අරුණි ශපීරෝ‍ වෙතින්

බුද්ධිමතුන්ට පමණයි -හඳයාට දෘශ්ටි පාරවියලනයක් ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයෙන්!!!

Posted in Uncategorized by arunishapiro on මාර්තු 4, 2013

IMG_5055

1932 දී “සමාජවාදය: ආර්ථික හා සමාජ අධ්‍යයන විශ්ලේෂණයක්” නමින් පිටු 500 ක පමණ පොතක් ලියූ ලුඩ්විග් වොන් මීසස් වියානා නගරයේ සිට ලොවට කියා දුන් ආර්ථික සත්‍යයන් වලින් හඳයාටත්, මගේ අඩවියට ගොඩ වැදෙන සියළු බුද්ධිමතුන්ටත් දෘශ්ටි පාරවියලනයක් ලබා දෙන්නට උත්සාහයකි මෙය. හඳයාගේ දේශනය මුල දී ‘වැඩිහිටියන්ට පමණයි’ යැයි කියැවුණි. මෙහි ලියන අදහස් ඕනෑම වයසක ඉන්නා බුද්ධිමතුන්ට පමණයි.

ඉහත පොතට පෙරවදනක් ලියන මීසස් මෙසේ කියයි: “නිරන්තරයෙන් ඇහෙන දෙයක් තමයි සමාජවාදය පිළිබඳ විද්‍යාත්මක විමර්ශනයක් කිරීම ඵලකට නැති වැඩක් බව. මොකද විද්‍යාත්මක චින්තනයක් පසුපස යන්නට හැකියාව ඇති ඉතා සුළු පිරිසකට පමණක් එය වටහා ගත හැකි නිසා. මෙහෙම කියන අය කියන්නෙ, බහුතර සමාජයට මේවා හැමදාම වටහා ගන්න බැරි දේවල් වේවි. බහුතර සමාජයට සමාජවාදයේ ඇති ආකර්ශණීය වදන් වලින් ඔවුන්ව අපරීක්ෂාකාරී ලෙසින් සමාජවාදය ඉල්ලන්නට යොමු කරාවි. ඒ වදන් වලින් සිද්ධ වන මනබන්ධනයෙන් ඔවුන් සම්පූර්ණ ගැලවීමක් ලැබීමට සහ ඔවුන්ගේ තරහ පිරිමසා ගැනීමේ තෘප්තිය ඉල්ලාවි. ඉතින් ඒ නිසා ඔවුන් තව දුරටත් සමාජවාදය වෙනුවෙන් වෙහෙස වේවි, බටහිර ජාතීන් වසර දහස් ගණනක් ගොඩ නැඟූ ශිෂ්ඨාචාරය, එයින් අනිවාර්යෙන්ම විනාශය කරා ගෙන යාවි. ඉතින් අපිත් වෙන කරන්න දෙයක් නැති නිසා දොම්නසේ හා අවුලේ පැටලිලා ම්ලේච්ඡත්වයේ අන්ධකාරයෙන් විනාශ මුඛයට යාවි කියල.

ඒත් මම ඒ අඳුරු දැක්මේ කොටස් කාරයෙක් වෙන්නෙ නැහැ. එහෙම සිද්ධ වෙන්න පුළුවන්. ඒත් එහෙම සිද්ධ විය යුතු නැහැ. එය ඇත්ත තමයි මිනිස් වර්ගයාගේ බහුතරයකට දුෂ්කර චින්තනයක් වටහාගත නොහැකි බව. සරල ප්‍රස්තුතයක් වුවත් වටහා ගන්නට නොහැකි අයට කොච්චර පාසැල් අධ්‍යාපනයක් ලැබුනත් සංකීර්ණ ප්‍රස්තුත වටහා ගැනීමට හැකියාවක් ලැබෙන්නෙ නැතිබව. එහෙත් ඒ අයට තමන්ට කියලා හිතන්න බැරි වුනාට ඒ බහුතර මහජනතාව අධ්‍යාපනයක් ලබා ඇතැයි හැඳින්වෙන නායක අනුගමනයක් දකින්නට තියෙනවා. ඉතින් අපි මේ අයට ඒත්තු ගන්වන්නට සමත් වුනොත්, එතකොට අපි ජය ලබනවා.” -ලුඩ්විග් වොන් මීසස්, සමාජවාදය: ආර්ථික හා සමාජ අධ්‍යයන විශ්ලේෂණයක්, 1932

ඕනෑම බුද්ධිමතෙකුට තම විශ්ලේෂණය තුලින් ඔප්පු කරගත හැකි පහත අදහස් ලැබෙන්නේ ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයෙන්. මෙය කියවන බුද්ධිමතාගේ කැමැත්ත අනුව එයාට නායකත්වයක් පෙන්වන තෝරාගැනීම කරත හැකියි. සුළු ජාතීන් අතර ඉතාමත් ම කුඩා කොටස නියෝජනය කරන ඒකීය පුද්ගලයාගේ අයිතීන් රැක ගැනීම එවිට එයාට තෝරා ගත හැකියි!!!!

දුරාචාර මොනොපොලියක් පැවතිය හැක්කේ පුද්ගලික අංශයේ කෑදරකම නිසා පමණක් යන්න බහුතරයක් හිතන හුරුවයි. ආණ්ඩුවේ මොනොපොලියක් සමාජයේ යහපත පිණිස පිහිටුවන ලද නිසා එය සදාචාරාත්මක වූවක් ලෙස බහුතරය සලකනවා. ඒත් ආණ්ඩුවේ මොනොපොලියක් හසුරුවන පුද්ගලයන් ද මිනිස් ස්වභාවයන් ඇති අයයි. අපි මේ අවස්ථාවේ දී ආණ්ඩුවේ සියල්ලන්ම සදාචාර යැයි මොහොතකට සලකමු. ඒත් පුද්ගලික අංශය සහ මහජන අංශය අතර එක පැහැදිලි වෙනසක් තියෙනවා. පුද්ගලික ව්‍යවසායකයා ලාබ සොයන සැලසුම් කටයුතු වල නියැළෙන්නේ තම පුද්ගලික දේපල අවදානමට තබමින්. ඒත් ආණ්ඩුවේ සේවකයා මහජන සුවසෙත පිණිස වියදම් සැලසුම් කරද්දී ඔහුගේ පුද්ගලික මුදල් අවදානමට තබන්නේ නැහැ. ඒ වගේ ම, පුද්ගලික අංශයේ එකිනෙකා අතර නිතැතින්ම හටගන්නා තරඟයක් පැවතිය දී, ආණ්ඩුවේ මොනොපොලියකට තරඟයකට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙත් නැහැනෙ. ඉතින් ඒ නිසාම ආණ්ඩුවේ මොනොපොලියකට වෙළඳපොලෙන් ලැබෙන දැනුම්දීම් (market signals) කිසිවක් දකින්නට හැකියාවක් ද ලැබෙන්නේ නැහැ.

ආර්ථිකයක නායකයෙක් නැත. ආර්ථිකයක් යනු හැඟීම් වලින් තොර වූ එසේම විචාරයෙන් ද තොර වූවකි. ආර්ථිකයක් ඉදිරියට යන මාර්ගයේ අවහිර බාධා ඇත් ද, එය ගමන නවතයි. අවහිර බාධා වැඩි වෙද්දී පීඩනයක් දැනෙද්දී ආපස්සට තල්ලු වී යයි. ඉදිරියට ගියත්, එකතැන හිටියත්, ආපස්සට තල්ලු වුනත්, ආර්ථිකය සතුටු වෙන්නේ, උත්සාහයක් ගන්නේ හෝ දුකින් තැවෙන්නේ නැත.

ඉදිරියට යනවා ද, එකතැන ලැග ඉන්නවා ද නැත්නම් ආපස්සට තල්ලු වෙනවා දැයි ආර්ථිකයට මාර්ගෝපදේශයක් ලබා දෙන්නේ වෙළඳපොලයි. වෙළඳපොල හැදෙන්නේ පාරිභෝගිකයන් වෙතිනි. යම් අඩුවක් දකිනා අයෙක්, ඒ අඩුව පිරිමසා ගන්නට ක්‍රමයක් දැක, එය පිරිමසා ගන්නට යමක් කරන්නා පාරිභෝගිකයාය. වෙළඳපොල යනු ඒකීය පාරිභෝගිකයන් එකතුවකින් හැදුනකි.

යමක් කරන්නටත්, වෙනකක් නොකර ඉන්නටත් තෝරා ගන්නා පාරිභෝගිකයා වෙළඳපොලට පණිවුඩයක් දෙන්නෙකි. මුදල් වලින් ගණුදෙනු සිද්ධ වෙන ආර්ථිකයක වියදමක් කරද්දී එයා වෙළඳපොලේ සියළු ම භාණ්ඩ වල අගයන් ගැන දැනුම් දීමක් සිද්ධ කරයි.

මිනිසා විසින් ආර්ථික භාණ්ඩ, පුද්ගලික කාලය, ශ්‍රමය ඕනෑම අවස්ථාවක දී යොදන්නේ තමනට වැඩියෙන් ම සතුටක් ගෙනෙන දැයටයි. දැන් තිත්ත කසාය බොන්නේ අනාගතයේ ලෙඩේ නිට්ටාවට ම සුව වෙන තෘප්තිය දැන් දැනෙන තිත්ත බවට වඩා ඉහළ වූ අගයෙන් වෙතැයි තෝරාගන්නා නිසාය.

මිනිසා ස්වභාවයෙන් ම අඩු උවමනාවෙන් ඇති අවශ්‍යතාවය සපුරාලීම පසෙකට දමා වැඩියෙන් ම හදිසි වූ අවශ්‍යතාවය සපුරාලන්නට තෝරා ගනියි. ආර්ථික ක්‍රියාවක යෙදෙන හැම පුද්ගලයෙකු ම අවශ්‍යතා දෙකකින් තෘප්තිමත් කරන්නට එකක් තෝරා ගන්නෙකි. එහි දී ඒ ආර්ථික ක්‍රියාවට හසුවෙන ආර්ථික භාණ්ඩයට අගයක් දෙන්නේ ඔහු විසිනි.

පාරිභෝගිකයන් තමන් ඉදිරියේ වූ ආර්ථික භාණ්ඩයක් තෝරා ගනිද්දී, පරිභෝජනයට සූදානම් වූ බඩුවකින් (first order goods = consumption goods = මිල දී ගත් සැණින් පරිහරණය කළ හැකි භාණ්ඩ = පරිහරණයෙන් පසුව අගය නොමැති වී යන භාණ්ඩ) තෘප්තිය ලැබෙන්නේ කෙසේදැයි තමන් විසින් ඍජුවම කියන්නට දන්නේ ය.

පාරිභෝගිකයා කරන ඒ තීරණය වෙළඳපොලට කියන්නේ ඔහු තෝරාගත් ආර්ථික බඩුව වැඩියෙන් අවශ්‍ය බව හා ඔහු තෝරා නොගත් ඒවා අඩුවෙන් අවශ්‍ය බවයි (වෙළඳපොල ඉල්ලුම). මෙය පැහැදිලි නොමැති වෙළඳපොලක පාරිභෝගික භාණ්ඩ හිඟ වී යද්දී, එහි දකින්නට ලැබෙන්නේ මූල්‍ය භාණ්ඩ (capital goods) පමණි. ඒවා පරිහරණය නොහැකියි. එනම් ඒ ඉහළ පර්යාය (higher order) භාණ්ඩ වැඩි වී ඒවායෙන් බිහිවිය යුතු පාරිභෝගික භාණ්ඩ වෙළඳපොලේ හිඟ වෙයි.

වෙළඳපොලේ තත්වයන් සංකීර්ණ වෙද්දී, එනම් ඉල්ලුම හා සැපයුම අනුව හුවමාරුවට පරිබාහිර ව සිද්ධ වෙන කටයුතු වැඩි වෙද්දී, පාරිභෝගිකයාට තමා සොයා යන භාණ්ඩය හා තමන්ට මිල දී ගන්නට ලැබෙන භාණ්ඩය අතර වෙනස කුමක් දැයි හඳුනාගැනීම දුෂ්කර වෙයි. එහි දී පාරිභෝගිකයා තෘප්තිමත් කරන තෝරා ගැනීමකට ඉඩක් ලැබෙන්නේ නැති නිසා පාරිභෝගිකයා විසින් (එනම් වෙළඳපොල විසින්) ආර්ථිකයට පැහැදිලි මඟ පෙන්වීමක් ද සපයන්නේ නැත. එවිට ඉදිරියට යන්න නොහැකි ආර්ථිකය එක තැන ලැග සිටියි.

වෙළඳපොල තත්වයන් සංකීර්ණ වෙන්නේ නිෂ්පාදන ක්‍රියාවලිය තීරණය කරන අය එනම් රාජ්‍ය, සමාජය හා ව්‍යවසායකයන් පනවන රෙගුලාසි වැඩි වීමෙනි. රෙගුලාසි ලිහිල් කිරීමෙන් උද්‍යෝගයක් ආර්ථිකයට ලැබෙනවා යැයි කියමින් ආර්ථිකයක් වැටෙද්දී රෙගුලාසි ලිහිල් කරනා අය ආර්ථිකයක් වැටෙන්නට පෙර, රෙගුලාසියක් පනවන්නට පෙර, ඒ ගැන කල්පනා කරන්නේ නැත්තේ මන්ද?

හුදකලාව වනාන්තරයක වාසය කරන අයෙකුට දඩයමේ යනවා ද නැත්නම් මී පැණි එකතු කරනවා ද යන දෙකෙන් එකක් තෝරා ගැනීම පහසුයි. එයාට තමන් සලකා බැලිය යුතු කාරණා පැහැදිලිව දැකිය හැකියි. මිනිස් සම්පත ස්වභාවික සම්පතට එකතු කර වස්තු සම්පත් නිෂ්පාදන ක්‍රියාවලිය එහි දී කෙටි ය. එයට යන මුළු වැය හා එහි දී ලබාගත හැකි පරිභෝජන භාණ්ඩ ප්‍රමාණය කොතරම් දැයි සම්පුර්ණයෙන් ම දැනගත හැකියි.

එහෙත් දිය ඇල්ලකින් විදුලිබලය ගන්නවා ද නැත්නම් ගල් අඟුරු පතල ඒ විදියටම පවත්වා ගෙන යමින් ගල් අඟුරු වලින් වඩා කාර්යක්ෂමව වැඩ ගන්නවා ද යන දෙකෙන් එකක් තෝරා ගැනීම වූ කලී පහසුවෙන් ගත හැකි තීරණයක් නොවේ. මෙහි නිෂ්පාදන ක්‍රියාවලිය දිගු ය. විවිධ ය. සාර්ථකත්වය රඳන සාධක අනේක ය. එවැනි සැලසුමක දී අපිට අපහැදිලි අදහස් වලින් තෘප්තිමත් විය නොහැකියි. ඒවා පහදා ගෙන ඒ අදහස් ක්‍රියාත්මක කිරීමෙන් ලාබදායක තත්වයක් ලැබේ දැයි ප්‍රවේශමෙන් ගණන් හදන්නට සිද්ධ වෙයි.

ඒත් ගණන් හදන්නට නම් අපිට ඒකකය (unit) කුමක් දැයි යන දැනුම අවශ්‍යයයි. ආර්ථික භාණ්ඩ පාවිච්චි කරන කැමැත්ත කියන ප්‍රකාශන වලින් (උදා: නොමිලේ අධ්‍යාපනය, සැමට සෞඛ්‍ය පහසුකම්, කලාත්මක අගයෙන් ඉහළ සිනමාව) අපිට ඒකකය කුමක් දැයි සොයාගත නොහැකියි. ආන්තික උපයෝගීතාවය (marginal utility) ද අපිට ඒකකයේ අගය කුමක් දැයි පෙන්වන්නේ නැත.

ආර්ථික භාණ්ඩයක ඒකකයන් දෙකක අගය එකකට වඩා වැඩි යැයි කිව නොහැකියි. ඒකකයන් දෙකක එකකට වඩා හෝ කුඩා ප්‍රමාණයකට වඩා වැඩියෙන් තිබුණාට ඒකකයන් දෙකක අගය එකකට වඩා වැඩි යැයි ආර්ථික ගණනයක (economic calculation) දී සැලකීම දෝෂ සහගතයි. මන්ද යම් භාණ්ඩයක අගය (value) මැනිය (measure) නොහැකියි; යම් භාණ්ඩයක ඇති අගයක් විසින් ඉටු කරන්නේ එය දකින පාරිභෝගිකයාට යම් පිළිවෙලක් හදා දීම (arrange) සහ ශ්‍රේණියක් (grade) ඉදිරිපත් කිරීම පමණයි. හුවමාරු ආර්ථිකයේ දී අගය තීරණය කරන්නේ එය මිල දී ගන්නා අවස්ථාවේ දී පාරිභෝගිකයා විසිනි.

පිළිවෙලක් නැති විටෙක, අපට ඇත්තේ කවුරු හෝ ඊට නිර්දේශ කළ අගයක් පමණක් නම්, (අද තෙල් මිල ….) එවිට අපි ගණනය කරන්නේ නිශ්චිත සාධක වලින් නෙමෙයි. ආර්ථික ගණනයක් හදන්නට අපිට වෙළඳපොලේ දී අපි තෝරා නොගන්නා දේවල් වලට යන වියදම කොපමණක් දැයි දැන ගැනීමට ද හැකිවිය යුතුයි. තෝරා ගැනීමකට ඉඩක් නැතිකළ මේ අවස්ථාව ද නැති වී යයි.

1. හුවමාරු ආර්ථිකයක දී භාණ්ඩවල වාස්තවික හුවමාරු අගය (objective exchange value) තමයි ගණනය කළ හැකි ඒකකය බවට පත්වෙන්නේ. තවත් විදියකින් කිව්වොත් හුවමාරු වෙළඳපොලක දී දැකිය හැකි මිල දර්ශකයෙන් එයින් අපිට හුවමාරුවට සහභාගී වී ඉන්නා සෑම පාරිභෝගිකයෙක්ම ඊට දෙන අගය මත ගණනය පදනම් කරගන්න පුලුවන්. එය හැමෝම අතර සිද්ධ වෙන විකිණීම හා මිල දී ගැනීම සිදුවෙද්දී දැනගන්නට හැකිවෙන දෙයක්. යම් වෙළඳපොලක් හැදී ඇත්තේ රාජ්‍ය ආයෝජන හා රෙගුලාසි හා මිල තීරණ මැදිහත් වීම් වලින් නම් එහි දී ඒකකයක අගය සොයාගන්න ක්‍රමයක් නැහැ.

2. මේ ගණනයට හැකියාව වෙළඳපොලට දෙන වැදගත් පණිවුඩය තමයි නිෂ්පාදන උපකරණ (means of production) නිසියාකාරව අපි පරිහරණය කරනවා ද නැද්ද කියල. සංකීර්ණ ක්‍රියාවලියක දී වියදම් ගණන් හදන්න කැමති අයට මෙහි දී පෙන්වනවා එහි අනෙත් කොටස් වල යෙදෙන අය අරපිරිමැස්මෙන් කටයුතු කරනවා ද නැද්ද කියල. දැනට තියෙන වෙළඳපොල මිල ගණන් යටතේ ඔවුනට ලාබයක් උපයන්නට බැරි නම් ඒ නිෂ්පාදන ක්‍රියාවලියෙන් (process of production), එතැන දී වෙළඳපොල පෙන්වන්නේ පැහැදිලිවම වෙනත් අයට සාර්ථක ලෙසින් ඒ ආර්ථික භාණ්ඩය නිෂ්පාදනය කරන හැකියාව තිබෙන බවයි. යම් වෙළඳපොලක් හැදී ඇත්තේ රාජ්‍ය ආයෝජන, රෙගුලාසි හා මිල තීරණයන් මැදිහත් වීමෙන් නම් අනෙක් කොටස් වල යෙදෙන අය අරපිරිමැස්මෙන් කටයුතු කරනවා ද නැද්ද සොයාගන්නත් බැහැ.

3. හුවමාරු අගය (exchange value) අනුව ගණන් හදද්දී අපිට පොදු ඒකකයක (common unit) අගය සොයා ගන්නට හැකියාව ලැබෙනවා. යම් ආර්ථික භාණ්ඩයක් වෙනුවට පාවිච්චි කළ හැකි වෙනත් ආර්ථික භාණ්ඩයක් අතර පවතින සම්බන්ධතාවය අපිට හුවමාරු ගණුදෙනු වල දී දකින්නට හැකිවෙන නිසා, අපිට කැමති භාණ්ඩයක් මෙහි දී තෝරාගත හැකියාව ද ලැබෙනවා. මුදල් ආර්ථිකයක දී අපි කොච්චර මුදල් ප්‍රමාණයක් වැය වී ඇත් ද කොච්චර මුදල් ප්‍රමාණයක් ලාබ ලැබී ඇත් ද අනුව ඒ තෝරා ගැනීම සිද්ධ කරනවා. යම් වෙළඳපොලක් හැදී ඇත්තේ රාජ්‍ය ආයෝජන මැදිහත් වීමෙන්, රෙගුලාසි හා මිල තීරණයන් වලින් නම් අපිට යම් සහයෝගයෙන් කරන ආර්ථික උත්සාහයක දී කැමති අමාත්‍යාංශයක් (පාඩු සිදු කරන) අත්හැර කැමති අමාත්‍යංශයක් (ලාබ උපදවන) තියාගන්න ඉඩක් ලැබෙන්නේ නැහැ!!!!!!

අපි ගණුදෙනු අගය (exchange value) පැත්තකට දාලා, ආත්මීය පරිහරණ අගය (subjective use value) භාවිතයෙන් අගය හොයන්නට ගියොත් අපේ ගණන් හැදීම අවුල්. ලාබ අලාබ පෙන්වන්නේ නැතිනම් වෙළඳපොලකට මාර්ගෝපදේශකයක් ලැබෙන්නේ නැති නිසා එයට නිෂ්පාදනය කළ යුත්තේ මෙනාවා ද නැත්තේ මොනවා ද යන්නත් එවිට දැනගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

අපිට බැහැ දිය ඇල්ලක් අසල විදුලිබලාගාරයක් හදද්දී එයින් පරිසරයේ ලස්සන නැතිවෙලා ගිහින් සංචාරකයන් එන්නෙ නැතිවීම ගැන ගණන් හදන්න. ඒකේ අනිත් පැත්තත් එහෙමයි. අපිට බැහැ අපි මේකට හරි ආසයි, මෙය අපිට ඉතා වැදගත් කියල ආර්ථික ගණනයක් කරන්න හුවමාරුවෙන් සිද්ධ වූ ගණුදෙනුවක ඒකකයක අගය අපි සතුව නැත්නම්.

බිල්ඩිමක ලස්සන, ජනතා සෞඛ්‍යය, ජාතියක අවංක බව යනාදිය වැටෙන්නෙ ආර්ථික ගණනයක් කළ නොහැකි අංශයට. ඒවා වැදගත් නැහැයි කියනවා කියල වරද්ද ගන්න එපා. ඒත් ඒවාට ගණුදෙනු හුවමාරුවක දී ලැබෙන, එනම් ආර්ථිකයට හෝ වෙළඳපොලක දී ලැබෙන එහි ඒකකයක අගය නොදන්නා නිසා අගැයුම් (evaluate) කරන්න නොහැකි වූවක්.

අම්මාගේ සෙනෙහස මිල කළ නොහැකියි!!!!! ඒත් ලෝකයේ මිල ගණන් නියම කරන්න වැඩියෙන්ම උත්සාහ කරන්නෙ මුදලට යට වෙන්න එපා කියන අයම වී ඇත්තේ කෙසේද?!!!!!

අපි නිශ්චිතව ම දන්නවා නම් ලස්සනට, නිරෝගී බවට, අවංකකමට මෙච්චර ගණාක් යනවා කියල, අන්න එදාට අපිට එය ගණනය කරන්න පුළුවන් හැකියාව ලැබී එය ආර්ථික ක්‍රියාවලියට යොදවා ගන්නේ කෙසේද යැයි සැලසුම් හදන්න පුළුවන්.

මෙය මුදල් ආර්ථිකයක හැටි.

එය හොඳ හෝ නරක යැයි කිව්වාට වැඩක් නැහැ, මොකද එය වෙනස් කළ නොහැකි මිනිස් ස්වභාවයේ සහ ස්වභාව ධර්මයේ හැදියාවක්.

ඉතින්, වෙළඳපොල හුවමාරුව තුලින් නිෂ්පාදන ඒකකයේ වැය (production unit cost) දැනගන්නට ලැබුණාට, රාජ්‍ය අමාත්‍යාංශ, මහජන හා පුද්ගලික බැංකු, පුද්ගලික ව්‍යාපාර සමඟින් සිද්ධ වෙන සංකීර්ණ ක්‍රියාවලියක දී එය කුමක් දැයි නිශ්චිතවම දැනගන්නට (ඒකකයක් හදාගත නොහැකියාව නිසා) හැකියාව නැති වී යනවා.

දීර්ඝ කාලීන සංවර්ධනයක් පවත්වා ගෙන යන්නට නම් වෙළඳපොලෙන් ලැබෙන මාර්ගපෝදේශකයක් ද අවශ්‍ය නිසා එය ලබාගත හැකි ක්‍රමයක් ද නැති වී යනවා.

හැබැයි, ඔය අමාත්‍යාංශ වල සහ ඉන් පිටත ඉන්න දේශපාලනඥයන් සහ ජනතා නායකයන් නම් ඕනෑ තරම් අතරමං පාරවල් වල යන්න මාර්ගෝපදේශක දේවි!!!!

දේශාභිමානය වෙනුවෙන් ගෙවිය යුතු මිල කුමක් දැයි දන්නා අයෙක් ලෝකයේ කොහේවත් නැහැ. එහෙම හැකියාවක් තියෙන කෙනෙක් හොයා ගන්නා තෙක් අපිට ලෝකයේ හැමෝටම දේශාභිමානය මෙයැයි කියා පාන ආර්ථික සැලැස්මක් හදන්නට ද නොහැකියි!!!!

ඒත් එහෙමයි කියල පුරාතනයේ සිට ඊට උත්සාහයක් අනුන්ගේ කරපිටින් ගෙන ගිය නායකයන් සිටියේ නැතිවා නොවේ. අදත් සිටින හා හෙටත් එවැනි උත්සාහයන් ගන්නා නායකයන් බිහිවෙන්නේ ද නැතිවා නෙමෙයි. ඒත් ආර්ථික කටයුතු (economic activity) නොවන ඕනෑ තරම් දේවල් තියෙනවා ජාතියක උදාරත්වය නංවාලන්නට අවශ්‍යතාවයක් කෙනෙකුට ඇත්නම්. 😀

මේක ලියාගෙන යද්දී මහ බැංකුවේ ආණ්ඩුකාරයා ගෙනෙනවා කියන “ලිබරල් සීමා” ගැන ප්‍රවෘත්ති වාර්තාවක් දැක්කා. සිරස්තලය කදිම උදාහරණයක් විරෝධෝක්තියක් -oxymoron යනු කුමක් දැයි කියන්නට; හරියට ‘මෝඩ පණ්ඩිතයෙක්’ කියනවා වගේ අදහසක් තමයි ‘ලිබරල් සීමා’ කියන එකෙන් එන්නෙත්!!!!!

වෙළඳපොල ලිබරල් නම් අක්ෂරය ප්‍රදර්ශනය කළ හැකි වාතාවරණයක් එහි පැවතිය යුතුයි!!!!!!!

ලිබරල් නොහොත් ලිහිල් ප්‍රතිපත්ති නැතිව කිසිම කර්මාන්තයක් නඟාලන්නට තියා පවත්වා ගෙන යන්නටවත් බැහැ කියන එක ඉහත අර්ථ ශාස්ත්‍ර විග්‍රහයෙන් බුද්ධිමත් අයට වැටහේවි.

ඉතින් හඳයාගේ සිනමා සිහිනයට යෝජනාවක් ඉදිරිපත් නොකර සටහන අවසන් කිරීම මදි නිසා, යෝජනාවක් ගෙනෙන්නම්. බේස්මන්ට් වල, ගරාජ් ඇතුලේ පටන් ගත් පුංචි උත්සාහයන් තමයි වෙළඳපොල දැනුම්දීම් වලට සවන් දීලා ලෝකයේ විශාල වශයෙන් ලාබ උපයන ව්‍යාපාර බවට පත් වී තියෙන්නෙ. ඉතින් පුංචි ලංකාවේ දක්ෂයන්ට එකතු වෙලා Colombo Online International Film Festival එකක් සංවිධානයෙන් ශ්‍රී ලංකාවේ සිනමාවට නව පණක් දෙන්න පුළුවන් ද? එය කිසිත් රාජ්‍ය බැඳියාවක් නොමැතිව ශ්‍රී ලංකා සිනමාවට ළැදි කිහිප දෙනෙකුගේ ආයෝජන අවදානමට තබා කළ හැකි වූවක්. එය ලෝකයේ වැඩි පිරිසක් වෙත අඩු වැයකින් ගෙන යන්නට හැකි උත්සාහයක්. රියැලිටි ෂෝ තත්වයකට ගෙන එන්නත් පුලුවන් සම්මාන දිනන රටවල අය සම්මානය ලැබූ බව දැනගන්න අවස්ථාවේ දී විඩියෝ මඟින් සම්බන්ධ වීමෙන්. ඒ වගේ ම ඒකක පිරිවැය ප්‍රතිලාභ (unit cost benefit) කොහොම දැයි එහි හැම අදියරක දී ම පහසුවෙන් දැනගන්නට හැකියාව ලැබෙනවා. ඇමෙරිකාවේ එහෙම වුනාට ආසියාවේ තවම කිසිවෙක් එවැනි උත්සාහයක් ගෙන තියෙනවා දැයි නොදනිමි.

Advertisements

2 Responses

Subscribe to comments with RSS.

  1. ravi said, on මාර්තු 5, 2013 at 8:27 පෙ.ව.

    සුළුසේවක වැඩවර්ජනයෙන් රෝහල් සේවා සම්පූර්ණයෙන්ම අඩාල වූයේයයි ඇමතිවරයා සිතන බව ජාතික රූපවාහිනියේ සමබර ප්‍රවෘත්ති විකාශයේදී නිවේදිකාව ප්‍රකාශ කලාය.

    මේ වාක්‍යයෙ තියනව Oxymorons බර ගානක් 🙂 🙂


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: