අරුණි ශපීරෝ‍ වෙතින්

වමත් දකුණත් කියා දේශපාලනය බෙදුනේ කෙසේ ද?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 27, 2013
ප්‍රංශ ජාතික සම්මේලනය

ප්‍රංශ ජාතික සම්මේලනය

18 වැනි සියවසේ ඇමෙරිකාවේ ඇතිවූයේ අධිරාජ්‍යවාදයට එරෙහි වූ අරගලයකි. බදු වලට, වෙළඳ මොනොපොලියන්ට, රෙගුලාසි වලට, හමුදාකරණයට හා විධායක බලයට එරෙහි වූ අරගලයකි. අරගලයෙන් ජයගත්තවුන් 1776 දී සැමරුවේ ඉහත පීඩන වලින් ලැබූ නිදහසයි.

නිදහස ලැබූ ඔවුන් ලේ හැලීමකින් තොරව ජනරජ ආණ්ඩුවක් පිහිටුවා ගත්හ. හමුදාව විසුරුවා හැරියහ. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් ගැලවෙන්නට ගත් ප්‍රංශ රාජ්‍යයෙන් ඉල්ලා ගත් ණය ගෙවා දැමූහ.

19 වැනි සියවස වෙද්දීත් තෝමස් ජෙෆර්සන් සහ ඇන්ඩෲ ජැක්සන් ආණ්ඩු වල ඩෙමොක්‍රැටික්-රිපබ්ලිකන් පක්ෂ ලිබටේරියන්වාදී අදහස් ආරක්ෂා කළහ. ඇමෙරිකන් ජීවිත වලින් ඈතකට ආණ්ඩුව තල්ලු කරන්නට ඔවුන් සමත් වූහ. නිරන්තරයෙන් යුද වදින්නට පුහුණු වෙන යුද හමුදාවක් හෝ නාවුක හමුදාවක් ආණ්ඩුවට නොතිබිණ. රටට ණය බරක් නොවිණ. ෆෙඩරල් හෝ රේන්ද බදු එකතු නොකළහ. ඒවා නොමැති වූයෙන් මහජන පහසුකම් කියා හෝ යටිතල පහසුකම් කියා දේවල් හදන්නට ආණ්ඩුව අත නොදැම්මේය. පුද්ගලික ව්‍යවසායකයන් ඒවා ඉදි කළහ. ආණ්ඩුව බැංකු වලට අත පෙව්වේ ද නැත.

“ආණ්ඩුව යනු ආණ්ඩුවක් නොවන්නකින් යාන්තමෙන් වෙනස් වූවා පමණයි,” යැයි ලියන්නේ එවක විසූ H. L. Mencken නම් වූ පුවත්පත් කලාවේදියාය. ඔහු ලිබටේරියන්වාදී අදහස් රැක ගන්නට මහත් සේ කැප වූයේය.

ඇමෙරිකන් නිදහස් අරගලයට පෙර 17 වැනි සියවසේ බ්‍රිතාන්‍ය ජෝන් ලොක්, ජෝන් ස්ටුවර්ට් මිල් වැනි දාර්ශනිකයන් වෙතින් නිදහස් අදහස් පිබිදීමක් සිද්ධ විය. එහෙත් එය එහි රදළ පංතියක් සිටීම නිසාත්, ආගමික බලපෑම් තිබුණ නිසාත්, සෙසු යුරෝපීයන් හා යුද වැදෙන්නට සිද්ධ වූ නිසාත්, උපන් ගෙයි මිය ගියා යැයි කිව්වොත් වඩා නිවැරදියි.

ඇමෙරිකන් නිදහස් අරගලයෙන් පසු, 1789 දී ප්‍රංශ විප්ලවය සිද්ධ විය. ප්‍රංශ විප්ලවයේ දී පරණ සම්ප්‍රදාය නියෝජනය කළ කතා නායකයා අසුන් ගෙන සිටියේ රැස්වීම් ශාලාවේ දකුණු පැත්තේ ය. සමාජවාදී අදහස් ගෙනා මැක්සිමිලියන් රොබෙස්පියෙර්ලා අසුන්ගත්තේ වම් පැත්තේ ය.

එහි දී දක්ෂිණාංශ මතධාරීන් යැයි දකුණු පැත්තේ අසුන් ගෙන සිටි පරණ සම්ප්‍රදායේ අයට ලේබල් ඇලවිණ!!!

ලුවි ගේබ්‍රියෙල් ඇම්බ්‍රෝස් ඩ බොනාල්ඩ් දාර්ශනිකයෙකි, දේශපාලනඥයෙකි, දකුණු පැත්තේ වාඩි වූවෙකි. ප්‍රංශ විප්ලවයට එරෙහි වූවෙකි. ඔහු 1791 දී ප්‍රංශයෙන් පිටමං වී හයිඩල්බර්ග් හි පදිංචියට ගියේය.

ජෝසෆ් මාරී ඩ මයිස්ත්‍ර දාර්ශනිකයෙකි, ගත්කරුවෙකි, නීතීඥයෙකි, රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. එවැනි දකුණු පැත්තේ වාඩි ගත් අය, කොන්සර්වේටිව් නොහොත් පරණ සම්ප්‍රදාය නියෝජනය කරමින්, කාර්මික විප්ලවයේ සාර්ථකත්වයෙන් නැඟී එන ආර්ථික සංවර්ධනය හමුවේ, නීතිය ඉදිරියේ සමාන අයිතීන් සැමට ප්‍රදානය කළ යුතු යන සංකල්පය වෙනුවට වරප්‍රසාද ලත් ප්‍රභූන් මඟින් සෙසු පුරවැසියන් ආණ්ඩු කළ යුතුය යන සංකල්පයක් ගෙනාහ. මයිස්ත්‍ර විසින් කියා සිටියේ ක්‍රිස්තියානි දහම ප්‍රතික්ෂේප කිරීම නිසා 1789 ප්‍රංශ විප්ලවයේ වියවුල් හා ලේ ගැලීම් සිද්ධ වූ බවයි.

ප්‍රංශ විප්ලවයෙන් මිනිස් ජීවිත ගණනාවක් අහිමි වී ගියත්, එහෙත් නැවතත් ඔටුන්නක් පළඳින්නේ නැතිවූවාට එම්ප්‍රදෝරුවෙක් වෙන නැපෝලියන් සිහසුනකට පත් කරගන්නට, පරණ සම්ප්‍රදායට නැවතත් යන්නට ඔවුන් සමත් වූයේ නිදහස කුමක් දැයි නොදත් ඔවුන්ගේ විරුද්ධ පක්ෂය එසේ වූ නිසාය.

19 වැනි සියවස අග භාගය වෙද්දී යුරෝපීය විසල් ආණ්ඩු හා රාජ්‍යවාදය (statism) ඔටුන්නක් නැති වෙස් මුහුණක් දමාගෙන පාලන බලය අල්ලා ගත්තේ එයින් සුබ සාධනය ලැබෙන අයව වෙනසකට භාජනය කරමිනි. තව දුරටත් ජන්මය නිසා පමණින් වැඩවසම් රදළයන් හෝ ප්‍රභූන්, හමුදා හෝ රජයේ නිලධාරීන්, සාමාන්‍ය ජනතාවට වඩා වැඩියෙන් වරප්‍රසාද නොලැබූහ. දැන් පිරිසක් විශේෂ වරප්‍රසාද ලැබුවේ, සමහර නිෂ්පාදකයන්ට විශේෂ අවස්ථා පෑදුනේ, ඔවුන් රජය සමඟ කොතරම් කුළුපග වූවා දැයි අනුවයි.

පෘසියාවේ (ජර්මන්) ඔටෝ වොන් බිස්මාර්ක් ගේ නායකත්වයෙන් දක්ෂිණාංශිකයන් ගොඩ නැඟුවේ යුද්ධය, හමුදාකරණය, ආරක්ෂණවාදය, සහ අනිවාර්ය ලෙසකින් අත දුන් ව්‍යාපාර, කර්මාන්ත කාර්තෙල්කරණය, පාලන බලය පතුරුවන දැවැන්ත පද්ධති ගොඩ නැඟීම, රෙගුලාසි, සහනාධාර සමඟින් විසල් ආණ්ඩුව හා අත්වැල් බැඳගත් තෝරාගත් විශේෂ ක්ෂේත්‍රයන්හි විසල් ව්‍යාපාර හා කර්මාන්ත වලට විශේෂ වරප්‍රසාද දෙන්නටත් ය.

කෘෂිකාර්මික යුගයට එළඹීමෙන් පසුව පටන් ගැනුනු, කාර්මික යුගයේ දී මනා ලෙසින් ක්‍රියාත්මක වූ, මූල්‍ය පිණිස හුවමාරු කරගන්නා පොලිය, ඉඩම් පිණිස හුවමාරු කරගන්නා කුලිය, ශ්‍රමය පිණිස හුවමාරු කරගන්නා වේතනය යන තුනෙන් එකක හෝ කිහිපයක යෙදෙමින් ආදායම උපයා ගන්නට මිනිසාට අවස්ථාව පෑදිණ.

මේ කාර්මික ක්ෂේත්‍රයන් වල දී තම ශ්‍රමය වේතනයට හුවමාරු කරගත් මහත් පිරිසක් ලොව සිටි යුගයකි.

18 වැනි සියවසේ පටන් ගෙන 19 වැනි සියවස අග දක්වා සියල්ලන්ගේ ම ජීවන තත්වයන් ඉතා සීඝ්‍රයෙන් ඉහළකට ගෙන යන්නට සමත් වූයේ නිදහස් සහ තරඟකාරී වෙළඳපොල ඕපපාතිකව හටගෙන තිබි නිසාය. එය කිසිම ආණ්ඩුවක සැලසුමක් නොවුණි. හොඳම වේතන, හොඳම රැකියා කොන්දේසි සොයා රැකියා වෙනස් කරන්නටත්, එතෙක් පරිහරණයට නොලැබි පරිභෝජන භාණ්ඩ හා සේවා මිල දී ගත හැකියාව ද ලෝකයේ මහත් ජනගහණයකට ප්‍රථම වරට ලැබි යුගය එයයි.

එහෙත් ඒ එක්කම බලතණ්හාධිකයන් පාලන බලය තමනට අල්ලා ගන්නට දත කමින් සිටියහ. ඒකීය පුද්ගල නිදහසට එරෙහි අය (ආගමික, සමාජ සංවිධාන) අනුන්ගේ නිදහසට බාධා පමුණුවන්නට ආණ්ඩු හා එක්වූහ.

ජර්මනියේ ඔටෝ වොන් බිස්මාර්ක් සහ බ්‍රිතාන්‍යයේ බෙන්ජමින් ඩිස්රායෙලි වැනි කොන්සර්වේටිව් නොහොත් පරණ සම්ප්‍රදායේ අදහස් ප්‍රමුඛ කරගත් අය කාර්මික ශ්‍රමිකයන් වෙනුවෙන් කිඹුල් කඳුළු හලමින්, තම ප්‍රතිපත්ති නිසාම සමාජ සහ ආර්ථික තත්වයන් හි වියවුල් බව කෙමෙන් වැඩිවෙමින් පවතින බව නොපෙනෙන්නට තතු සඟවමින්, කියා සිටියේ උගත් දක්ෂ පාලකයන්ට ක්‍රිස්තියානි ආචාර ධර්ම වලින් සියල්ලන්ගේ ම සුබසාධනය සලසත හැකි යැයි කියාය.

ලිබටේරියන්වාදී ඇමෙරිකාවේ අභිප්‍රාය වූයේ තෝමස් ජෙෆර්සන් වසර 8 න් පසුව, ඇන්ඩෲ ජැක්සන් පාලන බලයේ වසර 8 න් පසුව, මාටින් වැන් බියුරන් වසර 8 ක් ද, අනතුරුව තෝමස් හාට් බෙන්ටන් විසින් වසර 8 ක් ද පාලනය කර සම්පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ලිබටේරියන් සමාජයක් සදහටම ස්ථාපිතයට ය.

එය හුදු සිහිනයක් නොවිණ. මන්ද ඒ වන විට ඔවුන් සියල්ලන්ම සහාය දුන් ජැක්සෝනියන් ඩෙමොක්‍රැටික්වාදය රටේ වඩාත්ම ජනප්‍රියත්වයක් දිනාගත්තක් විය. ඩෙමොක්‍රැටික් පක්ෂය බහුතර චන්ද ලැබි පක්ෂයයි. ජැක්සන් සිය වසර 8 දී මධ්‍යම බැංකුව ඉවත් කර මහජන ණය ගෙවා දැමීය. වැන් බියුරන්ට ලැබුන වසර හතරේ දී ඔහු ෆෙඩරල් ආණ්ඩුවත් බැංකු ක්‍රමයත් වෙන් කළේය.

එහෙත් 1840 ජනාධිපතිවරණය, තර්ලෝ වීඩ් නම් මැතිවරණ ව්‍යාපාර සභාපති දියත් කළ පාරට්ටු බාන මෙහෙයුමකින් කළ එළි බැස්සේය. වැන් බියුරන් පරදවා විලියම් හෙන්රි හැරිසන් ජනාධිපති කරවන්නට ඔහු සමත් විය. නූතන මැතිවරණ ව්‍යාපාරයක් මෙන් එය වීදි පුරා එල්ලූ රිබන් පටි වලින්, වේදිකා සැරසිලි වලින්, සටන් පාඨ, සිංදු හා පෙළපාලි වලින් දියත් වූවකි. දැඩි පහරක් ඔවුනට වැදුනේ ඩෙමොක්‍රැටික් පක්ෂය විසින් ටෙක්සාස් ප්‍රාන්තය යුනියනයට එකතු කරගන්නට ගත් උත්සාහයයි. ටෙක්සාස් හි එවක දී වහලුන් සිටියහ. වැන් බියුරන් එයට විරුද්ධ විය. ජැක්සන් එයට පක්ෂ විය. ඩෙමොක්‍රැටික් පක්ෂය දෙකට කැඩුණි. ඔවුන් චන්දය පරාජය වූහ. ඒබ්‍රහම් ලින්කන් දක්වා ජනාධිපතිවරුන් දිනවන්නට වීඩ් සමත් විය.

අනතුරුව හටගත් සිවිල් යුද්ධයත්, එහි මහත් මිනිස් ජීවිත අහිමියත් තුලින් ජනතා හදවත් දිනාගත් රිපබ්ලිකන් පක්ෂය ආණ්ඩු බලය අල්ලා ගන්නට සමත් වූහ. ජාතික ආණ්ඩුවේ බලය වැඩි විය. 1861 දී යුද ණය ගෙවන්නට තාවකාලික ආදායම් බදු පැනවිණ. 1894 දී තීරු බදු පනතක් සම්මත විය. විසල් ව්‍යාපාර වලට රජයේ සහනාධාර ලැබිණ. මුදල් කොළ අච්චු ගසමින් උද්ධමනය වැඩි කළහ. බැංකු ක්‍රමය නැවතත් රාජ්‍ය පාලනයට නතු විය. යටිතල පහසුකම් හා මහජන පහසුකම් මහා පරිමාන වලින් ඉදි කෙරිණ. 1913 දී ආදායම් බදු නිත්‍ය විය.

ඩෙමොක්‍රැටික් පක්ෂයේ අය ඒ වන විට ලිබටේරියන්වාදී අදහස් වලින් ඈත් වී රාජ්‍ය බලය අල්ලා ගන්නට රිසි වූයෙන් මෙවර හැරුනේ සමාජවාදී අදහස් වලටයි.

ලිබටේරියන්වාදීන් වමේ කියා කිව නොහැකියි. මන්ද ඔවුන් ප්‍රංශ විප්ලවයේ දී මැක්සිමිලියන් රොබෙස්පියෙර්ලා සමඟ හෝ පරණ සම්ප්‍රදාය සමඟ හෝ එකඟ වූවන් නොවූ නිසාය. ප්‍රංශයේ වූ ලිබටේරියන් අදහස් තිබි ෆෙඩරික් බැස්ටියාට් සහ ශෝන්-බැප්ටීස්ටෙ සේ වැන්නවුන් ඉල්ලා සිටියේ වමටත් දකුණටත් දෙපැත්තටම අයින් වී ජනතාවට නිදහසේ හුවමාරුවෙන් සිය ජීවිකාව උපයන්නට ඉන්න දෙන්න කියාය.

අදත් ලිබටේරියාන්වාදීන් ඉල්ලා සිටින්නේ එයයි. ඔවුන් වමට හෝ දකුණට අයිති නොවෙති. අනුන්ට කරදරයක් නොකර, අපිට අයිති භූමියට කැමැත්තෙන් ගෙවන කුලියක් සොයාගන්නත්, මූල්‍යයට කැමැත්තෙන් ගෙවන පොලියක් හොයාගන්නටත්, ශ්‍රමයට කැමැත්තෙන් ගෙවන වේතනයක් හොයාගන්නටත් පිණිස එකිනෙකාගේ කැමැත්තෙන් කරන ගණුදෙනු හුවමාරු වල දී ආණ්ඩුව මැද්දට නොපැන, අපිට අපේ පාඩුවේ ඉන්න දෙන්න යැයි පමණක් ඉල්ලා සිටිති.

ලිබටේරියන්වාදීන් පුරවැසියාගේ අයිතීන් ඔහු වෙනුවෙන් රැකදෙනවා පමණි. හුවමාරුවේ වගකීම පුරවැසියා සතුය. යම් නොහැකියාවක් ඇති අය වෙනුවෙන් සහායට එන්නේ පුරවැසියන් කැමැත්තෙන් කරගෙන යන සමාජ සුබ සාධන සේවා සංවිධාන මිසක් ආණ්ඩුවක් නොවේ.

අයෙක් වෙතින් අරගෙන තවත් අයෙකුට දෙන පොරොන්දුව ඔවුන් නොකරන නිසා ඔවුන්ට චන්දය දීමෙන් ලබාගන්නට හැකි විශේෂ දෙයක් ද නැත!!!!!! 😀

වසර 137 කට ආසන්න කාලයක් තිබි නිදහසත්, එයින් රට ලැබූ ප්‍රගතියත්, 1913 සිට 2013 දක්වා වසර 100 ක් තිස්සේ කප්පාදු වී ගිය නිදහසත් එයින් රටට වූ අගතියත් දකිනා ලිබටේරියන්වාදීන්, වර්තමානයේ තෙවන දේශපාලන පක්ෂයේ අය, තවමත් ඒකීය පුද්ගලයා වෙනුවෙන් සටන් වදිති.

Advertisements

12 Responses

Subscribe to comments with RSS.

  1. Sujeewa said, on මාර්තු 27, 2013 at 9:54 පෙ.ව.

    හැබැයි සම්මත පිළිගැනීමේ හැටියට ඇමරිකාවේ වර්තමාන ආර්ථික හා සමාජිය ප්‍රගතියට මූලික වන්නේ ඔය ලිබටෙරියානු චින්තනයට සහෙන්නම දුරින් උන් ෆ්‍රැන්ක්ලින් රූස්වෙල්ට්

    • arunishapiro said, on මාර්තු 27, 2013 at 1:08 ප.ව.

      Sujeewa,

      ඔව් Sujeewa ඒකත් කාල් මාක්ස්ගේ සමාජවාදය ගැන තිබ්බ සම්මත පිළිගැනීම වගේ ම තමා. ලෝකේ ආර්ථික හා සමාජ අගතියට කාල් මාක්ස් පුංචි පාරක් හැදුවාම, ඒක ලොකු කරන්න ජෝන් මේනාඩ් කේන්ස් අත දුන්නා වගේම, ලිබටේරියන් ඇමෙරිකාවේ මුල් කාලය අවසානයේ එළඹෙන ඇමෙරිකාවේ වර්තමාන ආර්ථික හා සමාජීය අගතියට අධිවේගී මාර්ගයක් හැදුවේ ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් කිව්වොත් වඩා නිවැරදියි.

      Teddy Roosevelt ව ලිබටේරියන්වාදීන් හඳුන්වන්නේ දැඩි කොන්සර්වේටිව් නොහොත් ඇමෙරිකන් සමාජ සුබසාධනයේ සහ යුදවාදයේ මූලාරම්භකයා හැටියට.

      https://mises.org/media/1092/Teddy-Roosevelt-and-the-Origins-of-the-Modern-WelfareWarfare-State

      • Sujeewa said, on මාර්තු 28, 2013 at 8:14 පෙ.ව.

        රූස්වෙල්ට් ඒ හමුදාව නොහදන්න අපි අද මේවා ලියන්නේ ජර්මන් වලින් අරුණි. අපි ඉල්ලලා අඬන්නේ ලිබටේරියන් නොවේ සරල ප්‍රජාතන්ත්රවාදය.

        ඔබ දන්නා පරිදි මම ඇමරිකානු යුදවාදයේ දැඩි විවේචකයෙක්. හැබැයි රූස්වෙල්ට් කරපු දේ ගැන මට විවේචනය කරනන් බැහැ. එය නොකර බැරි තත්වයක්.

        රූස්වෙල්ට් සමාජවාදියෙක්. මම ඒ මතයට එකඟ නැහැ. ඒත් ඔහු කල දේ අවශ්‍ය දෙයක් ලෙසයි දකින්නේ.

        • arunishapiro said, on මාර්තු 28, 2013 at 8:51 පෙ.ව.

          Sujeewa,

          ජර්මන් බසින් මේවා ලියන්න සිද්ධ වෙන්නෙ නැහැයි කියලා පෙන්වන්නට කළින් තවත් ඉතිහාසය ගැන මට ගොඩක් ලියන්න තියෙනවා.

          තමන්ට ඕනෑ අවස්ථාවට ඇමෙරිකන් හමුදා සහාය ඉල්ලීම (මේ දවස්වල ඔස්ට්‍රේලියන් ප්‍රතිපත්තිය ඒකයි) සහ අනෙක් අවස්ථාවල දී ඇමෙරිකාවට බනින අයිතිය තියාගන්න එක තමන්ගෙ කැමැත්ත.

          මම නම් ඕනෑම රටක් විදේශීය හා දේශීය ත්‍රස්තවාදයෙන් රටේ ආරක්ෂාව සඳහා හමුදාවක් තියෙනවාට කැමතියි. සිංහලෙන් බ්ලොග් ලියන විචාරක වගේ හිතන හමුදා නායකයෙක් යටතේ රට වෙනුවෙන් තුවක්කුව උස්සාගෙන යන්න ඕනෑම වේලාවක ලැහැස්තියි. හැබැයි රූස්වෙල්ට් වැනි නායකයෙක් යටතේ කිසිම අවස්ථාවක තුවක්කුවක් උස්සන්නේ නැහැ.

          සමාජවාදියා කියන්නේ අනුන් වෙතින් අරගෙන තවත් අයට බෙදලා දෙන සැලසුම් හදන එක්කෙනෙක්. ඔයා එහෙම කෙනෙක් එහෙම නොවෙයි කියූ පළියට එය වෙනස් වෙන්නේ නැහැ.

          ලෝක ස්වභාවය සහ මිනිස් ස්වභාවය නිසා ඕනෑම රටක ආර්ථිකයක් වැඩ කරන ආකාරය නොදන්න අය සමාජවාදීන් කරන දේවල් ඔවුන් විසින් කළ යුතු දේවල් හැටියට තමයි දකින්නේ.

          ඉතින් ආයෙත් Sujeewa, මගේ එකම විරෝධය සමාජවාදීන්ට මගේ ශ්‍රමය, භූමිය, මූල්‍ය නැතිව එයාලගේ බෙදා දීම් කරගෙන යන්න බැරි එක ගැන විතරයි. යම් රටක් වෙනත් කිසිම කෙනෙකු ගෙන් සහනාධාර ඉල්ලන්නෙ නැතිව, අනෙක් රටවල් ආක්‍රමණය කරන්නෙ නැතිව, තමන්ගෙ ක්‍රමයට අකැමැති මිනිස්සුන්ට රටින් පිටවී යන්නට අවසරය දී, එහෙම පිටවෙලා යන මිනිස්සුන්ට යන්නට රටවල් ද ඇත්නම්, සමාජවාදීන් විසින් කුමන ලෙසකින් එහි ඉතිරි වෙන සමාජයේ අයගේ ශ්‍රමය, භූමිය, මූල්‍ය බෙදා දෙමින් රට ගෙනියනවා ද යන්න ගැන මගේ කිසිම විරෝධයක් නැහැ.

  2. රාජ් said, on මාර්තු 27, 2013 at 11:08 ප.ව.

    “අයෙක් වෙතින් අරගෙන තවත් අයෙකුට දෙන පොරොන්දුව ඔවුන් නොකරන නිසා ඔවුන්ට චන්දය දීමෙන් ලබාගන්නට හැකි විශේෂ දෙයක් ද නැත!!!!!! :D”

    කියවගෙන එද්දි මට හිතුනෙත් ඒක තමයි.

    • arunishapiro said, on මාර්තු 28, 2013 at 8:27 පෙ.ව.

      රාජ්,

      18 වැනි සියවසේ ජීවත් වූ මිනිස්සුන්ට වැටහුනා නම් අයෙක් වෙතින් අරගෙන තවත් අයෙකුට බෙදලා දීමෙන් සමෘද්ධියක් සිද්ධ වෙන්නේ නැහැ කියල ඇයි අද මිනිස්සුන්ට බැරි එය වටහා ගන්න?

      “සමාජවාදයේ වැරැද්ද අවසානයේ ඔබට බෙදා දිය හැකි අනුන්ගේ මුදල් ඉවර වී යෑමයි,” මාගරට් තැචර්

      රුසියාවෙන්, චීනයෙන් හා දැන් කියුබාවෙන් ද ඔප්පු වීම සහ අද සෙසු ලෝකයෙන් ම දකින්නට හැකියාව ඇත්නම් ඇයි තවමත් එය වටහාගන්නට අපහසු?

      සුබ සාධන සමාජය

  3. Sujeewa said, on මාර්තු 28, 2013 at 8:12 පෙ.ව.

    අරුණි ඔවුන් වහලුන් ගැන දරුවෙ කුමන ආකල්පයක්ද? කැමති අය වහලුන් තියා ගත්තාවේ අකමැති ය නොකර හිටියාවේ කියන පදනමින් ඒකත් බැලුවොත් මොකද වෙන්නේ?

    ආර්ථිකය ගාන ඔබේ ලිබටේරියන් චින්තනයට මම එකඟ නැහැ. ඒත් ඒක පසෙක තියලා අනිකුත් අංශ සැලකුවොත්; නීති ක්ෂේත්‍රය, ජාතික ආරක්ෂාව වගේ දේවලදි ලිබටේරියන් ස්ථාවරය මොකද්ද? රජයේ රෝල් එක මොකද්ද?

    • arunishapiro said, on මාර්තු 28, 2013 at 8:36 පෙ.ව.

      Sujeewa,

      වහලුන් ගැන “ඔවුන්” දැරූ ආකල්පයක් දැයි අසද්දී කවුරුන් ගැන ද කියන්නේ?

      මගේ චින්තනයට එකඟ වෙන්න කියලා කිසිම විටෙක කියා නැහැ. මෙහෙම චින්තනයක් තියෙනවා මම කැමති එයටයි කියා විතරයි ලියන්නෙ. ආර්ථිකය සාර්ථකව සමෘද්ධිමත් වෙන එකම ක්‍රමය, ලෝකයේ අනේක වතාවන් වල දී ඔප්පු වී ඇති එකම විධිය මෙයැයි කියලා ලියනවා .. විහින් ආර්ථික අගතියට යන අයට ඒ කැමැත්ත ඇතිව ඕනෑ දෙයක් කරන්න පුලුවන්. ඒත්, මගේ සල්ලි බලහත්කාරයෙන් ගන්න සැලසුම් හදන අයට කැමැත්තෙන් නොදී ඒ නුහුගුණයට බනින අයිතිය මම හැමදාම තියා ගන්නවා 🙂

      මම ලියාගෙන යන වේගයට තමයි Sujeewa ඔයාට කියවන්න වෙන්නෙ. අනිත් අංශ ගැනත්, රූසවෙල්ට්ගේ අයහපත් පිළිවෙත් ගැනත් විස්තරාත්මකව ලියන්න අදහස් කරගෙන ඉන්නේ, මොකද අද ලෝක තත්වයට එය ඉතා වැදගත් නිසා. අනෙක, සිංහලෙන් කියවන “සම්මත පිළිගැනීම” ඇති බහුතරයක් නොදන්නා වුනාට අද ලෝක අර්ථ ශාස්ත්‍රඥයන් සියල්ලන්ම පාහේ ඇමෙරිකන් Great Depression යනු එයට කළින් පැවති ආණ්ඩු ප්‍රතිපත්ති නිසා හටගත්තක් බවට පිළිගෙන තියෙනවා.

  4. යසිත්ගේ සිතුවිලි said, on මාර්තු 28, 2013 at 9:16 පෙ.ව.

    දේශපාලයනට අකමැති නිසාත්, ඒ පිළිබඳ දැනුමක් නැති නිසාත් අදහස් පල නොකරමි…

    (බ්ලොග් එකට එන හැම පාරම pdf එකක් ඩවුන්ලෝඩ් වෙන්න අහනවා.2පාරක් ගත්තා..තාමත් අහනවා.. මගේ අවුලක්ද මංදා)

    • arunishapiro said, on මාර්තු 28, 2013 at 9:21 පෙ.ව.

      යසිත්ගේ සිතුවිලි,

      දේශපාලනයට අකමැති වුනාට එය ජීවිතයට බලපානවා. මෙතැන දේශපාලනයක් කරන්නෙ නැහැ, එය කුමක් දැයි විස්තර කරනවා විතරයි. ඉතින් දේශපාලන කරන්න අකමැති වෙන්න, ඒත් දේශපාලනයේ වෙන්නෙ මොනවා දැයි දැනගෙන ඉන්න. 🙂

      බ්ලොග් එකට https://arunishapiro.wordpress.com වලින් එන්න. Share කරපු සබැඳියක අමුනලා තියෙන PDF පින්තූරයෙන් ඔයා එන්නෙ.

      • යසිත්ගේ සිතුවිලි said, on මාර්තු 28, 2013 at 11:05 ප.ව.

        නෑ… මං එන්නෙ වර්ඩ්ප්‍රෙස් රීඩරේට එන ලින්ක් එකෙන්…

        දේශපාලනය මට හිරිකිත උනේ ලංකාවෙ වෙන දේවල් නිසා.. ඇත්තටම මට දැනුමක් නෑ වෙනත් රටවල මහත්මා දේශපාලනය ගැන.. යන්තම් අවුරුදු දෙකකට කලින් ඡන්ද බලය ලැබුණත් මං මේ වෙනකම් ඒක භාවිතා කරේ නෑ…

        ඇත්ත… ඔබතුමී දේශපාලනය ගැන හැදින්වීමක් විතරයි කරල තියෙන්නෙ… නමුත් මෙතනිනුත් මට දැනෙනෙ එකම කාරණය දේශපාලකයින් මහජනයා තලාපෙලීම ඉස්සර ඉඳන්ම පැවතෙන බව..

        නමුත් පෞද්ගලිකව මේ පවතින ක්‍රමයට වෛර කරමි.. ඒ ලංකාවේ එක්තරා පැතිකඩක් දිහා විතරක් බලල ගනිපු පටු ආකල්පයක් වෙන්න පුළුවන්… ඒත් කන්න නැතුව පාරෙ මැරිල ගියත් කිසිදිනක පන්දම් දේශපාලකයින් පස්සෙ නම් නොයමි…

        • arunishapiro said, on මාර්තු 29, 2013 at 7:27 පෙ.ව.

          යසිත්ගේ සිතුවිලි,

          මහත්මා දේශපාලනයක් කියන්න පුලුවන් දැයක් ලෝක ඉතිහාසයේ ම තිබිලා තියෙන්නෙ ඉතාමත් ම ඉතා ඇබිත්තක්.

          යසිත්ගේ සිතුවිලි නිවැරදියි!! දේශපාලනය යනු මහජන නිදහසට එරෙහි වූවක්. ඒ නිසා එහි නියැළෙන්නෙ අනුන්ව අරහෙම මෙහෙම හදන්න කැමති පීඩකයන්. එහෙත් එය එසේ විය යුතු නැහැ. එය අවශ්‍ය රකුසෙක් නිසා බැඳගෙන වැඩගන්න හැකියාව මිනිස් මොළයට තියෙන බව 18 වැනි සියවසේ දී වසර සියයකට වඩා කාලයක් පුරා ඔප්පු කරලා තියෙනවා.

          //ඒත් කන්න නැතුව පාරෙ මැරිල ගියත් කිසිදිනක පන්දම් දේශපාලකයින් පස්සෙ නම් නොයමි…// මෙහෙම හිතන අය තව වැඩිවේ නම් කන්න නැතුව පාරෙ මැරිල යන අයත් අඩුවෙලා ලෝකය සුන්දර වේවි! 😀


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: