අරුණි ශපීරෝ‍ වෙතින්

ශ්‍රී ලාංකික සිනමාවට නව යුගයක්: සිහිනයක් ඉක්මවා -අශෝක හඳගම

Posted in Uncategorized by arunishapiro on මාර්තු 3, 2013

Untitled

සම්පූර්ණ සංවර්ධන සැලසුමක කොටසක් ලෙසින් සිනමා කර්මාන්තය සංවර්ධනය කිරීමේ ක්‍රියාදාමයක්. (මහ බැංකුවේ බැංකු කටයුතු අධ්‍යයන කෙන්ද්‍රයේ දී අශෝක හඳගම විසින් 2013 පෙබරවාරි 28 වැනිදා ඉංග්‍රීසියෙන් පවත්වන ලද මහජන දේශනයේ සිංහල පරිවර්තනයයි.)

මහ බැංකුවේ ඉන්න අපි සිනමාව ගැන සිත් තැවුලකින් ඉන්නේ මන්දැයි සමහර විට ඔබ අතරින් කිහිප දෙනෙක් කල්පනා කරනවා වෙන්නට පුළුවන. එය මහ බැංකුවේ ඉන්න අපිට අදාළතාවයකින් යුතු වේ ද? එය එවැනි කලා නිර්මාණයන් හි යෙදෙන සිනමාකරුවන්ට, විචාරකයන්ට, සිනමා මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට ගෝචර වූ මාතෘකාවක් නොවේ ද? මමත් ඒ ප්‍රජාවට අයිති තමයි.

මම සිනමාව ගැන විවිධ ආකාර වලින් කතාබස් කර තියෙනවා. සිනමාවේ කලාත්මක බව ගැන, සිනමාවේ අන්තර්ගතය ගැන, එහි ආකෘතිය සහ වෘත්තාන්ත විලාසය ගැන, චලන රූප පිටුපස ඇති දර්ශනය ගැන යනාදිය. අද, මගේ අරමුණ වෙනස් වූවක්. අද මම සීමාව කරගන්නේ සිනමාව කර්මාන්තයක් හැටියටත්, එහි අනාගතය ගැනත් කතා කරන්නට පමණයි.

ඉතින් ඒ නිසා, මේක සහමුලින්ම කර්මාන්තයක් පිළිබඳ වූ යෝජනාවක්. සිනමාකරුවෙක් හැටියට මගේ දැක්ම හා එහි ගැටුමක් තිබෙන්න පුළුවන්. එය ඔබ අතරින් කිහිප දෙනෙකු ගේ සිත් කළඹන්නට ද පුළුවන්. ඉතින් කළින් ම ඒ ගැන සමාව ඉල්ලනවා. මේක වැඩිහිටියන්ට පමණයි.

අපේ ආර්ථිකයේ විවිධ අංශ වල සංවර්ධනය ගැන කතා කිරීමේ දී, අපේ අවධානය සාම්ප්‍රදායිකව එල්ල වූයේ කෘෂිකර්මය, නිමැවුම්, සංචාරක සේවය, කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ ව්‍යවසායකය, ගෘහ කර්මාන්ත වගේ ක්ෂේත්‍රයන් ගැනයි. සාම්ප්‍රදායික නොවන ‘විනෝදාස්වාදය’ වැන්නකට අපි මෑතක් වනතුරු එතරම් වැදගත්කමක් දීලා නැහැ.

ජාතික ගිණුම් හදද්දී සිනමාව වැටෙන්නේ සේවා ක්ෂේත්‍රයේ ‘විනෝදාස්වාදය’ නමින් වූ පුද්ගලික සේවා උප ක්ෂේත්‍රයකට. මේ පුද්ගලික සේවා ක්ෂේත්‍රය රටේ මුළු දළ ජාතික නිෂ්පාදනයෙන් 3% කටත් වඩා අඩු වූ ගාණක් තමයි දක්වන්නේ. ලෝකයේ පවතින ඉතාමත් වාසිදායක කර්මාන්තයක් වුවත්, සිනමාව රටේ මුළු ආර්ථික සංවර්ධනයට දායක වෙන්නෙ ඉතා සුළු වශයෙන්. දූරදර්ශී ප්‍රතිපත්ති වලින් මැදිහත් වීමක් නොමැතිකම සහ නොසැලකිල්ල නිසා මේ කර්මාන්තයේ සත්‍යයෙන්ම දියුණු කළ හැකි ප්‍රමාණය කොතරම් දැයි සොයන්නට උත්සාහයක් ගෙන නැහැ.

අපේ අධ්‍යාපන ක්‍රමය ද හැඩ ගැසී ඇත්තේ දොස්තරවරු, ඉංජිනේරුවන්, ගණකාධිකාරීන් යනාදීන් බිහි කරන්නට. හැමෝටම අවශ්‍ය එයින් කෙනෙක් වෙන්නට. ටික දෙනෙක් තමයි එහි ජය අත්පත් කරගන්නේ. අනිත් අය ගුරුවරු හැටියට, කාර්යාල කාර්ය සහායක හැටියට ආණ්ඩුවේ පත්වීම් ලබනවා. මේ කාලේ ගොඩක් ඉංජිනේරුවන් බැඳෙනවා මධ්‍යම බැංකුවට අර්ථ ශාස්ත්‍රඥයන් හැටියට!

කාටවත් ඕනෙ නැහැ සිනමාකරුවෙක්, සංගීතඥයෙක්, සිනමාරූපණයේ වූවෙක්, නවකතාකරුවෙක්, නාට්‍යකරුවෙක් නැත්නම් රංග ශිල්පිනියක් වෙන්නට. මේ දවස්වල එහි වෘත්තීමයවේදී ස්වභාවය නිසා සමහර පාසැල් පිරිමි ළමුන්ට ඕනෑ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙන්නට.

දකුණු කොරියාව, සිංගප්පූරුව, චීනය, පිලිපීනය, මැලේසියාව, එක්සත් ආරබි රාජධානිය, වැනි රටවල් සිනමාව සංවර්ධනය කිරීමේ වැදගත්කම හඳුනාගෙන තියනවා. එහි ශක්‍යතාවය විසල් බව වටහා ගත් පසු එය ඒ රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙලා තියෙනවා. ඉතින්, මම හිතුවා අද කතා කරන්න රටේ මුළු ආර්ථික සංවර්ධනයේ කොටසක් හැටියට සිනමාව සංවර්ධනය කිරීමේ හැකියාව ගැන.

මුලින් ම මම දේශීය සිනමා කර්මාන්තයේ ඵෛතිහාසික පරිනාමය ගැන කෙටියෙන් සඳහන් කරන්නම්. (මම ඒක වැදගත් යැයි සිතුවේ අද ඉන්න සභාව තරුණ විද්‍යාර්ථීන් නිසයි. ඒ අය ඉපදුනේ අපේ සිනමා කර්මාන්තයේ රන්මය යුගය අවසන් වුනාට පසුව.)

ඊ ළඟට මම සාකච්ඡා කරන්නම් සමාජ-ආර්ථික පරිශ්‍රයේ වෙනස්කම් එයට බලපෑවේ කෙසේද යන්න. ගැටළු හඳුන්වා දීලා එහි වර්තමාන තත්වයට එන්නම්. අනතුරුව මම යෝජනා කරනවා අලුත් යුගයක් දියත් කරන්නට ව්‍යුහමය මාර්ගය පෙන්වන අදහසක්.

1898: මෙන්න ආවා චලන රූප කලාව

ශ්‍රී ලංකාවේ සිනමා ඉතිහාසය 19 වැනි සියවසේ අග දක්වා දිව යන්නක්. සහතික නොකරන ලද මූලාශ්‍ර දක්වන පරිදි, පළමු ‘චලන රූප’ ප්‍රදර්ශනය සිද්ධ වූයේ ‘මුදල් ගෙවා නැරඹූ ප්‍රේක්ෂක සභාවකට’ කොළඹ හුනුපිටියේ පිහිටි මහජන ශාලාව නැමති ස්ථානයක දී.

1898 ජනවාරි 8 වැනි දිනය තමයි ඒ. එය සිද්ධ වූයේ පැරීසියේ දී ලුමියේර් සහෝදරයන් විසින් 1895 දෙසැම්බර් 28 වැනිදා චලන රූප දර්ශනයක් ප්‍රථමයෙන් තිරගත කිරීමෙන් වසර තුනක් වැනි සුළු කලකට පසුවයි. ඉන්දියාවේ මාදන් තියටර් කොම්පැණියට ඉන්දියාවේ සිට සිංගප්පූරුව දක්වා සිනමාහල් දාමයක් තිබුණ ඒ කාලයේ දී. ඔවුන් 1913 දී මහජන ශාලාවේ දී එහි පළමු සිනමාහල විවෘත කළා. මේ සිනමාහල පසු කාලයක දී එම්පයර් තියටර් නමින් හැඳින්වුනේ එම ස්ථානයේ දී ම පැවතෙද්දී. අද එය එම්පයර් රෙසිඩන්සීස් පවතින ස්ථානයයි.

1947: එස්. එම්. නායගම් ගේ කඩවුණු පොරොන්දුව -1947 ජනවාරි 21, ආරම්භය

1947 ජනවාරි 21 වැනිදා, ප්‍රථම සිංහල සිනමාව, කඩවුණු පොරොන්දුව, තිරගත වූවා. එය චිත්‍රකලා මූවීටෝන් සමාගමෙන් එස්. එම්. නායගම් විසින් නිෂ්පාදනය කරන ලද්දක්. ඉන්පසුව ශ්‍රී ලංකාවේ සිනමාව ක්‍රමයෙන් කර්මාන්තයක් හැටියටත් කලාවක් හැටියටත් සංවර්ධනය වූවා.

එහි මූල් කාලයේ දී, සිනමා කර්මාන්තය සහමුලින් වූයේ පුද්ගලික හිමිකම් යටතේ. සිංහලෙන් චිත්‍රපටි හැදුනත්, නිෂ්පාදකයන් (සහ අධ්‍යක්ෂකයන්) වූයේ දෙමළ අයයි. බහුල වශයෙන් හැදුන චිත්‍රපටි දකුණු ඉන්දියාවේ සිනමා කතන්දර වල සිංහලකරණය වෙච්ච නැවත-නිෂ්පාදන. 1971 වෙන තෙක් ශ්‍රී ලංකාවේ සිනමාහල් වල තිරගත වූයේ වැඩියෙන් ම විදේශීය චිත්‍රපටි. (60% ක් දෙමළ, 10% හින්දි, 20% ක් ඉංග්‍රීසි, 20% ක් සිංහල)

1972: රාජ්‍ය චිත්‍රපටි සමාගමේ උප්පත්තිය

සත්‍යය ශ්‍රී ලාංකීය වූ සිනමා කර්මාන්තයක් ශ්‍රී ලංකාව තුල දිරිගැන්වීම සඳහා 1971 දී අංක 47 පනත යටතේ, (එවක රාජ්‍ය චිත්‍රපටි සමාගම) ජාතික චිත්‍රපටි සමාගම (NFC) 1972 ජනවාරි 21 වැනිදා පිහිටුවන ලදි.

ඒ සමඟ, වෘත්තීමය සිනමා කර්මාන්තයේ නව යුගයක් උදාවිය. සමර්ථ සිනමා අධ්‍යක්ෂකවරුන්ට/නිෂ්පාදකයන්ට ඔවුන්ගේ තිර පිටපත් හා කුසලතා අනගිත්වය අගැයුම් කිරීමෙන් අනතුරුවත්, අධ්‍යක්ෂකවරුන්, කලාකරුවන් හා තාක්ෂණික අංශයේ අයගේ දැනුම හා සමර්ථ බව තක්සේරු කිරීමෙන් අනතුරුවත්, NFC මඟින් ඔවුනට ණය ලබා දුනි.

NFC මඟින් රටේ නිෂ්පාදනය වූ සියළුම චිත්‍රපටි ප්‍රදර්ශනය කරමින් චිත්‍රපටි බෙදාහැරීමේ කාර්ය භාරය ද බාරගති. පරිස්ථානය හා ඔවුන් සතු උපකරණ සලකා බැලීමෙන් ඒ අනුව සිනමාහල් ශ්‍රේණිගත කරනු ලැබීය.

එහි ප්‍රතිඵලයක් වශයෙන්, කර්මාන්තයේ සංවර්ධනය කිසිකලෙක නොතිබූ ලෙසින් වැඩි විය. එය මැනිය හැකි විය. 1972 ඇතුල්වීමේ ප්‍රවේශපත් මිලියන 30 ක සිට 1979 වෙද්දී මිලියන 74.4 දක්වා ඉහළ ගියේය. රට පුරා පැවති සිනමාහල් 1979 වෙද්දී 359 ක් දක්වා ඉහළ ගියේය. 1972 දී (සිලෝන් තියටර්ස් සහ සිනමාස්) බෙදාහරින පරිපථයන් දෙක විවිධ වර්ග වල චිත්‍රපටි වලට ඉඩ දෙමින් පරිපථ පහක් දක්වා වැඩි කරන ලදි. පස්වැනි පරිපථය කලාත්මක බැවින් ඉතා ඉහළ අගයෙන් යුතු වූවට පමණක් වෙන් කෙරිණ. දේශීය චිත්‍රපටි තිරගත කෙරෙන කාලය 20% සිට 58% දක්වා ඉහළ යන ලදි.

1978 -ආර්ථිකයේ දොරවල් විවෘත වීම

වැසුණු රටේ ආර්ථිකය විවෘත බවට හැරවූයේ 1978 දී ය. වෙනස් වීමත් සමඟ, රටේ ආර්ථික වාතාවරණය ඉතා දැඩි වෙනසකට ලක්විය. මේ ලිබරල්වාදී වූ තත්වයන් යටතේ බොහෝ කර්මාන්තයන් තරඟයට විවෘත වුණි. සිනමා කර්මාන්තයේ විශේෂයෙන් වෙනසක් සිද්ධ වූයේ නැත. NFC රෙගුලාසි යටතේ වුවද නිෂ්පාදනය සහ සිනමා ප්‍රදර්ශනය පුද්ගලික හිමිකම් යටතේ සිද්ධ වුණි. චිත්‍රපටි බෙදා හරින ලද්දේ NFC විසින් පමණකි. මේ සැකැස්ම එවක පැවති තත්වයන් සමඟත්, සිනමාව කර්මාන්තයක් හැටියටත්, ලාබදායී වූවක් ලෙසින් හොඳින් ගැලපුණි.

අනෙක් රටවල් වගේ නොව, රටේ නිෂ්පාදනය වූ හැම චිත්‍රපටියක්ම ප්‍රදර්ශනයට අවස්ථාව සහතික වුණි. අනෙක් කර්මාන්ත සමඟ සසඳද්දී, චිත්‍රපටි නිෂ්පාදනය සඳහා යට කරන ලද මුදල් වලින් සහතික ලෙසින් ලාබ උපයන්නට හැකිවුණි. මේ තත්වය පවතිද්දී, NFC විසින් අලුතින් එන සිනමාකරුවන්ට ‘සුදුසුකම්’ අවශ්‍යකතාව යටතේ ඇතුල්විය හැකි බාධක ලිහිල් කරන ලදි. චිත්‍රපටියක් නිෂ්පාදනය කරන්නට ආ හැම කෙනෙකුටම පාහේ අවසරය හා ණය ලැබිණ.

එහි ආවාරණීය ප්‍රතිඵලය වූයේ වෙළඳපොල ඉල්ලුමට වඩා වැඩියෙන් චිත්‍රපටි පැමිණ, 1982 වෙද්දී ඒවා තිරගත වීමට නිදහස් කරන තෙක් වසර පහක් හයක් පෝලිමේ බලාගෙන ඉන්නට සිද්ධ වීමයි. තමන්ට නරඹන්නට ලැබෙන චිත්‍රපටි වල අනගිත්වය ගැන ප්‍රේක්ෂකයන් තුල වූ විශ්වාසය පහ වී ගියේය.

1972, 1982 පැමිණෙන දුෂ්ටයා රූපවාහිනියයි

රටට 1979 දී රූපවාහිනිය හඳුන්වා දීමත් සමඟ අභියෝගයක් එල්ල වූයේ ‘චලන රූප’ කර්මාන්තය අරක් ගෙන සිටි සිනමාවටයි. ස්වාධීන රූපවාහිනිය (ITN) ආරම්භයත් සමඟ අනතුරුව එන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව පිහිටුවීමෙන් 1982 දී රූපවාහිනිය රට පුරාම ගෙන යන්නට හැකියාව ලැබිණ. රූපවාහිනිය බලපෑම් කළේ රටේ ජීවන විලාසිතාව මහත් වෙනසකට ලක් කරන්නටයි. එයින් දැවැන්ත ‘වීරයා’ ලෙසින් කතානායකයා ගේ රූපය පිළිබිඹුවේ අගය බාල (අඩු) කරන ලද්දේ මැජික් පෙට්ටියේ දිස් වූ ‘සාමාන්‍ය ජීවිතයේ දකිනවාටත් වඩා කුඩා’ පින්තුරයක් දිස් කිරීමෙන් මේ නාලිකා දෙක චිත්‍රපටි පෙන්වීම පටන් ගැනීමෙනි. සිනමාවේ සුවිශේෂිත බව අතුරුදහන් වන්නට පටන් ගැනිණ.

1983 -කළු ජූලිය: සිනමාවට සුනාමිය

1983 ජූලි මාසයේ දී දෙමළ අයට එරෙහිව ජාතිභේදවාදී ප්‍රචණ්ඩත්වයන් පැතිර යෑමෙන් සිනමා කර්මාන්තයට බලවත් පාඩු සිද්ධ විණ. සිනමා කර්මාන්තයේ වූ බහුතරයක් දෙමළ වූ හෙයින්, ඔවුන්ට හිමි වූ දේපල ද කෝලාහල වල දී ඉලක්ක වී විනාශ විණ.

ලංකාවේ විශාලතම චිත්‍රාගාරය (හැඳල පිහිටි විජය චිත්‍රාගාරය) එහි නිම කරන ලද සහ නිමා නොවුනු සිනමා නෙගටිව් පටි සහ සිනමා උපකරණ සමඟින් දැවී අළු වී යන ලදි. දෙමළ අයට අයිති වූ සිනමාහල් විනාශ කරන ලදි. සිනමාහල් සංඛ්‍යාව තුනෙන් එකක් කරා අඩු විය. සිවිල් යුද්ධයේ ආරම්භයත් සමඟ දකුණේ පටන් ගත් දේශපාලන නොසන්සුන්බවත් නිර්මාණය කළේ රටේ 80 ගණන් අග වෙනතුරු පැවති බිය උපදවන වාතාවරණයකි.

1988/89 -රාත්‍රී උත්සව කපා හරින ලදි

1988/89 කාලය රටේ භීෂණයක් රජ කළ කාලයයි. රාත්‍රී අන්ධකාරය පාත් වෙන්නටත් පෙර ම පාරවල් හිස් විය. රාත්‍රියේ දී මහජන ප්‍රවාහන පහසුකම් දකින්නට නොලැබුණි. මැදියම් රැය වෙනතෙක් විවෘත ව තිබුණ සිනමා ශාලා රාත්‍රී දර්ශනය අත්හිටුවන ලදි. ජනතාව තම නිවාස වල සිරවූහ. රිදී තිරයේ අත්දැකීම් ටෙලිවිෂනයෙන් තෘප්තිමත් කර ගත්හ.

1995 -අර්බූදය හඳුනාගැනීම

රටේ සිනමාව අර්බූදයක ඇතැයි 1995 දී නිල වශයෙන් හඳුනා ගැනිණ. මහාචාර්ය සේනක බණ්ඩාරනායක මූලිකත්වයෙන් ආණ්ඩුව විසින් ‘ශ්‍රී ලංකාවේ සිනමා කර්මාන්තය ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය පිණිස වූ ජනාධිපති කොමිසම’ පිහිටුවන ලදි.

මේ කොමිසම සාමාන්‍යයෙන් හැඳින්වුනේ සේනක බණ්ඩාරනායක කොමිසම (SBC) යනුවෙනි. ඒ 1995 අගෝස්තුවේ දී ය. SBC යට පැවරී තිබු මෙහෙය වූයේ කර්මාන්තයේ පවතින තත්වය හදාරා එහි ‘ප්‍රතිසංස්කරණයට හා සංවර්ධනයට’ නිර්දේශ ඉදිරිපත් කිරීමයි. වසරකින් ඒ විමසුම සම්පූර්ණ කළ කොමිසම වාර්තාවක් (SBR 1997) 1997 ජනවාරියේ දී ඉදිරිපත් කළහ. ඒ ශ්‍රී ලංකා සිනමාවේ 50 වැනි ජයන්තියයි.

SBR 1997 වාර්තාවේ කියැවුන පරිදි ශ්‍රී ලංකා සිනමාව සිටියේ ‘1982 තරම් ඈත කාලයක සිට පැවත එන දරුණු අර්බූදකාරී’ තත්වයකයි. ශ්‍රී ලංකා සිනමා කර්මාන්තය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ (1985:7) SBR 1997 වාර්තාවෙන් උපුටා ගත් කළ
“සුළු පිරිසක් දකින්නේ සිනමා කර්මාන්තය දැනටමත් මිය ගිහින් ඇති බවයි. අනිත් අය දකින්නේ මෙය මාරාන්තික රෝගියෙක් බවයි. සමහර අය තර්ක කරන්නේ සිනමා කර්මාන්තය මේ වර්තමාන තත්වයට ගෙනවිත් ඇත්තේ නොසැලකිල්ල හා අපහරණයකින් බවත් විසාල වශයෙන් කරන රුධිර පාරවියලනයක් නොමැතිව එය ගොඩ ගන්නට නොහැකි බවයි.” (SBR 1997, p 13)

ප්‍රේක්ෂකයන් අඩුවීම නිරීක්ෂණය කරන SB කොමිසම එහි පහළ යාමට විවිධ හේතු දක්වයි.
* ගෝලීය ප්‍රවණතාවය
* ටෙලිවිෂන් සහ විඩියෝ
* ජනප්‍රිය විනෝද ලබන මාර්ග සහ නිවාඩු ගෙවන විලාසිතා වෙනස් වීම
* ජාතිභේද ප්‍රචණ්ඩත්ව
* ආරක්ෂාව
* ප්‍රවාහනය
* සිනමා තත්වයන්
* බෙදාහැරීමේ මොනොපොලියක් පැවතීම
* පාලනය සහ මට්ටම් (pp 16-18)

SBC නිර්දේශ ඍජුවම ඉහත කාරණා වලට අදාළව නිකුත් විය. ඒ අනුව නිකුත් කළ විස්තර 6.0 පරිච්ඡේදයේ විස්තර විය.

2001: NFC බෙදාහැරීමේ මොනොපොලිය අත්හරියි

2001 දී, මේ නිර්දේශ මත පදනම් වී බලවත් පරිශ්‍රමයක් දරනා කර්මාන්තයට විසඳුමක් වශයෙන් NFC විසින් චිත්‍රපටි බෙදා හරින මොනොපොලිය කොම්පැණි පහක් යටතේ බෙදාහැරිණ. මම හොඳින් ම දන්නා තරමින්, මට විශ්වාසයකින් යුතුව කියන්නට පුලුවන්, NFC චිත්‍රපටි බෙදාහැරීමේ මොනොපොලිය අත් හරිනවා හැරෙන්නට ඒ නිර්දේශ වලින් වෙනත් කිසිවක් කාර්යක්ෂම ලෙසින් දියත් වූයේ නැති බව.

2009 වෙද්දී වාර්ෂික ප්‍රේක්ෂක සංඛ්‍යාව මිලියන 7.2 ක් දක්වා අඩු වී තිබිණ. 2010 අග වෙද්දී එය තවත් අඩු වී මිලියන 5.5 ක් විය. ඒ 30 වසරක යුද්ධය අවසන් වී වසරක් ගෙවී ගිය පසුවයි. 1979 දී 359 ක සංඛ්‍යාවෙන් යුත් සිනමාහල් 167 ක් තරම් සුළු සංඛ්‍යාවක් දක්වා වැටී තිබිණ.

අර්බූදය විශ්ලේෂණය

කියපු කරපු දේවල් කෙසේ වෙතත්, රෝගියාගේ රෝග නිදානය කුමක් දැයි සොයන්නට SBC ගත් උත්සාහය අපි අවතක්සේරු කළොත් එය අසාධාරණයකි.

අනෙත් කරුණු අතර, SBC විසින් සිනමාවේ ප්‍රේක්ෂක සංඛ්‍යාව පහළ වැටීම ‘ගෝලීය ප්‍රවණතාවයක්’ ලෙසින් අපේ සිනමාවේ ද පිළිබිඹු කරන බව නිවැරදිව හඳුනාගෙන තිබුණි. සමාජ හැදියාවන් වෙනස් වෙන රටා අනුව ජනප්‍රිය හා පවුලේ විනෝද සහ නිවාඩු ක්‍රියාකාරකම් වල දී සිනමාවෙන් වෙනතකට ප්‍රේක්ෂකයන් ගෙන යන බව එය වටහා ගෙන තිබිණ.

ඔවුන් කියනා පරිදි මේ ‘අර්බූදකාරී නොවන කාරණා’ සඳහා කොමිසම එතරම් උන්නදුවක් නොදැක්වීම අභ්‍යාගයකි. එහෙත්, ‘සිනමා කර්මාන්තය ගැන පොදුවේ කරන නංවාලීමේ උත්සාහයක දී’ මේ කරුණු ගැන අවධානයක් යොමු කළ යුතු යැයි කොමිසම පිළිගෙන තිබුණි. ප්‍රධාන ජනප්‍රිය විනෝදාස්වය සපයන අංශයක් ලෙසින් සිනමාව නංවාලීමේ ප්‍රයත්නයන් වලට වඩාත්ම පැහැදිලිව පෙනෙන උදාහරණ වශයෙන් කොමිසම විසින් ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය සහ ඔස්ට්‍රේලියාව නිදසුන් හැටියට දක්වා තිබිණ. ඒ 1995 වැනි අතීතයක දී ය.

චලන රූප නියෝජනය කරන විවිධ විකල්ප මාර්ගයන් වලින් එන්නට හැකි තර්ජනය ගැන SBC අනාවැකි කියා තිබුණි. මම ඒ වාර්තාවෙන් උපුටමි,
“රට පුරා පැතිර ඇති රූපවාහිනිය, විඩියෝ පහසුකම් හා පුස්තකාල ක්‍රමයෙන් විස්ථාපනය, සැටලයිට් රූපවාහිනියක් අනාගතයේ සංවර්ධනය වීම, බහු මාධ්‍ය පරිගණක සහ අන්තර්ජාලය සහ වෙනත් දෘශ්‍ය ශ්‍රව්‍ය තාක්ෂණ තුලින් චලන රූප ඉදිරිපත් කිරීම් නවෝත්පාදනයට ලක්වීමෙන් ඉදිරි දශකය හෝ දෙක තුල ශ්‍රී ලංකාවේ සිනමාව සහ චිත්‍රපටිය තුල මහත් බලපෑමක් දකින්නට ලැබෙනු ඇත.”

ඉතින් අද අප ඉන්නේ ඒ කියූ ‘අනෙක් දශකයේ හෝ දෙක’ තුල, අපි අද අත්දකින්නේ එය එලෙසින්මයි.

එවක පැවති අර්බූදයක් තවත් දරුණු වෙන මේ සාධක කල් ඇතිව දකින්නට කොමිසමට දෘශ්ටියක් තිබුණ ද, බේරා ගන්නා සැලැස්මක් සකසන්නට හා දියත් කරන්නට අවශ්‍ය වැදගත්කමට ඔවුන් එතරම් වැදගත් සැලකිල්ලක් දැක්වූයේ නැත. කුමක් හෝ හේතුවක් නිසා, ඔවුන්ගේ නිර්දේශ ඉලක්ක වූයේ ‘රෝගියා’ ගැන නොව ‘රෝග ලක්ෂණ’ ගැන වූ නිසා ඒ නිර්දේශ ඒ කරුණු මත පදනම් විය. වැඩියෙන් අවශ්‍ය වූ ‘පොදු නංවාලීමක්’ ඇතිවූයේ නැත.

කල්පනා කරන්න සිනමාවේ අලුත් යුගයක් ගැන…

සිනමාව නම් මුළුමනින් ම කල්පනා කිරීම ගැනයි; පවතින යථාර්ථයන් ඉක්මවා යන කල්පනා ශක්තියයි. ගෝලීය පරිසරයක රටක සංස්කෘතික අනන්‍යතාවය නිර්වචනය කරන්නත් පිහිටුවා ගන්නටත් එයට බලයක් ඇත.

පළමු සිංහල චිත්‍රපටිය නිර්මාණයෙන් දශකයක් ගෙවී යන්නට මත්තෙන් අපේ සිනමාව ගැන ලෝකය ම දැනගති. ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් විසින් ‘රේඛාව’ චිත්‍රපටිය 1956 දී කෑන්ස් සිනමා උළෙලට ඉදිරිපත් කර බාධක බිඳ හෙලන්නට සමත් විය. මේ ‘ප්‍රංශ නව සිනමා රැල්ල’ පටන් ගත් යුගයකි. ඒ සත්‍යජිත් රායී ඉන්දීය සිනමාව නව කලාත්මක මුදුන් පෙත්තකට ගෙන ගිය සමයයි. ඒ කියන්නේ අප එවක සිටියේ ගෝලීය ප්‍රවණතාවයක් සමඟ එක හා සමානවයි. 50 ගණන් හා 60 ගණන් මුල දී තරම් ඈත කාලයක (1962 දී ගම්පෙරලිය) අපේ සිනමාව එහි පැවැත්ම ලෝක සිතියමේ සටහන් කර තිබුණි. චිත්‍රපටි නිෂ්පාදනයේ සහ අලෙවිකරණයේ වූ නම්‍යශීලී නොවූ තත්වයන් අතර අපේ සිනමාව, පටන් ගත් තාක්ෂණික වෙනස්කම් වලට අනුව හැඩගැසී පරිනාමය වෙන්නට තරම් නම්‍යශීලී නොවීය. ඒ වෙනස්කම් චිත්‍රපටි නිෂ්පාදනය, අලෙවිකරණය හා පරිභෝජනය කරන ආකාරයන් වෙනසකට භාජනය කළේය. ලෝක සිනමාවේ පවතින වර්තමාන ‘ඩිජිටල් යුගයේ’ දී ක්‍රම ක්‍රමයෙන් සිද්ධ වූ ක්‍රාන්තිය ශ්‍රී ලංකාවේ සිද්ධ වූයේ නැත. එහි ප්‍රතිඵලයක් වශයෙන්, සුළු ප්‍රමාණයකින් සිද්ධ වූ ඒකභාවී ප්‍රයත්නයන් හැරෙන්නට, අපේ ජාතික සිනමාව අන්තර්ජාතික වෙළඳපොලේ නිසියාකාරයෙන් පිහිටා නැත.

මේ පවතින ප්‍රවණතාවය අනුගමනය කරන්නේ ද, එවිට අපි හැම විටම ගොඩක් පසුපසින් සිටින්නෙමු. ඒ නිසා අපිට අවශ්‍ය ඉදිරියට යන්නට හැකි ලොකු පිම්මකි. පවතින සිනමාව ‘ප්‍රතිසංස්කරණය’ කරන සම්ප්‍රදායික වූ අදහස් තව දුරටත් වලංගු නැත්තේ සිනමාවේ සෙලියුලොයිඩ් යුගය දැනටමත් අවසන් වී ඇති නිසයි.

ඔබ කියවා ඇත්නම්, සැල්මන් රශ්ඩී ගේ සැටනික් වර්සස් නම් වූ පොත පටන් ගන්නා පළමු වාක්‍යය, “යළි ඉපදෙන්නට නම්,” යැයි ගිබ්රීල් ෆරිෂ්ටා ගැයුවේ දිව්‍යලෝකයන් වලින් ඇදගෙන වැටෙද්දී,”පළමුවෙන් ඔබ මිය යා යුතුයි” කියාය.

ඉතින් එය මිය ගිහින් ඇති නිසා, මෙය අපේ සිනමාව නැවත උපදින්නට වඩාත්ම සුදුසු කාලයයි.

අපි එයට කැමති වුවත් අකමැති වුවත්, අපි ‘ඩිජිටල් යුගයට’ සම්ප්‍රාප්ත වී සිටිමු. ඩිජිටල් තාක්ෂණය විසින් ‘චලන රූප කලාව’ තවත් ප්‍රජාතන්ත්‍රවාදී කර ඇත. ඒ අතර එය හැම අයෙක්ට ම පහසුවෙන් ලබාගත හැකි නිසා සිනමාව හා බැඳී තිබූ සාරෞෂධය (elitism) දියාරු වී යන්නට හැකියි. කැමති කෙනෙකුට තම තෝරාගැනීම අනුව චිත්‍රපටියක් හදා අන්තර්ජාලයට එකතු කරන්නට හැකියි! ඩිජිටල් චලන රූප තාක්ෂණ ඒ නිසා එක අතකින් වැඩියෙන් අවස්ථා උදා කරද්දී තවත් අතෙකින් සිනමාව දැඩි අභියෝග වලින් යුතු වූවක් බවට පත් කරයි.

කෙසේ නමුත්, සිනමා කර්මාන්තය ලෝකයේ සංස්කෘතික කර්මාන්ත අතර ‘වඩාත්ම ප්‍රථ්‍යාස්ථ’ වූවන් අතරින් එකක් ලෙසින් සැලකේ. රූපවාහිනියෙන් එල්ල වූ තර්ජනය සාර්ථක ලෙසින් ලෝක සිනමාව ජයගති. ගෝලීය මුදල් අර්බූදයෙන් බොහෝ කර්මාන්ත පාඩු විඳිද්දී සිනමා කර්මාන්තය හොඳින් දස්කම් දැක්වීය. ඩුබායි සිනමා වෙළඳපොලේ දත්ත වාර්තාවක් අනුව (2012 ඩුබායි ජාත්‍යන්තර සිනමා උළෙල යටතේ) ඉඩදෙන්න මට ඔබට ගෝලීය ප්‍රවණතා ප්‍රතිඵල පෙන්වන්න.
AH-1

AH -2

AH -3

ඩිජිටල් සහ 3D තිරගත දත්තයන් ද ලෝකය පුරා ඉහළ යමින් පවතියි.

ලෝක සිනමාව හොඳ තත්වයක සිටිය දී, අප ඉන්නේ අර්බූදකාරී තත්වයකය. මේ ‘අර්බූද’ තත්වය අපි ‘අවස්ථාවක්’ බවට හරවා ගන්නේ කෙසේ ද?

රටේ ආර්ථිකය හඹා යන්නේ 2016 වෙද්දී ඒක පුද්ගල ආදායම ඇමෙරිකන් ඩොලර් 4000 ක් හොයන ඉලක්කයට යන්නට හෝ ඩොලර් බිලියන 100 ක ආර්ථිකයක් බවට පත් කරන ඉලක්කයට යන්නටය.

සිනමාකරුවෙක් හැටියටත්, සිනමා රසිකයෙක් හැටියටත්, වසර තුනකින් අපේ ආර්ථිකය ඩොලර් බිලියන 100 ඉලක්කය කරා යද්දී දකින්නට කැමැත්තේ කුමක් ද? සැකයක් නැතිව මම කැමති ජාතික සිනමාව ‘මායිම් නැතිව ගලා යන දස්කම් වලින් යුතුව ගෝලීය පරිපථයක ඇති උත්සව හා සම්මාන’ වලින් දැක්වෙන්නා වූවක් බවට පත් වී තිබීමයි.

මම කැමතියි දකින්නට …

* කොළඹ, ආසියාවේ වඩාත්ම කතාබහට ලක්වෙන සිනමා-නගරය වනවාට
* කෑන්ස්, බර්ලින්, වෙනීස් වැනි ජාත්‍යන්තර සිනමා උත්සවයන් හී දී ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ චිත්‍රපටි දකින්නට
* දේශීය වශයෙන් බිහි වූ චිත්‍රපටි වානිජ ලෙසින් ලෝකය පුරා තිරගත වෙනවා දකින්නට; සිනමාහල්, රූපවාහිනියේ සහ VOD නාලිකා වල
* බහු විධ තිරයන් සහ බහුශාලා ඇති සිනමාහල් රටේ සෑම නගරයකම දකින්නට
* අපේ තාක්ෂණිකයන්, කලාකරුවන් අන්තර්ජාතික මට්ටමින් කෙරෙන වැදගත් සම-නිෂ්පාදනයන් හි නියැළෙනවා දකින්නට.
* විශ්ව විද්‍යාල වලින් සිනමාවට සම්බන්ධ විෂයයන් වලින් උපාධි හා ඩිප්ලෝමා සහතික නිකුත් කරනවා දකින්නට.

අයෙක් කියයි මම ‘දවල් සිහින මවනවා’ කියල. ඒත් මම දැඩි සේ විශ්වාස කරනවා සිහින මවන අය තමයි ලෝකය ඉදිරියට ගෙන යන්නේ කියා.

අපි මේ දවස්වල රූට ලයිට් යටින් තරඟ වැදෙන ක්‍රිකට් මැච් ආශාවෙන් බලනවා. රාත්‍රී ක්‍රිකට් මැච් සැබෑවක් වෙන්නෙ නැහැ ඔස්ට්‍රේලියාවේ මාධ්‍ය ධනකුවේරයා කෙරි පැකර්, චැනල් 9 ටෙලිවිෂන් හි අයිතිකරුවා, එය ගැන සිහින මැව්වේ නැත්නම්. අද මිලියන ගණනින් ඩොලර් හොයන ක්‍රිකට් ක්‍රීඩකයන් ඒ ගැන ඔහුට ගොඩක් ණය ගැතියි.

මේ ඉලක්කය සාක්ෂාත් කරගන්න මම කොහොමද සැලසුමක් නිර්මාණය කරන්නේ?

සිනමාවට කුඩා වෙළඳපොලක් තියන දිවයිනක, සිනමාව පමණක් සංවර්ධනය කරන ප්‍රතිපත්ති යෝජනාවක්, ඒත්තු යන ලෙසින් පිළිගැනීමකට පාත්‍ර වෙන අදහසක් වෙන්නෙ නැහැ. අද පවතින වෙළඳපොල තත්වය යටතේ අලුත් සිනමාහල් ඉදිකරන්නට හෝ චිත්‍රපටි නිෂ්පාදනයට ණය බෙදාහැරීම අරමුදල් සහමුලින් නාස්ති කිරීමක් වෙනවා. ඒ නිසා ‘ශ්‍රී ලංකාවේ වානිජමය ජීව්‍යයෙන් යුතු සහ කලාත්මක බවින් ඉහළ සිනමාවක් ඇති කරන ඉලක්කය’ තියන්න ඕනෑ වානිජමය ආකර්ශනීය වූ පෘථුල දෘශ්ටිකෝණයකින්.

ශ්‍රී ලංකාව, ලෝකයේ මේ පැත්තේ තියන වඩාත්ම ලස්සන ග්‍රීෂ්ම කලාපීය නිවාඩු ගමනාස්ථානයක්. ඒත් සංචාරක ව්‍යාපාරයෙන් රටට ලැබෙන විදේශ විනිමය ඉපැයීම් ඉතා සුළු ප්‍රමාණයක්. තවම රට විදේශ විනිමය උපයන්නට ඉතා මහත් සේ විකුණන ‘නුපුහුණු ශ්‍රමය’ මත වැඩියෙන් ම රැඳී සිටිනවා. සංචාරක ව්‍යාපාරය තවමත් අඩු ලෙසින් භාවිතයට ගන්නා ලද්දක්.

විනෝදාස්වාද සංචාරක ව්‍යාපාරය යනු සංවර්ධනය වෙන ආර්ථික වල අලුතින් දකින්නට හැකි සංචාරක ක්ෂේත්‍රයේ කොටසක්. ශ්‍රී ලංකාව -විශේෂයෙන් ම කොළඹ, ‘විනෝදාස්වාද සංචාරක’ ගමනාස්ථානයක් ලෙසින් විනෝද සැලසුම් ව්‍යාපෘති අනුව සංවර්ධනය වෙන්නට හැකි දැඩි ශක්‍යතාවයෙන් යුතු තැනක්. සිංගප්පූරුව, මුම්බායි, හැනෝයි, ඩුබායි, අබු-ඩාබි සහ බැංකොක් වැනි නගර වර්තමානයේ දී ඉතා දැඩි ලෙසින් මේ අංශයේ ආයෝජන කරනවා.

ඉතින් මම ඉදිරිපත් කරනවා පරමාර්ථ දෙකක්:
පළමු පරමාර්ථය: කලාත්මක බවින් ඉහළ සහ වානිජ්‍යමය අතින් ජීව්‍යයෙන් යුතු සිනමා කර්මාන්තයක්
දෙවැනි පරමාර්ථය: විනෝද සංචාරක ව්‍යාපාරය තුලින් සංචාරක ව්‍යාපාරය ඉවැඩි කිරීම

‘විනෝදාස්වාද සංචාරක ව්‍යාපාරය’ යනු යම් උත්සවයක් පදනම් කරගන්නක්. ඒ ඒ නගර වල පැවැත්වෙන යම් ‘උත්සවයක්’ සංවිධානයෙන් සංචාරකයන් ආකර්ශනය කර ගැනීම නගර වලින් දකින්නට හැකියි. ඉහත ද්විත්ව පරමාර්ථ සාක්ෂාත් කරගන්නට උත්සවයක් මත පදනම් කරගත් සැලසුම් ව්‍යාපෘතියක් මඟින් අපිට රටේ විනෝද සංචාරක ව්‍යාපාරයත් සහ සිනමා කර්මාන්තයත් දෙකම ප්‍රමෝට් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ තමයි ‘වාර්ෂික සිනමා මහා උත්සවය.’

‘කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල’ (Colombo International Film Festival -CIFF)

අයෙක් තර්ක කරන්නට පිළිවන්, ලංකාවේ දැනටමත් ජාත්‍යන්තර සිනමා උත්සව කිහිපයක්ම වාර්ෂිකව පැවැත්වෙන බව. ඒවා තානාපති කාර්යාල සහ සිනමා සමිති යනාදියෙන් සංවිධානය වෙන ඒවා. ඒත් කිසි දෙයක් සිද්ධ වෙලා නැහැ. නමුත් මේ උත්සව ඉතා සුළු පරිමානයෙන් සිද්ධ වෙන්නෙ අනිත් රටවල නිපැදවෙන චිත්‍රපටි දේශීය ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කරන්නයි. මේ උත්සව වලට එන සභාව සම්පූර්ණයෙන් ම හැදෙන්නේ රටේ ඉන්න අයගෙන්.

එවැනි උත්සව සිනමාව ගැන ලාලසයක් ඇති කරන්න නැහැ. ඒවායෙන් සිනමා කර්මාන්තය හෝ සංචාරක කර්මාන්තය ගැන විශාල ප්‍රමෝදයක් උත්පාදනය කරන්නෙ නැහැ. මම යෝජනා කරන්නේ මේ ප්‍රමාණයෙන් යුතු උත්සවයක් නෙමෙයි. මෙගා උත්සවයක්. හරියට දකුණු කොරියාවේ බූසාන්, සිංගප්පූරුවේ, ඩුබායි, ටෝකියෝ හි පැවැත්වෙන වැනි ජාත්‍යන්තර සිනමා උත්සව හා සමාන ප්‍රමාණයෙන් යුතු වූවක් හැටියට දියත් කරන්නයි මම යෝජනා කරන්නෙ.

දිස් කෙරෙන චිත්‍රපටි වල තේමාවන් කුමක් වුවත්, සිනමා උළෙලක් යනු විනෝදාස්වාදය ගෙනෙන මනමෝහනාත්මක අවස්ථාවක්. යෝජනා කරන කොළඹ ජාත්‍යන්තර සිනමා උළෙල ජාත්‍යන්තර වූ ආකර්ශණයකින් පැවැත්වෙන වාර්ෂික ජාතික උත්සවයක් වෙන්න ඕනෑ.

එයින් කොහොම ද දේශීය සිනමා කර්මාන්තයට වාසියක් ලැබෙන්නේ?

අන්තර්ජාතික වශයෙන් නම් දරා ඇති සිනමා ප්‍රජාවට වාර්ෂිකව හමුවෙන්නට හැකි ස්ථානයක් තමයි ජාත්‍යන්තර සිනමා උළෙලක් විසින් ඇති කර දෙන්නේ. ඒ සිනමා ප්‍රජාව සිනමාකරුවන්, නිෂ්පාදකයන්, ආයෝජකයන්, කලාකරුවන්, බෙදාහරින්නන්, ප්‍රදර්ශකයන් සහ රචකයන් යනාදීන් ගෙන් සමන්විත වෙන්නක්. ඔවුන් තම රටවලත්, ඒ වගේ ම ජාත්‍යන්තර සභා වලත් සහ සිනමාවේත් මතවාදයන් නිර්මාණය කරන අය. ඒ අයව මෙහෙට ගෙන්වීම සහ දේශීය සිනමා කුසලතාවයන් ඇති අය මුණ ගැස්වීමට සැලැස්වීමෙන් දේශීය සිනමා නිෂ්පාදනයට සහ බෙදාහැරීමට වැදගත් බලපෑමක් ලැබේවි.

ජාත්‍යන්තර සිනමා උළෙලක් විසින් මෙහෙට ගෙනේවි ලෝකය වටෙන් ම නිෂ්පාදනය වුනු අලුත්ම චිත්‍රපටි. විශේෂයෙන්ම ස්වාධීන චිත්‍රපටි. එහි දී අපේ සිනමා ප්‍රේක්ෂකයන්ට අත්විඳින්නට හැකිවේවි ලෝකයේ ස්වාධීන සිනමා වල අලුත්ම ප්‍රවණතා මොනවා ද යන්න. එයින් දේශීය සිනමාකරුවන්ට අලුත් අදහස් පහළ වේවි අලුත් තේමා හා ආකෘති ගවේෂණයට. එයින් සිනමාකරණයේ ප්‍රමිතියන් ඉහළ ගිහින් ජාත්‍යන්තර උත්සව හා වෙළඳපොලේ තරඟකාරී වෙන්නට ඉඩ ලැබේවි.

සිනමා උළෙල ක්‍රමවත් ලෙසින් සැලසුම් කරගත යුතුයි. අඩු ගානේ උත්සවය වෙනුවෙන් ඉලක්ක කරගත් හොඳ දේශීය චිත්‍රපටි පහක් හෝ හයක් වත් හදා ඉදිරිපත් කරන ලෙසින්. උත්සවය යොදා ගන්න පුලුවන් ඒ චිත්‍රපටි ජාත්‍යන්තර උත්සව අධ්‍යක්ෂකවරුන්ට සහ බෙදා හරින අයට පෙන්වා දේශීය චිත්‍රපටි වලට වෙළඳපොලක් සකස් කරගන්නට. අනතුරුව ප්‍රධාන ජාත්‍යන්තර සිනමා උත්සව වල දී මේ චිත්‍රපටි තෝරා යවන්න පුළුවන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට.

ජාත්‍යන්තර සිනමා උළෙලක් වාර්ෂික පැවැත්වෙන්නක් වූවාම, දේශීය සිනමාකරුවන්ට ජාත්‍යන්තර මට්ටමෙන් තරඟ කරනු පිණිස ඉහළ ප්‍රමිතියේ චිත්‍රපටි හදන්නට දිරි ගැන්වීමක් ලැබේවි. අපේ චිත්‍රපටි ප්‍රධාන ජාත්‍යන්තර සිනමා උත්සව සඳහා වැඩියෙන් තෝරා ගන්නා සම්භාවිතාවක් ලැබේවි. ඒ ජාත්‍යන්තර උත්සව වල දී තම උත්සවය ප්‍රමෝට් කරගන්නට CIFF ගැන ද ‘වෙළඳ කුටියක්’ පවත්වා ගන්නට අවශ්‍යයයි. ඒ කුටිය ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වූ චිත්‍රපටි සහ ශ්‍රී ලංකාව චිත්‍රපටි රූගත කරන්නට අනගි වූ ස්ථානයක් හැටියට ප්‍රමෝට් කළ හැකියි.

ඩේවිඩ් ලීන් ඔහුගේ සම්භව්‍ය චිත්‍රපටිය Bridge on the River Kwai ශ්‍රී ලංකාවේ රූගත කළේ 1957 තරම් අතීතයක දී. (අද ඒ ස්ථානය සංචාරකයන් ඇදී එන තැනක්) ස්ටීවන් ස්පීල්බර්ග් හැදූ Indiana Jones and the Temple of Doom චිත්‍රපටියේ බහුතර කොටස් රූගත වූයේ ද 1984 දී මෙහෙ. ශ්‍රී ලංකාව බොහෝ ජාත්‍යන්තර චිත්‍රපටි වල, නිදසුන් වශයෙන් Water, Mother Teresa, Mid Night’s Children යනාදියේ ප්‍රධාන පරිස්ථානය ලෙස භාවිතා වූ රටක්. ඒ අපේ පහුගිය වාර්තාව අනුව, සුන්දර පරිසරයක් සමඟින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර චිත්‍රපටි වලටත් මුහුන් සංස්කෘතික තේමා වලින් යුතු චිත්‍රපටි වලටත් සුවිශේෂී ග්‍රීෂ්ම කලාපීය පරිස්ථානයක් වෙනවා.

සමහර අය සිතන්න පුළුවන් මේක පමණට වඩා උද්‍යෝගයක් තියෙන සිනමාකරුවෙකුගේ යථාර්ථවාදී නොවන ෆැන්ටසියක් කියා. ඒත් ඒක එසේ නොවෙයි.

දකුණු කොරියාවේ සිනමාව සාර්ථක කතන්දරයකට කදිම උදාහරණයක්.

බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙල -දකුණු කොරියාවේ පැවැත්වෙන (විශාලතම වූව නොවන්නේ නම්) ආසියාවේ විශාලතම සිනමා උත්සව අතරින් එකක්. 1996 දී පටන් ගත් එය, කොරියාවේ පළමු ජාත්‍යන්තර සිනමා උළෙලයි. (මතක ද, 1995 තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිනිය විසින් SBC පත්කළේ කර්මාන්තයේ දුර්වලතා අධ්‍යයන කරලා නිර්දේශ ඉදිරිපත් කරන්නට. ඒ කොමිසමේ නිර්දේශ අතර ප්‍රධාන ජාත්‍යන්තර සිනමා උළෙලක් සඳහා යෝජනාවක් අඩංගු වූයේ නැහැ.)

බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙල දියත් වෙද්දී, කිසිවෙක් දැනගෙන සිටියේ නැහැ කොරියන් සිනමාව ගැන. කොරියන් ප්‍රේක්ෂකයන් අනිත් රටවල නිෂ්පාදනය කරපු ස්වාධීන චිත්‍රපටි ගැන දැන සිටියේ නැහැ. උත්සවය විසින් ජාත්‍යන්තර චිත්‍රපටි කොරියාවට ගෙනැවිත් කොරියානු චිත්‍රපටි ලෝකයට අනාවෘත කළා.

උත්සවය කේන්ද්‍රීය වූයේ නව චිත්‍රපටි සහ ප්‍රථම වතාවට අධ්‍යක්ෂණය කළ අයව, විශේෂයෙන්ම ආසියානු රටවල් වලින් ආ අයව හඳුන්වා දීමයි. ලෝකයේ රටවල් 75-100 අතර සංඛ්‍යාවකින් එන චිත්‍රපටි 300 කට වඩා ප්‍රමාණයක් උත්සවයේ දී තිරගත වීම නිසා තරුණ ප්‍රේක්ෂකයන් වාර්ෂිකව මිලියන 1.8 ක පමණ සංඛ්‍යාවක් ආකර්ශනය කරගන්නවා. උත්සවය විසින් වර්තමානයේ දී ආසියානු ව්‍යාපෘති වෙළඳපොල මෙහෙයවනවා. එය චිත්‍රපටි ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වූ වෙළඳපොලක්. දැනටමත් නිෂ්පාදනය කරන ලද චිත්‍රපටි සඳහා වෙළඳපොලක්. ආසියානු සිනමා ඇකඩමිය නැඟ එන සිනමාකරුවන්, සිනමාරූපණයේ වූවන් සහ අනෙකුත් තාක්ෂණික කටයුතු සහ කලාකරුවන් වෙනුවෙන් ඇති සිනමා පාසැලක්. ආසියානු සිනමා අරමුදල තමයි ආසියානු ස්වාධීන චිත්‍රපටි සඳහා අරමුදල් සපයන මූලාශ්‍රය.

දකුණු කොරියාවේ සිනමා කර්මාන්තය රන්මය යුගයකට පිවිසියේ 1997 දී. බූසාන් ජාත්‍යන්තර සිනමා උළෙල (BIFF) හඳුන්වා දී වසරකට පසුව. දේශීය චිත්‍රපටි වෙනුවෙන් රජයේ ආරක්ෂාව අහෝසි වී ජාත්‍යන්තර චිත්‍රපටි සමඟ දේශීය වෙළඳපොලේ විවෘතව තරඟ කරන්නට ඉඩ සැලසුනා.

1999 දී Swiri නම් කොරියන් චිත්‍රපටිය, හොලිවුඩ් ප්‍රේක්ෂක වාර්තා බිඳ හෙලූ ටයිටැනික්, මේට්‍රික්ස් සහ ස්ටාර් වෝර්ස් වැනි චිත්‍රපටි වලට වඩා වැඩියෙන් දකුණු කොරියානු සිනමාහල් වල දී දස්කම් පෙන්වූවා. Kang Je-gyu විසින් තිර රචනය හා අධ්‍යක්ෂණය වූ Swiri තමයි ප්‍රථම හොලිවුඩ් විලාසයට නිෂ්පාදනය වුනු ‘නව’ කොරියන් සිනමා කර්මාන්තයේ නිෂ්පාදනය වූ ලොකු බජට් එකකින් බිහි වූ බ්ලොක්බස්ටර් චිත්‍රපටිය.

මේ චිත්‍රපටියේ සාර්ථකත්වය නිසා විශාල බජට් වලින් යුතු අලුත් වානිජ චිත්‍රපටි රැල්ලක් පටන් ගත්තා.

කොරියන් චිත්‍රපටි ජාත්‍යන්තර සිනමා උත්සව වල දී සැමට ඉහළින් පෙනී සිටින්නට පටන් ගනියි

BIFF වලින් ප්‍රබෝධමත් වීමෙන් කොරියන් අධ්‍යක්ෂකවරුන් කලාත්මක බවින් ඉහළ, තේමාවින්ත අභියෝග බවින් යුතු වූ චිත්‍රපටි නිෂ්පාදනය කරමින් ජාත්‍යන්තර උත්සව වල දී තරඟ කරන්නට පටන් ගත්තා. BIFF ආරම්භයෙන් වසර හතක් යද්දී, Oasis (Lee Chang Don) කොරියන් චිත්‍රපටිය 2002 වෙනිස් සිනමා උළෙලේ දී දෙවැනි තැන දිනාගත්ත. මේ ජයග්‍රහණයෙන් පසුව තවත් ජාත්‍යන්තර දක්ෂතාවයන් රැසක් එනවා. Old boy (Park Chan -Wook) චිත්‍රපටිය 2004 කෑන්ස් හි දී දෙවැනි Grand prix ස්ථානය දිනාගන්නවා. ඒ වසරේ දී ම Kim Ki-duk කොරියන් අධ්‍යක්ෂකවරයා හොඳම අධ්‍යක්ෂක සම්මානය බර්ලින් ජාත්‍යන්තර සිනමා උළෙලේ දී ඔහුගේ Samaritan Girl චිත්‍රපටිය වෙනුවෙන් දිනාගන්නවා. 2010 දී කොරියන් රචක Lee Chang Don කෑන්ස් හි දී සිනමා ගද්‍ය වෙනුවෙන් හොඳම රචනය සඳහා සම්මානයක් දිනා ගන්නවා. 2012 දී Pieta (Kim Ki-duk) වෙනිස් සිනමා උළෙලේ දී රත්තරන් සිංහයා සම්මානය දිනාගන්නවා.

2011 දී, උළෙල විසින් බූසාන් සිනමා කේන්ද්‍රය විවෘත කරනවා. එය ඇමෙරිකන් ඩොලර් මිලියන 140 ආයෝජනයක්. (වර්ග හතරැස් මීටර් 30,000 ක ඉඩ ප්‍රමාණයක් ඇති, LED වලින් වැසුණු වහලක් යට ගෘහස්ථ තිර හතරක් ඇති, ආසන 4000 කින් සමන්විත එළිමහන් රඟහලක්, සම්මන්ත්‍රණ ශාලා, මාධ්‍ය කෙන්ද්‍ර, සහ තවත් අංගෝපාග වලින් සමන්විත වූවක්.)

දැන් දකුණු කොරියාව සැලකෙන්නේ ආසියානු සිනමාවේ බලවතෙක් ලෙසින්. කොරියන් වෙළඳපොලට පමණක් නෙමෙයි, ආසියාවේ අනිකුත් රටවල් වෙනුවෙන් ද විවිධ ප්‍රභේදයන් වලින් චිත්‍රපටි නිෂ්පාදන කරන තැනකට පත් වී සිටිනවා. චිත්‍රපටි නිෂ්පාදනය කරන ප්‍රමාණය අනුව අද එය ලෝකයේ ඉහළම සිනමා වෙළඳපොල 10 ට අයිතියි. අනෙක් ලොකු වෙළඳපොල වෙන්නේ ඉන්දියාව, ඇමෙරිකාව, චීනය, ජපානය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය, ජර්මනිය, ස්පාඤ්ඤය සහ ඉතාලියයි.

ඉතින් මගේ සිහිනය සහ සැලසුම එතරම් යථාරූපී නොවන්නේ නැහැ.

මේ කොරියන් උදාහරණය පැහැදිලිව පෙන්නුම් කරන්නේ ශ්‍රී ලංකාවටත් විශාල පරිමානයක ජාත්‍යන්තර සිනමා උළෙලක් සංවිධානය කළ හැක්කේ කොහොම දැයි කියා. වානිජ්‍යව ජීව්‍යයෙන් යුතු, කලාත්මක බවින් ඉහළ, ජාත්‍යන්තර වශයෙන් හඳුනාගන්නා සිනමා කර්මාන්තයක් ශ්‍රී ලංකාවේ ද සංවිධානය කළ හැක්කේ කොහොමදැයි කියා.

එවැනි සංවර්ධනයක් පැහැදිලිවම ධනාත්මක වූ අතුරු ඵලයන් ‘විනෝදාස්වාදය’ සහ සංචාරක කර්මාන්තය වැනි අනෙක් ක්ෂේත්‍ර වලටත් ගෙන ඒවි.

එවැන්නක් පණ ගන්වන්නේ කෙසේ ද? කවුද අරමුදල් දෙන්නේ?

මේ යෝජනා කරන CIFF ශ්‍රී ලංකාවේ සිනමාව විප්ලවීය කළත් සිනමාවට ස්පර්ශනීය ලෙසින් දැනෙන ලාබ මධ්‍යම හා දීර්ඝ කාලීන වේවි. සිනමා කර්මාන්තයට බලපෑමක් කරන්නට එයට අඩුම වශයෙන් වසර දෙකක් තුනක් යාවී. සහතික ලෙසින්ම භාණ්ඩාගාරය අකමැති වේවි තවත් බරක් බජට් එකට එකතු කරන්න.

CIFF දියත් කරන්නට හා පවත්වා ගෙන යන්නට, ක්ෂණික ලාබ වාසි එහි ආයෝජනය කරන අයට ලැබිය යුතුයි එය කොළඹ පැවැත්වෙන ‘වාර්ෂික සිදුවීමක් හැටියට කැලැන්ඩරයේ’ තියාගන්නට නම්. මෙතැන දී තමයි ‘විනෝදාස්වාදයේ සංචාරක ව්‍යාපාරය’ වේදිකාවට එන්නෙ.

කොහොම ද CIFF විසින් විනෝදාස්වාදයේ සංචාරක ව්‍යාපාරය ප්‍රමෝට් කරන්නේ?

ශ්‍රී ලංකාව eco-tourism සහ සෞඛ්‍ය සංචාරක යනාදියෙන් සංචාරකයන් ගෙන්වා ගැනීමට උත්සාහයක යෙදී ඉන්නවා. MICE නොහොත් රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ සහ අධ්‍යාපනය යනාදියෙන් සංචාරක ක්ෂේත්‍රයන් ද අත්හදා බලා තියෙනවා. Country Brand Index අනුව ආසියා පැසිෆික් කලාපයේ 13 වැනි ස්ථානයේ සහ ගෝලීය වශයෙන් 67 වැනි ස්ථානයේ දැන් ශ්‍රී ලංකාව ශ්‍රේණිගතයි. ඒත් රටේ විදේශ විනිමය ඉපැයීම් වලින් ඉතා කුඩා ප්‍රමාණයක් තමයි සංචාරක කර්මාන්තයෙන් ලැබෙන්නේ.

විනෝදාස්වාද සංචාරක ක්ෂේත්‍රය කියන්නේ සිදුවීමක් මත ගොඩනැඟෙන සැලසුමක් අනුව සංචාරකයන් විනෝදාස්වාදය ගෙනෙන අවස්ථාවන්ට කැඳවා ගැනීමයි. මේ වාර්ෂික මහා සිනමා උත්සවය විශේෂයෙන්ම ‘ජාත්‍යන්තර අමුත්තන්’ සිනමා කර්මාන්තයෙන් ආකර්ශනය කර ගනීවි. උත්සවය ලෝකයාටම රට ගැන දන්වාවි.

කෑන්ස් නම් වෙරළබඩ ටවුම ලෝකයාම දැනගත්තේ සිනමා උළෙල නිසා. ඒ ගැන කිසිවෙකුට ඊට කළින් උනන්දුවක් තිබ්බේ නැහැ. දැන් එය ජවයෙන් පිරුණ ක්‍රියාශීලි නගරයක් වසර පුරාම. ඇමෙරිකාවේ ටෙලූරයිඩ්, කොලරාඩෝ කුඩා නගරයක්. රත්තන් පතල් කැනීම් වූ ස්ථානයක්. එය ටෙලූරයිඩ් සිනමා උත්සවයත් සමඟ නැවත උපන්නා. එය අද ‘සෑම ඍතුවකම’ ජනතාව යන නගරයක්.

කොළඹ සිනමා උත්සවය, ‘විනෝදාස්වාදය’ ගෙනෙන තවත් සජීවී සිදුවීම් සමඟ හවුල් කරගත්තාම, ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමට ලක් වී ඇති සංදර්ශනකරුවන්ව සජීවී සංදර්ශන වෙනුවෙන් ගෙන්වා ගැනීමෙන් කොළඹට ‘රත්තරන් කමිස කොලර්’ සංචාරකයන් ආකර්ශනය කරගන්නට හැකිවේවි.

මේ වාර්ෂික උත්සවය යොදා ගන්න පුළුවන් අනෙක් සජීවී සංස්කෘති සිදුවීම් ගැන දැනුවත් කරන්නටත්. ඒවා වාර්ෂික සිදුවීම් කැලැන්ඩරයකින් සැලසුම් කරත හැකියි. සංගීතය, චිත්‍ර කලාව, නර්තනය, සාහිත්‍ය යනාදිය ජාත්‍යන්තර එකතුවක් ඉදිරියේ දී මේ උත්සවය තුලින් ඉදිරිපත් කරන්න පුලුවන්.

CIFF හි පාලන පිරිස හදන්නේ කෙසේ ද?

ආණ්ඩුවේ බජට් එකෙන් නිත්‍ය අරමුදල් මත රැකෙන සිද්ධියක් හැටියට මේ සිනමා උත්සවය යෝජනා වෙන්නෙ නැහැ. එය වානිජමය ජීව්‍ය ව්‍යාපාරයක් හැටියට කළමනාකරණය වෙන්න ඕනෑ ආධීනතා සීමාසහිත සමාගමක් හැටියට. පටන් ගනිද්දී එය තමන්ගේ ව්‍යාපාර වලට අන්තර්ජාතික අවධානයක් අවශ්‍ය විවිධ අමාත්‍යාංශ, සමාගම්, මණ්ඩල හා පුද්ගලික සහ මහජන කොම්පැණි වලින් සහයෝගයෙන් කෙරෙන වෑයමක් වෙන්න ඕනෑ. ඒ අය තමයි මෙහි ප්‍රාරම්භ දායකයන් වෙන්නේ මූල්‍ය යොදා ගැනීම වෙනුවෙන් සහ ඒ නිසා ඔවුන් CIFF හි නිර්මාතෘ අයිතිකරුවන් ද වෙනවා.

ප්‍රාරම්භ අරමුදල් ප්‍රභවයන් ගෙනෙන අය හැටියට මම කිහිප දෙනෙක් සඳහන් කළොත්,
* සංචාරක, ජාතික උරුමයන් හා සංස්කෘතික කටයුතු, ජනමාධ්‍ය, සංනිවේදන, නාගරික සංවර්ධන, ආර්ථික සංවර්ධන යනාදී අමාත්‍යාංශ.
* ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, හෝටල් සංස්ථාව, BOI, ශ්‍රී ලංකන් එයාර්ලයින්, ශ්‍රී ලංකා ටෙලිකොම්, හෝටල්
* පුද්ගලික සහ මහජන බැංකු
* පුවත්පත්, රේඩියෝ සහ රූපවාහිනි නාලිකා වැනි මහජන සහ පුද්ගලික මාධ්‍ය ආයතන

උත්සවය වර්ධනය වීමත් සමඟ එය කොළඹ කොටස් වෙළඳපොලේ ලැයිස්තුවට එකතු කළ හැකියි. නැත්නම් BOI පද්ධතියකින් මේ ව්‍යාපෘතිය දියත් කරන්නට තනිවම කළ හැකියි.

තවත් උදාහරණ ඇත; ඩුබායි ජාත්‍යන්තර සිනමා උළෙල ගෙන යන්නේ ඩුබායි ඉන්වෙස්ට්මන් සමාගම විසිනි. ගෝවේ නගර සභාව රුපියල් මිලියන ගණන් ගෝවේ සිනමා උළෙල වෙනුවෙන් වැය කරයි. උත්සවයට ආයෝජනය කරන මුදල් ආර්ථිකයේ වෙනත් තැන ලාබ උපයන බව ඔවුන් දනිති.

CIFF, වාර්ෂික සිනමා උළෙලක් සංවිධානය කිරීම පමණින් නවතින්නේ නැතිව, පසු කාලයේ දී චිත්‍රපටි නිෂ්පාදනය සහ ජාත්‍යන්තර සම-නිෂ්පාදනයන්, අලෙවිකරණය සහ බෙදාහැරීම්, ප්‍රදර්ශන සහ චිත්‍රපටි රූගත ස්ථාන සේවා සපයන, කලාපීය සිනමා පාසැලක් යනාදී වූ අංශ වලින් එහිම අරමුදල් උපදවා ගත හැකියි.

කොළඹට පුලුවන් ද?

පැහැදිලි ලෙසින් ම නැඟෙන පැනයන් වෙන්නේ
“කොළඹ වගේ කුඩා නගරයකට මේ තරම් මහා පරිමානයක ජාත්‍යන්තර උත්සවයක් පවත්වන්න හැකි ද?”
මේ වගේ උත්සව නිසා නගර වර්ධනය වෙන්නට පටන් ගනිති. දැනටමත් කොළඹ නගරය වේගවත් සංවර්ධන මාර්ගයක ගමන් කරමින් සිටියි. යෝජනා කර ඇති කොළඹ වරාය නගරය dream city එකකි.
(කොළඹ වරාය නගරය ගැන අනාවැකි දක්වන විඩියෝ ක්ලිප් එකක් මෙතැන දී)
ඉතින් අනාගත කොළඹ මේ වගේ වෙනවා නම්, ඇයි එයට බැරි මම යෝජනා කරන උත්සවය පවත්වන්නට?

ස්තූතියි.

Advertisements

5 Responses

Subscribe to comments with RSS.

  1. Madu said, on මාර්තු 4, 2013 at 1:26 පෙ.ව.

    මට ද මේ පිළිබඳව අදහසක් එක්කිරීමට තිබුණද කාලය මද බැවින් එය පසු අවස්ථාවක කරන්නම්.

    පොඩි එකතු කිරීමක්….

    පළමු සිංහල චිත්‍රපටිය TAF “රාජකීය වික්‍රමය“ (1924) වේ. නමුත් සංස්කරණ සඳහා ඉන්දියාවේ චිත්‍රාගාරයකට ගෙන යාවේදී එය ගිනිබත් වේ. නමුත්, තිර ගත වූ පළමු සිංහල චිත්‍රපටිය “කඩවුණු පොරොන්දුව“ වේ.

    ඊට පසු සාඳන ලද චිත්‍රපටය වනුයේ “අශෝකමාලා“ චිත්‍රපටිය වේ. එහි නිෂ්පාදනය ශාන්ති කුමාර් මැදිහත් වී සිලෝන් තීටර් අධිපති සී. ඒ. ගාඩිනර් විසින් (නායගම්ගෙන් වෙන්වී) 1945 දී අරඹන ලදී. නමුත්, එම කාලවකවානුව තුළ (1946) මිනවාර් නාට්‍ය කණ්ඩායම සමඟ එක් වී වී. ජේ. සිංහ නැමැති ඉන්දියානු අධ්‍යක්ෂක විසින් “කඩවුණු පොරොන්දුව“ ද සැලසුම් කළ අතර, එය කඩි මුඩියේ සකස් කර 1947 ජනවාරි 21 ප්‍රදර්ශනය කිරීය.

  2. Maathalan said, on මාර්තු 4, 2013 at 5:56 පෙ.ව.

    එහෙම ජාත්‍යන්තර උත්සවයක් තියන්න අපේ රටේ සිනමාවක් තියෙනවාද…? චූන් පාන් වෑන් එකෙන් කිඹුලා බනිස් කන උන් බලන සෝ. නිකන් පෙන්නුවොත් නම් බලයි… හොඳ සුද්දෝ එන්නෙ නැත්තෙ අපිට ස්ටාර් ක්ලාස් උනාට මෙහේ හෝටල් නෝ ස්ටාර් ලෙවල් නිසා….

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 4, 2013 at 5:00 ප.ව.

    මේ දේශනය වැඩිහිටියන්ට පමණයි කියලා නේ හඳගම පටන් ගන්නේ කොමෙන්ට් දෙකයි තියෙන්නේ වැඩිහිටියෝ හිගයි අපේ රටේ බබා ලන්තයක් .වගේ. මේකටත් කියන්න තියෙන්නේ ඉස්සෙල්ල ලිපියට දාපු කමෙන්ට් එකම තමයි. මෙතනත් ඒක දාන්නම් හඳගමට විවේචනයක් ගේන ඊළඟ ලිපියත් බලල ඒක ගැන කතා කරමු. මේ ගැන w A විජේවර්ධනගේ ලිපියත් අරුණිගේ ලිපියත් කියවීම ඉතා වැදගත් ඕනෙම කෙනෙක්ට .කරුණාකර එකත් කියවන්න.

    බොලිවුඩ් සහ හොලිවුඩ් සිනමාව සමග අපිට තරඟ කරන්න බැහැ. අඩුතරමේ වාණිජ සිනමාකරුවෙක් කියල කෙනෙක් යප්පවන්න ප්‍රමාණවත් වෙළඳපොළක් වත් අපිට නැහැ ඉතින් art house චිත්‍රපට කරන හඳගම කියල සිනමාකරුවෙක් ඉන්න විදියක් නැහැ හඳගම කියන්නේ මහ බැංකුවේ සේවකයෙක් ඒ රස්සාවෙන් හඳගම යැපෙන්නේ. අපිට ලංකාවෙන් පිට වෙළඳ පොලක් නැහැ. එත් හඳයා කොහොම හරි චිත්‍රපට හදන නිසා ලංකාවෙ art house චිත්‍රපටත් තියනවා. වාණිජ චිත්‍රපටි වලිනුත් මුදල් හොයන්න බැරි ලංකාවේ මෙහෙම හරි හඳයා වගේ කතන්දර කියන්නෙක් ඉන්න එකත් ලොකු දෙයක්. වෙළදපොලක් නැහැ ලාභ නැහැ කියල අපි අපිට ආවේනික අපේම කතා කීමට සිනමාව යන මාධ්‍යය භාවිතා නොකළ යුතුද. හොලිවුඩ් කතා සහ බොලිවුඩ් කතා බලල විතරක් විනෝද වෙමුද?
    ලංකාවේ වැටිලා තියෙන්නේ සිනමා කර්මාන්තය විතරක් නොවෙයි. ආණ්ඩුව ඇඟිලි ගහන්නේ නැතිව වැටෙන කර්මාන්ත වැටෙන්න දීල නගින කර්මාන්ත නගින්න දුන්නනම් අපිට වෙන කර්මාන්ත වලින් සල්ලි එන්න ගත්තම ඊට පස්සේ ඒ සල්ලි වලින් පුළුවන් වෙළඳ පොලක් නැතිව උනත් අපේ විනොදෙට අපිටම සිංහල චිත්‍රපට හදාගන්න. හරියට බැංකුවේ රස්සාවක් කරන එක ජිවත්වන මාර්ගය කරගත් හඳගම අමතර දෙයක් විදියට චිත්‍රපට හදනවා වගේ.

  4. Madu said, on මාර්තු 7, 2013 at 8:15 පෙ.ව.

    77 න් පසු දේශීය සිනමාවේ වැඩි වෙනසක් නොවූ බව ඔබ පවසනවා
    නමුත්, කිවයුතු දෙයක් තිබේ. විශේෂයෙන් මෙම කාලවකවානුවෙන් පසු, බාල වර්ගයේ චිත්‍රපට (ලිංගික, හරයක් රහිත, අර්ථව විරහිත) නිශ්පාදනය හෙවත්, හුදෙක්ම ලාභ ඉපයීම සඳහා පමණක් චිත්‍රපට විශාල වශයෙන් බිහි වීම ද ඇරඹිය. මේ අනුව කාම රැල්ල වඩාත් ඉස්මතු ඉන් පසුවය.

    • arunishapiro said, on මාර්තු 7, 2013 at 8:23 පෙ.ව.

      Madu,

      //හුදෙක්ම ලාභ ඉපයීම සඳහා පමණක්// ලාබයක් නැත්නම්, අනගි ඉහළ කලාත්මක බවකින් රටේ හැමෝටම නරඹන්න බෙදාහරින චිත්‍රපටි හදන්න කවුද සල්ලි දෙන්නෙ? ඔයා ද? නැත්නම් ඔයා කියන්නෙ ලංකාවේ අද පරිභෝජනය නොකර සල්ලි ඉතිරි කරගත්තු ධනවත් අයගෙන් එයින් කොටසක් බලහත්කාරයෙන් උදුරලා ඔයා කලාත්මකයි කියන චිත්‍රපටි හදලා ඔයාට නොමිලේ බලන්න දෙන්න කියලා ද? කවුද කලාත්මක බව තීරණය කරන්නෙ, සුපිරි අධිකාරියක් ද නැත්නම් චිත්‍රපටි සල්ලි දීලා බලන රටේ ජනතාව ද?


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: