අරුණි ශපීරෝ‍ වෙතින්

සමාජ ගිවිසුම කාගේ මතය අනුව අනුව ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 18, 2013

Thomas Jefferson

“මිනිසා නිදහස්ව ඉපිද ඇත්තේ ය, එහෙත් හැම තැනක ම ඔහුව යදමින් බැඳ ඇත්තේ ය,” යන්න සමාජ ගිවිසුම (1762) ලියන ශෝන් ශාක් රූසෝ ගේ කියමනකි. වැඩවසම් යුගයෙන් ගැලවෙද්දී යුරෝපයේ හා විශේෂයෙන් ම ප්‍රංශයේ දේශපාලන ප්‍රතිසංස්කරණ වලට මේ රූසෝ ලියූ සමාජ ගිවිසුම කෘතියේ අදහස් බෙහෙවින් බලපාන ලදි.

මේ ඇමෙරිකා එක්සත් ජනපද නම් රට ආරම්භයේ දී නිදහස ගැන කළ කතිකාවේ දී සැලකුවේ ජෝන් ස්ටුවර්ට් මිල් හා ජෝන් ලොක් කියූ අදහස්.

ප්‍රාථමික මිනිසා නිදහස් වූවෙක් ද?

රූසෝ පටන් ගන්නේ මිනිසාගේ ස්වභාවික තත්වය නිදහස් වූවක් යැයි කියමිනි. එහෙත් ඵෛතිහාසික ප්‍රාථමික මිනිසා යනු ඔහුට වඩා ශාරීරික ශක්තියෙන් වැඩි වූවෙක් විසින් ඔහුගේ දඩයම හෝ ඔහුගේ ගල් ලෙන හෝ ඔහුගේ අඹුව හා දරුවන් උදුරා ගැනීම් වලට පාත්‍ර වූවෙකි. ඒ ස්වභාවය පැවතිය දී ඔහුට නිදහසක් තිබුණා යැයි කිව හැකි ද?

නිදහස යන සංකල්පය හැම විටම මිනිසුන් අතර ඇති සමාජ ගිවිසුමක් ගැන ම වූවකි. සමාජයක ඉන්නා සියල්ලන්ට ම, ඒකීය පුද්ගලයෙකුගේ පරම නිදහසක් සාක්ෂාත් කරගැනීමේ සංකල්පයක් යනු කතාබහට නොහැකි වූවකි. ඒ, පරම නිදහසක් එක් අයෙකුට ලැබෙන්නේ ද එහි දී තවකෙකුගේ පරම නිදහසට ඇති බාධකයක් ද මතුවෙන නිසාය. නමුත්, සමාජයක අනෙක් අය එහි සාමාජිකයෙකු වෙන ඒකීය පුද්ගලයෙකුට ඔහුගේ සුබ සාධනය සාක්ෂාත් කරගන්නට ඉඩ දෙන්නේ කොතරම් ද යන්න මත ඔවුනොවුන්ගේ ද සුබ සාධනය තීරණය වෙයි.

සමාජයක් යනු ආවශ්‍යක ලෙසින් එහි සාමාජිකයන් එකිනෙකා ගේ කැමැත්ත පරිදි ගණුදෙනු පවත්වන සංස්ථාවකි. ඒකීය පුද්ගලයන්ට තෝරා ගැනීමේ නිදහසක් පවතින තාක් කල් සමාජයේ සාමාජිකයන් වන ඔවුන් නිදහස් පුද්ගලයන් වෙති. ප්‍රචණ්ඩත්වයෙන් හෝ ප්‍රචණ්ඩත්වයක් කරනවාය යන තර්ජනයෙන් හෝ ඔවුන් හුවමාරු කරගන්නා ක්‍රියාවලියට බාධා පැමිණෙනවා නම්, එය කොතරම් සුළු ප්‍රමාණයක තර්ජනයක් හෝ ප්‍රචණ්ඩත්වයක් වූවත් එහි දී එය නිදහසට බාධාවකි.

වහලෙක් නිදහස් නොවන්නේ, පැහැදිලිවම වහල් ස්වාමියා විසින් වහලාට එක එක කාර්යයන් පවරමින්, ඒවා ඉටු කළ විට පමණක් වහලාට මේ මේ දේවල් ලැබෙනවා යැයි වහල් ස්වාමියා විසින් තීරණය කර ඇති නිසා ය.

ඉතින් ආණ්ඩුවක් යනු එහි දී ආවශ්‍යක ලෙසින් ම නිදහස (liberty) යන්නට ඉඩක් නොදෙන්නකි. සමාජයේ යටපත් කරන්නට අවශ්‍ය වූ හැදියාවන් සහ බලපෑම් වලින් වෙනස් කරන්නට අවශ්‍ය හැදියාවන් පිණිස සකස් වී ඇති ආණ්ඩුව ප්‍රචණ්ඩත්වයෙන් සහ ප්‍රචණ්ඩත්වයක් කරනවා යැයි තර්ජනයෙන්, පුරවැසියා කැමති වුවත් අකමැති වුවත් ආණ්ඩුවේ සියළු නියෝග පිළිපැදීමට ඔහුව බලහත්කාරයෙන් කීකරු කරගන්නකි.

සමාජ සංස්ථාවක් ගැටළු අඩුවෙන් පවත්වා ගෙන යන්නට හදාගත් යාන්ත්‍රණය ආණ්ඩු සංස්ථාවයි.

දැන් වැරදියට වටහා ගන්න එපා. “ආණ්ඩුවක් වගා කරන්නට දන්නේ නැහැයි කියද්දී අපි දුප්පතුන්ට ආහාර සපයනවාට එරෙහි වෙනවා,” (-බැස්ටියාට්) යැයි ලෙසින් හිතන්න එපා!!!!!

ආණ්ඩුවක් යනු අත්‍යාවශ්‍ය වූ සංවිධානයකි. සමාජ පද්ධතියක් සහයෝගයෙන් කටයුතු කිරීම සඳහා ආණ්ඩුවක් උවමනා වූවකි. මැරවරයන්ගේ හෝ දේශීය විදේශීය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයෙන් ඇතිවන ප්‍රචණ්ඩත්වයක් නොමැතිව සමාජයීය මිනිසාට ජීවත්වෙන්නට ඉඩ හදා දෙන්නේ ආණ්ඩුවයි.

ආණ්ඩුවක් යනු සමහර අය කියන ලෙසින් අත්‍යාවශ්‍ය වූ පාපයක් (necessary evil) නොවේ. එය පාපයක් නොවේ. එය යාන්ත්‍රණයකි. සාමකාමී මිනිසාට එකිනෙකා සමඟින් ජීවත්වීමට ඉඩ සලසන එකම යාන්ත්‍රණයයි.

එහෙත් එය නිදහසට (liberty) විරුද්ධ වූවක් ද වන්නේ ය.

දඩ කොළ, සිරගත කිරීම හා එල්ලුම්ගහ වැනි දඬුවම් වලින් යුතු වූවකි. ආණ්ඩුවක් යනු එය ගෙනෙන යම් නීතිමය ක්‍රියාවක් අවසානයේ දී එය රැකීමට අවිගත් පොලීසිය/හමුදාව විසින් ද එකඟ වෙන්නකි.

ආණ්ඩුවක් විසින් ඉස්පිරිතාලයක් පවත්වා ගෙන යද්දී, පාසැලක් පවත්වා ගෙන යද්දී, එහි විය හියදමට අවශ්‍ය මුදල් බදු මාර්ගයෙන් එකතු කරද්දී, ඒ බදු, පාලනයේ ඉන්නා අයට කැමති පරිදි ආණ්ඩුවේ අණට කීකරු වෙන්නට සිද්ධ වී ඇති පුරවැසියන් ගෙන් එකතු කරගනියි.

වැරදි කරන අයව නීතියට හමුවට ගෙන එන්නටත්, අපරාධකරුවන් යැයි නිශ්චය වූ අයට දඬුවම් පමුණවන්නටත් නොහැකි නම්, එනම්, ප්‍රචණ්ඩත්වයක් කරන්නට නොහැකි නම් ආණ්ඩුවක් තුලින් ශිෂ්ඨාචාරයක් හෝ සාමයක් පවත්වා ගෙන යා නොහැකියි කියා සලකා බැලුව හොත්, එවිට අපට ආණ්ඩුව යනු මිනිස් සංස්ථා වලින් වඩාත්ම සුවසෙත සලසන්න හැටියට පිළිගන්නට සිද්ධ වේ.

ඒත් ඒ අවස්ථාවේ දී ම ආණ්ඩුවක් යනු නිදහස මැඬලන සංස්ථාවක් ද වෙයි.

නිදහස යනු සෑම විටෙක ම, ආණ්ඩුවෙන් නිදහස් වීමයි.

නිදහස යනු ආණ්ඩුවක් විසින් බලපෑම් කරමින් පනවන සීමා වලින් ගැලවීමට හැකියාවයි.

ඉතින්, ආණ්ඩුවක් යනු අවශ්‍ය වූ යාන්ත්‍රණයක් වෙද්දී, ඒ අවස්ථාවේ දී ම එය ප්‍රචණ්ඩත්වයෙන් යුතු නිදහසට බාධාවක් ද වෙයි.

ආණ්ඩුව යනු අවශ්‍ය වූ මෘගයෙකි. ඒ මෘගයා මෙල්ල කරගත යුත්තේ, ඒ මෘගයාට දාමරික ලෙසින් හැසිරෙන්නට බලයක් හා ශක්තියක් පවරා නොදිය යුත්තේ ඒ මෘගයා ගේ ගොදුරක් විය හැකි තත්වයේ නිති ජීවත්වන පුරවැසියාය.

නිදහස යනු බහුතරයාගේ කැමැත්ත නොවේ. බහුතරයා විසින් නිදහස යන්න අගයන සේ පාරට්ටු බාන නමුත් ඔවුන් නිදහස යැයි සලකන්නේ ඔවුන්ගේ චින්තනයට සරිලන නිදහස පමණි. සත්‍යය නිදහස නම් බහුතරයකගේ කැමැත්තට පිටුපා ජීවත්වීමට හැකියාවයි. ඒ නිසා නිදහස යනු සැමවිටම බහුතරයට එරෙහි වීමකි.

ශෝන් ශාක් රූසෝ ගේ ලිවියතන් රාක්ෂයා ගැන නොව මේ කියන්නේ අත්‍යාවශ්‍ය වූ මෘගයා ගැනයි. සියල්ලන්ගේ නිදහස ආරක්ෂා කරන්නට අවශ්‍ය විටෙක පැත්තකට වී කවුරු දිනන්නේ දැයි බලා ඉන්නා ආණ්ඩුවක් නොව සියල්ලන්ගේ නිදහස රැකෙන අන්දමින් කටයුතු කරන්නට පමණක් ඉදිරිපත් වී අනතුරුව නැවතත් පැත්තකට වෙන මෙල්ල කරගත් මෘගයෙකි. ජනතාව අතර මැරයන් බිහිවීම වළක්වා ලන්නට පමණක් සීමිත බලතල ඇති මෘගයෙකි!!!!!

“නිදහස් අයිතිය යනු අපේ කැමැත්ත අනුව, අනෙකුත් අයගේ අයිතීන් ද එක හා සමාන ලෙසින් සලකා, කටයුතු කරත හැකියාවයි. එය “නීතියේ සීමාවන් ඇතුලත පවතින නිදහස” යැයි මා නොකියමි. මන්ද නීතිය යනු බොහෝ විට ආඥාදායකු ගේ කැමැත්තක් වන නිසාය. එවැන්නක් වෙද්දී හැම විටම ඒකීය පුද්ගලයාගේ අයිතිය උල්ලංඝනය වෙයි.” -තෝමස් ජෙෆර්සන්

“මිනිසුන් රැක බලා ගන්නවා කියා පෙනී සිටිමින් මහජනතාවගේ ශ්‍රමය නාස්ති කරන්නට අපි ආණ්ඩුවට ඉඩක් නොදෙන්නේ නම්, එවිට මහජනතාවට සතුටින් සිටින්නට හැකිය.” -තෝමස් ජෙෆර්සන්

“ප්‍රඥාවන්ත හා අරපිරිමැස්මෙන් යුතු ආණ්ඩුවක් යනු, මිනිසුන් එකිනෙකාට අනතුරු පමුණුවා ගැනීමෙන් වළකන, එය හැරෙන්නට අනිත් සියල්ලට ඔවුනට පාඩුවේ ඉන්නට ඉඩ දෙන, ඔවුන් සොයා යන දේවල් සහ කර්මාන්තයන් දියුණු කරගැනීම නිදහස් ලෙසින් රෙගුලාසි කරගන්නට ඔවුනට ඉඩදෙන, ඔවුන්ගේ ශ්‍රමයෙන් උපයාගත් පාන් ඔවුන්ගේ මුවින් උදුරා නොගන්නා වූවකි. මෙයයි හොඳ ආණ්ඩුව. අපේ සතුට රඳවා ගැනීමට අවශ්‍ය මෙයයි.” -තෝමස් ජෙෆර්සන්

“ජනතාව ආණ්ඩුවට බිය වෙනවා නම්, එහි ඇත්තේ ප්‍රජාපීඩනයයි. ආණ්ඩුවක් ජනතාවට බිය වෙනවා නම්, එහි ඇත්තේ නිදහසයි.” -තෝමස් ජෙෆර්සන්

“ඉතිහාසය කියැවීමෙන් මට අවබෝධ වී ඇත්තේ බොහෝ නරක ආණ්ඩු වලට හේතුව ඒවා අනවශ්‍ය තරම් විසල් ආණ්ඩු වීමයි.” -තෝමස් ජෙෆර්සන්

“නිවැරදි චෛතසික ස්වභාවය ඇත්නම් මිනිසාව සිය ඉලක්කය කරා යාමෙන් නතර කරන්නට කිසිවකට නොහැකියි. එසේම වැරදි චෛතසික ස්වභාවයකින් ඉන්නා අයෙක්ට උදව් කිරීමට මෙලොව කිසිවකට නොහැකියි.” -තෝමස් ජෙෆර්සන්

Advertisements

4 Responses

Subscribe to comments with RSS.

  1. praveena said, on මාර්තු 18, 2013 at 9:24 ප.ව.

    //එහෙත් ඵෛතිහාසික ප්‍රාථමික මිනිසා යනු ඔහුට වඩා ශාරීරික ශක්තියෙන් වැඩි වූවෙක් විසින් ඔහුගේ දඩයම හෝ ඔහුගේ ගල් ලෙන හෝ ඔහුගේ අඹුව හා දරුවන් උදුරා ගැනීම් වලට පාත්‍ර වූවෙකි. ඒ ස්වභාවය පැවතිය දී ඔහුට නිදහසක් තිබුණා යැයි කිව හැකි ද?//

    දැනුත්, මේ වගේ බලපෑම් එක්කම, වෙනත් බලපෑම්වලටත් ගොදුරු වෙන මිනිස්සු දැක්කාම ඒ කාලේ දැනට වඩා නිදහසක් තියෙන්ට ඇති කියලා හිතෙනවා.

    //ආණ්ඩුව යනු අවශ්‍ය වූ මෘගයෙකි. ඒ මෘගයා මෙල්ල කරගත යුත්තේ, ඒ මෘගයාට දාමරික ලෙසින් හැසිරෙන්නට බලයක් හා ශක්තියක් පවරා නොදිය යුත්තේ ඒ මෘගයා ගේ ගොදුරක් විය හැකි තත්වයේ නිති ජීවත්වන පුරවැසියාය.//

    මේ ටික කියවනකොට මතක් වෙන්නේම , ගෙයක් ඉස්සරහ ඉඳගෙන, ගෙදර අය ආරක්ෂා කරන ලොකු බල්ලෙක්ව. 🙂

    • arunishapiro said, on මාර්තු 19, 2013 at 7:52 පෙ.ව.

      praveena,

      තමන්ට වඩා ශරීර ශක්තියෙන් වැඩි කෙනෙකුට ඇවිත්
      දඩයම = ආහාරය උදුරා ගෙන යන්නට හැකි නම්,
      අඹුව හා දරුවන් = පවුල උදුරා ගෙන යන්නට හැකි නම්,
      ගල් ලෙන = නිවාසය උදුරා ගන්නට හැකි නම්,

      ඊට වඩා දරුණු වූ මේ කාලේ නිදහස නැති කරන “වෙනත් බලපෑම්” කියලා ප්‍රවීනා අදහස් කරන්නේ මොනවා ද?

      ආහාරය, පවුල, නිවහන උදුරා ගන්නට හැකියාව අහල පහලක සිටි ශරීර ශක්තියෙන් වැඩි වූ ඕනෑම මානවයෙකුට තිබියා නම් “ඒ කාලේ දැනට වඩා නිදහසක්” තිබුණා කියන්නේ මොන නිදහසක් ගැන ද?

      තමන්ට රිසි නොවූ අය ගැන ද්වේෂය වපුරවන්නට, කුමන උපායකින් හෝ තමනට ජනප්‍රියත්වයක් ලබාගනු පිණිස, රූසෝ වැන්නවුන් ඇත්ත ලෙසින් බොරු ලියූ කල, “පාන් නැත්නම් බ්‍රියෝෂ් කාපල්ලා“, වැනි, ඒ බොරු පිළිගත් අය එදා සිටියත්, අද ඇත්ත නැත්ත තෝරා බේරාගත හැකි යුගයක දී, එසේ පැහැදිලි නැත්තේ මන්දැයි නොදැන මම විස්මිත වී සිටිමි!!!!!!!!!!

      ඉතින් එය තෝමස් ජෙෆර්සන් කියූ “…… වැරදි චෛතසික ස්වභාවයකින් ඉන්නා අයෙක්ට උදව් කිරීමට මෙලොව කිසිවකට නොහැකියි,” කියමන සත්‍යයක් බව නැවතත් පැහැදිලි කරන්නක් පමණක් බව සිතා සිත සනසා ගන්නට සිද්ධ වෙයි.

  2. සමන් said, on මාර්තු 20, 2013 at 11:37 ප.ව.

    Aruni,
    Thank you for the post. you seems to be a thomas jefferson fan :).
    A question. “ඉතිහාසය කියැවීමෙන් මට අවබෝධ වී ඇත්තේ බොහෝ නරක ආණ්ඩු වලට හේතුව ඒවා අනවශ්‍ය තරම් විසල් ආණ්ඩු වීමයි.” -තෝමස් ජෙෆර්සන්. what is “නවශ්‍ය තරම් විසල් ආණ්ඩු” ? Are they as he says in his other comment, “එකිනෙකාට අනතුරු පමුණුවා ගැනීමෙන් වළකන, එය හැරෙන්නට අනිත් සියල්ලට ඔවුනට පාඩුවේ ඉන්නට ඉඩ දෙන”. govenments?.
    Who should build infarstrucutre? Is it people who again get organized and build a road to ease the trafic congestion in the Galle road for example?Where does the responisibility of “ideal Jefferson” government should end in your openion?
    Thanks
    Saman

    • arunishapiro said, on මාර්තු 21, 2013 at 7:48 පෙ.ව.

      සමන්,

      ඔව්, ජෙෆර්සන් සටහන් බොහොමයක් කියවා ඇති ඔහුව අගයන රසිකාවියක්මි.

      ඔව්, ආණ්ඩුවක් කළ යුතු ඉතා වැදගත් වූ කොටස එහි සියළු පුරවැසියන්ට ආරක්ෂාව සැලසීම. ඊට වඩා එහාට යන ඔවුන්ගේ ජීවිතය හසුරැවන ක්‍රියා පිළිවෙත් යනු නරක ආණ්ඩු කරන ඒවා.

      යටිතල පහසුකම් හදාගන්නෙ මිනිස්සු විසින්. නාගරික මට්ටමේ පාලනයෙන් සාර්ථකව පුලුවන්. ඒවා විසල් ආණ්ඩු විසින් හැදීම අකාර්යක්ෂමයි, නාස්තිකාරයි, අසාර්ථකයි.

      රටේ ඕනෑම රටවැසියෙක් අනෙකෙකුට අපරාධයක් නොකරද්දී එයා සොයා යන නිදහස, සතුට, දියුණුවට ඉඩ දීලා පැත්තකට වෙන රජයක් උතුම් රජයක්.


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: