අරුණි ශපීරෝ‍ වෙතින්

යුරෝපීය සමාජවාදය ආරම්භයේ දී කඩා වැටිච්ච හැටි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 12, 2013
Mt Zugspitze, Germany

Mt Zugspitze, Germany 2008

18 වැනි සියවස අග දී සහ 19 වැනි සියවස මුල් දශකයේ දී බටහිර යුරෝපයේ (එංගලන්තය, ප්‍රංශය වැනි) සමාජවාදය පිහිටුවන සැලසුම් ඉදිරිපත් කළ කර්තෘවරුන් මධ්‍යම යුරෝපයේ එනම් ජර්මන් ලෝකය = ඩොයිෂස් රයික් = Deutsches Reich හි සමාජීය අදහස් හෝ තත්වයන් ගැන දැන සිටියේ නැත. ජර්මන් රාජාණ්ඩු වලින් 18 වැනි සියවසේ දී පවත්වා ගෙන ගිය සුබ සාධන රාජ්‍යය = welfare state = wohlfahrtsstaat ගැන දැනුමකින් නොයුතු විය.

එසේම ජර්මන් සමාජවාදය ගැන ලියැවුන Johann Gottlieb Fichte ගේ Der Geschlossener Handelsstaat = වැසුනු වානිජ්‍ය රාජ්‍යය = closed commercial state (1800) බටහිර යුරෝපීයයන් කියවා නොතිබිණ. අදත් මාක්ස් කියවා නැති බොහොමයක් මාක්ස්වාදීන් වෙති. චේ ගැන නොදන්නා බොහොමයක් චේ ටී ෂර්ට් ඇඳගෙන හැම තැන යති. නොබෙල් තෑග්ගක් ලැබිච්ච ඔබාමා බුෂ්ට වඩා සාමයට එරෙහිව කුරිරු වී ඇත. එහෙත් අයෙක් ඉදිරිපත් අදහස් කුමක් දැයි විචාරයකින් තොරව ඒ අදහස් වලට හිත ගිය පමණින් අයෙක් අනුගමනය එදත් අදත් මිනිස් හුරුවකි.

ඉතින් සමාජවාදයට පක්ෂපාතී වූ බටහිර යුරෝපීයයන් 19 වැනි සියවස අවසන් දශක තුල දී සමාජවාදය කරා යන ලිහිල් ප්‍රතිපත්ති පටන් ගත්හ. ෆේබියන් සමාජය (Fabian) එහි නම ලබාගත්තේ රෝමයේ ෆේබියස් මැක්සිමස් (= ප්‍රමාද කරන්නා) යොදාගන්න යැයි Frank Podmore නැමැත්තා කළ යෝජනාව අනුව ය. විප්ලවයක් නොකර ක්‍රමයෙන් සමාජවාදී ප්‍රතිසංස්කරණ ගෙන ඒම ඔවුන්ගේ අරමුණ විය.

ෆේබියන් සමාජය ද එතෙක් තමන් පසුගාමී යැයි සැලකූ මහාද්වීප රාජ්‍යයන් ඒ වන විටත් සමාජවාදී ක්‍රම අනුගමනය කරමින් සිටින්නේ මන්දැයි කියා ද ප්‍රශ්න නොකළහ.

එහෙත් 19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී සමාජවාදී ක්‍රමය ගැන ප්‍රශ්න නොකර ඉන්නට ජර්මන් සමාජවාදීන්ට නොහැකි විය. ඔටෝ වොන් බිස්මාර්ක් ගේ ප්‍රතිපත්ති අත්දකිමින් ඔවුන් සිටියහ. සමාජවාදී නැඹුරුවකින් යුතු වූ සමාජ අධ්‍යයන විශ්වකෝෂයේ (Encyclopedia of the Social Sciences) හි බිස්මාර්කව හැඳින්වුනේ “යුගයේ රාජ්‍ය සමාජවාදය වෙනුවෙන් වැඩියෙන් ම පෙනී සිටි පුද්ගලයා,” හැටියට ය.

කාල් මාක්ස් අනුගාමීකයන්ගේ නායකත්වය යටතේ ජර්මන් සමාජවාදී පක්ෂය ජර්මන් එම්ප්‍රදෝරු ලෙසින් සැලකෙන කයිසර් රාජාණ්ඩුවේ Wilhelm II ගේ පාලනයට එරෙහිව නැඟී සිටියහ. ආණ්ඩුව විසින් යෝජනා කරන ලද සියළු පනත් වලට එරෙහිව ඔවුන් චන්දය ප්‍රකාශ කළහ. එහෙත් ඔවුන් සුළු පක්ෂයක් වූ නිසා ඔවුනට ඒ ප්‍රතිපත්ති නවතන්නට නොහැකි විය. කම්කරුවන්ගේ සුවසෙත උදෙසා පැනවූ ප්‍රතිපත්ති අතර සුප්‍රසිද්ධ සමාජ රක්ෂණ සැලසුම් පද්ධතිය (social security system) පිහිටුවන ලද්දේ එවක දී ය. ඔවුනට නවතන්නට හැකි වූයේ ආණ්ඩුව විසින් ගෙනා දුම්කොළ මොනොපොලිය රජය සතු කරගන්නා පනත පමණි.

සමාජවාදී පක්ෂය එරෙහි වෙද්දී බිස්මාර්ක් විසින් ජනසතු ව්‍යාපාරයන් සහ නගරසභාකරණයන් ස්ථාපිත කළේය. ජර්මන් ලෝකයේ යුද ජයග්‍රහණයන් සහ ජනසතු ව්‍යාපාරයන් වලින් ලැබෙන කීර්තිය දැක නැගෙනහිර හා දකුණු යුරෝපා රටවල ද එවැනි ප්‍රතිපත්ති අනුගමනය වන්නට පටන් ගැනිණ.

එවැනි ජනසතු ව්‍යාපාරයන් සමඟ තමන්ගේ මූලික ප්‍රතිපත්ති නොගැලපෙන බව පැහැදිලි කරන්නට එදා ජර්මන් සමාජවාදීන් ගත් උත්සාහය කිසිවෙකු සැලකිල්ලකට ගත්තේ නැත. මාක්ස්වාදීන් කියා සිටියේ පංති සටන ආර්ථික ජීවිතයෙන් පිටතක වූවක් බවයි. ඔවුන්ට අවශ්‍ය වූයේ වෙළඳපොලෙන් පිටත සිද්ධ වෙන දේශපාලන සටනකි. මාක්ස් කියා ඇති පරිදි අරගලයක් ඇත්තේ වැඩවසම් ස්වාමියන් හා ප්‍රවේණි දාසයන් අතර නොහොත් ඉඩම් හිමියන් හා දාසයන් අතර මිසක පංති සටන වෙළඳපොලක් ගැන වූවක් නොවේ.

ජර්මන් ක්‍රිස්තියානි පක්ෂ වලින් හා කොන්සර්වේටිව් පක්ෂ වලින් ලැබුණු සහයෝගයෙන් කරගෙන යන ලද ජනසතු ව්‍යාපාරයන් සහ නාගරීකරණ සැලසුම් වැඩි කලක් නොයා ජනප්‍රියත්වයෙන් අඩු වී යන්නට පටන් ගැනිණ. ඒවා ගෙනා අයටත් ඒවායෙන් පාලනය වූවන්ටත් දෙපැත්තටම ඒවා එපා විය.

ජනසතු කරන ලද කර්මාන්තයන් දේශපාලන අධිකාරියෙන් පත් කරන ලද කළමනාකරුවන් වෙතින් නිසියාකාරව පාලනය වූයේ නැත. ඔවුන් සැපයූ පාරිභෝගික සේවා අතිශයෙන් දුර්වල විය. ඒවාට ඔවුන් අය කරන මුදල් දවසින් දවස ඉහළ ගියේය. මහජන සේවකයන් යැයි කියාගන්නා අයගේ මුදල් ගණුදෙනු ප්‍රතිඵල නින්දිත යැයි සමාජය සැලකූහ. අයවැය හිඟයන් එන්න එන්නම වැඩි වී ගියෙන් ජාතික භාණ්ඩාගාරයට වැඩි බරක් පැටවී අනතුරුව වැඩි වැඩියෙන් බදු පනවන්නට සිද්ධ විය. 20 වැනි සියවස පටන් ගනිද්දී, “රාජ්‍ය සමාජවාදය” යනුවෙන් ගෙනැවිත් ව්‍යවසායක සංවිධාන කරගෙන ගිය මහජන අධිකාරියන් ඉතා අසාර්ථක වූ බව සැමට පෙනී ගිය කාරණයකි.

සමාජවාදී සැලසුම් වලට සැලකිය යුතු ලෙසින් එරෙහි වූ කිසිවෙක් මධ්‍යම හා නැගෙනහිර යුරෝපයේ එකළ නොවීය. ඒ පළමු ලෝක යුද්ධය පටන් ගැනෙද්දී ය.

මාක්ස්වාදී සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ සාමාජිකයන් 1918 දී ජර්මන් විප්ලවීය ආණ්ඩුව පිහිටුවා ගන්නට සමත් වූහ. ජර්මන් රයික් විසින් ජනසතුකරණය හා මුදල් පරිහරණය කළ අසාර්ථක සැලසුම් ඔවුන් ඒ වන විට අත්දැක තිබුණි. යුද්ධය පැවති කාලයේ ගෙන ගිය සමාජවාදී සැලසුම් වල අයහපත් ප්‍රතිඵලයන් ද ඔවුනට පෙනෙන්නට තිබිණ.

එහෙත් තව දුරටත් ඔවුන්ගේ මතය වූයේ සියළු ප්‍රශ්න වලට විසඳුම ගෙනෙන්නේ සමාජවාදයෙන් කියාය. ඒත් එය නිසියාකාරව ක්‍රියාවට නඟන්නේ කෙසේද කියා කිසිවෙක් දැන සිටියේ නැත. ඉතින් සෑම ජයග්‍රාහී ආණ්ඩුවක්ම කරන ලෙසින් දේශපාලන බලය සතු වූ සමාජවාදීන් ද කළේ, තමන් යමක් කරන්නට නොදන්නා විට කරන දැයයි. ඔවුන් මහාචාර්යවරුන් සහ වෙනත් නොයෙක් අංශ වල විශේෂඥයන් ගෙන් පිරි කමිටුවක් පත් කළහ.

වසර 50 කට වඩා කාලයක් මාක්ස්වාදීන් විසින් මිනිස් වර්ගයාව නව උත්කෘෂ්ටයෙන් යුතු සාධාරණ ලෝකයක් කරා ගෙනයන්නට තම සැලසුමේ ඉලක්කය ලෙසින් සමාජකරණය (socialization) යැයි ප්‍රචාරය කරමින් සිටියත් එය, එනම් සමාජකරණය කරන්නේ කෙසේදැයි කියා දත්තෙක් නොවීය. දැන් ඔවුනට බලය ලැබී ඇත. දැන් සියළු වැසියන් ඔවුන් පොරොන්දුව ඉටු කරන තෙක් බලා සිටිති. එහෙත් ඔවුනට මුලින්ම කියන්නට සිද්ධ වූයේ කරන්නේ කුමක් දැයි තමා නොදන්නා බවයි. ඔවුන් ජර්මන් අයයි!!!!! ඉතින් ඔවුන් මහාචාර්යවරුන්ට හා විශේෂඥයන්ට එය කරන අයුරු පහදා දෙන්නට යැයි කියා සිටියහ.

ලොව බුද්ධිමය අදහසක් ලෙසින් ගෙනා හැර පෑ ලොකුම බොරුව එසේ සියළු ජනතාව ඉදිරියේ ඔප්පු වී මාක්ස්වාදය එතැනින් නැවතිණ.

බටහිර යුරෝපයේ ෆේබියන් සමාජය ද ඊට ඉහළින් යමක් ඉදිරිපත් කරන්නට සමත් නොවූහ. ධනවාදය යල්පැන ගිය වූවක් යැයි තරයේ කියා සිටි ඔවුන් ද සමාජවාදය වැඩ කරන්නේ කෙසේදැයි කියන්නට නොදත්හ. එය කෙමෙන් බ්‍රිතාන්‍ය දේශපාලන වේදිකාවෙන් ද මැකී ගියේය.

අසාර්ථකත්වය හමුවේ ඔවුන් ධනවාදය ක්‍රියාත්මක වන්නේ කෙසේදැයි සොයන්නට යොමු වූයේ නැත. සමාජවාදයත් එපා ඒත් ධනවාදයත් එපා යැයි කියමින් තවමත් අවුල ලිහා ගන්න නොහැකිව පැටලී සිටිති.

සටහන ලුඩ්විග් වොන් මීසස් ලියන ලද “මුදල්, විධික්‍රමය සහ වෙළඳපොල ක්‍රියාවලිය” (1990) සහ “සමාජවාදය: ආර්ථික සහ සමාජයීය විශ්ලේශණයක්” (1922) කෘති ඇසුරිනි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: