudgalika danduwam diimak witarai ( tanaturu walin paha kirmawage) . api me nokarapu dewal walata mun apita me ape anudu wenas karala UN eka gennala loke neti okoma karanna hadanawane .

        Oyage americawa karanne eyalagema yudda aparada hangannama beri unama eyalama eyalatama chuuti danduwamak diiganna eka. Ithin oya ara udin kiyala tiyenne Ameriawa yudda aparada karanne ne oyala hari shook, karath ewata dedi danduwam denawa kiyalane.

        • sinbuwa said, on පෙබරවාරි 28, 2013 at 11:16 ප.ව.

          ewagen wedak ne ithin akkage malli ayya parrissamen gihin ey .

        • arunishapiro said, on මාර්තු 1, 2013 at 5:44 පෙ.ව.

          sinbuwa,

          ඉරාකය ගැන කළින් ලියා තියෙන නිසා ඒ ගැන ආයේ ලියන්නෙ නැහැ. ජෝර්ජ් බුෂ්ට විරුද්ධව රට ඇතුලත හා රටෙන් පිටත නඩු තවමත් විවෘත ව පවතින ඒවා. මගේ එකම බලාපොරොත්තුව ලාන්ස් ආම්ස්ට්‍රෝන්ගේ පදක්කම් ගැලවුනා වගේ, ඔහුගෙන් වන්දි ඉල්ලනවා වගේ බුෂ් පුතාටත් කවදා හෝ උසාවියක පෙනී සිටින්න සිද්ධ වේවි කියලයි. රෙගුලාසියක් ගෙනැවිත් රටේ ව්‍යවස්ථාවට සහ ලෝක සම්මුති වලට පටහැනිව කටයුතු කළ අයෙක්ට තම වැරදි වලින් ගැලවෙන්නට බැහැ. ලංකාවෙයි ඇමෙරිකාවෙයි ලොකුම වෙනස අපිට මේවා ගැන ප්‍රසිද්ධියේ කතා කරන්න, පොත් ලියන්න, නීතිය හා ව්‍යවස්ථාව ආරක්ෂා කරගන්න ප්‍රසිද්ධියේ ම ඒකරාශී වෙන්න, ආණ්ඩුවට තමන්ගෙ නමින් ම පෙත්සම් යවන්න, ජනාධිපතිට රටේ ව්‍යස්ථාව වෙනස් කරලා තව දුරටත් බලයේ ඉන්නට ඉඩ නොදෙන්න, තවම නිදහසක් තියෙනවා.

          ඇමෙරිකන් සොල්දාදුවන් ලෝක සම්මත යුද නීති කඩනවා නම්, (ඔවුන්ම පනවා ගන්නා රෙගුලාසි ගෙනැවිත් හෝ) එවිට ඇමෙරිකානුවන්ම තමයි මුලින් ම ලෝකයට ඒවා හෙළි කරන්න ඉදිරියට එන්නේ. ඉරාක යුද්ධයට ඇමෙරිකාව ගියේ ලෝකෙ හැම පැත්තකින්ම ආපු මාධ්‍යවේදීන් සමඟ බවත්, ඔවුන් පැය 24 ම වාර්තා ලෝකයටම එකවර සැපයූ බවත් අමතක නොකරන්න. යුද්ධයක් අවසන් වෙලත් ලංකාවේ තවම ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය නැතිව සිරකඳවුරු වල ඉන්න කාටවත් කතා කරන්න ලංකාවේ අයෙකුට පවා බැහැ නේද?

          පුද්ගලික දඬුවම් නැතිව පුද්ගලික අය කරන වැරදි වලට වෙන මොන දඬුවම් ද දිය යුත්තේ? ඇමෙරිකන් සමාජයේ හැමෝම ඒ අපරාධ අනුමත කරලා නැහැනේ. තනතුරු වලින් පහ කිරීම විතරක් නෙමෙයි සිරදඬුවම් දුන්න බව ඇයි කියවන්න අමතක කරන්නෙ?

          //අපි මේ නොකරපු දේවල් වලට// ඒක සත්‍යයක් ද අසත්‍යයක් ද යන්න ලංකාවේ ආණ්ඩුවත් ඔවුන්ට ණය ආධාර දෙන රටවල අයත් විසඳා ගනීවි.

          1959 සිට කියුබාවේ බලයේ ඉන්න කැස්ත්‍රෝ සහෝදරයන් වගේ බටහිර රටවල් වලින් ණය ආධාර ඉල්ලන්නෙ නැත්නම් හැමෝම බැන බැන විතරක් හිටියි උන්ගෙ රටේ මිනිස්සුන්ව උන්ගෙ ආණ්ඩුව මරණවා කියල. ඒත් එහෙම නොකරන බව පෙන්වන්නෙ නැතිව පිටින් ණය ආධාර ගත හැක්කේ දැනට චීනයෙන් පමණයි. හැබැයි චීනයේ ද ආර්ථිකය නැඟලා ගිය වේගය අඩු වෙලාලු. කැස්ත්‍රෝලාට රුසියාවෙන් ආධාර ලැබීම 90 ගණන් වල දී නැවතෙද්දී (රුසියාව බංකොළොත් වෙච්ච නිසා) තව ටික දවසකින් වෙනෙසියුලාවේ චැවේස් ගැන යම් තීරණයක් වෙනෙසියුලා ආණ්ඩුව ගනිද්දී (චැවේස් රෝගී නිසා) එහෙන් ලැබෙන තෙල් සහන අඩු වෙද්දී, කියුබාව දැනට පත්වෙලා ඉන්න අසාර්ථක රාජ්‍ය තත්වයෙන් ගොඩ එන්න බටහිර ණය ආධාර නැතිව නොහැකි වේවි. රාවුල් කැස්ත්‍රෝ යුරෝපීය හමුවකට ගියත් ඵලක් වූයේ නැහැ. ඇමෙරිකන් සම්බාධක (මුදල් දෙනවා නම් පමණයි අපි කියුබාවට බඩු විකුණන්නේ, ණයට විකුණන්නේ නැහැ සමහර රටවල් වලට වගේ) වල එක කොන්දේසියක් තමයි කැස්ත්‍රෝ පවුලේ අයෙක් කියුබාවේ පාලකයෙක් වෙද්දී කියුබාවට ඇමෙරිකන් ණය නොදෙන බව. කියුබාවේ අයට පුද්ගලික දේපල අයිතිය ආපහු දෙන්න පටන් ගත්ත ද, තමන් කැමති ව්‍යාපාරයක් පටන් ගන්න වගේ, ඔවුන් ආණ්ඩුවට උදුරා ගන්නට හැකිනම් කුමකට ද ව්‍යාපාරයක යෙදෙන්නෙ කියලා උත්සාහයක් ගන්නෙ නැහැ. ඉතින් වෙන කරන්න විකල්පයක් නැති නිසා රාවුල් කැස්ත්‍රෝ වයස 86 දී විතර වගේ විශ්‍රාම යන්නට (තව වසර 5 කින්) තීරණය කරලා තියෙන බව පසුගියදා ප්‍රසිද්ධියේ දැන්වූවා.

          තම රටේ නායකයා වැරදි කරනවා නම්, එයාව හදා ගත යුත්තේ හෝ එයාව බලයෙන් පහ කළ යුත්තේ ඒ රටේ පුරවැසියන්. නැත්නම් රුසියාවට, චීනයට, කියුබාවට හා අන්තිමේ දී ලෝකේ හැම රටකටම සිද්ධ වෙන දේ (අද ඇමෙරිකාවට සහ යුරෝපයට පවා සිද්ධ වී ඇති ආර්ථික අවපාතය) එකම ආකාරයකින් දිග හැරෙන්නෙ. දුක් විඳින්නේ නායකයන් නෙමෙයි රටේ පුරවැසියන්.

      • Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 1, 2013 at 3:54 පෙ.ව.

        මේ උත්තරෙන් පස්සේ අපේ අය පිළිතුරු දෙන තාර්කික ක්‍රමයක් තියනවා. — අරුණි ශපීරෝ විසින් ඉතිරිය කපා හරින ලදි.

        මේක මම පවත්වා ගෙන යන අඩවිය නිසා ශිෂ්ඨ සමාජයකට නුසුදුසු තර්ක දාන්න ඉඩක් දෙන්නේ නැහැ. -අරුණි ශපීරෝ

  7. Alchemiya said, on මාර්තු 1, 2013 at 11:28 පෙ.ව.

    මට එක ප්‍රශ්නයක් තියෙනවා.
    ඔයාලා ඉපදුනේ ලංකාවෙ – හැදුනෙ වැඩුනෙ ලංකාවෙ – ඉගෙනගත්තෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ බදු මුදල්වලින්.. නමුත්, ඇමරිකාවට ආවට පස්සෙ මව්බිම විදියට වඳින්නෙ පුදන්නෙ ඇමරිකාව. (ලංකාවෙ දේශපාලනඥයො අවංක නැතුව ඇති. ඇමරිකානු දේශපාලනඥයොයි කියලා අමුතුවෙන් අවංක නැහැනෙ..) මේක හරිද ? මව්බිම කුමක්ද ?
    අපි කොච්චර පණ දාගෙන ඇමරිකන් වෙන්න හැදුවත්, උන්ට අපි තවත් එක ඉන්දියානුවෙක් විතරයි. මම හිතන්නෙ මගෙන් ඇමරිකාවට වෙන්න තියෙන සේවයට වඩා වැඩි සේවයක් ලංකාව වෙනුවෙන් කරන්න පුළුවනි. දියුණු රටක් දියුණු කරන්න දඟලනවට වඩා දියුණු වෙන රටක තත්ත්‍වය ඉහළ දාන්න උත්සාහ කරන එක වටිනවා කියලා මට කියලා දුන්නෙ මගේ ගුරුවරයෙක්… මම හිතන්නෙ ඒ මනුස්සයගෙන් ඉගෙන ගත්ත විෂය කරුණු වලට වඩා මම ඉගෙනගත්ත ලොකු පාඩමක් ඒක…

    • arunishapiro said, on මාර්තු 1, 2013 at 12:19 ප.ව.

      Alchemiya,

      //ඉගෙනගත්තෙ ලංකාවෙ මිනිස්සුන්ගෙ බදු මුදල්වලින්//

      ලංකාවේ අනිත් සෑම පුරවැසියෙකුටම තිබිච්ච මාර්ග වලට අමතර දෙයක් අපිට ලැබුනේ නැහැ. ලංකාවේ පාලක පංතියේ හා ඔවුන්ගේ ගැත්තන්ට ලැබිලා තිබුණ දේවල්ට වඩා නම් බෙහෙවින් අඩුවෙන් දේවල් තමයි අපිට ලැබුනේ!!!! ලංකාවේ සිටිය දී අපි විතරක් බදු නොගෙවා බදු ගෙවපු අයගේ මුදල් වලින් ඉගෙන ගත්තා කියලා ද ඇල්කෙමියා මල්ලි හිතන්නෙ? එහෙනම් ඒක වැරදියි. මමත් මල්ලිත් දෙදෙනාම ලංකාව තුල පුද්ගලික අංශයේ රක්ෂාවල් කරපු අය හැටියට ඉතා ළාබාල තරුණ කාලයේ දී පටන් අනේක ආකාර වලින් බදු ගෙවලා තියෙනවා. රස්සාවල් නොමැතිව එදා රටේ හිටිය අයට වඩා වැඩියෙන් පුංචි පුංචි රස්සාවල් කරපු අපි අනික් අයට වඩා වැඩියෙන් බදු ගෙවා තියෙනවා කිව්වොත් නිවැරදියි. කුඩා කාලයේ පටන් භාණ්ඩ හා සේවා පරිභෝජනය කරපු අය හැටියටත් අපි බදු ගෙවලා තියෙනවා. අපේ දෙමව්පියන් ද ඔවුන් ඉපැයූ හැම සතයකටම ගෙවිය යුතු යම් බද්දක් ඇත්නම් එයත්, පරිභෝජනය කරපු හැම වෙළඳ භාණ්ඩයකටම නිසි බදු ගෙවපු උදවිය. ලංකාවේ වෙනත් පුරවැසියෙකුට ගෙවන්න වෙච්ච යම් බද්දක් ඇත් ද ඒ හා සමාන ආකාරයෙන් ම අපිත් බදු ගෙවා තියෙනවා. ඒ නිසා අනුන්ගේ බදු මුදල් වලින් අපි ඉගෙන ගත්තා කියන එක හරියට අපි එදා ලංකාවේ මිනිස්සුන් ගෙන් හිඟා කෑවා කියනවා සමාන වැරදි අර්ථ කථනයක්.

      හැබැයි ඔයා හිතන විදියට හිතුවොත් නම් සිරිමාවෝ ආණ්ඩුව කාලයේ ලංකාවේ මිනිසුන්ට බදු ගෙවන්න තියා කන්න බොන්න වත් සල්ලි තිබ්බෙ නැති හින්දා වැඩියෙන්ම ලංකාවට ආධාර ලැබුනේ ඇමෙරිකාවෙන්!!!! එහෙම බලද්දී නම් අපි පරිහරණය කරලා තියෙන්න ඇත්තෙ වැඩියෙන් ඇමෙරිකන් බදු ගෙවන ජනතාවගේ මුදල්!!!!!

      ඇමෙරිකාවට වඳිනවා කියල කියන්නෙ ඔයා. මම නම් ඉඳ හිටලා හරි වඳින්නෙ අම්මාට විතරයි. ඇමෙරිකාව මම ජීවත්වෙන්න තෝරාගත්ත දේශය. ජීවත්වෙන තැනක් කියන්නෙ වැඳිය පිදිය යුතු තැනක් නෙමෙයි. මම ඇමෙරිකාව ජීවත්වෙන්න යැයි තෝරාගත්තේ එහි සංකල්පය වන ඇමෙරිකන් උත්කෘෂ්ටයට නොහොත් පුද්ගලයාගේ නිදහස හා දේපල ආරක්ෂාවට බිහිවෙච්ච ප්‍රතිපත්ති මාලාවට කැමති නිසයි. ඒ ප්‍රතිපත්ති මාලාව ආරක්ෂා කරගන්න පණ වුනත් පූජා කරන්න කැමතියි. මොකද ප්‍රාණයක් තිබිලා වැඩක් නැහැ නිදහසක් නැත්නම්. Give me Liberty or give me death, කියලා පැට්‍රික් හෙන්රි කිව්වා කියලා දැනගන්නට ඉස්සර ඉතා ඈත අතීතයක පටන් මම එය අතිශය වැදගත් වූවක් බව දැඩි සේ සැලකූ අයෙක්. ඇමෙරිකාව මට ගැලපෙන නිසා මම ඇමෙරිකාවට කැමති වුනා. ඒ හා අහලකින් යන්නවත් මම අගයන නිදහස ඇති රටක් වෙන ලෝකෙ නැති නිසා මා ජීවත්විය යුත්තේ කොහේ දැයි යන්න ගැන කිසිම අවුලක් නැහැ මට -මෙයයි මගේ නිවහන.

      ඇල්කෙමියා මල්ලි “ඇමෙරිකන්” යන්න කුමක් දැයි මෙච්චර කාලයක් ඇමෙරිකාවේ වාසය කළත් හඳුනාගෙන නැතිවීම ගැන කණගාටුයි. මම කිසිම විටෙක “ඇමෙරිකන් වෙන්න” කියලා අමුතු උත්සාහයක් ගෙන නැහැ. මම ඉන්නෙ අරුණි විදියට. මොකද බලාගෙන යද්දී මම ලංකාවේ හිටිය කාලෙත් ඉඳලා තියෙන්නෙ ඇමෙරිකන් උත්කෘෂ්ටය අගය කරමින් ඒ විදියටයි.

      අනිත් අය අපිව දකින හැටි වෙනස් කරන්න පුළුවන් ජගතෙක් ගැන කිසිදාක අහලා නැති නිසා කිසිම දවසක එයට උත්සාහයක් ගන්න මම කාලේ නාස්ති කරලත් නැහැ.

      //මම හිතන්නෙ මගෙන් ඇමරිකාවට වෙන්න තියෙන සේවයට වඩා වැඩි සේවයක් ලංකාව වෙනුවෙන් කරන්න පුළුවනි.// එය ඇල්කෙමියා මල්ලි හිතන විදිය සහ පතන විදිය. ජයෙන් ජය මල්ලි, ඔබට ඒ උත්සාහයට දොරටු සියල්ල පහසුවෙන් විවෘත වේවා!

    • Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 1, 2013 at 1:06 ප.ව.

      //අපි තවත් එක ඉන්දියානුවෙක් විතරයි//
      මොන පිස්සුද අල්කෙමියා රට පල්ලෙහා අමු සුද්දෝ ඉන්න පැති වල ඉන්දියන් කියන්නෙත් නැහැ අපිත් ඒරැබ් ම තමයි. දකුණේ තනි සුදු ඇමරිකන් සුදු මහත්තුරු ඉන්දියන් සහ අරාබි අතර වෙනසත් ඕනෑකමින්ම දකින්නෙ නැහැ.

      • arunishapiro said, on මාර්තු 1, 2013 at 1:13 ප.ව.

        Uditha,

        උතුරේ ජීවත්වූයෙමි. ඇමෙරිකාව මැද ජීවත්වූයෙමි. කැලිෆෝර්නියාවේ ජීවත්වූයෙමි. දකුණේ ජීවත්වූයෙමි. දැන් ඊසාන දිග වෙරළබඩ ජීවත්වෙමි. ලංකාවේ මිනිස්සුන්ට තියෙන තරම් හම ගැන හිත් රුදාවක් තියෙන ඇමෙරිකානුවන් මට නම් කිසිදා මුණ ගැසී නැත. 😀 සමහර විට මා ඇමෙරිකන්කාරයා වගේම හිතන නිසා ඔවුන්ට මගේ හමේ පාට පේන්නේ නැතිවා වන්නට ද ඇත!!!!

        • Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 2, 2013 at 2:49 පෙ.ව.

          හමේ පාට පේන්නේ නැතිවා නොවෙයි අරුණි ඒක තමයි ඔයා වහන්න හදන ඇත්ත ,ඔයා ගේ ක්ෂිතිය ඇමරිකාවේ මිලියන ගානක් මිනිස්සු අපේ හමේ පාට තියන අය ඉන්දියානුවන් විදියට දකින්නෙත් නැ.ඉන්දියානු වෙනස දන්නෙත් වෙරළබඩ නිව් යෝර්ක් හරි බ.වෙරළබඩ ආශ්‍රිත නගර අපේ අය වැඩිපුර ගැවසෙන පළාත් වල සුද්දෝ සහ උගත් අය හරි ඇකඩමික් සුළුතරය විතරයි.. ඔයා හරියට පාරට බැහැල නෑ. නිව්යෝර්ක් වල පවා ශ්‍රී ලාංකිකයන් අරාබි ජාතිකයන් ලෙස කියන නාකි සුද්දෝ ඕනෑ තරම් ඉන්නවා. මුනට කියන්නේ නැති උනාට ඒ අය අතර කතා කරන කොට අර ඒරැබ් ගයි ඒරැබ් වුමන් හරි කියල අපිවත් හඳුන්වන අය මම ඕනෑ තරම් දැකල තියනවා. දකුණු පැත්තේ රට මැද කවුන්ටි පිටින් කියන්නම් ඕනෑ නම් අපිව සත පහකට ගනන් ගන්නේ නැති මිනිස්සු ඉන්න. එහෙ ගියාම ඔයා කොච්චර නැහැයි කියල හිත සනසගන්න හැදුවත් ඔයයි සුද්දයි එහේ පාරේ මිනිස්සු දකින්නේ වයිට් ගයි මැරිඩ් ටු එරැබ් වුමන් තමයි.

          • arunishapiro said, on මාර්තු 2, 2013 at 8:36 පෙ.ව.

            Uditha,

            මේක ඇමෙරිකාව ගැන ටොක්විල් ලියද්දී, සිවිල් යුද්ධයට පෙර ලින්කන්-ඩග්ලස් විවාද වල දී මතුවුන, මෑතක දී ඔබාමා විසින් ද මැතිවරණය දිනන්නට පාවිච්චි කරන්නක්. ඒකත් ඉතින් අයෙක් තම පාරභෞතික සිහිනය අනුව දකින සහේතුක දැක්ම. මම ආශ්‍රය කරලා තියෙන්නේ කැම්පස් ප්‍රජාව පමණක් නෙමෙයි. ඇමෙරිකාවේ හැම පැත්තකටම වගේ (ටෙක්සාස්, ඇරිසෝනා, ඇලස්කා හැරෙන්නට) ගිහින් තියෙන මම ව්‍යවසාකයන්, ගෘහණියන්, ක්‍රීඩකයන්, නර්තන කණ්ඩයාම්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්නා අය, ගොවියන් යනාදී අනේක තරාතිරම් වල අය සහ අනේක වයස් වල ඉන්නා අය එක්ව අනේක විධ සිවිල්, ව්‍යාපාරික, අධ්‍යාපනික හා සමාජ සේවා මෙහෙයුම් වල යෙදී තියෙනවා. හැම ජාතීන් වර්ගයක්ම නියෝජනය කරන හා එක්වී සමීපව යම් ඉලක්ක කරා යන්නට සමත් වෙලා තියෙනවා. බාල මහළු හා අධ්‍යාපනයක් ඇති නැති (ඇපලේචියන් කඳුකරයේ වැසියන් වැනි) සියළු වයස් වල ඉන්නා අය හා එකතු වී වැඩ කරලා තියෙනවා. පුදුමයක් ඒත් ඇත්ත, විවිධ දේශපාලන පක්ෂ නියෝජිතයන් සමඟ ද එක්වී යම් ඉලක්ක සාර්ථක කරගන්නට සමත් වී තියෙනවා. මගේ අත්දැකීම් එක ජනතා කොටසකට සීමා වූ ඒවා නොවේ. 1989 සිට 2013 දක්වා වූ ඇමෙරිකාවේ ජීවිතයේ දී මගේ අත්දැකීම මට ඔප්පු කර ඇත්තේ ලෝකයේ වෙනත් කිසිම රටකට වඩා මිනිසා කවුද යන්නට මිස පිටින් පෙනෙන තත්වයන් දැකලා කළින්ම තීරණයක එල්බ ඉන්නෙ නැති එකම ජාතිය ඇමෙරිකන් බවයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: