අරුණි ශපීරෝ‍ වෙතින්

ෆෙඩරලිස්ට් රචනා අංක 18: පුරාණ ග්‍රීක සමාබන්ධන විනාශයට පත් වූයේ ඇයි?

Posted in Uncategorized by arunishapiro on මාර්තු 28, 2013

IMG_4995

පවතින එකතුවෙන් එක්සත් ආණ්ඩුවක් පවත්වා ගෙන යෑම ප්‍රමාණවත් නැතැයි ඇලෙක්සැන්ඩර් හැමිල්ටන් විසින් 15, 16 හා 17 වැනි ෆෙඩරලිස්ට් රචනාවන් ලිවීය. එම විෂයයම තවත් විභාග කරන ජේම්ස් මැඩිසන් ලියන මෙම අංක 18 රචනාව ප්‍රකාශිත වෙන්නේ 1787 දෙසැම්බර් 7 වැනි දා ය.

****

“පුරාතන සමාබන්ධන (confederacy) අතර වැදගත්ම ලෙසින් සැලකෙන්නේ ග්‍රීක ජනරජයන් යටතේ වූ ඇම්ෆිටියනික් (Amphityonic) ෆෙඩරල් කවුන්සිලයයි. ඵෛතිහාසික වාර්තා වලින් පෙනී යන්නේ වර්තමාන ඇමෙරිකන් ප්‍රාන්ත අතර පවතින සමාබන්ධන ඒ සමඟ සමානකම් පෙන්වන්නක් බවයි.

ග්‍රීක නගර-රාජ්‍යයන් ඒකීය වශයෙන් ස්වාධීනත්වයකින් පැවති ස්වෛරී ආණ්ඩු වූහ. ඔවුන්ගේ නියෝජිතයන් නොහොත් Amphictyons ට ෆෙඩරල් කවුන්සිලයේ සමාන චන්ද අයිතියක් තිබිණ. ග්‍රීසියේ පොදු සුබ සාධනය වෙනුවෙන් යෝජනා ගෙනෙන්නටත්, තීරණ ගන්නටත් කවුන්සිලයට බලය තිබිණ. යුද්ධයක් ප්‍රකාශ කරන්නට සහ යුද්ධ කරන්නට, ප්‍රාන්ත අතර අවුලක දී අවසන් තීන්දුව ගෙනෙන්නට, ප්‍රචණ්ඩ සාමාජිකයාට දඩයක් නියම කරන්නට, අකීකරු සාමාජිකයාට එරෙහිව බලය පාවිච්චි කරන්නට සහ නව සාමාජිකයන් බඳවා ගන්නට බලය තිබිණ.

ආගමේ සහ ඩෙල්ෆොස් දේවාලයේ මහත් වස්තු සම්පත් වල ආරක්ෂකයා වූයේ ෆෙඩරල් කවුන්සිලයයි.

එක්සත් නගර ආරක්ෂා කරන්නටත් ඒවාට එරෙහිව සටන් වදින හතුරන් පරාජය කරන්නටත් ෆෙඩරල් බලයේ කාර්යක්ෂමතාවයන් වැඩි දියුණු කරන්නටත් එහි කවුන්සිලයේ සාමාජිකයන් පොරොන්දු වූහ. ඩෙල්ෆොස් දේවාලයට අවමාන කරමින් හැසිරෙන අයට මෙන්ම මේ පොරොන්දු කඩනා අයටත් විරුද්ධව කටයුතු කිරීමේ බලතල ඔවුනට තිබියහ.

න්‍යායාත්මකව මේ බලතල ප්‍රමාණවත් යැයි පෙනී යයි. ආකාර කිහිපයකින් ම සමාබන්ධන ව්‍යවස්ථාවලියේ ප්‍රකාශිත බලයට වඩා වැඩියෙන් බලයක් ග්‍රීකයන්ට තිබුණහ. උදාහරණයක් වශයෙන් ඇම්ෆික්ටියන් ෆෙඩරල් ආණ්ඩුවට ශක්තියක් ලැබුනේ දේව විශ්වාස වලිනි. අකීකරු නගර වලට එරෙහිව ඔවුනට බලහත්කාරකම් (coercion) පාවිච්චි කළ හැකි විය. මෙම බලය අවශ්‍ය විටෙක දී පාවිච්චියට ඔවුන් ප්‍රතිඥා දී සිටියහ.

එහෙත් සත්‍යය ලෝකයේ දී පෙනී ගියේ න්‍යායට පටහැනි වූවකි. අපේ කොංග්‍රසයට සේ තිබු බලය, පරිපාලනයේ දී යොදා ගත්තේ දේශපාලන ඒකක ලෙසින් පිහිටවන ලද නගර-රාජ්‍ය සාමාජිකයන් විසින් පත්කරන ලද්දා වූ ඔවුන්ගේ නියෝජිතයන් විසිනි. අන්න එතැන තමයි දුර්වලතාවය මතු වූයේ. අවුල් හටගත්තේ. අවසානයේ සමාබන්ධනයේ විනාශයට පාර කැපුනේ.

බලවත් නගර විසින් අනෙකුත් නගරයන් කෲර ලෙසින් යටපත් කරගත්හ. ඩිමොස්තිනීස් ලියන අන්දමට ග්‍රීසියේ ආරවුල් බේරන්නා ලෙසින් ඇතැන්ස් නගරය වසර 73 ක් ද, ස්පාර්ටාව වසර 29 ක් ද ලියුක්ට්‍රා සටනින් පසුව තීබසය බලය අල්ලා ගත් බවයි.

ග්‍රීක ඉතිහාසඥ ප්ලූටාක් ලියන්නේ බලසම්පන්න බැවින් ඉහළ වූ නගර දුර්වල නගරයන් දූෂණයෙන් හා තර්ජනයෙන් යටපත් කරගත් බවයි. වඩාත්ම බලවත් පක්ෂයට වාසි පිණිස විනිශ්චයන් නියම විය.

පර්සියාව සමඟ කෙරුණු දරුණු සටන් වල දී හෝ මැසිඩෝනියාව හා වූ සටන් වල දී සාමාජික නගර-රාජ්‍යයන් කිසිවිටෙක එකමුතුව එකක් සේ කටයුතු නොකළහ. ඒ නිසා ඔවුන් පොදු හතුරු ඉදිරියේ ඔවුන් අසරණ වූහ. විදේශ හතුරු ප්‍රහාරයන් නොමැති කාල සමයන් වල දී දේශීය අෂ්ට ලෝක ධර්මයන්, වියවුල් හා ඝාතන තුල ඔවුන් නියැළුනහ.

පර්සියාව හා යුද්ධයෙන් පසු ස්පාර්ටාව ඉල්ලා සිටියේ පක්ෂපාතී නොවූ සමහර නගර-රාජ්‍යයන් සමාබන්ධනයෙන් පිටමං කරන්නට යැයි කියාය. ඇතීනියානුවන් සිතුවේ ඒ අයව අයින් කළහොත් ස්පාටන්වරුන්ට බහුතරය වන්නට ලැබී ඇතීනියානුවන්ට පක්ෂපාතීත්වය අඩු වී යැයි කියාය. ඉතින් ඇතැන්ස් විසින් ස්පාර්ටාවේ යෝජනාවට විරුද්ධ වී ඒ උත්සාහයට ඉඩක් නොදුණි.

මේ ඵෛතිහාසික විස්තරය ඔප්පු කරන්නේ සමාබන්ධනයක අකාර්යක්ෂම බවයි. අභිලාෂයන් හා ද්වේෂයන් එහි වඩාත්ම බලවත් සාමාජිකයන් අභිප්‍රේරණයට පත්කරවීය. අනෙකුත් අය හෑල්ලුවට ලක් වී යටහත් වූහ. න්‍යායාත්මකව, කුඩා සාමාජිකයන් එක හා සමාන ලෙසකින් ආඩම්බරය හා තේජස ලබන්නට සුදුසුකම් තිබුණත් සත්‍යයෙන් සිද්ධ වූයේ ඔවුන් විශාල සාමාජිකයන්ගේ උවමනාවන් ඉටු කරන රාජ්‍යයන් බවට පමණක් පත්වීමය.

අබේ මිලෝ කියන්නේ ග්‍රීකයන් නිර්භීත වූ තරමට ඔවුන් නුවණැතියන් වූවා නම්, කිට්ටුවෙන් පවත්වා ගෙන යා යුතු වූ යුනියනයක් ගැන ඔවුනට අත්දැකීම් විසින් පාඩමක් කියා දෙන්නට තිබුණා කියාය. පර්සියා යුද්ධයෙන් පසු ඔවුනට තිබි සාම කාලය ප්‍රතිසංස්කරණ සඳහා සාර්ථකව යොදා ගන්නට ඔවුනට හැකියාව තිබුණා කියාය.

එහෙත් ඇතැන්ස් හා ස්පාර්ටාව ජයග්‍රහණයෙන් හා කීර්තියෙන් උදම් වෙමින් පිම්බී ගොස් එකිනෙකාට එදිරිවාදීන් වී අනතුරුව එකිනෙකාගේ හතුරන් වූහ. අනතුරුව ඔවුන් තමනට පර්සියන් යුද්ධයෙන් කෑ බැට වලට වඩා දුක් කම්කටොළු එකිනෙකාට කරගත්හ.

එකිනෙකා ගැන හටගත් ඊර්ෂ්‍යාව, බිය, ද්වේෂය හා කුරිරුකම් තුලින් හටගත්තේ සුප්‍රසිද්ධ පෙලපනීසියානු යුද්ධයයි. එය අවසන් වූයේ එය පටන් ගත් ඇතැන්ස් හි පරාජයෙනි. එසේම එය ග්‍රීසියේ රන්මය යුගයේ අවසානය ද විය.

දුර්වල ආණ්ඩුවක් යුද්ධයක නොවන විට, නිරන්තරයෙන් ඇතුලත වූ අසංමතියන් වලින් වික්ෂෝහයෙන් පවතියි. ඇතුලත පවතින කලහයන් නිසාම පිටතින් නව විපත්තියන් ඇදී එයි.

ඇපොලෝ දේවාලයේ ශුද්ධ භූමිය පෝසියන් විසින් විනාශ කර දැමූ විට ඇම්ෆිටියනික් කවුන්සිලය පව්කරායන්ට දඩ ගැසූහ. එහෙත් ඇතැන්ස් හා ස්පාර්ටාව වෙතින් සහාය ලැබුණ නිසා පෝසියන් නගර-රාජ්‍යය ඒ ආඥාවට ගරු නොකළහ. අනෙක් පැත්තෙන් තීබන්ස් නගර-රාජ්‍යය තවත් නගර-රාජ්‍ය සමඟ හවුල් වෙමින් ඇම්ෆිටියනික් බලාධිපත්‍යයට සහාය දෙමින් දෙවියන්ට කරන ලද අපහාස වලට විරුද්ධව සටන් වැදුනහ.

මිත්‍රත්ව සන්ධානයක් ලෙසින් ඇතුල් වී ආක්‍රමණිකයෙක් සේ නැවතීම දකින්නට ලැබෙන්නේ මැසඩොන් හි පිලිප් ගෙනි. අවුල රහසිගතව පටන් ගෙන තිබුනේ ඔහුයි. ඉතින් ඉතා කැමැත්තෙන්ම ග්‍රීසියේ නිදහස වෙනුවෙන් කියා අවස්ථාවාදීව තම සැලසුම් ක්‍රියාත්මක කරන්නට හේ ඉදිරිපත් විය. කුමන්ත්‍රණ සහ අල්ලස් වලින් ඔහු නගර-රාජ්‍ය කිහිපයක ජනප්‍රිය නායකයන් තම පැත්තට දිනාගෙන තිබුණි. ඔවුන්ගේ චන්ද හා බලපෑම් වලින් ඔහු ඇම්ෆිටියොනික් කවුන්සියලට ඇතුල් වන්නට සමත් විය. කුමන්ත්‍රණ සහ අවි ආයුධ වලින් පිලිප් සමාබන්ධනයේ පාලකයා විය.

දුර්මත සිද්ධාන්තයක් පදනම් කරගෙන නිර්මාණය කළ ග්‍රීසියේ ප්‍රතිඵලය වූයේ එයයි. ග්‍රීසියේ ඉරණම දිහා සිහි කල්පනාවෙන් බලන්නෙකුට පෙනී යන්නේ ඔවුන් මෙයට වඩා දැඩි සමාබන්ධනයකින් ස්ථාපිත වූයේ නම් සහ සමාබන්ධනය පවත්වාගන්නට සටන් වැදුනේ නම්, ඔවුන් කිසි කලෙක මැසිඩොන් වල යදම් පළඳින්නේ නැතැයි කියාය.

තවත් ග්‍රීක ජනරජයක සමාජයක් වූ අකියන් හවුල ද අනගි උපදෙස් සපයයි.

ඇම්ෆිටියන් රාජ්‍යයට වඩා කිට්ටු සබඳතා වලින් සහ ප්‍රඥාවන්ත ලෙසින් සංවිධානය වී සිටිය අකියන් හවුලට කළින් අයට මෙන් ම විනාශකාරී අබැද්දියකට මුහුණ පාන්නට සිද්ධ වුවත් එය මේ අයගේ අවාසනාවක් මිස ඔවුන් විහින් කැඳවා ගත්තක් නොවේ.

මේ හවුලේ නගර ඔවුනොවුන්ගේ නගරසභා බලයන් ඔවුනොවුන් අත තබාගෙන, ඔවුන්ගේ ම නිලධාරීන් පත්කරගෙන, එක හා සමාන බවකින් තිබුණ හවුලකි. ඔවුන් නියෝජිතයන් වූ සෙනෙට් සභාවට සාමය හා යුද්ධය ගැනත්, රාජ්‍ය තාන්ත්‍රිකයන් යැවීම හා පිළිගැනීම, ගිවිසුම් හා හවුල් හැදීම, ප්‍රධාන විනිශ්චයකරුවෙක් පත් කිරීම යනාදියේ සම්පූර්ණ බලය සතු විය.

ප්‍රධාන විනිශ්චයකරුවා හමුදාවන්ට අණදෙන නිලධාරියා ද වූයේ සෙනෙට් සභිකයන් 10 ක ගේ උපදෙස් හා අනුමැතියෙනි. ඔහු ආණ්ඩුව නිවාඩු ගිය විට එහි බාරකාරයා ද විය. ආණ්ඩුව රැස්වීම් පවත්වද්දී ඒවාට සහභාගී විය. ඔවුන්ගේ ප්‍රාථමික ව්‍යවස්ථාව පාලක විනිශ්චයකරුවන් දෙදෙනෙක් ඉල්ලා සිටියත් ඔවුනට හිටියේ එක් අයෙක් පමණි.

පෙනී යන අන්දමට සියළු නගර වලට තිබුනේ එක හා සමාන වූ නීති හා චාරිත්‍රයන් ය. එකම මුදල් ක්‍රමය සහ එකම මිනුම් කිරුම් ක්‍රමයන් ය. එහෙත් එය ෆෙඩරල් නීතියක් දැයි අවිනිශ්චිතය. එකම ආකාරයෙන් පවතින්නට අවශ්‍ය යැයි පමණක් ව්‍යවස්ථාවෙන් ඉල්ලා තිබිණ.

ඇම්ෆිටියනික් සමාබන්ධනයේ සාමාජිකයෙක් ලෙසින් ස්පාර්ටාව සම්පූර්ණ ආණ්ඩුවක් හා නීති පද්ධතිය භාවිතා කරමින් සිටියේය. එහෙත් ස්පාර්ටාව ඇකියන් හවුලේ කොටසක් වෙද්දී, ස්පාර්ටාවේ පරණ නීති හා ආයතන ආලෝපනය කර දමා ඇකියන් අලුත් ඒවා භාවිතයට ගැනිණ.

ඇකියන් සබඳතා හදාරන ඉතිහාසඥයන් එක පරිසිද්ධියක් හා එකඟ වෙති. එනම් ඇකියන් හවුල ඇරේටස් විසින් ප්‍රතිසංස්කරණය කළාට පසුව සහ එය මැසඩොන් විසින් විසුරුවා හරින්නට පෙර, එහි ආණ්ඩුව ඉතා මධ්‍යස්ථ වූ ද, යුක්ති ගරුක වූ ද, එහි පුරවැසියන් වෙනත් කිසිම හුදකලා නගරයකට වඩා ස්වෛරීත්වයේ බලය පරිහරණය කරවුන් බව ද වන්නේ ය කියාය. වෙනත් තැන්වල ජනප්‍රිය රාජ්‍යයන් හි දකින්නට තිබූ අවුල් වියවුල් තත්වයන් ඇකියන් ජනරජයේ නොවූයේ එය පොදු බල අධිකාරියක් විසින් මෙන් ම සමාබන්ධනයේ නීතියෙන් ද සමනය කර තිබුණු නිසා යැයි අබේ ඩ මැබ්ලි පෙන්වා දෙයි.

එහෙත් කල්ලිවාදය නිසා අන්තරාවන් නොමැති වූ බව කිව නොහැකියි. ඇකියන් හි අවැදගත් නගර ඇම්ෆිටියනික් සමාබන්ධනයේ දී කුඩා භූමිකා රඟපෑහ. මැසිඩොන් වලට ඇකියන් නගර නතු වෙද්දී දෙවැනි පිලිප් සහ ඔහුගේ පුත් මහා ඇලෙක්සැන්ඩර් දෙදෙනාගේ ප්‍රතිපත්ති වලින් ග්‍රීසිය බේරා ගැනිණ. එහෙත් ඔවුනට පසු බලයට පත් වූවන් වෙනත් ප්‍රතිපත්ති ගෙන ආහ. ඒ ඒ නගරය වෙන් කර යුනියනය විසුරුවා හරින ලදි. සමහර නගර මැසිඩෝනියන් කෲරත්වයට හසුවූහ. අනෙකුත් ඒවා ග්‍රීසියේ කොල්ලකරුවන්ට යටත් වූහ.

ලැජ්ජාවත් පීඩිත බවත් නිසා නගර කිහිපයක් නැවත එකතු වූහ. අනෙකුත් අය ඔවුන්ගේ උදාහරණය අනුගමනය කරමින් කෲර පාලකයන් ගෙන් ගැලවුනහ. වැඩි කලක් යන්නට මත්තෙන් හවුලට මුළු පෙලපනීසිය දක්වා පුළුල් වෙන්නට හැකිවිය. මැසිඩොන් ඒ ප්‍රගතිය දුටුව ද ඔවුන්ගේ අභ්‍යන්තරයේ වූ අවුල් වියවුල් නිසා එය නවතන්නට නොහැකි විය.

මුළු ග්‍රීසියම උද්‍යෝගයෙන් නැවත එක සමාබන්ධනයක් සේ එකතු වෙන්නට සූදානම් වූහ. එහෙත් ඇකියන් කීර්තිය නිසා ඊර්ෂ්‍යාවෙන් සහ ද්වේෂයෙන් පිරුණ ස්පාර්ටාව සහ ඇතැන්ස් එයට ඉඩක් නොදුන්හ. ඇකියන් හවුල විසින් මැසිඩොන් ගැන බියෙන්, මහා ඇලෙක්සැන්ඩර්ට එරෙහි වූ ඊජිපත්තුවේ හා සිරියාවේ රජවරුන් හා මිත්‍රකම් පැවැත්වූහ.

බලය අල්ලා ගන්නා අදිටනෙන් ස්පාර්ටාවේ රජු ක්ලියොමිනිස් ඇකියන්ස්ට පළමුවෙන් පහර දුන්හ. මැසිඩොන් ගේ හතුරෙක් ද වූ ක්ලියොමිනිස් ඊජිප්තු හා සිරියා රජවරුන් කැමති කරවා ගත්තේ ඇකියන්ස් හවුල හා ගිවිසුම අත්හරින්නටයි. ඉතින් අභාග්‍යමත් ඇකියන්ස්ලාට සිද්ධ වූයේ තමන්ගේ මුල් පීඩකයා වෙත ආපහු යන්නට හෝ නැත්නම් දැන් ක්ලියොමිනිස්ට නතු වෙන්නටයි.

ඇකියන්ස්ලා තෝරා ගත්තේ මැසිඩොන් ගේ උදව් ඉල්ලා ගන්නටය. මැසිඩොන් ග්‍රීක සබඳතා වලට ඇඟිලි ගහන්නට ඉතා ප්‍රිය කළහ. මැසිඩෝනියන් හමුදාව වහා පැමිණ ස්පාර්ටාව අරක් ගත්තේය. ක්ලියොමිනිස් ඊජිපත්තුවට පළා ගියේය.

වැඩි කලක් යන්නට මත්තෙන් ඇකියන් හවුලට වැටහී ගියේ ජයග්‍රාහී සහ බලවත් මිත්‍රයෙක් යනු බොහෝ අවස්ථාවල දී තවත් නමකින් එන පාලකයෙක් වන බවයි.

මැසඩොන් හි සිහසුන ලත් පිලිප් ග්‍රීකයන් අතර නව ගිවිසුම් ඇති කළේය. ඇතුලත ආරවුල් හටගෙන ඇකියන් හි සාමාජික නගරයක් වූ මෙසෙනෙ කැරැල්ලක් දියත් කරන ලදි. ඇකියන් අය එටෝලියන් සහ ඇතැන්ස් හා එකතු වී විරුද්ධ පැත්තට ගියහ.

එහෙත් නැවත වරක් විදේශයන් වලින් උදව් හා ආධාර ලැබිණ. රෝමානුවන්ට එන්නට කියූ විට ඔවුන් කැමැත්තෙන් ආරාධනය පිළිගත්හ. පිලිප් පැරදිණ. මැසොඩොන් යටත් විය.

රෝමානුවන් ඇකියන් හවුල තුල අවුල් වියවුල් පැතිර යැව්වේය. ජනප්‍රිය නායකයන් ඔවුන්ගේ ම රටවැසියන්ට හතුරන් වූ රූකඩයන් බවට පත්වූහ. තවත් වියවුල් වැඩි කරන්නට රෝමානුවන් ග්‍රීසිය පුරාම සියළු වහල් සේවකයන්ට විශ්ව නිදහස ප්‍රකාශ කළහ. නගර-රාජ්‍යයන් කැඩී වෙන් වී යෑමෙන් ග්‍රීසියේ රන්මය යුගය අවසන් විය.

අපේ ප්‍රාන්ත ස්වෛරීත්වය හා ඒවා විසින් ෆෙඩරල් ආණ්ඩුව අතර පැවැත්විය යුතු සබඳතාවයන් නිශ්චය කරද්දී අපි මේ ඉතිහාසයෙන් පාඩම් කිහිපයක් ඉගෙන ගන්නට හැකියි.

-පූබ්ලියස්”

Advertisements

6 Responses

Subscribe to comments with RSS.

  1. ishara said, on මාර්තු 28, 2013 at 1:28 ප.ව.

    Important letter.. thanks……..

    • Uditha Meegahathenna (@UdithaMe) said, on මාර්තු 28, 2013 at 2:36 ප.ව.

      අරුණි ෆෙඩරල් කියන වචනය ලංකාවේ මිනිස්සුන්ට නයාට අඳුකොළ වගේ දෙයක් ෆෙඩරල් ශබ්දය ලාංකිකයාට දෙන්නේ සම්පුරණයෙන් විරුද්ධ අර්ථයක් හරියට රට බෙදන්න රට බෙදන්න කියනවා ඇමරිකන් කාරයෝ අපේ රට බෙදන්න එනවා කුමන්ත්‍රණයක් . ෆෙඩරල් කියන්නේ ඒ වගේ දෙයක්. කරන්න දෙයක් නෑ කිසිම විදියකින් වෙනස් කරන්න බැරි විදියට ඒවා ගල්වෙලා. අමාරුවෙන් හරි කරන්න තියෙන්නේ මේවාට වෙන වචන පාවිච්චි කරන එක අරුණි නැත්නම් මේ අදහස් හරියට තේරෙන විදියට සාමාන්‍ය මිනිහෙක්ට කියන්න බෑ වැරදි තේරුම් යන්නේ. ලංකාවේදී සමහර වචන අල කරලා තියෙන්නේ පරිස්සමෙන් පාවිච්චි කල යුතුයි. නැත්නම් අලුතින් වචන හදාගත යුතුයි.

      • arunishapiro said, on මාර්තු 28, 2013 at 4:41 ප.ව.

        Uditha,

        😀 උදිතට ස්තූතියි අවවාදයට, උපදේශයට. ඒත් අනුන් ගහන පදේ විදියට නටන අය, අනුන් නටවන රූකඩයෙක් වෙනවා.

        සමාජවාදීන් ඇවිත් ලිබරල් කියන වචනෙ ඩැහැගත්ත. මාක්ස්වාදය විද්‍යාත්මක හා තර්කානුකූල යැයි ඔප්පු කරලා පෙන්වන්නෙ නැතිව තමන්ම එය එහෙමයි කියාගත්ත. පැවතෙන ආර්ථික ක්‍රමය විස්තර කරනවා වෙනුවට වැඩවසම් ලක්ෂණ ටික පෙන්නලා ධනවාදය යැයි හෑල්ලු කරලා ලේබලයක් ඇලෙව්වා.

        දැනට මට පෙනී යන විදියට බොහෝ උගත් යැයි කියා ගත්තු අයට වඩා සාමාන්‍ය මිනිස්සුන්ට තමයි වැඩියෙන්ම ඉක්මණින් මම ලියන දේවල් වැටහිලා තියෙන්නෙත්!!!!!

        මෙහි දී ජේම්ස් මැඩිසන් ෆෙඩරල් යන පාවිච්චි කරන්නේ ඵෛතිහාසික අර්ථයෙන්. 4 වැනි සියවසේ කොරින්තියන් හවුල, මධ්‍යම යුරෝපයේ නෝරිකම් යනාදිය වගේ ම පරණ ස්විස් සමාබන්ධනය ද ෆෙඩරල් ලක්ෂණ වලට උදාහරණ.

        ඇමෙරිකාවේ ෆෙඩරල් ආණ්ඩු ක්‍රමයක් නෙමෙයි තියෙන්නෙ ඇමෙරිකාවේ තියෙන්නෙ ජනරජ ආණ්ඩු ක්‍රමයක්.

    • arunishapiro said, on මාර්තු 29, 2013 at 7:28 පෙ.ව.

      ishara,

      welcome!


ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: