අරුණි ශපීරෝ‍ වෙතින්

කාලය යනු ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි

Posted in Uncategorized by arunishapiro on මාර්තු 19, 2013

IMG_5125

කාලය යනු ශ්‍රේෂ්ඨ ගුරුවරයෙකි. එහෙත් කාලය දීර්ඝ කර ගැනීමට කළ හැකි කිසිවක් ලොව නැත. දැනුම කියා තමන් බාරගත්, එයින් ජීවිතයට ආදේශ කරගත්, එයින් ජීවිතය සමෘද්ධිමත් කරගත් ආකාරය නිවැරදි ද නැද්ද යන්න කාලය විසින් ඔප්පු කර පෙන්වයි.

කාලය ශ්‍රේෂ්ඨ මෙන්ම රුදුරු ගුරැවරයෙකි. එයට හදවතක් නැත. ඒ නිසා අනුකම්පාවක් ද නොදක්වයි. ඔබ දැනුම කියා බාරගත් කොටස නිවැරදි වූවා ද නැද්ද යයි පෙන්වන්නේ ඒ පාඩුව හෝ ලාබය අත්දැකීමෙන් පසු පමණයි.

පුද්ගලයාට මෙන් ම, ආණ්ඩුවකටත් කාලය විසින් පාඩමක් උගන්වයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනයෙන් රටේ දේශපාලන ආර්ථිකය ගැන දැනුමක් රටේ සුබ සාධනය පිණිස යොදා ගැනුනා ද නැද්ද යන්න කාලය විසින් ඔප්පු කර පෙන්වන්නේ රට බංකොළොත් වූයේ නම් ඒ ගැන කිසිම දයාවක් නොදක්වා ය. රට සමෘද්ධියක් වූයේ නම් ඒ ගැන කිසිම උද්දාමයක් නොදක්වා ය.

පොදු ජනතාවගේ හිත සුව සත්‍යයෙන් ම ප්‍රාර්ථනා කරනා අය, (මන්ද, එයින් පමණක් ම තමන්ගේ ද හිත සුව සැලසෙන නිසාවෙන් ම), සමහර අයට, ඔවුන්ට විද්‍යාත්මක සිද්ධාන්ත වටහා ගැනීමේ හැකියාවෙන් වූ අය වුවත්, ඉතා සරල ප්‍රස්තුතයක් ගැන වුවත් හැඟීමක් (sense) නොමැති කම ගැන විස්මිත වූවත් තැති නොගනිති. එසේම පුද්ගලයන් විසින් ඇස් පනා පිට පෙනෙන සත්‍යය ප්‍රතික්ෂේපයට, එය යටපත් කරන්නට, එයට කුමක් හෝ කාරණයක් දක්වමින් එකඟත්වය නොදක්වා ඉන්නට ගන්නා විරුද්ධත්වය (resistance) ගැන ද විස්මිත වූවත් තැති ගන්නට කාරණයක් නොවේ.

අයිසෙක් නිව්ටන් ගේ දර්ශනය ප්‍රංශයේ වසර 50 ක කාලයක් පුරා ඒකමතික තීරණයෙන් ප්‍රතික්ෂේප වූවකි. අද එය ප්‍රංශයේ සෑම පාසැලක ම උගන්වන්නකි.

ඉතින් ඊටත් වඩා වැදගත් දැනුම අධ්‍යයනය කළ යුතු බව කවදා හෝ පිළිගන්නට සිද්ධ වෙන්නේ කාලය නැමති රුදුරු ගුරුවරයා ජීවත්වෙන මිනිසාව අත්හැර නොයන නිසාය.

තම වටපිටාවේ සිද්ධ වෙන දේවල් දැක ප්‍රශ්න නඟන අය අතර පිරිසක් තිත්ත ඇත්ත වුවත් බාරගනිති. තවත් පිරිසක් එයට තමන් කැමති පිළිතුර ලැබීමෙන් පමණක් සතුටට හා සෑහීමට පත් වේ. එහෙත් කාලය උගන්වන්නේ අද සතුටෙන් පමණක් හෙටත් අනිද්දාත් ඊ ළඟ දිනයේත් සතුට පැවතෙනවා ද නැද්ද කියාය.

හරි වැරදි ප්‍රස්තුත ගැන හැඟීමක් (sense) දැනෙන හැකි සේ මිනිසා උත්පාදක වී ඇත. එසේම තමන්ටම බොරු කියාගන්නා ස්වභාවයක් ද මිනිසා සතුව ඇත්තේ ය. කාලය යනු හැඟීම් වලින් තොර වූවකි. එය තමන් තමන්ට ම කියාගත් බොරුව හෙළි කරන්නට කිසිත් පැකිළීමකින් තොරව ඉදිරිපත් වෙන්නකි.

සමාජයීය සත්වයෙක් වූ මිනිසා, ඇසුරු කරන්නට තෝරා බේරා ගන්නා අයගෙන් ජීවිතයට වටිනාකමක් එකතු කරගන්නේ ය.

ඔබ ඇසුරු කරන්නට තෝරා බේරා ගන්නේ කවුරුන් ද?

උගත් යැයි කියා නමට පට්ටම් එකතු කරන අය ද?

පොදු ජනතාවගේ හිත සුව පිණිස යැයි කියමින් තම බඩ වඩාගන්නා අය ද?

නොදන්නා දේවල් ගැන නිශ්චිතවම දන්නා ලෙසින් අඟවන අය ද?

විනෝදයට මුලාව වපුරවන අය ද?

ද්වේෂය වපුරවමින් ඔවුන්ට ඇති/නැති සමෘද්ධිය වෙන කිසිවෙකුට හෝ ලැබෙනවාට අකැමති අය ද?

එසේ නැත්නම් හරි වැරදි ප්‍රස්තුත ගැන තමන්ගේ ම හැඟීමට සවන් දෙන, ඕනෑම සමාජ පංතියක ඉන්නා, ඕනෑම ජාතියක ඉන්නා, ඕනෑම ආගමක් අදහන, ඕනෑම උගත් මට්ටමක ඉන්නා අය ද?

මගේ තෝරා ගැනීම හැම විටම වූයේ මේ අන්තිම කොටසයි. දැනට දැකිය හැක්කේ මා වටා ඉන්නා ඉතා සොඳුරු මිනිසුන් සමූහයකි. ඔවුන් නිසා මගේ ජීවිත කාලය ඉතා සතුටින් ගෙවෙමින් පවතියි. කාලය නැමති ගුරුවරයා කිසිත් තැකීමකින් නොයුතුව මගේ තෝරා ගැනීම් වල ඇත්ත නැත්ත මට පෙන්වා දී ඇත. ඒ සනාථ කිරීම් අවබෝධයෙන්, අනාගතයේ ද ඇසුරු කරන අය කවුරුන් දැයි තෝරා බේරා ගනිද්දී මම මට බොරු කියා නොගනිමි!!!!!!!

ඉතින්, කාලයාගේ ඇවෑමෙන් ඔබේ තෝරා ගැනීම් කොතරම් නිවැරදි දැයි ඔබට දැනගන්නට සිද්ධ වේ. එයින් ගැලවෙන්නට ක්‍රමයක් නැත.

සටහන Jean-Baptise Say ලියූ A Treatise on Political Economy (1880) අදහස් ඇසුරෙනි.

9 Responses

Subscribe to comments with RSS.

  1. Chathu Ranga said, on මාර්තු 19, 2013 at 9:51 පෙ.ව.

    ඔබ කියන තරම් ප්‍රබල බුවාලා ලංකාවේ නැති එක අවුල්ය…ලංකාවේ නම් බටහිර හෝ අමරිකාව කියු සැනින් ඕනැම දෙයක් ගිල්විය හැකිය…

    • arunishapiro said, on මාර්තු 19, 2013 at 10:02 පෙ.ව.

      Chathu Ranga,

      //ඔබ කියන තරම් ප්‍රබල බුවාලා ලංකාවේ නැති එක අවුල්ය// මොන ප්‍රබල බූවෙක් ගැන ද මා මෙහි කියා තිබෙන්නේ? කාලය (Time) නම් ගුරුවරයා ගැන. එය ජීවත්වෙන සෑම මිනිසෙකුට ම පාඩමක් කියා දෙන, කිසිම ලෙසකින් පළවා හරින්නට නොහැකි, ස්වභාවයෙන් මිනිසා ළඟින් ම ඉන්නා ගුරුවරයෙකි.

      //ලංකාවේ නම් බටහිර හෝ අමරිකාව කියු සැනින් ඕනැම දෙයක් ගිල්විය හැකිය…// ඒකත් ඔයා දකින හැටි තමයි. බටහිර හෝ ඇමෙරිකාව කියන දේවල් මොනවා ද කියල ඉස්සර වෙලා ම දැන සිටින්න එපායෑ ඒවා මිනිස්සු ගිල්ලා ද නැද්ද කියා දැනගන්න.

  2. දේශකයා said, on මාර්තු 20, 2013 at 1:27 පෙ.ව.

    අවංකව කියුවොත් හොදන්ම මා ග්‍රහණය කර ගත් පෝස්ටුව මෙයයි.. මා කාලය දකින්නේ ජීවකයෙකු ගේ වෙසින්ය. ප්‍රතිචාරය නොදාම බැරු උන හින්ද ඕං දැම්මා… හික්…

    • arunishapiro said, on මාර්තු 20, 2013 at 11:46 පෙ.ව.

      දේශකයා,

      මේ ජීවකයා ඉතා කුරිරුයි. සමහර වෙලාවට පාඩම ඉගෙනගන්න කොට මරණය ළඟා වෙලා.

      ඊට වඩා සුදුසු ජීවකයා තමයි අතීතයෙන් පාඩම් ඉගෙන ගෙන කටයුත්තක් කරන්නට පෙර සිතා බලන්නට උදව් කරන දූර දර්ශ ඥානය නම් ගුරුවරයා.

      වටහා ගත්ත ටික අවුල් කළා ද කොහෙද!!!!!

  3. Gold fish said, on මාර්තු 20, 2013 at 2:40 පෙ.ව.

    මාත් හිතන්නේ කාලය හොඳ ගුරුවරයෙක්… අපිට අපැහැදිලි දේවල් ගොඩක් තේරුම් කරලා දෙනවා. දන්නෙනැති දේවල් ​ කියලා දෙනවා…

  4. Chandi said, on මාර්තු 20, 2013 at 5:01 පෙ.ව.

    මේක නම් සහතික ඇත්ත නංගී. කාලය විසින්ම අපිට කොපමණ දේ උගන්වනවාද? කලයත් එක්ක කොච්චර සොඳුරු මිනිසුන් අපට හමුවෙනවාද? අපේ ජීවිත සෙනෙහසින් ආදරෙන් ගෙවෙන්නෙ ඒ අය නිසා නොවේද? අත්දැකීම් අප ලබා පරිනත වෙන්නෙත් මේ කාලය නැමති ගුරුවරයා නිසාමයි. මේ ගෙවිලා යන කාලයේ තමන්ට සතුටුවෙන්න දෙයක් ලෝකෙට කෙරිලා තියෙනවානම් ඒකම මදෑ නිදහසේ මැරෙන්න.

    • arunishapiro said, on මාර්තු 20, 2013 at 11:52 පෙ.ව.

      Chandi,

      😀 කාලය හොඳ ගුරුවරයෙක් තමයි චාන්දි අක්කා .. ඒත් කුරිරු විදියට කියලා දෙන්නෙ. කාලය ගෙවිලා ගිහින් ටෙස්ට් කරලා දැනගන්නවාට වඩා අනුන්ගේ මුලා වලින් නොරැවටී තමන්ගේ හැඟීම් වලට සවන් දී හරි වැරදි ගැන සිතා බලන්න හැකිනම් නිවැරදි තීරණ ගන්නට හැකියාවත් වැඩියි.

      ලෝකයට වැඩියෙන් ම කරන්න පුලුවන් යහපත නම් තමන් ලෝකයාට බරක් නොවී සිටින්න හැකියාවක් හදාගැනීම. අපි එහෙම නොවේ කියන බොහොමයක් දන්නෙ නැහැ, ආර්ථිකයක් වැඩ කරන හැටි දන්නේ නැති නිසාම, එයාලා ලෝකයට කොච්චර බරක් වෙනවා ද කියලාත්.


arunishapiro වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න