අරුණි ශපීරෝ‍ වෙතින්

ස්වදේශීන් සහ ඉංග්‍රිසීන් -16 වැනි සියවස වර්ජීනියාව

Posted in Uncategorized by arunishapiro on මාර්තු 7, 2013

IMG_5060

වර්ජීනියාවේ ජේම්ස්ටවුන් පිහිටුවා ගත් ඉංග්‍රීසි ජාතිකයන් ශතකයක් පුරා එහි වූ ස්වදේශී ඉන්දියානුවන් සමඟ ජීවත් වූහ. හැමවිටම සාමයෙන් නොවේ, ඒත් හැම විටම එකිනෙකා මරා ගැනීමෙන් ද නොවේ. 1590 දී A Brief and True Report of the New Found Land of Virginia ලියන තෝමස් හැරියට් එහි තමන් ලියන විස්තර වලට ජෝන් වයිට් විසින් අඳින ලද, මෙම සටහනට එකතු කරන ලද වැනි, පින්තූර ද එකතු කර ඇත. ඒ පින්තූර ඇන්ඩෲ නිකල්ස් බ්‍රිතාන්‍ය යටත්විජිත ලංකාවට පැමිණ අඳින ලද පින්තූර හා පෙනුමින් සමාන වෙයි.

එංගලන්තයේ සහ යුරෝපයේ අය නොහඳුනන මත්ස්‍ය වර්ග රාශියක් වර්ජීනියාවේ ඇල දොල ගංගා මාර්ග වලින් දකින්නට ලැබෙන බව ලියන තෝමස් හැරියට් “මේ මිනිසුන් වතුරට ඇවිද යමින්, සමහර විට පාරැවල පැද යමින්, මේ නොගැඹුරු ජලයේ මසුන් අල්ලන හැටි දැකීම සුන්දර ය. අනාගතය වෙනුවෙන් වස්තු සම්පත් එක්කාසු කරන්නට යැයි වූ කිසිම සිත් කරදර වලින් තොරව ජීවත් වෙන ආකාරයක් මෙහි දී දකින්නට ලැබේ,” යැයි ලියා ඇත.

පසුකාලීන පුරාවිද්‍යා සොයා ගැනීම් ඔප්පු කරන්නේ ඉංග්‍රීසින් එද්දී 11,000 කාලයක් පුරා පටොමික් ගඟ අසබඩ ස්වදේශීන් ජීවත් ව සිටි බවයි.

ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වැඩ කරන්නේ කෙසේදැයි සොයා බලන්නට ප්‍රංශයෙන් එන ඇලෙක්සිස් ඩ ටොක්විල් එකල වාසය කරනා කළු (වහල්), සුදු (බහුතරයා, මැද පංතිය) සහ රතු (ඉන්දියන් නොහොත් ස්වදේශී ඇමෙරිකානුවන්) යැයි වර්ග තුනක් විමර්ශනය කරයි. ඔවුන් හා කතාබස් කරන්නට ගන්නා උත්සාහයන් හි දී ඔහු ඔවුන් අසලට එනවාට කිපුණ ගැහැණුන් දරුවන් ද තල්ලු කරමින් වනයට රිංගා ගත් අවස්ථා ගැන ද ඔහු සටහන් කරයි!!!!

ඔහු ‘රතු ඉන්දියානුවා’ ගැන මෙසේ ලියයි: “අපේ හැදියාවට අනුව හැඩ ගැසීමට වඩා ඔහුට ඔහුගේ ම්ලේච්ඡ ජිවිතය ඉතා අගනේ ය. එය තම වර්ගයා ගේ වැදගත් ලක්ෂණයක් හැටියට ඔහු සලකයි. ශිෂ්ඨාචාර වන්නට හැකි සෑම දියුණු කටයුත්තක්ම ප්‍රතික්ෂේප කරන ඔහු සමහර විට එය එසේ කරන්නේ යුරෝපීයයන් වගේ පෙනෙනු ඇතැයි සිතා නිසා නොව ඔහු හුවා දක්වන රදළ බව අහිමි වී යාවි කියා විය හැකියි.”

ටොක්විල් විසින් ස්වදේශී ඇමෙරිකානුවන් රදළ සේ සැලකෙන කාරණය පසු තැනක දී හඳුනාගන්නට ලැබෙයි. ස්වදේශී ‘රතු’ ඉන්දියානු පිරිමියා වහලෙක් සේ ශාරීරික ශ්‍රමය වෙහෙසීමට අකමැතිය. කෘෂිකර්මයට එතරම් කාලයක් ඔහු වැය නොකරයි. යුරෝපීය රදළයන් ලෙසින් ඔවුන් දඩයමේ යන්නටත්, සටන් කරන්නටත් සහ දඩයම හා සටන් ගැන කතා කරමින් ඉන්නටත් කාලය වැය කරයි. මැද පංතියේ අය කරන වාල් වැඩ ඔවුනට අප්‍රියය.

ශිෂ්ඨාචාරය යනු දීර්ඝ කාලීන සමාජ ක්‍රියාවලියකි. එකම ස්ථානයක දී ඇතිවෙන, එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට බාර කරන්නකි. කළින් අය ගේ අත්දැකීම් වලින් පෝෂිත වන්නකි. එහෙත් දඩයමෙන් ජීවත්වෙන අය හඹා යන්නේ ඔවුන් දඩයම් කරන සත්තුන් ය. ටොක්විල් පෙන්වන්නේ ඉංග්‍රීසි ජාතිකයන් රටට ගොඩබැසීමත් සමඟ ඔවුන් සමඟ සටනින් දිනන්නට බැරි යැයි වටහාගත් ස්වදේශීන් රට ඇතුලට සංක්‍රමණය වෙන්නට පටන් ගත් ආකාරයයි.

කැනඩාවේ ජෙසුයිට්ස් සහ නව එංගලන්තයේ පියුරිටන් කණ්ඩායම් විසින් ස්වදේශීන් අතර දැනුම බෙදන්නට උත්සාහයන් ගන්නා ලදැයි ටොක්විල් ලියන්නේ ‘කැබින් එකේ පටන් ගත් ශිෂ්ඨාචාර උත්සාහයන් කැළෑවේ දී නැති වී ගියා,’ කියාය. ටොක්විල් තමනට හමු වූ නොයෙකුත් ස්වදේශී ගෝත්‍රික කල්ලි ගැන සටහන් ලියා ඇත. ඒ හැම අවස්ථාවක දී ම ඔහුට පෙනී යන්නේ ස්වදේශී පිරිමි කෘෂිකර්මයේ යෙදීම (cultivate the soil) ඉගෙන ගන්නට ඇති අකමැත්තයි. එය නොමැතිව ඔවුනට අනාගතයේ කුමක් වේ දැයි කිහිප වතාවක් ඔහු ප්‍රශ්න කර ඇත.

ඇමෙරිකාවේ ම්ලේච්ඡයන්ට විනාශය වළක්වා ගැනීමට ඇත්තේ ක්‍රම දෙකක් යැයි ටොක්විල් ලියයි: එක්කෝ යුද්ධය, නැත්නම් ශිෂ්ඨාචාර වීම. ඔවුනට තව දුරටත් යුද්ධයෙන් ජයගත නොහැකි බව දැනගත්තාම ඔවුන් ශිෂ්ඨාචාර වීම තෝරා නොගන්නේ මන්දැයි අහන ටොක්විල් ශිෂ්ඨාචාර වීමට බලය ඔවුන් සතුව පවතින විට එය පාවිච්චි නොකරනවා නම් නව එංගලන්තයේ නැරගන්සෙට්ස්, මෝහිකන් හා පිකුවොඩ්ස් සේ මෙන් බටහිර මිනිසාගේ මතකයේ පමණක් ඔවුන් ජීවත් වූ බවට සටහනක් තබා වඳ වී යනු ඇතැයි අනාවැකි කියයි.

ඩෙලවෙයාර් ගඟ අසබඩ ජීවත් වූ ලෙනපිස් වසර 150 කට පමණ පෙර එහි (1682 දී) ගොඩබැසි විලියම් පෙන් විසින් දකින ලද ජනතාවකි. ඇලෙක්සිස් ඩ ටොක්විල් එද්දී (1835) ඔවුන් සහමුලින් වඳ වී ගිය ගෝත්‍රයකි. හිඟා කමින් සිටින අයිරොකුවා ගෝත්‍රයේ අවසන් කිහිප දෙනෙක් තමනට හමු වූවා යැයි ටොක්විල් ලියයි. ඔවුන් රට මැද්දට පළා ගියා පමණක් නොව ලෙඩ රෝග හැදී මිය යෑම සහ වෙනත් ජාතීන් ගෙන් රට පිරී යද්දී ඔවුනට එතෙක් දඩයම් කරගත හැකි වූ සතුන් සීපාවුන් පළාතෙන් පළා යද්දී ආහාර සොයා ගන්නට මාර්ග අහිමි වූ බව ද සටහන් කරයි.

ටොක්විල් සටහන් තබන්නේ මෙසේය: ස්වදේශීන් විසින් නිපදවා ගත් එකම උපකරණ වූයේ ඔවුන් ගේ දඩයම් උපකරණයි. ඔවුන් බිව්වේ ගඟේ ගලා ගිය වතුරයි. ඔවුන්ගේ ඇඳුම් නිමැවුනේ ඔවුන් දඩයම් කර අනුභව කරන ලද සත්ව හම් වලින් පමණයි.

එසේ සරල ජීවිත ගෙවූ ස්වදේශීන්ට යුරෝපීයයන් තුවක්කු, විස්කි හා යකඩ පෙන්වූ කල ඒවා ලබාගන්නට හුවමාරු කරගත හැකි වූයේ වනයේ සුලබව පවතින සත්ව හම් පමණකි. ඉතින් ඔවුන් සත්වයන් හඹා ගියේ ජීවත්වන්නට පමණක් නොව යුරෝපීයයන්ට ඒවා විකුණන්නටත්ය.

යුරෝපීයයන් වැඩි වැඩියෙන් ඇමෙරිකාවට සංක්‍රමණය වෙද්දී ස්වදේශීන් කලබල වූයේ නැතැයි ලියන ටොක්විල් එහෙත් වනාන්තරයේ වූ සත්වයන් කළබල වී පළා යන්නට පටන් ගත්තා යැයි සටහන් තබයි. 1829 දී ක්ලාක් සහ කාස් දෙදෙනා “මීහරකුන් නිතරම පළා යන බව,” වාර්තා කර ඇත. මීහරක්, එල්ක් හා බීවර් යන සත්වයන් දඩයමෙන් ආහාර සොයාගත් ස්වදේශීන්ට තව දුරටත් තමන්ට ආහාර පිණිසත් යුරෝපීයයන් හා ගණුදෙනු පිණිස සත්ව හම් එකතු කරන්නටත් හැකියාව නොමැති වී ගියේය.

හරියට සලකා බැලුවොත්, යුරෝපීයයන් නෙමෙයි ස්වදේශීන්ව රට මැද්දට පළවා හැරියේ, සාගතයයි ඔවුන්ව රට මැද්දට පළවා හැරියේ, යැයි මෙහි දී ටොක්විල් ලියයි.

එහෙත් අනතුරුව ඉංග්‍රීසි යටත්විජිත ආණ්ඩුව විසින් ස්වදේශීන්ට විශේෂිත ඉඩම් නිර්දේශ කරද්දී ඔවුන් අමාරුවේ වැටී අවසන් බව ටොක්විල් කියයි. දඩයම් කරන ජනතාවකට, පරිසරයෙන් ලැබෙන දෙයක් පරිහරණයෙන් ජීවත් වූ ජනතාවකට තව දුරටත් එසේ ජීවත්වීමට ඉඩකඩක් ලැබෙන භූමියක් නොමැති විය. නිදහස් අරගලය දිනා ඇමෙරිකන් ආණ්ඩුව ස්ථාපිත වෙද්දී එසේ රට මැද්දට පළා ගිය ස්වදේශීන් බොහොමයක් රජයෙන් දුන් ඉඩම් කොටස් වල හිර වී සිටියහ.

Advertisements

8 Responses

Subscribe to comments with RSS.

  1. naleendilruksha said, on මාර්තු 7, 2013 at 9:14 පෙ.ව.

    හෙනානිගල පොල්ලෙබැද්ද දඹාන වගේ මේ පැතිවල තත්ත්වයත් ඕවගේම තමයි නේද?

    • arunishapiro said, on මාර්තු 7, 2013 at 9:17 පෙ.ව.

      naleendilruksha,

      ගිහින් නැහැනෙ නලීන් .. දඹානෙ කට්ටියව අපේ තාත්තා නම් හමුවෙලා තියෙනවා. කරන්න කැමති දේයි, කළ යුතු යැයි අනිත් අය කියා ඇති දේයි, අතර ගැටුමක් තියෙන සම්ප්‍රදායක හිරවෙලා … එහෙම හිටියෙ නැත්නම් මෙහෙම ලැබෙන දේවල් අහිමි වෙනවා කියන තරම් මිනිසා පසුගාමී කරන කිසිම දෙයක් ලොවේ නැහැ.

  2. තහනම් වචන said, on මාර්තු 7, 2013 at 1:24 ප.ව.

    මේ කතාව නම් මට අලුත්ම අලුත්..

  3. Mandawala hamuduruvo said, on මාර්තු 7, 2013 at 6:37 ප.ව.

    You seem to be of more appreciative to what whites did to natives!?
    Could you write something about leader Seattle and his welknown speech which would be compared to a speech of a present day ecologist?
    Readers will be grateful to you, I suppose.
    Mandawala hamuduruvo

    mdpannawansa@gmail.com

    • arunishapiro said, on මාර්තු 7, 2013 at 8:08 ප.ව.

      මණ්ඩාවල හාමුදුරුවෝ,

      වැඩවසම් ක්‍රමයෙන් මිදී එන යුගයක, තිබෙනවා යැයි පවා නොදැන සිටි මහාද්වීපයක් අල්ලා ගන්නට ආක්‍රමණිකයන් සටන් වැදි සමයක, නිදහස කියා සංකල්පයක් ලොව නොතිබි කාලයක, එක් මනුෂ්‍ය කොට්ඨාශයක් විසින් තවත් මනුෂ්‍ය කොට්ඨාශයකට කළ දේවල් ගැන අගැයුමක් දෙන්නේ මොන මිනුම් දණ්ඩකින් මැනලා ද? මම සුදු හම ඇති අය ස්වදේශීන්ට කළ දේවල් අගය කරන ලෙසින් ලියා ඇතැයි හැඟේ නම් මම එහෙම ලියන්නට අදහස් කළේ නැති බව කියන්නම්. එවක පැවති තත්වයක් ගැන වාර්තාගත ඉතිහාසයෙන් කරුණු ගෙනහැර පෑවා පමණයි. ආක්‍රමණිකයෙක් ගොඩ බැස්සාම රටේ හිටපු උදවියට සටන් කරලා ජයගන්න බැරි වෙද්දී ආක්‍රමණිකයාගෙන් පළා ගියේ රට මැද්දට බව කියන විස්තරයයි මෙහි සටහන් තැබුවේ. ඒ වගේ ම ඔවුන්ගේ හුරුව වී තිබුනේ අනාගතය වෙනුවෙන් සැලසුම් කරන්නට නොව එදා ජීවිතය ගෙවීම නිසා ඔවුන් මහත් අමාරුවක වැටි බවත් කියන්නටයි.

      මම කළින් මෙහෙම ලියලා තියෙනවා: “ස්වදේශී ඉන්දියානුවාගේ රට බලහත්කාරයෙන් අල්ලා ගැනීම. මොකද නැව් වලින් බැහැපු ගමන් යුරෝපීයන් මරලා දාන්නෙ නැතුව හාමතින් මිය යන්න හිටි අයටත් කන්න බොන්න දීලා අන්තිමට තමන්ගෙ පෝකහොන්ටාස් වගේ කාන්තාවෝ කරකාර බන්ඳලා යැව්වම මොකද වුනේ? පව්, කාශ රෝගය ද, නිව්මෝනියාව ද, වසූරිය ද හැදිලා මැරුනේ නැත්නම් වස පොවලා මැරුවා ද කියලත් සැකයි. හැබැයි එතන දී ප්‍රශ්නය එතකොට ඇමෙරිකානුවෙක් කියලා අයෙක් නොසිටි නිසා යුරෝපීය කියන මහත් පිරිසක් වෙතට වැරැද්ද පවරන්න සිද්ධ වීම. මොකද ඉතාලියෙ අයත්, ප්‍රංශයේ අයත් සමඟ එංගලන්තයේ අයත් එකතුව ඇවිත් පැති පැති අල්ලා ගත්ත නිසා.”

      සියැටල් ලොක්කා ගැන මම ගොඩක් කලකට පෙර ප්‍රතිචාරයක දී ලියා තියෙනවා. ඔහුගේ ඒ 1854 දී කරන ලදැයි සැලකෙන සුප්‍රසිද්ධ කතාව සත්‍යයෙන් 1971 දී Home නමින් පරිසර දූෂණය ගැන හදපු චිත්‍රපටි තිර රචකයෙකුගේ අතින් ලියැවෙන ලද්දක් යැයි සැලකෙන්නේ.

      නාලක ගුණවර්ධන විසින් ද මේ ගැන සටහනක් ලියා තියෙනවා.

      වයඹ ඉතිහාසඥයෙක් ලෙසින් සැලකෙන David Buerge සියෑටල් ගෝත්‍රික නායකයා විසින් පවත්වන ලද කතාවක් නොවන බව කියන අඩුපාඩු ගණනාවක් පෙන්වනවා. ඔහු 1854 දී කතාවක් කර තිබුණත්, “මහපොළව අපේ අම්මා,” යැයි කියා නැති බවත්, “ගමන් කරන දුම්රියේ සිට සුදු මිනිසා මරා දමන ලද මීහරකුන් (බයිසන් =bison) දහස් ගණනින් කුණු වෙනවා දැක්කා,” යැයි කියා නැති බවත් ඔහු පෙන්වා දෙනවා. පැසිෆික් වයඹ දිග සියෑටල් ලොක්කා ජීවත් වූ Puget Sound හි සැතපුම් 600 ක් ඇතුලත මීහරකුන් ජීවත් වී නැහැ. බටහිර පැත්තට දුම්රිය මාර්ග ඉදිවෙන්නේ 1863-1969 අතර.

      1854 දී සියෑටල් ලොක්කා පැවැත්වූ කතාවේ සත්‍ය වාර්තාව ආචාර්ය හෙන්රි ස්මිත් විසින් 1887 දී (එය කළ වසර 33 කට පසුව) තම මතක සටහන් වල ප්‍රකාශණය කර තිබෙනවා. ස්මිත්ට අනුව සියෑටල් ලොක්කා ජනාධිපතිගේ පරිත්‍යාගශීලිත්වයට ස්තූති කලා පමණයි ආණ්ඩුවෙන් ඉඩම් බෙදා දුන්නාට. 1866 දී සියෑටල් ලොක්කා මිය යනවා.

      Buerge, David M. “Chief Seattle: The Man, Not The Myth.” Seattle Weekly, June 29, 1983, 24-28.
      Buerge, David M. “Seattle’s King Arthur: How Chief Seattle continues to inspire his many admirers to put words in his mouth.” Seattle Weekly, July 17, 1991
      Rudolf Kaiser, “Recovering the Word: Essays on Native American Literature” University of California Press, 1987

  4. Nalaka Gunawardene said, on මාර්තු 8, 2013 at 12:31 ප.ව.

    Thanks for linking to my English blog post. It is also in Sinhala at: http://wp.me/p3zUD-2fA

    • arunishapiro said, on මාර්තු 8, 2013 at 5:48 ප.ව.

      Nalaka Gunawardene,

      ඇල් ගොර් ලියූ Earth in the Balance (1992) පොතේ ද මේ ප්‍රබන්ධය සත්‍යයක් ලෙසින් දක්වා ඇති බවත් අලුත් මුද්‍රණයේ දී වෙනස් කර නැති බවත් දැනගන්නට ලැබුණා.

      අපිට හැකි පමණින් දැනුම සොයන අයට තොරතුරු ලියලා තිබ්බාම හොයාගන්නට කැමැත්තෙක් හොයා ගනිවී.

      සිංහල සබැඳියට ඉතාමත් ස්තූතියි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: