අරුණි ශපීරෝ‍ වෙතින්

අලස ජනතාවක් නැති කරන්නට සැලසුමක් හැදූ ශ්‍රේරේෂ්ඨ ගොර්බචොව්

Posted in Uncategorized by arunishapiro on මාර්තු 20, 2013

ussr-1

ලෙනින් ගේ සටන් පාඨය, “මාක්ස්වාදය සර්වබලධාරියි මන්ද එය සත්‍යයක් නිසා,” යැයි ලියැවුනු පෝස්ටරය සෝවියට් යුනියනයේ හැම තැනම දකින්නට ලැබුනක් යැයි ලියන්නේ යූරි එන්. මල්ට්සෙව් විසිනි. ඔහු මිකායෙල් ගොර්බචොව් ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණවාදී අර්ථ ශාස්ත්‍රඥයෙක් ලෙසින් සේවය කළ අයෙකි. මේ සටහන ඔහු Requiem for Marx (1992) පොතට ලියන ලද පෙරවදන ඇසුරිනි.

කාලය නැමති සිත් පිත් නැති ගුරුවරයා විසින් පෙන්වා දුන් වේදනාකාරී පාඩම් ඉගෙන ගන්නට එවක දී ද විරුද්ධත්වය දැක් වූ අය සමෘද්ධිය කරා යන අදහස් අනුගමනය කිරීම තව දුරටත් ප්‍රතික්ෂේප කළ හැටි මේ පෙරවදන විස්තර කරයි.

සමාජවාදී විප්ලවකරුවන් ගේ සහ ඔවුන්ගේ අනුගාමිකයන් ගේ ප්‍රධාන තුරුම්පුව නම් ද්වේෂයයි. ලෙනින් දේශපාලනය සැලකුවේ පලිබෝධ සැලසුමක් ලෙසින් යැයි සෝවියට් රුසියාවේ උපන් මල්ට්සෙව් කියයි. පුද්ගලික මොනොපොලියන් සමාජයේ විනාශය ඇති කරනවා යැයි සැලකූ ලෙනින්, ආණ්ඩුවේ මොනොපොලියන් සද්ගුණයෙන් යුතු වූ බව ඇදහීය. මොනොපොලිය යනු මොනොපොලිය නොවන්නේ දැයි ඇසූ අය සෝවියට් රුසියාවේ මිලියන ගණනකින් අතුරුදහන් වී ගියහ.

අගය කළ යුතු ප්‍රතිසංස්කරණවාදියෙක් යැයි “ශ්‍රේරේෂ්ඨ ගොර්බචොව්” නමින් ඇමෙරිකාවේ මහාචාර්යවරයෙක් ඔහු ගැන නිව් යෝර්ක් ටයිම්ස් පුවත් පතට ලියන ලදි. එහෙත් ඇත්ත තත්වය දැන සිටියේ ප්‍රතිසංස්කරණ ගෙනෙන්නට වෙහෙස වූ මල්ට්සෙව් වැනි අර්ථ ශාස්ත්‍රඥයන් ය. කාල් මාක්ස් ගේ කොමියුනිස්ට්වාදයේ බංකොළොත් බවින් ඇද වැටෙන සෝවියට් යුනියනය බේරාගන්නට ඉදිරිපත් වූ අර්ථ ශාස්ත්‍රය ඔවුනට ලැබුනේ ලුඩ්විග් වොන් මීසස් වෙතිනි.

ගොර්බචොව් ප්‍රතිසංස්කරණවාදියෙක් කියා රුසියන් ජනතාව පිළිනොගත්හ. බංකොළොත් බවින් සියල්ල ඔවුන් වටා කඩා වැටෙද්දී සමාජවාදී සැලසුම් පද්ධතිය බේරාගන්නට කටයුතු කළ අයෙක් ලෙස ඔවුන් ගොර්බචොව් දුටුවහ.

ගොර්බචෝව්ට කිසිම අර්ථ ශාස්ත්‍ර දැනුමක් තිබුනේ නැතැයි ඔහුගේ පාලනයේ සේවය කළ මල්ට්සෙව් අර්ථ ශාස්ත්‍රඥයා ලියයි. ගොර්බචොව් සිතුවේ කොමියුනිස්ට්කාරයෙක් ලෙසින් පමණකි. එනම්, අණ නිකුත් කිරීමෙන් හා අණට කීකරු වීම ඉල්ලා සිටීමෙන්, ඒ ආඥා මිනිස් ස්වභාවයන්ට කෙතරම් පටහැනි වූවත්, කෙතරම් දරුණු වූවත්, කෙතරම් අදම්‍ය (perverse) වූවත්, තමන් අරමුණු කරගන්නා ප්‍රතිඵලය සාක්ෂාත් කරගත යැයි කියාය.

බලයට පත් වූ සැනින් යාන්තමින් ඉතිරි වී තිබි සෝවියට් වෙළඳපොල ක්‍රියාකාරීත්වය ඔහු මුළුමනින් විනාශ කරන ලදි. ඔහු විශ්වාස කළේ සමාජවාදී ක්‍රමය හොඳට වැඩ කරන බවත්, මිනිසුන් අලස බවට පත් වී තිබීම, මත්පැනින් කාලය ගෙවන්නට හුරු වී තිබීම, “වංක ලෙසින් ආදායම්” එකතු කරන්නට හුරු වී තිබීම යනාදී, සමාජවාදී සද්ගුණයන් වලින් බැහැර වී සිටින නිසා කොමියුනිස්ට් යාන්ත්‍රණයේ දුර්වලතා හටගෙන රුසියාව බංකොළොත් වූ බවයි. ඒ නිසා ඔහුගේ පළමු ප්‍රතිසංස්කරණය වූයේ “ජනතාවගේ චින්තනය නැවත හැඩගැස්වීමයි.”

මත්පැනට එරෙහි ව්‍යාපාරය වහාම පටන් ගැනිණ. රටේ බේබද්දන් අනවශ්‍ය යැයි පක්ෂ නායකයන් දැඩි අවධාරණයෙන් කියා සිටියහ. මත්පැන් ගන්ධයක් ඇති අයව පොලීසි වලට අල්ලා ගෙන යන්නට විණ. පොලිස් ස්ථාන ජනගහණයෙන් පිරී යද්දී, දහස් ගණනින් ජනතාව අඳුරු රැයක සීතලේ නගරයෙන් සැතපුම් 15 ක් පමණ ඈතකට රථ වලින් ගෙන ගොස් දමා ඒම නිතිපතා සිද්ධ වූ ක්‍රියාමාර්ගයක් විය. හැම රාත්‍රියක දී ම, බේබද්දන් යැයි ලේබල් ඇලවිච්ච අය සැතපුම් ගණන් හේමන්ත සීතලේ ආපහු නගර වලට ඇවිද ගෙන එනවා දකින්නට ලැබිණ.

90% කට වඩා මත්පැන් විකුණන කඩ සංඛ්‍යාවක් වසා දැමිණ. නොසිතූ ප්‍රතිඵල දකින්නට හැකිවිණ!!!! සීනි, රැවුල කැපූ පසු තවරන පුයර හා ජනේල පවිත්‍ර කරන ද්‍රව්‍ය කඩවල් වලින් අතුරුදහන් වන්නට පටන් ගැනිණ. මේ අමුද්‍රව්‍ය යොදා ගනිමින් “කසිප්පු” පෙරීම රට තුල එක වසරක් ඇතුලත දී 300% ඉහළ ගියේය.

මත්පැන් වෙනුවට පානය කරන ලද මේ සුරා වලින් 13,000 – 25,000 ක් අතර සංඛ්‍යාවක් මරුමුවට පත්වූහ. ඊට වඩා පිරිසක් මිය ගියා යැයි කියන්නේ රාජ්‍ය නිල නියෝග අනුව දෙන මත්පැන් ඇබිත්ත ගැනීමට පැය පහක් පමණ සීතලේ පෝලිම් වල ලගින්නට සිද්ධ වීමෙනි.

මේ අතර මරණයට පත් වූවන්ට ඒ ඉරණම නියම විය යුතුයි කියූ ගොර්බචොව් ප්‍රමුඛ පක්ෂයේ හිතවාදීන්, බටහිර රටවල් වලින් ගෙවල් වලට හා කාර්යාල වලට ගෙනැවිත් බෙදූ අනගි මත්පැන් බිව්වහ.

6,000% වශයෙන් බදු පනවන ලද නිසා මත්පැන් වලින් රජය ලද ආදායම එහි ප්‍රධාන ආදායමක් බවට පත්විය. එහෙත් අනික් ආදායම් අඩු වී ආණ්ඩුවේ බජට් එකෙන් රූබල් බිලියන 25-30 ක් අඩු වී යන බව කාලය නැමති ගුරුවරයා සිත් පිත් නැති ලෙසින් කියා දුන් විට ඔවුන් මතට තිත ප්‍රතිපත්තිය නැවතූහ.

තමනට කළින් සිටි නායකයන්ට කියා දුන්නා සේ කාලය නැමති ගුරුවරයා ගොර්බචෝව්ට ද ඉගැන්වූයේ මතින් සිටිනා මිනිසුන් පාලනය පහසු යැයි කියාය. මතින් සිටිනා මිනිසුන්ට නින්දාව සහ තමන්ව අපයෝජනය කිරීම පහසුවෙන් දරාගත හැකි බවයි.

සියළු ක්ෂේත්‍රයන්ට හානිකර බලපෑම් කරමින් මේ සැලසුම නිසා ආර්ථිකයට දරුණු පහරක් වැදෙද්දී, මධ්‍යම බැංකුව සල්ලි අච්චු ගහන්නට පටන් ගති. මුදල් වැඩිවිය. භාණ්ඩ අඩුවිණ. පාරිභෝගිකයන් මෙතෙක් කල් රාජ්‍ය වෙළඳ සැල් වලින් ලබා ගත්තේ ජීවත්වන්නට පමණක් සරිලන භාණ්ඩ පමණි. දැන් අලුතින් ලැබුණ සල්ලි නිසා ඔවුන් බඩු භාණ්ඩ මිල දී ගන්නට පොර කෑමෙන් දැවැන්ත බඩු හිඟයක් පටන් ගැනිණ.

ඊ ළඟට ගොර්බචොව් පිවිසුනේ “වංක ආදායමට” එරෙහි වූ වැඩ පිළිවෙලකට ය. නිල වේතනයට පිටතින් වූ අනෙක් සියළු ආදායම් මාර්ග නැති කළ යුතු යැයි ඔහු කියා සිටියේය. අයෙක් තම ගෙයි කාමරයක් කුලියට දෙනවා නම් එය වංක ආදායමකි. සියළු වංක පුද්ගලයන් එහි දී දැඩි දඬුවම් ලබති. එහෙත් ගැටළුව වූයේ රුසියාවේ එවැනි නිල නොවන රස්සාවකින් ආදායමක් සොයා නොගත් කිසිම පුද්ගලයෙක් නොවීමයි. නිල ආදායම ජීවත් වන්නට ප්‍රමාණවත් වූයේ නැත. වංක නොවූයෙක් නොසිටියේ දැනටමත් එවැන්නා මිය ගොසින් නිසාය.

“නීති විරෝධී” යැයි සැලකුණු පිටිසරබද වැසියන්ගේ නිවාස අසලින් වගා කර තිබුණු පළතුරු හා එළවළු වතු දහස් ගණනින් බුල්ඩෝසර් වලට යට විය. ගොවීන් ගේ “නීති විරෝධී” පොලවල් වසා දැමිණ. නීති විරෝධී ලෙස විදේශ මුදල් හුවමාරු කරන තැන් අල්ලා ගත්හ. නිල නොවන ප්‍රවාහන සැපයීම තහනම් විය. ලාබයක් සොයා ගනු පිණිස කාමරයක් කුලියට දුන් නිසා නිවාසයම රජය සතු වීමෙන් නිවාස වෙළඳපොල අර්බූදයක් පටන් ගැනිණ.

සියළු භාණ්ඩ නිල වශයෙන් විකිණීම රෙගුලාසි කරනු පිණිස සියළු භාණ්ඩ වලට සහතිකයක් නිකුත් කෙරිණ. සහතිකයක් ලබාගනු පිණිස විකුණන්නට කළින් කුමක් විකුණන්නේ දැයි රජයට දන්වා අනුමැතිය ලබා ගැනීමට සිද්ධ විය. ඒත් අනෙක් හැම අවස්ථාවක දී වගේ ම රජයේ සුළු බලධාරීන් ඉහළ අල්ලස් ගනිමින් ඒ සහතික නිකුත් කළහ.

සමූපාකාර වල මිල පාලනය දැඩි විය. රාජ්‍ය වෙළඳසැල් හැම එකකම එකම මිලට බඩු විකුණන ලදි. හරක් මස් කිලෝවක් රූබල් 4 ක් යැයි නිර්දේශ කරන ලදි. මොස්කව් වැඩ කළ මේ අර්ථ ශාස්ත්‍රඥයා සිතුවේ වෙළඳපොලේ හරක් මස් අතුරුදහන් වී යාවි කියාය. එහෙත් ඔහු නොසිතූ ප්‍රතිඵලයක් අත් දැක්කේය. වෙළන්ඳන් රූබල් 4 ක් වටිනා මස් සමඟ තඩි මස් කටුවක් ද එකතු කර කිලෝවක් මැන දුන්හ!!!!!!!! ඉල්ලුම හා සැපයුම එකඟ වී හරක් මස් හිඟයක් හට ගත්තේ නැත.

එහෙත් හා මස් සඳහා එය කළ නොහැකි විණ. කිලෝවක් රූබල් 3 කට විකුණද්දී බර වැඩි කරන්නට තරම් ලොකු හා මස් කටුවක් ඔවුනට නැති වූ නිසාය!!!!! වෙළඳපොලෙන් හා මස් අතුරුදහන් විණ.

වංක ආදායමට එරෙහි ව්‍යාපාරයෙන් නිල නොවන ආර්ථිකය තවත් නිල බවින් නොවූ ආර්ථිකයක් කරා දිව්වේය. ඒ නිසාම එය අකාර්යක්ෂම වූවක් ද විය. පාරිභෝගිකයන්ට ඒ නිසා දැඩි ඉහළ මිලක් ගෙවන්නට සිද්ධ විය. මන්ද කළුකඩයක් ගෙන ගිය හැම කෙනෙක්ම එහි අවදානම වැඩි නිසා තමන් විකුණූ දෑට එකතු කළේ දැඩි ආධික්‍යයකි (premium).

රුසියන් රාජ්‍ය නිලධාරීන් අලුත් නීතියක් එනවාට බොහොම කැමති අයයි. එවිට ඔවුනට තවත් අල්ලසක් එකතු කරගන්නට අවස්ථාවක් පෑදෙන නිසාය. නීති කඩනවාට ලැබෙන දඬුවම් බරපතල වෙද්දී ඔවුනට වාසි වැඩියි. එයින් ජනතාව බිය කරගන්නට හැකියාව වැඩියෙන් ලැබෙයි. ඉහළ නිලතල දරන අයට තමන්ට පහතින් ඉන්නා අයව පාලනය කරගන්නත්, එසේම පහළ ඉන්නා අයට ඉතා ඉහළ පුටුවක් කරා යන්නත් හොඳ ඔත්තුවක් සෑහේ.

පළමු වසරේ දී 150,000 ක පිරිසක් වංක ආදායම් චෝදනාවට හසු වී සිරගත වූහ. එයින් 24,000 ක් රජයේ ඉහළ නිලධාරීන් වූහ. කිසිම අයෙක් නීතිය ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් හෝ ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමේ නාමයෙන් සිරගත නොවූහ. එසේ සිරගෙදරට යැවුන සමහරු වෙනත් අයෙකු ගේ පුද්ගලික තරහ මරහකින් ගැලවෙන්නට බැරි වූ නිසා වූහ. නැත්නම් ඔවුන්ගේ කළුකඩ අයිති තරඟකරුවන් ඉල්ලා සිටි අල්ලස් දීමට නොහැකියාව නිසා වූහ.

රජයේ නිලධාරීන් කෙළින්ම මුදල් අල්ලස් ගන්නට මැළි වූහ. ඒ නිසා ඔවුන් පොලීසිය මාර්ගයෙන් ඒ කටයුත්ත ඉටු කරවා ගත්හ. පුද්ගලික කෝන්තරයක් හොඳ මිනිහෙක්ව වරදකරුවෙක් කරන්නට ප්‍රමාණවත් විණ.

මහාචාර්යවරුන් හොඳ ලකුණු දෙන්නට අල්ලස් ගත්හ. නීතිය සමඟ විශ්ව විද්‍යාලයන් තුල මහත් වෙනස්කම් රාශියක් ඇති වී සංකීර්ණ පද්ධතියක් තුලින් තොරතුරු හා අල්ලස් හුවමාරුව පටන් ගැනිණ.

හැම නිෂ්පාදන ක්ෂේත්‍රයක්ම දැඩි සේ සහනාධාර වලින් ගෙන ගිය නිසා, සමූපාකාර වල මිල පාලනය සිද්ධ වූ නිසා, රෝගී වී තිබි වෙළඳපොල තවත් විනාශ වී ගියේය. ඉතින් 1986 දී පටන් ගත් වංක ආදායම් සොයන මෙහෙයුම වසරකින් නැවතුනේ කාලය නැමති ගුරුවරයා විසින් එහි අනිසි ඵලවිපාක පිළිනොගෙන සිටින්නට බැරි සේ ඔප්පු කර පෙන්වූ නිසයි.

එහෙත් අයෙක් සිතන්නට පුළුවනි දැන්වත් ගොර්බචොව් ඇතුළු සමාජවාදීන් පාඩමක් ඉගෙන ගත්තා යැයි කියා!!!!!!

ඔහු ගෙනෙන තෙවැනි උත්සාහය වෙන්නේ “ශ්‍රම ශික්ෂණයක්” ඇති කරලන්නටයි. රටේ ජනතාව ලවා නිසි කලට වේලාවට වැඩට පැමිණ වැඩියෙන් හොඳින් වැඩ කරවා ගැනීමට ඔහු සැලසුමක් ගෙනාවේය.

අයෙක් පැය තුනක් පරක්කු නම් ඔහුගේ රස්සාව අහිමි විය. රස්සාවක් වෙනස් කරන්නට සති දෙකක දැන්වීම වෙනුවට මාස දෙකක් දැන්විය යුතු විය. වැඩට එන්න මිනිත්තු දහයක් ප්‍රමාද වූවෙකුට සියළු වැරදි වලට වරදකරු යැයි ලේබල් කර හෙළා දකින්නට වේතන ලබමින් පැය තුනක රැස්වීම් පැවැත්වූහ. දහවල මහමඟ ගමන් කරනා අයව නවතා අන්ඩතේට්ටම් කරමින් ප්‍රශ්න කළහ.

ආර්ථිකයට කිසිත් උද්දීපනයක් “ශ්‍රම ශික්ෂණ” වැඩ පිළිවෙලින් ලැබෙන්නේ නැතැයි කියා දෙන්නට කාලය නම් ගුරුවරයා ඉතා ඉක්මණින් සමත් වූයේය!!!!!!

ගොර්බචොව්ගේ අවසාන වෑයම වූයේ භාණ්ඩ වලට නව ප්‍රමිති මට්ටමක් හැදීමටයි. මධ්‍යම සැලසුම් විසින් කොතරම් ප්‍රමාණයක් නිෂ්පාදනය කළ යුතු යැයි හැම විටෙක ම කියා තිබුණත්, එතෙක් එහි ප්‍රමිතිය ගැන කිසිවක් කියා නොතිබුණි. ඉතින් නව නිලධාරීන් 150,000 ක් ප්‍රමිති මට්ටම් සොයා බලන්නට රජයට බඳවා ගන්නා ලදි.

හැම රාජ්‍ය ආයතනයකම නව අංශයක් මේ ප්‍රමිති මට්ටම් සොයා බැලීම පිණිස පිහිටුවන ලදි. එයින් අල්ලස් ගැනීමට තවත් අලුත් මාර්ගයක් බිහිවිය. තවත් අල්ලස් වැඩි වී එය ද අසාර්ථක උත්සාහයක් විය.

කාලය නම් ගුරුවරයා කියා දුන් පාඩම් එකකින් වත් ගොර්බචෝව් යමක් ඉගෙන ගත්තේ නැත. ඔහු තව දුරටත් විශ්වාස කළේ “පාලනයෙන් යුතු, රෙගුලාසි වලින් යුතු, සමාජවාදී වෙළඳපොල” ගැනයි. මේ අදහසට සහාය දෙන්නට මාක්ස් හා ලෙනින් වෙතින් සටන් පාඨ සොයා දෙන්නට ඔහු මහාචාර්යවරුන්ට මුදල් ගෙවීය. එහෙත් පාරට්ටු බෑමෙන් නිෂ්පාදන බිහි නොවන බව වැඩි කල් යන්නට පෙර කාලය විසින් පෙන්වා දුනි.

ආණ්ඩුවේ බජට් වියදම් අඩු කරමින් මේ අලුත් සමාජවාදී වෙළඳපොල නිර්මාණයට තවත් උත්සාහයක් ගැනිණ. ප්‍රොපගැන්ඩා වලින් පෙන්නුවේ පක්ෂ ලොක්කන් වීදි වල හිඟා කද්දී නිදහස් වෙළඳපොලෙන් මුදල් සෙවූ තරබාරු ධනවතුන් ඔවුනට කොපෙක් එකක් විසිකරන චිත්‍රපටිය. ඒවා දුටු ජනතාව බියෙන් තැතිගෙන 1987 අග භාගය වෙද්දී රස්සාව නැතිවේ යැයි බියෙන් කිසිත් ගණුදෙනු කිරීම නතර කළහ.

අමාත්‍යාංශ වලින් 30-50% අතර සංඛ්‍යාවක් නෙරපා හරින්නට ගොරබචොව්ට සිද්ධ විය. රජයේ නිලධාරීන් 600,000 කගේ රස්සාවල් බජට් කට් නිසා අහිමි විය. අනතුරුව හේ එම අමාත්‍යාංශ ප්‍රතිසංස්කරණයට කියා අලුතින් 720,000 ක් බඳවා ගත්තේය!!! ඔවුන් අතර වැඩි දෙනෙක් අර රස්සා අහිමි වූවන් ය. නැවත බඳවා ගත්තේ 35% ක් වේතන ඉහළ යවමිනි!!!! ඉතින් අර්ථ ශාස්ත්‍රය නොදත් ගොර්බචොව්ගේ බජට් කට් වලින් සිද්ධ වූයේ බජට් එකේ 20% ක් වැය වැඩිවීමකි!!!!!

යුද හමුදාවේ පඩි ගෙවීමට, සුබ සාධන මුදල් ගෙවීමට සහ ආණ්ඩුවේ ව්‍යවසායකයන් කරගෙන යාමට තවත් නොහැකි තරම් තත්වයට එද්දී ගොර්බචොව් වටා සිටි නිලධාරීන් කලබල වූහ. මුදල් ඇමති ව්ලැඩමියර් ඔර්ලොව්, රාජ්‍ය බැංකු සභාපති වික්ටර් ගෙරෂැන්කෝ සහ බජට් සභාපති වික්ටර් කුසරෙන්කෝ ඒ අයයි. මධ්‍යම සෝවියට් රජය අනිවාර්යෙන් ම කඩා වැටෙන බව ඔවුන් හනිකට ගොරබොචොව්ට දන්වා යැවූහ.

රජය ඇතුලෙන් බලය අල්ලා ගන්නට කුමන්ත්‍රණ පටන් ගැනිණ. බොරිස් යෙල්ට්සින් ආණ්ඩු පාලනය අල්ලා ගනිද්දී 1991 දෙසැම්බර් 8 වැනිදා, වයස 74 ක් වූ සෝවියට් යුනියන බංකොළොත් රාජ්‍යයක් ලෙසින් මිය ගියේය.

අනුන් ගේ ජීවිත සැලසුම් කරන්නට ඉදිරිපත් වෙන අය ඒ සඳහා ලොව සදා වෙහෙසෙනු ඇත. ඔවුන් ගන්නා තීරණ වලට ඔවුන්ගේ අතින් කිසිත් වියදමක් ගෙවන්නට හෝ පුද්ගලික අලාබයක් විඳින්නට සිද්ධ නොවී ඔබ වෙනුවෙන් තීරණ ගන්නට ඔවුන්ට බලය දෙන්නේ කවුදැයි කියා හිතා බලන්නට ඔබ සූදානම් ද?

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. maathalan said, on මාර්තු 20, 2013 at 9:25 පෙ.ව.

    ඔය කාළකන්නි ක්‍රම 70-77 දක්වා මෙහෙත් ක්‍රියාත්මක කළා නේ කොටින්ම මිනිස්සු කන්න ඕනේ මොනවද කියන එක පවා. මට හොඳට මතකයි ඒ කාළේ අපේ තාත්තා හැමදාම වගේ කස්ටම් එකෙන් අල්ලන් යනවා. ගරුඬා මොන්ඩියා කියන් ඔරලෝසු විතරයි තිබුනේ. අනික්වා විකුණුවේ හොරෙන්. අරගෙන ආවේ යාපනෙන්. පුළුවන් එකා හොර ක්‍රම වලින් හොඳට හම්බ කර ගත්තා. අපිට මඤ්ඤොක්කා කාපිය කියලා චන්ද්‍රිකාලා අනුරලා ඇපල් කෑවා. එතකොට ගොර්බචොස් මහත්තයට මෙච්චර සලකන්න හේතුව මොකක්ද…?

    • arunishapiro said, on මාර්තු 20, 2013 at 9:32 පෙ.ව.

      maathalan,

      මම දකින්නෙ මේ කාලෙත් මේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙන බවයි. එතනෝල් කන්ටේනර් එකක් එහෙම අල්ලා ගත්තා කියල පත්තරෙන් දැක්කා. 😀

      ගොර්බචොව් තමන් රුසියාව වෙනස් කරනවා කියමින් ධනවාදී කියාගත් බැටළු හමක් පොරවා ගෙන බටහිර ‘සමාජවාදීන්ව’ රවට්ටපු නිසයි ඔච්චර සැලකිලි ලබන්න හේතුව. හරියට ඔබාමා වෙනසක් ගේනවා බුෂ් හදපු ගුවන්තනමෝ කඳවුරු වහලා දානවා කියල ඇමෙරිකන් ජනතාව විතරක් නෙමෙයි නොබෙල් සාම කමිටුවත් රැවැට්ටුවා වගේ!!!!! සත්‍ය ධනවාදියා රැවටුනේ නැහැ. එහෙත් ධනවාදි කියාගන්නා සමාජවාදීන් තමයි හැමදාම රැවටෙන්නෙ.

  2. keerthi ratethanne said, on මාර්තු 20, 2013 at 9:44 පෙ.ව.

    ස්තුතියි. ගොර්බචොව්ගෙන නොදැන සිටි කරුනු රාශියක් දැනගත්තා.මා ඔහු පිලිබද දැනසිටියේ පෙරස්ත්‍රොයිකාවේ නිර්මාතෘ හැටියටයි.

    • arunishapiro said, on මාර්තු 20, 2013 at 11:38 පෙ.ව.

      keerthi,

      සෝවියට් ආර්ථිකය කඩා වැටෙනා බව දකින්නට ලැබෙද්දී පෙරෙස්ත්‍රොයිකා (ප්‍රතිසංස්කරණ) සහ ග්ලාස්නොස්ට් (විවෘත) බව ආදේශ කරගන්නට ඔවුනට සිද්ධ වෙනවා. ඒක සෝවියට් ආණ්ඩුවේ බොහොමයක් දෙනා විසින් අනුමත කළේ එය නොකර ආර්ථිකය තව දුරටත් ගෙන යන්න බැරි නිසා. ගොර්බචොව් නායකත්වයක් ගත්තෙ එයින් බලයේ ඉන්නට හැකියාවෙන් වගේ ම, එයින් විවෘත ආර්ථිකයකට නොයා දී සමාජවාදී සැලසුම් ආර්ථිකය වඩාත් ක්‍රමානුකූලව කරගෙන යන්නට හැකියාව ලැබෙයි කියලා හිතාගෙන. පෙරෙස්ත්‍රොයිකාව සහ ග්ලාස්නොස්ට් නිසා එතෙක් වසන් කරගත් බොහෝ ආණ්ඩුවේ දූෂිත තත්වයන් රුසියන් ජනතාවට දැනගන්නට ලැබිලා ආණ්ඩුව ගැන ප්‍රසාදයත් අඩුවුනා .. එයත් අතුරු හේතුවක් සෝවියට් දේශයේ අවසානයට.

  3. Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 20, 2013 at 11:22 පෙ.ව.

    70- 77 ලාම්පු තෙල් ගඳ රෙදි මතකද?ශ්‍රේරේෂ්ඨ ජේ ආර් ට තැන්ක්යූ වේවා

    • arunishapiro said, on මාර්තු 20, 2013 at 11:31 පෙ.ව.

      Uditha,

      මොකෝ මතක නැත්තෙ. අපිට ඒවා අඳින්න වුනාට ආණ්ඩුවෙ මැති ඇමතිලාගේ දරුවෝ ඇඳන් ආවේ නම් පිටරට සුවඳ තියෙන රෙදි වලින් මහපු සිනිඳු ගවුම්.

      ඔයා ජේ ආර් ට හිනාවෙනවා .. ඒත් වර්තමානයේ ධනවාදී කියාගන්නා අයත් ගේන්නෙ සමාජවාදී සැලසුම් නේ 😦

      • Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 20, 2013 at 1:30 ප.ව.

        හපොයි කවුද ජේ ආර් ට හිනාවුනේ.
        එක්‌සත් ජාතික පක්‍ෂය ආරම්භයේ පටන් “මනුස්‌සකමින්” පිරිපුන් පක්‍ෂයක්‌. රටේ ජනතාවට නොමසුරුව, නොමිලයේ සහල් පතක්‌ ලබාදීමට එදා ක්‍රියා කළේ එක්‌සත් ජාතික පක්‍ෂයේ ආණ්‌ඩු විසින් බව මේ රටේ දෙටු පුරවැසියන්ට තවමත් මතකයි. අප තවදුරටත් ඉදිරියට යා යුතු වන්නේ අපට ආවේණික සාරධර්ම සමඟයි. තවදුරටත් නැති බැරි පංතියේ ජනතාව සමඟ සිටිමින් ඔවුන්ගේ සුබසාධනය තහවුරු කරමිනුයි. නැති බැරි පංතියේ අයගේ ඡන්දයෙන් බලයට පත්වී, ඇති හැකි පංතියට ආවැඩීම අපේ න්‍යාය පත්‍රය නොවිය යුතුයි
        සජිත් ප්‍රේමදාස (එජාප).2013 මාර්තු 20 බදාදා දිවයින

  4. mppgunasinghe said, on මාර්තු 20, 2013 at 12:26 ප.ව.

    මේ ලිපිය කල්පනා ලෝකය අවදි කරවන්නකි. තවත් සැනසිල්ලේ කියවා අදහස් දැකවීමට වටිනා බැවින් නවතිමි. ඔබට නැවතනැවතත් ස්තුතියි අරුණි..

  5. Kamal said, on මාර්තු 20, 2013 at 3:13 ප.ව.

    අරුණි ගේ ඈමරිකන් පිස්සුව හොදටම තදවෙලා වගේ.ගොර්බචොව් කියන හොරාට ශ්‍රේෂ්ඨ කියන්න පුලුවන්නම් මර්වින් සිල්වත් ශ්‍රේෂ්ඨඵකෙක්වෙන්න ඔනේ.අද ලෝකයේ ඉරාකය සිරියාව ඈෆ්ගනිස්තනය වගේ රටවල වේන අපරාදවලට, ඈමරිකන් ත්‍රස්තවාදයෙන් ලෝකය ගලවගන්න සිටි සෝවියට් දේශය කඩාදෑමීමට සෑහෙන්න වෑඩකොටසක් කරපු මේ සල්ලිකෑදර මිනීමස් වෙලෙන්දා වගකියන්න ඔනේ.මොකද සෝවියට් දේශය නොහිටින්න ඈමරිකාව මේවගේ පිස්සුබලු විදියට හෑසිරෙන්නෑ.කොහොම උනත් මෙයාට රුසියන් ජනතාව ලස්සනට උත්තර දීලයි තියේන්නේ.අද තියේන්නේ දනවාදී පුටින්ගේ රුසියාව උනත් මේයාව ඵ්කෙනුත් කොන්කරලා පිටුවහලෙක් විදියටයි හෑදින්වෙන්නේ.මෙයා සල්ලිවලට රටක් පාවාදීපු ඔත්තුකාරයෙක් මිසක් නායකයෙක් නෙවෙයි.

    • arunishapiro said, on මාර්තු 20, 2013 at 4:21 ප.ව.

      Kamal,

      ඔයාගේ ඇමෙරිකන් විරෝධය හොඳටම තදවෙලා නිසා ද කොහෙද ගොර්බචොව් ශ්‍රේෂ්ඨ යැයි කිව්වේ කවුද කියලා සටහනේ ලියලා තිබුණත් ඒක දැකලාත් නැහැ.

      මේ සටහනේ මම කිසිම ලෙසකින් ගොර්බචොව් ශ්‍රේෂ්ඨ යැයි සලකා නැති බවත් දැකලාත් නැහැ.

      අනිත් ඒවා ටික ඔයා එහෙම කිව්වට, ඔයා එහෙම විශ්වාස කළාට ඇත්ත වෙන දේවල් නෙමෙයි. හරියට මර්වින් සිල්වා කියන බොරු වගේමයි!!!!!!!!!!!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: