අරුණි ශපීරෝ‍ වෙතින්

නිරර්ථක උත්සාහයෙන් සහ බලාපොරොත්තු රහිත ලෙසින් ශ්‍රමය වෙහෙසන සිසිපස්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 12, 2013

sisyphus

ග්‍රීක පුරාවෘත්තයෙහි සඳහන් පරිදි එෆිරා රාජධානිය පිහිටුවා ගත් මුල් ම රජු සිසිපස් වෙයි. සිසිපස් රජු නැව් මාර්ග සහ වානිජ කටයුතු දියුණු කළේය. එහෙත් ඔහු ධන තෘෂ්ණාවෙන් යුතු වූ වංචාකාරයෙකි.

සියුස් ගේ ආධිපත්‍ය යටතේ පැවති ක්සිනියා හි සංචාරකයන් හා අමුත්තන් ඔහු මරා දැමීය. තමා බල සම්පන්න අයෙක් බවට කියා පාන්නට කළ ඒ මරණ වලින් ඔහු සියුස් අභිබවා යන්නට හැකිවූවා යැයි සතුටක් ලැබීය. ඔහු කරන හිංසාකාරී කටයුතු ගැන උරණ වන සියුස්, පරලොව යමපල්ලා වූ හේඩ්ස් යවන්නේ සිසිපස්ව යදම් වලින් බැඳ එහි සිරකරනු පිණිසයි.

එහෙත් සිසිපස් විසින් හේඩ්ස්ව යදමින් බඳින්නට සමත් වෙයි. හේඩ්ස් සිරගතව සිටිය දී කිසිවෙකුටත් මරණය කරා යා නොහැකි තත්වයක් හට ගනී. දෙවියන් වෙනුවෙන් බිලිපූජා පවත්වන්නට නොහැකි වෙයි. මහල්ලන් හා ලෙඩ්ඩුන්ට මරණය නොලැබී දුකින් තැවෙමින් ජීවත් වෙන්නට සිද්ධ වෙයි. ඉතින් ග්‍රීක දෙවියන් සිසිපස්ට තරවටු කරන්නේ වහාම හේඩ්ස් ව නිදහස් නොකරන්නේ නම් මරණය වඩා අයහපත් දඬුවමක් සිසිපස්ට නියම කරනවා කියමින්.

සිසිපස් සිය භාර්යාව රවටා පරලොවින් ගැල වී එන්නට සමත් වෙයි.

ඔහුගේ වංචාකාරී හැදියාව නුරුස්සන දෙවියන් ඔහුට සදාකාලික දඬුවමක් නියම කරති. ඒ විසාල ගලක් උස් බෑවුමක් ඔස්සේ කන්ද මුදුනට ගෙන යාමේ කාර්ය භාරයයි. මුදුනට ළඟා වෙන්නට පෙර කෙසේ හෝ දැවැන්ත ගල පෙරලී ආපහු වැටේ. සිසිපස් නැවත නැවතත් කන්ද මුදුනට ගල ඔසවා ගෙන යන්නට තැත් කරමින්, නිරර්ථක උත්සාහයෙන් සහ බලාපොරොත්තු රහිත ලෙසින් නිරපේක්ෂක ශ්‍රමයක් යොදවමින් සදාකල් ජීවිතය ගෙවයි.

ඉහත සැකිල්ලෙන් හැදෙන සිසිපස් පුරාවෘත්තයේ තවත් අනුවාදයන් බොහොමයකි.

“සිසිපස් ගේ මිථ්‍යාව” (The Myth of Sisyphus) යනු ඇල්බෙයර්ට් කැමූ (Albert Camus) විසින් ප්‍රංශ බසින් 1942 දී රචිත දාර්ශනික රචනාවකි. මෙහි දී කැමූ විසින් සිය absurd දර්ශනය හඳුන්වා දෙයි. දෙවියන් නැති, සදාකාලික සත්‍යයන් නැති, අගැයුම් නැති, කිසිවක් පැහැදිලි කරගත නොහැකි ලොවක තේරුමක් සොයා යෑම නිශ්ඵල යැයි ඔහුගේ දර්ශනයයි. සාංදෘශ්ටිකවාදය (existentialism) නොහොත් සෑම මිනිස් සතෙක් ම පාහේ සිය ඒකීය වූ නිදහස් වූ ක්‍රියාවන් වලින් කටයුතු කරන නිසා, ඕනෑම මොහොතක දී ඔවුන් විසින් මිනිස්බව නිර්මාණය කරනවා යන්න සාංදෘශ්ටිකවාදයේ පොදු පිළිගැනීමයි.

ඉතින් ජීවිතයේ තේරුමක් සොයා ගැනීමට නොහැකියාවෙන් අයෙක් සියදිවිනසා නොගෙන ජීවිතයේ අරගලයක් තෝරා ගනියි කියා ඔහු පෙන්වයි. එහි දී කැමූ විසින් ග්‍රීක පුරාවෘත්තයේ එන සිසිපස් උපමාවට යොදා ගනියි. මිනිසාගේ ජීවිතය මේ සිසිපස් ගෙවනවා වැනි වූවක් යැයි කියන කැමූ ජීවත්ව සිටිනා තුරා එකම අර්ථයක් නොමැති කටයුත්තක, එනම් ගලක් කන්ද මුදුනකට තල්ලු කරගෙන යන වෑයමක මිනිසා නියැළෙනවා යැයි කියයි. රචනාව අවසන් කරන්නේ ඒ අරගලය නිසා ම මිනිසාගේ හිත තෘප්තිමත් වෙනවා ය කියාය. “අයෙක් කල්පනා කළ යුත්තේ සිසිපස් සතුටින් ඉන්නා අයෙක් ලෙසට ය,” යැයි ඔහු රචනාව අවසන් කරයි.

එම රචනාව විවේචනය කරන සාංදෘශ්ටිකවාදයේ සුප්‍රසිද්ධම දාර්ශනිකයා සේ සැලකෙන ජෝන් පෝල් සාත්‍ර විසින් පෙන්වා දෙන්නේ කැමූ විසින් කාල් ජැස්පර්ස්, මාටින් හයිඩෙගර් හා සොරෙන් කියකිගාර්ඩ් වැනි අනෙකුත් සාංදෘශ්ටිකවාදීන් ගෙන් අදහස් උපුටා ගත්තා මිසෙක ඔවුන් නිසි සේ හදාරා නැති බවයි.

අද rat race යැයි ජනවහරක් ඇත්තේ ද මේ අනුව යමින් යැයි කිව හැකියි. උදේ නැඟිටලා, වැඩට යන්න බස් එකක එල්ලිලා, වැඩ කරලා, ආහාර අනුභව කරලා, නිදාගෙන ආයේ ඒවා ම කරමින් සතියේ සෑම දවසක් ගෙවා දමන අයෙක් හරියට ‘සිසිපස්’ කෙනෙක් යැයි සැලකෙන්නට පටන් ගෙන. මේ absurd තත්වයක් ලෙසින් දැක එහි බලාපොරොත්තු ශුන්‍ය තත්වයක් (hopeless lucidity) ඇතැයි පහදාගන්න හැකිවීම තමයි කැමූ විසින් ඉදිරිපත් කර තිබෙන්නේ.

ඔබේ ආර්ථික බුද්ධිය අනුව ඔබ සිසිපස් කෙනෙක් වෙනවා ද නැද්ද තීරණය වෙනවා දැයි අහන්නේ Bellevue විශ්ව විද්‍යාලයේ ආර්ථික ශාස්ත්‍ර අංශයේ Judd W. Patton විසින්. බහුතරයක් තමන් සිසිපස් කෙනෙක් වැනි යැයි හිතන්නේ ඔවුන්ගේ නිදහස් වෙළඳපොල ගැන වූ ආර්ථික බුද්ධිමය ලබ්ධිය (Economic IQ) අඩු නිසා යැයි ඔහුගේ මතයයි. ඔවුන්ගේ දැනුම ආර්ථික දුර්මත, මිථ්‍යා සහ බාගයක් පමණක් සත්‍යය වෙන කොටස් වලින් පිරිලා තියෙන්නක් යැයි කියන පැටන් පෙන්වා දෙන්නේ මෙවැනි වර්තමාන සිසිපස්ලා සිය දේශපාලන නායකයන් කියාපාන පදනම් රහිත ප්‍රකාශ, විරුද්ධ ප්‍රතිඵල ගෙන දෙන සැලසුම් හා ඵල රහිත ආර්ථික ප්‍රතිපත්ති, අන්ධ ලෙසින් අනුගමනය කරනවා කියල.

ඉතින් ඒ අඩු ආර්ථික බුද්ධිය නිසා ඔවුන් තමන්ව හා සෙසු පුරවැසියන්ව ප්‍රගතියක් නොලැබෙන ලෙසින් ප්‍රතිපත්ති අනුගමනයක තබා ගන්නා බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඉතින් සිසිපස් ට වගේ ම, මේ අයගේ ද ශ්‍රමයෙන් ඔවුන්ට වාසියක් හෝ දඬුවමක් ලැබෙන්නේ නැහැ. ඔවුනට ලැබෙන්නේ ඉවර නොවෙන ලෙසින් තව තවත් බරපතල වෙන තත්වයක් සහ නිරර්ථක හා අසාර්ථක ආර්ථිකයක්.

ඒත් එහෙම විය යුතු නැහැ. “උද්‍යෝගීමත් ලෙසින් යම් කාර්යයක නියැළීම යනු ප්‍රතිඵලයක් ලැබෙන වෑයමක්,” යැයි පෙන්වා දෙන්නෙ Economic Sophisms (1845) ලියන ෆෙඩරික් බැස්ටියාට්. අපි කැමති දේවල් සහ ඒ කැමති දේවල් තෘප්තිමත් කරගැනීම අතර බාධක තියෙන බව කියන බැස්ටියාට්, අපේ ඉන්ද්‍රියයන් මාර්ගයෙන් අපි ඒ බාධක ජයගන්නා බව පෙන්වා දෙනවා.

ඉතින් අපේ සමෘද්ධිය අපි මනින්නේ වැය කරනා උත්සාහයෙන් ද? නැත්නම් උත්සාහයේ ප්‍රතිඵලයෙන් ද?!!!!!!!

බැස්ටියාට් පෙන්වා දෙන්නේ සෑම මිනිසෙක්ම උද්‍යෝගීමත් ලෙසින් යම් කාර්යයක නියැළෙන්නේ වැය කරන ශ්‍රමය ගැන සතුටක් සෙවීමට නොව එයින් ලැබෙන ප්‍රතිඵලය වෙනුවෙන් බවයි. බැස්ටියාට් පහදන පරිදි මිනිසා සිසිපස් වැනි යැයි කියා රවටන්නේ දේශපාලනඥයන්. ඒත් ඔවුන් ඔවුන්ගේ පුද්ගලික කර්තව්‍යයන් වල යෙදෙනා විට ඔවුන් ද වැය කරන ශ්‍රමය වෙනුවෙන් ඔවුන් ද සොයා යන්නේ ප්‍රතිඵල මිසක් වැය කරන ශ්‍රමයෙන් ලැබෙන සතුට පතා නොවෙන බව ඔහු පෙන්වා දෙනවා.

ග්‍රීක සිසිපස් = නිරර්ථක උත්සාහයෙන් බලාපොරොත්තු රහිත ලෙසින් ශ්‍රමය සදාකාලිකව වෙහෙසන්නා
කැමූ ගේ සිසිපස් = නිරර්ථක උත්සාහය අරගලයක් සේ දැක සතුටින් එහි නියැළෙන්නා

ඔස්ට්‍රියන් අර්ථ ශාස්ත්‍රයේ සිසිපස්ලා නැත! එහි ඉන්නේ ඉලක්ක කරගත් ප්‍රතිඵලයක් ලැබීම උදෙසා උද්‍යෝගීමත් ලෙසින් ශ්‍රමය වෙහෙසන අයයි!!!!!

ගෝල්ඩ් Fish ගේ බ්ලොග් ටැංකියට විශේෂයෙන් ස්තූතියි සිසිපස් ගැන ඇහුවාට.

Advertisements

10 Responses

Subscribe to comments with RSS.

  1. Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 13, 2013 at 12:23 පෙ.ව.

    මෙතෙන්දි මේක මම දකින විදිය මේකයි අපි මේ දෙකෙන් එකක විතරක් එල්ලෙන්න ඕනෑ නෑ . මිනිසෙක්ට යම් කාර්යයක නිරත වීමෙන් ඒ තුලින්ම සතුටුවීමට සහ එහි ප්‍රථිපලය නිසා සතුටුවීමට යන දෙකම සමගාමිව කරන්න පුළුවන්, අපි අපි සතුටුවන දේවල් කල යුතුයි. ප්‍රතිපලය ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන්. මේකට ගන්න පුළුවන් හොඳම උදාහරණයක් තමා ලිංගිකත්වය.
    ආදරය කරන අඹුසැමි යුවලක් ලිංගික ක්‍රියාවේ නිරතවීම නිසා නිකම් ඒ ක්‍රියාවෙන් පමණක් සතුටු වෙනවා. මේ නිසා දරුවෙක් ලැබෙන්නත් පුළුවන් නොලැබෙන්නත් පුළුවන් නමුත් ප්‍රථිපලය ලෙස දරුවෙක් ලැබෙනවා එකෙන් මේ දෙදෙනා යලිත් සතුටු වෙනවා.
    වාදකයෙක් ගිටාරය වයනවා එයින් ඔහු සතුටු වෙනවා. අහන අයත් සතුටුවෙලා මුදල් දීලා ඔහුගේ cd මිලදීගෙන ඔහුගේ සංගීතය ජනප්‍රිය වෙලා ඔහු සංගීතය නිසා සාර්ථක විය යුතුම නෑ ඔහුට වාදනයෙන් සතුටු වෙන්න.

    කරන කාර්‍යය තුලින්ම සතුටුවීම ප්‍රතිපලයෙන් ලබන සතුට ට වඩා උසස් කියල මම හිතන්නේ නැහැ,

    • arunishapiro said, on මාර්තු 13, 2013 at 7:12 පෙ.ව.

      Uditha,

      තමන්ගෙ කැමැත්තක්.

      //ආදරය කරන අඹුසැමි යුවලක් ලිංගික ක්‍රියාවේ නිරතවීම නිසා නිකම් ඒ ක්‍රියාවෙන් පමණක් සතුටු වෙනවා// දරුවෙක් ලැබීම විතරක් නෙමෙයි නේද එයින් ලැබෙන ප්‍රතිඵල අතරේ තියෙන්නෙ?

      වාදකයෙක් ගිටාරය වයන්නෙ ඕනෑම තනුවක් වැදෙන්න නෙමෙයි නේද? වාදනයෙන් සතුටු වෙන්නෙ, ඔහු තනිවම පමණක් වුනත්, එයින් යම් ප්‍රතිඵලයක්, අදට වඩා හොඳින් හෙට වාදනය කරන්න හැකිවීම වැනි, නැත්නම් මෙතෙක් නොදත් තනුවක් වයන්න ඉගෙන ගැනීම වැනි, එයාට ප්‍රතිඵල තියෙන නිසා නේද?

      ප්‍රතිඵලයක් කියන්නෙ කුමක් ද?

  2. Gold fish said, on මාර්තු 13, 2013 at 12:33 පෙ.ව.

    ඇත්තමයි අපිත් සිසිපස් වගේ කියලා හිතෙනවා… මේ පැහැදිලි කිරීම නම් හොඳටම තේරුනා. //දේ නැඟිටලා, වැඩට යන්න බස් එකක එල්ලිලා, වැඩ කරලා, ආහාර අනුභව කරලා, නිදාගෙන ආයේ ඒවා ම කරමින් සතියේ සෑම දවසක් ගෙවා දමන අයෙක්//

    • arunishapiro said, on මාර්තු 13, 2013 at 7:14 පෙ.ව.

      Gold fish,

      සිසිපස් වගේ වැඩ කරන්න සිද්ධ වෙලා තිබුනාට සිසිපස් වෙන්න ඕනේ නෑ. ග්‍රීක දෙවියෝ ඇවිල්ලා පුරාවෘත්තයන් පමණයිනෙ. ඒ වගේ මිනිසාට නිරර්ථක වෑයමේ සදා වෙහෙසෙන්න යැයි නියම කරන්න හැකි අය සත්‍ය ලෝකයේ නැහැනේ.

  3. magenama said, on මාර්තු 13, 2013 at 2:04 පෙ.ව.

    සිසිපස් ගෙ වැඩෙයි glass breaking economics දෙකම ටිකක් එක වගේ නේද?
    ඔයට සමාන නමුත් වෙනම මාර්ගයක යන කතාවක් තියෙනවා පංච තන්ත්‍රයේ.ඒකෙදි යාලුවො 4 දෙනෙක් ලොකු නිධානයක් හොයන් යනවා.පිළිවෙලින් තඹ,රිදී,රන් හමුවෙනවා.ඊටත් එහාට යන කෙනාට මුනගැහෙනවා ඔලුව උඩ චක්‍රයක් කැරකෙන කෙනෙක්.ඇයි,මොකද විස්තර ඇහුවාම ඒ චක්‍රය ඇවිල්ලා අහන කෙනාගෙ ඔලුවට එනවා,එකෙන් කැපෙනවා.රිදෙනවා.ඒත් මැරෙන්නෙ නෑ.මරණයටත් එහා ගිය දඬුවමක් අසීමාන්තික තණ්හාවට ලැබෙනවා කියන එක වෙන්නැති කියන්නෙ.

    • arunishapiro said, on මාර්තු 13, 2013 at 7:16 පෙ.ව.

      magenama,

      ඔව් හරියට ම හරි. සටහනේ දාලා තියෙන අර්ථ ශාස්ත්‍ර මහාචාර්යවරයා එය එසේම පැහැදිලි කළා.

      ඔලුව උඩ කැරකෙන චක්‍රය: ආසියානු චින්තනය මනාවට පිළිබිඹු කරන්නක් වගෙයි!!

  4. Maathalan said, on මාර්තු 13, 2013 at 8:16 පෙ.ව.

    ඕක ලංකාවට ගලපනවානම්. ලංකාවේ උගත් නූගත් සියල්ලම වගේ සිසිපස්ලා. කලයුතුම දෙයක් හින්දා රස්සාව කරනවා මිසක් කැපවීමකින්, ආසාවකින් රස්සාව කරන්නෙ නෑ. පඩිය හා පඩි වැඩිකිරීම් විතරයි බලාපොරොත්තුව, පෞදගලික අංශයේ යම් තරමක් හෝ තිබුනත්, උසස්වීමක් කියන දේ වත් මේ අයගේ හිතේවත් නෑ. උපාධිදාරින්ගේ තත්වයත් එයයි. කී දෙනෙක්ද උපාධියෙන් පස්සෙ ඉගෙනගන්නේ.

  5. naleendilruksha said, on මාර්තු 13, 2013 at 10:31 පෙ.ව.

    බොහෝ දේ උකහා ගන්නට ලැබුණු තවත් හොදම වියමනක් අරුණි ඔබට තුති.

  6. chandi said, on මාර්තු 14, 2013 at 12:25 ප.ව.

    වැදගත් සටහනක් අරුණි. ග්‍රීක දේවකතා ඉස්සර ආසාවෙන් කියෙව්වා මතකයි.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: