අරුණි ශපීරෝ‍ වෙතින්

අශෝක හඳගම ගේ සිහිනය සැබෑ වුනොත්?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 2, 2013

Asoka Handagama

වැටී ඇති ලංකාවේ සිනමා කර්මාන්තය නඟාලන්න ආණ්ඩුවේ සංවර්ධන වෑයමක් හැටියට ජාත්‍යන්තර සිනමා උළෙලක් සංවිධානය කිරීම ගැන සිහිනයක් පසුගිය දවසක මහා බැංකුවේ මාධ්‍ය සේවයේ අධ්‍යක්ෂක මගේ සුමිතුරා අශෝක හඳගම විසින් කළ යෝජනාව කියැවීමි. හඳයාගේ සිහිනයක් සැබෑ නොවේවා යැයි මා පතන මුල්ම අවස්ථාව මෙයයි.

“ආණ්ඩුව යනු සියල්ලන්ම අනිත් සියල්ලන් ගේ ම වියදමෙන් ජීවත්වෙන්නට උත්සාහ දරනා ශ්‍රේෂ්ඨ ප්‍රබන්ධයකි.” Government is the great fiction, through which everybody endeavors to live at the expense of everybody else. – Frédéric Bastiat, French Economist (1801-1850)

ධනවාදය කියන්නෙ අනුන් ගේ වස්තු සම්පත් අවදානමට ලක් කිරීම නෙමෙයි. ධනවාදය යනු තමන් ගේ කිරිදෙනුන් දෙදෙනා ගැන තමන් ගන්නා අවදානමෙන් තමන්ගේ කිරි පට්ටිය වැඩි කර ගැනීමයි. ඉතින් මේ ජාත්‍යන්තර සිනමා උළෙලේ සිහිනය සැබෑ වීමෙන් පරාජය වෙන්නේ මුළු රටම.

ඒ කොහොම ද කියා මුලින් ම බැස්ටියාට් ඉදිරිපත් කළ සංකල්පයක් වූ “පෙනෙන දැය සහ නොපෙනෙන දැය,” ලියා පැහැදිලි කරන්නම්.

“අර්ථ ශාස්ත්‍රය අංශයේ දී, යම් ක්‍රියාවක්, යම් හැදියාවක්, යම් ආයතනයක්, යම් නීතියක්, උප්පත්තිය දෙන්නේ එක විපාකයට පමණක් නෙමෙයි. විපාක ගණනාවකට ය. මේ විපාක ගණනාවේ පළමු වැන්න පමණක් ආනන්තරික වූවයි. එය සමකාලික ලෙසින් එහි හේතුව සමඟ විද්‍යාමන ව පවතින නිසා අපිට දකින්නට හැකි වූවයි. අනිත් විපාක එකින් එක දිග හැරෙන ඒවාය. ඒවා අපිට දකින්නට නොහැකියි.

හොඳ හා නරක අර්ථ ශාස්ත්‍රඥයෙකු අතර මෙය තමයි සම්පූර්ණ වෙනස දක්වන තැන. අයෙක් සැලකිල්ලට ගන්නේ පෙනෙන ප්‍රතිඵලය පමණයි. අනෙක් එක්කෙනා දකින්නට හැකි වූවත්, දැකිය යුතු අවශ්‍යතාවයෙන් ඇති වූවත් යන දෙකම සැලකිල්ලට ගනියි. දැන් මේ වෙනස දැවැන්තය. මන්ද හැම විටම සිද්ධ වන්නේ ආනන්තරික වූ ඵලය ඉතා සතුටුදායක වන නිසාය. එහෙත් අවසන් ඵලය මාරාන්තිකය. එහි විලෝමය ද එසේම වෙයි. ඉතින් එයින් කියැවෙන්නේ නරක අර්ථ ශාස්ත්‍රඥයෙකු වර්තමානයේ දී කුඩා හොඳක් හඹා යද්දී, එය පසුපසින් විසල් නරකක් හඹා එන බවයි. සත්‍ය අර්ථ ශාස්ත්‍රඥයෙකු දැනට පවතින කුඩා නරකක් අවදානමට ලක් කළ විට එය පසුපස විසල් හොඳක් හඹා එන්නේය.

මෙය සොඛ්‍යය, කලා සහ සද්ගුණයන් වල දී ද දැකිය හැකියි. හැදියාවේ ඇති පළමු ඵලයකින් ලැබෙන රස වැඩි වෙද්දී එහි පසුපස එන විපාක තිත්ත බවින් වැඩිය. උදාහරණ ලෙසින් ගන්න සල්ලාලකම, කුසීතකම, නාස්තිය. ඉතින් දැනට පෙනෙන ඵලය පමණක් දකින්නට හුරු වී ඇත්තා, නොපෙනෙන දේවල් දකින්නට හැදියාවක් වර්ධනය කරගෙන නොමැත්තා, ඔහු මාරාන්තික හැදියාවට කැමැත්තෙන් නොව ගණන් හදා බලා ම ඉදිරිපත් වෙයි.

මිනිස් වර්ගයා ගැන වූ දැඩි දොම්නස් ඇතිකරන ස්වභාවයක් මෙයින් පැහැදිලි කෙරෙයි. මිනිස් වර්ගයාගේ තොටිල්ල වටා මෝහය පැතිර යද්දී, ක්‍රියාවන් තීරණය වෙන්නේ පළමු ප්‍රතිඵලය පමණක් දැකීමෙනි. එහි පළමු අවධියේ දී දැකිය හැකි වූව පමණක් දැකීමෙනි. අනෙක් ඒවා සැලකිල්ලට ගැනෙන්නේ කාලයක් ඉක්ම ගියාම පමණි. මේ පාඩම කියා දෙන්න මිනිසාට අත්දැකීම සහ දුර දක්නා නුවණ යනුවෙන් වෙනස් ආකාරයෙන් වූ උපදේශකයන් දෙදෙනෙක් පිහිටට එයි.

අත්දැකීම එය කියා දෙන්නේ ඉතා සාර්ථකව ය. එහෙත් කියා දෙන්නෙ ඉතා නපුරු ලෙසකිනි. එය අපේ ක්‍රියාවේ විපාක ගතට දැනෙන ලෙසින් කියා දෙයි. ගින්නෙන් පිළිස්සෙන බව අත්විඳින්නේ නැතිව එහි දී අපිට පාඩම ඉගෙන ගන්නට නොහැකියි, මන්ද අවසාන ප්‍රතිඵලයේ දී අපිව පිළිස්සීමට ලක් වී තිබෙන නිසාය. මේ රළු ගුරුවරයාට වඩා මා කැමැත්තේ සුමුදු ගුරුවරයාය. එනම් දුර දක්නා නුවණයි. එය පැහැදිලි කරන්නට අර්ථ ශාස්ත්‍රමය ප්‍රංපචයක් මා තෝරා ගනිමි.”

එහි දී ෆෙඩරික් බැස්ටියාට් ඉදිරිපත් කරන්නේ මා කළින් මේ අඩවියේ දී ලියා ඇති කැඩුණු ජනේලයේ දුර්මතයයි.

හඳයාගේ යෝජනාව කැඩුණු වීදුරුවේ දුර්මතය කියාපාන තවත් එක උදාහරණයකි.

කඩා වැටී ඇති ක්ෂේත්‍රයක් ප්‍රතිසංස්කරණය නඩත්තු වැයකි. එය නිෂ්පාදන ආයෝජනයක් නොවේ. ජාත්‍යන්තර සිනමා උළෙලක් පැවැත්වීම නිෂ්පාදන ආයෝජනයක් නම් එහි දී අවදානමට ලක්විය යුත්තේ රටේ සිනමාව නංවාලන්නට හැකි යැයි දුර දක්නා නුවණ ඇත්තවුන්ගේ එකතුවෙන් වෙන පුද්ගලික ආයෝජන වලිනි. ඕනෑම ලාබ උපයන ව්‍යාපාරයක් අවදානමක් ගැනීමක් නිසා එහි දී සාර්ථක වුවහොත් ඔවුන් ලාබ භුක්ති විඳිති. රටේ පුරවැසියන් ද ලාබ භුක්ති විඳිති. අසාර්ථක වුවහොත් ආයෝජකයන් පමණක් අලාභ විඳ දරා ගන්නා අතර පුරවැසියන්ට ලාබ අලාභ නැත.

ඉතින් ඔබ අහන්න පුළුවන් දැන් මහජනතාවගේ මුදල් වලින් ගන්නා අවදානම සාර්ථක වුවහොත් ලාබ ලබන්නේ ද මහජනතාව නොවේද කියා. ඔව්, එසේම අසාර්ථක වුවහොත් පාඩු විඳින්නේ ද මහජනතාව බව අමතක නොකරන්න.

කුෂ්ඨ වලට පැලැස්තර ඇලෙව්වාට වැඩක් නැත. පළමුව කළ යුත්තේ තිත්ත කසාය පානයයි. එවිට ඇතුලත නිරෝගී වී පිටතත් නිට්ටාවට සුව වෙනු ඇත. 😀

හඳයාගේ දේශනය සිංහලට පරිවර්තනය අවසන් කළ සැනින් එය පළකරන්නම්. අනතුරුව එහි දැකිය හැකි දැවැන්ත අර්ථ ශාස්ත්‍රමය දෝෂ පෙන්වා දෙන සටහනක් ලියන්නම්. රෝග කාරකයන් පෙන්වූවාට මදිනේ කසාය කුමක් දැයි නිර්දේශ නොකර. ඒ නිසා ඉක්මණින් නැවත එන්නම්!!!!!

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. Maathalan said, on මාර්තු 2, 2013 at 11:50 පෙ.ව.

    සිනමාවට කෙලවෙලා තියෙන්නේ මාකටින් කියන සංකල්පය නොදන්න නිසයි. අපේ රටේ කළාවත් ලුම්පන් පන්තියට ගිහින් තියෙන්නේ. ඒකත් එක්ක පීනන්න බැරි අය හැලෙනවා. ඒකට අනුගත අය හදන සෝ නැගලම යනවා. ඒවා මෙලෝ රහක් නෑ විතරක් නෙම්යි, ගෙදර ආවම මතකත් නෑ. ගන්න දෙයක් නෑ. මෑත කාලේ බලපු එහෙම සෝ වලින් මට මතක කුවේනි විතරයි, ඒත් කුවේනි නෙමෙයි ඒ නිලිය. හැබයි අවංකවම මට ඒ නිලියගෙ නම මතකත් නෑ. ජාලේ හෙව්වොත් නම් හම්බ වෙයි. ඒත් වැඩක් නෑ. කෙල්ල ලස්සනයඉ, අක්ටින් හොඳයි, ඩාන්සින් හොඳයි, එච්චරයි. හැබයි මේවා බොක්ස් ඔෆීස් කුඩු වෙන්න ගම්බ කරණවා. බුදු සාධුගේ ෆිල්ම් එකත් එහෙමයි. මේවා බලන්නෙ. අපි බැලුවා ඔයාලා තාම බැලුවේ නැද්ද කියන්න විතරයි. සෝ එක බලන්නෙ සෝ එකට. හඳයා මොනවද කලේ, අක්ෂරේට කෙල උනාම, ජීවත් වෙන්න විදූ කරනවා, විදූ වලදි මම හඳයා දකින්නේ නෑ, වැඩිපුර පේන්නේ සෝමේ, හැබයි මාකට් කරන්න පුලුවන්, සින්දුවත් අල්ලලා යනවා, ඊට පස්සෙ ඉනි අවන්, මම හිතන්නෙ නෑ, ඒක අපේ මිනිස්සුන්ට තේරුණා කියලා. ආන්ඩුවේ බූරුවන්ටත් තේරෙන්නේ නැති නිසා ඒකට අවසර දෙනවා, ඒත් ඒක දෙමළු බලන්නෙත් නෑ. දෙමළ නිසා හිංගලයට වැඩකුත් නෑ. සිනමාවෙන් මිනිස්සු හදන්න බෑ. එහෙම හැදිලත් නෑ. හැබයි සිනමාව කරන මිනිස්සු නම් හොඳට හැදෙනවා. මේ ඔක්කෝටම නියම රසිකයා ගැන වැටහීමක් නෑ. දුප්පත් මිනිස්සුන්ට ෆිල්ම් එකක් බලන්න ඒන්න පුළුවන්ද, ටිකට් ගිනි ගනන්. පහසුකම් අන්තිමයි. මම මේ මැතකදි පොළොන්නරුවේ ෆිල්ම් එකක් බැළුවා, මෙළෝ දෙයක් ඇහෙන්නේ නෑ. බාගයක් යද්දි එලියට ආවා, නැත්නම් ඩී හයිඩ්‍රේට් වෙලා මැරෙනවා. කොළඹ තියෙන සුපිරි හෝල් වලට යන්න දුප්පත් මිනිහට සල්ලි නෑ. දුප්පත් මිනිහට යන්න තිබුන ඒවා ඔක්කෝම කුඩු කරලා, ඇඩම්ස් එකක් බලන්නවත් තැනක් නෑ. ඔය සම්භාව්‍ය හා වානිජ දෙගොල්ලන්ටම මේවා පේන්නේ නෑ. මොකො එයාලා මොන ක්‍රමෙන් හරි ගොඩ යනවා. දුප්පත් රසිකයට, විජෙත් නෑ, ගාමිනිත් නෑ, ජෝත් නෑ, ෆ්‍රෙඩිත් නෑ, මාලිනිත් නෑ, ජෝතිත් නෑ, සිනමාවත් නෑ..

    මට මතක් වෙනවා ලස්සන් සෝ දෙකක්,
    සැනසුම කොතනද…?
    අල්ලපු ගෙදර…

    තේරුනාද මන්දා…..?
    අපි දැන් පට්ට හින්දි සෝයි ටැමිල් සෝයි බලනවා අප්පා ගානත් අඩුයි රුපියල් 30.. එකෙකුට නෙමෙයි අනේ පවුලටම…

  2. Naleen Dilruksha said, on මාර්තු 2, 2013 at 11:59 පෙ.ව.

    හඳයා යනු කෑගල්ලේ ඉන්න කාලයේ සිට ම මගේ මිතුරෙකි. අදට ද ඉඳ හිට වලේ දි හමුවන මිතුරෙකි. සංවාද ඇතිකර ගන්නෙකි. විද්වතෙකි. ලාංකිය සිනමාව ටෙලි කලාව වෙනත්ම මානයකට ගෙන ගිය මිනිසෙකි.
    //ජාත්‍යන්තර සිනමා උළෙලක් //
    අමෙරිකාවේ ඉන්න ඔබට මේය අරුමයක් නොවේ.. ඒත් ලංකාවේ ඉන්න අයට මෙය කදිම අවස්ථාවක් නොවෙද? මම වුව බර්ග්මාන් කෘති නරඹා ඇත්තේ මෙවන් සිනමා උළෙල නිසාය.
    එහෙත් ඔබේ ලිපියේ අරථය නොවැටහුනා නොවේ.

  3. Madu said, on මාර්තු 2, 2013 at 2:21 ප.ව.

    මා හටද පොඩි එකතු කිරීමකුත් කළ හැකිය.

    සිනමාවද කියනුයේ එක්තරා කලා කෘතියකි. එය ප්‍රෙක්ෂකයන් වෙනුවෙනි. ප්‍රෙක්ෂකයෝ රටේ/ලෝකයේ ජනතාව වේ. එවන් කෘතියක් නිෂ්පාදනයෙන් එහි නිෂ්පාදකවරු ලාභයක් බලාපොරොත්තු වන බව ඇත්ත. නමුත් එය අංක 1 නොවිය යුතුය. මන්ද, කලා කෘතියේ මෙහෙවර ඔහු අංක 1 ට ගත යුතුය. හොඳ කලා කෘතියක් යනු යථාර්ථය මිනිස් මනසේ සෞන්දර්යාත්මකව පිළිබිඹු කරන්නක් විය යුතුය. (විනෝද කෘතී ආදිය…. හැරුණ විට)
    මා මීට වසර කිහිපයකට පෙර කැලණි සරසවියේ මා හිතවත් සොයුරියන් කිහිප දෙනෙකුගේ විමර්ශනයකට දායක වූවා. ඔවුන් වත්මන් සිනමාව ගැනත්, එම කාල වකවානුවේ තිර ගත වූ “බේරුණ්ඩ පක්ෂියා“ චිත්‍රපටිය ගැනත් විමර්ශනයක් කරනු ලැබුවා. එහිදී කුරුණෑගල ඉම්පීරියල් සිනමාහලේ කළමනාකරු මෙහෙම කතාවක් ද කියුවා.

    “එදා සිනමාව අදට වඩා උසස් මට්ටමක තිබුණා. අද සිනමාව කඩා වැටුණා කියා කෑ ගහුවාට එයට ඔවුන් ද වග කිව යුතුයි. රූපවාහිනිය සිනමාවට යම් බලපෑවක් උණ බව ඇත්ත. නමුත්, සිනමාව ද තමා තමා විසින් නා ගෙන තිබෙනවා. හුදෙක්ම ඔවුන් සිතන්නේ කලාව කලාව පිණීසයි කියා. මා කියන්නේ කලාව මිනිසුන් වෙනුවෙන් විය යුතුයි කියා. ඉස්සර මිනිසුන් චිත්‍රපටියක් බලලා ශාලාවෙන් එළියට යන විට ජීවිතයට ආදර්ශයක් ගැනීමට පුරුදුව සිටියා. නමුත්, අද එවැනි තත්ත්වයක් දැකීම අතිශය විරලයි. චිත්‍රපටියක ප්‍රධාන අරමුණ වී ඇත්තේ ලාභය පිණිස ඕනම දෙයක් පෙන්වීමටයි. සමහර චිත්‍රපටි හුදෙක්ම රූප රාමු විතරයි. කිසිදු හරයක් නැහැ. බොහෝ වේලාවට මේ චිත්‍රපටි කතා කරනුයේ මිනිස් බුද්ධියට නොව, හැඟීම් වලටයි.“

    ඉහත ප්‍රකාශය ඔහුගේම වචනයෙන් නොවූවත්, ඔහු පල කළ අදහස් අනුව සනිටුවහන් කරන ලදී.

    එමෙන් ම අපේ රටේ සිනමා කර්මාන්තය මෙන්ම රැගුම් පාලනය කොයිබටද කියා මා කිව යුතු නොවේ. නමුත් අතළොස්සක් හෝ ඉතා හොඳ නිර්මාණ සහ කලා කරුවෝ ද ඇත….
    ඇමරිකාවේ පවා 1934 දී චිත්‍රපටි සඳහා රජයේ සහභාගිත්වය අනිවාර්ය වූවා. (එයට දෙවැනි ලෝක යුද්ධ පසුබිමත් පාදක විය හැකියි) අදනම් එය දැකිය නොහැකියි. මා දන්නා පරිදි නව රැගුම් පාලන නීති (1935 දී) අනුව ක්‍රියාදාම චිත්‍රපටි සඳහා FBI කොන්දේසියක් ද සම්පූර්ණ කිරීමට ද සිදු වූවා. එය අදට ද වලංගු තත්ත්වයේ පවතිනවා.
    කාල කළමනාකරණයේ අසීරුතාවය හේතුවෙන් මා ඉනි අවන් තවම බලා නැත. එබැවින් ඒ පිළිබඳව කිසිවක් කිව නොහැකිය.

    • arunishapiro said, on මාර්තු 3, 2013 at 9:04 පෙ.ව.

      Madu,

      //ප්‍රෙක්ෂකයෝ රටේ/ලෝකයේ ජනතාව වේ.// ආර්ථික මෙහෙයුමක් සැලසුම් කිරීමේ දී ප්‍රේක්ෂකයා වනාහී මුදලක් ගෙවා විනෝදාස්වාදය මිල දී ගන්නා පමණි.

  4. Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 3, 2013 at 2:16 පෙ.ව.

    බොලිවුඩ් සහ හොලිවුඩ් සිනමාව සමග අපිට තරඟ කරන්න බැහැ. අඩුතරමේ වාණිජ සිනමාකරුවෙක් කියල කෙනෙක් යප්පවන්න ප්‍රමාණවත් වෙළඳපොළක් වත් අපිට නැහැ ඉතින් art house චිත්‍රපට කරන හඳගම කියල සිනමාකරුවෙක් ඉන්න විදියක් නැහැ හඳගම කියන්නේ මහ බැංකුවේ සේවකයෙක් ඒ රස්සාවෙන් හඳගම යැපෙන්නේ. අපිට ලංකාවෙන් පිට වෙළඳ පොලක් නැහැ. එත් හඳයා කොහොම හරි චිත්‍රපට හදන නිසා ලංකාවෙ art house චිත්‍රපටත් තියනවා. වාණිජ චිත්‍රපටි වලිනුත් මුදල් හොයන්න බැරි ලංකාවේ මෙහෙම හරි හඳයා වගේ කතන්දර කියන්නෙක් ඉන්න එකත් ලොකු දෙයක්. වෙළදපොලක් නැහැ ලාභ නැහැ කියල අපි අපිට ආවේනික අපේම කතා කීමට සිනමාව යන මාධ්‍යය භාවිතා නොකළ යුතුද. හොලිවුඩ් කතා සහ බොලිවුඩ් කතා බලල විතරක් විනෝද වෙමුද?
    ලංකාවේ වැටිලා තියෙන්නේ සිනමා කර්මාන්තය විතරක් නොවෙයි. ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නැතිව වැටෙන කර්මාන්ත වැටෙන්න දීල නගින කර්මාන්ත නගින්න දුන්නනම් අපිට වෙන කර්මාන්ත වලින් සල්ලි එන්න ගත්තම ඊට පස්සේ ඒ සල්ලි වලින් පුළුවන් වෙළඳ පොලක් නැතිව උනත් අපේ විනොදෙට අපිටම සිංහල චිත්‍රපට හදාගන්න. හරියට බැංකුවේ රස්සාවක් කරන එක ජිවත්වන මාර්ගය කරගත් හඳගම අමතර දෙයක් විදියට චිත්‍රපට හදනවා වගේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: