ඔබ ආණ්ඩුවකට කඹුරන වහලෙක් ද?
ප්රවේණි දාසයන් ස්වාමියාගේ අණසක අනුව සේවය කරමින් දෙන දෙයකින් සැනසී කියන ලෙසකින් ජීවිත ගෙවූහ. ඔවුනට ගැලවෙන්නට මඟක් පැමිණියේ හුවමාරු ආර්ථිකයක් ලොව හට ගැනීමෙනි. එහෙත් මිනිස් ගණුදෙනු අතර මැද්දට පැමිණෙන ලෝක ආණ්ඩු මිනිසා වහලෙක් කර ගන්නේ ඉතා සූක්ෂම ක්‍රමයකට ය. ඒ ඔහුගේ සුවසෙත සලසනවා යැයි පොරොන්දුවෙනි.
ආණ්ඩුවක් විසින් සලසන සුවසෙත අත්විඳින්නට වසර 20-30 ක් යාවි ඉතින් කලබල නොවන්න යැයි කියනු ඇසේ. එහෙත් ආණ්ඩුවේ පාලනයේ ඉන්නා අය, ඔවුන් කුමන වාදී වුවත්, කුමන රටක වුවත්, ඔවුන් පමණක් වැඩියෙන්ම සුවසෙත අත්විඳින්නේ පාලනයේ ඉන්නා විටයි.
පරිනාම (evolutionary) මනෝවිද්‍යාව කියා දෙන්නේ මිනිස් මොළය හැඩගැසී ඇත්තේ ප්‍රශ්න විසඳන්නට ගත් ප්‍රාථමික මිනිස් උත්සාහයන් නිසා බවයි. මොළයේ ඇති ගැටළු විසඳන කුඩා පරිගණක ස්වභාවයක් මිනිසාට ලැබෙන්නේ පරිනාමියව හැඩගැසෙන පරිසරයෙනි (environment of evolutionary adaptedness =EEA). මේ යුගය Pleistocene නම් දඩයක්කාර ඵල වැල රැස්කරමින් ගෙවා දැමූ මිලියන 1.6 කට පමණ එපිට අතීතයක පටන් ගෙන කෘෂිකර්මය සොයා ගැනෙන 10,000 වසරකට පමණ එපිටත දී අවසන් වෙන්නයි.
පරිනාම මනෝවිද්‍යාව පෙන්වන්නේ මිනිස් මොළයේ මූලික හැඩගැසීම අගය කළ යුතු ලෙසකින් වසර 50,000 ක දී කිසිත් වෙනසකට භාජනය වී නැති බවයි. ගල් යුගයේ මනසක් නූතන ඔළු කට්ටක් ඇතුලේ යැයි ඔවුන් පෙන්වා දෙති.
Leda Cosmides සහ John Tooby යන පරිනාම මනෝවිද්‍යාවේ මූලිකත්වය ගත්තවුන් හඳුන්වා දෙන පරිදි, වර්තමාන මිනිසාගේ මොළයේ ක්‍රියාකාරීත්වය නූතන එදිනෙදා ජීවිතයේ ගැටළු විසඳන ලෙසකින් සකස් (design) වී නැත්තකි. එය සැකසී ඇත්තේ මිනිසාගේ දඩයක්කාර ඵල වැල රැස්කරපු මුතුන් මිත්තන්ගේ එදිනෙදා ජීවිතයේ ගැටළු විසඳන්නටය.
වෙළඳපොල ක්‍රියාකාරීත්වය, නිදහස් සමාජය, මූල්‍ය ආයෝජන වලින් පොලිය, ශ්‍රමය වේතනයට හුවමාරුව, ඉඩම් කුලියට දීම යනාදිය කොතරම් සංකීර්ණ වූ දියුණුවක් ද යන්න අඩ නිරුවතින් දඩයමේ හා ඵල වැල රැස්කරපු එකිනෙකා වෙතින් සියල්ල උදුරා ගැනීමේ කිසිත් වරදක් නොදුටු ප්‍රාථමික මනසට වටහා ගත නොහැකියි.
ප්‍රාථමික මිනිසා කල්ලි ගැසුණෙකි. “අපි” සහ “අපි නොවන” සේ සිතන්නට හුරු වූවෙකි.
ප්‍රාථමික මිනිසා ශරීර ශක්තිය අනුව කවුද ලොක්කා යන්නත්, ඊට පිළිවෙලින් ලොක්කෝ වෙන්නේ කවුරුන්දැයි යන්නත් සොයා ඔවුන්ව නායකයන් කර ඔවුනට කීකරු වූවෙකි.
එසේම දඩයක්කාර ඵල වැල රැස් කරපු මනසට ඉක්මණින් විනාශ වී යන ඵලදාව මිසක කල්තබා ගත හැකියාව දැන ගැනීමට පුලුවන් ස්වභාවයක් නොමැති විය.
ඉතින් හුවමාරුවෙන් තමන්ට නිෂ්පාදනය කරත නොහැකි වූවක් වෙනත් අයෙක් හදන්නට දන්නේ නම්, එය ඔවුන් වෙතින් ලබාගන්නට තමන් සතු දෙයක් දී කරන ගණුදෙනුවකින් හැකි යැයි ද, එවැනි හුවමාරු ආර්ථිකයක් නිසා මිනිස් වර්ගයාගේ සමෘද්ධිය වේගයෙන් ඇති වූයේ යැයි ද මිනිස් මොළයට ගෝචර වන්නට ලැබුණු කාලය මිනිස් ඉතිහාසයේ ඉතා සුළු වූවකි.
ගෝත්‍රික නොවන හුවමාරුවෙන් සමෘද්ධිය වැඩි යැයි මුලින්ම ලොවට පෙන්වා දුන්නේ Richard Cobden විසිනි. එහෙත් එවක දී ම සමෘද්ධිය ගැන මනසට පැහැදිලි වෙන්නට පෙර 1845 දී කාල් මාක්ස් විසින් මිනිසාගේ ප්‍රාථමික මොළය ඇමතීය. මිනිසාගේ සාරය (essence) ඒකීය පුද්ගලයෙකු තුල සහජයෙන් පිහිටියක් නොව එය සමාජ සබඳතා වලින් ලැබුණක් යැයි මාක්ස් ලියුවේය. සමාජ සබඳතා පවත්වන ආකාරය වෙනස් කිරීමෙන් මිනිස් සාරය වෙනස් කළ හැකි යැයි ඔහු පෙන්වීය.
මිනිසා වහලෙක් කරගන්නට උවමනා වූ වැඩවසම් රජවරුන් සිටියේ නැතත්, ප්රවේණි දාස හිමියන් සිටියේ නැතත්, ලෝක ආණ්ඩු වල මිනිසුන් වහලුන් කරගන්නට සිතූ මනස් සතු වූවන් නොමඳව සිටියහ.
ඔස්ට්‍රේලියාවේ ජුලියා ගිලාඩ් ඊයේ ඔස්ට්‍රේලියන් ජනතාවගෙන් සමාව අයැද සිටියේ 50 ගණන් සිට 70 ගණන් දක්වා රජය විසින් අවිවාහක කාන්තාවන්ගේ දරුවන් උදුරා ගැනීම ගැනයි. ජුලියා ගිලාඩ් ගෙනා ප්‍රතිපත්ති වලට කවුරු අනාගතයේ දී සමාව අයැද සිටියි ද?
ස්ලෝබඩාන් ම්ලෝසවිච් ස්ත්‍රී දූෂණය රජයේ ප්‍රතිපත්තියක් ලෙසින් ගෙනහැර පෑ අයෙකි.
2004 දී උතුරු කොරියාවේ ආණ්ඩුව පයින් කූරු (pine needle) තේ බීම එහි සාගතයෙන් පෙළෙනා වැසියන්ට සුදුසු යැයි නිර්දේශ කරන ලදි. පිළිකා, දියවැඩියාව, අර්ශස් වැනි රෝග සුව කරන්නට එය සමත් යැයි කියූ රජය සුදු කෙස් කළු කරන්නටත් එය සමත් යැයි ජනතාවට කියා සිටියහ. 1995 සිට මේ දක්වා අඩුම වශයෙන් මිලියනයක් උතුරු කොරියානුවන් සාගතයෙන් මිය ගොස් ඇත.
මාක්ස් ලියූ “මිනිසාව හදන්නේ සමාජයයි” යන මුලාව කිම් යොන්ග් ඉල් ගේ පයින් තේ ගුණ වැයීම වැනි වුවත්, එය ඔප්පු කරන්නට ඇති තරම් මළමිනී තිබුණත්, එය පැහැදිලි වන්නට මිනිස් මොළය හැඩගැසෙන තුරු මුලාවෙන් සිටින පිරිස වැඩිය.
එහෙත් ආණ්ඩු සතු බලය වන්නේ එය පැහැදිලි වන්නට ඉඩක් මිනිස් මොළයට ලබා නොදීමයි. පරම්පරාවෙන් පරම්පරාවට හිමිවෙන ඔටුන්නක් නැතත්, පාලකයෙක් විසින් තව පාලකයෙක්ට සතු වූ බලය තම පාලන සමයේ දී කැමැත්තෙන් අඩු කරගන්නා අවස්ථා ලෝක ඉතිහාසයේ කොතරම් අඩු ද?!!!!!!
ගල් යුගයේ මනස වර්තමාන ඔළු කට්ටේ හිර වී ඇත්තේ මනස අවදි කරගන්නට මිනිසාට ලැබෙන තොරතුරු ප්‍රමාණය භාෂාවෙන් හා රාජ්‍ය නීති වලින් සීමා වී ඇති නිසයි.
ඇමෙරිකාව ලෝකයේ නිදහස් ප්‍රකාශණ අයිතිය රකිනා ලොව එකම රට වුවත් මෙහි ඇල් ගෝර් සියැටල් ගෝත්‍රික නායකයා ගැන ප්‍රබන්ධය සත්‍යයක් සේ සිය පොතේ ලිවීම ගැන ඔහුව ප්‍රසිද්ධියේ විමසූ කිසිවෙක් නැත. බුෂ් පුතා කළ වැරදි වෙනස් කරන්නම් කියා සාම තෑග්ගකුත් දිනාගෙන මහ පුටුව අල්ලා ගත් ඔබාමා කරන්නේ බුෂ් පුතාටත් වඩා නිදහස කප්පාදුවකි. ඇමෙරිකන් ආණ්ඩුවේ පාසැල්, උසස් අධ්‍යාපන ආයතන සියල්ල හැඩගැසී ඇත්තේ මොළයේ වර්ධනය ඔවුනට අවශ්‍ය ලෙස හැඩගැසෙන තොරතුරු පමණක් ඉගැන්වීමෙනි. එහෙත් ගෙදර පාසැල් කරන්නට තවමත් ඉඩකඩක් ඇති නිසා සුළු ජනකොට්ඨාශයකට පමණක් තමන්ට කැමති සේ තොරතුරු සොයා යන අයිතිය ආරක්ෂා කරගන්නට හැකි වී ඇත.
1928 සිට 1953 දක්වා සෝවියට් යුනියනයේ පරම පාලනයක් ගෙන ගිය ජෝසෆ් ස්ටාලින් මිලියන 20 ක පමණ ජනතාවගේ මරණයට වගකිව යුත්තෙකි. සෝවියට් දේශයේ කඩා වැටීමත් සමඟ ස්ටාලින් කොතරම් කුරිරු වූවා දැයි රුසියන් ජනතාවට දැන ගන්නට ලැබුණි. එහෙත් පසුගිය වසරේ Levada Center විසින් කරන ලද විමසුමක දී බහුතර රුසියානුවන් ස්ටාලින් දැක්කේ රුසියන් ඉතිහාසයේ ධනාත්මක චරිතයක් ලෙසටය. ඒ ව්ලැඩමියර් පූටින් විසින් ස්ටාලින්ගේ අපරාධ හෙළා දැකීමට මූණ ඉච්ඡාවට යමක් කිව්ව ද, පූටින් ආණ්ඩුව (මෙඩ්වෙදෙව් සමයත්) කළේ ඉතිහාස පාඨමාලා පොත්වල ස්ටාලින් “කාර්යක්ෂම කළමනාකරුවෙක්” ලෙසින් රුසියාව කාර්මිකරණයටත් මිලිටරි බලයටත් ගෙන ගිය නායකයෙක් හැටියට හඳුන්වා දීමයි. දෙවැනි ලෝක යුද්ධයෙන් ජර්මනිය පරාජය කළ උත්සව පැවැත්වෙද්දී යුද්ධය දිනූ ජනරාල් ලෙස ස්ටාලින් සමරන රාජ්‍ය නිල උත්සව පවත්වන ලදි. පසුගිය වසරේ Victory Day දී රුසියානු නගර 40 ක බස් රථ වල ස්ටාලින්ගේ පින්තූර දිස් කරන ලදි. ඉතිහාසය දන්නා සියල්ලන්ම පාහේ එකඟ වන්නේ ස්ටාලින් තරම් රුසියාවේ යුද හමුදාවෙන් මිලියන ගණනින් නුපුහුණු සොල්දාදුවන් මරණයට යවන ලද වෙනත් නායකයෙක් නැතැයි කියාය. මේ මාසයේ දී ස්ටාලින්ගේ මරණ අනුස්මරණය දිනයේ දී රුසියාවේ NTV පෙන්වා ඇත්තේ “ස්ටාලින් අප සමඟයි” යන වාර්තාකරණයයි. [ඉහත විස්තර මෙතැනින්.]
ඉතින් ඉතිහාසය වෙනස් කරමින් ලියද්දී, ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගත නොහැකියි.
ගල් යුගයක මිනිස් මනස වර්තමාන ඔළු කට්ට තුල සිර කරවීමෙන් ලැබෙන වාසි බලතණ්හාධික පාලකයන් මනාව හඳුනාගෙන ඇත.
මේක කියෙව්වාම මට තේරුන දේ නම්. සමාජවාදි රාජ්‍යන් තම ජනයා මරා දමන අතර. ධනවාදි නායකයන් තම ජනයා ලවා අන් රටවල ජනයා මරා දමන බවයි.
Maathalan,
ආණ්ඩු පාසැල් පුහුණුවෙන් දාගෙන ඉන්න කණ්ණාඩි ගලවලා ආයේ කියවන්න ඕනෑ මාතලන්. ලෝකයේ ධනවාදී නායකයෙක් හිටියේ 1913 පෙබරවාරි 3 වැනිදා ට (ආදායම් බදු පිහිට වූ දිනය) ඉස්සර ඇමෙරිකාවේ පමණයි!!!!! ආදායම් බදු එකතු කිරීම සමාජවාදී ප්රතිපත්තියකි. ආදායම් බදු එකතු කරගන්නට නොහැකි නම් කිසිම රටකට අන් රටවල ජනයා මරා දමන්නට හමුදාවක් නඩත්තු කරන්නට සල්ලි නැහැ. ඒ වගේම අන් රටවල ආණ්ඩු වලට සහනාධාර නවත්තවනවා අපි කියන විදියට මෙහෙම කරන්න අරහෙම කරන්න යැයි නීති දාන්න හැකියාවකුත් ලැබෙන්නෙ නැහැ.
ඉතින් නෝනේ ඇමරිකාවෙත් ටැස් ගහනවනේ…
Maathalan,
exactly .. මෙහෙත් කාලයක ඉඳලා සමාජවාදය මිසක් ධනවාදයක් නැහැයි කියන එක. ආහාර එක්ක කලවම් කරගත්තම විෂ, ලැබෙන්නේ මරණයයි.
ඔබේ බ්ලොග් අඩවිය අපගේ සින්ඩියට එක්කර ගැනිමට කෙරෙන කාරුණික ආරාධනයි මේ ……..
http://syndi.wikasitha.com/
සුපුරුදු ලෙසම හොඳ ලිපියක්. ප්රශ්නය තියෙන්නෙ මේක කරන්නේ කොහොමද? කියන කාරණාව.
රාජ්,
ආණ්ඩුව කියන්නෙ සමාජයේ සංවරයට උපකාර කරගන්නා ක්‍රමයක් විතරයි, ඒකෙ ඉන්න අයට වඳින්න ඕනෙ නැහැ කියල සමාජයේ වාසය කරන ඒකීය පුද්ගලයන් වැඩිපුර දෙනෙක් වටහා ගැනීමෙන්.
අක්කෙ,ඔය ගැන නම් ගොඩක් දේවල් තියෙනවා කියන්න.අර ගෙම්බන්ට හොඳ පාලකයෙක් ඉල්ලලා දෙවියන්ගෙන් ඉල්ලපු කතාව වගේ දෙයක් ඔතන වෙන්නෙ.පුද්ගලිකව මම ඒ කතාවට මුලුමනින් එකඟ නොවුනත් ඒ දෙයම තමයි වෙන්නෙත්.චන්ඩියා,හොරා තමයි වීරයා,ඇයි තමන් ඊට වඩා හොරෙක් නිසා.පගා ගහන,හොරට කලින් අත්සන් කරලා පනින,කේලම් කියන එකා කියනවා හොරකම් කලත් මොකෝ,මිනීමැරුවත් මොකෝ, උන් වැඩක් කරනවනෙ කියලා.මොකද එහෙම කිව්වෙ නැත්තං තමන් කරන මගෝඩි වැඩේ සාධාරනීකරනය කරන්න බෑනෙ.අනික වහලෙක් වුනහම හිතන්න ඕන නෑ කියලනෙ හිතන්නෙ.නිකං හිතන්න,මේ සින්ඩියෙ තියෙන මෙලෝ රහක් නැති පෝස්ට් වලට comments එලෝ කෝටියට තියෙන්නෙ ඇයි කියලා. හේතුව එව්වට හිතන්න ඕන නෑ.ඉතිං මෝඩයො ඉන්න තැනට තව මෝඩයො එනවා.
magenama,
😀 ප්‍රසාදය දිනා ගන්න අනුන්ට ඕනෑ විදියට වැඩ කරන අය හැමදාම සිටීවි. වෙනස් කරන්න බැරි දේවල් ගැන වෙහෙසීමෙන් ඵලක් නැහැ. ඒත් වෙනස් වෙන්න කැමති අයට තවත් වෙනස් අය සතුටින් ඉන්නවා යැයි ලියන්නත් ඕනෑනේ.
/ පරිනාම මනෝවිද්‍යාව පෙන්වන්නේ මිනිස් මොළයේ මූලික හැඩගැසීම අගය කළ යුතු ලෙසකින් වසර 50,000 ක දී කිසිත් වෙනසකට භාජනය වී නැති බවයි. ගල් යුගයේ මනසක් නූතන ඔළු කට්ටක් ඇතුලේ යැයි ඔවුන් පෙන්වා දෙති. /
මේ සංකල්පය සත්‍යයක් නම් අරුණි ඒකෙන් හැඟවෙන්නෙ මිනිස් වර්ගයා පරිණාමීය උගුලක අහුවෙලා ඉන්නව කියන එක නේද? Bottle neck එකක් කියල කිව්වොත් තරමක් දුරට හරි කියලයි මට හිතෙන්නෙ. කොටින්ම පිටින් ටයි කෝට් ඇඳගත්තට තවම දඩයම් කරන්නට සතෙක් හොයන වනචාරියෙක් ඇතුලෙ ඉන්නෙ ..එහෙමද?…
අනික් අතට මේ සංකල්පය සම්පූර්ණ සත්‍යයක් කියලයි මට හිතෙන්නෙ. අද මේ ලෝකෙ තියන අර්බුද ඒ වගේම ඇස් පනා පිට පෙනෙන්නට තියෙන සරල සත්‍යය වටහාගැනීමට මිනිසුන්ගෙ ඇති නොහැකියාව එහෙම නැත්නම් උනන්දුවක් නැතිකම ගැන කල්පනා කරනකොට හිතෙන්නෙම තර්කානුකූලව කල්පනා කිරීමේ හැකියාව මිනිස්සුන්ට ඇත්තටම නැද්දෝ කියල
අරුණි අහල ඇති මේ කතාව මම හිතන්නෙ…
” How much time do you need to finish this project? ”
” Mm…at least two weeks.”
” What? Two weeks?…that’s impossible…the god made the whole world in just one week. ”
” There you are, exactly my point. See what a mess he did, that’s what happens when you have to keep to unrealistic deadlines, total chaos…”
මේකත් දෙයියන්ට වැරදිච්චි තැනක් මට හිතෙන්නෙ 🙂
Ravi,
හැමෝගේ ම මිනිස් මොළය හැඩ ගැසිලා තියෙන්නෙ එකම විදියකින් නම්, එය සෑහෙන කාලයක දී සැලකිය යුතු ලෙසින් වෙනස් වෙලා නැති වුනත්, ඇයි කට්ටියකට විතරක් අවබෝධය හැකි තවත් කට්ටියකට අවබෝධය නොහැකි?
දෙයියන්ට වැරදිච්ච තැනක් නෙමෙයි රවී, කම්මැලි අය නිදහසටත්, යුක්ති ගරුක නොවන අය පුද්ගලික වාසියටත් හදාගත්ත සමාවක්.