අරුණි ශපීරෝ‍ වෙතින්

යුරෝපීය යුනියනය සයිප්‍රස් තැන්පතු සල්ලි ගන්නට හැදූ තැත වැරදේ

Posted in Uncategorized by arunishapiro on මාර්තු 17, 2013

Cyprus_20101107_1909 (1)_1

මාර්තු 18 වැනිදාට නියමිත වී තිබුණ හදිසි සැසි වාර පාර්ලිමේන්තු චන්ද විමසීම සයිප්‍රසය විසින් කල් දමා ඇත. යුරෝපීය යුනියනයේ මුදල් ඇමතිවරුන් ණය බරින් ඉන්නා අසල්වැසි ග්‍රිසියෙන් සයිප්‍රසයට ඇති බලපෑම නිසා යුරෝ බිලියන 10 ක සහනාධාර ලබා දෙනු පිණිස ගෙනා එක් යෝජනාවක් වූයේ ඔවුන්ගේ බැංකු වල ඇති තැන්පතු වලින් 9.9% ක් අහිමිකරණයට (forfeit) සයිප්‍රසය කැමති කරවා ගැනීමයි.

එහෙත් ඒ තැත ඉරිදා වැරදී ගියේය.

ඉරිදා උදෑසන තීරණය ප්‍රසිද්ධ වීමත් සමඟ පුදුමයට පත් වූ සයිප්‍රස් වැසියන් පැය ගණනක් තුල දී සල්ලි මුදල් තම බැංකු ගිණුම් වලින් එළියට ගෙන බැංකු චකිතයක් ඇති කරන්නට සමත් වූහ. ඉලෙක්ට්‍රොනික් සල්ලි යැවීම වහාම නතර කරන ලදි.

සයිප්‍රස් වැසියන් ගේ තැන්පතු වලින් යම් ප්‍රතිශතයක් ගැනීමෙන් යුරෝ බිලියන 6 ක් සෙවීම සයිප්‍රස් පාර්ලිමේන්තුව විසින් අනුමත කළ යුත්තකි. සයිප්‍රස් පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ මිසෙක මහා පක්ෂයකට බලයක් නැත. මෙය නොකළ හොත් නිකොස් ඇනස්ටාසියාඩේස් ජනාධිපතිවරයා කියන්නේ සයිප්‍රසයේ විශාලතම බැංකු දෙක කඩා වැටෙන බවයි.

සයිප්‍රසයේ දී බැංකු ණය නොගෙවීමක් සිද්ධ වුවහොත් එයින් යුරෝ කලාපීය තුල ආයෝජක විශ්වාසයන් පළුදු වී ගොස් යුරෝපීය මධ්‍යම බැංකුව විසින් යුරෝ කලාපය තුල යුරෝව ස්ථාවර ව තබා ගන්නට ගන්නා සියළු උත්සාහයන්ට ද බලවත් පහරක් එල්ල වනු ඇත.

බැංකු අතර යම් එකඟතාවයක් හටගෙන පාර්ලිමේන්තුවට අනුමැතියක් ලැබේ යැයි අරමුණින් සැසි වාරය කල් දැමී ඇත.

මෙතෙක් යුරෝපීය මධ්‍යම බැංකුව විසින් කිසි විටෙක බැංකු තැන්පතු වලට අත ගැසීමක් නොකළහ. මෙයින් මේ වෑයම කලාපයේ වෙනත් රටවල් වලට ද පැතිර යන්නේ නැතැයි කියන යුරෝ නිලධාරීන්ගේ ප්‍රකාශය කිසිවෙක් පිළිගන්නා බවක් දැනට පෙනෙන්නට නැත.

එසේම, මෙයට ඉඩක් ලැබුනහොත් යුරෝ කලාපයෙන් පූර්වාදර්ශයක් ගනිමින් අනෙකුත් බංකොළොත් රටවල් වලට පැතිර යාමේ අවදානමක් ද නැතැයි කීමට බැරිය.

තැන්පතු සියල්ල බැංකු වලින් වහා පළා යාවි යැයි බියෙන් ස්පාඤ්ඤය තමන් එවැනි ගලවා ගැනීමකට පාත්‍ර වෙන්නේ නැතැයි ප්‍රකාශයක් කඩිනමින් ඉදිරිපත් කර ඇත.

සති තුනකට පමණ පෙර බලයට පත් වූ ජනාධිපති ඇනස්ටාසියාඩේස් කියා සිටින්නේ එක්කෝ මහා විනශාකාරී අවුලකට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා නැත්නම් මේක නිසි කළමනාකරණයකින් බේරා ගත හැකියි කියාය.

එහෙත් ආණ්ඩුවේ නිසි කළමනාකරණය යනු බැංකුවේ ඇති තම තැන්පතු වලින් ප්‍රතිශතයක් අහිමි වී යනවාට සිප්‍රියානුවන්ගේ කිසිම ප්‍රසාදයක් නැත.

සයිප්‍රස් බැංකු වල තැන්පතු අතර ඇත්තේ සිප්‍රියානුවන්ගේ මුදල් පමණක් නොවේ. රුසියානුවන් මහත් පිරිසක් ද, සෙසු යුරෝපීයයන් ද සයිප්‍රස් බැංකු වල මුදල් තැන්පතු කර ඇත්තහ.

ඉතාලිය, අයර්ලන්තය, පෘතුගාලය, ස්පාඤ්ඤය හා දෙවරක් බේරාගත් ග්‍රිසිය යුරෝ කලාපයේ දැඩි මූල්‍ය ගැටළු ඇති කරමින් සිටින අතර විසඳුම් කිසිවකට කැමති ජනතාවක් වාසය නොකරන රටවල් වෙති. ආණ්ඩුවේ සහනාධාර භුක්ති විඳින ඔවුන් ඒවා අඩුවෙනවාට අකමැතිය. එහෙත් සහනාධාර ලැබෙන මාර්ග සියල්ලම දැන් හිඳී ඇතැයි ඔවුන් පිළිගන්නට ද අකමැතිය. ආණ්ඩු සහ බැංකු කුමන ගිවිසුමකට එළඹුනත්, අවසානයේ අහිමි වන්නේ තමන්ගේ තැන්පතු බව යුරෝ කලාපීය පුරවැසියන් තවමත් මුහුණ දෙන්නට අකමැති තිත්ත ඇත්තයි.

මෙය තම රටේ සිද්ධ නොවේ යැයි සිතන්නා ආණ්ඩුවකින් තව තවත් මහා පරිමාණ සැලසුම් හදමින් තමන්ගේ සුබ සාධනය සැලසීම තව දුරටත් ඉල්ලා සිටියි. තමන්ගේ සුබ සාධනය තමන්ට සලසා ගන්නට ඉඩ දී ආණ්ඩුවට පැත්තකට වී සියළු පුරවැසියන්ගේ අයිතීන් ආරක්ෂා කරන්නට යැයි කීමට ඉදිරිපත් වෙන්නා පමණක්, මෙය තම රටේ ද සිද්ධ වීමට ඇති හැකියාව දකින්නා ය.

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. indika27 said, on මාර්තු 17, 2013 at 10:32 පෙ.ව.

    හරි සෝක්…අපේ රටේ නම් ජනතාව උත්සාහවන්තයි..රජය දෙන්න හැදුවත් එපා කියනවා..

    • arunishapiro said, on මාර්තු 18, 2013 at 8:36 පෙ.ව.

      indika27,

      ජනතාව වෙතින් තීරණ ගන්නට හැකියාව අහක් කරලා කන්නෙ මෙහෙමයි අඳින්නෙ මෙහෙමයි පටන් බඳින්නෙ මෙහෙමයි ඊට පස්සෙ දරුවන් හදන්න ඕනැ මෙන්න මෙච්චරයි වගේ හැම දෙයක් ම කියලා දෙන්න “නායකයන්” බිහිවෙද්දී එතකොට ඉතින් යන්නෙ කොහෙද කියලා තීරණ ගන්න තමන් දන්නෙ නැතිව අනුන් අනුකරණය තමයි වැඩියෙන් කරන්නෙ.

  2. wicharaka විචාරක said, on මාර්තු 17, 2013 at 2:01 ප.ව.

    මේ බැංකු අර්බුදය ගැන වාර්තාව මම අල් ජසීරාවෙන් දැක්කා. අපිට අනාගතයේදී මොනවා වෙයිද කියලා හිතුනා. (තමන්ගේ තරමට වඩා පිම්බෙන්න සෝබන වැඩ කිරීමේ ආදීනව අපිට ලැබෙයි නේද කියා හිතෙනවා)

    • arunishapiro said, on මාර්තු 18, 2013 at 8:39 පෙ.ව.

      විචාරක,

      යුරෝපයේ විතරක් නෙමෙයි මෙහෙත් කොටස් වෙළඳපොලේ වෙනස්කම් දැනටමත් පටන් ගෙන. ලංකාවටත් සයිප්‍රසයේ සිද්ධියේ අනියම් බලපෑම් දකින්නට හැකිවේවි … යුරෝපයට පටවන බඩු ගැන එහෙම … ගෝලීය ආර්ථිකයකනෙ අපි ඉන්නෙ.

      //තමන්ගේ තරමට වඩා පිම්බෙන්න සෝබන වැඩ කිරීමේ ආදීනව අපිට ලැබෙයි නේද කියා හිතෙනවා// 😀 මේක එහෙම වෙනවා යැයි දකින්න බැරි අය දේශද්‍රෝහි කියලා ලේබල් ගහන්නයි ඉක්මන් වෙන්නේ.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: