අරුණි ශපීරෝ‍ වෙතින්

ශ්‍රේෂ්ඨ ගැට්ස්බි ළඟදී ම ලියනාර්ඩෝ ඩිකැප්‍රියෝ රංගනයෙන්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 5, 2013

IMG_4930

‘ශ්‍රේෂ්ඨ ගැට්ස්බි’ -The Great Gatsby (1925) එෆ්. ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ් අතින් ලියැවුන, නිකුත් වූ දා පටන් තවමත් ජනප්‍රිය, ඔහුගේ රසවත්ම ප්‍රබන්ධය හැටියට සැලකෙන්නයි. ඒ ඇසුරින් 1926, 1949, 1974, චිත්‍රපටි නිපැද වී ඇත. ඔපෙරාවක් ලෙසින් කතන්දරය 1999 දී ද, රූපවාහිනි චිත්‍රපටියක් 2000 දී ද එළි බැස්සේය. ප්‍රබන්ධය දිග හැරෙන්නේ 1922 වසර පසුබිම් කරගෙන. කතුවරයා සැලකෙන්නේ සිය ප්‍රබන්ධ වලින් රටේ කාලීන නිරූපනයන් මැනැවින් කියා පෑ අයෙක් හැටියටය.

“ගෝරනාඩු විසිගණන්” (Roaring Twenties) ලෙසින් නම් දරන මේ ඇමෙරිකන් ඉතිහාස යුගය රටේ තරුණ පිරිසක් ව්‍යාපාර ලෝකයේ මුදල් ඉපැයීමෙන් සහ මුදල් වියදම් කිරීමේ හැකියාවෙන් වශී වී සිටි කාලයකි. ඒ පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසුව ඇමෙරිකාව ආර්ථික සමෘද්ධියෙන් නැඟී ආ කාලයකි. ධනවතුන් ප්‍රධාන නගර වල දී මහා උත්සව පැවැත්වූහ. තම ධනය ලෝකයාට පෙන්වන්නට විසල් මන්දිර ඉදි කළහ.

මේ ප්‍රථම වරට ඇමෙරිකාවේ පරම්පරාවක කොටසක් තම සාර්ථකත්වය, තමන්ගේ අසාර්ථකත්වය සහ සද්ගුණය පවා මුදල් වලින් තක්සේරු කරන්නට පටන් ගත් කාලයයි. පුණ්‍යාධාර පරිත්‍යාග කළේ ද සමාජයට පෙනෙන පරිදි ය. ඒ කාලයේ තරුණයන්ගේ අභිලාෂය වූයේ හැකි තරම් ඉක්මණින් හැකි තරම් මුදල් සම්භාරයක් ඒකරාශී කර ගැනීමයි. අනතුරුව තම ධන වස්තූන් අනෙකුත් අයට පෙනෙන පරිද්දෙන් ජීවත්වීම ය.

එසේම ඇමෙරිකන් ඉතිහාසයේ එතෙක් දකින්නට නොලැබුණු පරම්පරාවෙන් ආ ධනය හා අලුත් ධනය යන දෙපිරිසක් ගැන කතාබහක් ද පටන් ගති. වැඩිකල් නොගොස් මුදල් යන හුවමාරු භාණ්ඩයේ සීමාවන් මේ කඩිනමින් සමාජ තරාතිරමක් හොයා ඉහළට නඟින්න හදන පරම්පරාවට දකින්නට ලැබෙයි. මුදල් පමණක් සෙව්වාට මදි, සමාජයේ කැපී පෙනෙන්නට යම් අධ්‍යාපනයක් හෝ සමාජයේ ප්‍රසාදය දිනාගන්නට යම් කීර්තියක් අවශ්‍ය යැයි ඔවුන්ට මදිපාඩුවක් දැනුණි. එහෙත් මුදල් සොයන්නටත්, අධ්‍යාපනයක් ලබන්නටත්, පුණ්‍යාධාර කටයුතු වල නිරත වෙන්නටත් ඇති කාලය යනු සීමිත වූවක් බවත් ඔවුන්ට වැටහුණි.

ෆිට්ස්ජෙරාල්ඩ් ලියන සෑම ප්‍රබන්ධයකින් පාහේ ම දකින්නට ලැබෙන්නේ අග හිඟකම් වලින් යුතු අයෙක් සහ ගැටෙන බුර්ජුවාසියක් ගැනයි. එක පැත්තකින් ඔහු කොටස් වෙළඳපොලෙන් සහ කලා කුසලතාවයෙන් වැනි අස්ථිර එහෙත් ඉක්මණින් මුදල් උපයන එක කොටසක් ද, කෘෂිකර්මයෙන් සහ කර්මාන්තයෙන් ස්ථිර සහ ක්‍රමයෙන් මුදල් උපයන තව කොටසක් ද අතර ගැටුම ගෙන යයි. අනෙක් පැත්තෙන් ඔහුගේ ප්‍රබන්ධයන් තුල අලුත් ධනවතා වන පිරිමියා සහ පරණ සල්ලිකාර පවුලකින් එන කාන්තාව අතර ආදර බැඳීමේ ඝට්ටනය ගෙන යයි.

දුප්පත් හෝ මැද පංතියේ තරුණයෙක් හාවඩ් හෝ යේල් වැනි විශ්ව විද්‍යාලයකට ඇතුල් වෙන්නට සමත් වෙයි. එහි දී ඔහුට මුණ ගැසෙන අනිත් ධනකුවේර පවුල් වලින් ආ මිතුරන් හා සමාන ලෙසකින් වස්තු සම්පත් සොයා ගනියි. ඔහුගේ ප්‍රබන්ධ වල ඉංජිනේරුවෙක්, දැන්වීම් ක්ෂේත්‍රයේ හපනෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක් හෝ සමහර අවස්ථාවක දී ලොන්ඩරි ව්‍යවසාකයෙක් යනාදී වශයෙන් මහත් ධනයක් රැස් කරන්නට සමත් අය ගැන සඳහන් වෙති.

වීරයා ආර්ථිකයෙන් සාර්ථකත්වය අත්පත් කරගනිද්දී ඔහු ආදරයෙන් බැඳෙයි. ෆිට්ස්ජෙරාල්ඩ් ලියන කතාවල කෙල්ල හැම විටම කොල්ලාට වඩා වයසෙන් ළාබාලයි සහ ධනවත් පසුබිමකින් එන්නියක් වෙද්දී කෙල්ල හැම විටම කොල්ලාව අත්හරින හෝ අත්හරින්නට සිද්ධ වෙන තැනට කටයුතු සිද්ධ වේ.

Scott Fitzවීරයා කඩවසම් එහෙත් ධනවත් නොවන කතන්දරයක (The Rubber Check (1932) ඔහු පෙමින් බැඳෙන කෙල්ල ගැන ෆිට්ස්ජෙරාල්ඩ් ලියන්නේ “ඇය වයස දාසයේ දී කොතරම් රූමත් සහ ඇය තමන් කොච්චර ධනවත් යැයි සිතින් කණාගාටු වූවා” යනුවෙනි. කතාව පටන් ගනිද්දී පවතින කිසිවෙක් නොදන්නා යම් පටලැවිල්ලක් නිසා අනික් අය කතා නායකයාව නිකරුනේ සැක කිරීමත් එයින් ඔහුට පාඩු විඳින්නට සිද්ධ වීමත් ඔහුගේ ප්‍රබන්ධ පුරා බහුලව දකින්නට ලැබෙන්නේ සමහර විට එදා ඇමෙරිකන් සමාජයෙන් වංශවත්/වැඩකරන ජනතාව යන පංති භේදය පිළිබිඹුව නොහැකි නිසා වෙන්නට ඇත.

ඔහුගේ ප්‍රබන්ධ වල දිග හැරෙන පරිදි බොහෝ යුදෙව්වන් ඒ කාලයේ දී තම වාසගම් යුදෙව් බව නොපෙනෙන ලෙසින් වෙනස් කර ගැනීම සත්‍යයකි. යුරෝපයෙන් හා රුසියාවෙන් යුදෙව්වන් පළා ආවේ හිට්ලර් ඉපදෙන්නටත් පෙර සිට ය.

අනිසි ආණ්ඩු ප්‍රතිපත්ති වල ප්‍රතිඵලයක් ලෙසින් නිෂ්පාදනයේ නොයෙදී කොටස් ආයෝජනයෙන් පමණක් මුදල් උපයන්නට හැකි වීම නිසා කොටස් වෙළඳපොල වටා “ගෝරනාඩු විසිගණන්” කාලයේ අග දී මහජනතාව පොදි කෑහ. මේ දිනවලත් ඇමෙරිකාවේ දකින්නට ලැබෙන්නේ ඒ සමාන වූවකි. එදා මෙන්ම අදත් ෆෙඩරල් බැංකුවේ මුග්ධ ප්‍රතිපත්ති නිසා කොටස් වෙළඳපොලේ මුදල් නැවතත් එක්රුස් වී අනෙකුත් ඉතිරි කිරීම් හා ආයෝජන අඩු වී ගොසිනි.

1920 දී පටන් ගන්නා ‘ගෝරනාඩු විසිගණන්’ ඒ දශකය මැද දී ඉතා ඉහළින් පැතිර ගොස්, 1929 ඔක්තෝබර් 29 වැනිදා එනම් ‘කළු අඟහරුවාදා’ කොටස් වෙළඳපොල කඩා වැටුණු දිනයේ දී, මහා ආර්ථික අවපාතයේ ආරම්භයත් සමඟ අවසන් වුණි.

ශ්‍රේෂ්ඨ ගැට්ස්බි ප්‍රබන්ධයේ දුෂ්ටයන් කිහිප දෙනෙක් සිටියත් ඔවුන් පරාජය කරන වීරයෙක් දකින්නට නැත. ප්‍රබන්ධය ‘ගෝරනාඩු විසිගණන්’ යුගය කදිමට කියා පාන්නක් යැයි සැලකෙන්නේ ඒ නිසා වෙන්නැති!!!!!

මැයි 10 වැනිදා තිරයේ දිග හැරෙන මේ ඇමෙරිකන් චිත්‍රපටිය ඉන්දියාවේ බිලියනයක ජනගහණය ඉලක්ක කරගන්නා නිසා වෙන්නැති එහි අමිතාබ් බච්චන් ද රඟපායි.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on මාර්තු 5, 2013 at 7:08 පෙ.ව.

    //බුර්ජුවාසියක්// මේ වචනේ තේරුම මොකක්ද?

    අමිතාබ් භච්චනුත් ඉන්න හන්දා කොහොම හරි මේ ෆිල්ම් එක බලන්ටම ඕනි. 🙂

    ඒත් එයා ඉන්න පලියට ඉන්දියානු ජාතිකයින් මේ ෆිල්ම් එක බලයිද කියන එක නම් සැකසහිතයි.

    • arunishapiro said, on මාර්තු 5, 2013 at 7:17 පෙ.ව.

      praveena,

      Bourgeoisie කියන්නෙ ප්‍රංශ වචනයක්.

      කාල් මාක්ස් විසින් එය විග්‍රහ කරන විදියට තමයි බහුතර අයෙක් එය පාවිච්චියට ගන්නෙ. මම කළින් ලියපු විස්තරයක්:
      “පසුබිම 19 වැනි ශ. ව. මුල් කාලය. මාක්ස් උදාහරණ ගන්නේ එවක යුරෝපීය හා බ්‍රිතාන්‍ය ඉඩම් හා දේපල අයිතිය ආශ්‍රයෙන් පැවති සමාජ තත්වය හා කාර්මික විප්ලවයේ නැඟ ඒම.

      Das Kapital නැත්නම් Capital නැත්නම් Economic Manuscripts (1867) වල 26 වැනි පරිච්ඡේදයේ The Secret of Primitive Accumulation නමින් මාක්ස් කියනා හරිය මෙතැන.

      ඒ හා එකඟ වෙන ලිබටේරියන් ප්‍රංශ ආර්ථික විද්‍යාඥ Franz Oppenheimer විසින් The State (1908) හි මෙහෙම කියනවා. එහෙම primitive accumulation සංකල්පයක් නැත්නම් original store of wealth නම් වූවක් සහමුලින් ආර්ථික බලවේගයකින් ගෙනෙන්න බැහැ එය සුරංගනා කතාවක් යැයි මාක්ස් කීම හා ඔහු එකඟයි. ඔපන්හයිමර් පෙන්වා දෙන පරිදි ඒ කාලයේ පැවති උස් පහත් භේදය ආර්ථික බලවේගයක් තුලින් ඵෛතිහාසිකව පැන නැඟුනක් නොවෙයි. විස්තර මෙතැන.

      ඉතින් ඕපන්හයිමර් කියන්නෙ පංති භේදය ඇත්තේ නිෂ්පාදනයේ යෙදී ඉන්නා සහ පරපෝෂිතයා අතර බව. ඔහු නිෂ්පාද‍නයේ යෙදී සිටින අයෙක් සේ සලකන්නේ නිෂ්පාදන ක්‍රියාවලියේ ඕනෑම අයෙක් ව. ගොවියන්, කාර්මිකයන්, වෙළඳුන්, විද්‍යාඥයන් එක පංතියක්, අනික් පංතියට අයිති වන්නේ ඇමතිවරු, රජයේ නිලධාරීන්, ආගමික නායකයන්, ස්ථිර හමුදාවන්, මංකොල්ලකරුවන් හා හිඟන්නන්.

      දැන් අපි යමු Communist Manifesto (1848) හි පටන් ගැනීමට.
      “the history of all hitherto existing society is the history of class struggles …. Freeman and slave, patrician and plebeian, lord and serf, guildmaster and journeyman, in a word, oppressor and oppressed, stood in constant opposition to one another, carried on an uninterrupted, now hidden, now open fight.

      බුර්ජුවාසී සහ කම්කරුවන් යන පංති භේදය මෙහෙම සඳහන්.
      “epoch of the bourgeoisie … has simplified the class antagonisms. Society as a whole is more and more splitting up into two great hostile camps, into two great classes directly facing each other: bourgeoisie and proletariat.

      1988 මුද්‍රණයට එංගල්ස් ලියන සටහන් අනුව බුර්ජුවාසී කියන්නේ “capitalists, owners of the means of social production, and employers of wage laborers.” කම්කරුවෝ යැයි කියන්නේ “in the class of modern wage laborers who, having no means of production of their own, are reduced to selling their labor power in order to live.”

      Das Kapital හි පළමු වෙළුමේ ධනවාදය පංති එදිරිය සරල කරන හැටි සවිස්තරව කියවෙනවා. එනම් බුර්ජුවාසි අයට හැකියාව තියෙනවා ශ්‍රමිකයෙක් තවත් ශ්‍රමි‍කයෙක් හා උසි ගන්වා අඩු වේතන මට්ටම් ජීවත්වන්නට ප්‍රමාණවත් තරමින් පමණක් පවත්වා ගන්න.

      “පහළ මධ්‍යම පංතිය, කුඩා කර්මාන්තකරුවා, කඩයක අයිතිකරුවා, කලාකරුවා, පිටිසරවැසියා, සියල්ලෝ ම එදිරිව සටන් වදින්නේ බුර්ජුවාසිය සමඟ, මධ්යාම පංතියක කොටස් කරුවන් ලෙසින් තම පැවැත්ම වඳ වී යෑමෙන් බේරෙන්න.”

      නමුත් බුර්ජුවාසිය හා කම්කරු පංතිය අතර වෙනස ඔහු කියන තරම් පැහැදිලි නැහැ. සරල ද නැහැ. කම්කරුවන් තම ශ්‍රමය වෙහෙසා ජීවත් වෙන්න වැඩ කරන අය යැයි කියද්දී බුර්ජුවාසිය අර අයව කුලියට ගෙන වැඩ කරගන්නවා කියද්දී මෙහෙම හැඟවීමක් කෙරෙනවා. එනම්, ඔවුන් අතර එක කොටසක් පමණයි යම් නිෂ්පාදනයක් කරන්නේ, බුර්ජුවාසිය ජීවත්වෙන්නේ ශ්‍රමිකයන් ‘exploit’ කිරීම මඟින්. ඒ නිසා, මාක්ස් විසින් ‘වෙහෙසීම’ යන්න කායික ශ්‍රමය ගැන යැයි කතාබහට පිවිසෙනවා. ආදායමක් උපයන්නේ අනිත් අයට සේවයක් සැපයීම මඟින්. කායික ‍ශ්‍රමය එහි එක මාර්ගයක් පමණයි බව.

      ඉතින් ශ්‍රමිකයා සහ අයිතිකරුවා යන සමාජ පංති ද්විත්වය අපිට එතැනින්.

      දැන් මාක්ස්ගේ ඒ නිර්වචනය තුලින් හැමෝම බුර්ජුවාසී හෝ කම්කරු පංතියක ඉන්නෙ. මතක තියා ගන්න බුර්ජුවාසි නම් means of production අයිති, වේතනයට ශ්‍රමිකයන් ගන්නා අයෙක්. පයිප්ප බාස් ට මිටියක් අයිති නිසා tools of production ඔහු ද බුර්ජුවාසී. ඉතින් චීන කෑම කඩේ අයිතිකාරියත් බුර්ජුවාසි. මගේ කඩයේ අයිතිකරු මම වී එහි මම සේවය ද කරනවා නම් මම බුර්ජුවාසී සහ කම්කරු වෙනවා එකම අවස්ථාවක දී!!! තමන්ගේ කායික ශ්‍රමික ශක්තිය විකුණන්න සිද්ධ වෙච්ච නිසා අද US Open සෙල්ලම් කරන වීනස් විලියම්ස් ද කම්කරු පංතියේ අයෙක්!!!

      දැන් ආණ්ඩුවේ වැඩ කරන සේවකයෙක් ගත්තොත්, බුර්ජුවාසියේ අයගේ කටයුතු කරන නිසා, ඔහුට tools of production නැති නිසා, ඔහු වේතන ගෙවා සේවකයෝ ගන්නේ ද නැති නිසා, ඔහු බුර්ජුවාසියේ සේවකයෙක් වන කම්කරුවෙක් ද? ඔහුගේ වේතන ලැබෙන්නේ ශ්‍රමිකයන් ගෙවන බදු වලින් නිසා ඔහු සූරා කන බුර්ජුවාසියේ සාමාජිකයෙක් ද?

      මේ පංති ද්විත්වය ගැන ලියා ඇතැයි සැලකෙන්නේ 1867 දී පළ කරන ලද Capital හි පළමු වෙළුමේ ප්‍රථම මුද්‍රණයට කළින්. මාක්ස් 1883 දී මිය යනවා. එතෙක් ඔහු නැවතත් ඒ පංති ද්විත්වය ගැන නැවත සඳහන් කරන්නේ ද නැහැ. නමුත් ධනපතියන් විසින් දුප්පතුන් සූරා කන පංති අරගලය ගැන අද දින ද අපි කතාබහ කරනවා.”

      ****

      //අමිතාබ් භච්චනුත් ඉන්න හන්දා කොහොම හරි මේ ෆිල්ම් එක බලන්ටම ඕනි.

      ඒත් එයා ඉන්න පලියට ඉන්දියානු ජාතිකයින් මේ ෆිල්ම් එක බලයිද කියන එක නම් සැකසහිතයි.// ඇමෙරිකන් සිනමාකරුවා ද තර්ක කරලා ඇත්තෙත් ඒ විදියට ම වෙන්න ඕනෑ!!!!!

  2. wicharaka විචාරක said, on මාර්තු 5, 2013 at 9:01 පෙ.ව.

    මම කැමතිම නළුවෙක් ලියනාර්ඩෝ. ලංකාවට මේ චිත්‍රපටිය ඉක්මනින් ආවේ නැත්නම් ටොරන්ට් එකකින් බාගෙන හෝ බලන්න ආසයි.

    • arunishapiro said, on මාර්තු 5, 2013 at 9:04 පෙ.ව.

      විචාරක,
      මමත් කැමතිම නළුවෙක් … පින්තූරේ දාල තියෙන විදියට මගේ දුවත් කැමතිම නළුවෙක්!!!! ජොනි ඩෙප් සහ ලියනාර්ඩෝ රඟ පෑ What’s Eating Gilbert Grape (1993) තවත් සත්‍යය ඇමෙරිකාවේ පැතිකඩක් නිරූපනය කරන කතාවක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: