අරුණි ශපීරෝ‍ වෙතින්

විචාරය තාර්කිකව සිද්ධ වෙන්නක් -ජෝන් ස්ටුවර්ට් මිල්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 5, 2013

dawkins-enemy

අපේ දැනුමේ වඩාත්ම විශාල වූ කොටස, ඒවා සාමාන්‍ය සත්‍යයන් වලින් සමන්විත වේ ද, විශේෂ පරිසිද්ධි වලින් සමන්විත වේ ද, ඒවා සියල්ල අනුමේයය (inference) මඟින් ඇතිවෙයි.

ජීවිතයක වැඩියෙන් කෙරෙන්නේ අයෙක් අනේක නිගමනයන්ට එළඹීමයි. දිනපතා, පැයෙන් පැයට, හැම මොහොතක දී ම අයෙකුට ඍජු අත්දැකීමක් නැති පරිසිද්ධියක් මුණ ගැසේ. යම් මහා දැනුමක් එකතු කරගන්නට ගන්නා උත්සාහයක් නිසා එසේ සිද්ධ වන්නක් නොවේ. අයෙකුට යමක් දැනගන්නට කැමැත්තක් ඇති නිසා හෝ යම් වෘත්තියක නියැළෙන නිසා හමුවට එන පරිසිද්ධි වෙති.

මහේස්ත්‍රාත්වරයා, ගමනක් යන්නා, ආහාරයක් පිසින්නා, වෛද්‍යවරයා, ගොවියා යනාදී ඕනෑම අයෙකු තමන් ඉදිරියේ ඇති සාක්ෂි වලින් විනිශ්චයක් කරා යයි. තමන් හමුවට ලැබෙන දත්ත අනුව හැසිරෙයි. යම් වැඩක නිරත වන්නට අපි සියල්ලන්ටම යම් පරිසිද්ධීන් (facts) නිසැකව දැනගන්නට අවශ්‍යයයි. ඒ අනුව අපි ඒවාට එක්කෝ අපි හදාගත් නැත්නම් අනෙක් කවුරු හරි අයෙක් නිර්දේශ කරන ලද යම් රීතීන් අදාළ කරගනිමු. අපි ඒවා කරන්නේ කොතරම් හොඳින් ද සහ කොතරම් දුර්වල ලෙසින් ද යන්න අනුව අපේ කටයුතු ද හොඳින් හෝ දුර්වල ලෙසින් සිද්ධ වෙයි.

නිගමනයන් කරා එළඹීමක් නොකර මිනිස් මොළයක් තුල මෙහෙයුමක් සිද්ධ වීම කිසිම විටෙක දකින්නට නොහැකියි. නිගමනයකට එළඹෙන මෙහෙයුමක දී මොළය සොයන්නේ තර්කය නෙමෙයි, දැනුමයි. පාවිච්චියට ගත හැකි දැනුමක් අවශ්‍ය නිසා ඒ දැනුම සොයයි.

තර්කය (logic) යනු දැනුම (knowledge) නොවේ. දැනුම යන ක්ෂේත්‍රය සමඟ තර්කය දකින්නට ලැබුණත් ඒ දෙක එකක් නොවේ. විශේෂ විමර්ශනයක් කරන මොළයේ පොදු විනිසුරු හා යමක් තේරුම් බේරුම් කරදෙන්නට සහාය වෙන්නේ මිනිස් මොළයේ ස්වභාවයෙන් පිහිටා ඇති තර්ක ශක්තියයි.

සාක්ෂි (evidence) සොයන මෙහෙය තර්කය විසින් බාරගන්නා කාර්යයක් නොවේ. තර්කය ඉදිරියට ගෙනෙන සාක්ෂි එය පරිහරණයට ගන්නවා පමණි.

තර්කය නිරීක්ෂකණයක් (observation) කරන්නේ නැත. නවෝත්පාදනයක් (innovation) නොවේ. යමක් සොයාගන්නට උත්සාහ නොකරයි. තර්කය ඉදිරියට ගෙනෙන තොරතුරු විනිශ්චය කරලීම පමණක් තර්කයේ කාර්යයි.

වෛද්‍යවරයෙකුට යම් ප්‍රචණ්ඩ මරණයක් ඉදිරියේ එය සිද්ධ වූයේ කෙසේදැයි හේතු සොයන හැටි තර්කය විසින් කියා නොදෙයි. අත්දැකීම් වලින්, නිරීක්ෂණයන් වලින්, අනෙකුත් අයගෙන් ලබාගත් උපදෙස් වලින්, කළින් එසේ සෙවීම් බැලීම් කර ඇති අයගේ සොයාගැනීම් වලින්, වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරන දත්ත වලින් යනාදියෙන් සියළු තොරතුරු හමුවට ගෙනා පෑ විට විනිශ්චය කර දෙන්නේ වෛද්‍යවරයාගේ තර්කය විසිනි. තර්කය කරන්නේ ඒ නිරීක්ෂණයේ සහ අත්දැකීමේ ඇති තොරතුරු ප්‍රමාණය අනුව විනිශ්චයක් කිරීමයි.

තර්කයක් සාක්කි ඉදිරිපත් කරන්නේ නැත. එහෙත් තර්ක කරන්නාට ඒවා සාක්කි වෙන්නේ දැයි නැද්දැයි පෙන්වා දෙයි. ඒවා විනිශ්චය කළ යුත්තේ කෙසේදැයි කියා දෙයි. යම් විශේෂ පරිසිද්ධියක් තවත් පරිසිද්ධියක් ඔප්පු කරනවා දැයි කියා දෙන්නේ නැත. එහි දී පෙන්වන්නේ අනෙක් පරිසිද්ධියක් ඔප්පු කරපෙන්වන්නට නම් සියළු පරිසිද්ධි විසින් අනුගමනය කළ යුතු ක්‍රමය කුමක් දැයි කියා පමණි. මේ කොන්දේසි සියල්ල යම් පරිසිද්ධියක් විසින් ඉෂ්ට කර ඇත්දැයි තීරණය කරන්නට නම්, යම් තීරණාත්මක අවස්ථාවක දී ඒ තීරණය ගන්නට මේ පරිසිද්ධි යොදාගත හැකි දැයි කියාදෙන්නේ ඒ ඒ කලාව හෝ විද්‍යාවට පමණි. නැත්නම් ඒ විෂය ගැන අපිට ඇති විශේෂ දැනුම මඟිනි.

එහෙම බලද්දී, තර්කය යනු විද්‍යාවේ විද්‍යාවයි. සෑම විද්‍යාවක්ම හැදෙනුයේ දත්ත හා ඒ දත්ත වලින් එළැඹෙන නිගමන වලිනි. සාක්ෂි හා ඒ සාක්ෂි වලින් ඔප්පු කරන දැයෙනි. ඊට උපකාරයක් ලෙසින් දත්ත හා ඒ දත්ත වලින් එන නිගමනය අතර පැවතිය යුතු සම්බන්ධය කුමක් දැයි තර්කය විසින් පෙන්වා දෙනු ලැබේ. සාක්ෂි හා ඒ සාක්ෂි වලින් ඔප්පු කළ හැකි දෑ අතර පැවතිය යුතු සම්බන්ධය කුමක් දැයි තර්කය විසින් පෙන්වයි.

සෑම විද්‍යා ක්ෂේත්‍රයකම වගේ ම සෑම ඒකීය පුද්ගලයෙකුටම තම හැදියාවට මාර්ගය පෙන්වන්නේ මේ දත්ත හා නිගමනය අතර පැවතිය යුතු සම්බන්ධය කුමක් දැයි කියා දීම මඟිනි. එය නිවැරදි ක්‍රමයට නොකරන අයෙක් වැරදි නිගමන කරා එළඹෙයි. යථාර්ථයේ නොපවතින දේවල් මත පදනම් වූ නිගමන වලට එළඹෙයි.

ඍජු ප්‍රතිභා ඥානයකින් එකතු කරගන්නා දැනුමක් (දැන් බඩගිනියි වැනි) නොවන කල්හි, අනෙක් සියළු අවස්ථාවන් හි දී එළඹෙන නිගමන තම සිතේ සහජයෙන් පවතින හැකියාවක් වූ තර්කය මඟින් විමර්ශනය වන ලද ඒවාය. නිගමන තර්කයේ රීති වලට අනුකූලව යුක්ති සහගත නම් ඒ දැනුම සත්‍යයකි. ඒ තර්කයේ රීති අයෙක් දැන සිටියේ ද නොදැන සිටියේ ද යන්න එතැන දී තර්කය විසින් විනිශ්චයක් දෙන්නට සැලකිල්ලට ගන්නේ නැත.

මිනිස් වර්ගයා සාක්ෂි දිහා නිවැරදිව බලන්නට නිරන්තරයෙන්ම උත්සාහ කරන්නෙකි. එය මත ඔහුගේ පැවැත්ම තීරණය වෙයි. කලාකරුවා විද්‍යාව නොදැන කලා නිර්මාණයක් බිහි කරන්නට සමත් වෙන්නා සේ පාවිච්චියට ගන්නට එය වැඩ කරන හැටි දැන සිටීම වැදගත් නොවූවත් එය වැඩ කරන ආකාරය ඉගෙන ගන්නේ නම් තාර්කික අවුල් වල පැටලී වැරදීම් සිද්ධ වීම අඩුකර ගත හැකියි. වඩා පහසුවෙන් අවුල් බේරා ගන්නට කුමන සාක්ෂි අවශ්‍ය දැයි, කුමන නිරීක්ෂණ අවශ්‍ය දැයි, කුමන කොන්දේසි යටතේ මෙහෙය විය යුතු දැයි දැන ගැනීමෙන් හොඳ විභාගයකට පරිසිද්ධි තම තර්කය වෙත ඉදිරිපත් කරන්නට පුද්ගලයාට හැකියාව ලැබේ.

හැම අවස්ථාවක දී ම පාවිච්චියට ගන්නා විජට්ටුවක් සහජයෙන් ඔබ සතු නම් එය වැඩ කරන්නේ කෙසේදැයි දැන සිටිය හොත් වඩා වාසි ද? නැද්ද?

ජෝන් ස්ටුවර්ට් මිල් ගේ A System of Logic (1843) ග්‍රන්ථය ඇසුරිනි.

පින්තූරය: රිචඩ් ඩෝකින්ස් ගේ බ්‍රිතාන්‍ය රූපවාහිනි වැඩ සටහන අලෙවිකරණයට හැදූවකි. අන්තර්ජාලය පුරා සැරිසරන ලද ඒ පෝස්ටරයට අයෙක් “මෙයා වගේ” (such as) යැයි එකතු කර තිබිණි!!!

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. තහනම් වචන said, on මාර්තු 7, 2013 at 1:36 ප.ව.

    Richard Dawkins ට විරුද්ධ වන්නේ ඊනියා හේතුවාදීන් නොවේ, නිර්මාණ වාදීන් බවයි මගේ නිරීක්ෂණය. The Selfish Gene, The Blind Watchmaker වැනි කෘති තුළින් ඔහු නිර්මාණවාදයට අනුකම්පා විරහිතව සහ නිර්දයව පහර දී තිබීම ඊට හේතුවයි. තමාවම ආදේවවාදියකු (atheist) ලෙස හඳුන්වා ගත්තත් මට නම් ඔහු වඩාත් කිට්ටු වෙන්නේ පෙරදිග තර්කනයේ නොමැකෙන සලකුණ වන නාගාර්ජුන හිමියන්ට.

    අනික අරුණි, තර්කය යනු විද්‍යාවේ විද්‍යාව යන්නට මම එකඟ නැහැ. මා හිතන විදියට විද්‍යාවේ විද්‍යාව විය යුත්තේ දර්ශනය. “මෙහෙම හිතපන්” යැයි විද්‍යාවට කියන්නේ දර්ශනය. උදාහරණයක් විදියට බටහිර විද්‍යාවේ සාමුද්‍රිකාව (Hallmark) තමා ඌණනවාදය (Reductionism). හෙවත් විශාල සහ සංකීර්ණ දේ, කුඩා සහ සරල දේට ඌණනය කිරීම. ඒ අතින් ගත්තම වෛද්‍ය වරයකු සහ ඉංජිනේරුවකු අතර චින්තනයේ වෙනසක් නැහැ.

    තර්කය යනු මෙකී දර්ශනය සහ චින්තන විධික්‍රමය මත පදනම් වූ උපකරණයක් නෙමේද? උදාහරණයක් විදියට ඇරිස්ටෝටලීය තර්කනය ද්විකෝටිකයි. එක්කෝ සත්‍ය, නැතිනම් අසත්‍ය. අතරමද්දක් නැහැ. නමුත් පසුකාලීන ක්වොන්ටම් වාදය පදනම් වෙන්නේ චතුෂ්කොටිකය මත. තිබේ, නැත, තිබේ සහ නැත, නොතිබේ සහ නැතිද නොවේ වශයෙන්. චතුශ්කොටිකයම ගත්තත් පෙරදිග සහ බටහිර දී ඒ දෙක අරුත් ගැන්වෙන්නේ ආකාර දෙකකට. එහෙම එකේ තර්කය, විද්‍යාව තුළ භාවිතා වන උපකරණයක් මිස, ඊට ඉහළින් සිටිමින් විද්‍යාවේ ගමන තීරණය කරන්නක් නොවේ යන්නයි මගේ මතය. අපේ විද්‍යාවට අවශ්‍ය හැටියට අපි තර්කන ක්‍රම හදාගන්නවා. මිසක් තර්කයට අනුව විද්‍යාව හැඩගැන්වෙනවා නෙමේ නේද?

    • arunishapiro said, on මාර්තු 7, 2013 at 3:29 ප.ව.

      තහනම් වචන,

      නිර්මාණවාදීන් විතරක් නෙමෙයි ලොව පිළිගත් විද්‍යාඥයන් (කිසිම වාදයකට නැඹුරු නැති) විවේචනය කරන්නේ Dawkins ව මේ විදියට: (මේක නාලක ගුණවර්ධන ලංකාවේ වකගඩු රෝග පැතිර යාම ගැන කරපු presentation එකක සටහන් වල තියෙනවා දැකලා ඉතාමත් සතුටු වුනා. ඔයත් ඒ ගැන සටහනක් දැම්ම නිසා ගැලපෙනවා කියලත් හිතුණ. මෙයයි ඩෝකින්ස් අතරයි සෑහෙන මතවාදී ගැටුම් තිබුණ.) “විද්‍යාඥයන් මුලින් කළ යුත්තේ තමන් විද්‍යාඥයන් හැටියට ප්‍රතිෂ්ඨාපිත වීමයි, එහි දී අනෙකුත් විද්‍යාඥයන් පුනරීක්ෂණය කරන ලද ජයග්‍රහණයක් ගැන ස්ථිර වාර්තාවක් තිබිය යුතුයි, ඊට පස්සෙ තමන් විශේෂඥතාවය ලැබූ අංශය ගැන කතාබහ කළ යුතුයි –හැමෝටම ඇහෙන්න, ඕනෑ නම්.” -“Scientists should first establish themselves as scientists, with a solid record of peer-reviewed achievement, THEN speak out in their area of expertise –loudly, if necessary.” –Edward O Wilson, Harvard biologist, author

      ඩෝකින්ස් විසින් විද්‍යාත්මක අදහසක් ඉදිරිපත් කර දැක්වූයේ ඔහු meme ගෙනහැර පෑ 1976 දී. ඒ උපාධි නිබන්ධනයෙන් පසුව ඔහු අනෙකුත් විද්‍යාඥයන් විසින් පුනරීක්ෂණය කරන විද්‍යාත්මක සඟරා වලට වෘත්තීමය ලිපියක් ලියා ඇත්තේ ස්වල්පයක් පමණයි කියා තමයි සඳහන් වෙන්නේ. (විකිපීඩියාවේ ඩෝකින්ස්ගේ ලිපි ලැයිස්තුව) ඉතින් ඔහුගේ ප්‍රස්තුත සියල්ල සාමාන්‍ය ජනතාවට විද්‍යාත්මක අදහස් ලෙසින් ගෙනහැර පාන නිසා ඒවා විවේචනය කරන්න විද්‍යාත්මක forum එකක් විද්‍යාඥයන්ට ලැබෙන්නෙ නැහැ.

      ඒ වගේ තවත් එක් කෙනෙක් තමයි බැරනස් සූසන් ග්‍රීන්ෆීල්ඩ් -පාර්කින්සන්ස් හා ඇල්සයිමර්ස් වැනි මොළයේ physiology ගැන කරුණු ඉදිරිපත් කර මුලින් ප්‍රසිද්ධියක් ලැබුවත් ඇය අනතුරුව ජනප්‍රිය දේශන හා ජනමාධ්‍ය වලින් දක්වන අදහස් විද්‍යාවෙන් ඈතක තියෙන ඒවා. ඒත් අනෙක් විද්‍යාඥයන්ට තර්ක කරන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ ඒවා විද්‍යාත්මක සඟරා වල පළ නොවෙන නිසා.

      මම දකින විදියට මිල් විසින් ‘තර්කය විද්‍යාවේ විද්‍යාවයි’ කිව්වෙ විද්‍යාවට විසඳුමක් කරා යන්න/නැවත එයම කරන්න හැකිදැයි විශ්ලේෂණය කරන්නට පෙර ක්‍රමානුකූලව විධික්‍රමයක් කරා යන්නට අවශ්‍ය උපන්‍යාසයක් (hypothesis) හදා ගන්න නිවැරදි ප්‍රස්තුතයක් (premise) ගොඩනඟන්න උපකාර වෙන්නෙ තර්කය නිසා කියල. තර්කය නිසි ආකාරයෙන් පාවිච්චිය නොදන්නේ නම් ප්‍රස්තුතය වැරදියි. ප්‍රස්තුතය වැරදි වෙද්දී විශ්ලේෂණය/නිරීක්ෂණය ආරම්භ වෙන්නේ ද වැරදි උපන්‍යාසයකින්.

      ඔව් තර්කය පැහැදිලිවම දර්ශනයට වගේ ම විද්‍යාවටත් අවශ්‍ය වෙන උපකරණයක් තමයි. එසේම, ඔව්, තර්කයට අනුව විද්‍යාව හැඩ ගැසෙනවා නෙමෙයි. හැබැයි ඒ වගේ ම විද්‍යාවට අවශ්‍ය හැටියට අපි තර්ක ක්‍රම හදාගන්නවා ද නෙමෙයි. තර්කය යාන්ත්‍රණයක් (mechanism). එයින් සොයා බලන්නේ විද්‍යාවේ විසඳුම් හොයන්නට භාවිතා කරන ප්‍රස්තුත සත්‍යය ද අසත්‍යය ද කියා පමණයි.

      දර්ශනය කියන්නේ විද්‍යාවක්, කලාවක් හා ශික්ෂණයක්!!!! එහි කලාව තමයි සහජ වූ කුසලතාවයන් (සංකීර්ණ තර්ක ක්‍රම වටහා ගැනීමට හැකියාව) හා ස්වභාවික හැකියාව (සංකල්ප වටහා ගැනීමට) හැකිවීම. කාල් පොපර් පෙන්වා දුන්නේ දාර්ශනික සිද්ධාන්ත යමක් ඔප්පු කරන්නත්, අනතුරුව පර්යේෂණයකින් හෝ නිරීක්ෂණයකින් එය සත්‍යය ද අසත්‍යය ද යන්න නැවත නැවත ඔප්පු කරන හැකියාවත් තියෙන්න ඕනෑ නිසා දර්ශනය විද්‍යාවක් ද වෙන බව. ඒ වගේ ම දර්ශනය ශික්ෂණයක් (discipline) ද වෙනවා, යම් කොටසකට තමන් අකමැති නිසා තමන් කතා කරන සංදර්භයට අවශ්‍ය සියල්ල සොයා බැලීම නොකර ඉන්නට බැහැ, ඒ වගේම නොදන්නා කොටස්/සංදර්භ ගැන කතා කරන්නට යෑමෙන් වැළකී සිටින්නටත් ඕනෑ!!!!

      ක්වොන්ටම් ගැන අගක් මුලක් වැටහෙන්නේ නැති නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ. ඉඩක් ලැබිච්ච දවසක ඒ ගැන මට ඇති ගැටළු දක්වා සටහනක් දාන්නම්.

      කුවන්ටොම් කම්පියුටින් සොයාගත් Richard Feynman කියන්නෙ මෙහෙම:

  2. තහනම් වචන said, on මාර්තු 9, 2013 at 2:33 ප.ව.

    අදහසට ස්තුතියි! ඔබේ ස්ථාවරය දැන ගැනීම ගැන සතුටුයි. යම් කාරණා ගැන නම් එකඟ වෙන්න බැහැ අරුණි (මගේ විෂය ක්ෂේත්‍රය විද්‍යාව, එයිනුත් රසායන විද්‍යාව) මගේ දැනුමට අනුව නම්; මා වැරදි නම් නිවැරදි කරන්න.

    1. ක්වොන්ටම් වාදය ෆෙයින්මන් ගේ සොයා ගැනීමක් නෙමේ. මූලිකවම ද්වෛතවාදය (Duality) ඉදිරිපත් කළේ Louis de Broglie. ඔහු කීවේ තරංග වලට අංශු ලෙසත් අංශු වලට තරංග ලෙසත් හැසිරිය හැකි බව. සම්භාව්‍ය නිවුටෝනීය භෞතිකය තුළ, එක්කෝ තරංග නැත්නම් අංශු. දෙකෙන් එකක් පමණයි. ද්විකෝටිකයි. බූලියන් ලොජික්. ඇරිස්ටෝටලීය තර්කනය. නමුත් මෙතන ඒ තර්කන ක්‍රමයම වරදිනවා. අන්න එතන තමා කතාවේ මුල.

    2. ඊළඟට අර්වින් ශ්‍රෝඩිංගර් කළේ අර කතාව බාගෙට පිළි අරගෙන, (ඒ කියන්නේ අංශු වලට තරංග වගේ ඉන්න පුළුවන්ය කියන එක පිළිගෙන), ඒ අංශු වලට නිවුටෝනීය සමීකරණ දාපු එක. ශ්‍රෝඩිංගර් යතාර්ථවාදියෙක්. අයින්ස්ටයින් වගේ ටිකක්. ඔහු කවදාවත් හිතුවේ නැහැ, ඉලෙක්ට්‍රෝන, අංශු සහ තරංග යන දෙකෙන් පිට පැහැදිළි කරන්න. ඔහු හිතුවේ “ඉලෙක්ට්‍රොන ඇත්තටම අංශුය, ඒවා තරංග *වගේ* හැසිරෙනවාය” කියල. කොටින්ම ඔහු දිගටම හිටියේ ඇරිස්ටෝටලීය තර්කනයේ හිරවෙලා.

    3. මැක්ස් ප්ලාංක් ඊළඟ පියවර තිබ්බ. ඔහු සනාථ කළා, ඉලෙක්ට්‍රෝනයෙ “සත්‍ය ස්වභාවය” කියා දෙයක් නැති බවත්, අප නිරීක්ෂණය කරන තුරු ඉලෙක්ට්‍රෝනයකට “පැවැත්මක්” පවා නැති බව.

    4. ඊළඟ පියවර ඩිරක් සහ හයිසන්බර්ග්. ඔවුන් වෙන වෙනම සොයාගැනීම දෙකක් කළා. ඩිරක් ක්වොන්ටම් වලටම වෙනමම ගණිතයක් හැදුවා. හයිසන්බර්ග් ඔප්පු කළා කවදාකවත් අන්ත දෙකකින් පමණක් ඉලෙක්ට්‍රෝනයක පැවැත්ම පැහැදිලි කරන්න බැරි බව. සරලවම කියනවා නම්, ක්වොන්ටමය කියන්නේ සම්ප්‍රදායික ඇරිස්ටෝටලීය ද්විකෝටික තර්කනයේ මළගම. ඒ වෙනුවට දැන් තිබෙන්නේ චතුස්කෝටිකය. කියවන්න මෙන්න මේ ගැන “Schrodinger’s Cat”.

    මෙන්න මේ නිසයි මා කියන්නේ, අප විද්‍යාවට අනුව තර්කන ක්‍රමය පවා වෙනස් කරගන්නවා කියල.

    • arunishapiro said, on මාර්තු 9, 2013 at 8:28 ප.ව.

      තහනම් වචන,

      නැහැ, ක්වොන්ටම් ෆෙයින්මන් හොයා ගත්තා යැයි කිව්වා නෙමෙයි. මේ විඩියෝව ඇමුණුවේ “විචාරය තාර්කිකව සිද්ධ වෙන්නක්” කියන මගේ මේ සටහනේ දී විද්‍යාවේ මූලිකව සිද්ධ වෙන්නෙ කුමක් දැයි කියා මේ ආචාර්යවරයා පැහැදිලි කළ ආකාරය පෙන්වන්නයි.

      ක්වොන්ටොම් ගැන හරියට දන්නේ නැහැයි කිව්වනේ. ඒ නිසා ඒ ගැන මට තව අගමුල් හොයාගන්න ලැබුණාම කතා කරමු.

      මමත් “ශ්‍රෝඩින්ගර් පූසා” ගැන නම් ලියලා තියෙනවා. https://arunishapiro.wordpress.com/2010/10/28/ශ්%E2%80%8Dරෝඩින්ගර්-පූසා/


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )